Skip to content

පටුනට යන්න

ජීවිතය ගැන කලකිරීමට හේතු

ජීවිතය ගැන කලකිරීමට හේතු

ජීවිතය ගැන කලකිරීමට හේතු

“දිවි නසාගැනීමේ ක්‍රම එකිනෙකට වෙනස්ය: එය එක් එක් පුද්ගලයාටම ආවේණිකයි, දැනගත නොහැකියි, ඉමහත් කම්පිත කරවනසුලුයි.” කේ රෙඩ්ෆීල්ඩ් ජැමිසන්, මනෝ චිකිත්සකයෙක්.

“ජීවත් වීම දුකක්.” විසිවන සියවසේ මුල් භාගයේ ජපානයේ එක් සුප්‍රකට ලේඛකයෙකු වූ රයිනෝසුකේ අකුටාගාවා සිය දිවි නසාගැනීමට මොහොතකට පෙර එසේ ලීවා. කෙසේවෙතත්, ඔහු එම ප්‍රකාශය කළේ මෙම වචනද සමඟයි: “ඇත්තවශයෙන්ම මට මැරෙන්ට වුවමනා නැහැ, නමුත් . . . ”

අකුටාගාවාට මෙන්, තමන්ගේම දිවි නසාගැනීමට තැත් කරන බොහෝදෙනෙකුට වුවමනා කරන්නේ “තම වේදනාව නිමා කරගැනීමට මිසක” තම දිවි නසාගැනීමට නොවේයයි මානසික විශේෂඥ මහාචාර්යවරයෙක් ප්‍රකාශ කළා. දිවි නසාගැනීමට තැත් කරන අය අවසන් වරට ලියන සටහන්වල මෙවන් අදහසක් සුලභව දක්නට ලැබෙනවා. එවන් සටහන් අතරින්, ‘මට නම් තවත් දරාගෙන ඉන්න බැහැ’ නැතහොත්, ‘ජීවත් වෙන එකේ තේරුම මොකක්ද?’ යන ප්‍රකාශයන්ගෙන් පෙනී යන්නේ මෙම තැනැත්තාට හෝ තැනැත්තියට ජීවිතයේ කටුක යථාර්ථයන්ගෙන් බේරීමට දැඩි ආශාවක් තිබෙන බවයි. එහෙත්, එක් විශේෂඥයෙක් විස්තර කළාක් මෙන්, සිය දිවි නසාගැනීම “සෙම්ප්‍රතිශ්‍යාවට න්‍යෂ්ටික බෝම්බයකින් ප්‍රතිකාර කරන්නාක් මෙනි.”

මිනිසුන් සිය දිවි නසාගන්නාවූ හේතු එකිනෙකට වෙනස් වුවත්, ඔවුන්ගේ ජීවිතයේ යම් හදිසි සිදුවීම් ඒවාට හේතු වෙනවා.

හදිසි සිදුවීම්

මානසික අසහනයට ලක් වන තරුණයන්, වෙනත් අයට ඉතා සුළු දේවල් මෙන් පෙනෙන කාරණාවලට වුවත් සිය දිවි හානි කරගැනීම විරල දෙයක් නොවේ. ඔවුන්ගේ සිත් පෑරී ඒ ගැන කිසිවක් කර කියාගත නොහැකි වන විට, තමන්ගේ සිත් රිදවූ අයගෙන් පළිගැනීමට තිබෙන එකම මඟ වශයෙන් ඔවුන් දකින්නේ තම දිවි හානි කරගැනීමයි. ජපානයේ දිවි නසාගන්නාවූ ජනයා පිළිබඳ කාරණා හසුරුවන එක් විශේෂඥයෙකු වූ හිරෝෂි ඉනමුරා මෙසේ ලීවා: “තමාට රිදවූ පුද්ගලයාට දඬුවම් කිරීමට වූ තම අභ්‍යන්තර ආශාව දරුවන් සන්තර්පණය කරගන්නේ තමන්ගේම මරණය සිදු කරගැනීමෙනි.”

