Skip to content

පටුනට යන්න

මත්ද්‍රව්‍ය ඒවා අනිසි ලෙස භාවිත කරන්නේ මන්ද?

මත්ද්‍රව්‍ය ඒවා අනිසි ලෙස භාවිත කරන්නේ මන්ද?

මත්ද්‍රව්‍ය ඒවා අනිසි ලෙස භාවිත කරන්නේ මන්ද?

“මට එතකොට අවුරුදු 13යි. මගේ හොඳම යාළුවාගේ අක්කා අපිට ආරාධනා කළා, එක් හැන්දෑවක ඒගොල්ලන්ගේ ගෙදරට එන්න කියලා. එහෙ ඉන්දැද්දී ඔක්කමලා මරිජුවානා ගන්න පටන්ගත්තා. මුලදී, එපා කියල කිව්වත්, කිහිප සැරයක්ම අතෙන් අත යවන කොට, මමත් ගත්තා.” දකුණු අප්‍රිකාවේ මයිකල් මත්ද්‍රව්‍ය ලොවට පිවිසුණේ එලෙසය.

“මම වැදගත් කියලා සලකන්න පුළුවන් පවුලකිනුයි එන්නේ. මම වෘත්තියක් හැටියට සම්භාව්‍ය වාදක මඬුල්ලක සංගීතය වාදනය කළා. ඒ මඬුල්ලේ එක් සංගීතඥයෙක්, විවේක වේලාවේදී මරිජුවානා ගන්න පුරුදු වෙලා හිටියා. මාස කිහිපයක් තිස්සේ එයා මට මරිජුවානා ගන්න පෙරැත්ත කළා. අන්තිමේදී මමත් ගන්න පෙලඹුණා. ඊට පස්සේ මම ඒක නිතිපතා ගන්න පටන්ගත්තා.” කැනේඩියානු ජාතික ඩැරන් මත්ද්‍රව්‍ය මෙලෙස භාවිත කරන්නට පටන්ගත්තේය.

මොවුන් දෙදෙනාම මරිජුවානා භාවිතයෙන් අනතුරුව, එල්.එස්.ඩී., අබිං සහ උත්තේජකයන් භාවිත කළෝය. දැන් මත්ද්‍රව්‍ය භාවිත නොකළද, සිය අතීත ජීවිතය ගැන කල්පනා කර බලද්දී, දෙදෙනාම පිළිගන්නේ මත්ද්‍රව්‍ය අනිසි භාවිතයට මුල් වූයේ ඔවුන්ගේ මිතුරන්ගේ බලපෑම බවයි. මයිකල් මෙසේ පවසයි. “මම මත්ද්‍රව්‍ය ගනියි කියල කවදාවත් හිතුවේ නැහැ. එහෙත් මට හිටියේ මත්ද්‍රව්‍ය ගන්න යාළුවෝ විතරයි. ඉතින් ඒගොල්ලෝ ගන්නකොට නොගෙන ඉන්න එක අමාරුයි.”

කලා ක්ෂේත්‍රයේ ප්‍රවණතා

බොහෝදෙනෙකු මත්ද්‍රව්‍ය අත්හදා බැලීමට පෙලඹෙන්නේ ඔවුන්ගේ මිතුරන්ගේ බලපෑම නිසයි. තවද මෙයට විශේෂයෙන් ගොදුරු වන්නේ යොවුන් පරපුරයි. තවද මිතුරන්ගේ බලපෑමට අමතරව, බොහෝදෙනාගේ සිත්ගන්නා කලා ක්ෂේත්‍රයේ තරු මෙන් බැබළෙන අයගේ ජීවිත රටාවද මේ සඳහා සෑහෙන බලපෑමක් ඇති කරයි.

විශේෂයෙන්ම මෙම ක්ෂේත්‍රයේ සිටින අය මත්ද්‍රව්‍යයේ ග්‍රහණයට හසුව ඇත. සංගීත ක්ෂේත්‍රයේ ඉතා ප්‍රසිද්ධ ගායක ගායිකාවන් අඩුම තරමින් කෙටි කාලයකට හරි ඉතා අනතුරුදායක මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත. සිනමා ක්ෂේත්‍රයේ නළු නිළියන් කිහිපදෙනෙක්ද පුරුද්දක් වශයෙන් මත්ද්‍රව්‍ය භාවිත කරති.

