ජීවයට නැතුවම බැරි විවිධත්වය
ජීවයට නැතුවම බැරි විවිධත්වය
වර්ෂ 1840දී ජනගහනය මිලියන අටක් ඉක්මවූ අයර්ලන්තය යුරෝපයේ වැඩිම ජන ඝනත්වයකින් යුත් රට බවට පත් විය. එහි වැසියන්ගේ ප්‍රධාන ආහාරය අර්තාපල් වූ අතර, බහුල ලෙස වගා කරනු ලැබුවේ ලම්පර් කියා හැඳින්වූ වර්ගයයි.
වර්ෂ 1845දීද ගොවියන් වෙනදා මෙන් ලම්පර් අල වර්ගය වගා කළ නමුත් අංගමාරය කියා හඳුන්වනු ලබන දිලීර රෝගය වැළඳීම නිසා අල වගාව මුළුමනින්ම පාහේ විනාශ විය. “එම වසරේදී ඇති වූ දුෂ්කරතාවලට මුහුණ දීමට අයර්ලන්ත වැසියන් බොහෝදෙනෙකුට හැකි විය” කියා පෝල් රේබන් විසින් රචිත පොතක (The Last Harvest—The Genetic Gamble That Threatens to Destroy American Agriculture) සඳහන් විය. “ඊළඟ වසරේද එම රෝගය නිසා අර්තාපල් වගාව විනාශ වෙන්න පටන්ගත්තේය. එම අර්තාපල් වර්ගයම වගා කරනවා හැරෙන්න වෙනත් කිසිම විකල්පයක් ගොවීන්ට නොතිබිණ. නැවතත් අංගමාරය හටගත් අතර, ඒ වතාවේදී ඇති වූ විනාශය හා මිනිසුන් අද්දුටු දුක්ගැහැට විස්තර කළ නොහැකි තරමට දරුණු විය.” ඉතිහාසඥයන්ගේ ගණන් බැලීම්වලට අනුව, දශලක්ෂයක් පමණ සාගතයෙන් මිය ගිය අතර, තවත් දශලක්ෂ 1.5ක් වෙනත් රටවලට සංක්‍රමණය විය. වැඩිදෙනෙක් සංක්‍රමණය වූයේ අමෙරිකා එක්සත් ජනපදයටය. ඉතිරි වූ අය දිළිඳුකම නිසා වින්ද දුක්ගැහැට අපමණය.
දකුණු අමෙරිකාවේ ඇන්ඩිස් කඳුවැටිය අසල විසූ ගොවීන් විවිධ වර්ගයේ අර්තාපල් වගා කළ නමුත්, අංගමාර රෝගයට ගොදුරු වූයේ වර්ග කිහිපයක් පමණි. මේ නිසා අර්තාපල් වගාව වසංගතයකට ගොදුරු නොවීය. මෙයින් පැහැදිලි වන්නේ, බෝග විශේෂ අතර විවිධත්වයක් හා එම විශේෂ අතර පවා විවිධත්වයක් තිබීමෙන්
එම බෝග රෝගවලින් ආරක්ෂා කරගත හැකි බවයි. තනි බෝගයක් වගා කිරීමෙන් නොයෙක් උවදුරුවලින් වගාව ආරක්ෂා කරගැනීමේ ක්‍රම උපායන් සාර්ථක කරගත නොහැක. එයින් සිදු වන්නේ වගාවට යම් රෝගයක් හෝ හානිකර කෘමීන් බෝ වුවහොත් එම රෝගය හෝ කෘමීන් මුළු ප්‍රදේශයේම තිබෙන වගාවන්ට පැතිර යෑමයි. කෘමි නාශක, වල් නාශක හා දිලීර නාශක මගින් පරිසරයට මහත් හානියක් සිදු කළත් ගොවියන් බොහෝදෙනෙකු බහුල වශයෙන් ඒවා භාවිත කරන්නේ ඒ හේතුව නිසාය.ගොවියන් විවිධ ප්‍රභේදවලට අයත් බෝග වර්ග වගා කරනවා වෙනුවට තනි බෝගයක් වගා කරන්නේ මන්ද? මෙයට ප්‍රධානතම හේතුව ආර්ථිකය මගින් ඇති කරන පීඩනයයි. තනි බෝගයක් වගා කිරීමෙන් මතු දැක්වෙන ප්‍රයෝජන ලබාගත හැකියි කියා විශ්වාස කෙරේ. අස්වැන්න නෙළීම පහසුය. නිෂ්පාදනයේ ආකර්ෂණීයභාවය වැඩි වෙයි. නරක් වීමේ හැකියාව අඩුය. වැඩි ඵලදාවක් ලබාගත හැක. වර්ෂ 1960 ගණන්වලදී හරිත විප්ලවය හඳුන්වා දීමත් සමඟ තනි බෝගයක් වගා කිරීමේ නැඹුරුවාව මහා පරිමාණයෙන් වර්ධනය වන්න පටන්ගත්තේය.
