Skip to content

පටුනට යන්න

වෛරයේ සුල මුල

වෛරයේ සුල මුල

වෛරයේ සුල මුල

මුලින්ම වෛරය දිස් වෙන්න පටන්ගත්තේ මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීය. බයිබලයේ උත්පත්ති පොතෙහි අඩංගු වාර්තාවක මෙසේ සඳහන් වේ. “ඔවුන් කෙතෙහි සිටි කල්හි කායින් තමාගේ සහෝදරවූ ආබෙල්ට විරුද්ධව නැගිට ඔහු මැරුවේය.” (උත්පත්ති 4:8) ‘ඔහුව මැරුවේ මන්ද?’ කියා බයිබලයේ ලේඛකයෙකු වූ යොහන් අසයි. “තමාගේ ක්‍රියා නපුරුව, තමාගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණු නිසාය.” (1 යොහන් 3:12) ආබෙල්ව ඝාතනය කිරීමට ප්‍රධානතම හේතුව වූයේ ඊර්ෂ්‍යාවයි. අදදිනද මිනිසුන් අතර වෛරය වඩවන ප්‍රධානතම හේතුව එයයි. ‘මිනිසෙකු තුළ හටගන්නා ක්‍රෝධයට හේතුව ඊර්ෂ්‍යාවයි [NW]’ කියා හිතෝපදේශ 6:34හි සඳහන් වේ. සෙසු පුද්ගලයන්ට සමාජයේ හිමි තත්වය, ඔවුන් සතු ධන සම්පත් හා ඔවුන්ගේ වෙනත් අත් කරගැනීම් නිසා මිනිස්සු එකිනෙකාට ඊර්ෂ්‍යා කරති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිසුන් අතර එදිරිවාදිකම් ඇති වී තිබේ.

නොදැනුවත්කම හා බිය

නමුත් ඊර්ෂ්‍යාව, මිනිසුන් අතර වෛරය හටගැනීමට බලපාන හේතු රැසකින් එකක් පමණි. බොහෝ අවස්ථාවලදී නොදැනුවත්කම හා බියද මිනිසුන් තුළ වෛරය වඩවයි. “මම බය වෙන්න ඉගෙනගත්තේ වෛර කරන්න ඉගෙනගන්න ගොඩක් කාලයකට කලින්” කියා දරුණු වාර්ගිකවාදී කණ්ඩායමකට අයත් තරුණයෙක් පැවසුවේය. බොහෝ අවස්ථාවලදී එවන් බියක් ඇතිවීමට මූලික හේතුව නොදැනුවත්කමය. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියාහි සඳහන් වන පරිදි අගතිසහගත අදහස් දරන අය තම මතයේම එල්බගෙන සිටින අතර, ඔවුන්ගේ මත පිළිගැනීමට තරම් “සාක්ෂි නොමැත. . . . මෙවැනි පුද්ගලයෝ තමන්ගේ මතවලට පටහැනි කරුණුවලට වැරදි අර්ථකථන දෙමින් ඒවා විකෘති කොට දක්වති. නැත්නම් සත්‍යය කරුණු නොසලකා හරිති.”

එවැනි මතවල මුල කුමක්ද? අන්තර්ජාලයට සම්බන්ධ එක් තොරතුරු සේවයක මෙසේ සඳහන් වේ. “එකිනෙකට වෙනස් මත දරන විවිධ සංස්කෘති බිහිවීමට අතීතය වගකිව යුතු වන්නාක් මෙන් අප තුළ තිබෙන අගතිසහගත අදහස් බොහොමයකට වගකිව යුත්තේ අප ඇති දැඩි වූ පරිසරයයි.”

