Skip to content

පටුනට යන්න

මත්ද්‍රව්‍ය උවදුරට පිළියමක් ඇත!

මත්ද්‍රව්‍ය උවදුරට පිළියමක් ඇත!

මත්ද්‍රව්‍ය උවදුරට පිළියමක් ඇත!

“වයින් බෝතල්වලින් විශාල කොකේන් තොගයක් හසු වේ!” එම සිරස්තලය යටතේ පළ වූ පුවත්පත් වාර්තාවේ, දකුණු අප්‍රිකාවේ ජොහැනිස්බර්ග්හි පොලිසිය, නැව්ගත කළ දකුණු අමෙරිකානු වයින් බෝතල් 11,600ක් අඩංගු කන්ටේනරයක් රාජසන්තක කළ ආකාරය පැහැදිලි කෙරිණ. වයින් සමඟ කොකේන් කිලෝග්‍රෑම් 150ත් 180ත් අතර ප්‍රමාණයක් මිශ්‍ර කර තිබිණ. මෙතෙක් රට තුළට ඇතුල් වූ විශාලතම කොකේන් තොගය එය බවට විශ්වාස කෙරේ.

මත්ද්‍රව්‍ය මෙලෙස හසුවීම සියලුදෙනාගේ සතුටට හේතුවක් වුවද, එසේ පොලිසියට හසු වන්නේ ලොව පුරා හුවමාරු වන මත්ද්‍රව්‍යවලින් සියයට 10 සිට 15 දක්වා සුළු ප්‍රමාණයක් පමණි. මෙය උයන්පල්ලෙකු ශීඝ්‍රයෙන් වැඩෙන වල් පැළයක කොළ කිහිපයක් කඩා එහි මුල් පවතින්නට ඉඩහරිනවා වැනි නිෂ්ඵල ක්‍රියාවකට සමාන කළ හැකිය.

මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ අළෙවිය මර්දනය කිරීමට ආණ්ඩු දරන ප්‍රයත්නයන්ට බාධාවක් වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නෙළාගත හැකි විශාල ප්‍රතිලාභයි. නිදසුනකට අමෙරිකා එක්සත් ජනපදයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින ගනුදෙනුකරුවන් අතර වාර්ෂිකව හුවමාරු වන මුදල්වල වටිනාකම ඩොලර් බිලියන ගණනකි. මෙතරම් විශාල මුදලක් හුවමාරු වන නිසා පොලිසිය, ආණ්ඩුවේ නිලධාරීන් හා උසස් නිලතල දරන කිහිපදෙනෙකු පවා මුදල් පහසුවෙන් ඉපයීමේ පරීක්ෂාවට හසු වන එක පුදුමයට හේතුවක් නොවේ.

ද ගාඩියන් නමැති සතිපතා පුවත්පතේ වාර්තාකරුවෙකු වන ඇලෙක්ස් බෙලොස් බ්‍රසීලයේ පාර්ලිමේන්තු විමසුමකදී හෙළි වූ දේ මෙසේ වාර්තා කරයි. “බ්‍රසීලයේ සංවිධානාත්මක මට්ටමින් සිදු වන අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයයි සැක කරන 800 ඉක්මවූ පිරිස අතරට කොන්ග්‍රස් මණ්ඩලයේ තිදෙනෙකුගේ, මන්ත්‍රීවරුන් 12දෙනෙකුගේ සහ නගරාධිපතීන් තිදෙනෙකුගේ නම්ද ඇතුළත් කර තිබිණ.” එම ලැයිස්තුවට “ප්‍රාන්ත 27න් 17කම පොලිස් නිලධාරීන්, නීතිඥයන්, ව්‍යාපාරිකයන් සහ ගොවිපොළවල් අයිතිකරුවන්ද” ඇතුළත් විය. මෙම වාර්තාවෙහි තොරතුරු සම්බන්ධයෙන් බ්‍රසීලියා සරසවියේ දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්යවරයෙක් මෙසේ පැවසීය. “ඇත්තෙන්ම බ්‍රසීල සමාජයේ සෑම පාර්ශ්වයකටම මෙය මහත් නින්දාවකි.” මත්ද්‍රව්‍ය ප්‍රශ්නය ගැඹුරින් මුල් බැසගෙන තිබෙන සමාජයන් බොහොමයක් සම්බන්ධයෙන්ද එම දෙයම පැවසිය හැක. ඇත්තෙන්ම ගැටලුව දිගටම පවතින්නේ ඒ සඳහා වෙළඳපොළේ ප්‍රබල ඉල්ලුමක් ඇති නිසාත්, ඊට සරිලන සැපයුමක් ඇති නිසාත්ය.