හරිත විප්ලවය
විවිධ බෝග වර්ග වගා කරනවා වෙනුවට හොඳ අස්වැන්නක් ලබා දෙන තනි බෝගයක් පමණක් වගා කරන්නැයි සාගත ඇති විය හැකි රටවල සිටින ගොවීන්ට බොහෝ ආණ්ඩු හා ඇතැම් ව්‍යාපාර මගින් උනන්දු කරනු ලැබීය. මෙහිදී, වී හා තිරිඟුවලට හිමි වූයේ විශේෂ තැනකි. “පුදුම අස්වැන්නක්” ලබා දෙන මෙම බෝග ලෝක ආහාර ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙනු ඇතැයි සිතමින් ඒ ගැන ප්‍රශංසාත්මක මුඛයෙන් කතා කරන ලදි. එහෙත් එම ධාන්‍ය වර්ග වගා කිරීම සඳහා දැරීමට සිදු වන වියදම අධික වූ අතර, බීජවල මිලද සාමාන්‍ය මිල මෙන් තුන්ගුණයකින් පමණ ඉහළ නැග්ගේය. අස්වැන්න මුළුමනින්ම පාහේ රඳා පැවතියේ පොහොර ඇතුළු රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම මතය. එපමණක්ද නොව ට්‍රැක්ටර් වැනි මිල අධික ආම්පන්න භාවිත කිරීමටද සිදු විය. කෙසේවෙතත්, ආණ්ඩුවල ආධාර උපකාර ඇතුව හරිත විප්ලවය දස දෙස පැතිරෙන්නට විය. “දශලක්ෂ ගණනකගේ කුසගිනි නිවාලන්න එයට හැකි වුවත්, දැන් එය ලෝක ආහාර සැපයුමෙහි සුරක්ෂිතභාවයට තර්ජනයක් වෙමින් පවතී” කියා රේබන් පවසයි.
හරිත විප්ලවය මගින් කෙටි කාලීනව වාසි රැසක් අත් කරගැනීමට හැකි වුවත් එයින් සිදු වන දිගු කාලීන අවදානම් මඟහැරිය නොහැක. එකම වර්ගයේ ධාන්‍ය වගා කිරීම මහාද්වීප පුරා ශීඝ්‍රයෙන් පැතිරෙන්න පටන්ගත්තේය. කෙසේවෙතත්, මේ ක්‍රමයට වගා කිරීමේදී පොහොර බහුලව භාවිත කිරීම නිසා වල් පැළෑටි ශීඝ්‍රයෙන් වර්ධනය වූ අතර, කෘමි නාශක භාවිතය නිසා ප්‍රයෝජනවත් කෘමීන්ද විනාශ විය. කුඹුරුවල විෂ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මසුන්, ඉස්සන්, කකුළුවන්, මැඩියන් හා පලා ජාති විනාශ විය. මේවායින් බොහොමයක් මිනිසා සිය ආහාර වේලට එකතු කරගනී. රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම නිසා ගොවීන් අතරද නොයෙක් රෝග ඇති විය.
එක්සත් රාජධානියේ විවෘත විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ ගුරුවරයෙකු වන ආචාර්ය මේවාන් හෝ මෙසේ සඳහන් කළේය. “‘හරිත විප්ලවය’ හඳුන්වා දුන් කාලයේදී විශාල වශයෙන් ව්‍යාප්ත වූ තනි බෝගයක් වගා කිරීමේ ක්‍රමය ජෛව විවිධත්වයට හා ලෝක ආහාර සැපයුමේ සුරක්ෂිතභාවයට අහිතකර ලෙස බලපා තිබෙන බවට දැන් කිසිඳු වාදයක් නැත.” එක්සත් ජාතීන්ට අනුබද්ධ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තාවලට අනුව, මීට සියවසකට කලින් වගා කරන ලද විවිධ ජානවලින් යුත් බෝග අතරින් සියයට 75ක් අද වන විට තුරන් වී තිබේ. මෙයට ප්‍රධානතම හේතුව කෘෂිකර්මාන්තය කාර්මීකරණයට ලක්වීමයි.
