වෛරයේ මුල් උදුරා දමමු
වෛරයේ මුල් උදුරා දමමු
‘ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න.’—මතෙව් 5:44.
සතුරු ජාතීන් දෙකක නායකයන් දෙදෙනෙක් දවස් ගණනාවක් පුරා මහත් උනන්දුවෙන් සාම සාකච්ඡා පැවැත්වූහ. බලවත් කාර්මික රටක ජනාධිපතිවරයෙක්ද එම සාකච්ඡාවලට හවුල් විය. සැලකිය යුතු බලපෑමක් කළ හැකි මෙම ජනාධිපතිවරයා එම නායකයන් දෙදෙනා අතර එකඟත්වයක් ඇති කිරීම සඳහා උපායශීලී ලෙස සිය හැකියාවන් යොදාගත්තේය. එනමුත් අවසන් ප්‍රතිඵලය වූයේ ඔහු දැරූ සෑම වෑයමක්ම අසාර්ථක වීමයි. සාකච්ඡා අවසන් වී සති දෙකක් ගතවීමටත් කලින් එම සතුරු ජාතීන් දෙක අතර නැවතත් සටන් ඇති විය. නියූස්වීක් සඟරාවේ එම සටන හඳුන්වා තිබුණේ “පසුගිය දශක දෙක තුළ ඔවුන් අතර ඇති වූ දරුණුතම සටන” ලෙසය.
රටවල නායකයන් මොනතරම් වෑයමක් දැරුවත් ලොව පුරා විවිධ ජන කොටස් හා ජාතීන් අතර පවතින වෛරය හා සතුරුවාදිකම් නැති කිරීමට හැකි වී නැත. නොදැනුවත්කම, ස්වමතයේ එල්බගෙන සිටීම හා වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම යනාදියෙන් පෝෂණය වන වෛරය නමැති වල් පැළෑටිය සරුවට වැඩෙයි. අද සිටින නායකයන් මෙයට නව විසඳුම් සෙවීම සඳහා උත්සාහ කළත්, ඒ සියල්ල අසාර්ථක වී තිබේ. මේ ප්‍රශ්නයට හොඳම විසඳුම පැරණි විසඳුමක් බව, එනම් කන්ද උඩ දේශනාවේදී යේසුස් පැවසූ දෙයක් බව තේරුම්ගැනීමට එම නායකයෝ අසමත් වී සිටිති. කන්ද උඩ දේශනාව ඉදිරිපත් කරමින් සිටි අවස්ථාවේදී යේසුස් සිය ශ්රාවකයන්ව දිරිමත් කළේ දෙවි පෙන්වා තිබෙන ක්‍රමයට අනුව දේවල් කිරීමටයි. මෙම ලිපිය ආරම්භයේ සඳහන් උපුටාගැනීමෙහි දැක්වෙන ‘ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න’ යන වදන් යේසුස් පැවසුවේ කන්ද උඩ දේශනාවේදීය. එම උපදේශය වෛරය හා අගතිය නමැති ගැටලුවලට හොඳම විසඳුම වනවා පමණක් නොව, ප්‍රායෝගික විසඳුම වන්නේද එය පමණි.
ආගමික ප්‍රතිපත්ති දෙස සැකයෙන් බලන අය සතුරන්ට ප්‍රේම කිරීම සලකන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි හුදු ආගමික සංකල්පයක් පමණක් කියාය. කෙසේවෙතත් මෙය සැලකිල්ලට ගන්න. වෛර කරන්න මිනිසුන්ට ඉගෙනගත හැකි නම්, වෛර නොකර සිටින්නද මිනිසුන්ට ඉගෙනගත නොහැකිද? යේසුස් පැවසූ වදන් මිනිසුන්ට සැබෑ බලාපොරොත්තුවක් සපයයි. දිගු කාලයක සිට පවතින සතුරුවාදී හැඟීම් නැති කර දැමිය හැකි බව යේසුස් පැවසූ වදන්වලින් පැහැදිලි වේ.
