Skip to content

පටුනට යන්න

දෙවි මගේ යාච්ඤාවලට ඇහුම්කන් දේවිද?

දෙවි මගේ යාච්ඤාවලට ඇහුම්කන් දේවිද?

යෞවන අය අසති . . .

දෙවි මගේ යාච්ඤාවලට ඇහුම්කන් දේවිද?

“යෙහෝවා මගේ හොඳම මිතුරා නිසා මම හැම දෙයක් ගැනම යාච්ඤාවෙන් ඔහුට කියනවා. මට ප්‍රශ්නයක් ඇති වුණොත් ඔහු උපකාර කරනවා කියලා මට හොඳටම විශ්වාසයි.”—ඇන්ඩ්‍රියා.

තරුණ ඇන්ඩ්‍රියාට නම් ඇගේ යාච්ඤා දෙවි අසන බව හොඳටම විශ්වාසයි. නමුත් බොහෝ යෞවනයන්ට එවැනි විශ්වාසයක් නැහැ. සමහරෙකුට හැඟෙන්නේ දෙවි බොහෝ දුර ඈත සිටින ළඟා විය නොහැකි කෙනෙකු ලෙසයි. දෙවි ඔවුන් ගැන සලකනවාද යන්න ගැන සැක සහිතව සිටින නිසා යාච්ඤා කිරීමෙන් ප්‍රයෝජනයක් තිබේවිද කියා ඔවුන් කල්පනා කරනවා.

සරලවම පවසනවා නම් යාච්ඤාවේ අරමුණ වන්නේ දෙවි සමඟ මිත්‍රකමක් ඇති කරගැනීමයි. ‘ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාස කරන්නෝය’ කියා ගීතිකාකරු යාච්ඤා කළා. (ගීතාවලිය 9:10) ඔබ ගැන කුමක් කිව හැකිද? යාච්ඤාවකින් දෙවි වෙතට එළඹීමට තරම් ඔහු කෙරෙහි විශ්වාසයක් ඔබට තිබෙනවාද? මෙම ලිපිය තවදුරටත් කියවීමට පෙර, “ඔබ කොතරම් දුරකට දෙවිව දැනහඳුනා ගෙන තිබෙනවාද?” යන මාතෘකාවෙන් යුත් කොටුව කියවා බලන්න. එමෙන්ම ඔබට කොපමණ ප්‍රශ්න ගණනකට පිළිතුරු දිය හැකිද කියාත් බලන්න.

ඔබ කොතරම් දුරකට දෙවිව දැනහඳුනා ගෙන තිබෙනවාද? පිළිතුරු සඳහා 18වන පිටුව බලන්න.

1. දෙවිගේ නම කුමක්ද සහ එහි අරුත කුමක්ද?

2. බයිබලයේ පවසන පරිදි දෙවිගේ ප්‍රධාන ගුණාංග හතර කුමක්ද?

3. මනුෂ්‍යයා සඳහා ඇති තම ප්‍රේමය දෙවි පෙන්වා ඇති විශිෂ්ටතම ආකාරය කුමක්ද?

4. දෙවි සමඟ මිත්‍රකමක් ඇති කරගන්නේ කෙසේද?

5. අප යාච්ඤා කරන විට අපට තිබිය යුතු නිවැරදි ආකල්පය කුමක්ද?

මෙම ලිපිය කියවීමට පළමුවෙන් එම කොටුවේ තිබූ ප්‍රශ්න කිහිපයකට හෝ පිළිතුරු දීමට ඔබට හැකියාවක් තිබුණාද? එසේ නම් එයින් ඇඟවෙන්නේ ඔබ වෙනත් අයට වඩා දැනටමත් දෙවි ගැන යමක් දන්න බවයි. සමහරවිට ඔබේ පිළිතුරුවලින් ඔබ තවදුරටත් දෙවිට සමීප වීම සඳහා දැනුම ලබාගත යුතුයි කියා ඇඟවෙනවා වෙන්න පුළුවන්. (යොහන් 17:3) එසේ නම්, එය මනසේ තබාගෙන “යාච්ඤා අසන” දෙවි ගැන බයිබලයේ උගන්වන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමු.—ගීතාවලිය 65:2.

