විනෝදබර පුංචි දඩයක්කාරයෝ
විනෝදබර පුංචි දඩයක්කාරයෝ
දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! ලේඛක විසින්
සැර අව් කාස්ටකේ පස්සා ගාත් දෙකෙන් හිටගෙන එහෙට මෙහෙට වැනෙන ගහක අත්තක් අල්ලාගෙන වලිගෙද උදව්වෙන් කොහොම හරි නොවැටී ඉන්න අර පුංචි සතා මොකාද? දැඩිම දැඩි අවධානයකින් හා තියුණු විපරමකින් අහස් කුසත් පොළෝ ගැබත් දෙස බලා සිටින්නේ අනතුරක් පේන තෙක් මානයේ තිබේදැයි දැනගැනීමේ නියාවෙනි. ළඟපාත කෑම සොයමින් සිටින තම සහචරයන්ට ඉඳහිට බ-ර්-ර්-ප් පී-ඊ-ප් හඬක් නඟන්නේ ‘උඹලට බය වෙන්න කාරියක් නැහැයි’ කියන්නාක් මෙනි. තව පැයක් හමාරක් එහෙම ඉන්න වුණත්, තම සගයෙකු ඊළඟ වැඩ මුරය භාරගන්නා තුරු ඌ එම රාජකාරියේම යෙදී සිටින්නේය!
මොකාද මේ සතා? මූව හඳුන්වන්නේ මියකැට් ලෙසය. හොම්බේ සිට වලිග කොන දක්වා ඌ දිගින් අඩියක් පමණ වේ. මේ කුඩා මාංස භක්ෂක සතා ඉතාම සමාජශීලීය. උන් ගැවසෙන්නේ 10ත් 30ත් අතර සංඛ්‍යාවේ රංචු පිටින්ය.
හැම උදෑසනකම මියකැට් උගේ ගුලෙන් එළියට පැමිණේ. රාත්‍රියේ දැනුණු ශීතල නිසා ටිකක් උණුහුම් වෙන්න එපායැ! ඉතින් මුන් එකා පිටුපස එකා පස්සා ගාතයෙන් හිටගෙන පේළියට හිරුඑළිය තපියි. පුංචි කුරුල්ලන් මෙන් මිතුරු ලීලාවෙන් හීන් ලෙස හඬ තළමින් එකිනෙකාව මුදු මොළොක් ලෙස ලෙව කා පිරිසිදු කර ගනියි. මෙවන් කාරුණික සැලකිලි අඩ හෝරාවක් පමණ කෙරෙයි. වැඩි වේලාවක් එසේ නොරැදෙන මුන් තමන්ගේ දවසේ භෝජනය සඳහා හැල්මේ ගමන් අරඹනු ඇත.
දඩයම් කිරීමේදී මියකැට් අනුගමනය කරන මේ සංවිධානාත්මක පිළිවෙත කොතරම් සාර්ථකද කිවහොත් කෘමීන් සහ කුඩා උරගයන් ගොදුරු නොවන දවසක් නැති තරම්ය. උන්ගේ කෑම රුචිය ගැන නම් කතා කර වැඩක් නැත! එය සතපාගැනීමට උන් මොනතරම් වෙහෙසක් දැරිය යුතුද! ඉන් පසු, දිවා කාලයේදී බොහෝදෙනෙකුට ගහක් යට හෝ පඳුරක් අස්සේ ටිකක් ඇලවෙන්ට ඕනෑය. අනිත් උන් පොළොව හාරා සීතල වැල්ලේ දිගා වී සිටිත්.
මුන්ට ආරක්ෂකයන්ද සිටී. ඒ කුමටද? ගොදුරු සොයමින් සැරිසරන සමහර සතුනට මේ දඩයක්කාරයින්ද රසවත් බොජුනක් වන බැවිනි. මියකැට් චූටි කුරුමිණි කීටයෙකුව සෙවීමට ඕනෑම තද පොළොවක් හාරන අතර, ඇතැම් අවස්ථාවලදී උගේ බර මෙන් කිහිප ගුණයක පස් වුණත් ඉවත් කරන්නේ, කිසිම ආයාසයකින් තොරවයි. මියකැට් මුගටීන්ට කුරුමානම් අල්ලමින් සිටින හිවලුන්ට සහ ගොදුරු අල්ලන පක්ෂීන්ට එම දසුන ඉතාම සුවදායක එකකි. අනේ, කොහොම නම් අත්හරින්නද මේ වගේ කෑමක්!
