Skip to content

පටුනට යන්න

උපකාරය පිරිනමන්නේ කෙසේද?

උපකාරය පිරිනමන්නේ කෙසේද?

උපකාරය පිරිනමන්නේ කෙසේද?

“මානසික අවපීඩනයෙන් පෙළෙන දරුවන්ට උපකාරය අවශ්‍යයි. එවැනි දරුවන්ට තම රෝගය සමඟ තනිව සටන් කිරීමට බැහැ. මුලින්ම දරුවාට ගැටලුවක් තියෙනවා කියලා වැඩිහිටියන් විසින් වටහාගන්න අවශ්‍යයි. ඊටපස්සේ අවශ්‍ය උපකාරය පිරිනැමිය යුතුයි. ඒත් ගැටලුව හඳුනාගන්න එක තමයි අමාරුම දේ”—වෛද්‍ය මාර්ක් එස්. ගෝල්ඩ්.

ඔබේ දරුවා මානසික අවපීඩනයෙන් පෙළෙනවා කියා සැකයක් ඇති වූ විට ඔබට කුමක් කළ හැකිද? පළමුවෙන් ගැටලුව දෙස ඍණ ආකල්පයකින් නොබලන්න. සමහරවිට එම රෝග ලක්ෂණ හටගෙන ඇත්තේ වෙනත් රෝගයක් නිසාවෙන් විය හැකියි. a ඒ වගේම සෑම යෞවනයෙකුම යම් යම් අවස්ථාවල දොම්නසට පත්වීම සාමාන්‍ය දෙයක්. නමුත්, එම දොම්නස් ස්වභාවය දිගටම පවතිනවා නම් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගැනීම නුවණට හුරුයි. මේ අවස්ථාවේදී යේසුස්ගේ වදන් එනම් “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත” යන්න මනසේ තබාගැනීම යහපති.—මතෙව් 9:12.

දරුවාගේ ජීවිතයේ මෑතකදී ඇති වූ වෙනස්කම් ඇතුළු ඔහු තුළ චිත්ත සන්තාපයක් ඇතිවීමට හේතු වූවායයි සිතිය හැකි සෑම කාරණයක් ගැනම ඔබේ වෛද්‍යවරයාට නොසඟවා පවසන්න. ඒ වගේම වෛද්‍යවරයා රෝගය තීරණය කළේ හොඳින් රෝග ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පසුවද කියා සැලකිලිමත් වන්න. “අවශ්‍ය සියලුම තොරතුරු දැනගෙන ළමයෙකුට රෝගය තිබෙනවා කියා මිනිත්තු 20ක් වැනි කෙටි කාලයකින් තීරණය කළ නොහැකි” බවට වෛද්‍ය ඩේවිඩ් ජී. ෆැස්ලර් අනතුරු අඟවයි.

ඔබට වෛද්‍යවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්න තිබේ නම් නොපැකිලව අසන්න. උදාහරණයකට, ඔබේ දරුවා දරුණු ලෙස මානසික අවපීඩනයෙන් පෙළෙනවා කියා තීරණය කළහොත් එසේ තීරණය කිරීමට හේතු විමසන්න. ඔබට වෛද්‍යවරයාගේ රෝග විනිශ්චය ගැන සැකයක් ඇත්නම් තවත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් පැතීමට අවශ්‍ය බව ඔහුට පවසන්න. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු රෝගියාගේ ශුභසිද්ධිය ගැන උනන්දු වන නිසා එවන් තීරණයක් ගැනීම සම්බන්ධයෙන් ඔබේ වෛද්‍යවරයා කිසිවිටකත් විරුද්ධ වන්නේ නැත.

