ඇබ්බැහි වීමක සුල මුල
ඇබ්බැහි වීමක සුල මුල
අනුග්‍රහය: දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! ලේඛක
“ඕනෑම කෙනෙක් මොනව හරි දෙයකට ඇබ්බැහි වෙලානෙ!” සාමාන්‍යයෙන් මෙවැනි දෙයක් පවසමින් කෙනෙකුව යම් පුරුද්දකට ඇබ්බැහි කරවීමට බොහෝදෙනෙක් උත්සාහ කරති. ඇත්තෙන්ම එම වදන්වල යම් සැබෑවක් ගැබ්ව තිබේ. එහෙත් සාමාන්‍යයෙන් මිනිසා ඇබ්බැහි වන ද්‍රව්‍ය අපට විග්රහ කළ හැක්කේ කෙසේද?
ඇබ්බැහි කරවනසුලු ද්‍රව්‍යයක් මෙසේ නිර්වචනය කර ඇත. “යමෙකුගේ වටහාගැනීමේ ශක්තියට, ස්වභාවයට හෝ මානසික තත්වයන්ට යම් බලපෑමක් කිරීමට හෝ ඒවායේ වෙනසක් කිරීමට භාවිත කළ හැකි ඕනෑම ස්වාභාවික හෝ කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයකි.” පුද්ගලයෙකුගේ මනසට බලපෑම් කරන ද්‍රව්‍යයන් විස්තර කිරීමට ගැළපෙන, පුළුල් නිර්වචනයක් ලෙස මෙය ගත හැකි වුවත්, ලෙඩ රෝගවලට ප්‍රතිකාර වශයෙන් භාවිත කරන ඖෂධ නැතහොත් බෙහෙත් හේත් බොහොමයකට එම විස්තරය ගැළපෙන්නේ නැත.
කෙසේවෙතත්, එම විස්තරයට අනුව මත්පැන් ඇබ්බැහි කරවනසුලු දෙයක් වේ. මත්පැන් භාවිතය අනතුරුදායක වන්නේ එය පමණ ඉක්මවා භාවිත කළ විටය. දැන් දැන් මත්පැන් අනිසි භාවිතය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. බටහිර රටක විශ්වවිද්‍යාලවල පැවැත්වූ සමීක්ෂණයකින් හෙළි වූයේ, “එක දිගට මත්පැන් අධික ලෙස පානය කිරීම මෙම විශ්වවිද්‍යාලවල ඉතා බරපතළ ගැටලුවක් වී ඇති බවයි.” ඇත්තෙන්ම ශිෂ්‍යයන්ගෙන් සියයට 44ක් මත්පැන්වලට ඇබ්බැහි වී ඇති බව එම සමීක්ෂණයෙන් හෙළි විය. a
දුම්කොළවල ඉතා විෂ සහිත ද්‍රව්‍යයක් වන නිකටින් අඩංගු වුවත්, එයද මත්පැන් මෙන් ඕනෑම තැනකදී ලබාගත හැක. ජගත් සෞඛ්‍ය සංවිධානයට අනුව, දුම්පානය හේතුවෙන් වසරකට මිනිසුන් මිලියන සතරක් පමණ මරු දකිති. දුම්කොළ ව්‍යාපාරිකයන්ව සමාජයේ ධනවත්, ගෞරවනීය සාමාජිකයන් ලෙස පිළිගැනේ. එනමුත් දුම්පානය ඉතා ඇබ්බැහි කරවනසුලු පුරුද්දකි. ඇත්තෙන්ම බොහෝ මත්ද්‍රව්‍යවලට වඩා එහි ඇබ්බැහි කරවනසුලු ගතිය වැඩි විය හැක.
මෑත වසරවලදී රටවල් බොහොමයක දුම්වැටි ප්‍රචාරණය අඩු කර ඇති අතර, වෙනත් සීමා තහංචිද පනවා
ඇත. ඒ කෙසේවෙතත්, බොහෝදෙනා දුම්පානය සලකන්නේ සමාජයේ පිළිගත යුතු පුරුද්දක් ලෙසය. චිත්‍රපටිවල දුම්පානය සිත් ඇදගන්නාසුලු යමක් මෙන් පෙනීමට සලස්වයි. ඇත්තෙන්ම 1991 සිට 1996 දක්වා වසරවල තිරගත වූ වඩාත්ම ජනප්‍රිය චිත්‍රපටිවල ප්‍රධාන චරිත නිරූපණය කළ නළුවන්ගෙන් සියයට 80ක්ම දුම්පානය කරන චරිතයන් රඟ දැක්වූ බව සැන් ෆ්රැන්සිස්කෝහි කැලිෆෝර්නියා සරසවියේ සිදු කළ සමීක්ෂණයකින් හෙළි විය.සාමාන්‍ය ඖෂධ ගැන කුමක් කියමුද?