නීතික තහංචිවලින් අරමුණු කළ දේ ඉටු වී නොතිබෙන නිසා, ඇතැම් මත්ද්‍රව්‍ය නීත්‍යනුකූල කළ යුතුයයි ඇතැම්හු පවසති. ඔවුන් පවසන්නේ, පෞද්ගලික පාවිච්චිය සඳහා පුද්ගලයන්ට සුළු ප්‍රමාණයක් තමන් ළඟ තබාගැනීමට ඉඩ දිය යුතු බවයි. එවන් දෙයක් සිදු වූවා නම්, මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීමට ආණ්ඩුව සතු කාර්යය තවත් පහසු වන අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලබන විශාල ප්‍රතිලාභ අඩු කරගත හැකියි කියාද විශ්වාස කෙරේ.

ඇතමුන් ඉන් ගැළවේ!

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ව එම ග්‍රහණයෙන් මුදාගැනීමට විෂහරණය උපකාරවත් විය හැකිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයේ වර්ධනයක් දැකිය හැක. එනමුත් කනගාටුදායක දෙය වන්නේ, එවැනි කෙනෙකුට යළිත් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමට ප්‍රස්තාවක් උදා වූ විට ඔහු මත්ද්‍රව්‍ය ගැනීමට නැවත පෙලඹීමයි. මීට හේතුව ලේඛක ලුවීජි සෝජා මෙසේ පෙන්වා දෙයි. “රෝගියාගේ දිවියට සම්පූර්ණයෙන් අලුත් මුහුණුවරක් දුන්නේ නැත්නම්, ඔහුගේ අතීත චර්යා රටාව ඉවත් කිරීම අපහසුය.”

කලින් ලිපියේ සඳහන් වූ ඩැරන්ගේ දිවියට “අලුත් මුහුණුවරක්” ලබා දෙන ලදි. මෙය ඔහුගේ ජීවිතය වෙනස් කිරීමට තුඩු දුන්නේය. අපි ඔහුගේ අදහස්වලට සවන් දෙමු. “සියලුදෙනාම මාව හඳුනාගෙන සිටියේ අදේවවාදියෙක් හැටියටයි. එනමුත් උදේ ඉඳන් රෑ වෙනකම් මත්ද්‍රව්‍ය අරගෙන හිටියට, කාලයක් යද්දි දෙවි කෙනෙක් සිටිය යුතු බව මට තේරුණා. මාස දෙක තුනක කාලයක් තිස්සේ මම මත්ද්‍රව්‍යවලින් බේරෙන්න හැදුවත්, මගේ යාළුවන්ගෙන් බේරෙන්න බැරි වුණා. මත්ද්‍රව්‍ය ගත්තත්, නිදාගන්න යන්න ඉස්සෙල්ලා මම හැමදාම වගේ බයිබලය කියවන්න පටන්ගත්තා. මගේ යාළුවන් එක්ක තිබුණු ආශ්‍රයත් හෙමින් හෙමින් අඩු කළා. එක දවසක් හැන්දෑවක මමයි මගේ කාමරේ හිටපු යාළුවයි ගොඩක් මත් වෙලා හිටියා. ඒ වෙලාවේ මම එයාට බයිබලය ගැන කිව්වා. ඊළඟ දවසේ උදේ එයා එයාගේ අයියාට කෝල් එකක් දුන්නා. ඒ අයියා යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. අයියා අපි හිටපු නගරයේ සාක්ෂිකරුවෙක්ගේ නම දුන්නා. පස්සේ මම එයාව බලන්න ගියා.

“අපි රෑ එකොළහ වෙනකං කතා කළා. එහෙං එනකොට බයිබලය පාඩම් කරන්න උදව් වෙන පොත් තොගයක්ම මම අරන් ආවා. මම මේ සාක්ෂිකරුවා එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තට පස්සේ, මත්ද්‍රව්‍ය සහ සිගරට් බොන එක නතර කරන්න මට පුළුවන් වුණා. මාස නවයකට විතර පස්සේ මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියට බව්තීස්ම වුණා.”

