Skip to content

පටුනට යන්න

සැබෑ වෙනසකට තුඩු දෙන ස්වේච්ඡා සේවයක්

සැබෑ වෙනසකට තුඩු දෙන ස්වේච්ඡා සේවයක්

සැබෑ වෙනසකට තුඩු දෙන ස්වේච්ඡා සේවයක්

අග හිඟකම්වලින් පෙළුණු අය වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුස් නිතරම පාහේ යම් යහපත් ක්‍රියාවන් කළේය. නිදසුනකට, කුසගින්නෙන් පෙළුණු අයට ආහාරද, රෝගී අයට සුවයද ඔහු ලබා දුන්නේය. (මතෙව් 14:14-21) කෙසේවෙතත්, යේසුස් ප්‍රමුඛත්වය දුන්නේ කවර සේවයටද? මීට පිළිතුර සොයාගැනීමට යේසුස්ගේ සේවා කාලයේ මුල් අවදියේ සිදු වූ යමක් සලකා බලමු. එය මාර්ක් සුවිශේෂයේ පළමුවන පරිච්ඡේදයෙහි වාර්තා වී ඇත.

යේසුස් ගලීල මුහුද අසල පිහිටි කපර්ණවුම නමැති ගම්මානයෙහි සිටින විට, ඔහුව සීමොන්ගේ නැතහොත් පේතෘස්ගේ නිවසට කැඳවාගෙන යන ලදි. එහිදී, “සීමොන්ගේ භාර්යාවගේ මවු උණෙන් ඔත්පළව සිටි” නිසා යේසුස් ඇයව සුව කළේය. (මාර්ක් 1:29-31) අනතුරුව “අනේකාකාර රෝගවලින් පීඩිතවූ” බොහෝදෙනෙකු ඇතුළුව සෑහෙන ජන පිරිසක් පේතෘස්ගේ නිවසේ දොරකඩ එක්රොක් වූ අතර, යේසුස් ඔවුන්වද සුවපත් කළේය. (මාර්ක් 1:32-34) රාත්‍රිය පැමිණි අතර, සියලුදෙනාම නිදාගත්තෝය.

ඊළඟ දින, “උදය පහන්වෙන්ට බොහෝ ප්‍රථමයෙන්” යේසුස් නැඟිට, කාටවත් නොකියා “වනාන්තර ස්ථානයකට” ගියේය. ඔහු ‘එහිදී යාච්ඤා කළේය.’ වැඩි වෙලාවක් ගතවීමට පෙර ගෝලයෝ අවදි වූ අතර, දොරකඩ විශාල ජන පිරිසක් එක්රොක්ව සිටි ආකාරය දුටුවෝය. දැන් කුමක්ද කරන්නේ? යේසුස් නැහැ! විගස ක්‍රියාත්මක වූ පේතෘස් සහ අනික් අය යේසුස්ව සොයා ගොස් “සියල්ලෝම ඔබ සොයති” කියා යේසුස්ට පැවසූහ. (මාර්ක් 1:35-37; ලූක් 4:42) වෙනත් වචනවලින් කිවහොත්, ඔවුන් කීමට උත්සාහ කළේ කුමක්ද? එනම් ‘යේසුස්, ඔබ මෙතන මොනවද කරන්නේ? ඊයේ හවස කරපු සුව කිරීම් හරිම සාර්ථකයි. අදත් තවත් ගොඩක් අය ඇවිත් ඉන්නවා! එන්න, එන්න!’ යන්නයි.

