Skip to content

පටුනට යන්න

ඔබට උපකාරයක් තිබෙනවා

ඔබට උපකාරයක් තිබෙනවා

ඔබට උපකාරයක් තිබෙනවා

‘නිදි පෙති හතළිස් නවයක් කෝප්පයේ. ගිලින්ටද එපාද?’ විසිඅට හැවිරිදි ස්විට්සර්ලන්ත ජාතික මිනිසෙක් තමාගෙන්ම අසාගත්තා. ඔහුගේ බිරිඳ සහ දරුවන් ඔහුව අත්හැර ගිහින්. දැන් ඔහු මානසික අසහනයෙන් පෙළෙනවා. එහෙත් වස ගිල දැමුවායින් පසුව, ඔහු තමාටම මෙසේ කියාගත්තා: ‘නැහැ. මට මැරෙන්න ඕනෑ නැහැ!’ භාග්‍යයකට වගේ, මේ කතාව කියන්ට අද ඔහු ජීවතුන් අතර සිටිනවා. දිවි නසාගැනීමට ඇති වන ආවේගීය පෙලඹීම් හැමවිටම මරණයෙන් කෙළවර වන්නේ නැහැ.

එක්සත් ජනපද රෝග පාලන සහ මර්දන ආයතනයේ ඇලෙක්ස් ක්‍රොස්බි නහඹරයන් දිවි නසාගැනීමට තැත් කිරීම පිළිබඳව මෙසේ පැවසුවා: “පැය කිහිපයකට හෝ ඔහුව නවතාගන්ට ඔබට හැකි නම්, ඔබට ඔහුව දිවි නසාගැනීමෙන් වළක්වන්ට පුළුවන්. බලෙන් හෝ නවත්වාගන්නවා නම්, දිවි නසාගැනීමට තැත් කරන බොහෝදෙනෙකුව මරණයෙන් බේරාගන්ට ඔබට පුළුවන්. ඔව්, ඔවුන්ගේ ජීවිත ගළවාගන්ට පුළුවන්.”

ජපානයේ වෛද්‍ය විද්‍යාලයේ දිවි සුරැකුම් සහ හදිසි සත්කාර ආයතනයේ සේවය කරන විට, මහාචාර්ය හිසාෂි කුරෝසාවා, දිවි නසාගැනීමට තැත් කළ සිය ගණනකට යළිත් ජීවත් වීමේ ආශාව ඇති කර දී තිබෙනවා. ඔව්, යම් ආකාරයක මැදිහත් වීමකින් ජීවිත බේරාගන්ට පිළිවන්. එවන් අයට අවශ්‍ය වන්නේ කිනම් උපකාරයක්ද?

සැඟවුණු ගැටලුවලට මුහුණ දීම

මීට පෙර පළ වූ ලිපියේ සඳහන් වූවාක් මෙන්, සිය දිවි නසාගත් අයගෙන් සියයට 90කටම, මානසික ආබාධ හෝ මත්පැන් හා මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතය නිසා ඇති වූ අක්‍රමිකතා තිබුණා. මෙබැවින්, එක්සත් ජනපදයේ මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ ඊව් කේ. මොස්චිට්ස්කි මෙසේ පවසනවා: “සියලු වයස් මට්ටම්වල සිටින අයව දිවි නසාගැනීමෙන් වළක්වාලීමට තිබෙන ලොකුම බලාපොරොත්තුව තමයි, මානසික සහ ඇබ්බැහි වීමේ අක්‍රමිකතාවලින් ඔවුන්ව මුදවාගැනීම.”

එවන් මානසික අක්‍රමිකතා තිබෙන අය උපකාර ලැබීමට උත්සාහ නොකිරීම කනගාටුවට කරුණක්. එසේ නොකරන්නේ ඇයි? “සමාජයේ තිබෙන දැඩි අගතිසහගත අදහස් එයට හේතුවයි” කියා ටෝකියෝ නාගරික මනෝචිකිත්සක ආයතනයේ යොෂිටෝමෝ ටාකාහාෂි පවසනවා. මෙහි ප්‍රතිඵලයක් හැටියට, තමන් අසනීප තත්වයකින් පසු වන බව සුළු වශයෙන් හෝ අවබෝධ කරගෙන සිටින අය පවා ක්ෂණික ප්‍රතිකාර ගැනීමට මැළිකමක් දක්වන බවද ඔහු තවදුරටත් කියා සිටියා.