මත්ද්‍රව්‍ය ගැනීමේ පුරුද්දෙන් මිදීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. වසර 11ක් පුරා මත්ද්‍රව්‍ය ගෙන නතර කළායින් පසු තමාට මුහුණ දීමට සිදු වූ අපහසුතා ගැන කලින් ලිපියෙහි සඳහන් කළ මයිකල් මෙසේ පැහැදිලි කරයි. “මට සෑහෙන්න අමාරු වුණා කන්න. ඒ නිසා මගේ ඇඟේ බර අඩු වෙන්න පටන්ගත්තා. මගේ ඇඟ හිරි වැටුණා. දාඩිය දැම්මා. ඒ වගේම මිනිස්සු වටේ රැස් විහිදෙනවා වගේ දැක්කා. ආපහු මත්ද්‍රව්‍ය ගන්න පුදුම ආශාවක් තිබුණේ. කොහොම වුණත් මම යාච්ඤාවෙන් යෙහෝවාට ළං වුණා. බයිබලය දිගටම පාඩම් කළා. මත්ද්‍රව්‍යයෙන් මිදෙන්න මට උපකාර වුණේ ඒ දේවල් දෙක තමයි.” ඩැරන් සහ මයිකල් යන දෙදෙනාම එකහෙළාම පවසන්නේ මත්ද්‍රව්‍යවලින් ගැළවීම සඳහා ඔවුන් ඇසුරු කළ අයගෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීම මත්ද්‍රව්‍යවලින් ගැළවීමට අත්‍යවශ්‍ය වූ බවයි.

මිනිසාගේ ප්‍රයත්න අසමත් වීමට හේතු

ඇත්තෙන්ම මත්ද්‍රව්‍ය අනිසි භාවිතය මහ පරිමාණයේ සමස්ත ලෝක ගැටලුවක එක් අංගයක් පමණි. මුළු ලෝකයම නපුරු, ප්‍රචණ්ඩකාරි සහ කෲර බලපෑමක ග්‍රහණයට හසු වී සිටියි. “මුළු ලෝකයා නපුරා තුළ බව” බයිබලය පවසන්නේ එනිසාය. (1 යොහන් 5:19) එම ‘නපුරාව’ ප්‍රේරිත යොහන් විසින් එළිදරව් 12:9හි මෙසේ හඳුන්වා දී ඇත. “මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය, ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය.”

මිනිසාට තමාගේ දුර්වලකම් සමඟ පොරබදනවාට අමතරව, සාතන් නමැති මෙම බලසම්පන්න සතුරා සමඟ සටන් වදින්නත් සිදු වේ. මුලදීම මිනිසාගේ පිරිහීමට මුල් වූයේ සාතන්ය. ඔහුගේ අධිෂ්ඨානය වන්නේ මිනිස්වර්ගයාව තව තවත් පිරිහීමට ලක් කර, ඔවුන්ව දෙවිගෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමයි. ඒ සඳහා ඔහු උපයෝගි කරගන්නා උපායන්ගෙන් එකක් ලෙස මත්ද්‍රව්‍ය උවදුර හැඳින්විය හැක. “තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව” දන්නා නිසා, සාතන් ක්‍රියා කරන්නේ මහත් උදහසිනි.—එළිදරව් 12:12.

දෙවිගේ පිළියම කුමක්ද?

මිනිස්වර්ගයා ඇද වැටී ඇති පව්කාර තත්වයෙන් ඔවුන්ව මුදාගැනීමට මැවුම්කරු ප්‍රේමනීය ලෙස කර ඇති දේ බයිබලයෙහි හෙළි කොට ඇත. පළමුවන කොරින්ති 15:22හි අපට මෙසේ පවසා තිබේ. “ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක්මෙන්ම, [ක්‍රිස්තුස්] තුළ සියල්ලෝම ජීවත්කරනු ලබන්නෝය.” පරිපූර්ණ මිනිසෙකු ලෙස මෙලොවට සිය කැමැත්තෙන්ම පැමිණි යේසුස්, මිනිස්වර්ගයාව පාපයේ සහ මරණයේ බලපෑම්වලින් මුදාගැනීමට තම ජීවිතය පුද කළේය.

