Skip to content

පටුනට යන්න

මායාවරු එදා සහ අද

මායාවරු එදා සහ අද

මායාවරු එදා සහ අද

මෙක්සිකෝවේ පිබිදෙව්! ලේඛක විසින්

බටහිර අර්ධගෝලයේ පිහිටි ශ්‍රේෂ්ඨතම ශිෂ්ටාචාරය එය බව කියැවේ. එල් සැල්වදෝරයේ, ගෞතමාලාවේ, බෙලීස්හි, මෙක්සිකෝවේ සහ හොන්ඩියුරාස්හි මුල්වාසීන් වූ මොවුන් ගෘහ නිර්මාණ ශිල්පයේ, පින්තාරු වැඩයේ, කුඹල් කර්මාන්තයේ සහ මූර්ති ශිල්පයේ ප්‍රවීණයන් වූ බැවින් එසේ කීම පුදුමයට කරුණක් නොවේ. දියුණු ලේඛන ක්‍රමයක් සෑදූ මොවුහු ගණිත ක්ෂේත්‍රයේද ඉහළ ප්‍රගතියක් ලැබුවෝය. සූර්ය වර්ෂය මුල් කරගෙන දින දර්ශනයක්ද සකස් කළ මොවුහු කවරහුද? මොවුහු වනාහි ඇමරිකාවේ මුල් ශිෂ්ටාචාර අතරින් සෑම අතින්ම පොහොසත්, එමෙන්ම අද්විතීය ශිෂ්ටාචාරයක් බිහි කළ මායාවරුය.

මායාවරුන් ගැන අප දන්නා දේ සොයාගෙන තිබෙන්නේ ශිලා ලේඛන සහ කැටයම් ආධාරයෙනි. තරප්පු, ලින්ටල සහ ගල් පුවරු හෝ කුලුනු මත තම ඉතිහාසය සහ චාරිත්‍ර වාරිත්‍ර සටහන් කළ මායාවරුන් එසේ කළේ, අක්ෂර 800කට වඩා ඇතුළත් ලේඛන ක්‍රමයක් ආධාරයෙනි. මේ අක්ෂරවලින් වැඩි හරියක් රූපාක්ෂරය. වල් අත්තික්කා ගසේ පොත්තේ ඇතුල් පැත්තෙන් සෑදූ කඩදාසි මතද ඔවුහු ලියූහ. මේ කඩදාසි කොළ නමා පොත් (පුරාණ ග්‍රන්ථ අත්පිටපත් නැතහොත් කෝඩෙක්ස්) තැනූ ඔවුහු කවරය සඳහා ජගුවාර් හම් යොදාගත්හ. මේ පොත් කාණ්ඩ බොහෝමයක් පො.යු. 1540දී පමණ මායා පරාජය කළ ස්පාඤ්ඤ ජාතිකයන් විසින් විනාශ කර දැමුවත්, තවමත් ඉන් කිහිපයක් ඉතිරිව ඇත.

මුල්ම මායා ගොවීන් ක්‍රිස්තු උපතට අවුරුදු දහසකට පමණ පෙර උතුරු ගෞතමාලාවේ පහත් බිම්වල පදිංචිව සිටින්ට ඇත. එහෙත්, මායා ශිෂ්ටාචාරය එහි හිණිපෙත්තටම නැග්ගේ පො.යු. වර්ෂ 250ත් 900ත් අතර කාලය තුළදීය. එම කාලය සාමාන්‍යයෙන් සම්භාව්‍ය යුගය හැටියට හඳුන්වයි. මේ ඉපැරණි මායාවරුන් ගැන සොයාගෙන තිබෙන්නේ කුමක්දැයි අපි දැන් ලුහුඬින් සොයා බලමු.