“ජානවල සමානතාවක් ඇති කරන්න යෑමෙන් අප කරන පාරිසරික හානිය අතිවිශාලයි” කියා වර්ල්ඩ් වොච් ආයතනය මගින් පළ කළ වාර්තාවක අනතුරු අඟවයි. මෙම හානි අවම කළ හැක්කේ කෙසේද? මේ සඳහා කෘෂි විද්‍යාඥයන්ගේ සහය මෙන්ම ප්‍රබල රසායනික ද්‍රව්‍යයද අවශ්‍ය වේ. එපමණක්ද නොව ගොවීන්ට අවශ්‍ය මූල්‍යමය ආධාරද ලබා දිය යුතුය. මේ සියල්ලම කළත් ස්ථිර විසඳුමක් ගැන සහතික විය නොහැක. තිරිඟු වගාව විනාශ කළ දිලීර රෝගයක් එක්සත් ජනපදයේ පැතිර යෑමටත් ඉන්දුනීසියාවේ කුඹුරු අක්කර දශලක්ෂ පහක්
විනාශ වී යෑමටත් බලපෑ එක් ප්‍රධාන හේතුවක් වූයේ ජානවල සමානතාවක් ඇති කිරීමය. කෙසේවෙතත්, මෑතක සිට කෘෂිකර්මාන්තයේ නව වෙනසක් සිදුවීමට පටන්ගෙන තිබේ. එය නම් ජානවල යම් සකස් කිරීම් කිරීමෙන් ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය පාලනය කිරීමයි.ජාන විප්ලවය
ජාන පිළිබඳව කෙරෙන අධ්‍යයනවල ප්‍රතිඵලයක් වශයෙන් ලාභදායී නව ව්‍යාපාරයක් බිහි වී තිබෙන අතර, එය ජෛව තාක්ෂණය කියා හඳුන්වනු ලැබේ. එම නමින්ම කියවෙන්නාක් මෙන් මෙහිදී සිදු වන්නේ, ජාන ඉන්ජිනේරු විද්‍යාව වැනි තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගි කරගනිමින් ජීව විද්‍යාවෙහි හා නවීන තාක්ෂණයෙහි සම්මිශ්‍රණයක් ඇති කිරීමයි. වැඩි අස්වැන්නක් ලබාගත හැකි, රෝගවලට හා නියඟයට මෙන්ම අධික ශීතලට ඔරොත්තු දෙන, විෂ රසායනික ද්‍රව්‍ය භාවිතය අඩු කරන බෝග උත්පාදනය කරන බීජවලට පේටන්ට් බලපත්‍ර ලබාගැනීම සඳහා, කෘෂිකර්මාන්තය පිළිබඳ විශේෂඥ දැනුමක් සතු නව ජෛව තාක්ෂණික ක්‍රම හඳුන්වා දෙන සමාගම් දැඩි ප්‍රයත්නයක් දරමින් සිටියි. එවැනි බීජ නිෂ්පාදනය කළ හැකි නම් ඉහත සඳහන් කළ ඉලක්ක අත් කරගත හැක. එනමුත් ජාන වෙනස් කළ ආහාර බෝග ගැන ඇතැමුන් විවිධ ප්‍රශ්න මතු කර තිබේ.
