Skip to content

පටුනට යන්න

දෙවි බලය පාවිච්චි කරන ආකාරය සාධාරණද?

දෙවි බලය පාවිච්චි කරන ආකාරය සාධාරණද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

දෙවි බලය පාවිච්චි කරන ආකාරය සාධාරණද?

බලය අනිසි ලෙස පාවිච්චි කරමින් මිනිසුන්ව ඝාතනය කිරීම පිළිබඳ වාර්තාවලින් මිනිස් ඉතිහාසයේ පිටු පිරී තිබේ. එක් ගණන් බැලීමකට අනුව මිනිසුන් විසින් පත් කරගනු ලබන ආණ්ඩු මගින් විසිවන සියවස තුළ පමණක් මිනිසුන් 17,00,00,000ක් පමණ මරා දමා ඇත. එදා සිට අද දක්වා මිනිසුන් මිනිසුන්ව පාලනය කර තිබෙන්නේ අනතුරුදායක ආකාරයකටයි. මෙවන් දෙයක් සිදු වන බව බයිබලය ඉතාමත් නිවැරදිව පෙන්වා දී තිබේ.—දේශනාකාරයා 8:9.

බලය අනිසි ලෙස පාවිච්චි කරමින් මිනිසුන් කරන දාමරික ක්‍රියා ගැන කතා කිරීමේදී, දෙවි ඔහුගේ සතුරන්ව විනාශ කිරීමට බලය යෙදවූ ආකාරය ගැනද සමහරුන් ප්‍රශ්න කළ හැක. දෙවිගේ නියෝගය මත යුදෙව්වරුන් පොරොන්දු දේශයේ සිටි කානානිවරුන්ට පහර දී ඔවුන්ව ඝාතනය කළේ නැද්ද? (ද්විතීය කථාව 20:16, 17) තමන්ට විරුද්ධ වන සියලුම ආණ්ඩු සහමුලින්ම නැති කර දමන බව දෙවි පවසා නැද්ද? (දානියෙල් 2:44, 45) දෙවි ඔහුගේ බලය පාවිච්චි කර තිබෙන්නේ සැමවිටම සාධාරණවද කියා ඇතැම් අවංක පුද්ගලයන් කල්පනා කර තිබේ.

බලය අනිසි ලෙස යෙදවීම

බලය පාවිච්චි කිරීමට ආණ්ඩුවකට තිබෙන හැකියාව සුවිශේෂී යමක් බව තේරුම්ගැනීම වැදගත්ය. යම් පාලන තන්ත්‍රයකට නියෝග පැනවිය නොහැකි නම්, එය බල රහිත පාලනයක් වේ. නිදසුනක් වශයෙන්, පොලීසිය තම බලය අනිසි ලෙස පාවිච්චි කිරීම ගැන වාර්තා වුවත්, ඔවුන් විසින් සපයනු ලබන ආරක්ෂාව අවශ්‍ය නැතැයි කියන්නේ කීයෙන් කීදෙනාද? යුක්තිසහගත නීති පද්ධතියක් මගින් මිනිස් සමාජයකට ආරක්ෂාව සැලසෙන්නේ නැතැයි කියා සාධාරණ ලෙස කල්පනා කරන පුද්ගලයෙක් තර්ක කරයිද?

අවිහිංසාවාදය අගය කළ පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් මොහන්දාස් ගාන්ධි වරක් මෙසේ පැවසුවේය. “තමාට හමු වන සෑම කෙනෙකුවම ඝාතනය කරමින් කඩුවක් අතට ගෙන එහෙ මෙහෙ දුවන උන්මත්තකයෙකු ගැන සිතන්න. ඉදිරියට ගොස් ඔහුව අල්ලාගන්න කිසිවෙකු ඉදිරිපත් නොවෙයි. නමුත් යම් කෙනෙකු විගස ඉදිරිපත් වී මේ මිනීමරු උන්මත්තකයාව මරා දැමුවොත්, මුළු සමාජයම ඔහුට ස්තුති කරමින් ජන හිතකාමී පුද්ගලයෙකු ලෙස ඔහුව සලකනු ඇත.” ඔව්, ඇතැම් තත්වයන්වලදී බලය යෙදවීමේ ඇති අවශ්‍යතාව ගාන්ධි පවා තේරුම්ගත්තේය.

බලය යෙදවීමට හැකියාවක් තිබීම ඕනෑම ස්ථාවර සමාජයක තිබිය යුතු මූලික අංගයක් බව පැහැදිලිය. බලය පාවිච්චි කරන ආකාරය බොහෝ අවස්ථාවලදී මිනිස්සු හෙළා දකිති. ඇත්තෙන්ම, මෙහිදී ඔවුන් විවේචනය කරන්නේ බලය අනිසි ලෙස භාවිත කිරීමයි.—දේශනාකාරයා 4:1-3.