ගොඩනැඟිලි නිර්මාණයේ සහ ඉදි කිරීමේ අතිදක්ෂයෝ

මායාවරු ගල්වල කැටයම් කැපීමේ අතිදක්ෂයෝය. හුණුගල් බදාමෙන් ඔවුහු විශාල පිරමිඩ මෙන්ම සුවිසල් දේවාල තැනූහ. මේ පිරමිඩ මිසරයේ තිබෙන පිරමිඩවලට කිට්ටු සමානකමක් දක්වන අතර, මේ හේතුව නිසා මායාවරුන් ස්ථිර වශයෙන්ම පැමිණියේ මිසරයෙනැයි සමහරු අතීතයේදී සාවද්‍ය ලෙස නිගමනය කළහ.

ගෞතමාලාව, හොන්ඩියුරාස් සහ දකුණුදිග මෙක්සිකෝවේ යුකටාන් වැනි තැන්වලින් ගලින් තැනූ මායා නගරවල නටබුන් ගොඩගෙන තිබේ. ශිෂ්ටාචාරය විරාජමානව පැවති සමයේදී මායා අධිරාජ්‍යය සතුව මෙවැනි නගර 40කට වැඩි ප්‍රමාණයක් තිබිණ. එවන් එක් නගරයක වැසියන් 5,000 සිට 50,000 දක්වා සංඛ්‍යාවක් විසීය. “මායා ජනගහනය විසිලක්ෂය දක්වා ඉහළ නැඟුණු බවට කියැවෙන අතර, ඔවුන්ගෙන් වැඩිදෙනෙකු පදිංචි වූයේ දැන් ගෞතමාලාව ලෙස හඳුන්වන පහත් බිම් පෙදෙසේයැයි” ද නියූ එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පවසයි.

බඩ ඉරිඟු වගා කළ මායා ගොවීන්ගේ අධික වෙහෙස මහන්සිය මේ රාජධානියට නොලැබෙන්ට මෙතරම් රමණීය ගල් ආකෘතිවලින් තැනූ නුවර ගොඩනැඟිලි ඉදිවීම සිහිනයක් පමණක් වීමට ඉඩ තිබුණි. තමන්ගේ පවුල්වලට අවශ්‍ය තරම් ආහාර පාන සොයාගන්නා අතරේ, වංශවතුන්ට සහ පූජකයන්ට ආහාර පිණිස බෝග වගා කිරීමේ වගකීමද ඔවුන්ට පැවරුණි. ඊට හේතුව වූයේ, මේ ප්‍රභූවරුන් සියල්ලන්ටම වඩා වැදගත් කාර්යයක නිරත වන බව කවුරුත් පාහේ පිළිගැනීමය. මහන්සි වී වැඩ කරන මේ ගොවීන්ට ගොඩනැඟිලි ඉදි කිරීමේ වැඩ සඳහාද ශ්‍රමය පුදන්ට සිදු වූයේ මේ සියල්ලටම අමතරවය.

මායා පවුල් ජීවිතය

මායා පවුල එකට වියා ඇති ගෙත්තමක් මෙන් විය. දරුවෝ, දෙමාපියෝ සහ මුත්තෝ බොහෝවිට එක ගෙයි විසූහ. වැඩි හරියක් ගොවිතැන් කටයුතුවල යෙදුණෝ නම් වැඩිහිටි පිරිමි දරුවෝ සහ පුරුෂයෝය. දැරිවියෝ ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම් සහ බාල එවුන් බලාකියා ගැනීමේ කාරිය ඉගෙනගත්තෝය.

මායා ගොවියෝ අලිගැට පේර, ගම්මිරිස් සහ බතල වැනි දේ වගා කළෝය. එහෙත් මායාවරුන්ගේ ප්‍රධාන ආහාරය වූයේ බඩ ඉරිඟුය. ස්ත්‍රීහු සහ ගැහැනු ළමෝ විවිධාකාරයට මේවා උයා පිහා පිළියෙළ කළහ. ටෝටිල්ලා ලෙස අද ජනප්‍රිය රොටියද ඒ අතර විය. මධ්‍යසාරයක් වන බල්චේ පෙරීමේදී බඩ ඉරිඟු අත්‍යවශ්‍යම කළමනා අතර විය. අද පවා මායාවරුන්ගේ ආහාරවලින් සියයට 75ක පමණ බඩ ඉරිඟු අඩංගු බව සොයාගෙන ඇති අතර, අතීතයේදී එම ප්‍රමාණය මීට වඩා බොහෝ සෙයින් වැඩි වූ බවට සැකයක් නැත.

