Skip to content

පටුනට යන්න

යාච්ඤාව මට උපකාරයක් වෙන්නේ කොහොමද?

යාච්ඤාව මට උපකාරයක් වෙන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

යාච්ඤාව මට උපකාරයක් වෙන්නේ කොහොමද?

“මගේ ජීවිතය හරි මඟට ගන්න මට උපකාර කළේ යාච්ඤාවයි.”—බ්‍රැඩ්. a

ඔබ නොසිතන තරම් යෞවනයන් සංඛ්‍යාවක් යාච්ඤාවේ නිරත වෙනවා. ඒ බව සනාථ වූයේ එක්සත් ජනපදයේ අවුරුදු 13 සිට 17 දක්වා යෞවනයන් කණ්ඩායමක් යොදාගෙන කළ සමීක්ෂණයකින්. එහිදී සියයට 56ක් කියා සිටියේ ඔවුන් රෑ කෑමට පෙර යාච්ඤාවෙහි නිරත වන බවයි. වැඩිහිටිභාවයට පා තබා ඇති යෞවනයන් කණ්ඩායමක් යොදාගෙන කළ සමීක්ෂණයකදී සියයට 62ක් සෑම දිනකදීම යාච්ඤා කරන බව කියා සිටියා.

එසේ වුවත් බොහෝ යෞවනයන්ගේ යාච්ඤාවන්වල අර්ථාන්විතබවක් නැහැ. වෙනත් විදිහකින් පවසනවා නම් ඔවුන් යාච්ඤා කරන්නේ හැඟීමකින් තොරවයි. යාච්ඤාව නිකම් පුරුද්දට කරන දෙයක් වී තිබෙනවා. බයිබලයෙහි සඳහන් කරන ආකාරයට මීට හේතුව ‘දෙවි පිළිබඳ දැනුම’ තිබෙන්නේ යෞවනයන්ගෙන් සුළු පිරිසකට පමණක් වීමයි. (කොලොස්සි 1:9, 10) මෙම හේතුව නිසා ඔවුන් තම ජීවිත තුළ දෙවියන්ට දිය යුතු නිසි ස්ථානය දී නැහැ. යම් වැදගත් තීරණයක් ගැනීමේදී දෙවිගෙන් උපකාරයක් පැතුවාද කියා එක් සමීක්ෂණයකදී යෞවනයන්ගෙන් විමසනු ලැබූ විට යෞවනියක් අදහස් දැක්වූයේ මෙසේයි. “යා යුතු නිවැරදි මාර්ගය මට පෙන්වන්න කියලා මම දෙවිට යාච්ඤා කරනවා. ඒත් තීරණයක් ගැනීමේදී යාච්ඤා කළාද කියලා මට මතක නැහැ.” මෙයින් එක් දෙයක් සනාථ වෙනවා. එනම් යාච්ඤාවකට තමන්ට උපකාර කරන්න බලයක් තිබෙනවා කියා නිසැකකමක් බොහෝ යෞවන අය තුළ නැහැ.

ඒ කෙසේ වුවත් ලිපිය ආරම්භයේ සඳහන් කළ බ්‍රැඩ් මෙන්ම යෞවනයන් දහස් ගණනක් යාච්ඤාවේ ඇති බලය පෞද්ගලිකවම අද්දැක තිබෙනවා. ඔබටත් එය අද්දකින්න පුළුවන්! දෙවි අපගේ යාච්ඤා අසන බවට නිසැක විය හැක්කේ කෙසේද කියා කලින් ලිපියෙහි පැහැදිලි කිරීමක් කළා. b දැන් පිළිතුරු සොයාගත යුතු ප්‍රශ්නය වන්නේ යාච්ඤාව ඔබට උපකාර කරන්නේ කෙසේද යන්නයි. ප්‍රථමයෙන් දෙවි අපගේ යාච්ඤාවන්ට පිළිතුරු දෙන්නේ කෙසේද කියා බලමු.

දෙවි යාච්ඤාවලට පිළිතුරු සපයන්නේ කෙසේද?