බොහෝදෙනෙකු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් මිදීමට අවශ්‍ය ධෛර්යය උපදවාගෙන ඇත්තේ, මරණයට හේතුව සහ මිනිසාගේ ගැටලුවලට තිබෙන පිළියම ගැන ලැබූ දැනුම තුළිනි. මෙම දැනුම ඔවුන්ව යහ මඟ යෑමට පොලඹවා තිබේ. එනමුත් මත්ද්‍රව්‍ය උවදුරින් මිදීමට පෞද්ගලිකව උපකාර කරනවාට අමතරව තවත් දෙයක්ද බයිබලයෙන් ඉටු වේ. බයිබලය සාතන්ගේ බලපෑම නැති වන දා ගැනත් සඳහන් කරයි. එදාට මත්ද්‍රව්‍ය උවදුර ඇතුළුව ලොවට පීඩා ගෙන දෙන අන් සෑම දෙයක්ම සදහටම පහව යනු ඇත.

‘දෙවිගේද බැටළුපැටවාගේද සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත් වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්’ ගැන එළිදරව් පොතෙහි විස්තර කර ඇත. (එළිදරව් 22:1) මෙම සංකේතාත්මක ගඟෙන් පිළිබිඹු වන්නේ පාරාදීස පොළොවක මනුෂ්‍යයාට පරිපූර්ණ ජීවිතයක් භුක්ති විඳීම සඳහා දෙවි, යේසුස් ක්‍රිස්තුස් තුළින් සැපයූ දෙයයි. මෙම ගඟ දිගේ වැඩෙන ජීවන වෘක්ෂයන් විස්තර කරමින් එළිදරව් පොතෙහි මෙසේ සඳහන් කරයි. ‘ඒ වෘක්ෂයන්ගේ කොළ ජාතීන්ගේ සුවවීම පිණිසය.’ (එළිදරව් 22:2) මිනිස්වර්ගයාට ආත්මික මෙන්ම ශාරීරික පරිපූර්ණත්වයක් නැවත ලබා දීම සඳහා යෙහෝවා සපයන සුවය මෙම සංකේතාත්මක කොළවලින් පිළිබිඹු වේ.

එදාට මිනිසාට මත්ද්‍රව්‍ය උවදුරින් පමණක් නොව, නමුත් දැන් පවතින පිරිහුණු ලෝකයෙහි මිනිසාට පහර දෙන වෙනත් නොයෙකුත් ගැටලු සහ ප්‍රශ්නවලින්ද නිදහස අද්දැකීමට හැකි වේ. මොනතරම් ආශීර්වාදයක්ද!

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මරිජුවානා කියන තරම් හානිකර නැද්ද?

රටවල් කිහිපයක්ම මරිජුවානා නීත්‍යනුකූල ඖෂධයක් ලෙස සැලකිය යුතුද යන්න ගැන සාකච්ඡා පවත්වා ඇත. මරිජුවානා, රස චිකිත්සාව ලබන රෝගියෙකුට ඇති වන ඔක්කාරය නැති කර දැමීමට සහ ඒඩ්ස්වලින් පෙළෙන රෝගීන්ට ඇති වන ආහාර අරුචිය නැති කර දැමීමට උපකාරවත් වන බව පෙනී ගොස් ඇත. එමෙන්ම වේදනාව අඩු කිරීමටද එය භාවිත කෙරේ.

පර්යේෂණවලින් හෙළි වන දේ සම්බන්ධයෙන් යම් මතභේද තිබුණත්, නියූ සයන්ටිස්ට් සඟරාවෙහි වාර්තා වූ පරීක්ෂණවලින් ඔප්පු වී ඇති එක් දෙයක් වන්නේ මරිජුවානා භාවිතයෙන් හානිකර ප්‍රතිඵල කිහිපයක් ඇත්තෙන්ම විඳීමට සිදු වන බවයි.

හාවඩ් සරසවියේ පැවැත්වූ පරීක්ෂණයකදී, දිනපතා මරිජුවානා පාවිච්චි කළ කණ්ඩායමක් සහ එය ඉඳහිට පාවිච්චි කළ කණ්ඩායමක් අතර යම් සැසඳීමක් කරන ලදි. මොළයේ ක්‍රියාකාරිත්වය මැන බැලීමට සාමාන්‍යයෙන් කරන පරීක්ෂණවලදී එතරම් වෙනසක් දක්නට නොලැබුණත්, අලුත් තත්වයන්ට මුහුණ දීමේ හැකියාව සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකදී, දිනපතා මරිජුවානා භාවිත කරන අයගේ හැකියාව බෙහෙවින් අඩු වී තිබිණ.