“යම් ප්‍රමාණයකට ජානමය විවිධත්වයක් ස්වාභාවිකව සිදු වේ” කියා එක් පොතක සඳහන් වේ (Genetic Engineering, Food, and our Environment). “එක රෝස වර්ගයක් තවත් රෝස වර්ගයක් සමඟ දෙමුහුන් කළ හැකි වුවත්, කවදාවත් රෝස අර්තාපල් සමඟ දෙමුහුන් කළ නොහැක. . . . ජාන ඉන්ජිනේරු විද්‍යාවේදී සාමාන්‍යයෙන් කෙරෙන්නේ යම් විශේෂයක දක්නට නොලැබෙන හිතකර ලක්ෂණ ලබාගැනීම සඳහා වෙනත් විශේෂයකින් ගනු ලබන ජාන එම විශේෂයට ඇතුල් කිරීමයි. නිදසුනක් වශයෙන්, උත්තරධෘවයේ වෙසෙන අධික ශීතලට ඔරොත්තු දෙන මත්ස්‍යයෙකුගෙන් ලබාගන්න ජානයක් අර්තාපල්වල හෝ ස්ට්‍රෝබෙරිවල තිබෙන ජානවලට එක් කිරීමෙන් හිම නිසා නරක් නොවන අර්තාපල් හෝ ස්ට්‍රෝබෙරි නිෂ්පාදනය කළ හැක. බැක්ටීරියා, වෛරස්, කෘමීන්, සතුන් හා මිනිසුන්ගෙන් පවා ලබාගන්න ජාන බෝගවලට ඇතුල් කිරීමෙන් නව බෝග වර්ග හඳුන්වා දීමේ හැකියාව අද තිබේ.” a මෙයින් පෙනී යන්නේ විවිධ සත්ව හා ශාක විශේෂ වෙන් කර දක්වන ජාන නමැති වැට කඩොලු බිඳ දැමීමට ජෛව තාක්ෂණය නිසා මිනිසා සමත් වී තිබෙන බවයි.
හරිත විප්ලවයේදී යම් ගැටලු මතු වූවාක් මෙන් ජානවල සමානතාවක් ඇති කිරීම නිසා මතු වී තිබෙන ගැටලුවලට ‘ජාන විප්ලවය’ කියා සමහරුන් හඳුන්වන දෙය හේතු වී තිබේ. ක්ලෝනකරණය හා පටක රෝපණය වැනි තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගි කරගනිමින් සර්වසම පිටපත් නොහොත් ක්ලෝන බිහි කරන්න ජාන විද්‍යාඥයන්ට හැකිවීම නිසා මේ හා සම්බන්ධ ගැටලු තවත් උග්‍ර වන බව සමහරු පවසති. මේ නිසා ජෛව විවිධත්වය සෝදාපාළුවට ලක්වීම ගැන මතවාද ඉදිරියට ඇදී යයි. මෙම හේතුව නිසා, ජානමය වශයෙන් වෙනස්කම්වලට ලක් කරන ලද ශාක මගින් මිනිසා සහ පරිසරය කෙරෙහි ඇති කරන බලපෑම් හා සම්බන්ධ අලුත් ගැටලු මතු වේ. “සීමාවන් හා ප්‍රතිඵල ගැන හරිහැටි අවබෝධයක් නොමැතිව බලාපොරොත්තු පොදි බැඳගෙන අපි නව කෘෂි ජෛව තාක්ෂණික යුගයකට අන්ධයන් මෙන් පිය නඟන්නෙමු” කියා විද්‍යා ලේඛක ජෙරමි රිෆ්කින් පැවසුවේය. b
අනිත් අතට, තමන්ට රිසි සේ ජාන වෙනස් කිරීමට තිබෙන හැකියාව කප් රුකක් ලෙස සැලකිය හැකියි. මේ නිසා නව බීජ හා ජාන ඉන්ජිනේරු තාක්ෂණය මගින් කරන සොයාගැනීම් සඳහා පේටන්ට් බලපත්‍ර බලාගැනීමේ තරඟයක් ඇති වී තිබේ. මෙම තරඟය නිසා ශාක වඳ වී යෑම ගැන කතා කිරීම පසෙකට තල්ලු වී ඇත. කලින් සඳහන් කළ පරිදි ඇතැම් ආණ්ඩු හා පෞද්ගලික ආයතන මෙම විනාශය වැළැක්වීමේ අරමුණින් බීජ බැංකු පිහිටුවීමට පියවර ගෙන තිබේ. විවිධ බෝග වගා කිරීමට අවශ්‍ය බීජ අනාගත පරම්පරාවලට ලබා දීමට මෙම බැංකු සමත් වෙයිද?
බීජ බැංකු බෝග සුරකියිද?