බ්‍රිතාන්‍යයේ මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූ කරුණක් නම්, දරුවන්ව නිතර නිතර දැඩි අවමානයට හා නින්දාවට ලක් කරන විට, ඔවුන් දිවි නසාගැනීමට තැත් කිරීමේ සම්භාවිතාව හත් ගුණයකින් පමණ වැඩි බවයි. මේ දරුවන් චිත්තවේගීය හැඟීම්වලින් ඇත්තෙන්ම වේදනා විඳිනවා. එල්ලී සිය දිවි නසාගත් එක් 13 හැවිරිදි පිරිමි ළමයෙක් තමන්ට අතවර කළ සහ තමන්ගේ මුදල් පැහැරගත් පුද්ගලයන් පස්දෙනෙකුගේ නම්ද සඳහන් කරමින් මෙසේ ලියා තිබුණා: “කරුණාකර අනෙක් දරුවන්ව ආරක්ෂා කරගන්න.”

තවත් අය දිවි නසාගන්න වෙනත් හේතු තිබෙනවා. පාසැලේදී හෝ නීතිය පැත්තෙන් යම් දුෂ්කරතාවලට මුහුණපෑම, ප්‍රේම සම්බන්ධයක් කැඩී බිඳී යෑම, පංතියේ නරක ප්‍රගති වාර්තාවක් ලැබීම, විභාගවලට මුහුණ දීමට තිබෙද්දී මානසික පීඩනයකට යටවීම, නැතහොත් අනාගතය ගැන ඇති කනස්සල්ලෙන් යටපත් වීම වැනි හේතු ඒ අතරය. සියලු කාරණාවලදී දේවල් හරියටම කරන්න උත්සාහ දරන නහඹරයන්ට යම් දුර්වලකමක් හෝ අසමර්ථ වීමක් සිදු වුවහොත්, එසේ නැතහොත් එවන් දෙයක් සිදු වූවා කියා ඔවුන් සිතාගතහොත්, දිවි නසාගැනීමට තැත් කළ හැකියි.

වැඩිහිටියන් සම්බන්ධයෙන් ගත් කල, මුදල් සහ තම රැකියාව සම්බන්ධ ගැටලු දිවි නසාගැනීමට මඟ පාදන හදිසි කාරණා වෙනවා. වසර ගණනාවක් පුරා ආර්ථිකමය පසුබැසීමකට ලක්වීමෙන් පසු, ජපානයේ මෑතකදී දිවි නසාගැනීම් වසරකට 30,000ක් දක්වා ඉහළ ගියා. මයිනිචි ඩේලි නිව්ස් පුවත් පතට අනුව, මැදිවියේ පසු වන පුරුෂයන්ගෙන් තුන් කාලක් පමණ තමන්ගේම දිවි හානි කරගත්තේ, “ණයබර, ව්‍යාපාරය අසාර්ථක වීම, දිළිඳුකම සහ විරැකියාව” වැනි දෑ හේතුවෙන් මතු වූ ගැටලු නිසයි. පවුල් ගැටලුද දිවි නසාගැනීම්වලට හේතු විය හැකියි. එක් ෆින්ලන්ත පුවත් පතක මෙසේ වාර්තා කර තිබුණා: “මෑතක දික්කසාද වූ මැදිවියේ පුරුෂයන්” වැඩියෙන් දිවි නසාගන්නාවූ අයගේ ගොන්නට වැටෙනවා. හංගේරියාවේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වූ කරුණක් නම්, දිවි නසාගැනීම ගැන කල්පනා කරන ගැහැනු ළමුන්ගෙන් බහුතරයක්ම හැදී වැඩී ඇත්තේ පවුල් දිවිය කඩාකප්පල් වී ගිය නිවෙස්වල බවයි.

විශේෂයෙන් වැඩිහිටියන්ට බලපාන කාරණා අතර, විශ්‍රාම යෑම සහ ශාරීරික අසනීපද වෙයි. බොහෝවිට රෝගී තත්වයක් අද්දකිද්දී සිය දිවි නසාගැනීම ප්‍රශ්නය විසඳීමට තිබෙන මාර්ගයක් ලෙස සැලකෙනවා. ඒ, රෝගී තත්වය මාරාන්තික බවට පෙනෙන්ට තිබෙන විටම නොවේ, නමුත් අසනීපය නිසා ඇති වී තිබෙන වේදනාව තවත් නම් දරන්ට බැහැ කියා රෝගියාට සිතෙන විටයි.

කෙසේවෙතත්, හදිසියෙන් මතු වන සිදුවීම් හෝ කාරණා නිසා සැම කෙනෙක්ම දිවි නසාගන්නේ නැහැ. ඇත්තවශයෙන්ම, ජීවිතයේ එවන් අසීරු තත්වයන්ට මුහුණ දෙන බහුතරයක් තමන්ගේ දිවි හානි කරගන්නේ නැහැ. එසේ නම්, බහුතරයක් තම ගැටලුවලට විසඳුමක් ලෙස දිවි නසා නොගනිද්දී ඇතැම් අය එසේ කරන්නේ ඇයි?

