Skip to content

පටුනට යන්න

අන්ත ක්‍රිස්තුස් කියන්නේ කාටද?

අන්ත ක්‍රිස්තුස් කියන්නේ කාටද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

අන්ත ක්‍රිස්තුස් කියන්නේ කාටද?

‘අන්ත ක්‍රිස්තුස් එන බව නුඹලා ඇසීය.’—1 යොහන් 2:18.

ඔබ ජීවත් වන ප්‍රදේශයට දරුණු අපරාධකරුවෙකු පැමිණෙන බව ඔබට ආරංචි වුණායයි සිතන්න. ඔබ ගන්නේ කුමන ආකාරයේ ක්‍රියාමාර්ගයක්ද? අපරාධකරුගේ හැඩරුව පිළිබඳවත් ඔහු අපරාධ සිදු කිරීමට භාවිත කරන ක්‍රම පිළිබඳවත් ඔබ තොරතුරු සොයා බලන බව නිසැකයි. එමෙන්ම හොඳ අවධානයකින් සිටින්න ඔබ තීරණය කරයි කියාත් සිතාගත හැකියි.

අදදිනත් මීට සමාන තත්වයක් පවතිනවා. ප්‍රේරිත යොහන් අපට ඒ පිළිබඳව මෙසේ අනතුරු අඟවයි. ‘එසේ යේසුස්ව ඒත්තු නොගන්නා වූ සියලුදෙනා දෙවියන්ගෙන් නොවෙති. මේ ක්‍රිස්තු-විරෝධියාගේ [අන්ත ක්‍රිස්තුස්ගේ] ක්‍රියාය. ඔහු එන බව ඔබ අසා ඇත. දැනටමත් ඔහු ලෝකයෙහි සිටියි.’ (1 යොහන් 4:3, නව අනුවාදය) දෙවිට සතුරුකම් පාමින් හා මිනිසුන්ව නොමඟ යවමින් මිනිස් සමාජයට තර්ජනයක් එල්ල කරන අන්ත ක්‍රිස්තුස් කෙනෙක් අදදිනත් සිටිනවාද?

‘අන්ත ක්‍රිස්තුස්’ යන යෙදුම යොහන් ඔහුගේ ලිපි දෙකකදී පස් වතාවක් භාවිත කළේය. එය යොමු දක්වන්නේ ක්‍රිස්තුස් පිළිබඳව බයිබලයෙහි උගන්වා ඇති දේට විරුද්ධව කතා කරන කණ්ඩායමකට හා තමන් ක්‍රිස්තුස්යයි කියාගන්නා හෝ ක්‍රිස්තුස්ව නියෝජනය කරනවායයි කියන වංචනිකයන්ටයි. බයිබලයේ අන්ත ක්‍රිස්තුස්ව හඳුනාගැනීමට ප්‍රමාණවත් තොරතුරු සපයා ඇත. කෙසේවෙතත්, අපරාධකරුවන් හා සම්බන්ධ සිද්ධීන්වලදී මෙන්, සමහර අවස්ථාවලදී සත්‍යයට වඩා මෙම කණ්ඩායම් පතුරුවන පදනම් විරහිත තොරතුරුවලට තැනක් හිමි වී තිබේ.

