Skip to content

පටුනට යන්න

ජනප්‍රිය උත්සවවල සුල මුල

ජනප්‍රිය උත්සවවල සුල මුල

ජනප්‍රිය උත්සවවල සුල මුල

මායාකාරියන්, හොල්මන්, වට්ටක්කා ගෙඩි, ගිනි ගොඩවල් හා කුඩා ළමුන්ට රස කැවිලිවලින් සංග්‍රහ කිරීම නැත්නම් ඔවුන්ගේ චණ්ඩිකම්වලට මුහුණ දීම. මේ සෑම දෙයක්ම හැලොවීන් උත්සවයේ දකින්න ලැබෙන විශේෂ ලක්ෂණ. හැලොවීන් හා ඊට සමාන වෙනත් උත්සව පටන්ගත්තේ කොහොමද? හැලොවීන්, ශුද්ධ වූ සන්ධ්‍යාව යන අර්ථය ඇති ඕල් හැලෝ ඊවන් යන නමිනුත් හඳුන්වා තිබෙනවා. ඕල් හැලෝ ඊවන් කියන්නේ සියලු සාන්තුවරුන්ගේ දවසට පෙර සන්ධ්‍යාවයි. එයට ක්‍රිස්තියානි නමක් ඈඳගෙන තිබුණත් එහි මූලාරම්භය නම් කිසිසේත් ශුද්ධයයි කිව නොහැකියි. ඇත්තෙන්ම, හැලොවීන්හි මූලාරම්භය, ක්‍රිස්තියානි යුගයට බොහෝ කලකට පෙර එනම් බ්‍රිතාන්‍යයේ හා අයර්ලන්තයේ කෙල්ට්වරුන් විසූ වකවානුවේදී සිදු වූ බව විශාරදයන් පවසනවා. චන්ද්‍ර දින දර්ශනයක් භාවිත කළ කෙල්ට්වරු අඳුරු ශීත මාස හා සූර්ය රශ්මියෙන් නැහැවුණු ගිම්හාන මාස වශයෙන් අවුරුද්ද ඍතු දෙකකට බෙදා තිබුණා. නොවැම්බර් 1වනදාට කිට්ටුවටම යෙදෙන පුර පසළොස්වක රාත්‍රියේදී කෙල්ට්වරුන් සෞඅන් (ගිම්හානයේ නිමාව) නමැති උත්සවය සැමරුවා. a

කෙල්ටික් අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙම උත්සවය සැමරුවේ ගිම්හානය අවසානයේදීයි. මේ වන විට අස්වැන්න නෙළීම අවසන් කර, එළිමහනේ සිටි සත්ව රැළවල් මඩුවලට දමා තිබුණා. මෙම කාලයේදී ඉක්මනටම කළුවර වැටෙන නිසා කෙල්ට්වරුන් සිතුවේ විවිධ වත්පිළිවෙත් අනුගමනය කිරීමෙන් හා පූජා ඔප්පු කිරීමෙන් හිරු යළි පුබුදුවාලිය යුතු බවයි. පසුගිය අවුරුද්ද ගෙවී යෑම සංකේත කරමින් සියලුම ලිප් උදුන් ආදිය නිවා දැමුවා. අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා ශුද්ධ ගිනි ගොඩවල් පත්තු කළා. මෙම ගිනි ගොඩවල්වලින් තමයි ප්‍රජාවේ සියලුම පවුල් තම ලිප් හෝ උදුන් නැවත පත්තු කළේ. ඒවා මගින් දුෂ්ට ආත්ම පලවාහරින්න පුළුවන් කියාත් කෙල්ට්වරුන් අතර විශ්වාසයක් තිබුණා. මෙහිදී අපේ මතකයට නැඟෙන්නේ බ්‍රිතාන්‍යයේ ගයි ෆෝක්ස් රාත්‍රියේදී පත්තු කරන ගිනි ගොඩවල්.

