Skip to content

පටුනට යන්න

පියෙකු සතු අතිවැදගත් කාර්යය

පියෙකු සතු අතිවැදගත් කාර්යය

පියෙකු සතු අතිවැදගත් කාර්යය

“දැන් දැන් තරුණ පුරුෂයන් බොහෝදෙනෙක් තම දරුවන්ව ඇති දැඩි කිරීමේ කාර්යය ගැන වැඩියෙන් උනන්දු වෙති. ඔවුන්ගේ ආශාව වන්නේ වඩාත් ක්‍රියාශීලී ආකාරයකින් ඊට දායක වන්නටයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වයස අවුරුදු 21 සිට 39 දක්වා පුරුෂයන්ගෙන් සියයට 82ක්ම තම පවුල් සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඉඩ කඩ සලසන රැකියාවන් තෝරාගෙන ඇත.” මෑතකදී හාවඩ් සරසවියේ කළ අධ්‍යයනයක් සම්බන්ධයෙන් මෙම අදහස් පළ කර තිබුණේ කැනඩාවේ ද ටොරොන්ටෝ ස්ටාර් නමැති පුවත්පතෙහිය. එක්සත් ජනපදයේ අවුරුදු 21 සිට 65ට වැඩි පුරුෂයන් සහ ස්ත්‍රීන් 1,008ක් මෙම සමීක්ෂණයට සහභාගි වූ බව මෙම අධ්‍යයනයේදී හෙළි විය. ඒ අතර සිටි තරුණ පුරුෂයන්ගෙන් සියයට 71ක්ම පවසා සිටියේ “තම පවුලේ උදවිය සමඟ වැඩි කාලයක් ගත කිරීම සඳහා, තම වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරන්නට” පවා තමන් කැමති බවයි.

දැන් පියවරුන් බොහෝදෙනෙකු තම දරුවන්ගේ ජීවිතවලට වැඩියෙන් සම්බන්ධ වීමට ආශාවක් දක්වන්නේ මන්ද? වර්ෂ 1994දී එක්සත් ජනපදයේ පුරුෂයන් 1,600ක් යොදාගෙන කළ සමීක්ෂණයකදී ඔවුන්ගෙන් සියයට 50ක්ම පැවසුවේ ඔවුන්ගේ ළමා කාලයේදී තම පියවරුන් තම චිත්තවේගීය අවශ්‍යතා නොසැපිරූ බවය. මෙම තොරතුරු හෙළි කළේ වගකීමකින් හා බැඳීමකින් කටයුතු කරන පියවරුන් බිහි කිරීමේ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන ජාතික පිතෘත්ව ප්‍රයත්නය නමැති වැඩ පිළිවෙළේ ප්‍රාරම්භකයෙකු වන ඩේවිඩ් බ්ලැන්කන්හෝන්ය. මින් පෙනී යන්නේ වර්තමානයේ පියවරුන් බොහෝදෙනෙකු ඔවුන්ගේ පියවරුන් අතින් සිදු වූ දේ සිදු වනවා දැකීමට අකමැත්තෙන් සිටින බවයි.

ඇත්තෙන්ම තම දරුවන්ගේ කටයුතුවලට ක්‍රියාශීලීව සම්බන්ධ වන පියවරුන්ට තම දරුවන්ගේ අභිවෘද්ධියට හිතකර බලපෑමක් කළ හැකිය. එක්සත් ජනපදයේ සෞඛ්‍යය හා මානව සේවා දෙපාර්තමේන්තුව කළ පර්යේෂණයකින් ලබාගත් තොරතුරුවලට යොමු දක්වමින්, පියවරුන් තම දරුවන් සමඟ ආහාර අනුභව කරන විට, ඔවුන් සමඟ විනෝද ගමන් යන විට සහ පාසැලෙන් ලැබෙන ගෙදර වැඩ කිරීමට ඔවුන්ට උපකාර කරන විට සිදු වන දේ ද ටොරොන්ටෝ ස්ටාර් විස්තර කළේ මෙසේය. “පියවරුන් හා දරුවන් දේවල් එකට කරද්දී, දරුවන්ගේ හැසිරීම හා සම්බන්ධව ගැටලු මතු වන්නේ අඩුවෙනි. එවන් දරුවන්ට සමාජයේ විවිධ පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට ඇති හැකියාවද වැඩිය. එමෙන්ම කුඩා දරුවන්ගේ සහ නහඹරයන්ගේ ඉගෙනගැනීමේ හැකියාව වඩාත් ඉහළ මට්ටමක පවතී.”

ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි වන්නේ, දරුවන් ඇති දැඩි කිරීම සම්බන්ධයෙන් මුලින්ම වසර තුන්දාහකටත් ඉහත ලියවුණු උපදෙස් අදටත් කොතරම් ප්‍රායෝගිකව අදාළද යන්නයි. පවුල නමැති ඒකකය බිහි කළ තැනැත්තා පියවරුන්ට විශේෂයෙන්ම උපදෙස් දුන්නේ තම දරුවන් ඇති දැඩි කිරීමේ කාර්යයට ක්‍රියාශීලීව සහභාගි වන්නට කියාය. (එපීස 3:14, 15; 6:4) තම දරුවන්ගේ හදවත් තුළ දෙවි සඳහා ප්‍රේමයක් පැලපදියම් කරන්නටත්, දෙවිගේ නියෝග සහ ආඥාවන් ගැන ඔවුන් සමඟ කතා කරන්නටත් පියවරුන්ට උපදෙස් දී තිබිණ. ‘ඔවුන් ගෙයි හිඳින කලද, මඟ යන කලද, සයනය කරන කලද, නැඟිටින කලද’ එසේ කළ යුතු බව දෙවි පැවසීය.—ද්විතීය කථාව 6:7.

ඇත්තෙන්ම දරුවන් ඇති දැඩි කිරීමේ කාර්යයට දෙමාපියන් දෙදෙනාම සහභාගි විය යුතුය. “නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න” කියා බයිබලය දරුවන්ට අවවාද කරන්නේ එමනිසාය. (හිතෝපදේශ 1:8, අකුරු ඇල කළේ අපය.) පියෙකුගෙන් ඉටු වන කාර්යය අතිවැදගත්ය. ඔහු තම භාර්යාවට සහයෝගය දක්වමින් ඇයට ගෞරව කළ යුතු අතර, දරුවන් ඇති දැඩි කිරීමේ කාර්යයට දායක විය යුතුය. දරුවන් සමඟ පොත් පත් කියවීමට සහ ඔවුන් සමඟ කතා කිරීමට කාලය වෙන් කිරීමද මීට අයත් වේ. මෙවන් දෙයක් සිදු වන විට දරුවන්ට ඉතා වැදගත් වන චිත්තවේගීය හැඟීම්වලින් පරිණත වීමේ අවශ්‍යතාව පිරිමැසේ.

එසේ නම්, ප්‍රීතිමත් පවුලක් ගොඩනැඟීම සඳහා නිවැරදි උපදෙස් සහ ස්ථිර ප්‍රතිපත්ති ලබාගැනීමට හොඳම මාධ්‍යය බයිබලය බවට සැකයක් නොමැත. සැබවින්ම තම පවුලේ ආත්මික, චිත්තවේගීය හා ද්‍රව්‍යමය අවශ්‍යතා වෙහෙස මහන්සිය නොබලා පිරිමසන පියෙක් දෙවිගෙන් ලද තම වගකීම සාර්ථකව ඉටු කරයි.