Skip to content

පටුනට යන්න

මිනිසාගේ කුසගින්න නිවාලිය හැක්කේ කාටද?

මිනිසාගේ කුසගින්න නිවාලිය හැක්කේ කාටද?

මිනිසාගේ කුසගින්න නිවාලිය හැක්කේ කාටද?

මිනිසා ජෛව විවිධත්වය විනාශ නොකර, එය රැකගැනීමට කවදා හෝ පටන්ගනීවිද? ජීව විද්‍යාඥ ජෝන් ටෙක්සල් සඳහන් කළ පරිදි ඒ සඳහා “ප්‍රතිපත්තිවල ප්‍රබල වෙනසක්” සිදු විය යුතුය. කෙසේවෙතත්, “මිනිසුන් ජෛව විවිධත්වයේ ප්‍රයෝජන මැනවින් වටහාගෙන, වර්තමානයේ ඔවුන් කරන ඇතැම් ක්‍රියාකාරකම් වෙනස් කරගනිමින් නව ක්‍රම සෙවීමට වෑයම් කරන්නේ නැත්නම් [ප්‍රබල වෙනසක්] සිදු වෙයි කියා සිතිය නොහැකි” බව ඔහු පැවසුවේය.

බොහෝදෙනෙකු පවසන්නේ එවන් ප්‍රබල වෙනසක් සිදු වෙයි කියා විශ්වාස කිරීම අසීරු බවයි. එමෙන්ම, බහුතරයක් ටෙක්සල්ගේ නිගමනය සමඟ එකඟ නොවේ. ජෛව විවිධත්වයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් තවමත් තමන්ට නොමැති බවත් සෙසු පාරිසරික විද්වතුන් සැබෑ තතු නොදැන අදහස් අතිශයෝක්තියෙන් ප්‍රකාශ කර තිබිය හැකි බවත් ඇතැම් පාරිසරික විද්‍යාඥයෝ පිළිගනිති. විද්‍යාඥයන් මේ කාරණය ගැන නොයෙක් මත වාදවල පැටලී සිටියත්, මේ ක්ෂේත්‍රයේ ඇතැම් විද්වතුන් විසින් ඒ පිළිබඳව කර තිබෙන අනතුරු ඇඟවීම් සලකා බැලීම වටී. ජෛව විවිධත්වය ක්‍රමයෙන් විනාශ වී යෑම ගැන පමණක්ම නොව, එහි පිටුපස තිබෙන ගිජුකම හා අදූරදර්ශීභාවය ගැනද ඔවුන් කලකිරී සිටින බව පෙනෙන්න තිබේ. විවිධ ලේඛකයන් විසින් පළ කර තිබෙන මතු දැක්වෙන අදහස් සැලකිල්ලට ගන්න.

“සියවසකට පමණ පෙර ලෝකයේ විවිධ ප්‍රදේශවල විසූ ගොවියන් දශලක්ෂ සියගණනක් තමන් විසින්ම සොයාගත් ක්‍රම යොදාගනිමින් බීජ සුරක්ෂිතව රැස් කරගත්හ. . . . අද වන විට බීජ රැස් කර තබාගැනීමේ බොහෝ ක්‍රම හඳුන්වා දී තිබේ. ජාන නොයෙක් සකස් කිරීම්වලට ලක් කර ඇති අතර, ලොව පුරා තිබෙන සමාගම් විසින් මේ පිළිබඳව තමන් සතු දැනුම බුද්ධිමය දේපොළක් ලෙස සලකමින් පේටන්ට් බලපත්‍ර ලබාගෙන ඇත. . . . කෙටි කාලීන ලාභ ප්‍රයෝජන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම නිසා ජෛව තාක්ෂණය මගින් ජානවල තිබෙන වටිනා උරුමයන් විනාශ කර දැමීමේ තර්ජනයක් මතු වී තිබේ. අලුත් රෝග හා සුපිරි වෛරස්වලට ඔරොත්තු දීමේ හැකියාව තිබෙන එම වටිනා උරුමයන් යම් දවසක ඉමහත් සේ ප්‍රයෝජනවත් විය හැක.”—විද්‍යා ලේඛක ජෙරමි රිෆ්කින්.