එනමුත් දැන් යේසුස්ගේ ප්‍රතිචාරය සලකා බලන්න. “වෙන තැන්වලත් මා විසින් දේශනා කරන පිණිස අසල නුවරවලට යමු” කියා ඔහු පැවසීය. (අකුරු ඇල කළේ අපය.) යේසුස්ගේ මෙම පිළිතුරෙහි වැදගත්කම සලකා බලමු. යේසුස් තවත් අයව සුව කිරීම පිණිස නැවතත් පේතෘස්ගේ නිවස කරා නොයෑමට තීරණය කළේය. ඊට හේතුව පැහැදිලි කරමින් “ඒ සඳහාම [එනම් දේශනා කිරීම සඳහාම] පිටත්ව ආවෙමියි” ඔහු කීවේය. (මාර්ක් 1:38, 39; ලූක් 4:43) යේසුස් තම ගෝලයන්ට පවසමින් සිටියේ කුමක්ද? යහපත් ක්‍රියාවන් කිරීම නොවැදගත් යමක් බව නොවේ. ඒ වෙනුවට ඔහු පවසමින් සිටියේ ඔහුගේ මූලික කාර්යය වන්නේ දේවවචනය දේශනා කිරීම සහ ඉගැන්වීම බවයි.—මාර්ක් 1:14.

ක්‍රිස්තියානීන්ට ‘යේසුස්ගේ අඩි පාරේ යන්න’ කියා බයිබලයෙහි දිරිගන්වා ඇති හෙයින්, ස්වේච්ඡා සේවයක් කරන විට ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමකටද යන්න සම්බන්ධයෙන් අදදින සැබෑ ක්‍රිස්තියානීන්ට පැහැදිලි මඟ පෙන්වීමක් තිබේ. (1 පේතෘස් 2:21) කලින් ලිපියෙහි පැහැදිලි කර තිබුණාක් මෙන් ඔවුහු යේසුස් මෙන් අගහිඟකම් ඇති අයට අත හිත දෙති. එනමුත්, යේසුස්ව අනුකරණය කරමින්, ඔවුන් මුල් තැන දෙන්නේ දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය අඩංගු බයිබලයේ පණිවිඩය ඉගැන්වීමේ වැඩයටයි. a (මතෙව් 5:14-16; 24:14; 28:19, 20) කෙසේවෙතත්, අන් සියලු ස්වේච්ඡා සේවාවන්ට වඩා මනුෂ්‍යයන්ට බයිබලයේ තිබෙන පණිවිඩය ගැන අවබෝධයක් දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම වැදගත් වන්නේ මන්ද?

බයිබල් අධ්‍යාපනය සැබෑ වෙනසක් සිදු කරයි

මෙම ආසියාතික ආප්තෝපදේශය සලකා බලන්න. “ඔබේ සැලසුම් වසරක් දක්වා දිවයයි නම්, බීජ වපුරන්න. වසර දහයක් දක්වා දිවයයි නම් ගස් පැළ කරන්න. වසර සියයක් දක්වා දිවයයි නම්, ජනයාව දැනුවත් කරන්න.” මෙහි යම් සැබෑවක් ගැබ්ව පවතී. කල්පවතින විසඳුම් ලබා දීමට නම්, අධ්‍යාපනයක්, යම් දැනුවත් කිරීමක් අත්‍යවශ්‍යය. මන්ද දැනුම මගින්, කෙනෙකුට තම ජීවිතය සාර්ථක කරගැනීමට ඉවහල් වන තීරණ ගැනීමේ හැකියාව වර්ධනය කරන නිසාය. මහජනයාට නොමිලේ බයිබල් අධ්‍යාපනය සැපයීම සඳහා අර්ධ-කාලීන හා පූර්ණ-කාලීන ස්වේච්ඡා සේවකයන් මිලියන හයකට අධික ජන පිරිසක් තම කාලය, ශ්‍රමය සහ සම්පත් යොදන්නේ එමනිසාය. සාර්ථක බවට ඔප්පු වී ඇති යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් මෙහෙයවනු ලබන මෙම ස්වේච්ඡා සේවා වැඩ පිළිවෙළ, ලොව පුරා විවිධ සමාජයන් මත යහපත් බලපෑමක් කරන බව පෙනීගොස් තිබේ. ඒ කෙසේද?

