Skip to content

පටුනට යන්න

‘හිමිදිරියේ’ පිබිදෙන මල් ගස

‘හිමිදිරියේ’ පිබිදෙන මල් ගස

‘හිමිදිරියේ’ පිබිදෙන මල් ගස

දුරුතු මහේ අගභාගයේ හෝ නවම් මහේ මුල් භාගයේ, ඊශ්‍රායෙලයේ කඳු අතර පිහිටි හෙල්මළුවල සිදු වන විපර්යාසයේ චමත්කාරය මනස්කාන්තය, රමණීයය. සිසිරයේ නින්දෙන් පිබිදෙන කොට්ටම්බා ගස මලින් බර වෙයි. කඳුකරයේ මල් පූදින ගස් අතරින් ප්‍රථමයා තමා බැවින් කොට්ටම්බා ගස සෙස්සන් පරයා සිටගෙන සිටින්නේ මහත් ආඩම්බරයෙනි. එහි සුදෝ සුදුවන් රෝස පැහැයෙන් පිපිණු මල්, සීතල කඳුකරය සිසාරා ඇන්දවූ මනරම් වස්ත්‍රයක් වැන්න. එය අපේ මතකයට නඟන්නේ දේශනාකාරයා 12:5හි සාලමොන්ගේ වචනයි. ඔහු ‘මල් පූදින කොට්ටම්බා ගසට’ මහලු වියේ සුදු හිසකෙස් කදිමට සැසඳුවේය.

කොට්ටම්බා මල් කලින්ම පූදින හෙයින්, ඒ සඳහා වූ හෙබ්‍රෙව් වචනයේ පදගතාර්ථ තේරුම ඊට කදිමට ගැළපේ. එය නම් “පිබිදෙන්නා” යන්නයි. බයිබලයේ සඳහන් ප්‍රබල උපහැරණ ගණනාවකම කොට්ටම්බා මල යොදාගෙන ඇත. ප්‍රොපේත යෙරෙමියා දර්ශනයක් තුළින් දුටුවේ කොට්ටම්බා අත්තකි. ඉන් කියා පෑ දේ කිම? “මාගේ වචනය ඉෂ්ටකරන පිණිස මම ඒ ගැන පිබිද සිටිමි” යනුවෙන් යෙහෝවා පැවසූ වදන් ඔහුගේ සවනේ රැඳිණි. (යෙරෙමියා 1:11, 12) කවමදාකවත්, ඔව් කවමදාකවත් යෙහෝවා වෙහෙසට පත් වන්නේවත් නිදාගන්නේවත් නැත. එසේ නම් කුමක්ද ඔහුගේ වදන්වලින් කාවද්දවන්නේ? සිය කාර්යය නිම කිරීමට වූ ආශාවයි, අදිටනයි.—යෙසායා 40:28.

යෙරෙමියාගේ සමයට සියවස් ගණනාවකට පෙරාතුව, යෙහෝවා පත් කොට සිටි උත්තම පූජකයා කවුදැයි හඳුන්වා දීමට කොට්ටම්බා අත්ත උදව් වුණි. ඊශ්‍රායෙලයේ ගෝත්‍ර දොළොසේ එක් එක් ගෝත්‍රය සඳහා සැරයටියක් සම්මුඛ වීමේ කූඩාරම තුළ යෙහෝවා ඉදිරියේ තැබිණි. පසුදා උදෑසන ආරොන්ගේ කොට්ටම්බා සැරයටියේ මල් පිපී තිබුණා පමණක් නොවේ, එහි ඉදුණු කොට්ටම්බා ගෙඩිද හටගෙන තිබිණ! ඉක්බිති මේ කොට්ටම්බා සැරයටිය යම් කලකට ගිවිසුම් පෙට්ටිය ඇතුලත තබන්ට අණ කෙරිණි. ඒ කුමකටදැයි ඔබ දන්නෙහිද? ඒ, යළිත් කිසිවිටකත් යෙහෝවා විසින් පත් කරනු ලැබූ නියෝජිතයන්ට එරෙහිව නොකොඳුරන ලෙස ජාතියට දුන් ලකුණක් හැටියටයි.—ගණන් කථාව 16:1-3, 10; 17:1-10; හෙබ්‍රෙව් 9:4.

මණ්ඩපයේ ශුද්ධස්ථානයේ දැල්වුණු අතු සතකින් හෙබි රන් පහන් රුක ලස්සන කොට්ටම්බා මලින්, මොට්ටුවලින්, හා ගෙඩිවලින් විසිතුරු කිරීමත් යෙහෝවාගේ ආශාව විය. මෝසෙස් දුන් විස්තරයේ සඳහන් වන්නේ මෙසේයි: “කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් තුනක්ද ගෙඩියක්ද මලක්ද එක අත්තක විය; කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් තුනක්ද ගෙඩියක්ද මලක්ද අනික් පැත්තේ විය. පහන් රුකේ අතු හයේම එසේ තිබුණේය. පහන් රුකේ මොට්ටු සහ මල් සහිතව කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් සතරක් වූයේය.”—නික්මයාම 37:19, 20.

බයිබලයේ කොට්ටම්බා ගස ගැන කතා කර තිබෙන්නේ මඳ වශයෙන් වුණත් එහි අලංකාර සුදෝ සුදු පුෂ්පයනුත් ශීත සමයේ හිමිදිරියේ ඒවායේ පිබිදීමත් අපගේ සිත් ඇදගන්නේ නැද්ද? මේ මනබන්ධනීය ගස අපේ මතකයේ රඳවන එක් වැදගත් කරුණකි මේ. එනම්, සියල්ලටම වඩා යෙහෝවා සිය අරමුණ ඉටු කරගන්නා තෙක් ‘පිබිද සිටින’ බවයි.—යෙසායා 55:11.