යේසුස්ට සවන් දුන් යුදෙව්වන් අතර පැවති තත්වය සැලකිල්ලට ගන්න. ඔවුන්ගේ සතුරන්ව ඔවුන්ට නිතර හමු විය. රෝම හමුදා යුදෙව්වරුන්ගේ දේශය පාලනය කරමින් ඔවුන්ගෙන් අධික බදු අය කළෝය. දේශපාලනික වශයෙන් අසාධාරණකම්වලට මුහුණ දීමට ඔවුන්ට සිදු විය. රෝමවරු ඔවුන්ගේ ශ්‍රමය සූරාකමින් ඔවුන්ට හිංසා කළහ. (මතෙව් 5:39-42) කෙසේවෙතත්, විසඳා නොගෙන ඔඩු දිවීමට ඉඩහැරිය සුළු සුළු එකඟ නොවීම් ඔවුන් අතර තිබූ නිසා ඇතැම් යුදෙව්වන් අනිත් යුදෙව්වන්ව පවා සතුරන් ලෙස සැලකුවා විය හැක. (මතෙව් 5:21-24) ඇත්තෙන්ම, යේසුස් සිය ශ්‍රාවකයන්ගෙන් අපේක්ෂා කළේ තමන්ට රිදවන හා වේදනා ඇති කරවන අයට ප්‍රේම කිරීමද?
‘ප්‍රේම කරන්න’ යන්නෙහි අර්ථය
‘ප්‍රේම කරන්න’ කියා යේසුස් පැවසූ විට, ඔහු එයින් අදහස් කළේ කිට්ටු මිතුරන් අතර පවතින සෙනෙහසක් නොවන බව මුලින්ම තේරුම්ගන්න. මතෙව් 5:44හි ප්‍රේමය සඳහා යොදාගෙන තිබෙන ග්‍රීක් වචනය වන්නේ අ·ගාʹපේ යන්නයි. ප්‍රතිපත්ති මගින් පාලනය වන ප්‍රේමය එම ග්‍රීක් වදනෙහි ගැබ්ව තිබේ. ඊට උණුසුම් සෙනෙහස අනිවාර්යයෙන්ම ඇතුළත් වන්නේ නැත. අන් අය කවර ආකාරයකින් හැසිරුණත් ඔවුන්ගේ ශුභසිද්ධිය මුල් තැනට තබා කටයුතු කිරීමට යමෙකුව පොලඹවන්නේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති මගින් පාලනය වන එම ප්‍රේමයයි. පුද්ගලයන් අතර පවතින එදිරිවාදිකම් ජයගැනීමට අ·ගාʹපේ ප්‍රේමයට හැක. යේසුස් මෙම ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්නුවේය. තමාව වධ කණුවක් මත එල්ලා රෝම හේවායන් කළ කුරිරු ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිනවා වෙනුවට, ඔහු ඔවුන් ගැන මෙසේ යාච්ඤා කළේය. “පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිති.”—ලූක් 23:34.
මුළු ලෝකයම යේසුස් ඉගැන්වූ දේවලට එකඟව ජීවත් වෙමින් එකිනෙකාට ප්‍රේම කරයි කියා සිතීම යථාර්ථවාදීද? නැත. මන්ද මේ ලෝකය විනාශය නමැති දරුණු ආගාධයට ඇද වැටෙමින් තිබෙන බව බයිබලය අඟවයි. “නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය” කියා 2 තිමෝති 3:13හි පුරෝකථනය කර තිබේ. කෙසේවෙතත්, බයිබලය ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීමෙන් ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති හොඳින් ඉගෙනගන්න පුද්ගලයන්ට වෛරය මුලිනුපුටා දැමීමට පුළුවන. මෙවන් අධ්‍යයනයක් මගින් බොහෝදෙනෙක් තමන් තුළ කැකෑරෙමින් තිබූ වෛරයේ හැඟීම් පලවාහැරීමට ඉගෙනගෙන තිබෙන බව සැබෑ අද්දැකීම්වලින් පැහැදිලි වේ. එවැනි සැබෑ අද්දැකීම් කිහිපයක් සලකා බලමු.
ප්‍රේම කිරීමට ඉගෙනගනිමු
හෝසෙ වයස අවුරුදු 13දී ත්‍රස්තවාදී කණ්ඩායමකට බැඳී, ගරිල්ලා සටන්වලට හවුල් විය. a තමන් ජීවත් වන සමාජයේ සිදු වන අයුක්තියට වගකිව යුතුයි කියා සිතන මිනිසුන්ට වෛර කිරීමට ඔහුට උගන්වා තිබිණ. ඔහුගේ ඉලක්කය වූයේ හැකි නම් ඔවුන්ව සමාජයෙන් තුරන් කර දැමීමයි. තමාගේ සගයන් බොහෝදෙනෙකුව ඝාතනය කරනවා දැකීමෙන් හෝසෙ තුළ තිබූ වෛරයේ හා පළිගැනීමේ හැඟීම් උත්සන්න විය. දිනක් ඔහු අත් බෝම්බ සාදමින් සිටින විට මෙවන් සිතුවිලි ඔහු තුළ ඇති විය. ‘ඇයි මිනිස්සු මේ තරම් දුක් වේදනා විඳින්නේ? දෙවි කෙනෙක් ඉන්නවා නම්, එයාට මේවා පේන්නේ නැද්ද?’ බොහෝ අවස්ථාවලදී ඔහු කඳුළු සැලුවේය. දැඩි මානසික පීඩනයකට ලක් වූ ඔහුට කුමක් කරන්නද කියා සිතාගත නොහැකි විය.