බයිබලයෙහි අඩංගු ප්‍රායෝගික උපදෙස් තේරුම්ගෙන අනුගමනය කිරීමට පුද්ගලයන්ට උපකාර කරන විට, ජීවිතයේ ගැටලු හැසිරවීමට ඔවුහු වඩාත් සමර්ථ තත්වයකට පත් වෙති. හානිකර පුරුදු ජයගැනීමට අවශ්‍ය අධිෂ්ඨාන ශක්තිය ගොඩනඟාගැනීමටද ඔවුහු සමත් වෙති. බයිබල් අධ්‍යාපනයෙන් නෙළාගත හැකි තවත් ප්‍රයෝජනයක් ගැන බ්‍රසීලයේ වෙසෙන නෙල්සන් මෙසේ අවධාරණය කරයි. “යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්ත දා ඉඳන්, මගේ ජීවිතයට අර්ථයක් තියෙනවා කියලා මට කියන්න පුළුවන්. ඒ නිසා දැන් මම ජීවත් වෙන්නේ ප්‍රීතියෙන්.” (දේශනාකාරයා 12:13) ඇත්තෙන්ම මෑතකදී දේවවචනය අධ්‍යයනය කිරීමට පටන්ගෙන ඇති බාල මහලු ලක්ෂ ගණන් ජන පිරිසක් නෙල්සන් හා එකඟ වෙති. සතුටින් පිරි අර්ථවත් ජීවිතයක් භුක්ති විඳීමට මඟ සලසනවාට අමතරව, දේවරාජ්‍යය පිළිබඳ පණිවිඩය දිරිගන්වනසුලු අනාගතික බලාපොරොත්තුවක්ද ලබා දෙයි. එමනිසා, ඉතා පීඩාකාරි තත්වයන් මැද පවා, ජීවත් වීමෙන් ඵලක් තිබේ යන හැඟීම එමගින් ජනිත කරවයි. (1 තිමෝති 4:8) “දේවරාජ්‍යය සැබෑ වෙනසක් සිදු කරන ආකාරය” යන කොටුව බලන්න.

ඇත්තෙන්ම බයිබලය මත පදනම් අධ්‍යාපනයක් ලබා දීමෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දිගු කල් පවතින ප්‍රයෝජන අත් කර දෙන ස්වේච්ඡා සේවයක් පිරිනමති. ප්‍රයෝජන කොතරම් දිගු කලක් පවතීද? දේවවචනය මෙසේ පිළිතුරු දෙයි. “සදාකාල ජීවනයට මඟ වන්නේ, එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) සදාකාලික ප්‍රයෝජන අත් කර දෙන වැඩසටහනකට ඔබ හවුල් වූවායයි සිතන්න. එය සැබෑ වෙනසක් සිදු කරන ස්වේච්ඡා සේවයක් නොවේද? එවන් වැඩසටහනක් ගැන දැනගන්න ඔබ කැමතිද? කැමති නම්, ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැසීමට ඔබට හැකියි. එය කිරීම ගැන ඔබ කිසිදාක පසුතැවිලි නොවන බවට සැකයක් නොමැත.

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් තමන්ට පවරා ඇති දේශනා කිරීමේ වැඩය සලකන්නේ ප්‍රේරිත පාවුල් එය සැලකුවාක් මෙනි. එනම්, එය සැබෑ ක්‍රිස්තියානීන් අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් වශයෙනි. ඒ ගැන පැහැදිලි කරමින් පාවුල් මෙසේ පැවසීය. “මම ශුභාරංචිය දේශනාකරම් නුමුත් පාරට්ටු කරගැනීමට මට කිසිත් නැත; මක්නිසාද එසේ කිරීමට බැඳී සිටිමි.” (1 කොරින්ති 9:16) එනමුත් මෙම දේශනා කිරීමේ වැඩය ඔවුන් කරන්නේ ස්වේච්ඡාවෙනි. ඒ මන්ද කිවහොත් ක්‍රිස්තුස්ගේ ගෝලයන් වීමට ඔවුන් තීරණය කළේ, සිය කැමැත්තෙන්ම හා එම වරප්‍රසාදය සමඟ කරට ගත යුතු සියලු වගකීම් හොඳින් තේරුම්ගෙනයි.

