Skip to content

පටුනට යන්න

රෝග ලක්ෂණ හඳුනාගැනීම

රෝග ලක්ෂණ හඳුනාගැනීම

රෝග ලක්ෂණ හඳුනාගැනීම

“දුක සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට දැනෙන දෙයක්. ඒත් මානසික අවපීඩනය රෝගයක්. මේ දෙක අතර වෙනස හඳුනාගැනීම තමයි තිබෙන ලොකුම ගැටලුව.”—ඩේවිඩ් ජී. ෆැස්ලර්.

වෙනත් ආබාධයන් මෙන් මානසික අවපීඩනය හඳුනාගැනීමටද පැහැදිලි ලක්ෂණ තිබේ. නමුත් ගැටලුව වන්නේ එම ලක්ෂණ හඳුනාගැනීමට තිබෙන අපහසුතාවයි. මන්ද, වැඩිහිටියන් මෙන්ම යෞවනයන්ද කලින් කලට දොම්නසට හේතු වන කාරණාවලට මුහුණපෑමයි. එසේ නම්, ඉඳ හිට ඇති වන දොම්නස සහ මානසික අවපීඩනය අතර ඇති වෙනස හඳුනාගන්නේ කෙසේද? මෙහිදී රෝගියාගේ තත්වය කොතරම් දරුණුද සහ කොතරම් කාල සීමාවක් දක්වා අසනීප තත්වයෙන් පෙළෙනවාද යන්න සොයා බැලීම වැදගත් වේ.

කොතරම් දරුණුද: එයින් අදහස් වන්නේ සිතෙහි හටගත් දොම්නස් සිතුවිලි කොතරම් දරුණු ලෙස යෞවනයාගේ ජීවිතයට බලපා ඇද්ද යන්නයි. සාමාන්‍යයෙන් කෙටි කාලයකට කලකිරීමෙන් හෝ දොම්නසෙන් සිටීමට වඩා වැඩි දෙයක් මින් අදහස් කෙරේ. යෞවනයෙකුගේ එදිනෙදා කටයුතු වෙනදා මෙන් නිසි අයුරින් කරගෙන යා නොහැකි වන සේ බාධා ඇති කිරීමට මානසික අවපීඩනයට හැකියාවක් තිබේ. එහි දරුණුකම මනින්නේ කෙසේද කියා වෛද්‍ය ඇන්ඩෘ ස්ලැබි මෙසේ පැහැදිලි කරයි. “ඔබේ ජීවිතේ අද්දැක්ක දරුණුතම වේදනාවක් ගැන, උදාහරණයකට සන්ධි බිඳීයාමක්, දතක වේදනාවක් එසේ නැතහොත් දරු ප්‍රසූතියකදී දැනුණ වේදනාවක් සිතින් මවාගෙන එම වේදනාව දහ ගුණයකින් වැඩි කරන්න. ඉන්පස්සේ එම වේදනාවට මුල් වූ හේතුව අමතක කර වේදනාව ගැන පමණක් මොහොතකට කල්පනා කරන්න. එවිට මානසික අවපීඩන රෝගී තත්වය කොතරම් දරුණුද යන්න පිළිබඳව දළ අදහසක් ඔබට ලබාගත හැකියි.”

කාල සීමාව: මෙයින් අදහස් කරන්නේ උදාසීන හැඟීම් හෝ දොම්නස් සිතුවිලි කොතරම් කාලයක් පුරා තිබෙනවාද යන්නයි. මහාචර්ය ලීයොන් සිට්ට්‍රින් සහ ඩොනල්ඩ් එච්. මැක්නිව් (කනිෂ්ඨ) පැවසූ දේට අනුව “දරුවෙක් යම් හේතුවක් නිසා දුකට පත් වී සතියක් ගිය පසු හෝ ඉතාමත් දරුණු දුකක් නිසා චිත්ත සන්තාපයට පත්ව මාස හයක් ගිය පසුත් යථා තත්වයට පත් නොවුණි නම් මානසික අවපීඩනයට ගොදුරු වීමේ අවදානමක් තිබේ.”

