ලෝකයේ මෙතරම් ජල හිඟයක් පවතින්නේ මන්ද?
ලෝකයේ මෙතරම් ජල හිඟයක් පවතින්නේ මන්ද?
ඉන්දියාවේ පිහිටි චීරාපුන්ජී නගරය ලෝකයේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශවලින් එකකි. මෝසම් වැසි ලැබෙන සමයේදී මිලිමීටර් 9,000ක පමණ වර්ෂාපතනයක් එම නගරයට ලැබේ. එම වැසි ජලය හිමාල කඳුවැටිය අසල පිහිටි කුඩා කඳු දෝවනය කරමින් ගලා බසී. එහෙත් චීරාපුන්ජී නගරය පවා ජල හිඟයකට මුහුණපාන බව පැවසුවොත් ඔබ පුදුම වේවි.
සෝදා පාළුව වැළැක්වීම සඳහා ප්‍රමාණවත් වෘක්ෂලතා නොමැති වීම නිසා වැසි ජලය පොළොවට පතිත වීමත් සමඟම වේගයෙන් ගලා යයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෝසම් වැසි ලැබීමෙන් මාස දෙකකට පමණ පසු, එහි වෙසෙන ජනයාට ජල හිඟයකට මුහුණ දීමට සිදු වේ. මීට අවුරුදු කිහිපයකට පෙර ලියන ලද ජාත්‍යන්තර ජල අර්බුදයක් නමැති පොතේ කර්තෘ රොබින් ක්ලාක් චීරාපුන්ජී නගරය විස්තර කළේ, “මිහිතලය මත තිබෙන තෙතමනයෙන් වැඩිම කාන්තාරය” ලෙසය. a
චීරාපුන්ජීවලට ලැබෙන වැසි ජලය ගලා බසින්නේ අධික ජනගහනයක් සිටින බංගලාදේශයටයි. ඉන්දියාවේ හා නේපාලයේ කඳු වැටිවල වැවෙන ගස් වැල් සම්පූර්ණයෙන්ම පාහේ කපා දමා තිබෙන නිසා, එම කඳු අතරින් ගලා බසින මෝසම් වැසි ජලයෙන් පීඩා විඳින්නේ පහත් භූමියක පිහිටා තිබෙන බංගලාදේශයයි. ඇතැම් අවුරුදුවල බංගලාදේශයෙන් තුනෙන් දෙකක් පමණ ජලයෙන් යට වෙයි. එහෙත් ගංවතුර බැස ගිය පසු ගංගා නම් ගඟ ගලා බසින්නේ හෙමිහිටය. අවට භූමිය වියළී යයි. බංගලාදේශයේ වෙසෙන ජනගහනයෙන් දශලක්ෂ 100කට වඩා වඩා වැඩිදෙනෙක් වාර්ෂිකව සිදු වන මෙම ජලගැලීම්වලින් හා නියඟයෙන් මහත් සේ පීඩා විඳිති. ආසනික් නමැති විෂ ද්‍රව්‍ය ළිං ජලයට මුසුවීම නිසා දශලක්ෂ ගණනක් රෝගාතුර වීම නිසා තත්වය තව තවත් දරුණු වේ.
උස්බෙකිස්ථානයේ ඒරල් මුහුදට නුදුරින් පිහිටි නියුකුස් නගරය මුහුණපාන ගැටලුව වන්නේ එහි ජලයේ ආසනික් තිබීම නොව, එම ජලය ලවණ ගතියෙන් යුක්ත වීමයි. පොළොවේ තැන්පත් වී තිබෙන මෙම සුදු පාට ලවණ තට්ටුවෙන් කපු පැල වසාගන්න නිසා ඒවායේ වර්ධනය බාල වේ. තෙතමනය සහිත යට පස් තට්ටුවේ තිබෙන ලවණ භූමිය මතුපිට ගොඩ ගැසෙයි. මෙසේ ලවණ භූමිය මතුපිට ගොඩගැසීම පුරාණ කාලයේ සිටම පවතින ගැටලුවකි. මීට අවුරුදු 4,000කට පමණ පෙර මෙසපොතේමියාවේ කෘෂිකාර්මික කටයුතුවලටද එය මහත් බාධාවක් විය. ක්‍රමවත් ජලාප්‍රවහන පද්ධතියක් නොමැතිව, වාරි ජලය අධිකව වගා කටයුතු සඳහා යොදාගැනීම නිසාද පසේ තිබෙන ලවණ භූමිය මතුපිට ගොඩ ගැසෙයි. ප්‍රමාණවත් අස්වැන්නක් ලබාගැනීමට නම්, වැඩි වැඩියෙන් වගාව සඳහා ජලය භාවිත කළ යුතුය. කෙසේවෙතත්, මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ පස නිසරු වීමයි. මෙය අනාගත පරම්පරාවලටද අහිතකර ලෙස බලපානු ඇත.