කලකට පසු හෝසෙ ඔහු සිටින ප්‍රදේශයේ තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ රැස්වීම්වලට යන්න පටන්ගත්තේය. ඔවුන් අතර පවතින ප්‍රේමනීය ස්වභාවය ඔහු ගිය මුල්ම රැස්වීමේදීම වැඩි වේලාවක් යන්න කලින් ඔහුට දැකගත හැකි විය. එහි සිටිය සෑම කෙනෙක්ම ඔහුව සාදරයෙන් පිළිගත්තෝය. පසුව, “දෙවි දුෂ්ටකම්වලට ඉඩහරින්නේ මන්ද?” නමැති විෂය ගැන කළ සාකච්ඡාවේදී කලින් ඔහුට තිබූ ප්‍රශ්නවලට උත්තර ලැබුණේය. b
බයිබලය පිළිබඳව හෝසෙගේ දැනුම වැඩි වෙද්දී 1 යොහන් 3:14, 15.
ඔහු තමාගේ ජීවිතය හා තමන් සිතන ආකාරය වෙනස් කළේය. “ප්‍රේම නොකරන තැනැත්තේ මරණයෙහි පවතියි. . . . කිසි මිනීමරන්නෙකු තුළ සදාකාල ජීවනය නොපවතින බව” ඔහු ඉගෙනගත්තේය.—කෙසේවෙතත්, තමන් අයත්ව සිටි ත්‍රස්තවාදී කණ්ඩායමෙන් ඉවත් වීම ඔහුට මහත් අභියෝගයක් විය. ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවට ගිය සෑම අවස්ථාවකදීම ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනෙක් ඔහු පසුපසින් පැමිණියහ. හෝසෙගේ ජීවිතයෙහි මේ තරම් වෙනස්කම් සිදුවීමට හේතුව කුමක්ද කියා දැනගැනීමට සමහර අවස්ථාවලදී ඔවුහු රැස්වීම්වලට පවා පැමිණියහ. හෝසෙගෙන් තමන්ට අනතුරක් නොවන බව තේරුම්ගත් පසු ඔවුන් තවදුරටත් ඔහු ගැන සොයා බැලුවේ නැත. වයස අවුරුදු 17දී හෝසෙ යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වශයෙන් බව්තීස්ම වූ අතර, වැඩි කල් නොගොස් ඔහු පූර්ණ කාලීනව දේවසේවය කරන්න පටන්ගත්තේය. මිනිසුන්ව ඝාතනය කරන්න මාන බලනවා වෙනුවට දැන් ඔහු ප්‍රේමය ගැන කතා කරන බලාපොරොත්තු ජනිත කරවන පණිවිඩයක් මිනිසුන් ළඟට ගෙනයයි.
වාර්ගික බාධක ජයගැනීම
තමන්ව එකිනෙකාගෙන් වෙන් කරවන වෛරය නමැති බාධකය ජයගැනීමට විවිධ වාර්ගික කණ්ඩායම්වලට අයත් ජන කොටස්වලට හැකිද? එංගලන්තයේ ලන්ඩන් නුවර සිටින අම්හාරික් භාෂාව කතා කරන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ කණ්ඩායම ගැන සලකා බලන්න. මෙම කණ්ඩායමේ සිටින 35දෙනාගෙන් 20දෙනෙක් ඉතියෝපියානු ජාතිකයෝ වන අතර ඉතිරි 15දෙනා එරිත්‍රියානු ජාතිකයෝය. අප්‍රිකාවේ වෙසෙන ඉතියෝපියානු ජාතිකයන් හා එරිත්‍රියානු ජාතිකයන් අතර දරුණු සටන් තිබුණත්, එම 35දෙනා සමඟියෙන් හා සාමයෙන් නමස්කාරයේ හවුල් වෙති.