ඇත්තෙන්ම ඖෂධවලින් බොහෝදෙනෙකුට සෙතක් සැලසුණත්, ඒවාද අනිසි ලෙස භාවිත කළ හැක. ඇතැම් අවස්ථාවලදී, වෛද්‍යවරු වග විභාගයකින් තොරව යම් ඖෂධයක් හෝ බෙහෙතක් නිර්දේශ කිරීමට ඉක්මන් වෙති. එසේ නැතහොත් යම් යම් ඖෂධ ලබා දෙන මෙන් රෝගීන් ඔවුන්ට පෙරැත්ත කරනවා විය හැක. එක් වෛද්‍යවරයෙකුගේ අදහස් සලකා බලන්න. “රෝගියෙකුගේ රෝග ලක්ෂණ මොනවාද කියා හරි හැටි තේරුම්ගැනීමට වෛද්‍යවරුන් ප්‍රමාණවත් කාලයක් ගන්නේ නැහැ. ‘මෙන්න මේ බෙහෙත අරං බලන්න’ කියල කියන එක හරිම පහසුයි. නමුත් ඒකෙන් ලෙඩේ මොකක්ද කියා හරියට සොයා බැලීමක් වෙන්නේ නැහැ.”
වෛද්‍ය නියමයක් අවශ්‍ය නැති ඇතැම් ඖෂධ අනිසි ලෙස භාවිත කිරීම, බරපතළ සෞඛ්‍ය ගැටලුවලට පවා මඟ පෑදිය හැක. ඇස්පිරින් සහ පැරසෙටිමෝල් (ටයිලිනෝල්, පැනඩෝල්) මීට උදාහරණ වේ. ඇත්තෙන්ම පැරසෙටිමෝල් අධික ලෙස ගැනීම නිසා, වසරකට ලොව පුරා මිනිසුන් 2,000කට වැඩි පිරිසක් මරු දකිති.
ඇබ්බැහි වීමකට හේතු වන ද්‍රව්‍ය සම්බන්ධයෙන් අප කලින් දුන් විස්තරයට අනුව, තේ සහ කෝපිවල අඩංගු කැෆේන්ද ඒ ගණයට වැටේ. කෙසේවෙතත්, උදෑසන අවදි වන විට පානය කිරීමට පුරුදු වී තිබෙන තේ හෝ කෝපි කෝප්පයක් ඇබ්බැහි කරවනසුලු ද්‍රව්‍යයක් ලෙස කවුරුත් නොසලකනවා වන්නට පුළුවන. ඇත්තෙන්ම තේ හෝ කෝපි වැනි සමාජයේ පිළිගත් පානයන් හෙරොයින් වැනි ඉතා අන්තරාදායක මත්ද්‍රව්‍ය ගණයට දැමීම විහිළුවකි. එසේ කිරීම, අහිංසක පූස් පැටියෙකු ගොරවන රෞද්‍ර සිංහයෙකුට සමාන කරන්නාක් මෙනි! කෙසේවෙතත්, ඇතැම් සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව, ඔබ පුරුද්දක් වශයෙන් දිනකට කෝපි කෝප්ප පහක් නැතහොත් තේ කෝප්ප නවයක් පානය කළහොත්, එය හානිකර විය හැකිය. එපමණක්ද නොව, ඔබ අධික ලෙස කෝපි හෝ තේ පානය කරන කෙනෙක් නම්, එක වරම එය නතර කර දැමුවොත්, ඔබට යම් විරමණ ලක්ෂණ (ඇබ්බැහි කරවන ද්‍රව්‍යයක් සිරිත් පරිදි නොගත් විට මතු වන කායික හා මානසික ලක්ෂණ) අද්දැකීමට සිදු විය හැක. තේ පානයට පුරුදු වූ කෙනෙකු එය නතර කළ විට ඔහු අද්දුටු දේවල් සලකා බලන්න. ඔහු වමනය දැමීමට පටන්ගත් අතර, දැඩි හිසරදයකින් පීඩා වින්දේය. තවද ඔහුගේ ඇස්වලට ආලෝකය දරාගත නොහැකි විය.
