Skip to content

පටුනට යන්න

මගේ කනස්සල්ලට විසඳුමක් නැද්ද?

මගේ කනස්සල්ලට විසඳුමක් නැද්ද?

යෞවන අය අසති . . .

මගේ කනස්සල්ලට විසඳුමක් නැද්ද?

“යෞවනයෙකුට තිබෙන ලොකුම හිසරදේ තමයි තමන්ගේ අනාගතය ගැන හිතන එක. මම ගෙදරින් යන්න ඕනේද? ඉස්කෝලේ යන්න ඕනේද? මම පූර්ණ කාලීන සේවය තෝරගන්නවාද? විවාහ වෙනවාද වැනි දහසකුත් දේවල් ඔවුන්ගේ ඔළුවේ තියෙනවා. එනිසා ඔවුන්ට ලොකු බයක් දැනෙනවා.”—විසි හැවිරිදි ෂේන්.

ඔබ අනවශ්‍ය ලෙස කනස්සලු වෙනවාද? සාමාන්‍යයෙන් යෞවනයන් බොහෝදෙනෙක් නොයෙකුත් හේතූන් නිසා කනස්සල්ලට පත් වෙනවා. “අදදින යෞවනයන්ගේ මූලික අවධානය යොමු වී තිබෙන්නේ හොඳ වැටුපක් ලබන තෘප්තිමත් රැකියාවක් සොයාගැනීම කෙරෙහි කියා රටවල් 41ක අවුරුදු 15ත් 18ත් අතර වයස් මට්ටම්වල සිටින යෞවනයන් යොදාගෙන කළ සමීක්ෂණයකදී දැනගැනීමට ලැබුණු බව” දෙමාපියන්ව දැනුවත් කිරීම සඳහා පළ කෙරුණු පුවත් වැකියක සඳහන් වුණා. ඔවුන්ගේ කනස්සල්ලට හේතු වන තවත් දෙයකි, දෙමාපියන්ගේ සෞඛ්‍යය. ඒ වගේම තමන් ගොඩක් ආදරය කරන කෙනෙකු අහිමි වෙයි යන බියද ඔවුන්ගේ කනස්සල්ලට හේතු වෙනවා.

එක්සත් ජනපදයේ වෙසෙන යෞවනයන් වැඩි පිරිසකගේ මූලික සැලකිල්ලට බඳුන් වී තිබෙන්නේ “වැඩි ලකුණු මට්ටමක් ලබාගැනීම සඳහා තරඟ වැදීම” බව එම රටේ එක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවක් මගින් කළ සමීක්ෂණයකදී සොයාගනු ලැබුවා. එම සමීක්ෂණයෙන් තවදුරටත් හෙළි වූයේ යෞවනයන් වැඩි පිරිසකට හැඟෙන්නේ ෂේන්ට (ලිපියේ ආරම්භයේ සඳහන් කළ) හැඟුණු ආකාරයට බවයි. “මම මගේ අනාගතය ගැන කරදර වෙනවා” කියා ඈෂ්ලි නමැති යෞවනයා පවසනවා.

වෙනත් යෞවනයන් කනස්සලු වන්නේ තම ආත්ම ආරක්ෂාව ගැනයි. වර්ෂ 1996දී කරන ලද සමීක්ෂණයකට අනුව එක්සත් ජනපදයේ වෙසෙන යෞවනයන්ගෙන් සියයට පනහකට පමණ තම පාසැල්වල සැහැසික ක්‍රියාවන් වැඩි වෙමින් තිබෙනවා කියා හැඟුණා. තමන් අඳුරන සමහර අය පවා වෙඩි පහරකින් මරණයට පත් වී ඇති බව හෝ තුවාල ලබා ඇති බව මිලියන අටකට වැඩි යෞවනයන් (සියයට තිස් හතක්) සංඛ්‍යාවක් කියා සිටියා!