“ලෝක වෙළඳපොළ, නිදහස් වෙළඳාම හා ජගත් ආර්ථිකය වැනි දේවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව ගැන ජන මාධ්‍යය මගින් පුන පුනා පවසයි. ජන මාධ්‍යයන් ධනයට යට වෙමින් විශාල ව්‍යාපාරවල ඕනෑ එපාකම් අනුව හැඩගැසෙන විට, ආර්ථිකය ගැන මිනිසුන් තුළ තිබෙන විශ්වාසය ආගමික ඉගැන්වීමක් කෙරෙහි තිබෙන විශ්වාසයට සමාන වෙයි. ඔවුන් ඒ ගැන ප්‍රශ්න කරන්නේ කලාතුරකිනි.”—ජාන විද්‍යාඥ ඩේවිඩ් සුසූකි.

“මුළු මානව සංහතියටම අයිති ජාන සංචිතය නමැති ‘පොදු උරුමය’ විනාශ වී යෑමේ අනතුර ලොව දස දෙස ව්‍යාප්ත වී යෑම ගැන [සංවර්ධිත රටවල] ආණ්ඩු හා ව්‍යාපාර ආයතන පළ කරන කනගාටුව පිටුපස” කුහකමක් දැකිය හැකි බව කෙනී ඔසබල් විසින් රචිත පොතක (Seed of Change—The Living Treasure) පෙන්වා දී ඇත. කෘෂිකර්මයේදී නවීන තාක්ෂණික උපකරණ භාවිතයට හා තනි බෝගයක් වගා කිරීමට දිරිගැන්වීමෙන් ඔවුන්ද කරන්නේ ජෛව විවිධත්වයට තර්ජනයක් එල්ල කිරීම බව ඔහු සඳහන් කරයි.

පරිසරයට සිදු වන විනාශය ගැන පරිසරවේදීන් මහත් බියකින් පසුවීමට හොඳ හේතු තිබේද නැද්ද යන්න නිශ්චිතව පැවසිය නොහැකි වුවත්, මිහිතලයේ අනාගතය අවිනිශ්චිත තත්වයක තිබෙන බව ඔබ පිළිගනු ඇත. මිනිසා ගිජුකමට යට වන කාලයක මිහිතලයේ සම්පත් තව කොතරම් කාලයක් විනාශ නොවී පවතිනු ඇද්ද? මෙයට පිළිතුරක් මහත් ඕනෑකමින් බලා සිටින බොහෝදෙනෙකු විද්‍යාව මත බලාපොරොත්තු තබා තිබේ.

අපට පිහිට වීමට විද්‍යාවට හා තාක්ෂණයට හැකිද?

වර්තමානයේ විද්‍යාව මොනතරම් වේගයකින් හා සංකීර්ණ ලෙස දියුණුවක් ලබමින් තිබෙනවාද කියනවා නම්, මෙම දියුණුව ප්‍රායෝගිකව යොදාගන්න ආකාරය ගැන සම්පූර්ණ අවබෝධයක් විද්‍යාඥයන්ට නොමැති බව පෙනේ. මෙම අවදානම්කාරි තත්වය ගැන එඩින්බර්ග්හි පිහිටි රාජකීය ආයතනය මෑතකදී එහි කනස්සල්ල ප්‍රකාශ කළේය. “ස්වාභාවික ලෝකය ගැන විද්‍යාව සතු දැනුම ඉතා අල්පය” කියා ඩේවිඩ් සුසූකී ලීවේය. “මිහිතලයේ වෙසෙන ජීවින්ගේ ජෛව විද්‍යාත්මක සැකැස්ම ගැනත් එකිනෙකා අතර පවතින අන්තර් සබඳතා හා රඳා පැවැත්ම ගැනත් අප දන්නා දෙයක් නැති තරම්ය.”