තත්වයට මුහුණ දීම

නව යොවුන් වියේ පසු වන ඔබේ දරුවා මානසික අවපීඩනයෙන් පෙළෙනවා නම් එය ලජ්ජාවට කාරණයක් නොවෙයි. ඇත්තෙන්ම, මානසික අවපීඩනය ගුණ යහපත් යෞවන අයටත් බලපෑ හැකියි. ඒ වගේම වයස් මට්ටම කුමක් වුවත් දෙවිට සේවය කිරීමට අවංක වෑයමක් දරන අයට පවා මෙවන් වේදනාකාරි හැඟීම් ඇති විය හැකි බව බයිබලය පෙන්වයි. විශ්වාසවන්ත යෝබ් ගැන කල්පනා කරන්න. දෙවි ඔහුව අත්හැර දමා ඇති බවට හැඟුණ නිසා ඔහුට ජීවිතය එපා විය. (යෝබ් 10:1; 29:2, 4, 5) දෙවිගේ සේවිකාවක් වූ හන්නා ‘ශෝකයෙන් පීඩිත වී’ කෑම නොකා සිටියාය. (1 සාමුවෙල් 1:4-10) දේවභක්තික මිනිසෙක් වූ යාකොබ් ඔහුගේ පුත්‍රයාගේ මරණය ගැන දවස් කිහිපයක්ම ශෝක වූ අතර ‘සැනසෙන්න අකැමති’ විය. ඔහුටත් තම පුතා සමඟ මියැදෙන්න අවශ්‍ය විය. (උත්පත්ති 37:33-35) නමුත් මෙයත් අමතක නොකළ යුතුයි. එනම්, කෙනෙකු චිත්ත සන්තාපයකට ලක් වන්නේ ආත්මික ක්‍රියාකාරකම්වල යම් පසුබෑමක් නිසාම නොවෙයි.

මානසික අවපීඩනයෙන් පෙළෙන යොවුන් වියේ පසු වන දරුවෙකු සමඟ කටයුතු කිරීම දෙමාපියෙකුට දුෂ්කර විය හැකියි. “මම කියන කරන දේවල් ගැන හරිම කල්පනාකාරි වෙනවා” කියා මානසික අවපීඩනයෙන් පෙළෙන දැරියකගේ මවක් පැවසීය. “එක පැත්තකින් මට හරි භයක් දැනෙනවා. අනෙක් පැත්තෙන් මට කේන්තියක් වගේම වෙහෙසක් දැනෙනවා” කියා ඇය තවදුරත් පැවසුවාය. තවත් මවක් මෙසේ පැවසීය. “අම්මා කෙනෙක් එයාගේ දුවත් එක්ක සාප්පු යනවා දැක්කොත් මගේ හිතට පුදුම දුකක් දැනෙනවා. මට මගේ දුවත් එක්ක මේ විදිහට සතුටු වෙන්න බෑනේ කියලා හිතෙනවා.”

එලෙස හැඟීම සාධාරණයි. නමුත් සමහර අවස්ථාවල එවන් හැඟීම් ඔබගේ අනෙකුත් වැඩකටයුතු කරගෙන යෑමට බාධාවක් විය හැකියි. ඔබේ දුක විශ්වාසවන්ත මිතුරෙකුට නොපවසන්නේ මන්ද? හිතෝපදේශ 17:17හි, එසේ කිරීමට දිරිගැන්වීමක් දී තිබේ. “මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය.” ඒ වගේම යාච්ඤාව අතපසු නොකරන්න. අපගේ බර දෙවි මත තබනවා නම් ඔහු අපව උසුලනවා කියා බයිබලයේ පොරොන්දු වී තිබේ.—ගීතාවලිය 55:22.

කිසිවෙකුටවත් දොස් නොපවරන්න

මානසික අවපීඩනයෙන් පෙළෙන බොහෝ දරුවන්ගේ දෙමාපියෝ අධෛර්යයට පත් වන අතර වරද තම අතෙහි කියා සිතති. එක් මවක් මෙසේ පැවසුවාය. “ඔබේ දරුවා මානසික රෝගයකින් පෙළෙන කොට එය ඔබේ හිතට වද දෙන්න පුළුවන්. එහෙම හිතන්න එපා කියා කාටවත් කියන්න බැහැ. ‘අපේ අතින් සිදු වුණ වරද මොකක්ද? දරුවාගේ අසනීපයට හේතු වුණේ මොකක්ද? මට වැරදුණේ කොතැනද’ වැනි දහසකුත් ප්‍රශ්න ඔබට තිබෙන්න පුළුවන්.” මෙවන් අවස්ථාවකදී දෙමාපියන්ට තම මනස සමබරව තබාගත හැක්කේ කෙසේද?

