අත හිත දෙන්නෝ දසත පැතිරී සිටිත්
අත හිත දෙන්නෝ දසත පැතිරී සිටිත්
පහළොස්වන වියේ පසු වන පාසැල් ශිෂ්‍යයෙක් වන බැක්ස්ටර් හැම සෙනසුරාදා දහවලක්ම ගත කරන්නේ අසාමාන්‍ය අන්දමකිනි. ඔහු මහලු පුද්ගලයන් පිරිසක් බැහැදැකීමට යන අතර, ඔවුන්ගේ විශ්‍රාම මධ්‍යස්ථානයේ ගීත ගායනයේ සහ වාදනය කිරීමේ වැඩ පිළිවෙළක් මෙහෙයවයි. “ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් එම මධ්‍යස්ථානයේ සිටින අයගේ ජීවිතයට සතුට, විනෝදය සහ ප්‍රීතිය ගෙන දීමට ඔහු සමත් වී තිබෙනවා” කියා බැක්ස්ටර්ගේ ගුරුවරයා පවසයි. අවුරුදු 78ක් වයසැති ලූසිල් ඒ හා සමාන කාරුණික කටයුත්තක නිරත වෙයි. අගහිඟකම්වලින් පෙළෙන අයට ආහාර සපයමින්, ඇය රෝහල්වල පාළුවෙන් සිටින රෝගීන්ව බැහැදැකීමට යයි. ලූසිල් ගැන ඇගේ මිතුරියක් මෙසේ පවසයි. “අවශ්‍යතාවක් තිබෙනවා නම්, මොන විදිහකින් හරි උපකාරයක් දෙන්න පුළුවන් නම්, ලූසිල්ගේ සහාය අනිවාර්යයෙන්ම ලැබෙනවා.”
ස්වේච්ඡා සේවය හඳුනාගනිමු
ඇත්තෙන්ම ලොව පුරා මිලියන ගණනක් ජනයා මෙවැනි කටයුතුවල යෙදේ. ‘අවශ්‍යතාවක් තිබෙනවා නම් උපකාර කරන්නම්’ යන්න ඔවුන්ගේ ආකල්පය වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉදි කිරීම් භූමිවල හා කාර්යාලවල, කර්මාන්ත ශාලාවල, සාත්තු නිවාසවල, නවාතැන් පොළවල්වල, සරණාගත කඳවුරුවල, උන්හිටි තැන් අහිමි වූවන්ගේ මධ්‍යස්ථානවල, ගිනි නිවන හමුදාවට, හදිසි උපකාර අවශ්‍ය අය වෙනුවෙන් පිහිටුවා ඇති මධ්‍යස්ථානවල, සතුන්ට ආරක්ෂාව සපයන ස්ථානවල හා වෙනත් තැන්වලදී අවශ්‍යතාව අනුව ඔවුන් අත හිත දෙන්නේ ඉමහත් කැමැත්තකිනි. ඔවුන් සැමතැනම! තම කුසලතාවන් යොදවමින් ඔවුහු ශ්‍රමදාන සංවිධානය කරති. යම් යහපත් කටයුත්තකට අරමුදල් එකතු කරති. අනාථ වූ දරුවන්ට සෙනෙහස පෙන්වති. මරණාසන්න රෝගීන්ට යම් අස්වැසිල්ලක් ලබා දෙති. ඔව්, ඔවුහු ඕනෑම කටයුත්තක යෙදීමට මනාපයක් දක්වති. ඔවුන් කවුද? ස්වේච්ඡා සේවකයන්ය. ඇත්තෙන්ම අගහිඟකම්වලින් පෙළෙන අයට ඔවුන්ගෙන් ලැබෙන පිහිට අගය කළ යුතුයි.