ජලය ගලා යන්නේ කොහෙටද?
පොළොවට ලැබෙන වර්ෂාවෙන් වැඩි හරියක්ම ලැබෙන්නේ ධාරානිපාත වැසි ලෙසය. මෙම වැසි නිසා ජලගැලීම් ඇති වෙනවා පමණක් නොව, ප්‍රයෝජනයට ගත නොහැකි වන ලෙස එම ජලය ඉතා වේගයෙන් මුහුදට ගලා බසී. එමෙන්ම ලෝකයේ ඇතැම් ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබුණත්, සමහර ප්‍රදේශවලට වැසි වසින්නේ කලාතුරකිනි. මාස 12ක කාලපරිච්ඡේදයක් ඇතුළත චීරාප්පුන්ජීවලින් මිලිමීටර් 26,000ක වර්ෂාපතනයක් වාර්තා වුවත්, චිලී රටේ උතුරු ප්‍රදේශයේ පිහිටි ආටාකාමා කාන්තාරයට අවුරුදු කිහිපයකටවත් සැලකිය යුතු ප්‍රමාණයේ වර්ෂාපතනයක් නොලැබිය හැක.
මිහිතලය මත වෙසෙන ජනයාගෙන් වැඩි පිරිසක් ජීවත් වන්නේ ජලය බහුල ලෙස සපයාගත නොහැකි ප්‍රදේශවලය. උදාහරණයක් හැටියට, අධික වර්ෂාපතනයක් වාර්තා වන අප්‍රිකාවේ හා දකුණු අමෙරිකාවේ නිවර්තන කලාපීය ප්‍රදේශවල ජීවත් වන පිරිස වෙනත් ප්‍රදේශවල වෙසෙන පිරිසට වඩා අඩුය. වාර්ෂිකව මුළු පොළොවටම ලැබෙන වැසි ජලයෙන් සියයට 15ක්ම ලෝකයේ අතිවිශාල ගංගාවලින් එකක් වන ඇමසන් ගඟ ඔස්සේ අත්ලාන්තික් සාගරයට ගලා බසී. එහෙත් එම ගඟ පිහිටි ප්‍රදේශවල ජනගහනය අඩු නිසා, මිනිසුන්ගේ පාවිච්චිය සඳහා ජලය වැය වන්නේ ස්වල්ප ප්‍රමාණයකි. අනිත් අතට, දශලක්ෂ 60ක පමණ ජනගහනයක් සිටින ඊජිප්තුවෙන් වාර්තා වන්නේ අඩු වර්ෂාපතනයකි. එහි වැසියන්ට ඔවුන්ගේ ජල අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම පාහේ සපුරාගැනීමට සිදු වී තිබෙන්නේ නයිල් ගඟේ අඩු වෙමින් පවතින ජලයෙනි.
මීට අවුරුදු ගණනාවකට කලින් නම් ජල සැපයුමේ මෙම විෂමතාව හේතුවෙන් බරපතළ ගැටලු මතු වූයේ නැත. එක් සමීක්ෂණයකට අනුව, 1950දී ලෝකයේ කිසිම කලාපයක් සාමාන්‍ය හෝ උග්‍ර ජල හිඟයක් නිසා පීඩා විඳ නැත. එහෙත් ඒ කාලයේ බහුලව තිබූ ජල සැපයුම අද වන විට අඩු වී ඇත. උතුරු අමෙරිකාවේ හා මධ්‍යම ආසියාවේ පිහිටි ශුෂ්ක කලාපවල වෙසෙන පුද්ගලයෙකුගේ පරිභෝජනය සඳහා ලැබෙන ජලය ප්‍රමාණය 1950දී ලැබුණු ප්‍රමාණයෙන් දහයෙන් එකක් දක්වා අඩු වී තිබේ.
ජනගහන වර්ධනය හා අධික ජනගහනයක් සිටින ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව අඩුවීම, ජලය සඳහා ඉල්ලුම වැඩිවීමට බලපාන මූලික හේතු දෙකක් පමණි. එම හේතු හැර වෙනත් හේතුද ජල ඉල්ලුම වැඩිවීමට බලපා තිබේ. අද ලෝකයේ රටක් සමෘද්ධිය කරා ළඟාවීම බොහෝ දුරට රඳා පවතින්නේ ස්ථාවර ජල සැපයුමක් එරටෙහි තිබීම මතය.
