Skip to content

පටුනට යන්න

වෙස් මාරු කරන වලසෙකු හඳුනාගනිමු

වෙස් මාරු කරන වලසෙකු හඳුනාගනිමු

වෙස් මාරු කරන වලසෙකු හඳුනාගනිමු

කැනඩාවේ පිබිදෙව්! ලේඛක විසින්

“උන් දෙපයින් සිටගන්නවා, මිනිසුන් මෙන් බිම වාඩි වෙනවා . . . , ගොරව ගොරව නිදියගන්නවා. . . . උන් හොඳ බුද්ධියක් තියෙන, හැම දෙයක් ගැනම හොඳින් විමසිලිමත් වන, අලුත් දේවල් ඉක්මනින් ග්‍රහණය කරගන්නා, පහසුවෙන්ම අලුත් තත්වයන්ට හුරු වෙන අපිට වගේම විටින් විට වෙනස් වන මානසික ස්වභාවයක් තියෙන සතුන් විශේෂයක්.”

ඉහත සඳහන් වන්නේ වන ජීවී විද්‍යාඥයෙකු වන වේන් මක්ක්‍රොයි කැනඩාවේ වයඹදිග වෙරළේ වෙසෙන සුදු කලු වලසා ගැන දුන් විස්තරයකි. ලෝකයේ වඩාත්ම දුර්ලභ වලසා සේ සැලකෙන ඌව මුලින්ම විද්‍යා ක්ෂේත්‍රයට හඳුන්වා දෙනු ලැබුවේ 1900දී, නියූ යෝක් සත්ව විද්‍යා සමිතියේ සාමාජිකයෙකු වූ විලියම් හොර්නඩේ විසිනි. හොර්නඩේ මහතා බ්‍රිතාන්‍ය කොලම්බියාවේ වික්ටෝරියා ප්‍රදේශයෙන් ලබාගත් වලස් හම් කිහිපයක් වර්ග කරද්දී පෙර නොදුටු හම් වර්ගයක් ඔහුගේ නෙත ගැටුණි. හැඩයෙන් කලු වලසුන්ගේ හම්වලට සමාන වුවද දුර්වර්ණ වූ සුදු පැහැයක් ගත් එහි තැනින් තැන රන්වන් දිස්නයක් පෙනෙන්ට තිබුණි.

තම අලුත් සොයාගැනීම ගැන මහත් කුතුහලයකින් සිටි හොර්නඩේ මෙම වලසා ගැන තවත් තොරතුරු රැස් කරගැනීම සඳහා බ්‍රිතාන්‍ය කොලම්බියා ප්‍රාදේශීය කෞතුකාගාරයේ අධ්‍යක්ෂක ෆ්‍රැන්සිස් ක’මෝඩිගේ උපකාරය පැතීය. හොර්නඩේ මහතා සිතුවේ එම හම් වර්ගය කලින් හඳුනා නොගත් වලස් වර්ගයකට අයිති වූවා කියාය. මෙම වලසා පිළිබඳව තවත් තොරතුරු සොයාගැනීමේදීත් තවත් හම් කොටස් එකතු කිරීමේදීත් ක’මෝඩි මහතා දැක්වූ සහයෝගය නිසා 1905දී හොර්නඩේ එම වලසාට යූරුස් ක’මෝඩි (ක’මෝඩිගේ වලසා) යන නම තැබීය.

ක’මෝඩි වලසුන් අයත් වන්නේ කළු වලස් (යූරුස් ඇමෙරිකානස්) පවුලටයි. ඒත්, උන් සැමවිටම කළු පැහැයක් නොගනී. ක’මෝඩි වලසුන්ගේ නිජබිමෙහි වෙසෙන ට්සිම්ෂියන් බස කතා කරන ඉන්දියානුවන් උන්ට කියන්නේ මෝච්ක’මෝ නැත්නම් සුදු වලසා කියාය. තැඹිලි, රතට හුරු දුඹුරු, රන්වන්, තද කහ, නිලට හුරු අළු යන පැහැයන් ගන්නා උන්ද කළු හා දුඹුරු පුල්ලි සහිත උන්ද සිටින බව නිරීක්ෂණය කර ඇත.

