දිනපොත විශ්වාසවන්ත මිතුරෙකි
දිනපොත විශ්වාසවන්ත මිතුරෙකි
දිනපොතක් විශ්වාසවන්ත මිතුරෙක් විය හැකියි. සිත් පිත් නැති කෲර ලෝකයක එය දයාබර මිතුරෙකි. දිනපොතක් “අපේ ජීවිතයේ සන්ධිස්ථානයන් සනිටුහන් කරන මතකයන් රැසක් ගොනු කර තබාගැනීමට මඟ සලසයි” කියා ලේඛිකා ක්‍රිස්ටිනා බෝල්ඩ්වින් පවසයි. අතීත සිද්ධීන් මතකයට නංවන ඡායාරූප ඇල්බමයක් මෙන් දිනපොතක්ද අප ගමන් ගත් ජීවිත මඟේ ඇතැම් දේ හෙළි කරන ලිඛිත “පින්තූර” අපට සපයයි.
බයිබල් කාලවල ආණ්ඩු ක්‍රම මගින් වැදගත් සිද්ධීන් පිළිබඳ නිවැරදි තොරතුරු සටහන් කර තබන ලදි. එවැනි නිල වාර්තා ගණනාවක්ම බයිබලයේද සඳහන් වේ. (ගණන් කථාව 21:14, 15; යෝෂුවා 10:12, 13) ග්‍රීක්වරුන් විසින් සෑම දිනකම තරු හා ග්‍රහලෝකවල ගමන් මඟ සටහන් කරගනිමින් ලිත වැනි යමක් නිර්මාණය කරන ලදි. එය ඉෆෙමෙරිඩේස් a යන නමින් හැඳින්වීය. ග්‍රීසිය අල්ලාගත් රෝම ජාතිකයෝද මෙම දිනපොත් භාවිතය පටන්ගත් නමුත් ඊට වඩාත් ප්‍රායෝගික ස්වරූපයක් එක් කළහ. එනම් නොයෙක් සමාජයන් එදිනෙදා අද්දකින සිද්ධීන් සහ පොදු ජනතාව උනන්දුව දක්වන දේවල් එක් කරමින් එහි ගුණය වැඩි කර තිබේ. ඔවුන් ඒවා හැඳින්වූයේ ඩයාරියම් යනුවෙනි. එය “දිනය” යන අර්ථය ඇති ඩයේස් නම් ලතින් වචනයෙන් පැමිණෙන්නකි.
කෙසේවුවත්, දිනපොත එදිනෙදා සිදු වන පෞද්ගලික සිද්ධීන් ගොනු කර තබන්නක් ලෙස බටහිර රටවල ජනප්‍රිය වූයේ ඉංග්‍රීසි ජාතික සැමුවෙල් පීප්ස් 17වන සියවසේදී දිනපොතක ලියූ දා සිටය. භක්තිවන්තකමේ හා ලෞකිකත්වයේ අසාමාන්‍ය මිශ්‍රණයක් අඩංගු පීප්ස්ගේ දිනපොත, ඉංග්‍රීසි ජාතික IIවන චාල්ස් රජුගේ පාලන සමයේදී මිනිස්සු ජීවිත ගත කළ ආකාරය ගැන මනා අවබෝධයක් ලබා දී ඇත.
දිනපොතක ලිවීම එදා සිට අද දක්වා ජනප්‍රිය වී තිබේ. බොහෝ දිනපොත් වටිනා ඓතිහාසික තොරතුරු අඩංගු ලියවිලි බවටද පත් වී ඇත. නාට්සීන්ගේ ග්‍රහණයට අසු නොවී සැඟවී සිටි යුදෙව් යෞවනියකගේ දිනපොත ඒවා අතරින් වඩාත් විශිෂ්ටය. ඈන් ෆ්‍රෑන්ක්ගේ යෞවනියකගේ දිනපොත, මිනිසා විසින් මිනිසාට සිදු කරනු ලබන නොමිනිස් ක්‍රියා පිළිබඳ අනුවේදනීය කතා පුවතකි.
දිනපොත සිත්ගන්නේ කෙලෙසද?