සෞඅන් උත්සවය පැවති රාත්‍රියේදී මනුෂ්‍ය ලෝකය හා ආත්ම ලෝකය අතර පවතින බැමි ඉවත් කළ බවත් යහපත් හා දුෂ්ට ආත්ම යන දෙකොට්ඨාසයම පොළොවේ සක්මන් කළ බවත් ජනයා විශ්වාස කළා. මළවුන්ගේ ආත්ම ඔවුන්ගේ නිවෙස් සොයා යන බව විශ්වාස කළ බැවින් මිය ගිය අය වෙනුවෙන් පවුලේ සාමාජිකයන් කෑම බීම පිළියෙළ කර පිටත තැබුවා. මෙසේ කළේ මළ ආත්ම තෘප්තිමත් කිරීමට හා ඔවුන්ගෙන් හානියක් සිදුවීම වැළැක්වීමටයි. එමනිසා අදදින හැලොවීන්වලදී භූතයන් හෝ මායාකාරියන් ලෙස ඇඳ පැළඳගෙන ගෙයක් ගෙයක් පාසා ගොස්, තමන්ට සංග්‍රහ කරන මෙන් බල කරන හෝ තර්ජන කරන ළමුන් ඇත්තෙන්ම අනුගමනය කරන්නේ සෞඅන් නමැති ඉපැරණි උත්සවයේ වත්පිළිවෙත් බව පැහැදිලියි. මේ පිළිබඳව ශොන් මාර්කේල් හැලොවීන්හි ඉතිහාසය හා සිරිත් විරිත් (Halloween, histoire et traditions) නමැති තම කෘතියේ මෙසේ සඳහන් කළා. “ඔවුන් තේරුම් නොගන්නා දෙයක් වන්නේ යම් සංග්‍රහයක් ලැබීම මගින් ඉතා වැදගත් දෙයක් සංකේතවත් කරන බවයි. එය නම් ආත්ම ලොව හා මිනිස් ලොව අතර සුහදව සිදු වන යම් හුවමාරුවකි. ඇත්තෙන්ම හැලොවීන් සාදයන් . . . ආගමික මංගල්‍යයන් කියා පැවසිය හැක.”

එම රාත්‍රියේදී පෙනෙන හා නොපෙනෙන ලෝක අතර තිබෙන බාධක ඉවත් වන බව විශ්වාස කළ නිසා ඔවුන් සිතුවේ මනුෂ්‍යයන්ට ආත්ම විෂයට පහසුවෙන්ම පිවිසිය හැකි බවයි. එබැවින් සෞඅන් අනාගතය හා බැඳි රහස් හෙළි කරගැනීමට කදිම අවස්ථාවක් වශයෙන් සලකනු ලැබුවා. ශුද්ධයයි සැලකූ ඇපල් හා හේසල් ගෙඩි ආත්ම බන්ධන වත්පිළිවෙත්වලදී භාවිත කළා. මේවා යොදාගත්තේ විවාහය, අසනීප හා මරණය පිළිබඳව තොරතුරු දැනගැනීමටයි. උදාහරණයකට, එක් එක් අය විසින් ඇපල් ගෙඩිවල ලකුණක් දමා ඒවා වතුර බේසමකට දමනු ලැබුවා. ඉන්පසු ඔවුන් කටින් ඇපල් ගෙඩියක් ඉවතට ගන්න වෑයම් කළා. ලැබෙන ඇපල් ගෙඩියට අනුව යමෙකුගේ අනාගත කලත්‍රයා තීරණය කළ හැකි බව ඔවුන් සිතුවා. අදදින හැලොවීන් කාලයේදීද ආත්ම බන්ධනය හා බැඳි මෙම ක්‍රීඩාව කරනු ලබනවා. එය හඳුන්වන්නේ බොබිං දි ඇපල්ස් [පාවෙන ඇපල් ඩැහැගැනීම] කියායි.

