හේතු සෙවීම
හේතු සෙවීම
“යෞවනයන් මානසික අවපීඩනයට ගොදුරු වීමට එක් හේතුවක් නොව හේතු රාශියක් බලපානවා.”—වෛද්‍ය කැත්ලින් මැකෝයි.
යෞවනයන් මානසික අවපීඩනය නමැති රෝගයට ගොදුරු වීමට හේතු වන කාරණා බොහෝමයක් තිබේ. එකක් නම් නව යොවුන් වියට පා තැබීමත් සමඟ ඇති වන ශාරීරික සහ මානසික වෙනස්කම් නිසා යෞවනයන්ට අනාරක්ෂිත බවක් සහ බියක් දැනීමයි. එය යෞවනයෙකුව ජීවිතය දෙස අශුභවාදි ලෙස බැලීමට පොලඹවයි. යෞවනයන් තුළ අශුභවාදි හැඟීම් ඇතිවීමට තවත් හේතුවක් වන්නේ මිතුරන් ඔවුන්ගේ ඇසුර ප්‍රතික්ෂේප කිරීම හෝ ප්‍රේම සබඳතා බිඳ වැටීමයි. අපගේ ආරම්භක ලිපියේ සඳහන් කළ ආකාරයට වර්තමානයේ තරුණ පරපුරේ මානසිකත්වය බිඳ වැටීමට ඔවුන් ජීවත් වන සමාජයද බොහෝදුරට හේතු වෙයි. ඇත්තෙන්ම අප ජීවත් වන්නේ, ‘කටයුතු කිරීමට අසීරු කාලයකය’ යන්න පසක් කරගත යුතුයි.—2 තිමෝති 3:1.
මෙම ප්‍රශ්නය සංකීර්ණ කරවන තවත් හේතුවක් වන්නේ යෞවනයන් මෙවන් පීඩිත තත්වයන්ට මුහුණ දෙන්නේ ජීවිතයේ ප්‍රථම වතාවට වීමයි. වැඩිහිටියන්ට මෙන් ඔවුන්ට අද්දැකීම් සහ කුසලතා නොමැත. යෞවනයන් හරියට මඟ තොට නොදන්න නුපුරුදු දේශයකට පැමිණ සිටින සංචාරකයන් වැනිය. බොහෝවිට ඔවුන් උපකාරයක් පතන්නේද නැත. මෙවන් තත්වයක් මානසිකව බිඳ වැටීමට හේතුකාරකයක් විය හැකියි.
මීට අමතරව මානසික අවපීඩනයට හේතු වන වෙනත් කාරණාද තිබේ. එයින් සමහරකට අපි අවධානය යොමු කරමු.
අහිමි වීම
තමන් බොහෝ සෙයින් ආදරය කළ කෙනෙකුගේ වියෝව හේතුවෙන් හෝ දික්කසාදය නිසා දෙමාපියෙකු අහිමි වීමෙන් ඇති වන්නාවූ අධික ශෝකය හේතුවෙන් මානසික අවපීඩනය ඇති විය හැකියි. සුරතල් සතෙකුගේ මරණයක් පවා යම් අවස්ථාවල යෞවනයන්ගේ මානසිකත්වය බිඳ වැටීමට හේතුවක් වේ.
පදිංචිය වෙනස් කිරීමේදී සුපුරුදු වටපිටාවෙන් ඉවත් වීමට සහ යාළු මිත්‍රයන්ගෙන් වෙන්වීමට සිදු වන විටද කෙනෙකුට කලකිරීමක් ඇති විය හැකියි. කාලයක් පුරා බලා සිටි උපාධිය ලබාගැනීමෙන් පසු වෙන්ව යන විට ඇති වන්නාවූ දුකත් අලුත් ජීවිතයකට හැඩගැසීමට සිදු වන විටදී කලින් තිබූ සැප පහසුව සහ ආරක්ෂාව අහිමි වීමත් කෙනෙකුට බලපෑ හැකි බව අමතක නොකරන්න. සමහර යෞවනයන්ට නොයෙකුත් නිදන්ගත රෝග තිබෙන නිසා තම මිතුරන්ට වඩා ඔවුන් වෙනස් කියා හැඟීමෙන් ඔවුන් තුළ දුකක් ඇති විය හැකියි.