ඇතැම් ක’මෝඩි වලසුන් සුදු පාට වන්නේ ඇයි කියා ජීව විද්‍යාඥයන් තවමත් සොයාගෙන නැත. වර්ණදේහවල අහම්බෙන් වාගේ ඇති වූ වෙනස්කම් හේතුවෙන් එය සිදු වූ බව ඇතමෙක් පවසති. සාමාන්‍යයෙන් නිරීක්ෂකයන් පවසන පරිදි ක’මෝඩි වලසුන් 10දෙනෙකුගෙන් සුදු පාට වන්නේ එකෙකු පමණි. ඇත්තෙන්ම කැනඩාවේ වයඹදිග පැසිෆික් වෙරළේ සැරිසරන ක’මෝඩි වලසුන් අපේ අවධානය ලබන්න වටී.

ක’මෝඩින්ගේ නිජබිම

බ්‍රිතාන්‍ය කොලම්බියාවේ උතුරුදිග වෙරළේ වර්ග කිලෝමීටර් 75,000ක් දක්වා විහිදී යන ප්‍රදේශයක ක’මෝඩි වලසුන්ව දැකගත හැක. වැනකූවර් සිට කිලෝමීටර් 600ක් වයඹදිගට ගමන් කළ විට ප්‍රින්සස් රොයල් දූපත හා කිටමැට් අසළ පිහිටි ඩග්ලස් ඕඩය සම්බ වේ. එතැන් සිට තවත් කිලෝමීටර් 150ක් ඊසාන දෙසට වෙන්න රටේ අභ්‍යන්තරයට ගමන් කළ විට ස්කීනා ගඟ අසබඩ පිහිටි දැව කර්මාන්ත ප්‍රජාවක් වන ටෙරස් වෙතට පැමිණේ. මෙය ක’මෝඩි වලසුන්ගේ ප්‍රධාන නිජබිම වේ. එය බටහිර කැනඩාවේ ස්වාභාවික සම්පත්වලින් බෙහෙවින්ම අනූන වූ මෙන්ම වන සතුන්ගෙන් වඩාත්ම ගහන වූ කාන්තාර ප්‍රදේශය ලෙස සැලකේ.

මෙම කාන්තාර ප්‍රදේශයේ සක්මන් කරන ක’මෝඩි වලසුන්ව නිරීක්ෂණය කිරීමට නම් උන්ගේ හැසිරීම් රටාව ගැන හොඳ අවබෝධයක් තිබෙන අද්දැකීම් ලත් මඟ පෙන්වන්නෙකු අවශ්‍යයි. උන්ව නැරඹීම සඳහා හොඳම කාලය වන්නේ බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ ගංගා ඇළ දොළවල් වෙතට සැමන් මසුන් බිත්තර ලෑමට පැමිණෙන ඔක්තෝබර් මාසයයි. මෙම වාර්ෂික සිදුවීමේදී මෙම ප්‍රණීත මසුන්ව ආහාරයට ගැනීම සඳහා කඳුකරයේ සිටින ක’මෝඩි වලස්සු ජලාශ්‍රිත ප්‍රදේශවලට ඇදී එති. උන් සැමන් මසුන්ව බුදින අයුරු දුටු අයෙක් ඒ පිළිබඳව විස්තර කළේ මෙසේය. “කැමති මාළුවාව තෝරාගත්තාට පස්සේ ඉස්සෙල්ලම කරන්නේ එක් පාදයකින් මාළුවාගේ හිස තද කරගන්න එකයි. ඊට පස්සේ කරමල ඉරා පැත්තකට දමා මාළුවාව කනවා.”