එහෙත් ඇතැම් අය ලජ්ජාව ගණන් ගන්නේ නැහැ. වසර 17ක් මුළුල්ලේ ජපානයේ තම ප්‍රසංග ඉදිරිපත් කළ සුප්‍රකට රූපවාහිනි නිවේදකයෙකු වන හිරෝෂි ඔගාවා, තමන් මානසික අසහනයෙන් පෙළෙන බවත් එමෙන්ම දිවි නසාගන්නට තැත් කර ඇති බවත් ප්‍රසිද්ධියේ පිළිගත්තා. “මානසික අසහනය හරියට මනසේ වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාවක් වගේ,” කියා ඔගාවා පැවසුවා. ඕනෑම කෙනෙකුට එය වැළඳෙන්ට පුළුවන්, ඒ වගේම සුවය ලබාගන්ටත් පුළුවන්.

කා සමඟ හෝ කතා කරන්න

“යමෙක් තමාගේ ගැටලුව සමඟ තනි වෙනකොට, ඔහු හෝ ඇය සිතන්නේ තමාගේ ගැටලුව තරම් ලොකු ගැටලුවක් මේ ලෝකයේ කාටවත් නැහැ කියලා, ඒ වගේම ඒක විසඳන්නත් බැහැ කියලා,” කලින් අදහස් දැක්වූ හංගේරියාවේ සෞඛ්‍ය නිලධාරිනියක් වන බෙලා බුඩා පවසනවා. බයිබලයේ සඳහන් මෙම පැරණි ආප්තෝපදේශයේ අන්තර්ගත ප්‍රඥාව එම නිරීක්ෂණයෙන් මොනවට පැහැදිලි කරනවා: “තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.”—හිතෝපදේශ18:1.

ඒ ප්‍රඥාවන්ත වදන්වලට සවන් දෙන්න. පෞද්ගලික ගැටලුවලින් පිරී ගිය සාගරයේ ඔබව ගිලීයෑමට ඉඩ දෙන්න එපා. ඔබේ අදහස් පැවසිය හැකි කෙනෙකුව සොයාගෙන ඔහු සමඟ කතා කරන්න. ‘මට හිතේ තියෙන දේ කියාගන්න කෙනෙක් නැහැ’ කියා ඔබ කියන්ට පුළුවන්. මානසික සෞඛ්‍යය පිළිබඳ මහාචාර්යවරයෙකු හා වෛද්‍යවරයෙකු වන නාඕකි සාටෝ පවසන විදිහට බොහෝදෙනෙකුට හැඟෙන්නේ එහෙමයි. සමහරවිට මෙවන් රෝගීන් තමන්ගේ දුර්වලකම් අනුන්ට හෙළි වෙයි යන භය නිසා කිසිම දෙයක් අනුන්ට කීමෙන් වැළකී සිටින්ට ඉඩ තිබෙන බවද සාටෝ සඳහන් කරනවා.

සවන් දීම සඳහා කෙනෙක් හැරෙන්නේ කා වෙතටද? බොහෝ රටවල එවන් තැනැත්තෙකුට හෝ තැනැත්තියකට දිවි නසාගැනීම වැළැක්වීමේ ආයතනයක උපකාරය ලබාගන්ට පිළිවන්, එහෙමත් නැත්නම් දුරකථනයෙන් ක්ෂණික ඇමතුමක් ලබාගෙන මානසික විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබාගන්ට පුළුවන්. තවත් සමහර විශේෂඥයන් පිළිගන්නේ එවන් අයට වෙනත් පැත්තකින් උපකාර ලබාගන්ට හැකි බවයි. ඒ තමයි, ආගම. එය උපකාරයක් විය හැක්කේ කොහොමද?