තහනම් ඖෂධ භාවිතය ගැන කුමක් කිව හැකිද?
සෑහෙන මතභේදයකට තුඩු දී ඇති විෂයක් වන්නේ, ක්‍රීඩා ක්ෂේත්රයෙහි තහනම් ඖෂධ නැතහොත් උත්තේජක භාවිතයයි. උදාහරණයකට 1998 ටුවර් ඩි ෆ්‍රොන්ස් පාපැදි තරඟයෙහි හොඳම කණ්ඩායමේ තරඟකරුවන් නවදෙනෙකුව තරඟයෙන් ඉවත් කිරීමට සිදු වූයේ තහනම් උත්තේජක භාවිත කිරීම හේතුවෙනි. එනමුත් මෙම ඖෂධ ගෙන ඇද්දැයි සෙවීමට කරන පරීක්ෂණවලින් බේරීමට මලල ක්‍රීඩකයන් නොයෙකුත් ක්‍රම අත්හදා බලා ඇත. ටයිම් සඟරාවෙහි පවසන පරිදි, ඇතැම් අය කොතරම් දුරදිග ගොස් ඇද්ද කිවහොත් ඔවුන් “වෙනත් අයෙකුගේ ‘පිරිසිදු’ මූත්‍රා, කැතීටරයක් මාර්ගයෙන් තමන්ගේ මූත්‍රාශයට ඇතුල් කර (මෙය ඉමහත් වේදනා ගෙන දෙන්නකි), පරීක්ෂණය සඳහා පෙනී සිට ඇත.”
අනික් අතට “විනෝදය” සඳහා භාවිත කරන තැතිගන්වනසුලු විවිධ මත්ද්‍රව්‍ය ගැන කුමක් කිව හැකිද? මරිජුවානා, එක්ස්ටසි (මෙතිලෙනඩයොක්සි-මෙතැම්ෆිටමින්, නැතහොත් MDMA), එල්.එස්.ඩී. (ලයිසර්ජික් ඇසිඩ් ඩයිඑතිලමයිඩ්), උත්තේජක (කොකේන් සහ ඇම්ෆෙටමින), අවපීඩක (ශාන්තිකාරක) සහ හෙරොයින් මෙම ගණයට වැටේ. ඒත් සමඟම යෞවන පරපුර අතර ජනප්‍රිය, ග්ලූ සහ පැට්‍රෝල් වැනි විවිධාකාර ආඝ්රාහකයන්ද අමතක නොකළ යුතුය. මෙම ආඝ්රාහකයන් තහනම් ද්‍රව්‍යයන් නොවන නිසා, පහසුවෙන් ලබාගත හැකිය.
සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු සම්බන්ධයෙන් අපගේ මනසේ ඇඳෙන්නේ මුඩුක්කුවක බිම වැතිරී, කටුවකින් මත්ද්‍රව්‍ය ශරීරගත කරන ඉතා කෙට්ටු
පුද්ගලයෙකුගේ පින්තූරයකි. එනමුත්, මත්ද්‍රව්‍ය ගන්නා බොහෝදෙනෙක් සෑහෙන දුරකට සාමාන්‍ය ජීවිත ගත කරති. කෙසේවෙතත්, ඔවුන්ගේ පුරුද්ද, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයට යම් ආකාරයකින් අහිතකර ලෙස බලපායි. ඒ නිසා, එම අඳුරු පැත්තේ බරපතළකම අප සුළු කොට නොතැකිය යුතුය. කොකේන්වලට ඇබ්බැහි වූ ඇතැම් අය “කෙටි කාලයක් තුළ කිහිප වතාවක්ම කොකේන් ශරීරගත කරන” බව එක් ලේඛකයෙක් විස්තර කළේය. “අන්තිමේදී ඔවුන්ගේ සිරුරු ඉඳි කටු සලකුණු සහිත, තුවාල වුණු සහ ලෙයින් තැවරුණු මස් ගොඩක් බවට පත් වෙනවා” කියා ඔහු පවසයි.එක්දහස් නවසිය අසූගණන්වල අගභාගයේ මත්ද්‍රව්‍ය භාවිතය මදක් අඩු වූ බවක් පෙනෙන්නට තිබුණත්, දැන් එය ලොව පුරා නැවතත් හිස ඔසවා ඇති බවක් පෙනේ. නියුස්වීක් සඟරාවෙහි මෙසේ පැවසේ. “මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබල වර්ධනයද, සෑම වර්ගයකම මත්ද්‍රව්‍ය භාවිතයේ වැඩිවීමද, එය පිටුදැකීමට අවශ්‍ය අරමුදල් සහ තොරතුරුවල ඉමහත් හිඟයද නිසා බලධාරීන් කිසිවක් කර කියා ගත නොහැකි තත්වයකට පත්ව ඇත.” ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව “දකුණු අප්‍රිකාවේ වෙසෙන සෑම පුද්ගලයන් සතරදෙනෙකුගෙන් එක්කෙනෙකු මත්පැන්වලට හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත.” මෙය හෙළි කර තිබුණේ දකුණු අප්‍රිකාවේ ජොහැනිස්බර්ග් නගරයේ පළ වන ද ස්ටාර් පුවත්පතෙහිය.