එංගලන්තයේ කිවූහි පිහිටි රාජකීය උද්භිද උද්‍යානය මගින් “ජාත්‍යන්තර වශයෙන් මෙතෙක් අතගසා තිබෙන විශාලතම ව්‍යාපෘතිවලින් එකක්” ලෙස ගණන් ගත හැකියි කියා පවසන වැඩපිළිවෙළක් දියත් කර තිබේ. සහස්‍ර බීජ බැංකු ව්‍යාපෘතිය ලෙස හඳුන්වන එම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු දෙකකි. ඉන් පළමුවැන්න වන්නේ, වසර 2010 වන විට ලොව පුරා තිබෙන බීජ දරන ගස්වලින් සියයට දහයක්, එනම් ශාක විශේෂ 24,000කට වැඩි ප්‍රමාණයක් එකතු කර සංරක්ෂණය කිරීමයි. දෙවන අරමුණ වන්නේ, එක්සත් රාජධානිය පුරා තිබෙන බීජ දරන ගස්වල බීජ හැකි ඉක්මනින් එකතු කර සංරක්ෂණය කිරීමයි. වෙනත් රටවල්ද බීජ බැංකු පිහිටුවා තිබේ. මේවා ජාන බැංකු කියාද ඇතැම් අවස්ථාවලදී හඳුන්වනු ලැබේ.
බීජ බැංකුවල ගබඩා කර තිබෙන දශලක්ෂ ගණනක් වූ බීජවලින් අඩුම තරමින් සියයට 90කටවත් මිනිසාට ආහාර සපයන හා වෙනත් ආකාරවලින් ප්‍රයෝජනවත් වන ශාක බිහි කළ හැකි බව ජීව විද්‍යාඥ ජෝන් ටෙක්සල් සඳහන් කරයි. වී, ඉරිඟු, සෝගම්, අර්තාපල්, ලූනු, සුදු ලූනු, උක්, කපු, සෝයා හා බෝංචි වැනි ශාක ඒවායින් කිහිපයක් පමණි. බීජවල ජීවයක් පවතී. දිගටම එම ජීවය නොනැසී තබාගත හැක්කේ ඒවායේ අභ්‍යන්තර ජීව ශක්තිය සුරක්ෂිතව තිබෙන තාක් කල් පමණි. එනිසා බීජ බැංකු කෙරෙහි කොතෙක් දුරට විශ්වාසය තැබිය හැකිද?
බැංකුව අර්බුදයක
බීජ බැංකු නඩත්තු කිරීම සඳහා විශාල මුදල් කන්දරාවක් වැය වේ. ටෙක්සල් සඳහන් කළ පරිදි මේ සඳහා වාර්ෂිකව ඩොලර් දශලක්ෂ 300ක් පමණ වැය කෙරේ. කෙසේවෙතත්, “දිගු කාලයක් බීජ ගබඩා කර තැබීමේ පහසුකම් තිබෙන්නේ බීජ බැංකුවලින් සියයට 13කට පමණක්” වන නිසා එම මුදල් ප්‍රමාණය පවා ප්‍රමාණවත් නොවිය හැකියි කියා ඔහු සඳහන් කරයි. නිසියාකාරව බීජ ගබඩා කළේ නැත්නම්, ඒවා දිගු කාලයක් තබාගත නොහැක. එනිසා හැකි ඉක්මනින් ඒවා පැළ කර ලබාගන්න අස්වැන්නෙන් ඊළඟ බීජ පරම්පරාව සාදාගත යුතුය. මෙසේ කළේ නැත්නම් සිදු වන්නේ බීජ බැංකු බීජ මෘතාගාරයක් බවට පත්වීමයි. බීජ බැංකුවක් පවත්වාගෙන යෑම සඳහා විශාල සේවක පිරිසක් මෙන්ම මුදලක්ද අවශ්‍ය වේ. මේ නිසා දැනටමත් දුෂ්කර කටයුත්තක් වී තිබෙන බීජ බැංකුවල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව තවත් උග්‍ර අතට හැරේ.
අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝහි පිහිටි ජාතික බීජ ගබඩා රසායනාගාරයේ පවතින තත්වය ගැන එක් පොතක (Seeds of Change—The Living Treasure) මෙසේ සඳහන් වේ. “විදුලි බලය නිතර ඇණහිටීම, ක්‍රියා විරහිත ශීතකරණ, සේවක හිඟය, විස්තර සටහන් නොකළ බීජ විශාල ප්‍රමාණයක් ගොඩගැසී තිබීම ඇතුළු අසීරුතා රැසකට එය මුහුණ පා සිටියි.” දේශපාලනික අර්බුද, ආර්ථික බිඳ වැටීම් හා ස්වාභාවික විපත් යනාදියද බීජ බැංකුවලට අහිතකර ලෙස බලපායි.