අවශ්‍ය උපකාරය සොයාගැනීම

බල්ගේරියාවේ ආබාධිතයෙකුව සිටි මැරින් නමැති තැනැත්තාට සිය දිවි හානි කරගැනීමට තදබල ආශාවක් ඇති වුණා. එක් දවසක් ඔහුට යෙහෝවාගේ සාක්ෂිකරුවන් පළ කරන මුරටැඹ නමැති ආගමික සඟරාවක පිටපතක් ලැබුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් පෞද්ගලිකව ඔවුන්ව හමු වෙනවාට කැමතිදැයි එම සඟරාවේ අසා තිබූ ප්‍රශ්නයට ඔහු ප්‍රතිචාරය දැක්වූවා. ඉන් ඇති වූ ප්‍රතිඵලය මැරින් විස්තර කරන්නේ මෙලෙසයි: “ජීවිතය කියන්නේ අපගේ ස්වර්ගික පියාණන්ගෙන් ලද ත්‍යාගයක් බවත් අපට කැමති විදිහට එයට හානි කරගැනීමට හෝ එය නසාගැනීමට අපට අයිතියක් නැති බවත් මම ඔවුන්ගෙන් ඉගෙනගත්තා. මෙසේ, දිවි නසාගැනීමට මා තුළ තිබූ පෙලඹීම නැති කරගෙන මම ආයෙත් ජීවිතයට ප්‍රිය කරන්න පටන්ගත්තා!” එමෙන්ම ක්‍රිස්තියානි සභාවෙන්ද මැරින්ට ප්‍රේමනීය උපකාර ලැබුණා. තවමත් ආබාධිතයෙකුව සිටියත්, ඔහු මෙසේ කියනවා: “මම දැන් ප්‍රීතියෙන් හා සතුටින් ජීවත් වෙනවා. මගේ ජීවිතයේ කරන්ට බොහෝ ප්‍රසන්න දේවල් තිබෙනවා. ඒ සියල්ලම කරන්ටත් කාලය මදි! මේ හැම දේකටම මම යෙහෝවාටත් ඔහුගේ සාක්ෂිකරුවන්ටත් කෘතඥ වෙනවා.”

මෙම ලිපියේ මුලින්ම සඳහන් වූ ස්විට්සර්ලන්ත ජාතික තරුණයාද යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් උපකාර ලැබුවා. තමන්ව රැකබලා ගැනීමට ඉදිරිපත් වූ “ක්‍රිස්තියානි පවුලේ කරුණාවන්තකම” ගැන ඔහු අදත් කතා කරනවා. “පසුව, [යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ] සභාවේ සාමාජිකයන් දවස්පතා මාරුවෙන් මාරුවට මට කෑම වේලකට ආරාධනා කළා. මට ආගන්තුක සත්කාර කිරීම පමණක් නොවේ, මා සමඟ කතා කරන්ටත් කවුරුහරි සිටි එක මට මහත් උපකාරයක් වුණා.”

ඒ වගේම මේ තැනැත්තා බයිබලයෙන් ඉගෙනගත් දේ තුළින් මහත් දිරිගැන්වීමක්ද ලැබුවා. විශේෂයෙන්ම සත්‍ය දෙවි වන යෙහෝවා මිනිස්වර්ගයා සඳහා දැක්වූ මහඟු ප්‍රේමය ඔහුගේ සිතට තදින් කාවැදුණා. (යොහන් 3:16) ඇත්ත වශයෙන්ම, යෙහෝවා දෙවිට ඔබ ඔබේ ‘සිත් වගුරුවන්නේ’ නම්, ඔහු ඔබට සවන් දෙනවා සිකුරුයි. (ගීතාවලිය 62:8) ‘යෙහෝවා කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස ඔහුගේ බලය පාමින්, ඔහුගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය.’ (2 ලේකම් 16:9) යෙහෝවා අපට මෙසේ සහතික වෙනවා: “භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමග සිටිමි; තැති නොගන්න. මක්නිසාද මම නුඹේ [දෙවිය]. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නමැති දකුණතින් නුඹ උසුලන්නෙමි.”—යෙසායා 41:10.