මෙසේ නළු නිළියන් මත්ද්‍රව්‍යවලට ඉතා ආකර්ෂණීය, සිත්ගන්නා මුහුණුවරක් ලබා දෙන නිසා, යෞවනයන් පහසුවෙන්ම ඊට හසු වන බවක් පෙනේ. වර්ෂ 1996දී නියුස්වීක්හි මෙම වාර්තාව පළ විය. “සියැට්ල් නගරයේ වීථි හෙරොයින් ගැනීමට පැමිණි ගැටවරයන්ගෙන් පිරී ඇත. ඊට හේතුව? [රොක් සංගීත ගායක] කෝබේන් හෙරොයින් ගත් නිසාය.”

ඔව්, සඟරා පොත් පත්වල, චිත්‍රපටි සහ රූපවාහිනියේ මත්ද්‍රව්‍ය ලෝකය ගැන ඉතා චිත්තාකර්ෂණීය පින්තූරයක් මවාපායි. විලාසිතා ලොවේ සුප්‍රසිද්ධ මෝස්තර නිර්මාණ ශිල්පීන් වැඩි මනාපයක් දක්වා ඇත්තේ කෙට්ටු, ඇලී මෑලි දුබල පෙනුමක් ඇති (මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කෙනෙකුගේ පෙනුමක් ඇති) නිරූපිකාවන් ලවා තම විලාසිතා ප්‍රදර්ශනය කිරීමටයි.

ඇතමුන් ඇබ්බැහි වන්නේ මන්ද?

මත්ද්‍රව්‍ය අනිසි භාවිතයේ ශීඝ්‍ර වර්ධනයට වෙනත් හේතු සාධක කිහිපයක්ම බලපායි. සමහරුන්ගේ බලාපොරොත්තු සුන් වී ඇත. තවත් සමහරු මානසික අසහනයෙන් හෝ තම ජීවිතයට කිසිදු අරමුණක් නැතුව කලකිරී සිටිති. ආර්ථික ගැටලු, විරැකියාව සහ දෙමාපියන්ගෙන් හොඳ මඟ පෙන්වීමක් නොලැබීම තවත් අමතර හේතු වේ.

මනුෂ්‍යයන් සමඟ මිත්‍රවීම අසීරු බව අද්දකින සමහරු වෙනත් අය සමඟ ඇසුරු කිරීමේ අභියෝගයට මුහුණ දීම සඳහා මත්ද්‍රව්‍යයේ පිහිට පතති. මත්ද්‍රව්‍ය ඔවුන්ගේ ආත්ම-විශ්වාසය වැඩි කරවන බව ඔවුන්ගේ විශ්වාසය වේ. සිත්ගන්නාසුලු ආකාරයකින් අදහස් හුවමාරු කරගන්නත්, ප්‍රියමනාප පෞද්ගලිකත්වයක් ප්‍රදර්ශනය කරන්නත් මත්ද්‍රව්‍ය තමන්ට මඟ සලසන බව ඔවුහු සිතති. තම ජීවිත නිසි මාර්ගය ඔස්සේ මෙහෙයවීමේ වගකීම කරට ගන්නවා වෙනුවට මත්ද්‍රව්‍ය භාවිත කිරීම පහසුයි කියා තවත් අයට පෙනී ගොස් ඇත.

ජීවිතය නිරස වීම යෞවනයන් මත්ද්‍රව්‍යවල පිහිට පැතීමට තවත් හේතුවකි. ඔවුන්ට වෙන කරන්නට කිසිවක් නොමැත. ඒ හේතුව සහ දෙමාපියන්ගේ අධීක්ෂණය නොමැති වීම ගැන අදහස් දක්වමින් අනතුරු සහිත දෙයක් කිරීම සඳහා ඇති ආකර්ෂණය—නහඹරයන් කරන දෙයට හේතු (ඉංග්‍රීසියෙන්) යන පොත මෙසේ පවසයි. “පාසැලෙන් පසු දරු දැරියන් පැමිණෙන්නේ හිස් වූ නිවසකටය. එසේ නම් ඔවුන්ට පාළුවක් දැනීම ගැන පුදුම විය යුතු නැත. එයට පිළියමක් වශයෙන් ඔවුහු මිතුරු ඇසුරට වැටෙති. එනමුත් වැඩි කලක් යන්නට මත්තෙන් ඒකාකාරීව දවස ගෙවෙන නිසා, ඔවුන්ට නිරස බවක් දැනේ. ඒ නිසා, එක දිගට රූපවාහිනිය හා සංගීතය අඩංගු වීඩියෝ පට නරඹමින් හෝ අන්තර්ජාලය තරණය කරමින් යම් ආස්වාදයක් ලැබීමට ඔවුහු මං සොයති. එවන් ආස්වාදයක් සොයා යද්දී, දුම්පානය, මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතයට ඔවුන් පහසුවෙන්ම යොමු විය හැක.”