දිගු කාලයක් බීජ ගබඩා කර තැබීමෙන් වෙනත් ගැටලු පැන නඟී. ස්වාභාවික පරිසරයක් තුළ, සකස් වීමේ සුවිශේෂ හැකියාවක් ශාකවලට තිබේ. එම හැකියාව සීමිත වුවත්, රෝගවලින් හා වෙනත් උවදුරුවලින් ආරක්ෂා වීමට ශාකවලට පුළුවනි. එහෙත් බීජ බැංකුවක් තුළ තිබෙන ආරක්ෂිත පරිසරයක බීජ පරම්පරා කිහිපයක් ගබඩා කිරීමෙන් පසු, ඒවායේ තිබෙන රෝගවලට හා වෙනත් උවදුරුවලට ඔරොත්තු දීමේ හැකියාව අඩු වී යා හැකියි. කෙසේවෙතත්, හොඳින් ගබඩා කරනු ලබන බොහෝ ශාකවල බීජ රෝපණය කරන්න කලින් සියවස් කිහිපයක් වුවත් තබාගැනීමට පුළුවනි. යම් සීමාවන් හා අවිනිශ්චිත තත්වයන් පැවතුණත්, බීජ බැංකු පවත්වාගෙන යෑමට වෙහෙසක් දැරීමෙන් පැහැදිලි වන්නේ අනාගතයේ මිනිසාගේ ආහාර වේල සපුරාලන බෝග ගැන දක්වන උනන්දුව වැඩි වෙමින් තිබෙන බවයි.
ශාක වඳ වී යෑම අඩු කළ හැකි හොඳම ක්‍රමය වන්නේ ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම හා බෝගවල විවිධත්වයක් ඇති කිරීමයි. නමුත් මෙය කිරීමට නම්, අප “මිනිස් අවශ්‍යතා හා සොබා සම්පත්වල අවශ්‍යතා අතර නව සමතුලිතතාවක් ඇති කළ යුතුයි” කියා ටෙක්සල් පවසයි. මිනිසුන් කාර්මික හා ආර්ථික වර්ධනයක් පසුපස උමතුවෙන් හඹා යන අතරේදී සොබා සම්පත්වල “නව සමබරතාවක් ඇති කිරීමට” මිනිසුන්ට හැකියි කියා සිතීම කොතෙක් දුරට යථාර්ථවාදීද? අප සලකා බැලූ පරිදි කෘෂිකර්මය පවා සුපිරි තාක්ෂණයට හා ලාභය ඉලක්ක කරගත් වෙළඳපොළකට යොමු වෙමින් තිබේ. මේ නිසා තවත් ප්‍රශ්නයක් පැන නඟී.
[පාදසටහන්වල]
a ජාන වෙනස් කළ ආහාර මගින් සතුන්ගේ හා මිනිසුන්ගේ සෞඛ්‍යය කෙරෙහිද පරිසරය කෙරෙහිද ඇති කරන බලපෑම් දිගින් දිගටම මතවාදවලට ලක් වෙමින් පවතී. සම්පූර්ණයෙන්ම වෙනස් ජීවීන්ගේ ජාන මිශ්‍ර කිරීම නිසා ඇතැමුන් ආචාර ධර්ම හා සම්බන්ධ ප්‍රශ්න නඟා තිබේ.—2000 මැයි 8 පිබිදෙව්! සඟරාවේ, 25-7 දක්වා පිටු බලන්න.
b යුරෝපයේ වගා කරනු ලබන ජාන වෙනස් කළ සීනි බීට් ගැන නියූ සයන්ටිස්ට් සඟරාවේ මෙසේ වාර්තා විය. “එක්තරා වල් නාශකයකට ඔරොත්තු දීමේ හැකියාව ඇතුව ජාන වෙනස් කළ මෙම බීට්වල වෙනත් වල් නාශකයකට ඔරොත්තු දීමේ ජාන අහම්බෙන් ඇති විය.” මෙසේ වැරදි ජානයක් එම බීට් වර්ගයට ඇතුල් වූයේ, වෙනත් වල්නාශකයකට ඔරොත්තු දීම සඳහා සකස් කරන ලද වෙනත් බීට් වර්ගයක් සමඟ පරාගනය වූ අවස්ථාවේදීය. වල්නාශකවලට ඔරොත්තු දෙන බෝග බහුලව වගා කිරීම නිසා විනාශ කිරීමට අසීරු සුපිරි වල් පැළෑටි හිස ඔසවයි කියා විද්‍යාඥයෝ බිය වෙති.