නව ලොවක් පිළිබඳ දෙවිගේ පොරොන්දුව ගැන එම ස්විට්සර්ලන්ත ජාතික තරුණයා මෙසේ පවසනවා: “මගේ ජීවිතයේ කලකිරීම හුඟක් දුරට අඩු කරගැනීමට මෙම දේව පොරොන්දුව මට මහත් සේ උපකාරවත් වුණා.” ‘ආත්මයට නැංගුරමක්’ ලෙස විස්තර කර ඇති එම බලාපොරොත්තුවට, පොළොවේ පාරාදීසයක සදහටම ජීවත් වීමේ පොරොන්දුවද ඇතුළත්.—හෙබ්‍රෙව් 6:19, NW; ගීතාවලිය 37:10, 11, 29.

ඔබේ ජීවිතය වෙනත් අයටත් වැදගත්

ඔබ මුළුමනින්ම තනි වී ඇත කියා ඔබට හැඟෙන, ඔබ මැරුණත් අනුන්ට ඉන් කමක් නැහැ කියා සිතෙන තත්වයන් ඔබේ ජීවිතයේ විටින් විට මතු වෙන්ට පුළුවන්. එහෙත් මෙය මතක තියාගන්න: තනි වී ඇත කියා හැඟීම සහ ඇත්තටම තනිව සිටීම අතර වෙනසක් තිබෙනවා. බයිබල් කාලවලදී විසූ ප්‍රොපේත එලියා තම ජීවිතයේ එක් අවස්ථාවක මානසිකව ඉතා පහත් අඩියකට වැටුණා. ඔහු යෙහෝවාට මෙසේ කිව්වා: “[ඔවුන්] ඔබගේ ප්‍රොපේතවරුන් කඩුවෙන් මැරුවෝය; ඉතුරුව සිටින්නේ මම පමණක්ය.” ඔව්, තමන් මුළුමනින්ම පාහේ තනි වී ඇති බව එලියාට හැඟුණා. ඒ හේතුවක් නැතුවම නොවේ. ඔහුගේ සෙසු ප්‍රොපේතවරුන් මහත් සංඛ්‍යාවක් මරා දමා තිබුණා. මරණය පිළිබඳ සිතුවිල්ල ඔහුගේ හිස මත එහාට මෙහාට දෝලනය වන්ට වුණා. තමන්ගේ ජීවිතය ගළවාගැනීමට ඔහු දිව ගියා. නමුත් ඇත්තටම ඔහු තනි වුණාද? නැහැ. ඔහු මෙන් තවත් 7,000ක් පමණ දෙනා එම අඳුරු කාලවල සැබෑ දෙවිට සේවය කිරීමට විශ්වාසවන්තව උත්සාහ කරමින් සිටි බව යෙහෝවා ඔහුට දැනුම් දුන්නා. (1 රාජාවලිය 19:1-18) එසේ නම් ඔබ ගැන කුමක් කියන්ට පුළුවන්ද? ඔබ සිතන තරම්ම ඔබ තනි වෙලා නැහැ නේද?

ඔබ ගැන සැලකිල්ල දක්වන අයත් සිටිනවා. ඔබගේ දෙමාපියන්, ඔබගේ කලත්‍රයා, ඔබේ දරුවන් සහ ඔබේ මිතුරන් සිටිනවා. එහෙත් ඊටත් වඩා අය සිටිනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල, ඔබ ගැන උනන්දු වෙන, ඔබට ඉවසීමෙන් සවන් දෙන, ඔබ සමඟත් ඔබ වෙනුවෙනුත් යාච්ඤා කරන මේරූ ක්‍රිස්තියානීන් සිටිනවා. (යාකොබ් 5:14, 15) අසම්පූර්ණ මිනිසුන් ඔබේ බලාපොරොත්තු සුන් කළත්, ඔබව කවදාකවත් ඉවත නොදමන කෙනෙක් සිටිනවා. පුරාණයේ විසූ දාවිත් රජ කීවේ මෙහෙමයි: “මාගේ පියාද මවුද මා අත්හැරියෝය, නුමුත් [යෙහෝවා] මා පිළිගනියි.” (ගීතාවලිය 27:10) ඔව්, යෙහෝවා “ඔබ ගැන සලකයි.” (1 පේතෘස් 5:7, NW) ඔබ යෙහෝවාගේ ඇස් හමුවේ ඉතා අනර්ඝ බව කිසිවිටෙකත් අමතක කරන්ට එපා.