නිදසුනක් වශයෙන් අතීතයේ අමෙරිකා එක්සත් ජනපදයේ සිදු වූ වහල් වෙළඳාම ගැන සිතා බලන්න. අතීතයේ සිදු වූ මෙම වහල් වෙළඳාම නිසා අද පවා සුදු ජාතිකයන් බොහෝදෙනෙකු හා අප්‍රිකානු සම්භවයක් තිබෙන කළු ජාතිකයන් අතර සතුරුවාදී හැඟීම් දක්නට තිබේ. බොහෝ අවස්ථාවලදී වෙනත් වාර්ගික ජන පිරිසක් කෙරෙහි දෙමාපියන් දරන අගතිසහගත අදහස් ඔවුන්ගේ දරුවෝද දරති. “කළු ජාතිකයන් සමඟ එක වචනයක්වත් කතා කර නොතිබූ” වාර්ගික වෛරයෙන් පෙළුණු සුදු ජාතිකයෙක් තමා තුළ තිබුණේ වැරදි මත බව පිළිගත්තේය.

යම් අය තමන්ට වඩා වෙනස් නම්, ඔවුන් කිසි වැඩකට නැති අය ලෙස සලකන පිරිසක්ද සිටිති. වෙනස් වර්ගයකට හෝ සංස්කෘතියකට අයත් කෙනෙකුව තමන්ට අහම්බෙන් හමු වූ මුල්ම අවස්ථාව අමිහිරි අද්දැකීමක් වී තිබීම එවන් මතයක් දැරීමට හේතුව විය හැක. එම අද්දැකීම නිසා ඔවුහු තමන් ප්‍රිය නොකරන පුද්ගලයා අයත් වර්ගයට හෝ සංස්කෘතියට අයත් සෑම කෙනෙකුම එක සමානයි කියා ක්ෂණිකව තීරණය කරති.

පෞද්ගලික මට්ටමින් ස්වමතයේම එල්බගෙන අගතිසහගත අදහස් දැරීම හෙළා දැකිය යුතු දෙයකි. මෙවන් මත දැරීම මුළු ජාතියක් හා වර්ගයක් පුරා පැතිරී යෑම මහත් විනාශයකට හේතු විය හැක. තමන්ගේ ජාතිය, සමේ වර්ණය, සංස්කෘතිය හෝ භාෂාව නිසා තමන් අන් අයට වඩා උසස්යයි සිතීම ස්වමතයේ එල්බගෙන සිටීමට දිරි දිය හැකි අතර, එමගින් අනිථි භීතිකාව (විදේශීය ඕනෑම දෙයක් හෝ පුද්ගලයෙකුව පිළිකුල් කිරීම) ඇති විය හැක. විසිවන සියවස තුළ එවන් ස්වමතධාරි ආකල්පයන් නිසා බොහෝවිට ප්‍රචණ්ඩකාරි ක්‍රියාවන් සිදු වී තිබේ.

වෛරයට හා අන් අයගේ මත හෙළා දැකීමට හේතුව සමේ වර්ණය හෝ ජාතිය පමණක්ම නොවීම සැලකිල්ලට ගත යුතු කාරණයකි. “පුද්ගලයන් පිරිසක්ව අහඹු ලෙස තෝරාගෙන කණ්ඩායම් දෙකකට වෙන් කළ පමණින් ඔවුන් තම කණ්ඩායමේ පැත්ත ගනී” කියා පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන ක්ලාක් මෙකෝලි පවසයි. තුන්වන ශ්‍රේණියේ උගන්වන ගුරුවරියක් පන්තියේ ළමුන් සමඟ පර්යේෂණයක් කරද්දී, ඔවුන්ව කණ්ඩායම් දෙකකට බෙදුවාය. නිල් පැහැති ඇස් තිබෙන ළමුන් එක කණ්ඩායමකටද දුඹුරු පැහැති ඇස් තිබෙන ළමුන් තවත් කණ්ඩායමකටද වෙන් කරන ලදි. වැඩි වේලාවක් යන්න කලින් මේ කණ්ඩායම් දෙක අතර එදිරිවාදිකම් ඉස්මතු විය. කෙසේවෙතත් එක් ක්‍රීඩා කණ්ඩායමකට අනුග්‍රහය දක්වන අය අතර පවා ඇතැම් අවස්ථාවලදී සුළු සුළු කාරණා මුල් කරගෙන දරුණු ගැටුම් ඇතිවීමට පුළුවන.

