Skip to content

පටුනට යන්න

අපේ බත්පතට වින කරගන්නේ අපමද?

අපේ බත්පතට වින කරගන්නේ අපමද?

අපේ බත්පතට වින කරගන්නේ අපමද?

“අද අප මුහුණ දෙන දැවෙන ප්‍රශ්නය වන්නේ ණය බරෙන් මිරිකී සිටීම හෝ ජගත් තරඟකාරිත්වයට මුහුණ දීම හෝ නොව, ජීවයේ පැවැත්ම රඳාපවතින පෘථිවියේ ජෛව ගෝලය විනාශ නොකර, අර්ථවත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි මං පෙත් එළි පෙහෙළි කරගැනීමයි. අපට ජීවත් වීමට අත්‍යවශ්‍ය සෑම දෙයක්ම විනාශ වෙමින් පවතී. මානව සංහතිය මින් පෙර කෙදිනකවත් මෙවන් තර්ජනයකට මුහුණ දී නැත.”—ජාන විද්‍යාඥ ඩේවිඩ් සුසූකී.

ඇපල් ගෙඩියක ගුණය සුළු කොට සලකන අයද ලෝකයේ සිටිති. ඔබ ජීවත් වන්නේ ඇපල් බහුලව වැවෙන ප්‍රදේශයක නම්, විවිධ වර්ගවලට අයත් ඇපල් අඩු මිලකට ලබාගැනීම අමාරු නැහැයි කියා ඔබ සිතන්න පුළුවනි. එනමුත් මීට අවුරුදු 100කට කලින් තිබුණු ඇපල් වර්ගවලින් අද ඔබට ලබාගත හැක්කේ ඇපල් වර්ග කිහිපයක් පමණයි කියා ඔබ දැන සිටියාද?

වර්ෂ 1804 හා 1905 අතර කාලයේදී අමෙරිකා එක්සත් ජනපදයේ ඇපල් වර්ග 7,098ක් වගා කරන ලදි. අදදින ඒවායින් සියයට 86ක්, එනම් 6,121ක් වඳ වී ගොස් තිබේ. පෙයාස්වලටද අත් වී තිබෙන්නේ එවන් ඉරණමකි. කලකට පෙර වගා කරන ලද පෙයාස් වර්ග 2,683න් සියයට 88ක්ම වඳ වී ගොසිනි. එළවළු ගැන කතා කරන විට, තත්වය මීටත් වඩා කනගාටුදායකය. ජෛව විවිධත්වය කියා හඳුන්වනු ලබන දෙය මිහිතලයෙන් අතුරුදහන් වෙමින් පවතී. මෙයට විශාල විවිධත්වයකින් යුත් ජීවීන් විශේෂ පමණක් නොව, එම විශේෂවල සොයාගත හැකි ප්‍රභේද විශාල ප්‍රමාණයද ඇතුළත් වේ. අමෙරිකා එක්සත් ජනපදයේ වැවෙන නොයෙක් වර්ගයේ එළවළුවල තිබෙන විවිධත්වය සියයට 97කින් අඩු වී තිබේ. මේ සඳහා ගත වී තිබෙන්නේ අවුරුදු 80කට වඩා අඩු කාලයකි! ඇත්තෙන්ම විවිධත්වය වැදගත්ද?

විවිධත්වය වැදගත් දෙයක් බව බොහෝ විද්‍යාඥයෝ පවසති. ජෛව විවිධත්වය මගින් සිදු කෙරෙන කාර්යය තවමත් මත වාදවලට ලක් වී තිබුණත්, ජීවයේ අඛණ්ඩ පැවැත්මට එය අත්‍යවශ්‍ය බව පරිසරවේදීන් බොහෝදෙනෙක් පවසති. ආහාර සඳහා අප වගා කරන බෝගවලට එය වැදගත් වන්නාක් මෙන්ම ලෝකයේ තිබෙන නොයෙක් වනාන්තරවල හා තණබිම්වල වැඩෙන ගස් වැල් හා තෘණවලටද එය වැදගත් බව ඔවුහු පවසති. යම් සත්ව හෝ ශාක විශේෂයක් තුළ පවතින විවිධත්වයද වැදගත්ය. නිදසුනක් වශයෙන්, වී ප්‍රභේද ගණනාවක් තිබෙන විට, වී වගාවේ බහුලව දක්නට තිබෙන රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව සමහර ප්‍රභේදවලට තිබෙන බව සොයාගත හැක. මේ නිසා, මිහිතලයේ ජෛව විවිධත්වය විනාශ කර දැමීමෙන් අපේ ආහාර වේලට විය හැකි හානිය මොනතරම් බරපතළද කියා මිනිසාට පෙන්වා දෙන වාර්තාවක් මෑතකදී වර්ල්ඩ් වොච් ආයතනය මගින් ප්‍රකාශයට පත් කරන ලදි.