බයිබල් කාලවල විසූ ඇදහිලිවන්ත මනුෂ්‍යයන්ට තමන්ගේ යාච්ඤා සඳහා ඍජුවත් ප්‍රතිහාර්යමය ලෙසත් පිළිතුරු ලැබුණා. හෙසකියා රජගේ අද්දැකීම මීට හොඳ නිදසුනක්. හෙසකියා රජ තමන්ට මාරාන්තික රෝගයක් තිබෙන බව දැනගත් විට එයින් මිදීම සඳහා දෙවිට කන්නලව් කළා. දෙවි එම යාච්ඤාවට පිළිතුරු දුන්නේ මෙසේයි. “මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුලු දුටිමි. බලව, මම නුඹ සුවපත්කරන්නෙමි.” (2 රාජාවලිය 20:1-6) මෙයාකාරයට වෙනත් දේවභයැති ස්ත්‍රීන් හා පුරුෂයන්ද තමන් වෙනුවෙන් දෙවි ඔහුගේ හස්තය විදහා කළ ආශීර්වාද අද්දැක්කා.—1 සාමුවෙල් 1:1-20; දානියෙල් 10:2-12; ක්‍රියා 4:24-31; 10:1-7.

නමුත් දිව්‍ය මැදිහත් වීම් බයිබල් කාලවලදී පවා සුලභ දෙයක් වුණේ නැහැ. බොහෝ අවස්ථාවන්වල දෙවි තම සේවකයන්ගේ යාච්ඤාවලට පිළිතුරු දුන්නේ ප්‍රතිහාර්යයන් මගින් නොව ‘සියලු ආකාර ප්‍රඥාවද ආත්මික නුවණද දෙමින්, තම කැමැත්ත පිළිබඳ නිවැරදි දැනුමෙන් පූර්ණ වීමටද’ උපකාර කිරීමෙනුයි. (කොලොස්සි 1:9, 10) ඔව්, දෙවි තම සෙනඟට ආත්මිකව සහ සදාචාරාත්මකව ශක්තිමත්ව සිටීමට අවශ්‍ය දැනුම සපයමින්, ඔවුන්ට ඥානවන්ත තීරණ ගැනීමට අවශ්‍ය ප්‍රඥාව ලබා දුන්නා. ක්‍රිස්තියානීන් පීඩාකාරි තත්වයන් යටතේ සිටින විට දෙවි විගස එම පීඩාව නැති කිරීමට කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට, ඔහු එම පීඩාව විඳදරාගැනීමට ‘සාමාන්‍ය ඉක්මවූ බලයක්’ තම සෙනඟට ලබා දුන්නා.—2 කොරින්ති 4:7, NW; 2 තිමෝති 4:17.

එම නිසා අදදිනත් ඔබේ යාච්ඤාවලට හාස්කමකින් පිළිතුරු ලැබෙයි කියා බලාපොරොත්තු වීම යථාර්ථවාදී නොවෙයි. නමුත් දෙවි අතීතයේදී කළාක් මෙන් ඔබට ඔහුගේ ශුද්ධාත්මය දෙමින් ඕනෑම දෙයකට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. (ගලාති 5:22, 23) යාච්ඤාව ඔබට උපකාරවත් වන්නේ කෙසේද කියා පෙන්වීමට දැන් විශේෂ අවස්ථාවන් හතරක් සලකා බලමු.

තීරණ ගැනීමේදී . . .

කෙරන් නමැති යෞවනිය, හොඳ ආත්මික ඉලක්ක තිබෙනවායයි පෙනෙන්න තිබුණු යෞවනයෙක් සමඟ ඇසුරක් පැවැත්වුවා. “එයා හැම වේලාවකම මට කියන්නේ එයාට සභාවේ වැඩිමහල්ලෙක් වෙන්න ඕනේ කියලා. හැබැයි එයා පටන්ගත්ත ව්‍යාපාරය ගැනත් මට අරන් දෙන්න හිතාගෙන ඉන්න දේවල් ගැනත් ගොඩක් කතා කරන නිසා එයා ඇත්තටම අවංක කෙනෙක්ද, එයාගේ නියම චේතනාව මොකක්ද කියලා මට සැක හිතුණා. ඒ නිසා එයා කොයි වගේ කෙනෙක්ද කියලා මට තේරුම්ගන්න උපකාර කරන්න කියලා යෙහෝවාට මම කන්නලව් කළා” කියා කෙරන් පවසනවා.