කනස්සල්ලට පාත්‍ර වන සෑම දෙයක්ම බියගන්වන ඒවා නොවෙයි. සමහර යෞවනයන්ට තිබෙන ලොකුම කනස්සල්ල තමයි සමාජ ආශ්‍රය. අන්තර්ජාලයේ පළ වන සඟරාවක දෙමාපියන්ට මෙසේ පවසා තිබුණා. “යෞවනයන් තමන්ට පෙම්වතෙක් හෝ පෙම්වතියක් සොයාගැනීමට ලත වෙනවා. ඊටත් වඩා ඔවුන් කනස්සලු වන්නේ මිතුරන් අහිමි වේවි කියායි.” මේ සම්බන්ධයෙන් මේගන් නමැති යෞවනිය ලත වන්නේ මෙසේයි. “මම මොඩ් එකට ඇඳලා කරලා ඉන්නේ කොහොමද? මිතුරන්ව මා ළඟට ආකර්ෂණය කරගන්නේ කොහොමද?” ක්‍රිස්තියානි යෞවනයෙක් වන නතානියෙල් මේ හා සමාන අදහසක් පළ කරනවා. “පාසැල් යන ළමයි මෝස්තර ගැන කරදර වෙනවා. එයාලා තමන් ඇවිදින විදිහ ගැන, කතා කරන විදිහ ගැන තමන්ගේ පෙනුම ගැන ඕනෑවට වඩා හිතනවා. එයාලා තමන් අනිත් අය ඉදිරියේ හාස්‍යයට ලක් වෙයි කියලා බයයි.”

ප්‍රශ්න ජීවිතයේම කොටසක්

අපට කනස්සල්ලෙන් තොර ජීවිතයක් ගත කළ හැකි නම් එය අපූරුයි. නමුත් බයිබලයේ පවසන්නේ, “ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණවූ කෙනෙක්ය” කියායි. (යෝබ් 14:1) ප්‍රශ්න පමණක් නොව ඒවාත් සමඟ අත්වැල් බැඳගත් කනස්සල්ලත් ජීවිතයේ කොටසක්. කනස්සල්ලට ඔබේ සිතුවිලි පාලනය කිරීමට ඉඩ දුන්නොත් ඔබ කරගන්නේ ඔබේ ජීවිතයට විශාල හානියක්. බයිබලයේ ඒ ගැන මෙසේ අනතුරු අඟවයි. “සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි.”—හිතෝපදේශ 12:25, නව අනුවාදය.

අනවශ්‍ය ලෙස කනස්සලු වීමෙන් වැළකී සිටීමට කළ හැකි එක් දෙයක් වන්නේ ඔබ හැසිරෙන ආකාරය ගැන කල්පනාකාරි වීමයි. දහසය හැවිරිදි ඇනා මෙසේ පවසයි. “මගේ පංතියේ ළමයින් හුඟදෙනෙක් දරුවෙක් පිළිසිඳගනීවිද එහෙම නැතිනම් ලිංගිකව බෝවෙන රෝගයක් වැළඳේවිද කියලා බයෙනුයි ඉන්නේ.” නමුත් බයිබලයේ ඇති සදාචාර ප්‍රමිති රැකීමෙන් එවන් කනස්සලු වීම් මඟහරවා ගත හැකියි. (ගලාති 6:7) ඒත්, ඔබේ සියලුම ප්‍රශ්න ඉක්මනින්ම හෝ පහසුවෙන්ම විසඳාගන්න නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. එසේ නම් කනස්සල්ලට විසඳුමක් නැද්ද?

“නැණවත් ලෙස කනස්සලු වෙන්න”

බොහෝදෙනෙක් තම ජීවිතය අඳුරු කිරීමට කනස්සල්ලට ඉඩ දෙනවා. නමුත් යෞවනයන් සඳහා පළ වන සඟරාවක තිබූ ලිපියක සඳහන් වී තිබුණේ, කෙනෙකුට තම කනස්සල්ල ඵලදායි ක්‍රියාවකට හැරවීමෙන් “නැණවත් ලෙස කනස්සලු” විය හැකි බවයි! එවැනි දෙයක් කිරීමට බයිබලයේ උපදෙස් බොහොමයක් දී තිබෙනවා. හිතෝපදේශ 21:5හි සඳහන්ව ඇති දේ සලකා බලන්න. “කඩිසර අයගේ යෝජනාවලින් ලාභම ලැබේ.” උදාහරණයකට, ඔබට සභාවේ මිතුරන් කිහිපදෙනෙකු එක්කාසු කරගෙන සුහද හමුවක් පැවැත්වීමට අවශ්‍යයි කියා මොහොතකට සිතන්න. එවන් අවස්ථාවක් හොඳින් සැලසුම් කරනවා නම් කනස්සලු වීමට දෙයක් ඉතිරි වන්නේ නැහැ. ‘ආරාධනා කරන්නේ කාටද? ඔවුන් පැමිණිය යුත්තේ කීයටද? ඔවුන් ආපසු යා යුත්තේ කීයටද? සංග්‍රහය සඳහා කොතරම් කෑම ප්‍රමාණයක් අවශ්‍යද? සැමට විනෝදයක් ගෙන දෙන ක්‍රියාකාරකම් මොනවාද?’ වැනි ප්‍රශ්න ඔබෙන්ම අසාගන්න. ඔබ කල්පනාකාරිව සැලසුම් කරන තරමට මිතුරු හමුව සාර්ථක එකක් වේවි.