පොදු ලක්ෂණ

මානසික අවපීඩනය තිබෙනවා කියා තීරණය කරන්නේ, සති දෙකක කාලයක් පුරා රෝග ලක්ෂණ කිහිපයක්ම දිනපතාම යෞවනයෙකු තුළ දක්නට ඇත්නම් පමණි. සාමාන්‍යයෙන් දිනපතාම අද්දකින එම රෝග ලක්ෂණ දවසේ වැඩි කාලයක් පුරාම පවතියි. සාපේක්ෂ වශයෙන් එය කෙටි කාලීනව ඇති වුවහොත් එය අවපීඩක තත්වයක් යනුවෙන් හඳුන්වයි. නමුත් අවුරුද්දක් පුරා රෝග ලක්ෂණ ඇති වී මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ පමණක් සහනය ලැබුණහොත් එය සුළු හෝ සාමාන්‍ය අවපීඩනයේ වඩාත් නිදන්ගත ස්වරූපයයි. මෙම තත්වය හඳුන්වන්නේ ඩිස්තිමියා (dysthymia) ලෙසයි. තත්වයන් කුමක් වුවත් මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ කවරේද? a

චිත්ත ස්වභාවයේ සහ හැසිරීමේ හදිසි වෙනසක්. කලින් කීකරුව සිටි යෞවනයා හිටි හැටියේම දරුණු ස්වභාවයක් විදහාපෙන්වයි. මුරණ්ඩු ලෙස හැසිරීම, නිවසෙන් පැන යෑම ආදිය මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවනයන් අතර සුලභව දක්නට ලැබේ.

සමාජ කටයුතුවලින් බැහැරව සිටීම. රෝගී තත්වයෙන් පෙළෙන යෞවනයන් මිතුරන්ගෙන් ඈත්ව සිටියි. නැතහොත් මිතුරන් එසේ මානසිකව බිඳ වැටී ඇති අයගේ අදහස් උදහස්වල සහ හැසිරීමේ වෙනස්කම් නිසා ඈත් වී සිටිනවා විය හැකියි.

සුපුරුදු ක්‍රියාකාරකම් කෙරෙහි දැක්වූ උනන්දුව හීන වී යෑම. ක්‍රියාකාරම්වල හවුල් නොවීම. තමන් ගත යුතු තීරණ අන් අය විසින් ගැනීමට ඉඩහැරීම. අලසකම. මෑතකදී මහත් ආශාවෙන් හවුල් වුණ විනෝදාංශවලට කැමැත්තක් නොදැක්වීම.

ආහාර ගැනීමේ පුරුදුවල අක්‍රමිකතා. බොහෝවිට ඇනරෙක්සියා (කුසගින්න නොදැනීම) බුලිමියා සහ අධික ලෙස ආහාර ගැනීම වැනි දේ මානසික අවපීඩනයෙන් පෙළෙන්නෙකු තුළ නිතර දක්නට ලැබෙන බව ප්‍රවීණයන්ගේ මතයයි. (ඇතැම්විට එම තත්වයන් මානසික අවපීඩනය නිසාම ඇති විය හැක.)

නිදාගැනීමේ දුෂ්කරතා. අඩු නින්ද හෝ අධික නින්ද. සමහර යෞවනයන්ගේ නිදාගැනීමේ පුරුදු වෙනස් විය හැකියි. එනම් රාත්‍රියෙහි නිදිවර්ජිතව සිට මුළු දහවල් කාලයේදීම නිදාගනියි.

අධ්‍යාපන කටයුතුවල පසුබෑමක්. මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවනයෙකු ගුරුවරුන් සහ මිතුරන් සමඟ පෑහී කටයුතු කිරීමට අපොහොසත් වන නිසා ලකුණු මට්ටම වේගයෙන් පහත බැසීමට පටන්ගනී. එවිට එම යෞවනයා පාසැල් යෑමට කැමැත්තක් නොදක්වයි.

අවදානම් ක්‍රියාවල නිරත වීම. අවදානම් ක්‍රියාවන්හි නිරත වීමට කැමැත්තක් දැක්වීම මගින් නිරූපණය වන්නේ මෙම යෞවනයන්ට ජීවත් වීමට එතරම් ආශාවක් නොමැති බවයි. ශරීරය කපා කොටාගැනීම වැනි තමාටම හානිකර ආකාරයේ දේවල් කරගැනීම මෙයට නිදසුනක් ලෙස දැක්විය හැකියි.

නොවටිනාකමේ හැඟීම් හෝ අනවශ්‍ය ලෙස වරද සහිත බවක් දැනීම. තමන්ට නිසි ලෙස කිසිවක් කරගැනීමට නොහැකියයි සිතමින් තමන්වම අනවශ්‍ය ලෙස විවේචනය කරගනියි. එවැනි අසමත් වීමක් දැකීමට නොලැබුණත් තම මතයේම එල්බගෙන සිටියි.

මානසිකව බිඳ වැටීම නිසා ශාරීරික ගැටලුවලට මුහුණ දීම. ශාරීරික ආබාධයක් නොමැතිව හිසේ කැක්කුම, උදරයේ කැක්කුම, කොන්ද කැක්කුම වැනි ඒ හා සමාන දේවල් ශරීරයට දැනීම මානසික අවපීඩනයේ ලක්ෂණයක් විය හැක.