දෙවි දේවතාවෝ විශාල සංඛ්‍යාවක්

ආගම මායා ජීවිතයේ මූලික තැනක් ගත්තේය. ඔවුහු දෙවි දේවතාවෝ විශාල සංඛ්‍යාවකට වැඳුම් පිදුම් කළහ. ඔවුන්ට මැවුම්කාර දෙවිකෙනෙකුද හිරු දෙවියෙකුද බඩ ඉරිඟුවලට මෙන්ම වරුසාවට අධිපති දෙවිකෙනෙකුද සිටියේය. එක් ලියවිල්ලක දෙවිවරුන් 160දෙනෙකුගේ නම් සඳහන් වේ. ස්ත්‍රීන් වන්දනා නඩයක් සූදානම් කරගෙන කොසූමල් දූපතට ගමන් කළේ සඳ දේවතාවී වූ ඉක්ස්චෙල්ට වැඳුම් පිදුම් කිරීමටය. එහිදී සශ්‍රීකත්වය උදෙසා යාච්ඤා කිරීමටත්, ඔවුහු ඒ වන විටත් ගර්භණීව සිටියේ නම්, කරදරයක් නැතුව දරුවා බිහි කිරීමට හැකි වන පිණිස ආයාචනා කිරීමටත් අමතක නොකළහ.

මායාවරුන්ට හිරු උදා වෙන සෑම දවසක්ම ආගමික පැත්තෙන් වැදගත් විය. මායා දින දර්ශනයේ සෑම මාසයකම මංගල්‍ය සැමරුමක් සඳහන් විය. අවමංගල කටයුතු විශේෂත්වයක් ගත්තේය. මළමිනියට රතු පාට ආලේප කර, එය සමඟ මියගිය තැනැත්තාට අයිති සමහර දේවල්ද දමා පැදුරකින් ඔතනු ලැබුණි. ඉන් පසු, ඔහු ජීවත් වූ නිවස තුළම කැපූ වළක ඔහුව මිහිදන් කරන ලදි. එහෙත් පාලකයන්ව භූමදාන කරද්දී තරමක වෙනසක් දක්නට ලැබුණි. ඔවුන්ව භූමදාන කෙරුණේ දේවාලය යටින් පිහිටි පිරමිඩයකය. ඔහුගේ සේවකයන්වද මරා, ඊළඟ ආත්මයේදී ප්‍රයෝජනවත් වේයැයි විශ්වාස කළ යම් යම් උපකරණද සමඟ වළ දමන ලදි.

මායාවරු ඔවුන්ගේ ආගමික වත් පිළිවෙත්වල හැටියට කන් පෙති, අත් පා මෙන්ම තම දිව් පවා සිදුරු කරගත්හ. ප්‍රතිමා සහ බිතුසිතුවම්වල මෙන්ම මැටි භාජනවල ඇති චිත්‍ර පැහැදිලිව පෙන්වන්නේ පූජාවන්ද මායා වන්දනාවේ අංගයක් වූ බවය. “ඔවුන් බොහෝවිට එවන් පූජා සඳහා යොදාගත්තේ සතුන්වය. එහෙත්, වඩාත්ම උතුම් පූජාව වූයේ මිනිස් පූජාවය. මේ චාරිත්‍රවල ගොදුරු බවට පත් වූයේ සතුරු හේවායන් සහ වහලුන් පමණක් නොවේ. ඔවුහු තමන්ගේම පුංචි දරු දැරිවියන්වද මේ පූජා සඳහා යොදාගත්තෝය” කියා ආචාර්ය මැක්ස් ෂීන්, ද ප්‍රීකොලොම්බියන් චයිල්ඩ් නමැති තම පොතේ ලීවේය. වරුසාවට අධිපති දෙවියාට මනාලියන් ලෙස චීචන් ඊට්සාහි තිබූ පරිශුද්ධ ජලාශයට කන්‍යාවන්ව දමන ලද බව සමහර ඉතිහාසඥයන් පවසා ඇත. හිරු බැසයාම දක්වා කෙල්ලක් බේරී සිටියහොත් එයින් අදහස් කළේ වරුසාවේ දෙවියා කලින් පුද කළ මනාලියන්ගෙන් තම ආශා සංසිඳුවාගෙන ඇති බවය. බේරුණු ගැහැනු ළමයාව ගොඩගනු ලැබේ.