ක’මෝඩින්ගේ ස්වභාවය

ක’මෝඩි වලසුන්ව දැක්ක ගමන්ම සිතෙන්නේ උන් ඉතා හුරුබුහුටි, සුරතල් සතුන් කියාය. ඒත් අනිත් වලසුන් මෙන්ම උන්ද හිටිහැටියේම රෞද්‍ර, නපුරු ස්වභාවයක් පෙන්වන්න පුළුවන්. උන්ගේ ඇස් ඒ තරම් හොඳට නොපෙනෙන මුත් දික්වූ හොම්බත් කුඩා නාස් පුඩු දෙකත් නිර්මාණය කර ඇත්තේ ගඳ සුවඳ හොඳින් දැනෙන සේය. උන්ගේ ඇවිදිල්ල ඒ තරම්ම සිත්ගන්නාසුලු එකක් නොවුවත් දෙපා ඉක්මන් කර ගමන් කිරීමේ හැකියාව උන්ට ඇත. කෙටි දුර ගමන්වලදී උන් පැයකට කිලෝමීටර් 50ක වේගයකින් ගමන් කරන බවට ගණන් බලා ඇත.

වැඩුණු ගැහැනු සතුන්ගේ උස සෙන්ටිමීටර් 130ත් 190ත් අතරද උන්ගේ බර කිලෝග්‍රෑම් 50ත් 180ත් අතරද වේ. පිරිමි සතුන් ඊට වඩා විශාල වන අතර උන්ගේ බර කිලෝග්‍රෑම් 200ක් ඉක්මවන අවස්ථාද තිබේ. මුන් දෙපයින් සිටගන්නා විට උන්ගේ උස සෙන්ටිමීටර් 250ක් නැත්නම් 275ක් පමණ වේ. උන්ට දක්ෂ ලෙස පීනන්නද පුළුවන. එක් ක’මෝඩි වලසෙකු ළඟපාත දූපතක සිට ප්‍රධාන වෙරළ දක්වා පීනන බව ධීවර කටයුතු අධීක්ෂණය කරන එක්තරා නිලධාරියෙක් නිරීක්ෂණ කළේය. ඔහු තම බෝට්ටුව වලසා අසලට ගෙනියන්න වෑයම් කළ විට පුදුමයකට මෙන් දිය යටට ගිලී පීනන්න පටන්ගත් වලසා මතුපිටට ඇවිත් තිබෙන්නේ හුස්ම ගැනීමට අවශ්‍ය වූ විට පමණයි.

අනතුරු ඇඟවීමක්

ඇතැම්විට, වලසුන් මිනිසුන් සමඟ ගැවසෙද්දී මිනිසුන්ට ඇති භය නැති වී උන් ඔවුන්ගෙන් ආහාර හිඟා කන්න පුරුදු වන්න පුළුවන. එවිට උන් තුළ රෞද්‍ර ස්වභාවයක් පවා ඇති වෙන්න ඉඩ තිබේ. එවැනි වලසුන්ගෙන් මිනිසාට අනතුරක් එල්ල විය හැකි නිසා උන්ව සාමාන්‍යයෙන් විනාශ කර දමයි. එමනිසා ඔබට කවදාහරි දවසක කෑම හිඟා කන වලසෙකු මුණ ගැසුණොත් උන්ට කෑම දීමෙන් වැළකී සිටින්න. මන්ද උන්ට කෑම දීමෙන් ඔබ ඔබේ ජීවිතය අනතුරේ හෙළනවා පමණක් නොව, වලසාගේ අකල් මරණයටද දායක විය හැක.

මෙම අපූරු වලසා ගැන සිතා බලන විට වලස් පවුලේ විවිධත්වය ගැන ඔබට හැඟෙන්නේ කොහොමද? අපේ දෙවිගේ ප්‍රිය උපදවන මැවිලි ඔබව පුදුමයට පත් කරවන්නේ නැද්ද? මෙවැනි සිත්ගන්නාසුලු මැවිලි ආදරයෙන් රැකබලා ගැනීමට අපට ඇත්තේ කොතරම් භාරදූර වගකීමක්ද!

[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Howie Garber/www.wanderlustimages.com