දෙවි සැබෑ පුද්ගලයෙක්

දෙවි අපුද්ගල බලවේගයක් නොවෙයි කියා බයිබලයේ අපට උගන්වනවා. ඔහුගේ නම යෙහෝවා. ඔහු පුද්ගලයෙක්. (ගීතාවලිය 83:17) හෙබ්‍රෙව් භාෂාවට අනුව ඔහුගේ නමෙහි තේරුම වන්නේ “ඔහු සිදුවීමට සලස්වයි” යන්නයි. එයින් පෙන්වන්නේ ඔහුගේ අරමුණු ඉටු කරගැනීම සඳහා ඔහු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි. අපුද්ගල බලවේගයකට එවැනි දෙයක් කරන්න බැහැ. එමනිසා ඔබ යාච්ඤා කරන විට ඔබ කතා කරන්නේ නිකම්ම බලයකට හෝ සුළඟට නොවන බවට ස්ථිර විය හැකියි. ඔබ කතා කරන්නේ ඔබට ඇහුම්කන් දිය හැකි ඒ වගේම ඔබට ප්‍රතිචාරය දැක්විය හැකි පුද්ගලයෙකුටයි.—එපීස 3:20.

යෞවනියක් වන ඩයනා මෙසේ පවසනවා. “මම කොහේ හිටියත් යෙහෝවා මට ඇහුම්කන් දෙනවා කියලා මම දන්නවා.” එවැනි විශ්වාසයක් ගොඩනඟාගැනීමට නම් දෙවි ඔබට සැබෑ පුද්ගලයෙක් විය යුතුයි. ‘මක්නිසාද දෙවි වෙතට ළඟාවෙන්නා විසින් ඔහු විද්‍යමාන බව විශ්වාස කළ යුතුයි.’—හෙබ්‍රෙව් 11:6.

ප්‍රඥාවේ සහ බලයේ උල්පතක්

දෙවිට අතිවිශාල බලයක් තිබෙන නිසා අපට උපකාර කිරීමට ඔහුට හැකියි. විශ්වයේ සංකීර්ණත්වය සහ විශාලත්වය දෙස බලන විට එම බලය අසීමිත බව තේරුම්ගන්න අපට පුළුවන්. ගණන් කළ නොහැකි තරු බිලියන ගණනක් තිබුණත් යෙහෝවා හැම තරුවක්ම නමින්ම දන්නවා කියා බයිබලයේ පවසනවා! වැදගත්ම දෙය වන්නේ එම තරුවල ඇති බලයේ උල්පත ඔහු වීමයි. (යෙසායා 40:25, 26) එය ඔබව පුදුමයට පත් කරවන්නේ නැද්ද? මෙම තොරතුරු පුදුම සහගත වුවත් ‘මේවා ඔහුගේ බලයේ අල්පමාත්‍රයක් පමණයි’ කියා බයිබලයේ පවසනවා.—යෝබ් 26:14.

යෙහෝවාගේ අසීමිත ප්‍රඥාව ගැනද සලකා බලන්න. ඔහුගේ සිතුවිලි “ඉතා ගැඹුරුය” කියා බයිබලයේ පවසනවා. (ගීතාවලිය 92:5) ඔහු අපගේ මැවුම්කරු නිසා අපි අපව තේරුම්ගන්නවාට වඩා හොඳින් ඔහුට අපව තේරුම්ගැනීමට හැකියාවක් තිබෙනවා. (ගීතාවලිය 100:3) ඔහු “සදාකාලයෙන් සදාකාලයටම” ජීවත් වී ඇති නිසා ඔහුට අද්දැකීම් කන්දරාවක් තිබෙනවා. (ගීතාවලිය 90:1, 2) ඔහුට තේරුම්ගත නොහැකි කිසිම දෙයක් නැහැ.—යෙසායා 40:13, 14.