වත්මන් මායාවරු

පොදු යුගයේ 900න් පසු, “සම්භාව්‍ය මායා ශිෂ්ටාචාරය ශීඝ්‍ර පසුබෑමකට ලක් විය. ඔවුහු තම තේජවත් නගර සහ පූජා මධ්‍යස්ථාන වනයට භාර දුන්නෝය” කියා ද නියූ එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා කියා සිටියි. මායා ශිෂ්ටාචාරය බිඳ වැටුණේ කෙසේදැයි කිසිවෙකු හරිහැටි නොදනිතත්, මේසා බැඳි විවිධ මතිමතාන්තර නම් තිබේ. ගොවි බිම් පාළු වූ නිසායැයි සමහරු කියති. ආහාර හිඟය වළක්වාගැනීම සඳහා ගත් හදිසි කෘෂිකාර්මික පිළියම්වලින් විනාශකාරි ප්‍රතිඵල අත් වූ හෙයින් ඒ වන විටත් ජනාකීර්ණව පැවති සහ දිළිඳුකමින් පෙළුණු නගරවලට සමහරු පලා ගිය බව ඇතැම්හු පවසති. සිදු වූයේ කුමක් වුවත්, මායාවරුන් නැත්තටම නැතිව ගියේ නැත. මායාවරු විසිලක්ෂයක් පමණ ගෞතමාලාවේ සහ උතුරු යුකටාන් ප්‍රදේශයේ අදටත් වෙසෙත්.

වර්තමාන දින මායාවරුන් වැඩිදෙනෙක් නාමික කතෝලිකයෝය. මේ මුල් වැසියන්ගේ සිත් ගැනීමට පල්ලිය නොගන්නා උත්සාහයක් නැත. උදාහරණයක් හැටියට, පුවත්පත් වාර්තාවක සඳහන් වූයේ මෙසේය. “ස්පාඤ්ඤය ගෞතමාලාව පරාජය කිරීම නිමිත්තෙන් 1992දී පැවැත්වූ 500වන සංවත්සරයේදී, කතෝලික සභාව තමන් ගෞතමාලාවේ කතෝලික ධර්මය පැතිරෙවූ කාලයේදී ඇමරිකානු ඉන්දියානුවන්ව තළා පෙළා දැමීම ගැන මහජනයාගෙන් සමාව අයැද සිටියේය.”

මායාවරුන් කතෝලික ධර්මය වැලඳගත්තත්, තම මුතුන්මිත්තන්ගේ ආගම අත්හැරියා කියා පැවසිය නොහැක. බොහෝ කතෝලික පූජකයෝ පවා පල්ලියේ වත් පිළිවෙත් මුල් වැසියන්ගේ චාරිත්‍ර වාරිත්‍ර සමඟ මුසු කිරීමට පක්ෂව වැඩ කරති. උදාහරණයක් හැටියට, බොහෝ කලක සිට මායාවරු සජීවවාදය එනම්, ජීවි අජීවි දෙකෙහිම ජීව බලයක් ක්‍රියාත්මක වෙනවා යන මතය විශ්වාස කළහ. මෙම සංකල්පය පල්ලිය මගින් පිළිගෙන තිබෙන්නේ, කතෝලික ධර්මය නමැති වස්ත්‍රයේ දවටාගත් යමක් සේය. මේ හේතුවෙන්, මිථ්‍යා දෘෂ්ටික අදහස් උදහස්වලට කොතෙක් දුරට ඉඩහැර තමන් ක්‍රිස්තියානියැයි කියාගැනීමට සභාවට හැකිදැයි ඇතැම් පල්ලි නායකයෝ සැක පහළ කළහ. a

මායාවරු සහ යෙහෝවාගේ සාක්ෂිකරුවෝ

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ බයිබලයෙන් ඉගෙනගත් පවිත්‍ර සත්‍යතාවන් මායාවරුන් පැතිරී සිටින ප්‍රදේශවලටද ගොස් උගන්වති. බොහෝදෙනෙක් ඊට හොඳ ප්‍රතිචාරයක් දක්වති. අපි ඉන් උදාහරණ දෙකක් සලකා බලමු.