‘කවදාවත් එරිත්රියානුවන්ව විශ්වාස කරන්න එපා!’ කියා එක් ඉතියෝපියානු සාක්ෂිකරුවෙකුට ඔහුගේ පවුලේ අය පවසා තිබිණ. එනමුත් ඔහු දැන් තමන් සමඟ නමස්කාරයේ හවුල් වන එරිත්රියානුවන්ව විශ්වාස කරනවා පමණක් නොව, සහෝදරයා හා සහෝදරිය කියා ඔවුන්ව ආමන්ත්‍රණය කරයි. සාමාන්‍යයෙන් මේ එරිත්‍රියානු ජාතිකයන් කතා කරන්නේ ටිග්‍රින්යා භාෂාවයි. එහෙත් ඉතියෝපියානු ජාතිකයන් සමඟ එකට එක් වී බයිබලය ඉගෙනගැනීම සඳහා ඔවුහු අම්හාරික් භාෂාව ඉගෙනගැනීමට තීරණය කළහ. “එක්සත්කමේ පරිපූර්ණ බැම්මක්” වන දේවභක්තික ප්‍රේමය මොනතරම් ප්‍රබලද කියා එම සැබෑ අද්දැකීමෙන් මොනවට පැහැදිලි වේ!—කොලොස්සි 3:14, NW.
අතීතය අමතක කරන්න
යමෙකු කුරිරු වධ හිංසාවලට ලක් වුවහොත්, තත්වය කුමක් වේද? තමාට වධ හිංසා කරන අය කෙරෙහි මහත් වෛරයක් ඇතිවීම සාමාන්‍ය දෙයක් නොවේද? ජර්මනියේ වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වන මාන්ෆ්‍රෙට් ගැන සිතා බලන්න. ඔහු වසර රෝම 12:17, 18.
හයක් කොමියුනිස්ට් සිර කඳවුරක ගත කළේය. හේතුව ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වීමයි. තමාව සිරගත කළ පුද්ගලයන්ට වෛර කරමින් කවදා හෝ ඔවුන්ගෙන් පළිගන්න ඔහු සිතුවාද? “නැහැ” කියා ඔහු උත්තර දුන්නේය. මේ ගැන ඔහු ජර්මනියේ පළ වන පුවත්පතකට (Saarbrücker Zeitung) මෙසේ පැවසුවේය. “අයුක්තිසහගත යමක් කිරීමේ හෝ අයුක්තියට අයුක්තියෙන් උත්තර දීමේ ප්‍රතිඵලය වන්නේ නිමක් නැති අයුක්තියකි.” මාන්ෆ්‍රෙට් ක්‍රියාවට නැංවූයේ බයිබලයේ සඳහන් මෙම උපදේශයයි. “කාටවත් නපුරට නපුර නොකරන්න. . . . පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටින්න.”—වෛරයෙන් තොර ලොවක්
මේ කාරණයේදී තමන් බයිබල් ප්‍රතිපත්ති පරිපූර්ණ ලෙස ක්‍රියාවට නංවමින් සිටින බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් කියා සිටින්නේ නැත. කාලාන්තරයක් තිස්සේ සිතේ තිබෙන වෛරයේ හැඟීම් මුලිනුපුටා දැමීම එතරම් පහසු දෙයක් නොවන බව ඔවුහු දනිති. බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමට අඛණ්ඩ වෑයමක් දැරිය යුතුය. කෙසේවෙතත්, සමස්තයක් වශයෙන් ගත් කල වෛරය මුලිනුපුටා දැමීම සඳහා බයිබලය සතු බලය මොනතරම්ද කියා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජීවිතවලින් දැකගත හැක. වාර්ගික බෙදීම් හා අගතිය නැති කර දැමීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවෝ නිවාස බයිබල් පාඩම් වැඩසටහනක් මගින් සෑම වසරකම දහස් ගණනකට උපකාර කරති. c (“වෛරය මුලිනුපුටා දැමීමට බයිබල් උපදෙස්” නමැති කොටුව බලන්න.) එම වැඩසටහනේ සාර්ථකත්වය, නුදුරු අනාගතයේදී වෛරය සහ එයට හේතු වන සෑම සාධකයක්ම මුලිනුපුටා දැමීමට ඉවහල් වන ලොව පුරා ක්‍රියාත්මක වීමට නියමිත අධ්‍යාපනික වැඩසටහනේ ප්රතිඵලවල පෙරනිමිත්තකි. මෙම අනාගතික අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මුළු ලෝකයම එකම ආණ්ඩුවක් මගින් එනම් දේවරාජ්‍යය මගින් පාලනය වන කාලයේදීය. “ඔබගේ රාජ්‍යය ඒවා” කියා පවසමින් එම රාජ්‍යයේ පාලනය ඉල්ලා යාච්ඤා කිරීමට යේසුස් අපට ඉගැන්නුවේය.—මතෙව් 6:9, 10.