යෙහෝවා තමා සතු සියලු බලයත් ප්‍රඥාවත් පාවිච්චි කරන්නේ කොහොමද? ඒ පිළිබඳ 2 ලේකම් 16:9හි මෙසේ පවසා තිබෙනවා. ‘යෙහෝවා කෙරෙහි සම්පූර්ණ හෘද ඇත්තන්ට පිහිට වෙන පිණිස ඔහුගේ බලය පාමින්, ඔහුගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවන්නේය.’ ඇත්තම කියනවා නම් දෙවිට උපකාර කළ නොහැකි හෝ විසඳිය නොහැකි කිසිම ප්‍රශ්නයක් ඔබට තිබිය නොහැකියි. කෙලා නමැති තරුණිය මෙසේ සිහිපත් කරනවා. “ළඟදී මගේ පවුලේ අයයි මමයි ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. එතකොට මම යෙහෝවාට යාච්ඤා කළා. ප්‍රශ්නයට මුහුණ දෙන්න ඔහු අපිට උදව් කළා කියලා මට විශ්වාසයි. නැත්නම් අපිට කවදාවත් ඒ අවස්ථාවේදී ඇති වුණ දුක දරාගන්න බැරි වෙනවා. අපිට අවශ්‍ය ශක්තිය ඔහු අපිට දුන්නා.” ඔබ දෙවිට කතා කරනවා කියන්නේ ඔබ ප්‍රඥාවේ උල්පතට අඬගසනවා කියන එකයි. ඊටත් වඩා හොඳ දෙයක් තවත් තිබෙනවාද?

ප්‍රේමයේ සහ යුක්තියේ දෙවි කෙනෙක්

ඔබට උපකාර කිරීමට දෙවි කැමතියි කියා ඔබ දන්නේ කොහොමද? යෙහෝවා තමන්වම හඳුන්වා දී ඇති ආකාරයෙනුයි. යෙහෝවා තමන්ව හඳුන්වා දීමේදී තමන් සතු මහත් බලයවත් ප්‍රඥාවවත් යුක්තියවත් තෝරා නොගෙන ප්‍රේමය නමැති ගුණංගයෙන් තමන්ව හඳුන්වා දෙයි. පළමුවන යොහන් 4:8හි පවසන්නේ ‘දෙවි ප්‍රේමයය’ කියායි. මේ හේතුව නිසා දෙවි අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන බව අපිට විශ්වාස කරන්න පුළුවන්. ඔහු ප්‍රේමය පෙන්වූ උතුම්ම ආකාරය වූයේ අපට සදාකාල ජීවනය භුක්ති විඳීමට මඟ සලසවමින් ඔහුගේ පුත්‍රයාව මිදීමේ පූජාවක් හැටියට ලබා දීමයි.—යොහන් 3:16; 1 යොහන් 4:9, 10.

දෙවි ප්‍රේමනීය කෙනෙක් නිසා ඔහු ඔබව නොසලකා හරියි කියා හෝ ඔබට අයුක්තියක් කරයි කියා හෝ බියවීමට කිසිදු හේතුවක් නැහැ. ද්විතීය කතාව 32:4හි පවසන්නේ ‘ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය’ කියායි. දෙවි ඔබට දක්වන ප්‍රේමය නිසා ඔහු ඔබට ඇහුම්කන් දෙන බවට සහතික විය හැකියි. මේ නිසා අපගේ රහස්‍ය සිතුවිලි සහ හැඟීම් පවා දෙවිට විශ්වාසයෙන් යුතුව පවසන්න පුළුවන්.—පිලිප්පි 4:6, 7.

දෙවි සමඟ මිත්‍රකම

යෙහෝවා තමා සමඟ කතා කිරීමට අපට ආරාධනා කරනවා. අප සමඟ අමුත්තෙකු ලෙස කටයුතු කිරීමට ඔහුට උවමනා නැහැ. මනුෂ්‍ය ඉතිහාසය පුරා යෙහෝවා තමන්ගේ මිතුරන් වීමට මිනිසුන්ට ආරාධනා කර තිබෙනවා. යෙහෝවාගේ සිත සතුටු වන ආකාරයට ඔහු සමඟ මිත්‍රත්වයක් භුක්ති විඳි අය අතර ස්ත්‍රී පුරුෂ බාල මහලු අය ඉඳ තිබෙනවා. ඒ අය අතර ආබ්‍රහම්, දාවිත් රජ සහ යේසුස්ගේ මව වූ මරියා වැනි අය සිටිනවා.—යෙසායා 41:8; ලූක් 1:26-38; ක්‍රියා 13:22.