සමහර අවස්ථාවලදී, ඔබේ සැලකිල්ලට භාජන වන කාරණා දෙස යෙහෝවා බලන ආකාරයෙන් බැලීමට යාච්ඤාව උපකාරයක් සපයනවා. කෙරන්ට ප්‍රයෝගික උපදෙසුත් අවශ්‍ය වුණා. ඇයට හාස්කමකින් ඇගේ ගැටලුවට පිළිතුරු බලාපොරොත්තු විය හැකිද? ඊට ප්‍රථම දාවිත් රජ සම්බන්ධ බයිබල් වාර්තාවක් සලකා බලන්න. තම හිතෛෂී මිත්‍ර අහිතොපෙල් රාජ ද්‍රෝහියෙක් වන තම පුත්‍ර අබ්සලොම්ට උපදෙස් දෙන බව දැනගත් විට, “අහෝ, [යෙහෝවා,] අහිතොපෙල්ගේ මන්ත්‍රණය මෝඩකමට හැරවුව මැනව” කියා දාවිත් යාච්ඤා කළා. (2 සාමුවෙල් 15:31) ඒ විතරක් නොවෙයි දාවිත් ඔහුගේ යාච්ඤාවට එකඟවද කටයුතු කළා. “මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය [නිෂ්ඵල කරන්න]” කියා තම මිත්‍ර හූෂයිට ඔහු වගකීමක් පැවරුවා. (2 සාමුවෙල් 15:34) එයාකාරයෙන්, කෙරන්ද තම යාච්ඤාවට එකඟව ක්‍රියා කළා. ඇගේ පෙම්වතාව හොඳින් දන්න මේරූ ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකුගෙන් ඇය උපදෙස් පැතුවා. එවිට, එම වැඩිමහල්ලා ඇගේ පෙම්වතාගේ මන්දගාමි ආත්මිකත්වය ගැන පැවසූ විට ඇගේ සැකය සාධාරණ බව ඔප්පු වුණා.

“යාච්ඤාවේ බලය කොයිතරම්ද කියලා එම සිද්ධිය තුළින් ඔප්පු වුණා” කියා කෙරන් පවසනවා. ඇගේ පෙම්වතා සම්බන්ධයෙන් කනගාටුදායක කාරණයක් පැවසීමට තිබෙනවා. එනම්, ඔහු මුදල් පසුපස හඹා ගිය අතර දෙවිට සේවය කිරීම නවතා දැමුවා. “මම එයත් එක්ක විවාහ වුණා නම් මට අද රැස්වීමට එන්න වෙන්නේ තනියෙම” කියා කෙරන් තවදුරටත් පවසනවා. කෙරන්ට හරි තීරණයක් ගැනීමට යාච්ඤාව උපකාරවත් වුණා.

හැඟීම් පාලනය කිරීමට . . .

“අඥානයා තමාගේ මුළු උදහස පිටතට ගෙනෙයි; එහෙත් ප්‍රඥාවන්තයා ඒක නවත්වාගනියි” කියා හිතෝපදේශ 29:11හි පවසයි. අදදින මිනිසා ජීවත් වන්නේ අධික මානසික පීඩනයක් යටතේයි. එමනිසා ඔවුන් නිතරම සිටින්නේ කෝපාවිෂ්ටවයි. මෙවැනි තත්වයන් විනාශකාරි ප්‍රතිඵලවලටද මඟ පාදනවා. තරුණ බ්‍රයන්ට සිදු වුණ ඇබැද්දියක් ගැන මෙසේ ඔහු සිහිපත් කරනවා. “මගේ කාර්යාලයේ සෙසු සේවකයෙකුයි මායි අතර ප්‍රශ්නයක් තිබුණා. එක දවසක් ඔහු පිහියක් ඇදලා ගත්තා මට අනින්න.” ඔබ එවැනි අවස්ථාවකට මුහුණ දුන්නා නම් ඔබ කරන්නේ කුමක්ද? බ්‍රයන්ට සිහි වුණේ යාච්ඤාව. “සන්සුන්ව ඉන්න යෙහෝවා මට උදව් කළා. මම කතාවෙන්ම ඔහුගේ කෝපය නිව්වා. පස්සේ ඔහු පිහිය පැත්තකට දාලා යන්න ගියා.” බ්‍රයන් ඔහුගේ හැඟීම් පාලනය කරගත් නිසා කෝපයෙන් ප්‍රතික්‍රියා නොකළ අතර, ඔහුගේ ජීවිතය බේරගන්න හැකි වුණා.