දේවල් ඕනෑවට වඩා ඔළුවට ගැනීමෙන් කනස්සල්ල ඔබ කරා පා එසවිය හැකියි. අමුත්තන්ට සංග්‍රහ කිරීමට අනවශ්‍ය වෙහෙසක් ගත් ස්ත්‍රියකට යේසුස් පැවසුවේ “ඕනෑකරන්නේ එක දෙයක්ය” කියායි. (ලූක් 10:42) එමනිසා ‘මම සැලසුම් කළ මිතුරු හමුව සාර්ථක කරගන්න අවශ්‍ය වැදගත්ම දේ මොකක්ද?’ කියා ඔබෙන්ම අසාගන්න. දේවල් සරලව තබාගැනීමෙන් ඔබට ඔබේ කනස්සල්ල අවම කරගත හැකියි.

පාසැලේදී ඔබට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබෙනවාද යන්නත් ඔබව කනස්සල්ලට පත් කළ හැකියි. ඔබට එහි තිබෙන තත්වය වෙනස් කිරීමට කළ හැකි දේ අල්ප බව සැබෑයි. නමුත් ඔබේ ආරක්ෂාව පතා ප්‍රායෝගික පියවර ගැනීමට ඔබට හැකියාවක් තිබෙනවා. හිතෝපදේශ 22:3හි පවසන්නේ “නුවණ ඇත්තා විපත්තිය දැක [සැඟවෙන]” බවයි. අනතුරු සහිත ප්‍රදේශ, එනම් පාළු ස්ථානවලට පමණක් නොව කිසිවෙකුගේ අධීක්ෂණයක් නොමැති ස්ථානවලට පවා යෑමෙන් වැළකෙන්න. එවිට අනවශ්‍ය ප්‍රශ්න යම් තාක් දුරට මඟහරවා ගන්න පුළුවන්.

කනස්සල්ලට හේතු වන තවත් දෙයකි පාසැල් වැඩකටයුතු. සමහර විට ඔබ විසින් කළ යුතු පාසැල් ක්‍රියාකාරකම් කිහිපයක් තිබෙන්න පුළුවන්. ඔබට එම දේවල් කලට වේලාවට කරගැනීමට නොහැකි වෙයි කියා ඔබ කනස්සලු වෙන්න පුළුවන්. මෙහිදී පිලිප්පි 1:10හි සඳහන් ප්‍රතිපත්තිය උපකාරවත් වෙයි. එහි පවසන්නේ ‘වඩා වැදගත් දේවල් ඒත්තුගන්න’ [NW] කියායි. එනම් ප්‍රමුඛතා තබාගන්න ඉගෙනගන්න! ඉක්මනින්ම කළ යුතු දේ කුමක්ද කියා සොයා බලා ඒ දේ මුලින්ම කරන්න. ඉන්පසු අනෙක් වැඩයට බහින්න. එසේ කරන විට ඔබේ ගැටලුව ටිකෙන් ටික විසඳෙන බව ඔබට පෙනේවි.