ජීවිතය කියන්නේ දෙවිගෙන් ලද තෑග්ගක්. නමුත් ජීවිතය තෑග්ගකට වඩා මහා බරක් කියා කෙනෙකුට ඇතැම් විට හැඟෙන්ට පිළිවන්. එහෙත්, ඔබ යම් කෙනෙකුට වටිනා තෑග්ගක් දුන්නායයි සිතන්න. එම තැනැත්තා එය භුක්ති විඳින්ට පෙර එය ඉවතට විසි කර දැමුවා නම් ඔබට කොහොම හැඟේවිද? අසම්පූර්ණ මිනිසුන් වන අපි ජීවිතය භුක්ති විඳින්ට පටන්ගත්තා විතරයි. ඇත්තෙන්ම, බයිබලය අඟවන්නේ, අපි දැන් ගත කරන ජීවිතය දෙවිගේ ඇස් ඉදිරියේ “සැබෑ ජීවිතය” නොවන බවයි. (1 තිමෝති 6:19, NW) ඔව්, නුදුරු අනාගතයේ වැඩි කල් යන්නට මත්තෙන්, අපගේ ජීවිතය මීටත් වඩා බොහෝ පූර්ණ, වඩාත් සෞභාග්‍යයෙන් පිරි, ඒ වගේම වඩාත් සන්තෝෂවත් එකක් වේවි. ඒ කොහොමද?

බයිබලය මෙසේ කියනවා: “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු [පිස දමන්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” (එළිදරව් 21:3, 4) එම වචන ඉෂ්ට වන විට, ඔබේ ජීවිතය මොන වගේ එකක් වේවිද කියා මනසින් මවාගන්න. හොඳින් කාලය ගන්න. ඔව්, පරිපූර්ණ වර්ණවත් චිත්‍රයක් මනසින් මවාගන්න. එම චිත්‍රය නිකම්ම හිස් සිහිනයක් නොවේ. අතීතයේදී යෙහෝවා තම ජනතාව සමඟ කටයුතු කර ඇති ආකාරය ගැන ඔබ මෙනෙහි කරනවා නම්, ඔහු කෙරෙහි ඇති ඔබගේ විශ්වාසය තව තවත් වැඩි වේවි. ඒ වගේම එම චිත්‍රය ඔබට වඩාත් අර්ථවත් එකක් වේවි.—ගීතාවලිය 136:1-26.

ජීවත් වීමට මුළුමනින්ම පූර්ණ ආශාවක් ඇති කරගැනීමට යම් කාලයක් ගත වේවි. ‘අපගේ සියලු පීඩාවලදී අප සනසන සෑම සැනසිල්ලේ දෙවි’ යෙහෝවාට දිගටම යාච්ඤා කරන්න. (2 කොරින්ති 1:3, 4; රෝම 12:12; 1 තෙසලෝනික 5:17) ඔබට අවශ්‍ය උපකාරය යෙහෝවා ඔබට දේවි. ජීවිතය ඉතා අනර්ඝ දෙයක් බව ඔහු ඔබට උගන්වාවි.—යෙසායා 40:29.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දිවි නසාගැනීමට තැත් කරන්නෙකුව ගළවාගන්නේ කොහොමද?

කවුරුහරි කෙනෙක් ඔබ වෙතට ඇවිත්, දිවි නසාගන්ට අදහසක් තියෙනවා කියා පැවසුවොත්, ඔබ කළ යුත්තේ කුමක්ද? “හොඳින් සවන් දෙන්න.” මෙසේ අවවාද කරන්නේ, එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණය පිළිබඳ ආයතනයයි. ඔහුට හැඟෙන විදිහ කීමට ඉඩහරින්න. එහෙත්, බොහෝ අවස්ථාවල දිවි නසාගැනීමට තැත් කරන පුද්ගලයා සමාජයෙන් ඈත්ව සිටින අතර එතරම් කතා බහ නොකරයි. ඔහු මුහුණපාමින් සිටින වේදනාවේ හෝ බලාපොරොත්තු විරහිතබවේ යථාර්ථය තේරුම්ගන්න උත්සාහ කරන්න. ඔහුගේ හැසිරීමේ යම් වෙනසක් ඔබ දුටුවා කියා ඔහුට මෘදු ලෙස කිව්වොත්, ඔහුගේ සිතේ තිබෙන දේවල් ඔබට කීමට ඔහු පෙලඹේවි.