මුරකරුට අනතුරක ඉව වැටුණොත්? ඌ යටිගිරියෙන් කෑගසයි. ක්ෂණිකව ක්‍රියාත්මක වන මියකැට් රංචුව, ගාල කඩාගත් ගව රැළක් සේ ළඟම ඇති ගුලට රිංගන්නේ හී සැරයක වේගයෙනි! නමුත්, මුරකරු වෙනස් අන්දමේ අනතුරු ඇඟවීමේ හඬක් නිකුත් කළොත්? උදාහරණයක් හැටියට, ප්‍රතිවාදී මියකැට් කණ්ඩායමක් තමන්ගේ වැයික්කිය ආක්‍රමණය කිරීමට ඇවිත් නම්! මෙවර ගුලට දුවනවා වෙනුවට උන් වෙනස් ක්‍රියාමාර්ගයක් ගනියි. කොන්ද නමා, බූල් පුප්පාගන්නා මුන් වල්ගය ඇන්ටනාවක් මෙන් ඔසවා දෙපයින් හිටගනියි. කෝපයෙන් වෙව්ලන මේ කණ්ඩායම ආක්‍රමණිකයන් වෙතට ඇදෙද්දී, සමහර එවුන් කකුල්ද නොනමා උඩ පැන පැන සතුරා වෙත යන්නේ යුධ නැටුමක නිරත වන්නා සේය. මියකැට් කණ්ඩායමක් එක්සත්ව මෙසේ යුධ පෙරමුණට යෑමම සතුරාට තමන් ආපු අතක් බලාගෙන යෑමට කෙරෙන සංඥාවක් වැන්න.
එක්සත් වෑයමක්
මියකැට් බොහෝවිට එකිනෙකාට උපකාර කරගනියි. මෙය විශේෂයෙන්ම උනුන්ගේ පැටවුන් බලාගන්නා ආකාරයෙන් සාක්ෂාත් වේ. අලුත උපන් පැටවුන් මව් තුරුලට වැදී මුල් සති දෙක ගත කරන්නේ සැමගේම අවධානය තුමූ වෙත ඇදගනිමිනි. මවවත් මව් සෙනෙහසේ පහස විඳින බිළිඳුන්වත් බැලීමට අනිත් සගයෝ නිතරම පාහේ ගුලට වදිති. බිළිඳුන්ව හාපුරා කියා ‘තිඹිරි ගුලෙන්’ එළියට ගෙනෙන මවට අනිත් ඈයන්ගෙන් ලැබෙන්නේ කොතරම් සුහද පිළිගැනීමක්ද! මුළු රැළම ඇය වෙත පැමිණ ඇගේ බෙල්ල ආදරයෙන් සිපගනිමින් සපමින් හා ප්‍රීතියෙන් තියුණු හඬක් නඟමින් පැටවුන්ගේ ඇඟේද දැවටෙන්නේ සෙනෙහසිනි.
සති කිහිපයක් යන තුරු මුළු කණ්ඩායමම පුංචි එවුන් මත්තේම නැහෙමින් කාලය ගෙවයි. කට්ටියක් දඩයමේ ගිහින් එන තුරු අනිත් අය මාරුවෙන් මාරුවට ආයාඅම්මලාගේ වැඩයේ යෙදෙයි. මවකගේ මෙන් ධාරක ප්‍රේමයෙන් පැටවුන් බලාගන්නා දරුවන් නැති මියකැට් අම්මලා කිරි දී පැටවුන් පෝෂණය කිරීමත්, එසේ කිරීමෙන් මව්ගේ කාර්යභාරය බොහෝදුරට අඩු කර දීමත් මෙහිලා විශේෂත්වයක් උසුලයි. මේ කාර්යබහුලකම නිසා ආයාඅම්මා කෙනෙකුට දඩයමේ යෑමට ඉතුරුවන කාලය ඉතාම අල්ප බැවින් උන්ගේ බර දහයෙන් එකක් පමණ මේ කාලයේදී අඩු වී යයි!
පැටවුන් ගුහාවෙන් පිට වී එළිමහනේ දඩයමේ යෑමට තරම් වයසට පැමිණි විට, කැමැත්තෙන් ඉදිරිපත් වන වැඩිහිටියෝ මේ ආධුනිකයන්ට බොහොම ඉවසිල්ලෙන් දඩයම් කලාව උගන්වති. රසවත් බොජුනක් ලද විටෙක එහි රස බැලීමට නවක හරඹකරුවන්ට ඉඩ දී ටිකක් බඩගින්නේ සිටින්ට වුවත් වැඩිහිටියන් තුළ අකමැත්තක් නැත. අනතුරෙන් මුවාව ලැබීමට ලහි ලහියේ ගුල කරා යන ලෙස මුරකරුගෙන් සංඥාවක් ලද විට, පැටවුන් ටික සුරක්ෂිතව ගුලට ළඟා වන තුරු අඩුම තරමින් එක වැඩිහිටියෙක්වත් එළියට වී සිටියි.
