Skip to content

පටුනට යන්න

බයිබල් කියවීම රසවත් අද්දැකීමක් කරගන්නේ කොහොමද?

බයිබල් කියවීම රසවත් අද්දැකීමක් කරගන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

බයිබල් කියවීම රසවත් අද්දැකීමක් කරගන්නේ කොහොමද?

“වෙලාවකට බයිබලය කියවද්දී මට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. එහෙම වුණාම ඉතිං මට ඒක ආයිත් අතට ගන්නවත් හිතෙන්නේ නෑ.”—දාහත් හැවිරිදි ඇනලීසා.

“මට නම් බයිබලය කියවන්න පොඩ්ඩක්වත් උනන්දුවක් තිබුණේ නෑ.”—විසි දෙහැවිරිදි කිම්බලි.

බොහෝදෙනෙක් කියවීම සලකන්නේ මහ එපා කරපු වැඩක් හැටියටයි. ඒ නිසා, බයිබලය තරම් විශාල පොතක් දකිද්දී ඔවුන් අධෛර්යයට පත් වන එක ගැන පුදුම විය යුතු නැහැ. ඇත්තෙන්ම කියනවා නම්, කියවීමට රුචියක් තිබෙන අයට පවා බයිබලය කියවීම ලොකු අභියෝගයක්. වයස අවුරුදු 17ක් වන ටැමි බයිබලය කියවීම ගැන අදහස් පළ කරන්නේ මෙහෙමයි. “මම කලින් බයිබලය සැලකුවේ ලොකු ලොකු වචන තියෙන තේරුම්ගන්න බැරි මහ විශාල පොතක් හැටියටයි. බයිබලය තේරුම්ගන්න නම් හුඟක් ඉවසීම ඕනේ. ඒක හොඳ අවධානයකින් කියවන්නත් ඕනේ.”

පාසැල් වැඩ කටයුතු, ගෙදර දොර වැඩ හා විනෝදාංශ සඳහා අපේ කාලය, ශ්‍රමය විශාල වශයෙන් වැය වන නිසාත් උනන්දුවකින් හා අවධානයකින් යුතුව බයිබලය කියවීම අභියෝගයක් විය හැකියි. යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන ඇලිෂියාගේ තත්වය සලකා බලන්න. ඇය ක්‍රිස්තියානි රැස්වීම්වලට සූදානම් වීමට හා සහභාගි වීමට මෙන්ම ඇගේ විශ්වාසයන් ගැන අන් අය සමඟ කතා කිරීමටද කාලය ගන්නවා. “හුස්ම ගන්න බැරි තරම් වැඩ ගොඩ ගැහිලා තියෙනකොට බයිබලය කියවන එක ලේසි නෑ” කියා ඇය පිළිගන්නවා.

ඒත් ඇලිෂියා, ටැමි සහ වෙනත් බොහෝ යෞවන යෞවනියන් මෙම බාධක හමුවේ පවා නිතිපතාම බයිබලය කියවීමට පුරුදු වී සිටිනවා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් එයින් ආස්වාදයක්ද ලබනවා. බයිබලය කියවීම රසවත් අද්දැකීමක් කරගන්න ඔබටත් පුළුවන්! ඒ සඳහා යෝජනා තුනක් දැන් සලකා බලන්න.

කාලය වෙන් කරගන්න

“මගේ වයසේ හුඟක් අය බයිබලය කියවන්න කම්මැළි වෙන්නේ ඒගොල්ලන් ඒක වැඩිය කියවලා නැති හින්දයි” කියා 18 හැවිරිදි කෙලි පවසනවා. ඔබ නිතර නිතර යම් ක්‍රීඩාවක හෝ වෙන යම් විනෝදාංශයක නිරත වෙනවා නම් එයින් සතුටක් ලබන බව ඔබ අද්දැක ඇති. ඒ හා සමානව, ඔබ නිතරම වාගේ බයිබලය කියවන්න පුරුදු වෙනවා නම් එයින්ද ආස්වාදයක් ලබන බවට සැකයක් නැහැ.