ඔබටත් යෙහෝවාගේ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. නමුත් එවැනි මිත්‍රකමක් ඇති කරගන්නවා කියන්නේ යෙහෝවාව ක්ෂණික විසඳුම් දෙන විජ්ජාකරුවෙකු වශයෙන් සලකමින්, ඔබට යමක් ලබාගන්න හෝ ප්‍රශ්නයක් විසඳගන්න අවශ්‍ය වූ විට පමණක් ඔහු වෙතට පිවිසීම නොවෙයි. අපේ අවශ්‍යතා ඉල්ලීමට පමණක් යාච්ඤාව සීමා කරන්න අපට බැහැ. දෙවිගේ මිත්‍රයෙක් වෙන්න අවශ්‍ය නම් අපේම ඕනෑ එපාකම් ගැන පමණක් නොව දෙවිගේ කැමැත්ත පිළිබඳවත් උනන්දුවක් දැක්විය යුතුයි. ඒ වගේම අපි දෙවිගේ කැමැත්ත ඉටු කළ යුතුයි. (මතෙව් 7:21) යාච්ඤාවලදී දෙවි වැදගත් කොට සලකන දේවල්වලට මුල් තැන දෙන්න කියා යේසුස් තම ගෝලයන්ට ඉගැන්වුවා. ඔහු මෙසේ පැවසුවා. “ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමය ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.” (මතෙව් 6:9, 10) අපේ යාච්ඤා දෙවිට කරන ප්‍රශංසා සහ ස්තුති දීම්වලින් පිරී තිබිය යුතුයි!—ගීතාවලිය 56:12; 150:6.

අපේ අවශ්‍යතා සහ අප සැලකිලිමත් වන දේවල් යාච්ඤා කිරීමට තරම් වටින දේවල් නෙවෙයි කියා අප කිසිවිටෙක සිතිය යුතු නැහැ. “මම හැම දෙයක්ම දෙවිට විවෘතව කියනවා. ඒත් දෙවිට බොරු දේවල්වලට කරදර කරන එක සුදුසු නැහැයි කියලා සමහරක් වෙලාවලට මට හිතෙනවා” කියා ස්ටීව් පවසනවා. ඔබට එසේ හැඟෙන විට යේසුස් ඔහුගේ ගෝලයන්ට ඉගැන්වූ මතු දැක්වෙන දෙය සිහියට නඟන්න. “ගේ කුරුල්ලන් පස් දෙනෙක් ශත දෙකකට නොවිකුණද්ද? උන්ගෙන් එකෙක්වත් [දෙවි] ඉදිරියෙහි මතකනැති නොවන්නේය. . . . භය නොවන්න. නුඹලා බොහෝ ගේ කුරුල්ලන්ට වඩා අගේය.” (ලූක් 12:6, 7) ඇත්තෙන්ම එම අදහස සිතට සහනයක් නොවෙයිද?

මෙයින් එක් දෙයක් පැහැදිලියි. එනම්, ඔබ යෙහෝවා ගැන තව තවත් දැනුම ලබාගනිද්දී ඔබ යාච්ඤාව තුළින් ඔහුට ළං වෙන අතර, ඔබට උපකාර කිරීමට යෙහෝවාට පුළුවන් බවටත් එසේ කිරීමට ඔහු කැමති බවටත් ඔබ තුළ නිසැකකමක් ඇති වෙනවා. ඔබ යාච්ඤාවෙන් දෙවිට ළං වන විට ඔබට කුමනාකාරයේ මානසික ආකල්පයක් තිබිය යුතුද කියා අපි සලකා බලමු. ඔබ ගෞරවනීය සහ නිහතමානි විය යුතු අතර ආත්මාර්ථකාමි නොවිය යුතුයි. උදාහරණයකට මෙසේ සිතන්න. යම් උසස් නිලධාරියෙක් වෙතට ගොස් කිසිම ගෞරවයක් නොමැතිව හෝ උඩඟු ලෙස යම් ඉල්ලීමක් ඔබ කළහොත් ඔහු ඔබට ඇහුම්කන් දේවිද? එසේ නම් යෙහෝවා ඔබේ යාච්ඤාවලට ඇහුම්කන් දීමට පෙර ඔහුට සහ ඔහුගේ ප්‍රමිතිවලට ඔබ ගෞරවය දැක්විය යුතුයි කියා ඔහු ඔබෙන් බලාපොරොත්තු වීම ගැන පුදුම වෙන්න අවශ්‍ය නැහැ.—හිතෝපදේශ 15:29.