බීමත්කම හා සියලු සාරධර්මවලින් බැහැර වී අශික්ෂිත ලෙස හැසිරීම සෞඅන්වල තවත් ලක්ෂණයක්. “සම්ප්‍රදායානුකූල වැදගත්කමකින් යුත් සාරධර්ම ගණනකට නොගත්තා විතරක් නෙවෙයි, ඒවා කණපිටත් පෙරළුවා. තහනම් දේවලට අවසර දෙමින්, අවසර දී තිබූ දේවල් තහනම් කළා” කියා මාර්කේල් පවසනවා. හැලොවීන් තවමත් මෙවැනි හැසිරීම් රටාවකට උල්පන්දම් දෙන බව පැහැදිලියි. එසේ නම්, උත්සවය මෙතරම් ජනප්‍රිය වීම ගැන අප පුදුම විය යුතුද? ආගම් පිළිබඳ විශ්වකෝෂයේ (සිංහලෙන් නොමැත), වත්මනේ පවත්වන හැලොවීන් උත්සවය විස්තර කරන්නේ “සංස්කෘතික මායිම් බිඳ දමමින් වැඩිහිටියන්ට පවා එදිනෙදා ජීවිතයේ සීමා තහංචි අමතක කර, තමන්ට රිසි රිසි සේ විනෝද වීමට ලැබෙන කදිම අවස්ථාවක්” ලෙසයි. “විසිඑක්වන සියවස දක්වාම උත්සවයේ කෙල්ටික් ආභාෂය නොනැසී පැවතවිත් තිබේ. එදා මෙන් අදත් එය එදිනෙදා ජීවිතයේ යථාර්ථයන්ගෙන් හා අපේක්ෂාවන්ගෙන් මිදී රිසි සේ කටයුතු කළ හැකි වාර්ෂික සැමරීමකි.”

ආගමික මතභේද

දහනවවන සියවසේ ඇති වූ අර්තාපල් අර්බුදය නිසා එක්සත් ජනපදය කරා ගිය අයර්ලන්ත ජාතිකයන් හැලොවීන් උත්සවය එම රටටද ගෙන ගියා. පසුගිය වසර කිහිපය තුළදී එය නැවතත් යුරෝපයට හඳුන්වා දෙනු ලැබුවා. හැලොවීන් එන්න එන්නම ජනප්‍රිය වෙමින් පවතින නමුත් එය සැමගේ ප්‍රසාදයට ලක් වී නැහැ. ල මොන්ඩ් පුවත්පතේ එය මෙසේ විස්තර කරනවා. “සියලු සාන්තුවරුන්ගේ දවස සහ සියලු ආත්මයන්ගේ දිනය (නොවැම්බර් 1 හා 2) හා එක්ව දිව යන හැලොවීන්, එම නිවාඩු දින දෙකේ තැන ගැනීමටද ඉඩ තිබේ. කඩ සාප්පු හිමිකරුවන්ව සතුටට පත් කරන මෙම උත්සවය පල්ලියේ පූජකයන්ව නම් බියගන්වයි.”

සම්ප්‍රදායානුකූල කතෝලික නිවාඩු දින අභාවයට පත්වීමත් සමඟම හැලොවීන්වලට වැඩි තැනක් ලැබීම ප්‍රංශ පල්ලි නියෝජිතයන්ගේ අවධානයට භාජන වී තිබෙනවා. එය “සමාජය මිථ්‍යා දෘෂ්ටීකරණය වන බවට” පැහැදිලි ලකුණක් කියා ඔවුන් පවසනවා. කතෝලික බිෂොප්වරුන් සඳහා ප්‍රංශයේ පැවති එක්තරා සම්මේලනයක නියෝජිතයෙක් වන ස්ටැනිස්ලාස් ලලාන් පැවසුවේ, හැලොවීන් ‘ජීවිතයේ හා මරණයේ සැබෑ අරුත විකෘති කරන’ බවයි. නීස්හි බිෂොප්වරයා වන ශොන් බොන්ෆීස් මෙසේ අදහස් දැක්වුවා. “මෙම උත්සවය හා එහි චාරිත්‍ර වාරිත්‍ර අපේ මධ්‍යධරණි ක්‍රිස්තියානි සංස්කෘතියට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ.” ඔහු තවදුරටත් මෙසේ අනතුරු ඇඟෙව්වා. “එය ලෝ පුරා වෙසෙන සාතන්ට නමස්කාර කරන්නන්ගේ ප්‍රධානතම උත්සවයයි.”