ගස් වැල් වඳ වී යෑම අවම වශයෙන් දෙයාකාරයකින් ආහාර බෝගවලට බලපෑ හැක. මුලින්ම, වගා කරන ලද බෝගයට නෑකම් කියන ඉබේට වැවෙන පැළෑටි විනාශ වී යා හැකි අතර, මෙම පැළෑටි අනාගතයේදී බීජ අභිජනනය සඳහා ජාන ලබාගත හැකි ප්‍රභවයකි. දෙවන බලපෑම වන්නේ වගා කරන ලද බෝග විශේෂවලට අයත් ප්‍රභේද ගණනාවක්ම අඩු වී යෑමයි. නිදසුනක් වශයෙන්, විසිවන සියවසේ මුල්භාගයේදී දේශීය වශයෙන් අභිජනනය කරන ලද වී ප්‍රභේද 1,00,000කට වැඩි ගණනක් ආසියාවේ වගා කරනු ලැබීය. ඉන් ප්‍රභේද 30,000ක්වත් වගා කරනු ලැබුවේ ඉන්දියාවේය. දැන් ඉන්දියාවේ වගා කරනු ලබන වී වර්ගවලින් සියයට 75ක්ම අයත් වන්නේ වර්ග දහයකට පමණි. කලකට ඉහතදී ශ්‍රී ලංකාවේ වගා කරන ලද වී ප්‍රභේද 2,000කින් අද වගා කෙරෙන්නේ සියයට පහකි. ඉරිඟුවල ජන්ම භූමිය වන මෙක්සිකෝවේ ඉරිඟු වගා කෙරෙන්නේ 1930 ගණන්වලදී සොයාගත් වර්ගවලින් සියයට 20ක් පමණි.

මෙයින් පහර වැදී තිබෙන්නේ මිනිසාගේ බත්පතට පමණක්ම නොවේ. අළෙවිය සඳහා නිපදවනු ලබන ඖෂධවලින් සියයට 25ක්ම ලබාගන්නේ පැළෑටිවලිනි. එමෙන්ම අලුත් ඖෂධ නිපදවිය හැකි පැළෑටි වර්ග තිබේද කියා සොයා බැලීම් දිගටම කෙරීගෙන යයි. කෙසේවෙතත්, ඖෂධ වර්ග නිපදවන පැළෑටි වඳ වී යෑමේ තර්ජනයට ලක් වෙමින් පවතී. ඇත්තෙන්ම අප කරන්නේ කන්න දෙන අත සපා කෑම වැනි දෙයක් නොවේද?

ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ආයතනය මගින් නිකුත් කළ වාර්තාවලට අනුව, ශාක හා සත්ව විශේෂ 18,000ක් පමණ අධ්‍යයනයට ලක් කර තිබෙන අතර, ඉන් විශේෂ 11,000කට වැඩි ගණනක් වඳ වී යෑමේ තර්ජනයට ලක් වෙමින් පවතී. වගා කටයුතු සඳහා මහා පරිමාණයෙන් වනාන්තර එළි පෙහෙළි කරනු ලබන ඉන්දුනීසියාව, මැලේසියාව හා ලතින් අමෙරිකානු රටවල පර්යේෂකයන්ට කළ හැක්කේ ශාක විශේෂ කොපමණ ගණනක් වඳ වී යෑමට ආසන්නද කියා හෝ කොපමණ ගණනක් වඳ වී ගොස් තිබේද කියා ගණන් බැලීම පමණි. කෙසේවෙතත්, සමහරුන් පවසන ආකාරයට මෙම වඳ වී යෑම “තැතිගන්වනසුලු අයුරින් වේගවත්ව” සිදු වෙමින් තිබෙන බව ද යුනෙස්කෝ කුරියර් වාර්තා කරයි.

ඇත්තවශයෙන්ම, බහුල ලෙස ආහාර නිපදවීමේ හැකියාව තවමත් පොළොව සතුය. එහෙත් පෘථිවියේ ජෛව විවිධත්වය තුරන් වී ගියහොත්, වේගයෙන් වර්ධනය වන ජනගහනයට ආහාර සොයාගත හැක්කේ තව කොතරම් කාලයකටද? මේ ගැන දැඩි විමසිල්ලෙන් පසු වන විවිධ රටවල් අත්‍යවශ්‍ය ශාක ආරක්ෂා කරගැනීම සඳහා බීජ බැංකු පිහිටුවීමට කටයුතු කර තිබේ. ඇතැම් උද්භිද උද්‍යානවල සමහර ශාක විශේෂ සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇත. විද්‍යාව මගින් ජාන ඉන්ජිනේරු ශිල්පය හා සම්බන්ධ නව ක්‍රම හඳුන්වා දී ඇත. එනමුත් මෙම ගැටලුවට විසඳුම් සෙවීමට බීජ බැංකුවලට හෝ විද්‍යාවට හැකිද? ඊළඟ ලිපියෙහි මෙම ප්‍රශ්නය සැලකිල්ලට බඳුන් කෙරේ.