Skip to content

පටුනට යන්න

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අපගේ පාඨකයන්ගෙන්

අසනීපවූවන්ට සැනසීම “අසනීපවූවන්ට සැනසීම” යන ලිපි මාලාව පළ කිරීම වෙනුවෙන් තුති පුදන්න මා කැමතියි. (2001 ජනවාරි 22, සිංහලෙන් නැත.) මම අනතුරකට භාජනය වුණේ මීට අවුරුදු හතරකට ඉස්සෙල්ලයි. මට ගොඩක් වෙලාවට හිතිලා තියෙනවා ඒ වෙලාවෙම මැරිලා ගියා නම් හොඳයි කියලා. මට දැන් නිතරම අමතක වෙන හින්දා හුඟක් දවස්වලට මම ඉන්නේ කනස්සල්ලෙන්. ඒත් මේ ලිපි කියෙව්වහම මට ධෛර්යයක් ආවා.

ටී. එම්., ජපානය

වේදනාකාරි රුමටොයිඩ් සන්ධි ආසාදනය මට තියෙන්නේ වයස අවුරුදු 15 ඉඳලයි. “විපත්ති දවසේදී බලකොටුවක්” වන යෙහෝවා කෙරෙහි මීට වඩා විශ්වාසයක් තැබිය යුතු බව එම ලිපි කියවීමෙන් මට අවබෝධ වුණා.—නාහුම් 1:7.

වයි. එෆ්. ආර්., කොලොම්බියා

මම පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරියක්. අලුත් ප්‍රදේශයක සේවය කරන්න ගිහින් ටික දවසකට පස්සේ මට දියවැඩියාව තියෙන බව දැනගත්තා. නිදන්ගත රෝගයකින් පෙළෙන කෙනෙකුට ඇති වුණ හැඟීම් සමුදායක් පිළිබඳව ඔබ දී තිබෙන විස්තරය කදිමයි! මේ ලිපි මගේ තත්වය ගැන නැවතත් සමබරව සිතන්නත්, ජීවිතයේ යම් වෙනස්කම් කරන්නත් මට උපකාරවත් වුණා.

එල්. ඒ., ඉතාලිය

අපට අසනීපයක් නැතත් අප මුහුණ දෙමින් සිටින ගැටලුවක් සම්බන්ධයෙන් සාර්ථකව කටයුතු කරන්න එම ලිපියේ ප්‍රතිපත්ති අපට හුඟක් ප්‍රයෝජනවත් වුණා. බොහෝවිට සිදු වන පරිදි මෙවරත් විශේෂ යාච්ඤාවකට මේ සඟරාවෙන් අපට පිළිතුර ලැබුණා.

ආර්. පී. සහ එල්. පී., ශ්‍රී ලංකාව

මට අක්මා රෝගයක් වන කාසිනෝමාව වැළඳී ඇති බව මීට සති කීපයකට කලින් මට දැනගන්න ලැබුණා. ඒ වෙනකම්ම මම නිරෝගීව හිටිය නිසා ඒක ඇහුව ගමන් මට සිද්ධ වුණ දේ ගැන ඔබට සිතාගත හැකියි නේද? අද මම ජනවාරි 22 කලාපයේ ලිපි එක හුස්මට කියවලා ඉවර කළා. මගේ සැකයන්, සිතුවිලි සහ හැඟීම් සියල්ලම ඒවාවල විස්තර කරලා තිබුණා. ඒවා කියෙව්වහම මට ශුභවාදී දෘෂ්ටියක් ඇති කරගන්න පුළුවන් වුණා.

ජේ. ඊ., ස්පාඤ්ඤය

සැබෑ-ජීවිත අද්දැකීමක් මම ලියන්නේ බිල් සහ රෝස් මයෙනර්ස්ගේ “ඉලක්ක තැබීමෙන් බාධක ජයගනියි” යන හද දනවන කතාව ගැනයි. (2001 ජනවාරි 22) අඩ සියවසකට වැඩි කාලයක් ඔවුන් විඳදරාගෙන තිබෙන ආකාරය දිරිගන්වනසුලුයි. මේ ජීවිත කතා හද ගැබේ පත්ලටම කිඳාබැස්සා. බිල් හා රෝස්, ඔබ දෙපළ වෙනුවෙන් මම විශේෂයෙන්ම යාච්ඤා කරන බව කියන්න කැමතියි.

වී. ජී., ඉතාලිය

නිරෝගී සෞඛ්‍යයකින් සිටින අප වගේ අයට වසර 50කට වැඩි කාලයක් පුරා තම රෝගය හා පොරබදන මිනිසෙකුගේ මෙම කතන්දරය උද්‍යෝගය ඇති කරවන්නේ පුදුම විදිහකටයි. නිරෝගී කාන්තාවක් වන මම, මගේ සෞඛ්‍යය හොඳින් රැකගත යුතු බවත්, මගේ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු බවත් අවබෝධ කරගන්න එය මට උපකාරවත් වුණා.

පී. වී., චෙක් ජනරජය

මගේ මව වසර 20කට ආසන්න කාලයක් පුරා අසනීපව සිටිනවා. මානසිකව බිඳ වැටිලා ඉන්න ඇය පුංචි සහනයක් හරි ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා කල්පනා කරනවා. ඉතින් මම ඇයට මේ ලිපිය කියෙව්වා. මටත් එය ප්‍රයෝජනවත් වුණා. හුඟක් වෙලාවට ඇය කලකිරිලා ඉන්නේ ඇයි කියලා දැන් මට තේරෙනවා.

ජී. ඕ. ඒ., නයිජීරියාව

බිල් සහ රෝස් මෙන්ම දරුණු රෝග තිබෙන තවත් හුඟදෙනෙක් සැලෙන්නේ නැහැ. ඒ තරම් අමාරු තත්වයකට මුහුණ පා නැති අපට ඔවුන්ගේ ආදර්ශයෙන් යමක් ඉගෙනගත හැකියි කියලා මට හිතෙනවා. බිල්, රෝස්, ඕගොල්ලෝ දිගටම ශක්තිමත්ව ඉන්න! ඔබ දෙදෙනා අපට හොඳ ආදර්ශයක්!

අයි. එස්., ජර්මනිය

නහඹර වියේ පෙම් සබඳතා “යෞවන අය අසති . . . පෙම් කිරීමට මා ළාබාල වැඩියි කියා දෙමාපියන් සිතනවා නම්?” (2001 පෙබරවාරි 8) යන ලිපිය 15-හැවිරිදි මා කියෙව්වේ ඉමහත් ආශාවකිනුයි. මම ප්‍රේම සම්බන්ධකම් ඇති කරගන්නේ නැති නිසා පාසැලේ ළමයි මගෙන් අහනවා මම සමලිංගිකයෙක්ද කියලා. මගේ දෙමාපියන් කැමති නැති නිසයි මම එහෙම නොකරන්නේ කියලා එතකොට මම ඒගොල්ලන්ට කියනවා. ඒත් මට ඕන වුණේ ඊට වඩා හොඳ පිළිතුරක් දෙන්නයි. මේ ලිපිය කියෙව්වහම මම දැනගත්තා ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ කොහොමද කියලා. නහඹර අප ගැන සිතුවාට ඔබට මගේ අවංක ස්තුතිය පුද කරමි.

සී. ජී., එක්සත් ජනපදය