දේවභයැති යෞවන යෞවනියන් දහස් ගණනක් දෙවි ඉදිරියෙහි තම හෘදය වැගිරවීමට ඉගෙනගෙන තිබෙනවා. (ගීතාවලිය 62:8) “යෙහෝවා මගේ යාච්ඤාවලට පිළිතුරු දෙන කොට ඔහු මගේ මිතුරා කියලා මට හැඟෙනවා. ඒක මට ලොකු දිරිගැන්වීමක්” කියා බ්‍රෙට් පවසනවා. ඔබ ගැන කුමක් කිව හැකිද? එයාකාර මිතුරුකමක් දෙවි සමඟ ඇති කරගැනීමට ඔබට හැක්කේ කෙසේද? ක්‍රිස්තියානි යෞවනියන් දෙදෙනෙක් පහත දැක්වෙන අදහස් ඉදිරිපත් කරනවා.

රේචල්: “මට හිතෙන විදිහට දෙවිට ළං වෙන්න නම් ඔහුගේ වචනය ගැඹුරින් පාඩම් කරන්න අවශ්‍යයි. ඒ හින්දා ඒ සඳහා ආශාවක් වර්ධනය කරගන්න මං වෑයමක් දරනවා.”—1 පේතෘස් 2:3.

ජෙනී: “යෙහෝවාගේ සේවයේ වැඩි වැඩියෙන් හවුල් වෙන කොට ඔහුට තවත් කිට්ටු වෙන බව මට හැඟෙනවා.”—යාකොබ් 4:8.

ඔබ කවදා හෝ යාච්ඤා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන කල්පනා කර තිබෙනවාද? එක් ක්‍රිස්තියානි යෞවනියක් මෙසේ පැවසුවා. “දෙවි මට කතා කරනවා නම් හරි මට පණිවුඩයක් එවනවා නම් හරි ඔහු මට ළං වෙලා තියෙනවා කියලා මට හැඟේවි.” ඇත්තටම යෙහෝවා අප යාච්ඤා කරන විට වාචිකව පිළිතුරු දෙන්නේ නැහැ. එසේ නම් යාච්ඤා කිරීමෙන් ප්‍රයෝජනයක් තිබෙනවාද? ඒ ගැන අපි මතු ලිපියකින් සාකච්ඡා කරමු.

[18වන පිටුවේ කොටුව]

16වන පිටුවේ තිබෙන ප්‍රශ්න සඳහා පිළිතුරු

1. යෙහෝවා. එහි අර්ථය “ඔහු සිදුවීමට සලස්වයි” යන්නය.

2. ප්‍රේමය, බලය, යුක්තිය සහ ප්‍රඥාව.

3. අප වෙනුවෙන් මරණය විඳීමට ඔහුගේ ඒකජාතක පුත්‍රයා වූ යේසුස්ව එවීම.

4. අපේම ඕනෑ එපාකම් ගැන පමණක් සැලකිලිමත් නොවී දෙවිගේ කැමැත්ත සහ එය ඉටු කිරීම ගැන සැලකිලිමත් විය යුතුයි.

5. අප නිහතමානි සහ ගෞරවනීය විය යුතු අතර ආත්මාර්ථකාමි නොවිය යුතුයි.

[17වන පිටුවේ පින්තූර]

බයිබලය අධ්‍යයනය කිරීමෙන් සහ මැවිල්ල තුළින් ඉගෙනගත හැකි දේවල් මගින් දෙවිව වඩාත් හොඳින් හඳුනාගත හැකියි