බලන්නම වටී
ඉතාම පහසුවෙන් හීලෑ කරගත හැකි මියකැට්, බොහොම ස්නේහබර සතෙකි. මේබලිස් මැමල්ස් ඔෆ් සදන් ඇෆ්‍රිකා නමැති අත්පොත පවසන්නේ මෙසේය. “අපේ උනන්දුව ඇද බැඳ තබන මේ කුඩා සත්වයා දකුණු අප්‍රිකාවේ සිටින ආකර්ෂණීය, සිත් ඇදගන්නා මෙන්ම කාගේත් ආදරයට පාත්‍ර වූ ක්ෂීරපායින්ගෙන් එකෙක් බව නම් නොකිවමනාය. එබැවින් උන්ව දුටු විටෙක මොහොතකට නැවතී උන්ගේ හැසිරීම් රටාව දෙස එබිකම් කර බැලීම වටී.”
වසර ගණනාවක් මියකැට් මුගටීන්ව රූපගත කළ ඇලැන් ඉහත කී දේ හා එකඟ වෙයි. දිනක් මියකැට් අම්මෙක් සිව් දිනැති තම බිළිඳාව කටින් ගෙන ගුලෙන් එළියට පැමිණ බිඳුණු හඬක් නඟමින් පැටියාව තම දෙපා ළඟ තැබූ විත්තියක් ඇලැන් මතක් කරයි. ඔහු සිතුවේ පැටවා මැරී ඇති බවය. එහෙත් ඔහු කියන්නේ, “මං පැටියාව හිමීට අතට ගත්තහම, ඌ මැරිලා නැහැයි කියලා මට තේරුණා. මියකැට් අම්මාට ඕනෙ වෙලා තිබුණේ අනිත් උන් ඇවිත් ඇයට සුභ පතන්න කලින් උගේ පැටියාව මට හඳුන්වලා දෙන්නයි. ඒ සිද්ධිය මගේ හිතට කොච්චර තදින් කාවැදුණද කිව්වොත්, ෆොටෝ එකක් ගන්නවා තියා ඒ ගැන හාන්කවිසියක්වත් මතක් වුණේ නැහැ” කියායි.
කැලයේ සිටින මියකැට් මුගටියන් අධ්‍යයනය කිරීමෙහි වසර ගණනාවක් ගත කළ තවත් අයෙකි සිල්වී. හිමිදිරියේම මියකැට් ගුලක් ළඟ බිම දිගා වී සිටින ඇය එහි සිදු වන දෙය මතකයට නඟන්නේ සෙනෙහසින් පිරි හැඟීමෙනි. ගුලෙන් එළියට එන මියකැට් මුගටියන් තමා සිටින තැනට අඟල් කිහිපයක් එහායින් පෝළිමට හිටගන්නේ පුරුද්දක් හැටියටය. ඉන්පසු උන් තම සම්ප්‍රදාය අරඹයි. ඒ වෙන මොකක්වත් නොව එකිනෙකාගේ බූල් පීරා හුරතල් වීමය. ඇය උන්ට කතා කළ විට, උන්ද හීන් කෙටි හඬක් නඟයි. සිල්වී හෙමිහිට ඇගේ ඇඟිල්ල දිගු කර ඉදිරියෙන්ම සිටි ගැහැනු සතාගේ කන ගාවට වෙනකම් අතගායි. මේ සිව්මැලියද දෙපැත්තට තුන්පැත්තට ඇඹරී පෝළිමේ ඊළඟට සිටින එකාගේ බූල් සකසන්ට නැවත පටන්ගනියි. සිල්වී හඬ නඟා සිනාසෙමින් මෙසේ කියයි. “මාවත් එයාලගේ හුරතල් මංගල්ලෙට පිළිගත්තා. ඒක මොනතරං භාග්‍යයක්ද!”
මියකැට් අධ්‍යයනය කිරීමේ නිරතවූවන් උන් ගැන ලියූ හරබර කතා බොහොමයක් ඇත. මියකැට් කියන්නේ සැබවින්ම විනෝදබර පුංචි දඩයක්කාරයෝ බව අප අවිවාදයෙන්ම පිළිගත යුතුය!
[26වන පිටුවේ පින්තූර]
රාජකාරියේ යෙදෙන මුරකරුවෙක්
දවසේ භෝජනය සෙවීමට පෙර අව් තපිමින්
සතුරාව ආපිට යවමින්!
[හිමිකම් විස්තර]
සියලුම ඡායරූප: © Nigel J. Dennis