සයන්ස් නමැති සඟරාවේ පැහැදිලි කර තිබූ පරිදි “ජාන වෙනස් කරනු ලබන ජීවින්ගෙන් [GEOs] ඇති විය හැකි අවදානම් හා ප්‍රයෝජන ගැනත් එය මුළු ලොවටම බලපාන ආකාරය ගැනත් නිවැරදිව යමක් පැවසිය නොහැක. . . . GEOs ඇතුළු යම් යම් වෙනස්කම්වලට ලක්ව බිහි වන ශාක විශේෂ මගින් පරිසර පද්ධතිවලට සිදු විය හැකි බලපෑම ගැන අනාවැකි පළ කිරීමට අප සතු හැකියාව කොතෙක් දුරට නිවැරදිද කියා නිශ්චිතව කිව නොහැක.”

“දියුණුව” කියා අප හඳුන්වන බොහෝ දේවල්වලට දෙපැත්තක් තිබේ. එම දියුණුව යම් ප්‍රමාණයකට මිනිසාගේ යහපතට හේතු වුවත්, බොහෝ අවස්ථාවලදී මිනිසා සතු අවබෝධයේ ඌනතාව හා ගිජුකම එයින් දැකිය හැක. (යෙරෙමියා 10:23) නිදසුනක් වශයෙන් හරිත විප්ලවය මගින් බොහෝදෙනෙකුගේ කුසගිනි නිවාලුවත්, ජෛව විවිධත්වයේ විනාශයටද එය හේතු විය. කෘමිනාශක භාවිතයට හා වෙනත් මිල අධික කෘෂි තාක්ෂණික ක්‍රමවලට අනුබලය දුන් හරිත විප්ලවය මගින් අවසානයේදී වාසි ප්‍රයෝජන ලැබුවේ, “පැළෑටි බෝ කරන ව්‍යාපාරිකයන් හා පොදු ජනයාට ලැබිය යුතු ප්‍රයෝජන උදුරාගන්නාවූ තුන්වන ලෝකයේ රටවල වෙසෙන වරප්‍රසාද ලත් පංතියයි” කියා ආචාර්ය මේවාන් හෝ සඳහන් කළේය. මෙම නැඹුරුවාව අඛණ්ඩව පැවතීමට හේතුව වන්නේ, ප්‍රබල ව්‍යාපාරයක් බවට පත් වෙමින් තිබෙන ජෛව තාක්ෂණය මත කෘෂිකර්මය රඳා පැවතීමයි. එය ආහාර සැපයුම සඳහා මුළුමනින්ම විද්‍යාව මත යැපෙන අනාගතයක් කරා අපව රැගෙන යයි.

කෙසේවෙතත්, මෙවන් ගැටලු උද්ගත වීම නිසා අප අධෛර්යය විය යුතු නැත. ඇත්තෙන්ම එම ගැටලු මගින් යම් වැදගත් කරුණක් අපට වටහාගත හැකියි. මේ සඳහා බයිබලය අපට උපකාර කරයි. මිහිතලය හා එහි තිබෙන සම්පත් දැනට පාලනය කරමින් සිටින අසම්පූර්ණ මිනිසුන්ගෙන් බොහෝ දේවල් බලාපොරොත්තු නොවිය යුතු බව එය අපට පවසයි. යම් දේවලදී අසාර්ථක වීම හා දේවල් අනිසි ලෙස පාලනය කිරීම මිනිස් ස්වභාවයේ ලක්ෂණයකි. මේ නිසා ගීතාවලිය 146:3හි අපට මෙසේ ඔවදනක් සපයයි. “අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය [නොතබන්න].” එනමුත් අපට දෙවි කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබිය හැක. (හිතෝපදේශ 3:5, 6) අපට උපකාර කිරීම සඳහා කැමැත්තක් මෙන්ම බලයක්ද ඔහුට තිබේ.—යෙසායා 40:25, 26.