සමහරවිට මිතුරන් ඇසුරෙන් ඔවුන්ව කපාහැරීම වැනි දේ නිසාත් තමන් අසාමාන්‍යයි කියා හැඟිය හැකියි.බොහෝ යෞවනයෝ එවැනි අවස්ථාවලදී මුළුමනින්ම හැඟීම්වලට යටපත් නොවී ඊට සාර්ථකව මුහුණ දෙති. ඔවුහු දුක් වුවත් හඬා වැලපුණත් කාලයත් සමඟ එම තත්වයට සාර්ථකව මුහුණ දෙති. එසේ නම් බොහෝ යෞවනයෝ ජීවිතයේ අද්දකින පීඩාකාරි තත්වයන් ගැන අනවශ්‍ය ලෙස කරදර වී එය චිත්ත සන්තාපයට හේතුවක් කරගන්නේ මන්ද? එයට පිළිතුරු දීම පහසු දෙයක් නොවේ. මන්ද මානසික අවපීඩනය ඉතාමත් සංකීර්ණ ආබාධයක් වන හෙයිනි. එමෙන්ම සමහර යෞවනයන් ස්වභාවයෙන්ම දොම්නසට බර නිසා මානසික අවපීඩනයට ගොදුරු වීමට ඇති ඉඩ කඩ වැඩියි.
මොළයේ සෛල තුළ ඇති වන ජෛව රසායන වෙනස්කම්
බොහෝ මානසික සෞඛ්‍ය විශේෂඥයන්ගේ විශ්වාසය වී ඇත්තේ මොළය ඇතුළත සිදු වන ජෛව රසායන අසමතුලිතතාවය (biochemical imbalance) මානසික අවපීඩනයට මුල් වන බවයි. a මෙම අසමතුලිතතාවයට ජානවල සම්බන්ධතාවයක් තිබිය හැක. එනම් දෙමාපියන් මානසික අවපීඩනයෙන් පෙළෙනවා නම් දරුවන්ටද එම රෝග තත්වය වැළඳීමේ ප්‍රවණතාවයක් තිබෙනවා යන්න පර්යේෂකයන්ගේ අදහසයි. එක් ග්‍රන්ථයක (Lonely, Sad and Angry) සඳහන් වන්නේ, “මානසික අවපීඩනයෙන් පෙළෙන බොහෝ දරුවන්ගේ එක් මාපියෙකුට හෝ එම රෝගය තිබෙන බවයි.”
මෙහිදී ප්‍රශ්නයක් ඉස්මතු වේ. එනම් ඇත්තටම දරුවන් මානසික අවපීඩනය උරුම කරගන්නවාද නැතහොත් මානසික අවපීඩනයෙන් පෙළෙන දෙමාපියන්ව අනුකරණය කරනවාද යන්නයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම අපහසුය. මන්ද මොළය ඉතාමත් සංකීර්ණ ඉන්ද්‍රියයකි. එමෙන්ම යොවුන් වියේ පසුවන්නන් මානසික අවපීඩනයට ගොදුරු වීමට වෙනත් බොහෝ සංකීර්ණ කාරණාද හේතු වන නිසාය.
මානසික අවපීඩනය සහ පවුල් වාතාවරණය
මානසික අවපීඩනයට පවුල යම් ආකාරයකින් හේතු වනවාය කියා පැවසීමට සාධාරණ හේතු තිබේ. මන්ද කලින් පෙන්නුම් කළ ආකාරයට ජාන මගින් මෙම මානසික ආබාධය එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට යා හැකියි. එමෙන්ම මෙයට පවුල් වාතාවරණයත් යම් දුරකට බලපායි. “මානසිකව සහ ශාරීරිකව දෙමාපියන්ගේ අඩන්තේට්ටම්වලට ලක් වන දරුවන් මානසික අවපීඩනයට ගොදුරු වීමට ඇති ඉඩ කඩ වැඩිය” කියා වෛද්‍ය මාර්ක් එස්. ගෝල්ඩ් පවසයි. එමෙන්ම, “දෙමාපියන් විසින් තම දරුවන්ව නිතර විවේචනයට ලක් කිරීමත් දරුවන්ට කළ නොහැකි දේවල්ම උලුප්පා දැක්වීමත්” හේතුවක් විය හැකියි කියා ඔහු තවදුරටත් පවසයි. දෙමාපියන් විසින් තම දරුවන්ට අසීමිත ලෙස ආදරය පෙන්වීම නිසාත් නුවමනා ලෙස ආරක්ෂා කරගැනීමට යෑම නිසාත් මානසික අවපීඩන තත්වය ඇති විය හැකියි. නමුත් එක් පර්යේෂකයෙකු සොයාගත් ආකාරයට දෙමාපියන් විසින් නොසලකා හරිනු ලබන දරුවන් මානසික අවපීඩනයට ලක්වීමට ඇති ප්‍රවණතාව ඉහත කී තත්වයට වඩා වැඩිය.