තම මරණය පිළිබඳ හෝ සිය දිවි නසාගැනීම පිළිබඳ සිතුවිල්ල විටින් විට මනසේ දෝංකාර දීම. නොයෙකුත් භයානක දේවල් ගැන කල්පනා කිරීම මානසික අවපීඩනය තිබෙන බවට ලක්ෂණයක්. දිවි නසාගැනීම ගැන නිතර නිතර කතා කිරීමෙන්ද අවපීඩනය තිබෙන බව හඳුනාගත හැකියි.—පහත තිබෙන කොටුව බලන්න.

දෙයාකාර මනෝස්වභාවය

මෙම රෝග ලක්ෂණ වෙනත් දෙයකාර මනෝස්වභාවය නමැති රෝගයේදීද දක්නට ලැබේ. වෛද්‍ය බාබරා ඩි. ඉන්ජසොල් සහ සෑම් ගොල්ඩ්ස්ටයින් පවසන පරිදි දෙයාකාර මනෝස්වභාවය (bipolar disorder, manic-depressive disorder ලෙසද හඳුන්වයි) යනු “අවපීඩනයෙන් පෙළෙන අතරතුර එකවිටම මානසිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී සිතුවිලි හා ක්‍රියාකාරිත්වය අසාමාන්‍ය ලෙස උත්සන්න වීමයි. සාමාන්‍ය ශුභවාදී හැඟීමකට වඩා විශාල වෙනසක් එම අවස්ථාවේදී දැකිය හැකියි.”

මෙම අධික්‍රියාකාරිත්වය උමතුව (mania) ලෙස හඳුන්වයි. මෙහි රෝග ලක්ෂණ නම් පාලනය කරගත නොහැකි සිතුවිලි, තොරතෝංචියක් නැතිව කතා කිරීම, නිදාගැනීමේ අවශ්‍යතාව අඩුවීම යනාදියයි. එමෙන්ම දවස් කිහිපයක් නිදා නොගෙන සිටියත් රෝගියාට කිසිම තෙහෙට්ටුවක් නොදැනේ. මෙම රෝගයේ තවත් ලක්ෂණයක් නම් කුමන අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදු වුවත් තමන්ට සිතූ දේ කරමින් නොසන්සුන් ලෙස කටයුතු කිරීමය. “උමතුව, කෙනෙකුගේ චින්තන රටාවට, විනිශ්චයන්වලට සහ අන්‍යයන් සමඟ කටයුතු කරන ආකාරයට බලපෑම් කරයි. එමනිසා ප්‍රශ්නවලට පමණක් නොව ලජ්ජාසහගත තත්වයන්ට පවා එමගින් මුහුණ දීමට සිදු විය හැකි” බව එක්සත් ජනපදයේ මානසික සෞඛ්‍ය ආයතනය පෙන්වීය. රෝගියා නැවත මානසික අවපීඩන තත්වයට පත් වන තුරු උමතු ස්වභාවය සමහර අවස්ථාවල දවස් කිහිපයක් හෝ මාස කිහිපයක් පුරා තිබිය හැක.

පවුලේ කෙනෙකුට මෙම රෝගය තිබේ නම් එම පවුල්වල සාමාජිකයන්ට එය වැළදීමේ අවදානමක් තිබේ. නමුත්, එම රෝගයෙන් පෙළෙන්නෙකුට සහනයක් බලාපොරොත්තු විය හැකියි. එනම් “රෝගය කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාගත් විට එම රෝගයෙන් පීඩා විඳින දරුවන්ටත් ඔවුන්ගේ පවුලේ අනෙකුත් සාමාජිකයන්ටත් සුවදායක ජීවිතයක් ගත කළ හැකියි” කියා එක් ග්‍රන්ථයක (The Bipolar child) සඳහන් වේ.

මෙයින් එක් ලක්ෂණයක් පමණක් තිබේ නම් මානසික අවපීඩනයෙන් හෝ දෙයාකාර මනෝස්වභාවයෙන් පෙළෙනවා කියා අදහස් නොකරයි. බොහෝ අවස්ථාවන්වල රෝග ලක්ෂණ කිහිපයක් කාලයක් පුරා තිබේ නම් මානසික අවපීඩන තත්වයක් තිබෙනවා කියා තීරණය කළ හැකියි. ඒත්, තවමත් අපගේ මනසට වද දෙන ගැටලුවක් තිබේ. එනම් මෙම වේදනාකාරි ආබාධය යෞවනයන්ට බලපාන්නේ මන්ද යන්නයි.

[පාදසටහන]

a මෙහි සඳහන් කර ඇති රෝග ලක්ෂණ රෝගය පිළිබඳ දළ විශ්ලේෂණයක් පමණක් වන අතර රෝගය වැළඳී තිබෙන බව තීරණය කිරීමට ඒවා පාදක කර නොගන්න.