ස්වර්ගයේ සිට පාලනය කරනු ලබන එම රාජ්‍යයේ අධීක්ෂණය යටතේ “[යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව [පිරී යන]” බවට බයිබලයේ පොරොන්දු කර තිබේ. (යෙසායා 11:9; 54:13) අනාගතවක්තෘ යෙසායා පැවසූ මෙම වදන් ඒ කාලයේදී ලොව පුරාම ඉටු වනු ඇත.“[ඔහු] ජාතීන් අතරේ විනිශ්චයකොට, බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය [කරන්නේය]. ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.” (යෙසායා 2:4) මෙසේ මිනිස් සමාජය විනාශ කර දමන වෛරය නමැති පිලිලය නැවත කිසිදා දැකගත නොහැකි වන සේ දෙවි තුරන් කර දමනවා ඇත.
[පාදසටහන්වල]
a සැබෑ නම නොවේ.
b යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතේ, “දෙවි දුක් වේදනාවලට ඉඩහරින්නේ මන්ද?” යන මාතෘකාවෙන් යුත් 8වන පරිච්ඡේදය බලන්න.
c ඔබ ජීවත් වන ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමුවීමෙන් හෝ මේ සඟරාවේ ප්‍රකාශකයන්ට ලිවීමෙන් හෝ නොමිලේ පවත්වනු ලබන නිවාස බයිබල් පාඩමක් ගැන විස්තර ඔබට දැනගැනීමට පුළුවන.
[11වන පිටුවේ කොටුව]
වෛරය මුලිනුපුටා දැමීමට බයිබල් උපදෙස්
● “නුඹලා අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුළෙහි යුද්ධකරන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද?” (යාකොබ් 4:1) අප තුළ ඇති වන ආත්මාර්ථකාමී ආශාවන් පාලනය කරගැනීමට අප ඉගෙනගන්නවා නම්, අන් අය සමඟ ඇති විය හැකි ආරවුල් බොහෝ අවස්ථාවලදී වළක්වාගත හැක.
● “නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණත් බලන්න.” (පිලිප්පි 2:4) අනවශ්‍ය ආරවුල් වළක්වාගත හැකි තවත් ක්‍රමයක් වන්නේ අපේ කාරණාවලට වඩා අන් අයගේ කාරණාවලට මුල් තැන දීමයි.
● “තරහෙන් වැලකී උදහස අත්හරුව. කල නොකිරෙව, එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය.” (ගීතාවලිය 37:8) ඔබව පාලනය කිරීමට ආවේගශීලී හැඟීම්වලට ඉඩ නොදෙන්න. මෙය කළ හැකි දෙයකි.
● ‘ලෝකයද එහි ඇති සියල්ලද මැවූ දෙවි මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් මිනිසුන්ව මැවූවේය.’ (ක්‍රියා 17:24, 26) අපි සියලුදෙනාම එක මිනිස් පවුලක සාමාජිකයන් වන නිසා එක් ජාතියක් තවත් ජාතියකට වඩා උසස් කියා සිතීමට කිසිම සාධාරණ පදනමක් නැත.
● “පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.” (පිලිප්පි 2:3) බොහෝවිට අපට වඩා යහපත් ගුණාංග හා හැකියාවන් වෙනත් අයට තිබෙන නිසා අන් අයව පහත් කොට සැලකීම ඥානවන්ත නොවේ. යහපත් දේවල් නික්මෙන්නේ එක ජාතියකින් හෝ සංස්කෘතියකින් පමණයි කියා සිතීමට කිසිදු පදනමක් නැත.
● “එබැවින් අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම . . . යහපත්කම්කරමු.” (ගලාති 6:10) ජන වර්ගය හෝ සංස්කෘතිය කුමක් වුවත්, අන් අය සමඟ මිත්‍රත්වයක් ඇති කරගැනීමට හා ඔවුන්ට උපකාර කිරීමට මුලපුරමින් කටයුතු කරනවා නම්, එකිනෙකා අතර පවතින අදහස් හුවමාරු කරගැනීමේ පරතරය හා වැරදි වැටහීම් නැති කරගත හැක.
[8, 9වන පිටුවේ පින්තූර]
ඉතියෝපියානු ජාතිකයෝ හා එරිත්‍රියානු ජාතිකයෝ සාමයෙන් එකට එක්ව නමස්කාරයේ හවුල් වෙති
[10වන පිටුවේ පින්තූර]
කොමියුනිස්ට් සිර කඳවුරක සිටි මාන්ෆ්‍රෙට් වෛරයෙන් වෛරය සංසිඳුවාගැනීමට තැත් කළේ නැත
[10වන පිටුවේ පින්තූර]
මිනිසුන්ව භේද බින්න කරවන සියලුම බාධක ජයගැනීමට බයිබලයෙන් උපකාර ලැබිය හැක