අන්ත ක්‍රිස්තුස්ගේ අනන්‍යතාව පිළිබඳ විවිධ මත

ප්‍රේරිත යොහන්ගේ දවසේ සිට මේ දක්වා මිනිසුන් කියා සිටින්නේ අන්ත ක්‍රිස්තුස් පිළිබඳව යොහන්ගේ වදන් අදාළ වන්නේ එක් විශේෂිත පුද්ගලයෙකුට කියායි. ඔවුන් විවිධ පුද්ගලයන්ව අන්ත ක්‍රිස්තුස් වශයෙන් හඳුන්වා තිබේ. ශතවර්ෂ ගණනාවකට කලින් රෝම අධිරාජ්‍යයාව සිටි නීරෝ, අන්ත ක්‍රිස්තුස් වූ බවට විශ්වාසයක් පැවතිණ. පසු කලෙක, රෙපරමාදු ප්‍රතිසංස්කරණවාදීන් කියා සිටියේ අන්ත ක්‍රිස්තුස් කියන්නේ පාප්වරුන්ගේ ආධිපත්‍යයට කියායි. ඒ වගේම, ඇඩොල්ෆ් හිට්ලර් වෛරයෙන් පිරි, කෲර යුගයක් උදා කළ නිසා ඔහු අන්ත ක්‍රිස්තුස්යයි සිතීමට බොහෝදෙනෙකු පෙලඹිණ. ඒ විතරක් නෙවෙයි, ජර්මානු දාර්ශනිකයෙකු වූ ෆ්‍රීඩ්‍රික් නීෂ්වද මෙලෙස හඳුන්වා තිබේ. ඇතමෙකු විශ්වාස කරන්නේ අන්ත ක්‍රිස්තුස්ගේ පැමිණීම අනාගතයේදී සිදුවීමට නියමිත බවයි. ඔහු මුළු පොළොවම පාලනය කිරීමේ අභිලාෂය ඇති උපාය දක්ෂ, අනුකම්පා විරහිත, කෲර දේශපාලනඥයෙකු වනු ඇති බව ඔවුන්ගේ අදහසයි. එළිදරව් පොතේ 13වන පරිච්ඡේදයෙහි හඳුන්වා ඇති වන මෘගයා කෙළින්ම යොමු දක්වන්නේ යොහන් විස්තර කළ අන්ත ක්‍රිස්තුස්ට කියාත් අනාගතයේදී මෙම අතිදුෂ්ට මනුෂ්‍යයාව 666 නමැති සලකුණ මගින් හඳුනාගත හැකි වෙයි කියාත් ඔවුහු විශ්වාස කරති.

මෙම විවිධ මතයන්ට අනුව පෙනීයන්නේ ඒවා ඉදිරිපත් කරන අයගේ අදහස නම් යොහන් කතා කරමින් සිටියේ එක අන්ත ක්‍රිස්තුස් කෙනෙකු ගැන බවයි. ඒත්, ඔහු 1 යොහන් 2:18හි පවසන මේ දේ සලකා බලන්න. ‘අන්ත ක්‍රිස්තුස් එන බව නුඹලා ඇසූ ලෙසම දැනටම බොහෝ අන්ත ක්‍රිස්තුස්වරු නැඟිට සිටිති.’ ඔව්, පළමුවන සියවසේ ඇතැම් ක්‍රිස්තියානීන් ආත්මික වශයෙන් රෝගී තත්වයක සිටියේ එක් අන්ත ක්‍රිස්තුස් කෙනෙකු නිසා නොව, ‘බොහෝ අන්ත ක්‍රිස්තුස්වරු’ නිසා බව මෙම බයිබල් පාඨයෙන් පැහැදිලි වේ. අදදිනත් මිනිසා ආත්මික වශයෙන් පරිහානියට ලක් වී ඇති බව පැවසිය හැකියි. මෙය පිටුපස සිටින්නේ, එක් අන්ත ක්‍රිස්තුස් කෙනෙකු නොව නමුත් එවැනි අය බොහෝදෙනෙකුගෙන් සමන්විත අන්ත ක්‍රිස්තුස් පංතියයි. (2 තිමෝති 3:1-5, 13) එසේ නම්, මෙම අන්ත ක්‍රිස්තුස්වරුන් කවුරුන්ද?

එළිදරව් පොතේ සඳහන් යොහන් දුටු දර්ශනයේ හිස් සතක් ඇති වන මෘගයාව යොහන් විස්තර කළේ කෙසේද කියා බලමු. “මා දුටු මෘගයා අඳුන්දිවියෙකුට සමානය, උගේ පාද වළසෙකුගේ පාද වැනිය, උගේ කට සිංහයෙකුගේ කට වැනිය.” (එළිදරව් 13:2, අකුරු ඇල කළේ අපය.) මෘගයාගේ එක් එක් අංග ලක්ෂණවලින් සංකේතවත් කෙරෙන්නේ කුමක්ද?