ප්‍රංශ ජනයා දැන් කතෝලික සම්ප්‍රදායන් නොසලකා හරිමින් මිථ්‍යා දෘෂ්ටික උත්සවවලට මුල් තැන දීම ගැන ක්ලර්මොන්-ෆෙරොන්හි බිෂොප්වරයා වන ඉපොලීට් සීමොන් මෙසේ පැවසුවා. “ප්‍රංශ සමාජය දැන් ක්‍රිස්තියානි මඟ අත්හැර දමා තමාටම ගැළපෙන ආගමක් සොයා යනවා වගේ.” ඔහු තවදුරටත් මෙසේ ලිව්වා. “හැලොවීන්වලදී, මිය ගිය අය ලෙස රඟපෑම මගින් මළවුන්ව යළි පණගන්වනවා. අපව බියගැන්වීමටත් මරණ තර්ජන එල්ල කිරීමටත් මෙම ‘හොල්මන්’ අප වෙතට පැමිණෙනවා. ඒත් සියලු සාන්තුවරයන්ගේ දවස නම් ඊට වඩා වෙනස්. අපෙන් වෙන් වූ අය තවමත් ජීවත් වන බවත් දෙවියන්ගේ නුවරේදී අපට ඔවුන්ව යළි හමු විය හැකි බවත් එමගින් අපට සහතික වෙනවා.”—Vers une France païenne? (ප්‍රංශය—මිථ්‍යා දෘෂ්ටික ගමන් මඟක?) නමැති කෘතියෙන් උපුටන ලද්දකි.

මේ ආකාරයෙන්ම, මිලාන්හි කාදිනල් කාර්ලෝ මරෙයා මාර්ටිනිද ඉතාලියේ ජනයාගෙන් ඉල්ලා සිටියේ කතෝලික නිවාඩු දින අමතක නොකරන්න කියායි. හැලොවීන් “දිගින් දිගටම රැකගත යුතු අපේ වටිනා සංස්කෘතියට විදේශී වූ යමක්. සියලු ආත්මයන්ගේ දිනය නම් අපේ ඉතිහාසය හා බැඳී පවතිනවා. එය සදාකාල ජීවනය පිළිබඳ අපේ අවබෝධය ක්‍රමක්‍රමයෙන් පුළුල් කරගැනීමට ඉවහල් වන අවස්ථාවක්. මෙලොවෙහි ජීවිතයට වඩා වැඩි යමක් තිබෙන බව ස්වාමීන් අපට එමගින් එළිදරව් කරනවා” කියා කාදිනල් මාර්ටිනි තවදුරටත් පැවසුවා. බොහෝ කතෝලික බැතිමතුන්ටද මෙලෙස හැඟෙන බවට සැකයක් නැහැ. ඒත් ඉහත සඳහන් ප්‍රකාශයන් අඟවන ආකාරයට හැලොවීන් හා සියලු ආත්මයන්ගේ දිනය අතර ඒ තරම්ම පැහැදිලි වෙනසක් තිබෙනවාද? මෙම කතෝලික නිවාඩු දිනවල සුල මුල පරීක්ෂා කර බැලීමේදී හෙළි වන්නේ කුමක්ද?

ශුද්ධකම වෙස්වලා ගත් සැමරීම්

කතෝලික විශ්වකෝෂයේ (සිංහලෙන් නොමැත) සියලු සාන්තුවරුන්ගේ දවස නිර්වචනය කර තිබෙන්නේ “දන්නා හා නොදන්නා සියලුම සාන්තුවරුන්ට ගරුබුහුමන් දැක්වීම උදෙසා” පවත්වන මංගල්‍යයක් වශයෙන්. දෙවන සියවසේ අගභාගය වන විට ක්‍රිස්තියානියයි කියාගත් බොහෝදෙනෙක් තමන්ගේ ඇදහිල්ල වෙනුවෙන් දිවි පිදූ අයට ගරුබුහුමන් දැක්වීමට පටන්ගත්තා. ප්‍රාණ පරිත්‍යාග කළ මෙම ඇදහිලිවන්තයන් ඒ වන විටත් ක්‍රිස්තුස් සමඟ ස්වර්ගික සැප භුක්ති විඳින බව විශ්වාස කළ නිසා, ඔවුන්ට යාච්ඤා කරමින් තමන් වෙනුවෙන් මැදිහත් වන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. පොදු යුගයේ 609 හෝ 610 මැයි 13වනදා b වාර්ෂික සැමරීමක් ආරම්භ වුණා. එදින IVවන බොනිෆේස් පාප්, රෝමවරුන්ගේ සියලු දෙවි දේවතාවන් සඳහා කැප කර තිබූ පැන්තියන් දේවස්ථානය මරියා හා ප්‍රාණ පරිත්‍යාගීන් වෙනුවෙන් කැප කළා. මාර්කේල් ඒ පිළිබඳව මෙසේ පැවසුවා. “රෝම දෙවි දේවතාවන් තමන්ගේ වාසස්ථානය ජයග්‍රාහී ආගමේ දෙවි දේවතාවන්ට දී සමුගත්තා.”