ඔබට එවැනි මරණීය තර්ජනයකට මුහුණ දීමට සිදු නොවෙන්න පුළුවන්. නමුත් ඔබගේ ජීවිතයේ යම් යම් අවස්ථාවල හැඟීම් පාලනය කිරීමට සිදු වන අවස්ථා එමට තිබිය හැකියි. එවන් අවස්ථාවකදී සන්සුන්ව සිටීමට යාච්ඤාව ඔබට උපකාර කරයි.

කනස්සල්ලෙන් සිටින අවස්ථාවල . . .

වසර කිහිපයකට පෙර “කරදරකාරි කාලයක් අද්දැක්ක” බාබරා මෙසේ පවසනවා. “මගේ රස්සාවෙන්වත් පවුලෙන්වත් මිත්‍රයන්ගෙන්වත්, කිසිම සැනසීමක් මට ලැබුණේ නැහැ. මොනවාද කරන්නේ කියලා මට හිතාගන්නවත් බැරුවයි හිටියේ.” බාබරා උපකාරය ලබාගන්න පුරුද්දට වගේ යාච්ඤා කළා. නමුත් පොඩි ගැටලුවක් තිබුණා. ඒ තමයි “ඇත්තටම යෙහෝවාගෙන් මොනවාද ඉල්ලන්නේ කියලා” ඇය නොදැන සිටීම. “අන්තිමේදී මගේ හිතට සහනයක් දෙන්න කියලා මම ඉල්ලුවා. මොනම දෙයක් ගැනවත් අනවශ්‍ය ලෙස කරදර නොවී ඉන්න හැම රාත්‍රියකම ඔහුගෙන් මම උපකාර ඉල්ලුවා” කියා ඇය පවසනවා.

එම යාච්ඤාව ඇයට උපකාරවත් වූ ආකාරය ගැන ඇය පැවසුවේ මෙසේයි. “මගේ ප්‍රශ්න ඒ විදිහටම තිබුණා. හැබැයි දවස් කිහිපයක් ගියාට පස්සේ මම ප්‍රශ්නවලම එරිලා හිටියේ නැහැයි කියලා මට තේරුම් ගියා.” බයිබලයේ දී ඇති පොරොන්දුවත් එයයි. “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් [දෙවිට] දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ [දෙවිගේ] සමාදානය ක්‍රිස්තුස් [යේසුස්] තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.”—පිලිප්පි 4:6, 7.

දෙවිට ළංවීමට . . .

පෝල් නමැති යෞවනයාගේ අද්දැකීම සලකා බලන්න. “මම දැන් නතර වෙලා ඉන්නේ අපේ නෑ කට්ටියකගේ ගෙදරකයි. එක දවසක් රෑ මට පුදුම කලකිරීමක් ඇති වුණා. මෑතකදී මම උපාධියක් ලැබුව නිසා මගේ යාළු මිත්‍රයන්ගෙන් වෙන් වෙන්න මට සිද්ධ වුණා. අපි විනෝදයෙන් ගත කරපු කාලය මතක් වෙලා එදා රෑ මගේ ඇස්වලට කඳුළු පිරුණා.” ඔහු කළේ එක දෙයයි. එනම් ජීවිතේ මුල්ම වතාවට ඉතා උනන්දුමත් ලෙස යාච්ඤා කළා. “මට ශක්තියත් කනස්සල්ලෙන් මිදෙන්න උපකාරයත් ඉල්ලලා යෙහෝවාට මම මුළු හදින්ම යාච්ඤා කළා” කියා ඔහු පවසනවා.

එයින් ඇති වුණ යහපත් ප්‍රතිඵල ගැන පෝල් පවසන්නේ මෙසේයි. “ඊළඟ දවසේ උදේ මම නැඟිට්ටේ ජීවිතේ කිසි දවසක අද්දැක්ක නැති ප්‍රබෝධයකින්. මගේ හිතේ තිබුණ දුක නැති වෙලා ඒ වෙනුවට ‘දෙවිගේ සමාදානය සිතේ’ රජයන්න පටන්ගත්තා.” පෝල්ට දැන් සන්සුන් මනසක් තිබෙන අතර, හැඟීම්වලට යටත් නොවී දේවල් දෙස යථාර්ථවාදී ලෙස බැලීමට ඔහුට හැකියාව තිබෙනවා. අතීතයේ දවස් තමා සිතූ තරම් සුන්දර නැති බව ඔහු විගස වටහාගත්තා. (දේශනාකාරයා 7:10) ඉතාමත් දුකින් තම “මිත්‍රයන්ගෙන්” වෙන් වුණත් ඇත්තෙන්ම ඔවුන් ආශ්‍රයට සුදුසු අය නොවන බව ඔහුට පසුව තේරුම් ගියා.