කලින් සඳහන් කළ මයිකල්, තමාගේ නිවසේදී දෙමාපියන් තමා ගැන එතරම් විමසිල්ලකින් සිටියේ නැති බව සඳහන් කරමින් මෙසේ පැවසීය. “අපේ පවුල සන්තෝසයෙන් කාලය ගෙවපු, සාමාන්‍යයට වඩා කිට්ටු පවුලක්. හැබැයි, අම්මයි තාත්තයි දෙන්නම රැකියාවට යන නිසා, සවස් වන තුරු අපි ගැන හොයලා බලන්න ඔවුන්ට අවස්ථාවක් තිබුණේ නැහැ. අනිත් එක ඒගොල්ලන් අපිට ඕන දෙයක් කරන්න ඉඩ දුන්නා. කිසිම හික්මවීමක් තිබුණේ නැහැ. ඇත්තෙන්ම මම මත්ද්‍රව්‍ය ගන්නවා කියලා ඒගොල්ලෝ දැනගෙන හිටියේවත් නැහැ.”

ඇබ්බැහි වුණායින් පස්සේ බොහෝදෙනෙකු මත්ද්‍රව්‍ය දිගටම පාවිච්චි කරන්නේ ඔවුන් එයින් වින්දනයක් ලබාගන්නා නිසයි. දිනපතා මත්ද්‍රව්‍ය ගත් මයිකල් එහි බලපෑම ගැන මෙසේ පැවසීය. “මම හිටියේ සිහින ලොවකයි. මට යම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වුණාම, ඒකෙන් ගැළවෙන්න මම මත්ද්‍රව්‍ය ගත්තා. ඒ නිසා මට භයක් දැනුණෙත් නැහැ. මත් ලොවේ හැම දෙයක්ම ලස්සනයි වගෙයි පෙනුණේ.”

කලින් මත්ද්‍රව්‍ය භාවිත කළ දකුණු අප්‍රිකාවේ වෙසෙන ඩික් වයස අවුරුදු 13 සිට මරිජුවානා භාවිත කරන්න පටන්ගත් විට, එය ඔහුට බලපෑ ආකාරය මෙසේ විස්තර කරයි. “මම ඕන විහිළුවකට හිනා වෙනවා. හැම දෙයක් දිහාම මම බැලුවේ සැහැල්ලුවෙන්.”

මත්ද්‍රව්‍යවලින් එල්ල විය හැකි හානි ගැන අවවාද කළාට යෞවනයෝ ඒ ගැන වැඩිය නොතකති. ඔවුහු සාමාන්‍යයෙන් “ඒ වගේ දෙයක් මට වෙන්නේ නැහැයි” කියන ආකල්පය දරති. නහඹර වියේ දරු දැරියන් මත්ද්‍රව්‍ය උවදුර නොසලකා හැරීමට හේතුව පැහැදිලි කරමින් ඔබේ නහඹරයා සමඟ කතා කිරීම (ඉංග්‍රීසියෙන්) නමැති පොත මෙසේ පවසයි. “යෞවනයන්ගේ ඔරොත්තු දීමේ හැකියාව හා ඔවුන්ගේ ක්‍රියාශීලී බව කොතරම්ද කිවහොත්, මත්ද්‍රව්‍ය ගැනීම ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකරයි කියා ඔවුන් විශ්වාස කරන්නේ නැත. තමා කිසිම දෙයකට ගොදුරු වෙන්නේ නැහැ යන්න නව යොවුන් වියේ ජනප්‍රිය මතයකි. ඔවුන්ගේ දෘෂ්ටියට අනුව, පෙණහලු පිළිකාව, මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැනි දේවල්වලට මුහුණ දෙන්නේ තමන් නොව තමන්ට වඩා වයසින් වැඩි අයයි.” එක්ස්ටසි නමැති මත්ද්‍රව්‍යයේ ජනප්‍රියත්වය දෙස බලන කල, මත්ද්‍රව්‍ය ගැනීම කොතරම් අනතුරුදායකද කියා පැහැදිලි වේ. එක්ස්ටසි? ඒ කුමක්ද?