කොහොම වුණත් මානසික පීඩනයෙන් පෙළෙන සෑම යෞවනයෙකුම දෙමාපියන්ගේ මදිපුංචිකම්වලට ලක් වුණ අය නොවෙයි. ඇත්තෙන්ම මෙම මානසික තත්වයට වෙනත් වෙනත් කාරණාද හේතු වේ. නමුත් සමහර අවස්ථාවල පවුල් වාතාවරණය ප්‍රධාන හේතුව විය හැකියි. “දෙමාපියන් නිතර රණ්ඩු දබර කරන පවුල් කවයක සිටින දරුවන් නිස්කලංක පවුල් කවයක හැදී වැඩෙන දරුවන්ට වඩා මානසික අවපීඩනයට ගොදුරු වීමට තිබෙන ඉඩ කඩ වැඩි” බව වෛද්‍ය ඩේවිඩ් ජී. ෆැස්ලර් පවසයි. “මෙයට හේතුව දෙමාපියන් තමන්ගේ ප්‍රශ්න මත්තෙම නැහෙනවා මිසක දරුවන්ගේ ඕනෑ එපාකම් ගැන සොයා නොබැලීමයි. ඒ වගේම ඔවුන්ගේ වාද විවාදවලට දරුවන්ව ඉත්තන් කරගැනීම නිසා දරුවන් තුළ කළකිරීමක්, වරද සහිත බවක් සහ කෝපයක් ඇති විය හැකියි” කියා ඔහු තවදුරටත් පවසයි.
මෙය යොවුන් වියේ පසුවන්නන් මානසික අවපීඩනයට ගොදුරු වීමට හේතු වන කාරණාවලින් කිහිපයක් පමණි. ඊට අමතර වෙනත් කාරණාද තිබේ. සමහර ප්‍රවීණයන්ගේ අදහසට අනුව පාරිසරික සාධකද (ප්‍රමාණවත් පෝෂණය නොලැබීම, යම් දේවල් ශරීරයට විෂවීම සහ නොයෙකුත් මත්ද්‍රව්‍යයන් හා මත්පැන් අනිසි ලෙස භාවිතය වැනි දේ) මානසික අවපීඩනයට රුකුල් දේ. ඖෂධ වර්ගද (ප්‍රතිහිස්ටමින්, සිත සන්සුන් කිරීමට දෙන ශාන්තිකාරක වැනි දේ) අවපීඩනය වැළඳීමට හේතු වන බව තවත් සමහරෙකුගේ අදහසයි. අමතක නොකළ යුතු තවත් දෙයක් තිබේ. එනම්, ඉගෙනගැනීමේ දුර්වලකම් ඇති දරුවන් විශේෂයෙන්ම මානසික අවපීඩනයට ලක්වීමේ ප්‍රවණතාව වැඩිය. මන්ද තමන්ට සෙසු ශිෂ්‍යයන් සමඟ උරෙන් උර ගැටී අධ්‍යාපන කටයුතුවල නිරත විය නොහැකි බව ඔවුන්ට දැනෙන විට එය ඔවුන්ව කනස්සල්ලට පත් කරයි.
හේතුව කුමක් වුවත් වැදගත්ම කාරණය වන්නේ මානසික අවපීඩනයෙන් පෙළෙන යෞවනයෙකුට උපකාර කරන්නේ කෙසේද යන්නයි.
[පාදසටහන]
a රෝගයෙන් පීඩා විඳින්නන්ගෙන් බොහෝදෙනෙකුට උපතින්ම ජෛව රසායන අසමතුලිතතාවය උරුම වී තිබුණත් නිරෝගී අයෙකු ලෙස ඉපදී පසුව ව්‍යාකූලත්වයට පත් කරවන සිදුවීමකට මුහුණ දීම හේතුවෙන් මොළයේ ජෛව රසායන වෙනස් වීමක් ඇති වූ විට ඒ අය මානසික අවපීඩනයට ලක්වීමට ඇති ඉඩ කඩ වැඩිය කියා සමහරෙක් උපකල්පනය කරති.
[8, 9වන පිටුවේ පින්තූර]
පවුල තුළ නිතර රණ්ඩු දබර සිදු වන විට එය මානසික අවපීඩනයට හේතු විය හැකියි