සැඟවුණු හේතුසාධක

“දිවි නසාගැනීමට ගන්නා තීරණවලින් බොහොමයක්ම යම් සිදුවීම් මාලාවක් කෙනෙකු පෞද්ගලිකව තේරුම්ගන්නා ආකාරය අනුව සිදු වෙයි,” යනුවෙන් ජෝන් හොප්කින්ස් වෛද්‍ය සරසවියේ මනෝචිකිත්සක ක්ෂේත්‍රයේ මහාචාර්යවරියක් වන කේ රෙඩ්ෆීල්ඩ් ජැමිසන් පවසනවා. ඇය තවදුරටත් මෙසේ කියනවා: “හොඳ නිරෝගි මනසක් තිබෙන බොහෝදෙනා කොතරම් අසීරු තත්වයකට මුහුණ දීමට සිදු වුවත්, එය දිවි නසාගැනීමට තරම් බරපතළ හේතුවක් කියා සිතන්නේ නැහැ.” එක්සත් ජනපදයේ මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ ඊව් කේ. මොස්චිට්ස්කි සඳහන් කරන්නේ, සැඟවී තිබෙන හේතු ඇතුළු බොහෝ හේතු සාධක කෙනෙකුගේ දිවි නසාගැනීමේ තීරණයට කෙමෙන් කෙමෙන් මඟ පාදන බවයි. එවන් සැඟවුණු හේතුවලට, මානසික ආබාධ හෝ ඇබ්බැහි වීම්, ජාන සැකැස්ම සහ මොළයේ රසායනික සංයුතිය වැනි සාධක ඇතුළත් වෙනවා. මේවායින් සමහරක් සලකා බලමු.

මෙම හේතු සාධක අතර මුලින්ම තිබෙන දේවල් තමයි, මානසික අවපීඩනය, දෙයාකාර මනෝස්වභාවය, භින්නොන්මාදය වැනි මානසික ආබාධ මෙන්ම මත්පැන් සහ මත්ද්‍රව්‍යවල අනිසි භාවිතය වැනි ඇබ්බැහි කරවනසුලු පුරුදු. සිය දිවි නසාගෙන තිබෙන අයගෙන් සියයට 90ක්ම එවන් ආබාධ නිසා එසේ කර තිබෙන බව යුරෝපයේ සහ එක්සත් ජනපදයේ කරන ලද පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනවා. ඇත්තෙන්ම, ස්වීඩනයේ පර්යේෂකයන් සොයාගත් දෙයක් නම්, එවන් ආබාධ නොමැති පුරුෂයන්ගේ දිවි නසාගැනීමේ අනුපාතය 1,00,000කට 8.3ක් වූ බවයි. නමුත් මානසික අසහනයෙන් පෙළුණු අය අතර එම අනුපාතය 1,00,000කට 650ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා! ඒ වගේම, ප්‍රවීණයන්ගේ අදහස්වලට අනුව පෙරදිග රටවලත් දිවි නසාගැනීම්වලට මේ හා සමාන හේතු තුඩු දී තිබෙනවා. එහෙත්, මානසික ආබාධ ඇති අයට හදිසි සිදුවීම්වලට මුහුණ දීමට සිදු වුණත්, එය අනිවාර්යයෙන්ම සිය දිවි නසාගැනීමට තුඩු දෙනවා කියා තර්ක කරන්ට බැහැ.

දිවි නසාගැනීමට වරෙක තැත් කළ අයෙකු වන ජැස්මින් මහාචාර්යවරිය මෙසේ පවසනවා: “ඉදිරියේදී තත්වය හොඳ අතට හැරෙයි යන විශ්වාසය තිබෙන තාක් කල් මානසික අසහනය විඳදරාගන්ට මිනිසුන්ට හැකි බවක් පෙනෙන්ට තිබෙනවා.” කෙසේවෙතත්, මානසික පීඩනය උච්චාවස්ථාවට පැමිණ තවත් දරාගෙන සිටින්ට නොහැකි තත්වයට පත් වූ විට, දිවි නසාගැනීමට එන පෙලඹීම දමනය කිරීමට මානසික පද්ධතියට තිබෙන ශක්තිය කෙමෙන් කෙමෙන් දුර්වල වෙන බව ඇය සොයාගෙන තිබෙනවා. ඇය එම තත්වය සමාන කරන්නේ, මෝටර් රථයක තිරිංග දිගින් දිගටම ක්‍රියාත්මක කිරීම නිසා ඒවා ගෙවී ගොස් තිරිංග පාද (බ්‍රේක් පෑඩ්ස්) සිහින් වීමේ තත්වයටයි.