උත්සවය පවත්වන දිනය වෙනස් වුණේ IIIවන ග්‍රෙගරි පාප්ගේ (පො.යු. 731-741) පාලන සමයේදීයි. ඔහු සියලුම සාන්තුවරුන් වෙනුවෙන් රෝමයේ පල්ලියක් කැප කළ අතර ඔවුන්ට ගෞරවය දැක්වීම සඳහා නොවැම්බර් 1වනදා වෙන් කර තබන්න කියා නියෝග කළා. ඔහු මෙසේ කළේ ඇයි කියා හරියටම දන්නේ නැහැ. සමහරවිට එම දිනයේදීම එංගලන්තයේත් ඊට සමාන නිවාඩු දිනයක් සැමරීම මෙයට හේතු වන්න ඇති. ආගම් පිළිබඳ විශ්වකෝෂයේ පවසන්නාක් මෙන්, “මහා බ්‍රිතාන්‍යය ක්‍රිස්තියානිකරණය වූ කාලයේදී පවා කෙල්ට්වරුන් අතර සෞඅන් උත්සවයේ ජනප්‍රියත්වය හීන වූයේ නැත. මිථ්‍යා දෘෂ්ටික සිරිත් විරිත් කෙරෙහි ජනයා දැක්වූ ඇල්ම වෙනතකට යොමු කිරීමට, බ්‍රිතාන්‍ය පල්ලිය සෞඅන් උත්සවය පැවැත්වූ දවසේම ක්‍රිස්තියානි උත්සවයක්ද පැවැත්වීමට කටයුතු යෙදූ අතර එය දින දර්ශනයට ඇතුළත් කළේය. . . . මධ්‍යතන යුගයේදී බ්‍රිතාන්‍යය සියලු සාන්තුවරුන්ගේ දවස සැමරූ නිසා ලෝ පුරා ක්‍රිස්තියානි පල්ලිවලට එය පැවැත්වීමට රුකුලක් වන්නට ඇත.”

මෙම වකවානුවේදී යුරෝපය පුරාම අයර්ලන්ත ජාතික පැවිද්දන්ගේ බලපෑම එන්න එන්නම ප්‍රබල වූ බවත් මාර්කේල් පෙන්වා දුන්නා. නව කතෝලික විශ්වකෝෂයට (සිංහලෙන් නොමැත) අනුව, “අයර්ලන්ත ජාතිකයෝ සාමාන්‍යයෙන් මාසයේ පළමුවන දිනය වැදගත් මංගල්‍යයන් උදෙසා වෙන් කර තැබූහ. තවද නොවැම්බර් 1වනදා කෙල්ට්වරුන්ගේ ශීත ඍතුවේ ආරම්භය වූ නිසා එය සියලු සාන්තුවරුන් උදෙසා මංගල්‍යයක් පැවැත්වීමට සුදුසු දිනයක් වශයෙන් සැලකීම පුදුමයක් නොවේ.” අන්තිමේදී, පො.යු. 835දී IVවන ග්‍රෙගරි පාප් මෙම උත්සවය විශ්වනීය එකක් බවට පත් කළා.

ශුද්ධගිනි ස්ථානයේ සිටින ආත්මයන්ට ස්වර්ගික සැප භුක්ති විඳින්න ප්‍රස්තාව ලබා දීම සඳහා යාච්ඤා කරන සියලු ආත්මයන්ගේ දිනය පවත්වන්නේ නොවැම්බර් 2වනදායි. මෙම දිනය ස්ථාපිත කළේ 11වන ශතවර්ෂයේදී ප්‍රංශයේ ක්ලූනිහි විසූ පැවිද්දන්. සියලු ආත්මයන්ගේ දිනය කතෝලික නිවාඩු දිනයක් වශයෙන් නම් කළත් සාමාන්‍ය ජනයාට නම් එම දවස පිළිබඳව ඒ තරම්ම පැහැදිලි අවබෝධයක් තිබුණේ නැහැ. “මෙම දිනයේදී, ශුද්ධගිනි ස්ථානයේ සැරිසරන ආත්මයන්ට මුළා කරවනසුලු අන්දමින් මායාකාරියන්, මැඩියන් ලෙස පෙනී සිටිය හැකි බවට ජනප්‍රිය මතයක් මධ්‍යතන යුගයේ පැවතුණ” බව නව කතෝලික විශ්වකෝෂයෙහි සඳහන් වෙනවා.