ස්වේච්ඡා සේවය “උදාර සිතුවිල්ලක් යහපත් ක්‍රියාවකට පරිවර්තනය වීමක්” ලෙස විස්තර කර
ඇත. ඒ සඳහා කැපවීමක්, ආත්ම-පරිත්‍යාගශීලී ස්වභාවයක්, මූල්‍යමය වාසි අපේක්ෂා නොකිරීමේ ස්වභාවයක් සහ පරාර්ථකාමිත්වය අවශ්‍යය. දිගු කලක් පුරා ස්වේච්ඡා සේවයෙහි නියැලී ඇති දෙදෙනෙක් මෙසේ පවසති. “ස්වේච්ඡා සේවය කියන්නේ කැපවීමක්. කාලය, අපේ අත පය, අපේ අදහස් හා හැකියාවන් වෙනත් කෙනෙකු උදෙසා කැප කරන්න සිදු වෙනවා. ගැටලු නිරාකරණය කරන්න අපගේ දක්ෂතාවන් සහ වෙනත් විශේෂඥ දැනුම පවා කැප කරන්න වෙනවා.” කෙසේවෙතත්, කෙතරම් කැපවීමක් කරන්න සිදු වුණත් ස්වේච්ඡා සේවකයන්ටද ඉන් යම් ප්‍රයෝජන අත් වේ.—“ස්වේච්ඡා සේවකයන්ටද ප්‍රයෝජන” යන කොටුව බලන්න.ශීඝ්‍රයෙන් වැඩි වන අවශ්‍යතාවක්
අමෙරිකා එක්සත් ජනපදයේ මිනිසුන් මිලියන 100ක් පමණ ස්වේච්ඡා සේවයෙහි නිරත වන බවට ගණන් බලා තිබේ. ඇත්තෙන්ම ඒ ගණන වැඩි වන බවක් පෙනෙන්නට තිබේ. මෑතකදී නියූ යෝක් කෙයාර්ස් යන ස්වේච්ඡා සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා කැත්ලින් බේරන්ස් පිබිදෙව්! නියෝජිතයෙකුට පැවසුවේ, “අපගේ සංවිධානය පුදුම වේගයකින් වර්ධනය වෙනවා. ගිය අවුරුද්දේ විතරක්, අපේ වැඩසටහනට අලුත් ස්වේච්ඡා සේවකයන් 5,000කට වඩා වැඩි පිරිසක් බැඳුණා” කියාය. යුරෝපයේත් ස්වේච්ඡා සංවිධාන ඒ හා සමාන ආකාරයකින් වර්ධනය වේ. නිදසුනකට, ප්‍රංශයේ පසුගිය දශක දෙකේදී ස්වේච්ඡා සේවකයන්ගේ ගණන වාර්ෂිකව සියයට 6කින් වැඩි විය. කෙසේවෙතත්, ස්වේච්ඡා සේවකයන් සඳහා ඇති අවශ්‍යතාවේ නම් අඩුවක් නොපවතී. ජාත්‍යන්තර මට්ටමින් “ස්වේච්ඡා සේවකයන්ගේ උපකාරය ලැබීමට තිබෙන අවශ්‍යතාව වෙන කවරදාටත් වඩා වැඩියි” කියා එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයෝ යන ආයතනය ප්‍රකාශ කළේය. එක් කෞතුකාගාරයක් භාරව සිටින නිලධාරියෙක් පැවසුවේ “ස්වේච්ඡා සේවකයන් හිටියේ නැත්තං අපි ඉවරයි” කියාය.
එනමුත් කනගාටුවට හේතුවක්ද ඇත. ස්වේච්ඡා සේවකයන් සමඟ වැඩ කරන අධ්‍යක්ෂකවරුන්, කළමනාකරුවන් සහ සම්බන්ධීකරණ නිලධාරීන් ඔවුන්ව “මසුරන් වටින” සම්පතක්
ලෙස සැලකුවද, ඔවුන් ඉටු කරන සේවය අගය කරන බවක් නොපෙනේ. එමනිසා ආකල්පවල වෙනසක් කිරීමේ අරමුණින්, 2001 වසර ස්වේච්ඡා සේවකයන් වෙත අවධානය යොමු කිරීම සඳහා යොදාගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය අත් කරගැනීමට බලාපොරොත්තු වන ඉලක්ක සමහරක් “අන්තර්ජාතික ස්වේච්ඡා සේවකයන්ගේ වසර” යන කොටුවේ විස්තර කර ඇත.මේ අතරතුරේදී, ස්වේච්ඡා සේවකයන්ට සහ ඔවුන්ගේ සේවය අධීක්ෂණය කරන අයට අභියෝගයක් වී තිබෙන නොයෙකුත් දේවල් සිදු වී ඇත. එම තත්වයන් යටතේ පවා, ලොව පුරා බොහෝදෙනා යම් ආකාරයකින් එයට අත හිත දීමට ආශාවෙන් පසු වෙති. ඔවුන් එසේ කරන්නේ මන්ද? ඔවුන්ගේ සේවයෙන් ඉටු වන්නේ මොනවාද? ඔවුන්ගේ සේවය ඔබේ දිවියට බලපෑ හැක්කේ කෙසේද?