ඒත්, බයිබලය කියවීම සඳහා කාලය මදි කියා ඔබට හැඟෙන්න පුළුවන්. එහෙනම් ප්‍රේරිත පාවුල්ගේ මෙම උපදෙස ඔබට ප්‍රයෝජනවත් විය හැකියි. “නුඹලා ඥානය නැත්තන්මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන, දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න [කාලය කෙසේ හෝ සොයාගන්න, NW].” (එපීස 5:15, 16) ඔව්, රූපවාහිනිය නැරඹීම වැනි ඒ තරම්ම වැදගත් නැති දේවල් පරිත්‍යාග කර කාලය “කෙසේ හෝ සොයාගන්න” ඔබට පුළුවන්. “කාලය” සඳහා පාවුල් භාවිත කළ වචනය යම් නිශ්චිත අරමුණක් ඉටු කිරීම සඳහා වෙන් කරගත් කාලයකට යොමු දැක්විය හැකියි. බයිබලය කියවීම සඳහා යම් නිශ්චිත වේලාවක් නියම කරගත යුතු බව මින් පැහැදිලියි. ඒ සඳහා සුදුසුම වේලාව කුමක්ද?

සමහර අය උදේ වරුවේ දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම a නමැති පොත් පිංචයේ බයිබල් පාඨය හා අදහස් සලකා බැලීමෙන් පසුව බයිබලය කියවීමට තීරණය කර තිබෙනවා. තවත් අය බයිබලය කියවන්නේ රෑ නිදාගන්න කලින්. ඔබට සුදුසුම වේලාව කුමක්ද කියා ඔබම නිශ්චය කරගත යුතුයි. විටින් විට ඔබේ කාලසටහන සකස් කරගැනීමටද සිදු විය හැකියි. “කාලසටහනකට අනුව නොවරදවා බයිබලය කියවන්න නම් අවශ්‍ය වෙලාවට කාලසටහන වෙනස් කිරීමට සූදානමින් ඉන්න ඕනේ” කියා ඇලිෂියා කියනවා.

සමහර ක්‍රිස්තියානි තරුණ තරුණියන් දිනපතාම බයිබලය කියවීම සඳහා විනාඩි 10ක් හෝ 15ක් වෙන් කරගෙන තිබෙන අතර අවුරුද්දකින් දෙකකින් මුළු බයිබලයම කියවීමට ඔවුන් සමත් වී තිබෙනවා! සමහරවිට බයිබලය කියවීම සඳහා ඔබට සුළු කාලයක් වෙන් කරගැනීම පවා අමාරු වෙන්න පුළුවන්. කොහොම වුණත්, දිනපතාම බයිබලයේ සුළු කොටසක්වත් කියවීමට ඉලක්ක කරගන්න. ඒ වගේම නොවරදවාම ඔබ නිශ්චය කරගත් වේලාවටම එසේ කිරීමට අදිටන් කරගන්න. කල් යද්දී ඔබ දෙවිගේ වචනයට ඇලුම් කරන්න පටන්ගනීවි.—ගීතාවලිය 119:97; 1 පේතෘස් 2:3.

ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරන්න

බයිබලය නිතිපතා කියවන අයට පවා දෙවිගේ වචනයෙහි තේරුම්ගැනීමට අමාරු දේවල් තිබෙන බව පිළිගත යුතුයි. ඒ කොහොම වුණත්, බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවිගේ කැමැත්ත වන්නේ ඔහුගේ වචනය අප විසින් හරියාකාරව තේරුම්ගන්නවා දකින්නයි. ඉතියෝපීය ජාතිකයෙක් ගැන ක්‍රියා පොතෙහි සඳහන් වාර්තාවෙන් මෙය පැහැදිලි වෙනවා. යෙසායා 53වන පරිච්ඡේදයේ වාර්තා කර ඇති අනාවැකිය තේරුම්ගත නොහැකිව සිටි එම මනුෂ්‍යයා තමාට උපකාර අවශ්‍යයි කියා පිළිගත්තා. ඉන්පසු දේවදූතයෙකුගේ මඟ පෙන්වීම ලැබූ පිලිප් නම් මිෂනාරිවරයා ඔහු වෙතට ගිහින් අවශ්‍ය උපකාරය ලබා දුන්නා.—ක්‍රියා 8:26-39.