එහි සාමාජිකයන් අතර පැවති මිථ්‍යා දෘෂ්ටික විශ්වාසයන් නැති කර දැමීමට නොහැකිව සිටි පල්ලිය, ඒවාට “ක්‍රිස්තියානි” වේශයක් ආරූඪ කිරීමට තීරණය කළා. මෙය සනාථ කරමින් ආගම් පිළිබඳ විශ්වකෝෂය මෙසේ අදහස් දැක්වුවා. “සියලු සාන්තුවරුන්ගේ මංගල්‍යය නමැති ක්‍රිස්තියානි උත්සවයේදී ක්‍රිස්තු ධර්මයේ දන්නා හා නොදන්නා සාන්තුවරුන්ව සිහිපත් කෙරේ. එය හරියටම කෙල්ට්වරුන් තම දෙවි දේවතාවන්ව පිළිගනිමින් ඔවුන්ට ගරුබුහුමන් දැක්වූ සෞඅන් උත්සවය මෙනි.”

ජනප්‍රිය උත්සව සහ ඔබ

හැලොවීන් හා ඊට සමාන සැමරීම්වල මිථ්‍යා දෘෂ්ටික සුල මුල ඔබ කොතෙක් දුරට තැකිය යුතුද? බොහෝදෙනෙකුගේ මතයට අනුව හැලොවීන් කියන්නේ වෛවාරණ ඇඳුම්වලින් සැරසී විනෝද වීමට ලැබෙන අවස්ථාවක්. ඒත් දරුවන් ලුහුබඳින විනෝදාංශයන් හානිකර නොවන යහපත් ඒවා බව දෙමව්පියන් සහතික කරගත යුතුයි කියා ඔබ එකඟ වන්නේ නැද්ද?

හැලොවීන් ළමුන්ට බලපාන්නේ කෙසේද කියා ප්‍රංශයේ අවුරුදු 20ක් පුරා ගුරු වෘත්තියේ අද්දැකීම් ලත් පාසැල් පරීක්ෂකයෙකුගෙන් විමසුවා. ඔහුගේ පිළිතුරු වූයේ මෙයයි. “ගෙයින් ගෙයට ගිහින් වැඩිහිටියන්ට තර්ජනය කරලා එයාලාගෙන් රස කැවිලි ඉල්ලන එක දරුවන්ට දිගු කාලීන හානියක් කරාවි කියලා මට බයක් තියෙනවා. එයාලා තමුන් ගැන විතරක්ම හිතන ආත්මාර්ථකාමී පුද්ගලයන් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. අන්‍යයන්ව පීඩනයට පත් කිරීමෙන්, බියගැන්වීමෙන් හා බලහත්කාරයෙන් දේවල් ඉල්ලීමෙන් තමන්ට ඕන දේ ලබාගන්න පුළුවන් කියලා එයාලා ඉගෙනගන්නවා.” ඒ නිසා දෙමව්පියන් තමන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ‘මේ උත්සවය සැමරීමෙන් මගේ දරුවන් ඉගෙනගන්නේ මොන වගේ “පාඩමක්ද?”’ යන්නයි.

ළමයින් ඉල්ලන ඉල්ලන වේලාවට රස කැවිලි හා ඇඳුම් අරන් දෙන්න ගියොත් සෑහෙන මුදලක් වැය වෙන බව බොහෝ දෙමව්පියන් දන්නවා. “හැලොවීන් කියන්නේ නිවාඩු දිනයක් නෙවෙයි, බිස්නස්කාරයෝ ගජ වාසි ලබන දවසක්” කියා ප්‍රංශයේ ජීවන තත්වයන් අධ්‍යයනය කිරීමට හා නිරීක්ෂණ කිරීමට පිහිටුවා ඇති ගවේෂණ ආයතනයක ප්‍රධාන අධ්‍යක්ෂක රොබ්යෑ රොෂ්ෆෝර් පැවසුවා. නත්තලට පෙර කඩ සාප්පුවල වැඩි වෙළඳාමක් සිදු වෙන්නේ නැහැ. හැලොවීන්වලදී එම පාඩුව හිලව් වෙනවා. වෙනත් විදිහකින් කිව්වොත්, හැලොවීන් කියන්නේ ජනයාව විශාල පීඩනයකට ලක් කරමින් ඔවුන්ට සල්ලි වියදම් කරන්න සලස්වන තවත් අවස්ථාවක්. බොහෝවිට ඒ තරම් සල්ලි නොතිබුණත් අතේ තිබෙන දේ වියදම් කිරීමට ඔවුන් පෙලඹෙනවා. වැඩි පිරිසක් මුදල් වියදම් කරන නිසා ඔබත් එසේ කළ යුතුමද?