එක්සත් ජාතීන්ගේ සමාජ සංවර්ධන පර්යේෂණ ආයතනය මෙලෙස කරුණු හෙළි කරයි. “මත්ද්‍රව්‍ය නිෂ්පාදකයන් සහ ජාවාරම්කරුවන් . . . ජාත්‍යන්තර මට්ටමින් කොතරම් හොඳින් සංවිධානය වී ඇද්ද කිවහොත්, ඔවුන්ගේ ජාවාරමින් ලැබෙන ලාභවලින් සෑහෙන කොටසක් මූල්‍ය ආයතනවල ආයෝජනය කර තිබේ. එමනිසා, ඔවුන්ගේ ජාවාරම් කාටත් හොරා සිදු වන අතර, ආයෝජනයෙන් හොඳ ප්‍රතිලාභද ලබාගත හැකි වේ. . . . එමෙන්ම, තමන් නීතිවිරෝධී ලෙස ලැබූ ලාභ බලධාරීන්ගේ අනුදැනුම නොමැතිව ලොව පුරා ඕනෑම තැනකට විද්‍යුත් මාධ්‍ය ආධාරයෙන් මාරු කරන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පුළුවන.”
ඩිස්කවර් සඟරාවෙහි පළ වූ ලිපියක කියා සිටියේ අමෙරිකානු මුදල් නෝට්ටු බොහොමයක කොකේන් අංශු තැවරී ඇති බවයි. මේ නිසා අමෙරිකානු ජාතිකයන් නොදැනුවත්ව දිනපතාම කොකේන් තම අතට ගන්නා බවක් පෙනේ.
ඖෂධ සහ මත්ද්‍රව්‍ය භාවිතය දැන් බොහෝදෙනෙකු විසින් පිළිගන්නා යමක් බවට, එනම් එදිනෙදා ජීවිතයේ සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දෙයක් බවට පත් වී තිබේ. මත්ද්‍රව්‍ය, දුම්කොළ සහ මත්පැන් හේතුවෙන් සිදු වන බරපතළ හානි ගැන සියලුදෙනාම පාහේ දැනුවත් වී තිබුණද, පුද්ගලයන් ඒවා අනිසි ලෙස භාවිත කරන්නේ මන්ද යන ප්රශ්නය මතු වේ. මෙම ප්රශ්නය ගැන සිතන අතරම මෙවැනි ඇබ්බැහි කරවනසුලු ද්‍රව්‍යයන් සම්බන්ධයෙන් අප පෞද්ගලිකව දරන ආකල්පය ගැන සලකා බැලීමද සුදුසුය.
[පාදසටහන]
a එක දිගටම මත්පැන් අධික ලෙස පානය කිරීම යන්නෙන් අදහස් කරන්නේ ‘පුරුෂයන් විසින් එක දිගටම විදුරු පහක් සහ ස්ත්‍රීන් විසින් එක දිගටම විදුරු සතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පානය කිරීමයි.’
[3වන පිටුවේ පින්තූරය]
බොහෝ විශ්වවිද්‍යාලවල, එක දිගට මත්පැන් අධික ලෙස පානය කිරීම බරපතළ ගැටලුවක් වී ඇත
[5වන පිටුවේ පින්තූරය]
බොහෝදෙනෙක් දුම්වැටි සහ “විනෝදය” සඳහා මත්ද්‍රව්‍ය භාවිතය හානියක් නැති දෙයක් හැටියට සලකති