ජල ඉල්ලුම වැඩිවීම
ඔබ ජීවත් වන්නේ කාර්මිකරණයට ලක් වූ රටක නම්, එහි කර්මාන්ත ශාලා බොහොමයක් ඉදි වී තිබෙන්නේ ප්‍රධාන ගංගා අසබඩ බව ඔබ දැක තිබෙන්න පුළුවන. මෙසේ කර්මාන්ත ශාලා ගංගා අසල ඉදි කර තිබීමට හේතුව වන්නේ ඒවායේ නිෂ්පාදනය කරනු ලබන පරිගණකයේ සිට ඇල්පෙනෙත්ත දක්වා සෑම භාණ්ඩයක්ම නිපදවීමට ජලය අවශ්‍ය වීමයි. ආහාර සකස් කරන කර්මාන්ත ශාලාවලද සිතාගත නොහැකි තරම් ජල කඳක් භාවිත කෙරේ. ජලය නැතුව කිසිසේත් ක්‍රියාත්මක කළ නොහැකි
බලාගාර පිහිටා තිබෙන්නේද ගඟක් හෝ විලක් අසලය.කෘෂිකර්මාන්තය සඳහාද ජලය විශාල ප්‍රමාණයක් අවශ්‍ය කෙරේ. හොඳ අස්වැන්නක් ලබාගැනීමට ප්‍රමාණවත් වර්ෂාවක් ලෝකයේ බොහෝ ප්‍රදේශවලට නොලැබේ. මේ නිසා දශලක්ෂ ගණනකගේ කුසගින්න නිවාලීම සඳහා හොඳම විසඳුම වාරිමාර්ග ක්‍රම දියුණු කිරීම බව පෙනී ගොස් තිබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ආහාර ඉල්ලුම සපුරාලීමේදී වාරි ජලය යොදාගෙන වගා කරන බෝග මත රඳා සිටීමට සිදු වන අතර, මිහිතලය මත තිබෙන මිරිදිය ජලයෙන් විශාල ප්‍රමාණයක් ඒ සඳහා භාවිත කළ යුතු වේ.
මීට අමතරව, ගෘහස්ථ ජල පරිභෝජනයද ඉහළ ගොස් තිබේ. අනූව දශකය තුළ ලොව පුරා නාගරික ජනගනයට අලුතින් එක් වූ දශලක්ෂ 900ට ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් හා පිරිසිදු ජලය අවශ්‍ය විය. දිගු කලක සිට ජලය සැපයෙන ප්‍රභව වන ළිං හා ගංගා මගින් සැපයෙන ජලය විශාල නගරවලට තවදුරටත් ප්‍රමාණවත් නොවේ. උදාහරණයක් හැටියට මෙක්සිකෝ නගරයේ ජල අවශ්‍යතාව සපුරාගැනීමට සිදු වී තිබෙන්නේ කිලෝමීටර් 125කටත් වඩා දුරින් පිහිටි ප්‍රදේශයක සිටය. තවද එම ජලය නගරයට ලබාගැනීම සඳහා මීටර් 1,200ක් උස කඳු වැටියක් ඔස්සේ දිව යන ජන නළ පද්ධතියක් මගින් ජලය පොම්ප කිරීමට සිදු වේ. ඩිට’ ක්‍රෙයිම විසින් සකස් කරන ලද දිවි සුරකින ජලය නමැති වාර්තාවේ එම ජල සැපයුම් පද්ධතිය ගැන මෙසේ සඳහන් කරයි. “මෙම ජල සැපයුම් පද්ධතිය බූවල්ලෙක් හා සමානයි. ජලය ලබාගැනීම සඳහා බූවල්ලෙකුගේ පාද මෙන් එය නගරයෙන් ඈතට විහිදී යයි.”
මෙයින් පැහැදිලි වන්නේ කර්මාන්ත, කෘෂිකර්මය හා නාගරික ප්‍රදේශ මහත් ජල අවශ්‍යතාවකින් පෙළෙන බවයි. දැනට මෙම අවශ්‍යතාවෙන් වැඩි හරියක් සපුරාගනු ලබන්නේ භූගත ජලයෙනි. ජලධර නොහොත් යටි පාෂාණ තට්ටුවට පහළින් තැන්පත් වී තිබෙන ජලය මිරිදිය ජලය ලබාගත හැකි ප්‍රධාන ප්‍රභවයකි. නමුත් ඒවායින් සැමදාම ජලය ලබාගත නොහැක. භූමිය යට තැන්පත් වී තිබෙන එම ජලය බැංකු ගිණුමක තිබෙන මුදල් හා සමාන කළ හැක. ඔබ මුදල් තැන්පත් කළේ නැත්නම්, දිගටම ඔබේ ගිණුමෙන් මුදල් ලබාගත නොහැකි වේ. තැන්පත් නොකොට මුදල් ගැනීමෙන් සිදු වන්නේ කවදාහරි ගිණුම භාවිත කිරීමේ ප්‍රස්තාව අහිමි වී යෑමයි. ජලය සම්බන්ධයෙන් කිව හැක්කේද ඒ හා සමානම දෙයකි.