ඇයි මිනිසුන් මෙතරම් ප්‍රචණ්ඩ?

මිනිසුන් අතර ඇති වන එකිනෙකට පටහැනි මත ප්‍රචණ්ඩකාරි ක්‍රියා දක්වා වර්ධනය වීමට හේතුව කුමක්ද? පර්යේෂකයන් මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කර තිබුණත්, තවම ස්ථිර නිගමනයකට එළඹීමට අපොහොසත් වී ඇත. මිනිසුන්ගේ ප්‍රචණ්ඩත්වය හා කලහකාරි ස්වභාවය පිළිබඳව සිදු කර ඇති පර්යේෂණ ගැන ලිය වී තිබෙන පොත්වල විස්තර ඇතුළත් නාමාවලියක් ක්ලාක් මෙකෝලි සකස් කළේය. “මිනිසුන්ගේ ප්‍රචණ්ඩත්වය හා යුද්ධ අතර සම්බන්ධයක් තිබෙන” බව අඟවන එක් වාර්තාවක් ඔහු ගෙනහැර දක්වයි. “පළමු හා දෙවන ලෝක මහා යුද්ධවලට හවුල් වූ රටවල, විශේෂයෙන්ම එම යුද්ධවලින් ජයගත් රටවල සිදු වන මිනීමැරුම් සංඛ්‍යාව යුද්ධයෙන් පසු වැඩි වී තිබෙන” බව පර්යේෂකයන් සොයාගෙන තිබේ. බයිබලයේ සඳහන් වන පරිදි අප ජීවත් වන්නේ යුද්ධවලින් ගහන යුගයකයි. (මතෙව් 24:6) විවිධාකාරයේ ප්‍රචණ්ඩකාරි ක්‍රියා වැඩිවීමට යුද්ධ යම් ආකාරයකින් හේතු විය නොහැකිද?

මිනිසුන් තුළ පවතින කලහකාරි ස්වභාවයට හේතුව ජීව විද්‍යාත්මකව පැහැදිලි කිරීමට ඇතැම් පර්යේෂකයෝ උත්සාහ කරති. සමහරුන් තුළ කලහකාරි ස්වභාවයක් ඇතිවීමට හේතුව “මොළයේ සිරොටොනින් නමැති රසායනික ද්‍රව්‍ය මට්ටම පහළ බැසීම” බව පෙන්වීමට එක් අධ්‍යයනයක් මගින් උත්සාහ කර තිබේ. මේ පිළිබඳව තවත් ප්‍රසිද්ධ මතයක් වන්නේ කලහකාරිත්වය අපේ ජාන මගින් ඇති කරන ගතිලක්ෂණයක් බවයි. “[වෛරයට] වැඩියෙන්ම බලපාන හේතුව පරම්පරාවෙන් උරුම වන ගතිලක්ෂණ විය හැකි” බවට දේශපාලන විද්‍යාව පිළිබඳ විද්වතෙක් කරුණු ගෙනහැර දැක්වුවේය.

අසම්පූර්ණ මිනිසුන් තුළ නපුරු ගුණාංග හා දුර්වලකම් ඇති වන්නේ උපතින්ම බව බයිබලයේද සඳහන් වේ. (උත්පත්ති 6:5; ද්විතීය කථාව 32:5) බයිබලයෙහි සඳහන් ඒ දෙය සෑම කෙනෙකුටම අදාළ වේ. එනමුත් සෑම කෙනෙක්ම අසාධාරණ ලෙස අන් අයට වෛර කරන්නෝ නොවෙති. ඇතැම් අය අන් අයට වෛර කරන්නේ එය වෙනත් අයගෙන් ඉගෙනගැනීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ බව ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයෙකු වන ගොර්ඩන් ඩබ්. ඕල්පොට් කළ මෙම නිරීක්ෂණයෙන් පැහැදිලි වේ. ළදරුවන් ‘කලහකාරි ගතිලක්ෂණ පෙන්වන්නේ නැහැ. ළදරුවා ඒකාන්ත ආකාරයකින් සිතයි. හඬගසන ඕනෑම කෙනෙකු ළඟට සතුටින් යයි.’ කලහකාරිත්වය, අගතිසහගත අදහස් දැරීම හා වෛරය වෙනත් අයගෙන් ඉගෙනගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන බවට වූ මතය එවන් නිරීක්ෂණවලින් තහවුරු වන බවක් පෙනේ. වෛර කිරීමට ඉගෙනගැනීමට මිනිසා තුළ තිබෙන හැකියාවෙන් වෛර කරන්න උගන්වන්නෝ අයුතු ප්‍රයෝජන ගනිති.