උමතු රැඟුම් රඟන සාදයන්වල හිස එසවූ එක්ස්ටසි!

එක්ස්ටසි යනු ඇම්ෆෙටමින අඩංගු මත්ද්‍රව්‍යයක් වන MDMAය. එය රැය පහන් වන තෙක්ම පවත්වන උමතු රැඟුම් රඟන සාදයන්වල පොදුවේ භාවිත කෙරේ. මෙය අළෙවි කරන්නන් කියා සිටින්නේ එය භාවිත කිරීමෙන් ප්‍රීති උද්දාමයට පත් වන බවත්, පහන් වන තෙක් නැටීමට අවශ්‍ය ශක්තිය ලැබෙන බවත්, ඉන් ශරීරයට කිසිදු හානියක් සිදු නොවන බවත්ය. මෙම මත්ද්‍රව්‍ය ගැනීමෙන් පසු පැය ගණනාවක් නැටීමට හැකි වන අතර, අන්තිමේදී ඔවුහු සිහි මූර්ඡා තත්වයකට පත් වෙති. එක්ස්ටසි කොතරම් සිත්ගන්නක්ද කියා එක් යෞවනයෙක් මෙසේ පැහැදිලි කළේය. “අර කියන ප්‍රීති උද්දාමයේ හැඟීම පටන්ගන්නේ කකුලේ ඇඟිලිවලින්. ඊට පස්සේ හෙමින් හෙමින් ඒ හැඟීම ඔළුව වෙනකම්ම ඇඟ පුරාම ගමන් කරනවා. එතකොට දැනෙන්නේ පුදුමාකාර උණුසුම්භාවයක් වගේම සෙනෙහෙබර හැඟීමක්.”

එක්ස්ටසි අළෙවි කරන්නන් එහි කිසිදු හානියක් නැතැයි පැවසුවත්, නිතරම එක්ස්ටසි භාවිත කරන අයගේ මොළ ස්කෑන් මගින් පරීක්ෂා කර බැලීමේදී ඔවුන්ගේ මොළවලට බරපතළ හානි සිදු වී ඇති බව පැහැදිලි වී තිබේ. එමගින් මොළයේ ස්නායු තන්තු හානියට ලක් වන අතර, සෙරොටොනින් මට්ටමද අඩු වේ. මෙයින් සිදු වන හානිය සුව කළ නොහැක්කක් බවට විශ්වාස කෙරේ. කල් යත්ම මානසික අසහනය සහ මතකය නැති වී යෑම වැනි ආබාධද හටගනී. කිහිපදෙනෙකු මරුමුවට පත්ව ඇති බවත් වාර්තා වේ! එපමණක්ද නොව, සමහර අළෙවි කරන්නෝ එය ලබාගන්නන්ව ඇබ්බැහි කරවීමට එක්ස්ටසි සමඟ හෙරොයින් මිශ්‍ර කර විකුණති.

ලබාගැනීමට පහසුද?

බොහෝ රටවල මත්ද්‍රව්‍ය සැපයුම වැඩිවීමත් සමඟම ඒවා අළෙවි කරන මිල ගණන් පහත බැස ඇත. මෙයට යම් දුරකට බලපා ඇත්තේ දේශපාලනික සහ ආර්ථික වෙනස් වීම්ය. නිදසුනකට දකුණු අප්‍රිකාව සලකා බලන්න. එහි සිදු වූ දේශපාලන පෙරළියක ප්‍රතිඵලයක් වශයෙන් වෙනත් රටවල් සමඟ අන්‍යොන්‍ය සබඳතා සහ වෙළඳ හුවමාරුව වැඩි විය. දේශ සීමා ආරක්ෂාව එතරම් තර කර නොමැති නිසා, මත්ද්‍රව්‍ය වෙළඳාමද දියුණු වී ඇත. දකුණු අප්‍රිකාවේ විරැකියාව දිනෙන් දින උග්‍ර වන හෙයින්, දහස්ගණන් දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම තම ජීවනෝපාය කරගනිති. මත්ද්‍රව්‍ය බහුලව තිබෙන විට, දරුණු අපරාධද වැඩි වේ. පුවත්පත් වාර්තාවකට අනුව, දකුණු අප්‍රිකාවේ කව්ටෙං ප්‍රාන්තයේ අවුරුදු 13ක් තරම් ළාබාල දරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමෙහි හවුල් වෙනවාද යන සැකය පවතින නිසා, පොලිසිය ඔවුන් ගැන විමසිල්ලෙන් කටයුතු කරයි. ඒ නිසා දැන් ඒ ප්‍රදේශයේ පාසැල් කිහිපයක ශිෂ්‍යයන් ළඟ මත්ද්‍රව්‍ය ඇද්දැයි දැනගැනීමට ඔවුන්ව පරීක්ෂා කර බලයි.

