Skip to content

පටුනට යන්න

අවදානමට ලක් වූ පරම්පරාවක්

අවදානමට ලක් වූ පරම්පරාවක්

අවදානමට ලක් වූ පරම්පරාවක්

“පසුගිය මාස දෙකට කලින් නම් මම සතුටෙන් කාලය ගත කළා. මම හරිම ක්‍රියාශීලියි. ඒත් දැන් මොන වැඩක් කළත් හරිම තෙහෙට්ටුවක් දැනෙනවා. මගේ සතුට නැති වෙලා ගිහිං. මට ඉක්මනට කේන්ති යනවා. ඉවසීම බිංදුවයි. අනිත් අය මං ගැන කොහොම ඉවසනවාද කියලා මම දන්නේ නෑ. හිටි හැටියේම මට මෙහෙම වුණේ ඇයි කියලා කියන්න මමම දන්නේ නෑ.”—පෝල්.

“මම හිත ඇතුළෙන් වේදනා විඳ විඳ අඬනවා. එහෙම කළේ නැත්නම් මට හිස්බවක් දැනෙනවා. මට මොනම දෙයකින්වත් සතුටක් ලබන්න බෑ. මට මගේ යාළුවෝ එක්ක ඉන්නවත් කැමැත්තක් නෑ. මගේ වැඩේම නිදාගන්න එක. ගොඩක් දවස්වලට ඉස්කෝලෙට යන්නවත් මට නැඟිටින්න බෑ. එනිසා මගේ පංතියේ වැඩවල ලකුණු මට්ටම පහත වැටුණා.”—මෙලනි.

මෙලෙස පීඩා විඳින්නේ පෝල් සහ මෙලනි පමණක් නොවෙයි. අමෙරිකා එක්සත් ජනපදයේ සිටින යොවුන් පිරිසෙන් සියයට අටක් පමණ යම් ආකාරයකින් මානසික අවපීඩනය (depression) නමැති රෝගී තත්වයෙන් පෙළෙන අතර සියයට හතරක් දරුණු ලෙස එම රෝගයෙන් පීඩා විඳින බව එක් සමීක්ෂණයකින් පෙන්වන ලදි. නමුත්, මෙම සංඛ්‍යා ලේඛනවලින් සැබෑ තත්වය මැනගත නොහැකි වී තිබේ. මන්ද, බොහෝ අවස්ථාවන්වල මානසික අවපීඩනය යන රෝගය හඳුනා නොගෙන වෙනත් රෝගයකට ප්‍රතිකාර කිරීම එසේ නැතහොත් එම රෝගය පිළිබඳව එතරම් තැකීමක් නොකරන හෙයිනි. යොවුන් වියේ පසු වන මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන මානසික රෝග විශේෂඥයෙක් වන ඩේවිඩ් ජී. ෆැස්ලර් මෙසේ අදහස් දැක්වීය. “ළමයින් සහ තරුණයන් යොදාගෙන කළ සමීක්ෂණයට පස්සේ මට තේරුම්ගිය දෙයක් නම් ළමයි හතරදෙනෙකුගෙන් එක් කෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් තම දහඅටවෙනි උපන් දිනය වන විට දරුණු ලෙස මානසික අවපීඩනය නමැති රෝගී තත්වය අත් විඳින බව.”

එයින් ඇති වන විනාශය

මානසික අවපීඩනය නිසා යෞවනයන්ට නොයෙකුත් විනාශකාරි ප්‍රතිවිපාක ඇති විය හැකියි. නව යොවුන් වියේදී ඇති වන ආහාර ගැනීමේ අක්‍රමිකතා, මානසිකව සහ ශාරීරිකව දුබල කරන මනෝදෛහික (psychosomatic) රෝග, පාසැලේදී මුහුණපාන ගැටලු සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැනි දේවලට මානසික අවපීඩනය හේතුවක් වන බව ප්‍රවීණයෝ පවසති.

භයානකම දේ වන්නේ යෞවනයන් විසින් සිය දිවි නසාගැනීමට පෙලඹීමත් මානසික අවපීඩනයත් අතර සම්බන්ධකමක් තිබීමය. එක්සත් ජනපදයේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනයට අනුව දරුණු ලෙස මානසික අවපීඩනයෙන් පෙළෙන නව යොවුන් වියේ පසු වන අයගෙන් සියයට 7කට වඩා වැඩි පිරිසක් සිය දිවි නසාගනියි. a දිවි නසාගන්නා යෞවනයන් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් එසේ කිරීමට දැරූ වෑයම අසාර්ථක වී තිබීම නිසා ගැටලුවේ බරපතළකම මුළුමනින්ම අනාවරණය කළ නොහැක. යොවුන් සුභසාධනය උදෙසා පිහිටුවා ඇති කාර්නෙගි මණ්ඩලය මගින් සපයන ලද වාර්තාවෙහි යම් සත්‍යයක් තිබේ. එහි මෙසේ වාර්තා කර ඇත. “යෞවනයන්ගේ ප්‍රශ්න සැහැල්ලුවට ගැනීම ඇත්තෙන්ම විනාශයක්. එසේ සැහැල්ලුවට ගැනීම හේතුවෙන් තරුණ පරම්පරාව සිටින්නේ අවදානම් තත්වයකයි.”