මනස් දූෂණය කිරීම

වෛරය ඇති කිරීමේ පෙරමුණ ගෙන සිටින්නේ නව නාට්සිවරු හා කූ ක්ලුක්ස් ක්ලැන් වැනි බද්ධ වෛරයෙන් පසු වන විවිධ කණ්ඩායම්වල නායකයෝය. බොහෝවිට මෙම නායකයන් තම කණ්ඩායම්වලට බඳවාගැනීමට වෑයම් කරන්නේ කැඩී බිඳී ගොස් තිබෙන පවුල්වල සිටින යෞවනයන්වයි. එයට හේතුව මෙම යෞවනයන් තමන්ට කාගෙවත් පිහිටක් නැතැයි කියා හෝ නැත්නම් කිසිවෙක් තමන්ව ගණන්ගන්නේ නැතැයි කියා සිතන නිසාය. තමන් අන් අයට වෛර කරන කණ්ඩායමකට එක් වුවහොත් කිට්ටු ඇසුරක් භුක්ති විඳින්න ලැබෙයි කියා මෙම යෞවනයෝ සිතති.

ඇතමුන් වෛරය පැතිරවීම සඳහා අතිප්‍රබල මාධ්‍යයක් වන අන්තර්ජාලය යොදාගෙන තිබේ. මෑතක සිදු කර තිබෙන ගණන් බැලීමකට අනුව අන්තර්ජාලය ඔස්සේ වෛරය පතුරුවන වෙබ් අඩවි 1,000ක් පමණ ඇත. වෛරය පතුරුවන එක් වෙබ් අඩවියක අයිතිකරුවෙකු තමන් කරන දෙය ගැන පුරසාරම් දොඩමින් පැවසූ මේ වදන් දි ඉකොනොමිස්ට් සඟරාවේ මෙසේ සඳහන් වේ. “අප දරන මත මිනිසුන් ලක්ෂ ගණනකගේ සිත් තුළට කාවැද්දවීමේ මහඟු අවස්ථාව අන්තර්ජාලය නිසා අපට ලැබී තිබෙනවා.” “කුඩා දරුවන්” සඳහාද වෙබ් පිටුවක් ඔහුගේ වෙබ් අඩවියේ වෙන් කර තිබේ.

නහඹරයන් අන්තර්ජාලය ඔස්සේ සංගීතයට සවන් දීම සඳහා එහි සැරිසරද්දී අහම්බෙන් ඔවුන් වෛරයට අනුබල දෙන සංගීතය ඇතුළත් අඩවියකට පිවිසිය හැක. වෙනත් වාර්ගික ජන කොටස් දැඩි ලෙස හෙළා දකින පද මාලාවලින් යුත් එවැනි සංගීතය සාමාන්‍යයෙන් කලහකාරි ස්වභාවයකින් යුක්තය. ඝෝෂාකාරිය. මෙම වෙබ් අඩවි මගින් වෛරය වඩවන වෙනත් වෙබ් අඩවි හෝ කතා බහ කුටි ගැන තොරතුරු සපයයි.