දිනපොතක ලිවීමෙන් මූලික මිනිස් ආශාවක්, එනම් තමා ගැනම ප්‍රකාශ කිරීමට තිබෙන ආශාවක් ඉටු කරන බව පෙනෙන්ට තිබේ. බිළිඳෙකුගේ මුල් වචන කීපය ඇසීමෙන්
ලැබූ ප්‍රීතිය ගැන හෝ වර්ධනය වූ ප්‍රේමනීය සබඳතාවක් ගැන හෝ දිනපොතක වාර්තා කර තැබීමෙන්, අපේ ජීවිත හැඩගස්වන සිද්ධීන් ගැන නිහඬව කල්පනා කිරීමට අපට මඟ සලසයි. ලියා ඇති දේ පසු කලක කියවීමෙන් ඒ සුන්දර මොහොතවල් මතකයට නඟාගැනීමට හා ඉන් පිබිදුණු හැඟීම් තුළ යළි ජීවත් වීමට අපට ඉඩ සැලසේ.දිනපොතකින් ලැබෙන විශාලතම වාසිය වන්නේ, අපට අපවම හඳුනාගැනීමට උපකාර කිරීමට එයට හැකිවීමයි. ලේඛිකා ට්‍රිස්ටින් රයින එය හඳුන්වන්නේ “හිර කර නොගෙන තම හැඟීම් ප්‍රකාශ කිරීමට හැකි කරවන ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක මෙවලමක්” ලෙසය.
බයිබලයේ හිතෝපදේශ 12:25හි [නව අනුවාදය] මෙසේ පවසයි. “සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි.” තම “සිත්තැවුල” ගැන පැවසීමට යමෙකු පසුබට වේ නම්, ලිවීම තුළින් තම අදහස් පළ කිරීම විකල්පයක් විය හැක. මෙබැවින්, චිත්තවේගීය පීඩාවක් සමඟ කටයුතු කිරීමේදී එම පීඩාවට මූණ දීම සඳහා දිනපොතක ලිවීම බොහෝවිට උපකාරයක් වශයෙන් සැලකිය හැකියි. තමන්ගේ ජීවිතය ගැන මෙනෙහි කිරීමට, අලුත් ඉලක්ක තැබීමට හා සමහර අවස්ථාවලදී ගැටලුවලට විසඳුම් සෙවීමට පවා දිනපොතක් භාවිත කිරීම මහෝපකාරි වේ. කෙනෙකුගේ ගැටලු හා හැඟීම් පිළිබඳව ලිවීමෙන් ඔහුට තමා මුහුණ දෙන ප්‍රශ්න කෙරෙහි සිත යොමු කර, ඒවායේ නියම තත්වය අවබෝධ කරගැනීමට හැකිකම ලැබේ.
දිනපොත අධ්‍යාපනික මෙවලමක්ද විය හැක. ගුරුවරුන් පිළිබඳ අමෙරිකානු ඒකාබද්ධ සංගමය දෙමාපියන්ට මෙසේ අවවාද කරයි. “දිනපොතක ලිවීමට ඔබේ දරුවන්ව දිරිගන්වන්න. දිනපොතක ලිවීමෙන්, ලිවීමේ කුසලතා හා නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය වේ.”
මා ලිවීමට පටන්ගත් අයුරු
මුලින්ම, නිසංසල තැනක් හා ඔබ කැමති ආකාරයේ දිනපොතක් හෝ සටහන් පොතක් සොයාගන්න. තෙලි තුඩෙන් හිස් පිටුවක් පිරවීම සෑහෙන අභියෝගයක් මෙන් පෙනෙන්න පුළුවනි. කෙසේවෙතත් අවංක වීමත්, නිරායාසයෙන් වචන ගලා ඒමට සැලැස්වීමත්, සරල වීමත් අත්‍යවශ්‍යයි. ඔබට ඔබෙන්ම මෙවැනි ප්‍රශ්න ඇසිය හැක. ‘අද මම මොනවද කළේ? ඒවා මට බලපෑවේ කොහොමද? මම කෑවේ මොනවද? මං දැක්කේ කාවද? මම සැලකිල්ලක් දක්වන අයගේ ජීවිතවල සිදු වෙමින් පවතින්නේ මොනවද?’ නැතහොත් ඔබට මේ මොහොතේ සිට පටන්ගත හැකියි. ‘දැන් මම මොන වගේ ජීවිතයක්ද ගත කරන්නේ? මගේ ඉලක්ක මොනවද? මං මවන සිහින මොනවද?’ ඉන්පසු, වුවමනාවට වඩා නොසිතා දිගටම ලියාගෙන යන්න.