වැදගත්ම දේ නම්, යෙහෝවා මනුෂ්‍යයාට දක්වන සැලකිල්ල පෝල්ට පෞද්ගලිකවම අද්දකින්න ලැබීමයි. ‘දෙවිට ළං වෙන්න. එවිට ඔහු නුඹලාට ළං වන්නේය’ කියා යාකොබ් 4:8හි ඇති වදන්වල සත්‍යයද ඔහුට අවබෝධ වුණා. මෙය ඔහුගේ ජීවිතය වෙනත් මඟකට යොමු කළා. ඔහු අන් කිසි දෙයකට වඩා යෙහෝවාට තම ජීවිතයේ මුල් තැන දුන් අතර තම ජීවිතය යෙහෝවා දෙවිට කැප කළා.

දෙවිට කතා කරන්න!

යාච්ඤාව ඔබට උපකාරවත් වන බව මෙම අද්දැකීම්වලින් සනාථ වෙනවා. නමුත් එවන් උපකාරයක් ලැබෙන්නේ ඔබ උනන්දුමත් ලෙස දෙවි පිළිබඳව ඉගෙනගෙන ඔහුත් සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගත්තොත් පමණයි. කනගාටුවට කාරණයක් වන්නේ යෞවනයන් වැඩි පිරිසක් එම පියවර ගැනීම පසුවට කල් දැමීමයි. කරිසා නමැති යෞවනිය ඇති දැඩි වුණේ ක්‍රිස්තියානි පවුලකයි. නමුත් ඇය මෙසේ පවසනවා. “යෙහෝවා සමඟ ඇති කරගන්නා උතුම් සම්බන්ධකමේ නියම වටිනාකම මම හරියටම තේරුම්ගත්තේ මේ පසුගිය වසර කිහිපය තුළයි.” ලිපිය ආරම්භයෙහි සඳහන් කළ බ්‍රැඩ් ඇති දැඩි වුණේත් ක්‍රිස්තියානියෙකු ලෙසයි. නමුත් ඔහු අවුරුදු කිහිපයක් සැබෑ නමස්කාරයෙන් ඈත්ව සිටියා. “මම නැති කරගත්ත දේ කොයිතරම් වටිනවාද කියලා මට තේරුම් ගියාට පස්සේ තමයි මම ආයෙත් යෙහෝවාව හොයාගෙන ආවේ. යෙහෝවා එක්ක සම්බන්ධයක් නැතුව ඉද්දී ජීවිතය හරියට අඳුරු ගුහාවක් වගෙයි කියලා මට දැන් හොඳට තේරෙනවා” කියා ඔහු පවසනවා.

දෙවිට ළං වෙන්න කරදරයකට මුහුණ දෙන තෙක් බලා සිටින්න අවශ්‍ය නැහැ. නොකඩවා ඔහු සමඟ කතා කරන්න! (ලූක් 11:9-13) ‘ඔහු ඉදිරියෙහි ඔබේ හෘදය විවෘත කරන්න.’ (ගීතාවලිය 62:8, NW) එවිට යාච්ඤාව ඔබට සැබෑම උපකාරයක් කියා ඔබ ඉක්මනින්ම වටහාගන්න බව නිසැකයි!

[පාදසටහන්වල]

a සමහර නම් වෙනස් කර තිබෙනවා.

b “යෞවන අය අසති . . . ” ලිපි මාලාවේ 2001 ජූලි 8 කලාපයේ “දෙවි මගේ යාච්ඤාවලට ඇහුම්කන් දේවිද?” යන ලිපිය බලන්න.

[29වන පිටුවේ කොටුව⁄පින්තූර]

යාච්ඤාව ඔබට උපකාර කරනවා

● හොඳ තීරණ ගැනීමට

● පීඩාකාරි තත්වයන්වලදී සන්සුන්ව සිටීමට

● කනස්සල්ලෙන් මිදීමට

● දෙවිට ළංවීමට