භූගත ජලය නිසි හා අනිසි භාවිතය
අපි ළිඳක් හාරා ලබාගන්නේ භූගත ජලයයි. ගෘහස්ථ හා කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන ජලයෙන් අඩක්ම සැපයෙන්නේ භූගත ජලයෙන් බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් ප්‍රකාශයට පත් කර තිබෙන වාර්තාවක (ඇසට නොපෙනෙන අනතුරට ලක්ව ඇති භූගත ජල සම්පත) සඳහන් වේ. භූමිය මතුපිට තිබෙන ජලය මෙන් භූමිය යට තිබෙන ජලය එතරම් අපිරිසිදු නොවන නිසා, නගරවල මෙන්ම ගම්වලද පානය සඳහා බහුලව භාවිත කෙරෙන්නේ භූගත ජලයයි. භූගත ජලය සීමාවක් ඇතුව ඇදගන්නේ නම්, අඛණ්ඩව එය භාවිතයට ගත හැක. මන්ද වැසි ජලය භූමිය මගින්
උරාගන්න නිසා හිඟ වන භූගත ජලයට නැවත ජලය එක් වන බැවිනි. කෙසේවෙතත්, ස්වාභාවික ජල චක්‍රයට සැපයිය හැකි ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් මිනිසා දශක ගණනාවක් තිස්සේ ඇදගෙන තිබේ.මෙහි ප්‍රතිඵලය වී තිබෙන්නේ භූගත ජල මට්ටම තව තවත් ගැඹුරු වීමයි. මෙම ගැඹුරු ජලය මතුපිටට ඇදගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු අතර, ඇතැම්විට අධික ගැඹුරක තිබෙන ජලය ඇදගැනීම දුෂ්කර කාර්යයක් වනු ඇත. ජලය සිඳී යෑම ආර්ථිකයට මෙන්ම මිනිසුන්ටද මරු පහරකි. දැනටමත් ඉන්දියාවේ මෙවන් තත්වයක් උද්ගත වී තිබේ. චීනයේ හා ඉන්දියාවේ මධ්‍යම තැනිතලා ප්‍රදේශවල වෙසෙන බිලියනයකගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම රඳා පවතින්නේ භූගත ජලය මතය. අනාගතයේදී මෙම භූගත ජලය සිඳී යෑම නිසා ජනයාට මහත් දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වනු ඇත.
භූගත ජල සැපයුම හිඟවීමේ ගැටලුව තවත් උග්‍රවීමට බලපාන දෙයක් වන්නේ ජලය දූෂිත වීමයි. කෘෂි රසායනික ද්‍රව්‍ය, මිනිසුන්ගේ හා සතුන්ගේ මලපහ මෙන්ම කර්මාන්ත ශාලාවලින් පිට වන රසායනික ද්‍රව්‍ය යනාදි සියල්ලම අවසානයේදී එක් වන්නේ භූගත ජලයටයි. “භූගත ජලය දූෂ්‍ය වූ පසු, එයට ප්‍රතිකර්ම සෙවීම සඳහා අධික කාලයක් මෙන්ම මුදලක්ද වැය කිරීමට සිදු විය හැක. සමහරවිට ඒ සඳහා කිසිදු පිළියමක් නොතිබිය හැක” කියා ලෝක කාලගුණික සංවිධානය මගින් පළ කරනු ලබන වාර්තාවක සඳහන් වේ. “දූෂිත ද්‍රව්‍ය භූගත ජලයට කාන්දු වීම හඳුන්වා තිබෙන්නේ ‘රසායනික කාල බෝම්බයක්’ ලෙසය. එය මුළු මානව සංහතියටම මහත් තර්ජනයකි.”