එළිදරව් 13වන පරිච්ඡේදය සහ දානියෙල් 7වන පරිච්ඡේදය අතර සම්බන්ධයක් ඇති බව බයිබල් විශාරදයන් අවබෝධ කරගෙන තිබේ. දෙවි දානියෙල්ට සංකේතවත් මෘගයන්ගෙන් යුත් දර්ශනයක් පෙනෙන්න සැලැස්සුවේය. එම දර්ශනයේ සිටි මෘගයන් අතර දිවියෙක්, වළසෙක් සහ සිංහයෙක්ද වේ. (දානියෙල් 7:2-6) දෙවිගේ අනාගතවක්තෘ මෙම මෘගයන්ගේ අනන්‍යතාව පැහැදිලි කර දුන්නේ කෙසේද? මෙම වන සතුන් භූමික රජවරු නැතහොත් පාලන ක්‍රම නියෝජනය කළ බව ඔහු පැහැදිලි කළේය. (දානියෙල් 7:17) එසේ නම්, එළිදරව් පොතේ වන මෘගයාගෙන් නියෝජනය වන්නේද දෙවිගේ රාජ්‍යයට එදිරිවාදිකම් කරන මනුෂ්‍ය ආණ්ඩු ක්‍රම බව අපට සාධාරණව නිගමනය කළ හැකියි. දේව රාජ්‍යයට එදිරිවාදිකම් පාන නිසා ඔවුන්ද අන්ත ක්‍රිස්තුස් පංතියට අයත් වේ.

අන්ත ක්‍රිස්තුස් කවුද?

අන්ත ක්‍රිස්තුස් කියන්නේ එක් නිශ්චිත පුද්ගලයෙකු නොවේ නම්, එම යෙදුම භාවිතා වන්නේ කුමක් නියෝජනය කිරීම සඳහාද? දෙවිගේ පුත්‍රයා මිහිපිට සිටියදී ඔහුට එදිරි වූ බොහෝදෙනෙක් සිටියහ. අදදිනත් තත්වය ඒ හා සමානයි. යේසුස්ට ශාරීරිකව කිසිදු හානියක් කිරීමට ඔවුන්ට දැන් බැරි වුණත් ඔවුන් තම වෑයම අත්හැර නැත. මෙම එදිරිවාදීන් කවුද කියා දැන් අපි හඳුනාගනිමු.

ප්‍රේරිත යොහන් පැවසුවේ, ‘යේසුස් ක්‍රිස්තුස් නොවේයයි කියන තැනැත්තා මිස බොරුකාරයා වෙන කවුද? අන්ත ක්‍රිස්තුස් මේය, එනම්, පියා සහ පුත්‍රයා එපා කරන තැනැත්තාමය’ කියායි. (1 යොහන් 2:22) ඇදහිල්ල අත්හැර ගොස් ඇති අය මෙන්ම බොරු ආගමික නායකයෝ යේසුස්ගේ නිර්මල ඉගැන්වීම් විකෘති කරමින් ජනයාව මුළා කරති. එවැනි අය බයිබල් සත්‍යයන් ප්‍රතික්ෂේප කරමින් දෙවිගේ මෙන්ම ක්‍රිස්තුස්ගේ නාමයෙන් බොරු ඉගැන්වීම් පතුරුවයි. ඔවුහු පියාගේ සහ පුත්‍රයාගේ සැබෑ අනන්‍යතාව ප්‍රතික්ෂේප කරන අතර ත්‍රිත්වය නමැති මුළා කරවනසුලු මූලධර්මය තුළින් සැබෑව වසං කිරීමට වෑයම් කරති. එබැවින් ඔවුන්ද අන්ත ක්‍රිස්තුස් පංතියට අයත් වේ.