“මං හැදුණු වැඩුණු ආදිවාසි සමාජයේ බීමත්කමට ඇබ්බැහි වුණු කෙනෙක් විදිහට නාස්තිකාර ජීවිතයක් ගත කෙරුවත් ඒ සමාජයේ මට හොඳ තැනක් තිබුණා” කියා කාරිඩාඩ් පවසයි. අනිකුත් බොහෝ මායාවරුන් මෙන් කාරිඩාඩ්ද ඇදහූයේ භූත නමස්කාරය මුසු කරගත් කතෝලික ධර්මයයි. “මට ලෙඩක් දුකක් වුණහම මම කට්ටාඬියෙකු ගාවට යනවා” යයි ඔහු කියයි. මේ අතරේ කාරිඩාඩ්ගේ දූවරු යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්හ. “මම ටිකෙන් ටික උනන්දුවක් දක්වන්න පටන්ගත්තා. ඒක වුණේ මගේ දුවලගේ හැසිරීම වෙනස් වෙනවා දකින්න පටන්ගත්තාමයි. වැඩි කල් යන්න ඉස්සර මාත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා” කියා කාරිඩාඩ් පවසයි. එහි ප්‍රතිඵලය කුමක් වීද? කාරිඩාඩ් කියන දේට ඇහුම්කන් දෙන්න. “යෙහෝවාව අඳුනාගන්නත්, එයාට ආදරේ කරන්නත් සත්‍යය මට උදව් කළා. යෙහෝවා පිළිකුල් කරන සිරිත් විරිත් හැමෙකක්ම මගේ ජීවිතයෙන් අහක් කරගත්තා. මිථ්‍යා විශ්වාසවලින් වගේම, භයෙනුත් මං දැන් නිදහස්!”

ගෞතමාලාවේ සිටින මායා ජාතික කාන්තාවක් වන පාවුලා ඇගේ පුතුන් දෙදෙනාගේ මරණය ගැන වාවාගත නොහී සන්තාපයකින් පසු වූවාය. “මම නිතරම වාගේ ඒ දෙන්නා වෙනුවෙන් බාර හාර වෙලා පුද පූජා පැවැත්තුවා” කියා ඇය පවසයි. “කතෝලික කන්‍යා සහෝදරියක් දුන්නු බයිබලයක් මං ගාව තිබුණා. ‘මගේ මැරිච්ච පුත්තු දෙන්නා ඉන්නේ කොහෙද?’ කියලා දැනගන්න මම හැම රෑකම පැය දෙකක් බයිබලය කියෙව්වා.” වැඩි කල් නොගොස් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත් පාවුලා, ඒ සමඟම වාගේ ඔවුන් පවත්වන රැස්වීම්වලටද සහභාගි වෙන්න පටන්ගත්තාය. ඇය පවසන්නේ, “ඒගොල්ලො මට දෙවිගේ වචනය සරල විදිහට පැහැදිලි කර දුන්නා” කියාය. “දෙවිගේ රාජ්‍යය මාර්ගයෙන් අසනීපත් මරණයත් ඉවත් කරන බව දැනගන්න ලැබුණු එක මට ලොකු ප්‍රීතියක් ගෙනාවා. මම නිතර දෙවේලේ නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන හිතනවා.” (යොහන් 5:28, 29) දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ගැන පාවුලා දැන් අනිත් අයටත් කියා දෙමින් සිටින්නීය. ඇය කියන්නේ, “අපේ උදව් ඕනෙ කරන අය තව ගොඩාක් ඉන්නවා” කියායි.