මොනතරම් නිදහස් ජීවිතයක්ද!

ජීවිතයේ සමනල වියේ හෙවත් නව යොවුන් වියේ පසු වන යෞවනයන් මානසික අවපීඩනයෙන් පීඩා විඳිනවා කියා පිළිගැනීම සමහරදෙනෙකුට දුෂ්කරයි. ‘අනේ මේ පොඩි ළමයින්ට මොන ප්‍රශ්නද? එයාලට තියෙන්නේ මොනතරම් නිදහස් ජීවිතයක්ද! අපිට වගේ එයාලට කරදර නැහැ’ කියා වැඩිහිටියෝ සිතති. නමුත් සැබෑව එය නොවෙයි. වැඩිහිටියන්ට අදහාගැනීමටත් නොහැකි ආකාරයකට යෞවනයෝ පීඩනයකට ලක් වී සිටිති. වෛද්‍ය ඩැනියෙල් ගොල්මන් සඳහන් කරන ආකාරයට “20වෙනි සියවසේ ආරම්භයත් සමඟ ලොව පුරා බිහි වූ පරම්පරාවන් තම දෙමාපියන්ට වඩා මානසික අවපීඩනයට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබේ. එය නිකම්ම දොම්නස පමණක් නොව ජීවිතයේ සාර්ථකත්වයට බාධා වන අයුරින් අධෛර්යයට පත්වීම, මොනයම් දෙයක් කෙරෙහිවත් උනන්දුවක් නොමැතිකම, ආත්ම අනුකම්පාව සහ ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම පවතින බලාපොරොත්තුවක් නොමැතිකමය. එවැනි අවපීඩක තත්වයක් අද්දකින වයස් මට්ටම ක්‍රමක්‍රමයෙන් පහත වැටෙයි.”

‘අපේ තරුණ කාලයේ නං ඔය වගේ පිස්සු ලෙඩ තිබුණේ නැහැ. ඇයි අපේ ළමයින්ට මේ වගේ පිස්සු දේවල් හිතෙන්නේ?’ කියා දෙමාපියන් පැවසිය හැකියි. නමුත්, වැඩිහිටියෝ එක් දෙයක් මතක තබාගත යුතුයි. එනම්, ඔවුන්ගේ යෞවන කාලය, වර්තමානයේ සිටින තරුණ දරුවන්ගේ යෞවන කාලයට වඩා වෙනස් බව. එමෙන්ම එක් දරුවෙකු තවත් දරුවෙකුට වඩා වෙනස් වේ. එමනිසා ඔවුන්, අවට ලෝකය ග්‍රහණය කරගන්නා ආකාරයත් එයට ප්‍රතිචාරය දක්වන ආකාරයත් විවිධාකාරය.

ඉහත කී කාරණාවලට අමතරව වර්තමානයේ සිටින තරුණ කැල අමතර අභියෝගයන්ටද මුහුණ දෙති. “ඔවුන් ජීවත් වෙන්නේ තම දෙමාපියන්ගේ යෞවන කාලයේ තිබුණ ලෝකයට වඩා වෙනස් ලෝකයක” කියා වෛද්‍ය කැත්ලින් මැකෝයි විසින් රචනා කරන ලද (Understanding Your Teenager’s Depression) ග්‍රන්ථයක සඳහන් කර තිබුණි. මෑත වර්ෂවල සිදු වී තිබෙන කැපීපෙනෙන වෙනස්කම් ගෙනහැර දැක්වීමෙන් පසු වෛද්‍ය මැකෝයි නිගමනය කළේ මෙයයි. “අපි භුක්ති විඳි ආකාරයේ සුරක්ෂිතකමක් වත්මන් තරුණ පරපුරට දැනෙන්නේ නැහැ. ඒ අයට අපිට තරම් තමන් ගැන ආත්ම විශ්වාසයක්වත් ශුභවාදී හැඟීමක්වත් නැහැ. ඒ වගේම අපිට තිබුණ තරම් ජීවිතය ගැන ඔවුන්ට බලාපොරොත්තුවකුත් නැහැ.”

යෞවනයන් අතර ඇති මානසික අවපීඩනය මෙතරම් පුළුල්ව පැතිරී ඇති නිසා ඊළඟ ලිපි මගින් පහත සඳහන් ප්‍රශ්න තුනට පිළිතුරු සපයයි.

• මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවනයන්ව හඳුනාගත හැකි ලක්ෂණ කවරේද?

• මෙම තත්වය ඇතිවීමට හේතූන් කවරේද?

• මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවනයන්ට උපකාර කළ හැක්කේ කෙසේද?

[පාදසටහන]

a සමහර ප්‍රවීණයන්ගේ විශ්වාසය වී ඇත්තේ සැබෑ සංඛ්‍යාලේඛන මීට වඩා වැඩි අගයක් ගන්නා බවයි. හදිසි අනතුරු හේතුවෙන් මිය ගිය බවට විශ්වාස කරන මරණවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සිය දිවි නසාගැනීම් බව ඔවුහු විශ්වාස කරති.