පවුල තුළ පවතින කටුක වාතාවරණය දරුවෙකුව තවත් පීඩනයට පත් කරන බව නම් සහතිකයි. පියවරුන්ට බයිබලයේ මෙසේ අවවාද කරන්නේ යම් සාධාරණ හේතුවක් ඇතුවය. “පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරන්න.” (කොලොස්සි 3:21) එමනිසා තම දරුවන්ට උපදෙස් දිය යුතු ආකාරය පිළිබඳවත් යම් සකස් කිරීම් කළ යුතු ආකාරය පිළිබඳවත් දෙමාපියන් කල්පනාකාරි විය යුතුය. නමුත් මානසික අවපීඩනයට හේතුව සැමවිටම දෙමාපියන්ගේ නොසැලකිලිමත්කමම නොවෙයි. මන්ද ප්‍රේමනීය පවුල් වාතාවරණයක් යටතේ හැදෙන වැඩෙන දරුවෝ පවා මානසික අවපීඩනයෙන් පෙළෙති. එමනිසා තම දරුවන්ට දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන දෙමාපියන්ට තමන් ගැන වරදකාරි බවක් ඇති කරගැනීමට කිසි අවශ්‍යතාවක් නැත.

ඒ වගේම තවත් වැදගත් දෙයක් තිබේ. එනම්, මානසිකව බිඳ වැටී සිටින දරුවාටද දොස් නොකියන්න. මන්ද දරුවා ඕනෑකමින්ම එම රෝගය වැළඳගත්තේ නැත. එක් මවක් රෝගයට ගොදුරු වූ තම පුතා සමඟ කටයුතු කළ ආකාරය ගැන පවසන්නේ මෙසේයි. “මගේ පුතාට පැපොල, නිව්මෝනියාව වගේ ලෙඩ හැදුණොත් මම එයාට කවදාවත් දොස් කියන්නේ නැහැ. ඒත් මානසික අවපීඩනයෙන් පීඩා විඳින්න පටන්ගත්තාම මට පුදුම කේන්තියක් ඇති වුණා. මම, කේන්තිය නිසා එයාට දොස් කිව්වා. මම එහෙම කරපු එක ගැන මට හරිම දුකයි.” මානසික අවපීඩනය නිකම් දුර්වලකමක් ලෙස නොව එය රෝගයක් ලෙස සැලකීමෙන් දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට රෝගයෙන් පීඩා විඳින පුද්ගලයාට උපකාර කරන්නේ කෙසේද කියා මානුෂික හැඟීමකින් සිතා බැලීමට හැකි වෙයි.

මානසික අවපීඩනයෙන් පෙළෙන දරුවෙකුව හදා වඩා ගැනීමේදී මාපියන් දෙදෙනා අතර ඇති සම්බන්ධතාවයට තර්ජන එල්ල විය හැකියි. එක් භාර්යාවක් මෙසේ තම අද්දැකීම විස්තර කරයි. “අපේ පුතා නිසා අපි ප්‍රාර්ථනා කරපු ජීවිතේ වෙනස් වුණ හින්දා අපි දෙන්නට දෙන්නා දොස් කියාගත්තා.” මානසික අවපීඩනයෙන් පෙළෙන දියණියකගේ පියෙක් වූ ටිම් මෙසේ පවසයි. “ඔබේ සහකාරයාට වරද පටවන එක හරි ලෙහෙසි දෙයක්. පවුලේ තියෙන ප්‍රශ්න මදිවට ඒ ප්‍රශ්න නිසා දරුවත් මානසික අවපීඩනයට වැටුණොත් දෙමව්පියන්ට වෙන්නේ හරියට ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්.” දරුවා මානසික අවපීඩනයෙන් පෙළීම ඔබේ විවාහය කඩා බිඳගැනීමට හේතුවක් කර නොගන්න! ඔබටවත් ඔබේ දරුවාටවත් ඔබේ භාර්යාව හෝ පුරුෂයාටවත් දොස් නැඟීමෙන් කිසි සෙතක් වන්නේ නැත. මෙහිදී වඩාත් වැදගත් වන්නේ රෝගියාට අවශ්‍ය සහනය ලබා දීමය.