වෛරය පතුරුවන ඇතැම් වෙබ් අඩවිවල නහඹරයන් වෙනුවෙන් ක්‍රීඩා හා වෙනත් ක්‍රියාකාරකම් ඇතුළත් විශේෂ අංශ දක්නට තිබේ. වාර්ගික අගතිය හා යුදෙව් විරෝධී ආකල්ප දැරීම සාධාරණ බව පැහැදිලි කිරීමට බයිබලය යොදාගැනීමට නව නාට්සි වෙබ් අඩවිය උත්සාහ කරයි. වාර්ගික අගතියට සම්බන්ධ ප්‍රහේලිකා ඇතුළත් වෙබ් පිටුවක්ද එම කණ්ඩායම විසින් සාදා තිබේ. එහි අරමුණු කුමක්ද? “අපේ සටන ගැන සුදු ජාතික තරුණයන්ව දැනුවත් කිරීමයි” කියා නව නාට්සි කණ්ඩායම සඳහන් කරති.

එනමුත් වෛරය වඩවන සියලුදෙනාම අන්තවාදී මත දරන උන්මන්තකයෝ නොවෙති. මෑතකදී ඇතැම් බෝල්කන් රටවල සිදු වූ අරගල ගැන ලියූ සමාජ විද්‍යාඥයෙකු කීර්තිමත් ලේඛකයන් හා මහජන මත ගොඩනඟන්නන් කිහිපදෙනෙකු ගැන මෙසේ අදහස් පළ කළේය. “තම රට වැසියන්ව වැරදි දේවලට පොලඹවන, වෛරය නමැති අළු යට තිබෙන ගින්නට පිදුරු දමන, වැරදියි කියා දෙයක් නැතැයි කියා සිතීමට දිරිගන්වමින් නිවැරදි තීන්දුවක් ගැනීමේ ඔවුන්ගේ හැකියාව මොට කරවන හා සත්‍යය විකෘති කොට දක්වන ආකාරයෙන් [කීර්තිමත් ලේඛකයන්] පුවත්පත්වලට ලිපි ලිවීම ගැන මම පුදුම වුණා.”

මේ කාරණයට පූජක පක්ෂය සම්බන්ධ වී සිටින ආකාරය නොසලකා හැරිය නොහැක. ලේඛකයෙකු වන ජේම්ස් ඒ. හෝට්ස් විසින් රචිත ශුද්ධ වෛරය: 90 දශකයේ ආගමික සටන් නමැති පොතේ මෙවැනි කම්පිත කරවන අදහසක් පළ කරන ලදි. “අනූව දශකයේ සිදු වූ ලොකුම අපරාධය වන්නේ මිනිසුන්ට කරුණාව දයාව පෙන්වීමට උගන්වනවායයි කියන ආගම වෛරයට, යුද්ධවලට හා ත්‍රස්තවාදී ක්‍රියාවලට මුල් වී තිබීමයි.”

වෛරයට මුල් වන හේතු රාශියක් තිබෙන බවත් ඒවා සංකීර්ණ බවත් පෙනෙන්න තිබේ. වළ දමා තිබෙන වෛරයෙන් පිරි අතීතය ගොඩගැනීම නතර කරන්න මිනිසාට නොහැකි බව එයින් අදහස් වේද? වෛරය වඩවන වැරදි වැටහීම්, නොදැනුවත්කම හා බිය යනාදිය තුරන් කර දැමීම සඳහා තනි පුද්ගලයන් වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් සියලුම ජාතීන්ට එක්ව කළ හැකි කිසිවක් නැද්ද?

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අගතිය හා වෛරය වෙනත් අයගෙන් ඉගෙනගනු ලබන්නකි

[4, 5වන පිටුවේ පින්තූරය]

වෛරයේ හා ස්වමතයේ එල්බගෙන සිටීමේ හැඟීම් ඇතිව නොවේ

අප ඉපද සිටින්නේ

[7වන පිටුවේ පින්තූරය]

වෛරය වඩවන පිරිස් යෞවනයන්ව බඳවාගන්න අන්තර්ජාලය යොදාගනිති

[7වන පිටුවේ පින්තූරය]

බොහෝ අවස්ථාවලදී සටන් අවුළවා තිබෙන්නේ ආගම්ය

[හිමිකම් විස්තර]

AP Photo