සවන් දෙන අතර, ඔහුගේ තත්වයට බසින්න වෑයම් කරන්න. “එම පුද්ගලයාගේ ජීවිතය ඔබටත් වෙනත් අයටත් වැදගත් බව ඔහුට කාවද්දන්න,” යයි ඉහත සඳහන් ආයතනය පවසනවා. ඔහුගේ මරණය ඔබටත් වෙනත් අයටත් දරාගත නොහැකි වේදනාවක් වනු ඇති බව ඔහුට කෙළින්ම කියන්න. ඔහුගේ මැවුම්කරු ඔහු කෙරෙහි සැලකිලිමත් බව දැකීමට ඔහුට උපකාර කරන්න.—1 පේතෘස් 5:7.

ඒ වගේම මෙම පුද්ගලයා සිය දිවි නසාගැනීමට පාවිච්චි කරාවි කියා සිතෙන ඕනෑම දෙයක්, විශේෂයෙන්ම ගිනි අවි තිබෙනවා නම්, ඒවා ඉවත් කරන ලෙස විශේෂඥයන් නිර්දේශ කරනවා. තත්වය දරුණුයි කියා පෙනෙන්ට තිබෙනවා නම්, වෛද්‍යවරයෙකු කරා යන ලෙස ඔහුව දිරිගන්වන්න ඔබට සිතෙන්ට පුළුවන්. තත්වය ඉතාමත්ම දරුණු නම්, කරන්ට වෙනයම් දෙයක් නැත්නම්, යම් ආකාරයක වෛද්‍ය සේවාවක් සලසා දීමට කටයුතු කිරීම සඳහා ඔබටම ඉදිරිපත් වන්ට පිළිවන්.

[11වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“මගේ මේ හැඟීම්වලට දෙවි සමාව දේවිද?”

දිවි නසාගැනීමට සිතූ බොහෝදෙනෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කිරීම තුළින් උපකාර ලබා තිබෙනවා. එහෙත්, අදදින ජීවත් වන කිසි කෙනෙක් ජීවිතයේ පීඩාකාරි හෝ මානසික අසහනකාරි තත්වයන්ට ගොදුරු නොවී සිටින්නේ නැහැ. තම දිවි නසාගැනීමට සිතූ ක්‍රිස්තියානීන්ගෙන් බොහෝදෙනෙක්, තමන්ට එවන් හැඟීම් ඇතිවීම නිසා මහත් සිත්තැවුලට මුහුණ පා තිබෙනවා. එවන් වරද සහිතභාවයක් හැඟීම, ඔවුන්ගේ බරට තවත් බරක් පැටවීමක්. එසේ නම්, එවන් හැඟීම් සමඟ සාර්ථකව කටයුතු කළ හැක්කේ කෙසේද?

බයිබල් කාලවල විසූ පුරුෂයන් සහ ස්ත්‍රීන්ද ජීවිතය ගැන එබඳු ගැඹුරු අශුභවාදී හැඟීම් පළ කළා. ආදිපිතෘ ඊසාක්ගේ භාර්යාව වූ රෙබෙකා වරෙක පවුලේ ගැටලුවක් ගැන කලකිරී මෙසේ පැවසුවා: “මගේ ජීවිතය මට එපාවී තිබේ.” (උත්පත්ති 27:46) තම දරුවන්ව, තම සෞඛ්‍යය, තම ධනය සහ තමාගේ සමාජ තත්වය අහිමි වූ යෝබ් පැවසුවේ, “මාගේ ආත්මයට මාගේ ජීවිතය වෙහෙසක්ය” කියායි. (යෝබ් 10:1) මෝසෙස් වරෙක දෙවිට මෙසේ මොර දුන්නා: “වහාම මා මරන ලෙස ඔබගෙන් ඉල්ලමි.” (ගණන් කථාව 11:15) දෙවිගේ ප්‍රොපේතවරයෙකු වූ එලියා වරෙක මෙසේ කීවා: “දැන් [යෙහෝවා], මාගේ ප්‍රාණය ගතමැනව.” (1 රාජාවලිය 19:4) ප්‍රොපේත යෝනා යළි යළිත් මෙසේ පැවසුවා: “ජීවත්වීමට වඩා නැසීයාම මට හොඳය.”—යෝනා 4:8.