නමුත් ක්‍රිස්තියානීන්ට සිතා බැලීමට ඊට වඩා වැදගත් කාරණයක් තිබෙනවා. එනම්, හැලොවීන් හා ඊට සමාන අනිත් උත්සව මිථ්‍යා දෘෂ්ටික ඉගැන්වීම්වල ප්‍රබල බලපෑමට හසු වී තිබීමයි. “නුඹලා යක්ෂයන් සමඟ සහභාගිව සිටිනවාට නොකැමැත්තෙමි. නුඹලාට [ස්වාමීන්ගේ] කුසලානෙන්ද යක්ෂයන්ගේ කුසලානෙන්ද බොන්ට නුපුළුවන” කියා ප්‍රේරිත පාවුල් ලිව්වා. (1 කොරින්ති 10:20-22) ඔහු තවදුරටත් මෙසේ ඇසුවා. “ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමඟ ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? බෙලියෙල් [යක්ෂයා] සමඟ [ක්‍රිස්තුස්ගේ] ඇති එකමුතුකම මොකද? නොහොත් නොඅදහන කෙනෙකු සමඟ ඇදහිලිවන්තයෙකුගේ ඇති කොටස මොකද?” (2 කොරින්ති 6:14-16) ඔව්, ක්‍රිස්තියානි වේශයක් ආරූඪ කර ඇති මිථ්‍යා දෘෂ්ටික සිරිත් විරිත් බයිබලය හෙළා දකිනවා.

බයිබලයේ භූතවාදය ගැනද අනතුරු අඟවනවා. (ද්විතීය කතාව 18:10-12) හැලොවීන් සමරන බහුතරයක්ම සාතන් නමස්කාරයට සබැඳි දේවල් ප්‍රතික්ෂේප කරන බව කියා සිටියත්, මෙම නිවාඩු දිනයේ ඉතිහාසය හා භූතවාදය අතර කිට්ටු සම්බන්ධයක් තිබෙනවා. එමනිසා එය භූතවාදයට පහසුවෙන්ම නැඹුරු වීමට මං විවර කර දෙනවා. මෙය විශේෂයෙන්ම බලපාන්නේ පහසුවෙන්ම නම්මාගත හැකි යෞවනයන්ටයි. භූතවාදය හා මුසු වූ මිථ්‍යා දෘෂ්ටික වත්පිළිවෙත් හා සම්ප්‍රදායන් ක්‍රිස්තියානි නමස්කාරයට කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. ඒවා හානිකර නැහැයි කියා කොහෙත්ම පැවසිය නොහැකියි.

අවසාන වශයෙන් පැවසිය යුතු යමක් තිබෙනවා. එනම් හැලොවීන්, සියලු සාන්තුවරුන්ගේ දවස හා සියලු ආත්මයන්ගේ දිනය වැනි සැමරීම් පදනම් වී තිබෙන්නේ, මළවුන් දුක් විඳින බව හෝ ජීවත්ව සිටින අයට හානියක් හෝ සෙතක් සැලසීමට ඔවුන්ට හැකියි යන විශ්වාසයන් මතයි. ඒත් බයිබලය නම් මේ විශ්වාසයන් අසත්‍යය බව පෙන්වනවා. “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති” කියා එහි පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. (දේශනාකාරයා 9:5) එමනිසා බයිබලය අවවාද කරන්නේ “කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත” කියායි. (දේශනාකාරයා 9:10) මළවුන් සිහි කල්පනාව නැති තත්වයක සිටින නිසා ඔවුන් දුක් විඳින්නේ නැහැ. කිසිවෙකුට හානියක් කරන්නත් ඔවුන්ට නොහැකියි. එමනිසා මළවුන්ට බියවීමට කිසිම පදනමක් නැහැ. ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමද නිෂ්ඵලයි. මෙයින් අදහස් කරන්නේ අපේ මිය ගිය හිතවතුන්ට කිසිම බලාපොරොත්තුවක් නැහැයි කියාද? බලාපොරොත්තුවක් තිබෙන බව සහතික කරමින් බයිබලය අපට මෙසේ පවසයි. “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේය.”—ක්‍රියා 24:15. c