එවන් ප්‍රවණතාවක් හඳුනාගැනීම වැදගත්. මන්දයත් මානසික අවපීඩනයට හෙවත් අසහනයට ප්‍රතිකාර කිරීමට හැකියි. එමෙන්ම අසරණභාවයේ හැඟීම් නැති කර දමන්ට පුළුවන්. සැඟවුණු හේතු සොයාගෙන ඒවාට ප්‍රතිකාර කළහොත්, හදිසි සිදුවීම් නිසා බොහෝ විට සිදු වන දිවි නසාගැනීම්වලට තුඩු දෙන සිත්වේදනා සහ පීඩන හමුවේ ඔවුන් වෙනස් විදිහට ක්‍රියා කරාවි.

සමහර අය සිතන්නේ කෙනෙකුගේ ජාන සැකැස්මද බොහෝ දිවි නසාගැනීම්වලට සැඟවුණු හේතුවක් වන බවයි. කෙනෙකුගේ මුළු ස්වභාවය තීරණය කිරීමේදී ජාන යම් කාර්යයක් ඉටු කරන බව ඇත්තයි. ඒ වගේම වෙනත් අයට වඩා සමහර පවුල් පෙළපත්වලට සම්බන්ධ අය වැඩියෙන් දිවි නසාගැනීමට පෙලඹී තිබෙනවා කියා අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා. එහෙත්, “යමෙකුගේ ජාන සකස් වී ඇති ආකාරය නිසාම, දිවි නසාගැනීම වළක්වන්ට බැහැ කියා කීමේ කිසිම පදනමක් නැහැ” යනුවෙන් ජැමිසන් පවසනවා.

යමෙකුගේ මොළයේ රසායනික සංයුතියද සැඟවුණු හේතුවක් වෙන්ට පුළුවන්. මොළය තුළ නියුරෝන බිලියන ගණනක් විද්‍යුත් රසායනිකව අදහස් හුවමාරු කරගන්නවා. මෙම නියුරෝන කෙඳිවල අග කෙළවරවල් අතර, උපාගම නමින් හැඳින්වෙන හිඩැසක් තිබෙනවා. මේවා අතරින් තමයි, නියුරෝ වාහක රසායනිකව තොරතුරු එහා මෙහා ගෙනියන්නේ. එක් නියුරෝ වාහකයක් වන සෙරොටොනින්හි මට්ටම පුද්ගලයෙකු තුළ දිවි නසාගැනීමට ඇති වන පෙලඹීමට ඔරොත්තු දෙන ජීවවිද්‍යාත්මක හැකියාවට කෙළින්ම බලපාන්ට පුළුවන්. ඉන්සයිඩ් ද බ්‍රේන් නම් පොත මෙසේ පැහැදිලි කරනවා: “සෙරොටොනින්වල පහත් මට්ටම, . . . යමෙකුගේ ජීවිතයේ සන්තෝෂයේ ධාරිතාව සිඳුවාලන්ට පුළුවන්. ජීවත් වීමට ඔහු හෝ ඇය තුළ තිබෙන ආශාව හීන කර, මානසික පීඩනයේ සහ දිවි නසාගැනීමේ නැඹුරුවාව තීව්‍ර කරයි.”

කෙසේවෙතත්, සත්‍යය නම් මෙයයි. එනම් කිසිවෙකුව දිවි නසාගැනීමට දෛවයෙන් නියම කර නැහැ. මිලියන ගණනක් දෙනා සිත් වේදනා සහ පීඩනය සමඟ සාර්ථකව කටයුතු කරනවා. ඇතැම් අය සිය දිවි නසාගන්නවාද නැද්ද යන්න රඳාපවතින්නේ ඔවුන්ගේ මනස හා හදවත පීඩනයන්ට ප්‍රතික්‍රියා කරන ආකාරය මතයි. හදිසියේ මුහුණ දෙන්ට සිදු වන සිදුවීම් හෝ කාරණා සමඟ පමණක් නොව සැඟවී තිබෙන හේතුද සමඟ මෙහිදී කටයුතු කරන්ට සිදු වෙනවා.