උපකාරය පිරිනැමීම

“ක්ලාන්ත සිත් ඇත්තන් [මානසික අවපීඩනයෙන් පෙළෙන අයව] ධෛර්ය කරන මෙන්” බයිබලයේ ක්‍රිස්තියානීන්ට අවවාද කරයි. (1 තෙසලෝනික 5:14) මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවනයෙකුට තමන් ගැන කිසිදු වටිනාකමක් නොදැනේ නම් ඔහුට හෝ ඇයට සහනයක් ලබා දීමට ඔබට හැකියි. “ඔය වගේ හිතන එක වැරදියි” හෝ “ඔය අදහස හොඳ නැහැ” වැනි කියමන් නම් සුදුසු නැත. එලෙස විවේචනය නොකර එකිනෙකා කෙරෙහි “සානුකම්පිතව” සිටින්න. (1 පේතෘස් 3:8, නව අනුවාදය) ප්‍රේරිත පාවුල් පැවසුවේ, “අඬන්නන් සමඟ අඬන්න” කියායි. (රෝම 12:15) ඇත්තටම මානසික අවපීඩනයෙන් පෙළෙන කෙනෙකු තුළ දැඩි වේදනාවක් ඇති බව මතක තබාගන්න. දැනෙන වේදනාව කොතරම්ද කිවහොත් එය වචනයෙන් විස්තර කළ නොහැකියි. එය අවධානය ඇදගැනීමට කරන රඟපෑමක් නොවෙයි. එමනිසා මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයා පවසන දේවලට සවන් දුන් පසු ඔහුගේ හෝ ඇයගේ සිතේ තිබෙන දේ එළියට ඇදගන්න උත්සාහ කරන්න. ඔහුට හෝ ඇයට එලෙස හැඟෙන්නේ මන්ද කියා අසන්න. එවැනි දොම්නස් සිතුවිලිවලට පදනමක් නැති බව කාරුණිකව සහ ඉවසිලිවන්තව පෙන්වා දෙන්න. පීඩා විඳින්නෙකුගේ චිත්ත සන්තාපයන් තුනී කිරීමට තරම් හැකියාවක් ඇති දෙවිගේ ප්‍රේමය සහ කරුණාව ගැන විශ්වාසයක් ගොඩනඟන්න.—1 පේතෘස් 5:6, 7.

එමෙන්ම ඔබට ගත හැකි ප්‍රායෝගික වෙනත් පියවරද තිබිය හැක. උදාහරණයකට, ඔබේ දරුවා ප්‍රමාණවත් විවේකය, පෝෂණය සහ ව්‍යායාම් ලබාගන්නවාද කියා විමසිලිමත් වන්න. (දේශනාකාරයා 4:6) වෛද්‍යවරයා ඖෂධ නිර්දේශ කළා නම් එම ඖෂධ නිසි මාත්‍රාවට ගැනීමේ වැදගත්කම තේරුම්ගැනීමට දරුවාට උපකාර කරන්න. නොකඩවාම උපකාරය සහ සෙනෙහස දක්වන්න.

යෞවනයෙකු මානසික අවපීඩනයෙන් පෙළීම, එම යෞවනයාව සහ පවුලේ උදවියව සිත් තැවුලට පත් කරන අද්දැකීමක් විය හැකි බව පිළිගත යුතුයි. අවසාන වශයෙන් සඳහන් කිරීමට ඇත්තේ මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවනයෙකුට උපකාර කිරීමේදී අවශ්‍ය වන්නේ ඉවසීම, උත්සාහය සහ ප්‍රේමයයි.