මෙම වාර්තාව කියවීමෙන් පැහැදිලි වන්නේ, බයිබලය අර්ථවත් ලෙස කියවන්න නම් යාච්ඤාව අත්‍යවශ්‍ය බවයි. ඇතමෙක් බයිබලය කියවන්න කලින් එය තේරුම්ගැනීමටත් එයින් ආදර්ශයට ගත හැකි පාඩම් සිතට ගැනීමටත් යෙහෝවාගෙන් ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරනවා. (2 තිමෝති 2:7; යාකොබ් 1:5) යම් අය මතු කරන ප්‍රශ්නවලට පිළිතුරු දීමටත් විවිධ පරීක්ෂණවලට මුහුණ දීමටත් උපකාරවත් වන බයිබල් පාඨ දෙවිගේ ආත්මය ඔබගේ මතකයට නංවන අවස්ථාද තිබිය හැකියි.

මේ සම්බන්ධයෙන් ක්‍රිස්තියානි යෞවනයෙක් තම අද්දැකීම විස්තර කරන්නේ මෙලෙසයි. “මට අවුරුදු 12ක් වෙනකොට තාත්තා අපිව දාලා ගියා. එක දවසක් රෑ මම ඇඳේ ඉඳන් හුඟක් වෙලා යාච්ඤා කළා. තාත්තාට ආයෙත් ගෙදර එන්න හිත දෙන්න කියලා මං යෙහෝවාට කිව්වා. පස්සේ මං නිකම් බයිබලය අතට අරං කියවන්න පටන්ගනිද්දී එකපාරටම මගේ ඇස් යොමු වුණේ ගීතාවලිය 10:14​ටයි. ඒකේ කියලා තියෙන්නේ ‘අසරණ තැනැත්තේ ඔබට [යෙහෝවාට] භාර වෙයි. ඔබ පියා නැත්තාගේ උපකාරකයා වන්නේය’ කියලයි. ඒ වචන ගැන මං මොහොතකට කල්පනා කර බැලුවා. මට හැඟුණේ යෙහෝවා මටම කතා කරනවයි කියලා. හරියට එයා මට උපකාර කරන්නත් මගේ පියා වෙන්නත් පොරොන්දු වෙනවා වගේ. යෙහෝවාට වඩා තවත් හොඳ පියෙක් ඉන්නවාද!”

බයිබලය කියවන්න සූදානම් වන සෑම අවස්ථාවකදීම යාච්ඤා කිරීමට පුරුදු වෙන්න. ඒඩ්‍රියන් මෙසේ යෝජනා කරනවා. “කියවන්න කලින් විතරක් නෙවෙයි කියවලා ඉවර වුණාමත් යාච්ඤා කරන්න. එතකොට තමයි යෙහෝවා එක්ක සංවාදයක් පවත්වනවා කියලා කියන්න පුළුවන්.” බයිබලය කියවීම සඳහා ඔබේ කාලසටහනට ඇලී සිටීමට ඔබ ගත් අධිෂ්ඨානය තවත් ශක්තිමත් කිරීමට මුළු හදින්ම කරන යාච්ඤාව උපකාරවත් වෙනවා. යෙහෝවා සමඟ ඇති ඔබේ මිත්‍රත්වයද එයින් ශක්තිමත් වන බවට සැකයක් නැහැ.—යාකොබ් 4:8.

අර්ථාන්විත ලෙස කියවන්න

මේ ලිපියේ කලින් සඳහන් කළ කිම්බලිට බයිබලය කියවීම ගැන කිසිම උනන්දුවක් තිබුණේ නැහැ. බයිබලය කියන්නේ පරිගණකය, රූපවාහිනිය, ගුවන් යානය ආදිය සෑදීමට පෙර ලිවූ ඉතා පැරණි ලියවිල්ලක් බව ඇත්තයි. ඒ විතරක් නෙවෙයි, බයිබලයේ සඳහන් පුද්ගලයන් දැන් මිය ගොස් අවුරුදු දහස් ගණනක් ගත වී තිබෙනවා. ඒත්, ප්‍රේරිත පාවුල් මෙම ඉපැරණි ලියවිල්ල සැලකුවේ කෙසේද කියා සලකා බලන්න. ඔහු පැවසුවේ, “[දෙවිගේ] වචනය ජීවමානය, බලවත්ය” කියායි. (හෙබ්‍රෙව් 4:12) මෙතරම් පැරණි ලියවිල්ලකට බලය තිබෙනවායයි පැවසිය හැක්කේ කෙසේද?