එසේ නම්, ජීවිතයේ යම් තරමක සෑහීමක් හෝ සතුටක් නැවත භුක්ති විඳීමට හැකි වන ලෙසින් වඩාත් හොඳ ඒකාන්ත ආකල්පයක් ඇති කරගැනීම සඳහා කළ හැක්කේ කුමක්ද?

[6වන පිටුවේ කොටුව]

වැඩියෙන් දිවි නසාගන්නේ ගැහැනුද පිරිමිද?

එක්සත් ජනපදයේ කරන ලද අධ්‍යයනයකට අනුව, පිරිමින්ට වඩා ගැහැනුන් දිවි නසාගැනීමට තැත් කිරීම දෙතුන් ගුණයකින් වැඩි වන අතරේදී, පිරිමින් ගැහැනුන්ට වඩා එම ප්‍රයත්නයේදී සිව් ගුණයකින් සාර්ථක වන බවක් පෙනෙන්ට තිබෙනවා. ගැහැනුන් පිරිමින්ට වඩා දෙගුණයකින් මානසික අසහනයෙන් පෙළෙන බවක් පෙනෙන්ට තිබෙන අතර, දිවි නසාගැනීමට තැත් කිරීම් ගැහැනුන් අතර වැඩියෙන් දක්නට ලැබීමට තුඩු දෙන්නේද මෙයයි. කෙසේවෙතත්, ගැහැනුන්ගේ මානසික අසහනය නිසා ඇති වන අසනීප තත්වයන් එතරම් දරුණු නොවේ. මේ නිසා ඉතා දරුණු ලෙස දිවි නසාගැනීමේ ක්‍රමවලට ඔවුන් නැඹුරු වන්නේ අඩුවෙනි. අනෙක් අතට, පිරිමින් මීට වඩා දරුණු භයානක ක්‍රමවලින් දිවි නසාගැනීමට තැත් කරන අතර, කෙසේ හෝ තම දිවි කෙළවර කරගන්නවා.

කෙසේවෙතත්, චීනයේ පිරිමින්ට වඩා දිවි නසාගැනීමෙහිලා සාර්ථක වන්නේ ගැහැනුන්ය. ඇත්තෙන්ම, ලෝකයේ ගැහැනුන්ගේ දිවි නසාගැනීම්වලින් සියයට 56ක්ම සිදු වන්නේ චීනයේ වන අතර, විශේෂයෙන් මෙය සිදු වන්නේ ගම්බද පළාත්වලයි. හිටි හැටියේම ගැහැනුන් දිවි නසාගැනීමට තැත් කිරීමේදී ඔවුන් සාර්ථක වන්නේ ඔවුන්ට දිවි නසාගැනීමට මාරාන්තික පළිබෝධනාශක පහසුවෙන් ලබාගත හැකි නිසයි.

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දිවි නසාගැනීම සහ තනිකම

තනිකම වනාහි මිනිසුන්ව මානසික අසහනයටත් දිවි නසාගැනීමටත් ගොදුරු කරවන සාධකයක්. ෆින්ලන්තයේ මේ පිළිබඳව කරන ලද අධ්‍යයනයකදී පෙරමුණ ගෙන කටයුතු කළ ජූකෝ ලූන්ක්විස්ට් මෙසේ පැවසුවා: “සිය දිවි නසාගත් බොහොමයකගේ එදිනෙදා ජීවිතය තනිකමින් වෙළී තිබුණා. ඔවුන්ට අමතර වේලාවන් ඕනෑ තරම් තිබුණත් වෙනත් අයව ඇසුරු කළේ බොහොම සුළු වශයෙන්.” ජපානයේ හමාමාට්සු වෛද්‍ය විද්‍යා සරසවියේ මානසික විශේෂඥයෙකු වන කෙන්ෂිරෝ ඔහාරා කියා සිටියේ, “හුදෙකලා වීම” එම රටේ මැදිවියේ සිටින අයගේ හදිසි දිවි නසාගැනීම්වලට හේතු පාදක වී ඇති බවය.

[5වන පිටුවේ පින්තූරය]

වැඩිහිටියන් හදිසියේ දිවි නසාගැනීමට හේතු වන පොදු කාරණා අතර මුදල් හෝ රැකියාවද වෙයි