[25වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඔබේ සැලසුම් වසරක් දක්වා දිවයයි නම්, බීජ වපුරන්න. වසර දහයක් දක්වා දිවයයි නම් ගස් පැළ කරන්න. වසර සියයක් දක්වා දිවයයි නම්, ජනයාව දැනුවත් කරන්න”

[24වන පිටුවේ කොටුව⁄පින්තූර]

අනුන්ට අත හිත දෙන ස්ත්‍රියක් හඳුනාගනිමු

මධ්‍යම අප්‍රිකාවේ වැඩ කරන එක් ස්වේච්ඡා සේවිකාවකි, නඩින්. ඇය නිවර්තන කලාපීය රටවල රෝග ගැන විශේෂඥ දැනුමක් ඇති 43 හැවිරිදි ප්‍රංශ ජාතික හෙදියකි. මෑතකදී ඇය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මෙසේ පැවසුවාය. “මම ඇයි මේ වගේ සේවයක් කරන්නේ කියලා සමහරුන් මගෙන් අහනවා. මම දෙවිකෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම මම මිනිසුන්ට ආදරෙයි. මිනිසුන් වෙනුවෙන් සේවය කරන්නත් මම කැමතියි. ඒ විතරක් නෙවෙයි, මම යෙහෝවාගේ සාක්ෂිකාරියක් නිසා, ඔවුන්ගේ ගැටලුවලට පිළියමක් යොදන්න විතරක් නොවෙයි, ඔවුන්ට බලාපොරොත්තුවක් දෙන්නත් කැමතියි.” අප්‍රිකාවේ ස්වේච්ඡා සේවයෙහි නිරත වන නඩින්, සහනාධාර සපයන වැඩ පිළිවෙළක සේවය කරන අතර, ප්‍රාදේශීය සාක්ෂිකරුවන් සංවිධානය කරන බයිබල් අධ්‍යාපන සේවයෙහිද හවුල් වෙයි.

[පින්තූර]

අප්‍රිකාවේ දිවි ගෙවන නඩින්

[26වන පිටුවේ කොටුව]

දේවරාජ්‍යය සැබෑ වෙනසක් සිදු කරන ආකාරය

මෙම ශුද්ධ ලියවිලි පාඨ බයිබලයෙන්ම කියවා, මතු දැක්වෙන පැතිවලින් මිනිස් අවශ්‍යතා සපුරාලීමට දෙවි පොරොන්දු වන ආකාරය සලකා බලන්න.

සෞඛ්‍යය ඔහු ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.’—එළිදරව් 21:4; යෙසායා 33:24; 35:5, 6.

අධ්‍යාපනය මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන් [යෙහෝවා] ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.”—යෙසායා 11:9; හබක්කුක් 2:14.

රැකියා “ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය. ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. . . . ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේ . . . නැත.”—යෙසායා 65:21-23.

ආහාර “පොළොව ස්වකීය වර්ධනය දී තිබේ. [දෙවි] එනම් අපේම [දෙවි] අපට ආශීර්වාද [කරන්නේය].”—ගීතාවලිය 67:6; 72:16; යෙසායා 25:6.

සමාජීය වාතාවරණය ‘දුෂ්ටයන්ගේ මුගුර යෙහෝවා බිඳ දැමුවේය. මුළු පොළොව නිෂ්කලංකව නිශ්චලව තිබේ.’—යෙසායා 14:6, 7.

යුක්තිය “බලව ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම්කරන්නේය, අධිපතීහු දැහැමින් අධිපතිකම් කරන්නෝය.”—යෙසායා 11:3-5; 32:1, 2.