යම් කාරණයක් පිළිබඳව බුද්ධිමත් තීරණයක් ගැනීමට නම් සියලු දත්ත අවශ්‍යයි. අවශ්‍ය දැනුම ලබාගත්තාට පස්සේ ඒ පිළිබඳව යම් තේරීමක් කරන්න අපට නිදහස තිබෙනවා. මේ ලිපි මාලාවේ ඉදිරිපත් කළ දත්ත සලකා බැලුවායින් පසු ඔබ ගන්නා තීරණය කුමක් වේවිද?

[පාදසටහන්වල]

a සෞඅන් කියන්නේ කෙල්ට්වරුන්ගේ මරණයට අධිපති දෙවියන්ගේ නාමයයයි මතයක් තිබුණත්, එය ඇත්ත වශයෙන්ම එම උත්සවයට දී තිබුණ නමයි. සෞඅන් උත්සවයේදී ගරුබුහුමන් දැක්වූයේ ආලෝකයට අධිපති දෙවියන්ටයි කියා කෙල්ට්වරුන් පිළිබඳව විශාරදයෙක් වන ප්‍රංශ ජාතික ශොන් මාර්කේල් පැහැදිලි කළා.

b මෙම උත්සවය හා එක්ව දිව ගිය ලෙමුරියා නම් රෝම උත්සවය මැයි 9, 11 සහ 13 යන දිනවලදී පැවැත්වුවා. මෙය සැමරුවේ මිය ගිය අයගේ ආත්ම සැනසීම උදෙසාය. මෙසේ කළේ එම මිය ගිය අයගේ ආත්ම මගින් ඥාතීන්ට හානියක් හෝ හිරිහැරයක් වීම වළක්වන පිණිසයි.

c නැවත නැඟිටීම පිළිබඳව බයිබලයේ සපයන බලාපොරොත්තුව ගැන වැඩිමනත් විස්තර දැනගැනීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කරන ලද සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොතෙහි “අප ප්‍රේම කළ මියගිය අයට සිදු වන්නේ කුමක්ද?” යන මැයෙන් යුත් 9වන පරිච්ඡේදය බලන්න.

[18වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මළවුන් ඇත්තටම මැරී නැහැ, තවමත් ජීවත්ව සිටිනවා යන බොරුවට හැලොවීන් දිගටම අනුබල දෙයි

[19වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කෙල්ට්වරුන්ගේ ආත්ම බන්ධන වත්පිළිවෙත් හැලොවීන් ක්‍රීඩාවලදී දක්නට ලැබෙනවා

[18වන පිටුවේ පින්තූරය]

හැලොවීන් පැවත ඇවිත් තිබෙන්නේ ආලෝකයට අධිපති දෙවියන් වන ලග්ට ගරුබුහුමන් දැක්වූ කෙල්ටික් උත්සවයකින්

[18වන පිටුවේ පින්තූරය]

කෙල්ටික් කුරුස සංකේත ඇති ඉපැරණි සොහොන් පිටියක්

[18, 19වන පිටුවේ පින්තූරය]

බොබිං දි ඇපල්ස් ක්‍රීඩාව පැවත එන්නේ කෙල්ට්වරුන්ගෙන්

[හිමිකම් විස්තර]

මූලාශ්‍රය: The Delineator October 1911

[20වන පිටුවේ පින්තූරය]

IVවන බොනිෆේස් පාප් මිථ්‍යා දෘෂ්ටික පැන්තියන් දේවස්ථානය මරියා හා පල්ලියේ සියලුම ප්‍රාණ පරිත්‍යාගීන් වෙනුවෙන් කැප කළා

[21වන පිටුවේ පින්තූරය]

හැලොවීන් ඔබේ දරුවන්ට බලපාන්නේ කෙසේද?

[22වන පිටුවේ පින්තූරය]

සැබෑ ක්‍රිස්තියානීන් පවුලක් හැටියට සුවදායී විනෝදාංශ භුක්ති විඳිනවා