ඔබේ කැමැත්ත පරිදි හුඟක් හෝ ටිකක් ලිවිය හැක. කැමති නම් නිතර නිතර හෝ ඉඳ හිට හෝ ලිවීමට හැකියි. අවංකව අදහස් වචනයට නඟන්න. ව්‍යාකරණ හෝ අක්ෂර වින්‍යාසය ගැන කරදර නොවන්න. මන්ද වෙනත් අය ඔබ ලියන දේ දකින්නේ නැත. ඡායාරූප, පුවත්පත්වලින් කපාගත් දේවල් හෝ වැදගත්යයි ඔබට හැඟෙන වෙනත් ඕනෑම දෙයක් එහි අලවාගැනීමට ඔබට හැකියි. එය ඔබේ පොතයි. එය පිළිවෙළකට හෝ අපිළිවෙළකට තබාගත හැකියි. එය කුඩා හෝ විශාල විය හැකියි. එමෙන්ම ඔබ ලිවිය යුත්තේ ලිවීමට වුවමනා වන විට පමණයි. අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්යයි සිතා දිනපොතේ ලිවීමට යෑමෙන් ඔබ අසාර්ථකත්වයක් හා අධෛර්යය වීමක් අද්දකිනු ඇත.—කොටුව බලන්න.
ජීවීන් පිළිබඳ අධ්‍යයනයේ නියැලෙන විද්‍යාඥයෙකු ඇතැම් ජීවීන්ගේ වෙනස්කම් නිරීක්ෂණය කර වාර්තා කිරීමට පොත් භාවිත කළ හැකිවාක් මෙන්ම ඔබේම හැසිරීම් රටාවන් හා ඔබේ පෙලඹීම් නිරීක්ෂණය කිරීමට හා අධ්‍යයනය කිරීමට දිනපොතක් උපකාරවත් විය හැකියි. ඔබේ දිනපොත ඔබේ ප්‍රීතිවීම්, ඔබේ සිත් වේදනාවන්, ඔබේ දුර්වලකම්, ඔබේ හැකියාවන් හෙළි කරනු ඇත. එය ඔබේ හැඟීම් ප්‍රකාශ කිරීමේ හැකියාව වර්ධනය කරනු ඇත. දිනපොතක ලිවීමට යම් කැපවීමක් කළ යුතු වුවත්, එවැනි කැපවීමකින් විපුල ඵල නෙළිය හැකි වේ.—සපයන ලද්දක්.
[පාදසටහන]
a “එක දවසකට පමණයි” යන අර්ථය ඇති ඉෆෙමෙරෝස් යන ග්‍රීක් වචනයෙන් පැමිණෙන්නකි.
[13වන පිටුවේ කොටුව]
වැඩේට අතගැසීමට යෝජනා
◆ කල්පවතින, පහසුවෙන් ගෙන යා හැකි දිනපොතක් තෝරාගන්න.
◆ ඔබට තනිව සිටිය හැකි නිසංසල තැනක් හා සුදුසු වේලාවක් සොයාගන්න. ලියන සෑම අවස්ථාවකදීම දිනය සටහන් කරන්න.
◆ ඔබට දවස් කීපයක් අතපසු වුවොත් කලබල නොවී නැවැත්වූ තැන් සිට යළි පටන්ගන්න.
◆ ඔබ ලියන දේ ගැන වුවමනාවට වඩා නොසිතන්න. නිදහසේ වචන ගලා ඒමට සලස්වන්න. පොදු කරුණු නොලියා සවිස්තරව ලියන්න.