තවත් සරසවියක් කළ පරීක්ෂණයකදී, වසර 15ක කාලපරිච්ඡේදයක් පුරා නිතිපතා මරිජුවානා පාවිච්චි කළ කණ්ඩායමක් සහ දුම්පානය කළ කණ්ඩායමක් අතර සැසඳීමක් කරන ලදි. සාමාන්‍යයෙන් මරිජුවානා භාවිත කරන්නන් දිනකට මරිජුවානා වැටි තුනක් හෝ සතරක් ගත් අතර, දුම්වැටි භාවිත කරන්නෝ දිනකට දුම්වැටි 20ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගත්තෝය. කණ්ඩායම් දෙකේම එක හා සමාන පිරිසක් කැස්සෙන් සහ බ්‍රොන්කයිටිස් වැනි ආබාධවලින් පීඩා වින්දෝය. පෙණහලු පරීක්ෂා කර බලද්දී, කණ්ඩායම් දෙකේම සිටි අයගේ පෙණහලු සෛලවලට සෑහෙන හානියක් සිදු වී තිබිණ.

මරිජුවානා භාවිත කළ අය දිනකට මරිජුවානා වැටි තුනක් හෝ සතරක් ගත්තද, එක වැටියක අඩංගු තාර ප්‍රමාණය දුම්වැටියකට වඩා තුන් ගුණයකින් වැඩි බව හෙළි විය. මීට අමතරව, නියූ සයන්ටිස්ට් වාර්තාවෙහි පවසන පරිදි, “මරිජුවානා පාවිච්චි කරන අය දුම් උරන විට, එය වැඩි කාලයක් තම පෙණහලු තුළ රඳවාගනිති.”

මීට අමතරව, දුම්පානය කරන අයට වඩා මරිජුවානා පාවිච්චි කරන අයගේ පෙණහලු තුළ තිබෙන ප්‍රතිශක්ති සෛලවල සටන් කිරීමේ හැකියාව සියයට 35කින් අඩු බවත් හෙළි විය.

[හිමිකම් විස්තර]

U.S. Navy photo

[11වන පිටුවේ කොටුව]

‘දෙමාපියන් වගකිව යුතුයි’

දකුණු අප්‍රිකාවේ යෞවන පරපුර අතර මත්ද්‍රව්‍ය අනිසි භාවිතයේ තැතිගන්වනසුලු වර්ධනයක් දක්නට ලැබීම ගැන කනගාටුව පළ කරමින්, සැටර්ඩේ ස්ටාර් නමැති දකුණු අප්‍රිකානු පුවත්පතේ කතුවැකියක මෙසේ අදහස් දක්වා තිබිණ.

“අපගේ දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී තිබීම ඛේදනීය දෙයකි. ඔවුන් මෙවැනි දෙයකට නැඹුරු වූයේ මන්ද? දෙමාපියන් වශයෙන් අපත්, සමාජයත් ඊට වගකිව යුතුය. මෙය අකමැත්තෙන් වුවද අප විසින් පිළිගත යුත්තකි. සතියක් පාසා සතියක් අපි මුදල් නමැති දෙවියාට වැඳුම් පිදුම් කරමින්, යස ඉසුරු පසුපස හඹා යන්නෙමු. අපගේ දරුවන් අපට හිසරදයකි. ඔවුන් අපගේ කාලය කා දමයි. එමනිසා, පහසුම දේ ඔවුන්ට මුදල් ටිකක් අතට දී අපගේ ජීවිතයෙන් ඔවුන්ව ඉවත් කිරීමයි. ඔවුන්ට සවන් දීමට, ඔවුන්ගේ බිය සැක දුරු කිරීමට, ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු, බලාපොරොත්තු ගැන සාකච්ඡා කිරීමට වඩා එය පහසුය. සමහරවිට අද රාත්‍රියේ අප හෝටලයක රසවත් ආහාරයක් භුක්ති විඳිනවා විය හැක. එසේ නැතහොත් රූපවාහිනිය ඉදිරියෙහි අපගේ වෙහෙස නිවාගන්නවා විය හැක. එනමුත් ඒ මොහොතේ අපගේ දරුවන් කුමක්ද කරන්නේ කියා අප දන්නවාද?”

ඔවුන් කුමක් සිතනවා ඇද්ද කියාත් අපගෙන්ම අසාගැනීම යෝග්‍යය.

[10වන පිටුවේ පින්තූරය]

මත්ද්‍රව්‍ය අනිසි භාවිතයේ ග්‍රහණයෙන් මිදීමට බොහෝදෙනෙකු පෙලඹී ඇත