උපදෙස් ලබාගන්න

එරන් යෞවනයෙකුව සිටියදී විභාගවලින් සමත් වීම ගැන අනවශ්‍ය ලෙස කරදර වූ නිසා ඔහුට පපුවේ වේදනාවන් හටගත්තා. ඔහු මෙසේ සිහි කරනවා. “මම ඒ ගැන මගේ දෙමාපියන්ට කිව්වහම එයාලා මාව වෛද්‍යවරයෙක් ළඟට යැව්වා. මට හදවත් රෝගයක් නැහැයි කියලා හඳුනාගන්න වෛද්‍යවරයාට වැඩි වේලාවක් ගියේ නැහැ. ඉන්පස්සේ ඔහු පෙන්නුවා කොහොමද කනස්සල්ල කෙනෙකුගේ ශරීරයට බලපාන්නේ කියලා. විභාගයට සූදානම් වුණාට පස්සේ ඒ ගැන ලත වෙවී ඉන්නේ නැතුව මම මං ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා මගේ දෙමාපියන් මට පෙන්වලා දුන්නා. ඊටපස්සේ මගේ කනස්සල්ල නැති වෙලා ගියා. පපුවේ වේදනාවනුත් නැති වුණා. විභාගයත් හොඳට කරගත්තා.”

ඔබ කනස්සල්ලෙන් හෙම්බත් වී සිටිනවා නම් තනිවම දුක් විඳින්න එපා. ලිපිය ආරම්භයේ සඳහන් කළ හිතෝපදේශ 12:25 [න. අ.] සම්පූර්ණයෙන්ම කියවීමට තිබෙන්නේ මෙසේයි. “සිත්තැවුල මිනිස් සිතට පීඩා කරයි. කාරුණික වචනය සිතට ප්‍රීතිය දෙයි.” ඔබ ඔබේ “සිත්තැවුල” ගැන වෙනත් කෙනෙකු සමඟ පැවසුවොත් පමණයි ඔබට දිරිගැන්වීමක් ලැබෙන ‘කාරුණික වචනයක්’ අසන්න ලැබෙන්නේ!

ඔබට තිබෙන ප්‍රශ්නය ගැන පළමුවෙන්ම ඔබේ දෙමාපියන් සමඟ කතා කරන්න. ඔවුන් ළඟ හොඳ යෝජනා තිබෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ ක්‍රිස්තියානි සභාවේ සිටින ආත්මික මේරූ අයටත් පුළුවන් ඔබට උපකාර කරන්න. පහළොස් හැවිරිදි ජෙනෙල් මෙසේ පවසනවා. “මම වැඩිමහල්ලෙක් එක්ක කතා කරනකම්ම උසස් පාසැලට යන්න කැමැත්තක් තිබුණේ නැහැ. මත්ද්‍රව්‍ය, ලිංගික දුරාචාරය සහ සැහැසිකකම් වගේ දේවල් ගැන මට බයක් තිබුණා. ඔහු මට ප්‍රායෝගික යෝජනා පෙන්වා දුන්නට පස්සේ මට එම තත්වයට මුහුණ දෙන්න පුළුවන් කියලා හැඟුණ අතර සැහැල්ලුවකුත් දැනුණා.”

කල් දමන්න එපා

සමහර අවස්ථාවල යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තිබුණත් එය එතරම් ප්‍රසන්න ක්‍රියාමාර්ගයක් නොවන නිසා අපි එය පසුවට කල් දමනවා. දහනව හැවිරිදි ෂේවොන්ට සෙසු ක්‍රිස්තියානියෙකු සමඟ පෞද්ගලික කෝන්තරයක් තිබුණා. මේ ගැන කතා කිරීමට ඇයට උවමනාවක් තිබුණත් ඇය එය කල් දැම්මා. “මම කල් දාන්න කල් දාන්න ඒක මගේ හිතට මහ වදයක් වුණා” කියා ඇය පවසනවා. යම් ප්‍රශ්නයක් ඇති වුණොත් ඉක්මනින්ම එය විසඳාගන්න කියා මතෙව් 5:23, 24හි පවසා තිබෙන යේසුස්ගේ වචන ෂේවොන්ගේ සිහියට නැඟුණා. “අන්තිමේදී මම ඒ දේ කළාම මට පුදුම සහනයක් ලැබුණා” කියා ඇය පවසනවා.

අකමැති පැවරුමක් හෝ අපහසුතාවයට ලක් කරවන අභියෝගයක් ඔබ මඟහරිමින් සිටිනවාද? එසේ නම් ඒ සඳහා විගස පිළියමක් යොදන්න. එවිට කනස්සලු වීමට තිබෙන කාරණා අඩු වේවි.