සමෘද්ධිමත් සෞභාග්‍යයෙන් පිරි පොළොවක් ළඟදීම

ගරාවැටුණු නිවසක් අලුත්වැඩියා කිරීමට කලින්, ඔබ මුලින්ම කරන්නේ එය පිරිසිදු කිරීමට පියවර ගැනීමයි. මේ හා සමානව යෙහෝවා දෙවි පොළොව පුරා සිදු වන සියලු ආකාරයේ දුෂ්ටකම් තුරන් කර, එය පිරිසිදු කරන දවස වැඩි ඈතක නොවේ. පෞද්ගලික ලාභ ප්‍රයෝජන තකා අප වෙසෙන මිහිතලය හා එහි තිබෙන ස්වාභාවික සම්පත් මෙන්ම සෙසු මිනිසුන්වද සූරා කන අයව මේ පොළොවෙන් ඉවත් කරනු ලබනවා ඇත. (ගීතාවලිය 37:10, 11; එළිදරව් 11:18) එනමුත් තමන්ට ප්‍රේම කරමින් තමාගේ කැමැත්ත කිරීමට මහත් පරිශ්‍රමයක් දරන අයව යෙහෝවා ආරක්ෂා කරනු ඇත.—1 යොහන් 2:15-17.

දෙවි මේ පොළොවෙන් දුෂ්ටකම තුරන් කර දැමීමෙන් පසු, කීකරු මිනිසුන් ඇතුළු මිහිතලයේ වෙසෙන අසංඛ්‍යාත ජීවීන්ව පාලනය කරනු ලබන්නේ, මෙසියානු රාජ්‍යය කියා හඳුන්වන දෙවි පිහිටුවනු ලබන ආණ්ඩුව මගිනි. (දානියෙල් 7:13, 14; මතෙව් 6:10) එම නැණවත් පාලනය මුළු පොළොව පුරාම ක්‍රියාත්මක වෙද්දී පොළොව මොනතරම් බහුල ලෙස ආහාර නිපදවාවිද! මේ ගැන ගීතාවලිය 72:16හි මෙසේ සඳහන් වේ. “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශස්‍ය වන්නේය; එහි කරල් ලෙබනොන් මෙන් ලෙළ දෙන්නේය.” තවදුරටත් ආහාර ප්‍රශ්නය මුල් කරගෙන මතභේද හා ගැටලු ඇති වන්නේ නැත. ඒ වෙනුවට ආහාර බහුලව තිබෙනු ඇත.

අවිනිශ්චිත මෙන්ම බලාපොරොත්තු කඩවීම්වලින් පිරි වත්මන් ක්‍රමය දරුණු ආගාධයක් කරා යන අතරේදී, යෙහෝවා කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙන අයට මිහිතලය මත දීප්තිමත් අනාගතයක් දෙස මහත් ආශාවෙන් බලා සිටිය හැක. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ මෙම බලාපොරොත්තුව ඇතුළත් “රාජ්‍යයේ මේ ශුභාරංචිය” යහපත් හා සාධාරණ ලොවක විසීමට කැමති සියලුදෙනා සමඟ ප්‍රීතියෙන් බෙදාගනිති. (මතෙව් 24:14) එම නිසැක බලාපොරොත්තුවත් ප්‍රේමනීය පියෙකු ලෙස දෙවි තමන්ගේ සෙනඟව රැකබලා ගැනීමත් නිසා අද පවා අපට ‘සුව සේ වාසය කරමින් විපතට භය නොවී, නිශ්චල’ ජීවිතයක් ගත කිරීමට පුළුවනි.—හිතෝපදේශ 1:33.

[10වන පිටුවේ පින්තූරය]

දෙවිගේ රාජ්‍යය යටතේ සෞඛ්‍යයට හිතකර ආහාර හිඟයකින් තොරව තිබෙනු ඇත

[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

FAO Photo/K. Dunn

[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Tourism Authority of Thailand