යේසුස් තම ගෝලයන්ට ලූක් 21:12හි මෙසේ අනතුරු ඇඟෙව්වේය. “මාගේ නාමය නිසා ඔව්හු නුඹලා පිට අත්හෙළා, සිනගෝගවලටත් හිර ගෙවලටත් නුඹලා පාවාදෙමින්, නුඹලාට පීඩාකරන්නෝය.” පළමුවන සියවසේ සිටම සැබෑ ක්‍රිස්තියානීන්ට ඉතා දරුණු පීඩා විඳින්න සිදු වී තිබේ. (2 තිමෝති 3:12) මෙම පීඩාවලට දිරි දෙන අය ක්‍රියා කරන්නේ ක්‍රිස්තුස්ට විරුද්ධවයි. එබැවින් ඔවුහුද අන්ත ක්‍රිස්තුස් පංතියට අයත් වෙති.

“මාගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවන්නේය” කියා යේසුස් පැවසුවේය. (ලූක් 11:23) ඔහු එයින් අදහස් කළේ, ඔහුට මෙන්ම දෙවිගේ අරමුණට විරුද්ධව කටයුතු කරන සියලුදෙනාම අන්ත ක්‍රිස්තුස් පංතියේ කොටසක් වන බවයි. මෙවැනි අයට තිබෙන්නේ කොයි වගේ ඉරණමක්ද?

අන්ත ක්‍රිස්තුස්ට අත් වන ඉරණම

ගීතාවලිය 5:6හි අපට මෙසේ පිළිතුරු සපයයි. ‘දෙවි බොරු කියන්නන් විනාශ කරන්නේය. මිනීමරු වූ ප්‍රයෝගකාර වූ මනුෂ්‍යයාට යෙහෝවා පිළිකුල් කරන්නේය.’ මෙම වදන් අන්ත ක්‍රිස්තුස්ටත් අදාළ වෙනවාද? ඔව්. “මක්නිසාද යේසුස් [ක්‍රිස්තුස්] මාංසයෙන් යුක්තව එන බව ඒත්තු නොගන්නාවූ බොහෝ රැවටිලිකාරයෝ ලෝකයට පැමිණ සිටිති. රවටන්නාද [අන්ත ක්‍රිස්තුස්ද] මොහුය” කියා ප්‍රේරිත යොහන් පැහැදිලි කළා. (2 යොහන් 7) සර්වපරාක්‍රම දෙවි බොරුවෙන් හා වංචාවෙන් පිරි මෙම අන්ත ක්‍රිස්තුස්ව සහමුලින්ම විනාශ කර දමයි.

එම විනිශ්චය ළඟා වෙත්ම අන්ත ක්‍රිස්තුස්ගේ මුළා කරවනසුලු ඉගැන්වීම්වලින් ආරක්ෂා වීමට සැබෑ ක්‍රිස්තියානීන් වගබලා ගත යුතුයි. තාඩන පීඩන එල්ල කිරීම තුළින් ඔවුන්ගේ ඇදහිල්ල දුර්වල කිරීමට දරන වෑයම් පිළිබඳවද ඔවුන් අවදිව සිටින්න අවශ්‍යයි. ඔවුන් විශේෂයෙන් අවදිව සිටිය යුත්තේ ඇදහිල්ලට ද්‍රෝහි වී එය අත්හැර ගිය අය ඇදහිල්ල දුර්වල කිරීමට දරන වෑයම් ගැනයි. යොහන් ඉතා ප්‍රබල ලෙස මෙසේ අනතුරු අඟවයි. “ඔබ උදෙසා අප කළ දේ නැති නොවන පිණිසත්, සම්පූර්ණ විපාකයක් ඔබට ලැබෙන පිණිසත් ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න.”—2 යොහන් 8, න. අ.

[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

2වන සහ 14වන පිටුවල දැක්වෙන නීරෝගේ රූප: Visitors of the Ashmolean Museum, Oxford අනුග්‍රහයෙනි