මෙම පුද්ගලයන් තමන්වම හෙළා දැමුවාක් මෙන්, යෙහෝවාත් ඔවුන්ව හෙළා දැමුවාද? නැහැ. ඔවුන්ගේ එම අදහස් පවා යෙහෝවා බයිබලයේ ආරක්ෂා කර තිබෙනවා. එහෙත් මෙහිදී මතක තබාගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි, විශ්වාසවන්ත වූ මොවුන්ගෙන් කිසිවෙක් තමන්ගේ මෙම හැඟීම් නිසා දිවි නසා නොගත් බව. යෙහෝවා ඔවුන්ව ඉතා අනර්ඝ කොට සැලකුවා. ඔවුන් ජීවත් වනවා දකින්ට ඔහුට වුවමනා වුණා. ඇත්තෙන්ම, යෙහෝවා දුෂ්ටයන්ගේ ජීවිත ගැන පවා සැලකිලිමත් වන කෙනෙක්. තමන්ගේ මාර්ග අතහැර ‘ජීවත් වන’ ලෙස ඔහු ඔවුන්ගෙන් උදක්ම ඉල්ලා සිටිනවා. (එසකියෙල් 33:11) තත්වය එය නම්, ඔහුගේ අනුමැතිය දිනාගැනීමට ඉතා උනන්දුවෙන් සිටින අය කෙරෙහි ඔහු කොතරම් සැලකිල්ලක් දක්වනවා විය හැකිද!

සිය පුත්‍රයාගේ මිදීමේ මිලය, ක්‍රිස්තියානි සභාව, බයිබලය සහ යාච්ඤාවේ වරප්‍රසාදය වැනි සැපයුම් දෙවි දානය කර තිබෙනවා. දෙවි සමඟ කතා බහ කිරීමේ මාධ්‍යය වන යාච්ඤාව කිසිවිටෙකත් “විසන්ධි” වන්නේ නැහැ. යටහත් පහත් අවංක හදවතකින් තමන් වෙතට එන ඕනෑම කෙනෙකුට දෙවි සවන් දෙනවා. “එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම්වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසැකකමින් කරුණාවේ සිංහාසනයට ළඟාවෙමු.”—හෙබ්‍රෙව් 4:16.

[12වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ඔබ ආදරය කළ කෙනෙක් දිවි නසාගෙන තිබෙනවාද?

යමෙක් සිය දිවි නසාගත් අවස්ථාවක, එම තැනැත්තාගේ පවුලේ උදවිය සහ කිට්ටු මිතුරන් දරුණු මානසික සන්තාපයකින් පෙළෙනවා. මේ ගැන බොහෝදෙනෙක් දොස් පවරාගන්නේ තමුන්ටමයි. ඔවුන් මෙවැනි දේවල් කියා සිටිනවා. ‘අනේ, මම එදා එයා එක්ක තව ටික වේලාවක් රැඳී සිටියා නම්,’ ‘අනේ, මම ඒ වේලාවේ මුකුත් නොකියා සිටියා නම්,’ ‘අනේ, මං එයාට තව ටිකක් උදව් කළා නම්.’ මෙයින් ඇඟවෙන දෙය මෙයයි. ‘මම එහෙම කළා නම්, නැත්නම් මෙහෙම කළා නම්, මං ආදරය කළ මේ පුද්ගලයා තවමත් ජීවතුන් අතර.’ එසේ නම්, යමෙකුගේ දිවි නසාගැනීම ගැන තමාට දොස් පැවරීම සාධාරණද?