[6වන පිටුවේ කොටුව]

යම් දරුවෙකුට ජීවිතය එපා වෙලා නම්

මෑත වර්ෂයකදී එක්සත් ජනපදය තුළ පිළිකාව, හෘද රෝග, ඒඩ්ස්, ජම්ම දෝෂ, ආඝාතය (stroke), නිව්මෝනියාව, ඉන්ෆ්ලුවෙන්සාව සහ දරුණු පෙණහලු ආබාධ වැනි රෝගවලින් මිය ගිය යෞවනයන් සංඛ්‍යාවේ මුළු එකතුවට වඩා වැඩි සංඛ්‍යාවක් සිය දිවි නසාගැනීමෙන් මිය ගිය බව අමෙරිකා එක්සත් ජනපදයේ රෝග මර්දන මධ්‍යස්ථානවලින් වාර්තා විය. ඒ වගේම අවුරුදු 10ත් 14ත් අතර වයස් මට්ටම්වල සිටින දරුවන් සිය දිවි නසාගැනීමෙහි සැලකිය යුතු වැඩිවීමක් තිබෙන බවද වාර්තා විය.

යෞවනයන්ව සිය දිවි නසාගැනීමෙන් වළක්වාගත නොහැකිද? සමහර අවස්ථාවලදී වළක්වාගත හැකියි. “බොහෝ අවස්ථාවලදී සිය දිවි හානි කරගැනීමට ප්‍රථමයෙන් එසේ කිරීමට උත්සාහයක් දැරීම, එසේ කිරීමට අවශ්‍ය බව වක්‍රාකාරව පැවසීම, අනතුරු ඇඟවීම් කිරීම වැනි දේවල් දැකගත හැකි බව වාර්තාවන් පෙන්නුම් කරනවා” කියා වෛද්‍ය කැත්ලින් මැකෝයි පවසයි. “ඔබේ දරුවා සිය දිවි නසාගැනීමට තම සිතට ආ සිතුවිල්ල ගැන ඉඟි කරන විට ඒ ගැන සැලකිලිමත් වන්න. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

මානසික අවපීඩනයෙන් පෙළෙන යොවුන් වියේ පසුවන්නන්ගේ සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතී. එමනිසා, යෞවනයෙකු සිය දිවි හානි කරගැනීමට අවශ්‍යයි කියා කරන ඉඟියන් ගැන දෙමාපියන් සහ වැඩිහිටි පිරිස් සෝදිසියෙන් සිටිය යුතුයි. “සිය දිවි නසාගැනීම සම්බන්ධව මා කළ සෑම පරීක්ෂණයකදීම දැක්ක දෙයක් තමයි යෞවනයන්ගේ සැලසුම් ගැන වැඩිහිටියන් එතරම් තැකීමක් කර නැති බව” කියා වෛද්‍ය ඇන්ඩෘ ස්ලැබි විසින් රචනා කරන ලද ග්‍රන්ථයක (No one saw my pain) සඳහන් විය. ඔහු තවදුරටත් මෙසේ සඳහන් කළේය. “පවුලේ සාමාජිකයන් සහ මිතුරන් රෝගී තත්වයේ පසු වන යෞවනයෙකු තුළ දැක්ක වෙනස්කම් ගැන ඒ තරම්ම සැලකිලිමත් වෙලා නැහැ. ඔවුන් මානසික අවපීඩනයට ප්‍රතිකාර දෙනවා වෙනුවට එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ ‘පවුල් ප්‍රශ්න,’ ‘මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම’ නැතහොත් ‘ඇනරෙක්සියා’ වැනි රෝගවලට ප්‍රතිකාර කරනවා. සමහර අවස්ථාවලදී කෝපය, වියවුල්බව හා නුරුස්සන ස්වභාවයට පවා ප්‍රතිකාර කර තිබෙනවා. නමුත්, මානසික අවපීඩනය කියන රෝගයට කිසිම ප්‍රතිකාරයක් කරලා නැහැ. එය මනසට වද දෙමින් උග්‍ර තත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩහැර තිබෙනවා.”

මෙයින් එක් දෙයක් පැහැදිලියි. එනම් සිය දිවි නසාගැනීමට පෙලඹීමක් ඇති වී තිබෙන බවට දැනගන්න ලැබෙන හෝඩුවාවන් සුළුවෙන් නොතැකිය යුතු බවය.

[7වන පිටුවේ පින්තූරය]

සමහරවිට මුරණ්ඩු හැසිරීම මානසික අවපීඩනයෙන් පෙළෙන බවට ලක්ෂණයක්

[7වන පිටුවේ පින්තූරය]

මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවනයන් කලින් මහත් ආශාවෙන් හවුල් වුණ ක්‍රියාකාරකම්වලට උනන්දුවක් නොදක්වයි