බැරෑරුම් ගැටලු

සෑම ගැටලුවක්ම ලෙහෙසියෙන් විසඳාගන්න බැහැ. අබ්ඩර් නමැති තරුණයාගේ අද්දැකීම සලකා බලන්න. ඔහුගේ මව පිළිකාවකින් පීඩා විඳි නිසා ඔහුට සිදු වුණා ඇයවත් ඔහුගේ බාල සහෝදරයාවත් බලා කියාගන්න. තම මවගේ තත්වය අබ්ඩර්ගේ කනස්සල්ලට හේතුවක් වීම සාමාන්‍යයි. නමුත් ඔහු මෙසේ පවසනවා. “‘කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක් එක්කරගන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද?’ කියා යේසුස් පැවසූ වචන මම සිහියට නඟාගන්නවා. මම තත්වය ඕනෑවට වඩා ඔළුවට ගන්නේ නැතිව ඒ දෙස යථාර්ථවාදීව බලනවා. ඒ වගේම හොඳම ප්‍රතිඵල ලබාගත හැකි ආකාරයට කටයුතු කරනවා.”—මතෙව් 6:27.

යම් අර්බුදකාරි තත්වයක් පැනනැඟුණු විට සන්සුන්ව සිටීම පහසු නැහැ. සමහරක් අය කොතරම් පීඩා විඳිනවාද කිවතොත් කෑම පවා නොකා සිටිමින් තමන් ගැන නොසලකා හරිනවා. නමුත් එක් ග්‍රන්ථයක (Helping Your Teenager Deal With Stress) මූලික පෝෂණය නොගැනීමෙන් ඇති වන ප්‍රතිඵල ගැන මෙසේ අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. “එනම් මානසික පීඩනය දරාගැනීමට නොහැකි වන අතර වෙනත් බරපතළ රෝගාබාධවලටත් ගොදුරු විය හැකියි.” එමනිසා ඔබේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. ප්‍රමාණවත් විවේකයක් සහ පෝෂණයක් ලබාගන්න.

බයිබලයේ ඇති උපදෙස් අනුගමනය කිරීමෙන් ඉමහත් අස්වැසිල්ලක් ලබාගත හැකියි. ‘නුඹේ බර යෙහෝවා පිට තබන්න, ඔහු නුඹ උසුලන්නේය. ඔහු කිසි කලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන්නේය.’ (ගීතාවලිය 55:22) ලිපියේ මුල සඳහන් කළ ෂේන් තම අනාගතය ගැන අනවශ්‍ය ලෙස කරදර වුණා. ඔහු මෙසේ සිහි කරනවා. “මම දෙවිගේ වචනය සහ ඔහුගේ අරමුණ ගැන වැඩියෙන් හිතන්න පටන්ගත්තා.” තම ජීවිතය දෙවිට සේවය කිරීම සඳහා යෙදෙව්වොතින් ජීවිතය සාර්ථක වන බව ඔහු තේරුම්ගත්තා. (එළිදරව් 4:11) “හිතන්න ඊට වඩා වැදගත් දේවල් තිබුණු නිසා මම මං ගැන කරදර වෙන එක නැවැත්තුවා” කියා ෂේන් පවසනවා.

ඔබත් අනවශ්‍ය ලෙස කරදර වෙනවා කියා තේරුම්ගිය විට ගැටලු විසඳාගැනීමට ප්‍රායෝගික ක්‍රම සොයන්න. මේරූ උපදෙස් පතන්න. මේ සියල්ලට වඩා යෙහෝවාට ඔබේ හිතේ තිබෙන දේ කියන්න. මන්ද ‘ඔහු ඔබ ගැන සැලකිල්ල දක්වනවා.’ (1 පේතෘස් 5:7) ඔහුගේ උපකාරය ඇතිව අනවශ්‍ය ලෙස කනස්සලු වීමෙන් වැළකී සිටිය හැකියි.

[13වන පිටුවේ පින්තූරය]

ඔබව කනස්සල්ලට පත් කරන දේවල් ගැන ඔබේ දෙමාපියන් සමඟ කතා කරන්න

[14වන පිටුවේ පින්තූරය]

ගැටලු ඉක්මනින්ම විසඳගන්න තරමට කනස්සල්ල ඉක්මනින්ම මඟහරවා ගත හැක