භූගත ජලය මතුපිටට ඇදගැනීමට හැකි වුවත්, එම ජලය දූෂ්‍ය වී තිබීම නිසා භූගත ජලයෙන් වගා කිරීමට අපේක්ෂා කරන භූමිය විනාශ වී යා හැක. ලෝකයේ ශුෂ්ක හෝ අර්ධ ශුෂ්ක රටවල වාරිමාර්ග මගින් සැපයෙන ජලය මත යැපෙන භූමියෙන් විශාල ප්‍රමාණයක් දැනටමත් අධික ලවණ ගතියෙන් යුක්ත වීම නිසා මුඩු බිම් බවට පත්ව තිබේ. ලෝකයේ ආහාර නිෂ්පාදනය කරන ප්‍රධාන රටවල් දෙකක් වන ඉන්දියාවේ හා අමෙරිකා එක්සත් ජනපදයේද වාරි ජලයෙන් පෝෂණය වන භූමියෙන් සියයට 25 පමණ බරපතළ ලෙස හානියට පත්ව තිබේ.
නාස්ති නොකරන අයට හිඟයක් නැත
මිහිතලය මත තිබෙන වටිනා සම්පතක් වන ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා නම්, තත්වය දරුණු අතට හැරීම වළක්වාගත හැක. දුර්වල වාරිමාර්ග ක්‍රම නිසා, වාරි ජලයෙන් සියයට 60ක්ම බෝගවලට යොදාගැනීමට කලින් අපතේ යයි. නවීන තාක්ෂණය යොදාගනිමින් ජලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ක්‍රම සොයාගැනීමෙන් කාර්මික ජල පරිභෝජනය අඩකින් අඩු කළ හැක. කැඩී තිබෙන ජල නළ අලුත්වැඩියා කිරීමෙන් නගරවල ජල පරිභෝජනයද සියයට 30කින් අඩු කරගත හැක.
ජලය සංරක්ෂණය කිරීමට නම්, ක්‍රම සහ විධි මෙන්ම මිනිසුන්ට ඒ සඳහා සැබෑ වුවමනාවක්ද තිබිය යුතුය. මිහිතලය මත තිබෙන වටිනා සම්පතක් වන ජලය අනාගත පරම්පරාවටත් දායාද කිරීමට හැකි වෙයි කියා විශ්වාස කිරීමට හොඳ හේතු තිබේද? මෙම ලිපි මාලාවේ අවසාන ලිපියේ මෙම ප්‍රශ්නය සැලකිල්ලට යොමු කර ඇත.
[පාදසටහන]
a 2001 මැයි 8 පිබිදෙව්! කලාපයේ පළ වූ “මේඝ වලාවන්ගේ නිවහන” නමැති ලිපිය බලන්න.
[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ජලය මත යැපෙන මිනිස් ලෝකය
සෑම නිෂ්පාදනයක් සඳහාම ජලය විශාල ප්‍රමාණයක් යොදාගැනේ.
◼ යකඩ ටොන් එකක් නිෂ්පාදනය කිරීමට වතුර ටොන් 280ක් යොදාගනී.
◼ (අදාළ කර්මාන්ත ශාලාව ජලය නැවත පාවිච්චියට ගන්නේ නැත්නම්) කඩදාසි කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගැනෙන ජලයේ බර කිලෝග්‍රෑම් 700ක් වේ.
◼ අමෙරිකා එක්සත් ජනපදයේ මෝටර් රථයක් නිපදවීම සඳහා භාවිත කරන ජලයේ බර එම මෝටර් රථයේ බර මෙන් 50 ගුණයකි.
කෘෂිකර්මය සඳහාද විශාල ජල ප්‍රමාණයක් වැය වේ. අර්ධ ශුෂ්ක කලාපයට අයත් රටවල සිදු කෙරෙන කෘෂිකර්මාන්තය සඳහා, විශේෂයෙන්ම සත්ව ගොවි පොළවල් සඳහා විශාල වශයෙන් ජලය අවශ්‍ය වේ.
◼ කැලිෆෝනියාවේ ගව මස් කිලෝ ග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීම සඳහා වතුර ලීටර් 20,500ක් අවශ්‍ය වේ.
◼ කුකුලෙකුව ශුද්ධ කර ශීත කිරීම සඳහා අඩුම තරමින් වතුර ලීටර් 26ක්වත් අවශ්‍ය වේ.
[24වන පිටුවේ ප්‍රස්තාරය⁄පින්තූර]
(මුද්‍රිත පිටපත බලන්න)
ජලය භාවිතයට ගැනෙන ආකාරය
කෘෂිකාර්මික 65%
කාර්මික 25%
ගෘහස්ථ 10%
[25වන පිටුවේ පින්තූර]
මිනිසුන්ගේ නොසැලකිලිමත්කම නිසා ජලය විශාල ප්‍රමාණයක් අපතේ යයි
[හිමිකම් විස්තර]
AP Photo/Richard Drew