එස්රා නම් පිටපත්කරුගේ කාලයේදී සිදු වූ යමක් සලකා බලන්න. “අසා තේරුම්ගන්ට පුළුවන්” පුරුෂයන් හා ස්ත්‍රීන් දහස් ගණනක් යෙරුසලමේ එක්රැස් වී ශබ්ද නඟා කියෙවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවට ඇහුම්කන් දුන්නා. ඒ වෙද්දී ව්‍යවස්ථාව ලියා අවුරුදු 1,000කටත් වඩා ගත වී තිබුණා! ඒත් එස්රා සහ ඔහුගේ සහයකයන් ‘[සැබෑ, NW] දෙවිගේ ව්‍යවස්ථා පොත පැහැදිලි ලෙස කියවා අර්ථය තෝරා දුන්නෝය. මිනිස්සුද කියෙවූ දේ තේරුම්ගත්තෝය.’ ශුද්ධ ලියවිල්ල අර්ථාන්විත ලෙස කියවීමේ හා තෝරා දීමේ ප්‍රතිඵලය වූයේ කුමක්ද? “මුළු සෙනඟ කන්ටත් බොන්ටත් කොටස් අරින්ටත් බොහෝසේ ප්‍රීතිවෙන්ටත් ගියෝය, මක්නිසාද තමුන්ට දන්වනලද වචන ඔව්හු තේරුම්ගත්තෝය.”—නෙහෙමියා 8:1-12, අකුරු ඇල කළේ අපය.

බයිබලය අර්ථාන්විත ලෙස කියවීම සඳහා ඔබට කුමක් කළ හැකිද? කියවීම අභියෝගයක් සේ සලකන කැති අවධානය වෙනතකට යොමු නොවන ලෙස ශබ්ද නඟා කියවනවා. නිකී, කියවමින් සිටින සිද්ධිය පිළිබඳව මනසේ චිත්‍රයක් මවාගන්නා අතර එම තත්වය තුළ ඇය සිටින බව සිතාගන්නවා. “මමත් ඒ වගේ තත්වයකට මුහුණ දුන්නොත් මට කොහොම හැඟෙයිද කියලා මං කල්පනා කරලා බලනවා. මං ගොඩක්ම ආස රූත්ගෙයි නායොමිගෙයි කතන්දරයටයි. කොච්චර කියෙව්වත් මට ඒක එපා වෙන්නේ නෑ. අපි ගෙවල් මාරු කරලා වෙනත් නගරයකට ගියාම මට දැනුණ පාළුව, තනිකම නැති කරගන්න ඒ කතාව මට ලොකු උපකාරයක් වුණා. නොදන්නා රටකට ගිහිල්ලා අඳුරන්නේ නැති මිනිසුන් එක්ක ජීවත් වුණ රූත්ට කොහොම දැනෙන්න ඇද්ද කියලා මම හිතුවා. එයා යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබුව විදිහත් මම හිතට ගත්තා. ඒ නිසා යෙහෝවා කෙරෙහි විශ්වාසය තබාගෙන මගේ අලුත් ජීවිතයට පුරුදු වෙන්න මට පුළුවන් වුණා” කියා නිකී විස්තර කරනවා.—රූත්ගේ කථාව, පරිච්ඡේද 1-4.

බයිබලයේ ‘බලය’ අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙනවා දකින්න නම් අප බයිබලය කියවන සෑම අවස්ථාවකදීම කියෙවූ දේ ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට කාලය ගත යුතුයි. ඉන්පසු එම තොරතුරු ඔබේ ජීවිතයට අදාළ කරගන්නේ කොහොමද කියාත් ඒවායින් ප්‍රයෝජන ගන්නේ කොහොමද කියාත් සිතා බලන්න. ඔබේ කියවීම තවත් රසවත් කරගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇති බයිබල් ආධාරක පොත් පත්වලින්ද ප්‍රයෝජන ගන්න පුළුවන්. b

වෑයම අත් නොහරින්න!