[18වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ස්වේච්ඡා සේවකයන්ටද ප්‍රයෝජන
අර්ධ-කාලීන පදනමක් මත ස්වේච්ඡා සේවයේ යෙදෙන මයිකල් මෙසේ පවසයි. “මගේ ව්‍යාපාරයට මගේ සම්පූර්ණ අවධානයම දීමෙන් ලැබෙනවාට වඩා වැඩි සතුටක් හා ගැඹුරු තෘප්තියක් අනුන්ට උපකාර කිරීමෙන් මම අද්දැක තිබෙනවා.” මෙලෙස හැඟෙන්නේ මයිකල්ට පමණක් නොවේ. එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයන්ගේ විධායක සම්බන්ධීකරණ නිලධාරිනිය වන ෂැරන් කේප්ලෙං-අලාකිඩ්යා මෙසේ අදහස් දක්වයි. “ස්වේච්ඡාවෙන් වැඩ කිරීමෙන් කොතරම් වටිනා අද්දැකීම් සම්භාරයක් තම ජීවිතයට එකතු කරගත හැකිද කියා ලොව වටා එම සේවය සඳහා ඉදිරිපත් වන අය හොඳින් දන්නවා.” ස්වේච්ඡා සේවය පිළිබඳ විශේෂඥයෙක් ලෙස කටයුතු කරන ආචාර්ය ඩග්ලස් එම්. ලෝසන් පර්යේෂකයන් විසින් පවත්වා ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇති තොරතුරු සනාථ කරමින් කියා සිටින්නේ, “පැය කිහිපයකට ස්වේච්ඡාවෙන් යම් වැඩක යෙදීමෙන් පසු, එසේ වැඩ කරන පුද්ගලයාගේ ශාරීරික සහ මානසික සුවය පුදුම ආකාරයකින් ඉහළ නඟින බවයි. එයට ‘ශක්තිජනකයක්’ යන නම පට බැඳී තිබේ.” එසේ දැනෙන ප්‍රාණවත් ගතිය මොහොතකට සීමා වන්නක්ද නොවේ. එක්සත් ජනපදයේ කෝනෙල් සරසවියේ පර්යේෂකයන් වසර 30ක කාලයක් පුරා ජන පිරිසක් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසු සොයාගත්තේ “ස්වේච්ඡා සේවයේ යෙදුණු අය එසේ නොකළ අයට වඩා සතුටින් සහ නිරෝගීව සිටි” බවයි. මෙහිදී “ගැනීමට වඩා දීම ප්‍රීතියට හේතුවක්” වන බවට බයිබලයෙහි සඳහන් කාරණය සැබෑ බව ඔප්පු වේ.—ක්‍රියා 20:35, NW; හිතෝපදේශ 11:25.
[19වන පිටුවේ කොටුව⁄පින්තූරය]
අන්තර්ජාතික ස්වේච්ඡා සේවකයන්ගේ වසර
වර්ෂ 1997 නොවැම්බර් 20වන දින එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීමේදී, 2001 වසර “අන්තර්ජාතික ස්වේච්ඡා සේවකයන්ගේ වසර” (IYV 2001) ලෙස හඳුන්වා දෙන ලදි. එක්සත් ජාතීන්ගේ සංගමයට අනුව එම වසර තුළදී පරමාර්ථයන් සතරක් අත් කරගත යුතුය.
ඔවුන්ව වැඩියෙන් අගය කිරීම ස්වේච්ඡා සේවකයන් ඉටු කර ඇති දේවල් අධ්‍යයනය කර වාර්තා කිරීමට සහ කැපීපෙනෙන ආකාරයකින් සමර්ථකම් පෑ අය සඳහා යම් සම්මාන ප්රදානය කිරීමට ආණ්ඩුවලට දිරිගන්වා තිබේ.
වැඩි දිරිගැන්වීමක් ලබා දීම ස්වේච්ඡා සේවයේ යෙදීම සඳහා දිරිගන්වන්න කියා රටවල්වලට උනන්දු කර ඇත. නිදසුනකට, හමුදා සේවයට විකල්පයක් වශයෙන් හෝ ඇතැම් බදුවලින් සහනයක් ලැබිය හැකි ක්‍රමයක් ලෙස හෝ ස්වේච්ඡා සේවය හඳුන්වා දීමෙන් එය කළ හැක.
තොරතුරු හුවමාරුව ස්වේච්ඡා සේවකයන්ගේ සමර්ථකම්වලට වැඩි ප්‍රසිද්ධියක් ලබා දීමට ජන මාධ්‍යයට ඇරයුම් කර තිබේ. හොඳ තොරතුරු හුවමාරුවක් සිදුවීමේ ප්‍රතිඵලයක් වශයෙන්, වෙනත් ප්‍රදේශවල අයටද කාලය සහ ශ්‍රමය අපතේ යවන්නේ නැතුව ඒ හා සමාන ක්‍රම යොදාගනිමින් යහපත් ප්‍රතිඵල නෙළාගත හැකි වේ.
එය තවත් ප්‍රචලිත කිරීම ස්වේච්ඡා සේවයෙන් සමාජයට නෙළාගත හැකි ප්‍රයෝජන පිළිබඳව විවිධ ප්‍රදර්ශන සංවිධානය කිරීමට ස්වේච්ඡා සංවිධානවලට දිරිගන්වා ඇත.
අන්තර්ජාතික ස්වේච්ඡා සේවකයන්ගේ වසර, 2001 යන වැඩ පිළිවෙළෙහි ප්‍රතිඵලයක් වශයෙන් ස්වේච්ඡා සේවය සඳහා ඇති ඉල්ලුම, ස්වේච්ඡා සේවය සඳහා ඉදිරිපත් වීම සහ ස්වේච්ඡා සංවිධාන සඳහා අරමුදල් හා පහසුකම් සැපයීම වැඩි වේයයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු වේ. ප්‍රතිඵලයක් වශයෙන් දෛනිකව වැඩි වන සමාජීය අවශ්‍යතාවන් ඉටු කිරීමට මඟක් විවෘත විය හැකියයි විශ්වාස කෙරේ. එක්සත් ජාතීන්ගේ මෙම සම්මුතියේ පරමාර්ථයන්වලට අනුග්‍රහය දැක්වීම සඳහා ආණ්ඩු 123ක්ම තම කැමැත්ත පළ කර ඇත.