[පාදසටහන]

a මොනෝනියුක්ලියේසිස් (ඒක න්‍යෂ්ටික සුදු රුධිරානුවල අධිවර්ධනය), දියවැඩියාව, රක්තහීනතාවය, තයිරොයිඩ් ක්‍රියාකාරිත්වය අඩුවීම, රුධිරයේ සීනි මට්ටම පහත බැසීම වැනි රෝගවලදීද මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ දැකිය හැකියි.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඇත්තටම මානසික අවපීඩනයෙන් පෙළෙන අයෙකුට දැඩි වේදනාවක් දැනේ. එය බොරු මවාපෑමක් නොවේ

[13වන පිටුවේ කොටුව]

ඔබ මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවනයෙකු නම් . . .

ඔබ අසරණ වී නැහැ. ඒ වගේම ඔබ සිටින්නේ බලාපොරොත්තුවක් නොමැති තත්වයක නොවෙයි. ඔබේ මානසික අවපීඩනයට හේතුව (1) මොළයේ ඇති වන ජෛව රසායන අසමතුලිතතාවය එසේ නැතහොත් (2) ජීවිතයේ සිදු වන පාලනය කරගත නොහැකි තත්වයන් විය හැකියි. මෙම කාරණා දෙකින් කුමක් වුවත් ඔබට සිදු වුණු විපතට හේතුව ඔබ නොවෙයි. එසේ නම් ඔබට කුමක් කළ හැකිද?

“සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙක් ඇත්තේය” කියා බයිබලයේ සඳහන් කරයි. (හිතෝපදේශ 18:24) එවැනි මිත්‍රයෙකුට ඔබේ සිතේ තිබෙන දේ නොපවසන්නේ මන්ද? ඔබට රෝගය සමඟ සටන් කිරීමට උර දිය හැකි හොඳම මිතුරා ඔබේ මව හෝ පියා එසේ නැතහොත් මේරු වැඩිහිටියෙකු විය හැකියි.

ඔබ දරුණු ලෙස මානසික අවපීඩනයෙන් පෙළෙන බවට ඔබේ දෙමාපියන්ට සැකයක් ඇති වී ඔබව එම රෝගයට ප්‍රතිකාර කරන අද්දැකීම් ලත් වෛද්‍යවරයෙකු වෙත රැගෙන යා හැකියි. මෙය ප්‍රායෝගික පියවරක්. එසේ ප්‍රතිකාර ලබාගත හැකි නම් මානසික අවපීඩනය බොහෝ දුරට සුව කරගත හැකියි. උදාහරණයකට රෝගී තත්වයට හේතුව රසායනික අසමතුලිතතාවයක් නම් ඔබට ප්‍රති අවපීඩක (antidepressant) ඖෂධ නිර්දේශ කරන්න පුළුවන. ඔබටත් ඖෂධ නිර්දේශ කළා නම් එය භාවිතා කිරීම ගැන ලජ්ජා නොවන්න. මෙම ඖෂධ ගැනීමෙන් ඔබේ සිරුරේ රසායනික ක්‍රියාවලිය නැවත යථා තත්වයට පත් වන අතර ඔබේ ජීවිතයට සතුට සහ ස්ථාවරත්වයක් නැවත එක් කරගත හැකියි.

මානසික අවපීඩනයෙන් පෙළෙන බොහෝදෙනෙකු බයිබලය කියවීමෙන් සහ යාච්ඤාව තුළින් දෙවිට ළං වී සහනයක් ලබාගෙන තිබේ. බයිබලයෙහි අපට මෙවන් සහතිකයක් දී තිබේ. ‘යෙහෝවා බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටියි, තැළුණු ආත්ම ඇත්තන් ගළවයි.’ bගීතාවලිය 34:18.