කාලසටහනකට අනුව දිගටම බයිබල් කියවීම කරගෙන යෑම අභියෝගයක්. හොඳ කාලසටහනක් පවා විටින් විට සකස් කරගැනීමට සිදු විය හැකියි. එහෙනම් දිනපතාම බයිබලය කියවීමට ඔබ ගෙන ඇති අධිෂ්ඨානයට ඇලී සිටින්නේ කොහොමද?

ඒ සඳහා හිත මිතුරන්ගෙන් හා පවුලේ අයගෙන් උපකාරය පතන්න පුළුවන්. අවුරුදු 15ක් වන ඇම්බර් තමන් කරන දේ විස්තර කරන්නේ මේ ආකාරයටයි. “මමයි නංගියි ඉන්නේ එක කාමරේ. සමහර වෙලාවට රෑට මට හරිම මහන්සියි. එතකොට ඉතිං මට නිදාගන්නමයි හිතෙන්නේ. හැබැයි නංගි මට මතක් කරනවා බයිබලය කියවන්න ඕනේ කියලා. ඒ හින්දා මම කවදාවත් බයිබලය කියවන්නේ නැතුව නිදාගන්නේ නෑ.” ඔබ කියවන කොටසේ යම් සිත්ගන්නා කරුණක් තිබෙනවා නම් අනිත් අය එක්ක ඒ ගැන කතා කරන්න. දෙවිගේ වචනයට ඇති ඔබගේ අගය වැඩි කිරීමට මෙය දායක වන අතර බයිබලය කියවීමට අන්‍යයන්ගේ උනන්දුව පුබුදුවාලන්නත් එයට පුළුවන් වෙනවා. (රෝම 1:11, 12) දවසක් දෙකක් හෝ ඊට වැඩිය බයිබලය කියවීම අතපසු වුණොත් අධෛර්යයට පත් වෙන්න එපා. නැවතත් ඔබේ කාලසටහනට යොමු වෙන්න. මින්පසු එය අතපසු නොකිරීමට අදිටන් කරගන්න.

දිනපතා බයිබලය කියවීමෙන් ලද මිල කළ නොහැකි ප්‍රයෝජන කිසිදා අමතක නොකරන්න. යෙහෝවා තම වචනය තුළින් පවසන දේවලට සවන් දීම මගින් ඔහු සමඟ කිට්ටු මෙන්ම ප්‍රීතිමත් ඇසුරක් භුක්ති විඳීමට හැකියි. ඒ වගේම ඔහුගේ සිතුවිලි හා හැඟීම් තේරුම්ගැනීමටද ඔබට පුළුවන්. (හිතෝපදේශ 2:1-5) අපේ ස්වර්ගික පියාගෙන් ලද අනර්ඝ වස්තුවක් වැනි වූ මෙම සත්‍යයන් ඔබට ආරක්ෂාවක් සපයන බවත් අමතක නොකරන්න. “තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍රකරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි” කියා ගීතිකාකරු පෙන්නුවා. (ගීතාවලිය 119:9) එමනිසා බයිබලය කාලසටහනකට අනුව කියවීමට අදිටන් කරගෙන, දිගටම එසේ කරන්න. එය ඔබට රසවත් අද්දැකීමක් වන බව නියතයි!

[පාදසටහන්වල]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

b මුරටැඹ සඟරාවෙහි 2000 ඔක්තෝබර් 1වනදා කලාපයේ 16-17 පිටුවල, බයිබල් සත්‍යයන් ගැඹුරින් හාරා බැලීම සඳහා ප්‍රායෝගික යෝජනා කිහිපයක් සඳහන් කර ඇත.

[24වන පිටුවේ පින්තූර]

යාච්ඤාව සහ ගවේෂණය කිරීම මගින් ඔබේ බයිබල් කියවීමේ ගුණය වැඩි දියුණු කරගත හැකි අතර ශුද්ධ ලියවිල්ලේ ගැඹුරු සත්‍යයන් තේරුම්ගැනීමටද එය උපකාරවත් වෙනවා

[25වන පිටුවේ පින්තූර]

ශුද්ධ ලියවිල්ල අර්ථාන්විත ලෙස කියවීම සඳහා කියවමින් සිටින සිද්ධිය ගැන චිත්‍රයක් මවාගනිමින් ඔබත් එම තත්වයේ සිටින බව උපකල්පනය කරන්න