[පාදසටහන]

a මූලාරම්භයක් ගැන කිසිදු හෝඩුවාවක් නැති සාන්ත සිමියොන්ගේ පල්ලියේ ලී ප්‍රතිමාවක් කරා සැතපුම් ගණනාවක් දුර ගෙවා එන මායාවරුන්, කතෝලිකයන් මෙන් කුරුසයේ ලකුණ දැමීම කාටත් පාහේ දැකිය හැකි දසුනකි.

[17වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මායා දින දර්ශනය

අධික අවුරුද්ද පවා සැලකිල්ලට ගැනුණු නිවැරදි දින දර්ශනයක් මායා වැසියන් අතින් සැකසුණි.

මායා අවුරුද්දකට දවස් 365ක් අයත් වුණි. මෙයින් දවස් 364ක් දවස් 13නේ සති 28කට බෙදා තිබුණි. අලුත් අවුරුද්ද ආරම්භ වූයේ 365වනදා එනම්, අපේ දින දර්ශනයට අනුව ජූලි 16වනදාය. මාස ගැන කුමක් කිව හැකිද? ඉහත චිත්‍රයේ ඇති මායා දින දර්ශනයේ මාස 18ක් සටහන්ව ඇති අතර, එක මාසයකට දවස් 20ක් ඇතුළත් විය. මේ අනුව, සති හා මාස එකිනෙකට වෙනස්ව දිවුණද එහි කැපීපෙනෙන එක් වෙනසක් විය. එනම්, සෑම දවස් 260කටම වරක් (13 වරක් 20 හැටියට) පටන්ගන්නා සතිය හා මාසය එකම දවසේදී ඇරඹීම එම වෙනසයි. එක්තරා අධ්‍යයන මූලාශ්‍රයක් (ෆන්ක් ඇන්ඩ් වැග්නල්ස් නියූ එන්සයික්ලොපීඩියා) මෙසේ සඳහන් කරයි. “මායා දින දර්ශනය ඉතාම සංකීර්ණ එකක් වූවත්, ජෝර්ජියන් දින දර්ශනය ලොවට හඳුන්වා දෙන තුරු මිනිසා සතුව තිබූ නිවැරදිම දින දර්ශනය මායා දින දර්ශනයයි.”

[16, 17වන පිටුවේ ප්‍රස්තාරය⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

මායා පුරාලේඛන

ඕල්මෙක්

පො.යු.පෙ. 1000

පො.යු.පෙ. 500

ඕල්මෙක්

සැපොටෙක්

ටේඕටිවකාන්

පො.යු.පෙ. |පො.යු.

පො.යු.500

ටේඕටිවකාන්

සැපොටෙක්

ටොල්ටෙක්

පො.යු. 1000

ටොල්ටෙක්

ඇස්ටෙක්

පො.යු.පෙ. 1500

ඇස්ටෙක්

[හිමිකම් විස්තර]

මායා චිත්‍ර: Dover Publications, Inc.

[16, 17වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මෙක්සිකෝව

යුකටාන් අර්ධද්වීපය

බෙලීස්

ගෞතමාලාව

එල් සැල්වදෝරය

හොන්ඩියුරාස්

[හිමිකම් විස්තර]

Map: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.

[16වන පිටුවේ පින්තූරය]

පැලන්කේ නමැති පුරාණ මායා නගරයේ පිහිටි අඩි 75ක් උසැති පිරමිඩ දේවාලයේ නටබුන්

[16වන පිටුවේ පින්තූරය]

ටෝටිල්ලා සාදමින්

[18වන පිටුවේ පින්තූර]

කූකුල්කන් දේවාලය

චීචන් ඊට්සා

ඇතැම්විට මිනිස් හදවත ලබාගැනීමට පූජා භාජනයක් අතේ දරා සිටින්නේ, වීරෝධාර හේවායන්ගේ දේවාලය රකින පිළිමයක්

[19වන පිටුවේ පින්තූර]

කාරිඩාඩ් ඔහුගේ බිරිඳ හා දූරුන් සමඟ