[පාදසටහන]

b මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබාගැනීමට 2000 නොවැම්බර් 8 පිබිදෙව්! කලාපයේ “යෞවන අය අසති . . . ලිපි මාලාවේ හිතේ දුක වෙන කෙනෙකුට කියන එක හොඳද?” යන ලිපිය බලන්න.

[14වන පිටුවේ කොටුව⁄පින්තූරය]

උපකාරය සහ බලාපොරොත්තුව

මෙම කෙටි ලිපි මාලාවෙන් මානසික අවපීඩනය සම්බන්ධ සෑම තොරතුරක්ම ආවරණය කළ නොහැකියි. මන්ද මානසික අවපීඩනය ඉතාමත් සංකීර්ණ විෂයක්. නමුත් මෙහි සඳහන් කරුණු මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවනයන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට යම් සහනයක් ගෙන දෙන්න ඇතැයි යන්න පිබිදෙව්! සඟරාවේ ප්‍රකාශකයන්ගේ විශ්වාසයයි.

කලින් ලිපියේ සඳහන් උපදෙස් බොහෝමයකට පදනම ලෙස භාවිත කර තිබෙන්නේ බයිබලය බව ඔබ දකින්න ඇති. බයිබලය පුරාණ ලියවිල්ලක් බව සත්‍යයකි. නමුත් එහි උපදෙස් එය ලියූ කාලයට මෙන්ම අදටත් ප්‍රායෝගිකයි. එසේ පවසන්නේ, කාලය කොතරම් ගෙවී ගියත් මිනිසා වෙනස් වී නොමැති නිසාවෙනි. අප මුහුණ දෙන්නෙත් පසුගිය පරම්පාරවන් මුහුණ දුන් ප්‍රශ්න ගැටලුවලටමය. වෙනසකට තිබෙන්නේ එම ගැටලු සංකීර්ණ වී තිබීමත් මිනිස් සමාජයේ බොහෝදෙනෙකු එයට ගොදුරු වී තිබීමත්ය.

බයිබලය දෙවිගේ ආනුභාවයෙන් ලියා තිබීමත් එය ප්‍රායෝගික බවෙන් උසස්ය කියා කීමට තිබෙන තවත් සාධකයකි. (2 තිමෝති 3:16) දෙවි අපේ මැවුම්කරු නිසා අපේ ජීවිතයේ උපරිම සතුට භුක්ති විඳීමට අවශ්‍ය කුමක්ද කියා දනී.

බයිබලය වෛද්‍ය අත් පොතක් නොවෙයි. මේ නිසා මානසික අවපීඩනය වැනි රෝගාබාධයන්ට පිළියම් යෙදීම අවශ්‍ය වන්නකි. නමුත් බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති පීඩා විඳින්නන්ව සැනසීමට යොදාගත හැකියි. ඊටත් වඩා සිත සනසන පොරොන්දුවක් එහි තිබේ. එනම් නුදුරු අනාගතයේදී දෙවි සියලු ආකාර අසනීප සුව කරන බවට දී ඇති පොරොන්දුවයි. (ගීතාවලිය 103:3) යෙහෝවාගේ අරමුණ “තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත්” කිරීමය.—යෙසායා 57:15, නව අනුවාදය.

මෙම උදාර අරමුණ ගැන වැඩිමනත් තොරතුරු දැනගන්න ඔබ සතුටුද? එසේ නම් ඔබ සිටින ප්‍රදේශයේ හෝ මෙම සඟරාවේ පස්වන පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියමින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව අමතන්න.

[10වන පිටුවේ පින්තූරය]

අන් අය කෙරෙහි සානුකම්පිතව සිටින්න

[11වන පිටුවේ පින්තූරය]

දරුවාගේ මානසික අවපීඩනය දිගටම පවතී නම් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂණයක් කරවාගැනීම සුදුසුයි

[12වන පිටුවේ පින්තූර]

දෙමාපියෙනි, ඔබට, ඔබේ සහකරුට හෝ ඔබේ දරුවාට දොස් තැබීමට ඉක්මන් නොවන්න