උවදුරට මුල් වන දේ කුමක්ද?

මිනිසුන් මත්ද්‍රව්‍ය, මත්පැන් හෝ වෙන යම් ඖෂධයක් අනිසි ලෙස භාවිත කිරීමට හේතු බොහොමයක් ඇති බව මෙම සාකච්ඡාවෙන් පැහැදිලි වී ඇත. එනමුත් මෙම හේතු රාශිය පිටුපස, ඊටත් වඩා බරපතළ මූලික හේතුවක් තිබේ. එය කුමක්ද කියා ලේඛක බෙන් විටකර් මෙසේ ඇඟවීය. “දැනට ලොව පුරා මත්ද්‍රව්‍ය වසංගතය ව්‍යාප්ත වී ඇති ආකාරය දෙස බලන කල, තනිකම සහ අසහනය නමැති හේතුකාරකයන්ට අමතරව, අපගේ සමාජයේ යම් දුර්වලකම් සහ දෝෂයන් ඇති බවට එය සාක්ෂියක් සේ ගත හැක. අප මෙවැනි නිගමනයකට එළඹෙන්නේ මනා කුසලතාවන් ඇති, වත් පොහොසත්කම් ඇති සෑහෙනදෙනෙකු මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී ඇති නිසාය. ජීවිතයේ යථාර්ථයන්ට මුහුණ දෙනවා වෙනුවට ඔවුන් එවන් ක්‍රියාවන්වල යෙදෙන්නේ මන්ද?”

ඇත්තෙන්ම මෙම වචන කල්පනාවට ගත යුතු වැදගත් යමක් කියා පායි. ද්‍රව්‍යවාදයෙන් හා දියුණුවේ හිණිපෙත්තටම නැඟීමේ අභිලාෂයෙන් දැවෙන අපේ සමාජය, අපගේ චිත්තවේගීය සහ අධ්‍යාත්මික අවශ්‍යතාවන් පිරිමැසීමට අපොහොසත් වී ඇති බව මින් පැහැදිලි වේ. මිනිසාගේ ගැටලුවලට මුල් වන හේතුව නොසලකා හැර ඇති නිසා, මෙම අවශ්‍යතා පිරිමැසීමට ලෝකයේ ආගම් බොහොමයකට පවා බැරි වී තිබේ.

එමනිසා, ඇබ්බැහි වීම් පිටුපස තිබෙන ගැටලුවලට ස්ථිරසාර විසඳුමක් සෙවීමට පෙර, එම මූලික හේතුව පැහැදිලිව දැනගෙන, ඊට මුහුණ දිය යුතුය. ඒ ගැන අපගේ මීළඟ ලිපියෙහි සාකච්ඡා කෙරේ.

[7වන පිටුවේ පින්තූරය]

ඇතැම් අවස්ථාවලදී විවිධ ක්ෂේත්‍රයන්වල ප්‍රසිද්ධ පුද්ගලයන් විසින් මත්ද්‍රව්‍ය භාවිත කිරීමට දිරිගන්වා තිබේ

[7වන පිටුවේ පින්තූර]

නූතන සංගීත ක්ෂේත්‍රය මත්ද්‍රව්‍ය භාවිතයෙන් දූෂ්‍ය වී තිබේ

[8වන පිටුවේ පින්තූර]

එක්ස්ටසි නමැති මත්ද්‍රව්‍යය උමතු රැඟුම් රඟන සාදයන්වල පොදුවේ භාවිත කෙරේ

[හිමිකම් විස්තර]

AP Photo/Greg Smith

Gerald Nino/U.S. Customs