[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]
ගොවියා තම වෘත්තියට ආයුබෝවන් කියාවිද?
“කාර්මික රටවල කෘෂිකර්මාන්තයේ නියැලෙන අයගේ ගණන 1950 සිට ශීඝ්‍රයෙන් පහත වැටී තිබේ. සමහර රටවල මෙම පහත වැටීම සියයට 80 ඉක්මවා ගොස් ඇත.” මෙසේ සඳහන් වූයේ වර්ල්ඩ් වොච් නමැති සඟරාවේය. අමෙරිකා එක්සත් ජනපදයේ ගොවීන්ට වඩා සිරකරුවෝ සිටිති. බොහෝදෙනෙකු ගොවිතැන අත්හැරීමට හේතු මොනවාද?
ගොවීන්ගේ ආදායම පහළ බැසීම, අධික ණය බර, දිළිඳුකම ඉහළ යෑම හා යන්ත්‍රෝපකරණ භාවිතය වැඩිවීම ඊට බලපාන ප්‍රධාන හේතු අතර වේ. වර්ෂ 1910දී අමෙරිකා එක්සත් ජනපදයේ පාරිභෝගිකයන් ආහාර සඳහා වැය කළ සෑම ඩොලරයකින්ම ශත 40ක පමණ මුදලක් ගොවීන් අතට පත් විය. නමුත් 1997 වන විට ගොවීන් අතට පත් වන මුදල ශත 7ක් පමණ දක්වා අඩු විය. තිරිඟු වගා කරන ගොවියෙකුගේ අතට ලැබෙන්නේ “පාන් රාත්තලක මිලෙන් ශත 6ක් පමණයි” කියා වර්ල්ඩ් වොච් සඟරාවේ සඳහන් වේ. මෙයින් කියවෙන්නේ පාරිභෝගිකයෙකු පාන් රාත්තලක් මිල දී ගන්නා විට, ගොවියාගේ තිරිඟුවලට ගෙවන මිලට වඩා අධික මුදලක් එය බහාලන උරයට ගෙවන බවයි. දිළිඳු රටවල සිටින ගොවීන්ගේ තත්වය මීටත් වඩා ඛේදජනකය. ඕස්ට්‍රේලියාවේ හෝ යුරෝපයේ සිටින ගොවියෙකුට බැංකුවකින් ණය මුදලක් ගත හැකි වුවත්, එය ඔහුට මහත් හිසරදයක් වෙයි. බටහිර අප්‍රිකාවේ සිටින ගොවියෙකු වරක් ණය මුදලක් ගත්තොත්, නැවත කවදාවත් ණයක් නොගන්නේ එසේ කිරීම හේතුවෙන් සමහරවිට සිය දිවි නසාගැනීමට සිදු විය හැකි නිසාය.
[7වන පිටුවේ පින්තූර]
“‘හරිත විප්ලවය’ හඳුන්වා දුන් කාලයේදී විශාල වශයෙන් ව්‍යාප්ත වූ තනි බෝගයක් වගා කිරීමේ ක්‍රමය ජෛව විවිධත්වයට හා ලෝක ආහාර සැපයුමේ සුරක්ෂිතභාවයට අහිතකර ලෙස බලපා තිබේ.”—ආචාර්ය මේවාන් හෝ
[හිමිකම් විස්තර]
පසුබිම: U.S. Department of Agriculture
Centro Internacional de Mejoramiento de Maiz y Trigo (CIMMYT)
[8වන පිටුවේ පින්තූර]
එංගලන්තයේ පිහිටි සහස්‍ර බීජ බැංකුවේ වටිනා ශාකවල බීජ සංරක්ෂණය කෙරේ
[හිමිකම් විස්තර]
© Trustees of Royal Botanic Gardens, Kew