Skip to content

පටුනට යන්න

‘අත්හදා බැලීම අසාර්ථක වෙයි’

‘අත්හදා බැලීම අසාර්ථක වෙයි’

‘අත්හදා බැලීම අසාර්ථක වෙයි’

මුළු ලොවම ශීඝ්‍ර ලෙස එකට බැඳෙන විශ්ව ගම්මානයක් වී ඇති හෙයින් ඇති නැති පරතරය පුළුල් වන බව කියැවෙනවා. ලෝක ආර්ථිකයක් ගොඩනැඟීමේ වෑයම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රියාකාරි කණ්ඩායමක් අදහස් දක්වන්නේ මෙසේයි. “ලෝක ආර්ථිකයක් ගොඩනැඟීමේ පනස් වසරක වෑයම අසාර්ථක වී තිබෙනවා. සෑම කෙනෙකුටම ආර්ථික වාසි ලබා දෙනවා වෙනුවට එය මිහිතලයම මහත් පාරිසරික විනාශයකට සහ පෙර නොදුටු විරූ ලෙස සමාජය අසහනකාරි තත්වයකට ඇද දමා තිබෙනවා. බොහෝ රටවල ආර්ථිකය තුළ පවතින්නේ අවුල්සහගත තත්වයක්. දුගීකම, කුසගින්න, නිවසක් තනාගන්නට බිම් අඟලක් නොමැතිකම, වෙනත් රටවලට සංක්‍රමණය වීම සහ සමාජයෙන් දුරස් වී සිටීම වැනි දේවල වැඩිවීමක් දක්නට තිබෙනවා. ඇත්තෙන්ම අත්හදා බැලීම අසාර්ථක වෑයමක් ලෙස දැන් හැඳින්වීම උචිතයි.”

වැරදුණේ කොහේද? මෙයට හේතුව මනුෂ්‍යයන් ආත්මාර්ථකාමී අරමුණු පසුපස හඹායාමේදී ඔවුන් අතින් අන් අයට හිංසාවන් සිදුවීමයි. මූල්‍ය ආයෝජකයෙක් වන ජෝර්ජ් සොරොස් මෙසේ ප්‍රකාශ කරයි. “මූල්‍ය වෙළඳපොළවල් සෑම දෙයකටම මැදිහත් වී තිබෙනවා. මිනිසාවත් සොබාදහමත් මිල දී ගත හැකි සහ විකිණිය හැකි තත්වයකට පත් කර තිබෙනවා.” මිනිසාගේ අසම්පූර්ණකමත් මෙයට තවත් හේතුවක්. සොරොස්, දර්ශනවාදියෙක් වන කාල් පොපගේ අදහස්වලට එකඟ වෙමින් මෙසේ පවසයි. “උත්පත්තියේදී අපේ ධාරණ හැකියාව සර්ව සම්පූර්ණව පිහිටලා නැහැ. වහෙන්ඔරෝ නැතුව කෙළින්ම කියනවා නම් සාර්ථක සමාජයක් බිහි කිරීමේ අරමුණ බොඳ වූ සිහිනයක් විතරයි.”

ආර්ථික වශයෙන් සමාජය තුළ තිබෙන අසමානතාව අද ඊයේ ඉස්මතු වූ දෙයක් නොවෙයි. ක්‍රිස්තුස්ගේ පැමිණීමට ශතවර්ෂ අටකට කලින් බයිබල් ලේඛකයෙක් මෙම වදන් පැවසුවා. “නුඹලා දුප්පතුන්ට පීඩාකර දිළිඳුන්ට බලාත්කාරකරන්නහුය.” (ආමොස් 4:1) සිදු වෙන අසාධාරණකම් ගැන පුරාණ පාලකයෙක් අවුරුදු 3,000කට ඉහතදී ප්‍රකාශ කළේ මෙසේයි. “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන කාලයක් තිබේ.”—දේශනාකාරයා 8:9.

මෙම ගැටලුවට විසඳුම කුමක්ද? මනුෂ්‍ය සංවිධානවලට ජාත්‍යන්තර සහයෝගිතාව ඇතුව ආර්ථික අසමානතාව බිඳ දැමිය හැකිද? සොරොස් පවසන්නේ මෙසේයි. “අපිට ප්‍රමාණවත් ජාත්‍යන්තර ආයතන නැහැ. පුද්ගලයන්ගේ නිදහස, මානව හිමිකම් සහ පරිසරය රැකගත යුතුයි; එමෙන්ම සමාජය තුළ සාධාරණය රජ කරවන්නට යත්න දැරිය යුතුයි; නමුත් වඩාත් වැදගත්ම දෙය වෙන්නේ සාමයයි. නමුත් අපිට තියෙන සංවිධාන බොහෝමයක් ආණ්ඩුවට සම්බන්ධ ඒවා. ඒ අය තමන්ගේ අරමුණු මුදුන් පමුණුවාගන්නවා මිසක් සමාජයේ යහපත ගැන හිතන්නේ නැහැ. ව්‍යවස්ථානුකූලව ගත් විට එක්සත් ජාතීනුත් තම ප්‍රාරම්භක ප්‍රඥප්තියේ සඳහන් පොරොන්දු ඉටු කිරීමට පවා අසමත් වී තිබෙනවා.”

අපි බලාපොරොත්තුවක් නොමැතිව මං මුළා විය යුතුද? ඇත්තෙන්ම නැහැ. ධර්මිෂ්ඨ ලෝක ආණ්ඩුවක් පෙනෙන මායිමේ! යේසුස්ගේ දේශනා සේවයේ තේමාව වූයෙත් එයයි. ඔහු එය හැඳින්වූයේ ‘දෙවිගේ රාජ්‍යය’ ලෙසයි. එමෙන්ම තම ගෝලයන්ට ඒ සඳහා යාච්ඤා කරන්න කියා ඔහු ඉගැන්වුවා. (ලූක් 11:2; 21:31) දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ ස්ථාපිත කර ඇති අතර එම රාජ්‍යය ඉතාමත් ඉක්මනින් මෙම පොළොවේ තිබෙන අයුක්තිය මුළුමනින්ම උදුරා දමයි. (එළිදරව් 11:15, 18) අත්හදා බලන තාවකාලික පාලන ක්‍රම මෙන් නොව දෙවිගේ රාජ්‍යය සදාකාලිකයි. (දානියෙල් 2:44, 45) එය දුප්පත්කම සහ හිංසාව සදහටම නැති කර දමයි. දුප්පත්කමින් සහ හිංසාවෙන් විඩාබර වූවන්ට පමණක් නොව සෑම කෙනෙකුටම එය මොනතරම් විශිෂ්ට බලාපොරොත්තුවක්ද!

[29වන පිටුවේ පින්තූරය]

ලෝක ආර්ථිකයට දුප්පත් අයගේ ප්‍රශ්න විසඳීමට නොහැකි වී තිබෙනවා. බිලියන ගණනකට තවමත් නල ජලය හෝ විදුලි බලය නැහැ