යමෙක් දිවි නසාගැනීමට සිතමින් සිටි බව කෙනෙකුට පහසුවෙන්ම අනාවරණය කරගත හැක්කේ ඔහු දිවි නසාගත්තාට පසුවයි. නමුත්, දිවි නසාගැනීමට පෙර ඒ ලක්ෂණ හඳුනාගැනීම එතරම් පහසු නැහැ. බයිබලය මෙසේ කියනවා: “සිත තමාගේම ශෝකය දනියි; එහි ප්‍රීතියට අන්‍යයෙක් මැදි නොවෙයි.” (හිතෝපදේශ 14:10) වෙන කෙනෙක් සිතන්නේ මොනවාද, ඔහුට හෝ ඇයට දැනෙන්නේ මොනවාද කියා වටහාගැනීම ඇතැම් විට කළ නොහැකි දෙයක්. දිවි නසාගැනීමට සිතන බොහෝදෙනෙකුට, තමන්ගේ යටි හිතේ තිබෙන හැඟීම් තවත් කෙනෙකුට, එනම් තමාගේ කිට්ටුම පවුලේ අයට පවා මුළුමනින්ම කීමට බැහැ.

ශෝක වදන් කියාපෑම (සිංහලෙන් නොමැත) යන පොතේ, දිවි නසාගැනීමට තැත් කරන පුද්ගලයෙකු තුළ තිබිය හැකි ලක්ෂණ ගැන මෙසේ කියනවා: “යථාර්ථය තමයි, එවන් ලක්ෂණ හඳුනාගැනීම සාමාන්‍යයෙන් පහසු නැහැ කියන කාරණය.” ඔබට එම බාහිර ලක්ෂණ හඳුනාගන්ට පුළුවන් වුණත්, ඔබට එම තැනැත්තාව දිවි හානි කරගැනීමෙන් වළක්වන්ට පුළුවන්ද යන්න සැක සහිත බව එම පොතේ තවදුරටත් සඳහන් වෙනවා. ඔබටම දුක් පමුණුවා ගන්නවා වෙනුවට ඥානවන්ත සාලමොන් රජගේ වදන්වලින් ඔබට සහනයක් ලබාගත හැකියි. “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය.” (දේශනාකාරයා 9:5) ඔබ ආදරය කළ තැනැත්තා හෝ තැනැත්තිය නිරාගින්නක දුක් විඳින්නේ නැහැ. ඔහුගේ හෝ ඇගේ දිවි නසාගැනීමට හේතු වූ මානසික හා චිත්තවේගීය වේදනාව දැන් නිමා වෙලා. ඔහු හෝ ඇය තවදුරටත් දුක් විඳින්නේ නැහැ. ඔහු හෝ ඇය නිකම්ම නිදාගෙනයි ඉන්නේ.

හොඳම දෙය වන්නේ ජීවත් වන ඔබගේ ඇතුළු අනුන්ගේ සුභසාධනය ගැන සැලකිලිමත් වීමයි. සාලමොන් තවදුරටත් මෙසේ කීවා: ජීවත්ව සිටිද්දී “කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න.” (දේශනාකාරයා 9:10) දැනටමත් සිය දිවි නසාගෙන සිටින අයගේ අනාගත ජීවන අපේක්ෂාවන්, “දයාබර කරුණාවල පියවූද සෑම සැනසිල්ලේ දෙවිවූද” යෙහෝවාගේ හස්තය මත තිබෙනවා. (2 කොරින්ති 1:3) එය ඔබේ බිය සැක දුරු කරනු නියතයි. a

[පාදසටහන]

a දිවි නසාගෙන සිටින අයගේ අනාගත අපේක්ෂාවන් පිළිබඳ සමබර අදහසක් ලබාගැනීමට 1991 මාර්තු 8 පිබිදෙව්! කලාපයේ “බයිබලයේ මතය: සිය දිවි නසා ගැනීම්—නැවත නැගිටීමක්?” යන ලිපිය බලන්න.

[8වන පිටුවේ පින්තූර]

කා සමඟ හෝ කතා කරන්න

[10වන පිටුවේ පින්තූර]

ඔබේ ජීවිතය අනුන්ටත් වටිනවා