“ඔහුගේ සියලු මාර්ග යුක්තිසහගතය”

දෙවි බලය අනිසි ලෙස යොදාගෙන තිබෙන බවට කිසිදු සාක්ෂියක් ඉතිහාසයෙන් සොයාගත නොහැක. ඔහු හිතුමතේට බලය යොදාගන්න කෙනෙක් නොවෙයි. ඔහු කැමති අප ඔහුට තිබෙන ප්‍රේමය නිසා ඔහුට නමස්කාර කරනවා දකින්නයි. (1 යොහන් 4:18, 19) බලය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට සාධාරණ හේතුවක් තිබේ නම්, දෙවි බලය පාවිච්චි නොකර සිටියි. (යෙරෙමියා 18:7, 8; 26:3, 13; එසකියෙල් 18:32; 33:11) බලය පාවිච්චි කිරීමට ඔහු තෝරාගන්නේ නම්, එසේ කරන්නේ තමන්ගේ වැරදි නිවැරදි කරගන්න කැමති අයට ඒ සඳහා පියවර ගැනීමට අවස්ථාව සලසමින් බොහෝ වාරයක් අනතුරු ඇඟවීමෙන් පසුවයි. (ආමොස් 3:7; මතෙව් 24:14) අත්තනෝමතික කෲර දෙවි කෙනෙක් එසේ කටයුතු කරයිද?

අයුක්තිසහගත ලෙස බලය යොදවන මිනිසුන් සමඟ සසඳද්දී දෙවි බලය පාවිච්චි කරන ආකාරය හාත්පසින්ම වෙනස්ය. ‘ඔහුගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය [යුක්තිසහගතය, NW]. ඔහු විශ්වාස වූ අයුතුකමෙන් තොර වූ දෙවිකෙනෙකි’ කියා මෝසෙස් දෙවි ගැන පවසයි. (ද්විතීය කථාව 32:4) දෙවිගේ ආණ්ඩුවේ බලය රඳා පවතින්නේ, ඒකාධිපති කුරිරු මිනිස් ආණ්ඩුවල මෙන් බල පුළුවන්කාර පුද්ගලයන් මත නොවේ. දෙවි බලය පාවිච්චි කර තිබෙන සෑම වතාවකදීම එසේ කර තිබෙන්නේ ප්‍රේමය, ප්‍රඥාව හා යුක්තිය යන ඔහුගේ පරිපූර්ණ ගුණාංග ක්‍රියාවට නංවමිනි.—ගීතාවලිය 111:2, 3, 7; මතෙව් 23:37.

උදාහරණයක් හැටියට, දෙවි දුෂ්ටයන්ව ජලගැල්මකින් විනාශ කළ අවස්ථාවේදී, එසේ කළේ අවුරුදු ගණනාවක් පුරා ඒ ගැන අනතුරු ඇඟවීමෙන් පසුවයි. නැවට ඇතුල් වී ආරක්ෂා වෙන්න ඕනෑම කෙනෙකුට අවස්ථාව තිබිණ. එහෙත් නැවට ඇතුල් වූයේ අටදෙනෙකු පමණි. (1 පේතෘස් 3:19, 20; 2 පේතෘස් 2:5) යෝෂුවාගේ කාලයේදී දූෂිත ක්‍රියාවල නියැලී සිටි කානානිවරුන්ට එරෙහිව ඉශ්‍රායෙල්වරුන් දෙවිගේ විනිශ්චයන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ව ඝාතනය කළේ, ඊට අවුරුදු 400කට කලින් සිටම අනතුරු ඇඟවීම් කිරීමෙන් පසුවයි. (උත්පත්ති 15:13-21) ඉශ්‍රායෙල්වරුන් දෙවි විසින් තෝරාගත් සෙනඟ බව පිළිගැනීමට කානානිවරුන්ට ප්‍රබල සාක්ෂි තිබිණ. ඒවා නොසලකා හැරීමට ඔවුන්ට කිසිදු හේතුවක් නොවීය. (යෝෂුවා 2:9-21; 9:24-27) කානාන්හි විසූ ගිබියොන්වරුන් හැර වෙනත් කිසිදු ජාතියක් ඉශ්‍රායෙල්වරුන් සමඟ සමාදාන වෙන්න තිබූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැත. එසේ කරනවා වෙනුවට, ඔවුන් කළේ දෙවිට විරුද්ධව තව තවත් තමන්ගේ සිත් දැඩි කරගැනීමයි.—යෝෂුවා 11:19, 20.

දෙවිට පූර්ණ බලතල තිබේ

දෙවි ඔහුගේ බලය පාවිච්චි කරන ආකාරය වටහාගැනීමට වෑයම් කරද්දී, අප මුලින්ම කළ යුත්තේ දෙවි ඉදිරියෙහි අපේ තත්වය පිළිබඳ සත්‍යය තේරුම්ගැනීමයි. “අපි මැටිය, ඔබ අපේ කුම්භකාරයාය” කියා අනාගතවක්තෘ යෙසායා නිහතමානීව පිළිගත්තේය. (යෙසායා 64:8) මුළු විශ්වයේම මැවුම්කරු වශයෙන් තමන් කැමති ආකාරයෙන් බලය පාවිච්චි කිරීමට දෙවිට හැකි බව පැහැදිලිය. දෙවිට හිමි බලතල පිළිගැනීමේදී සාලමොන් මෙන් අපටද මෙසේ පැවසිය හැක. “රජුගේ වචනය බල සහිතය; ඔබ මක්කරනවාදැයි ඔහුට කියන්නේ කවුද?”—දේශනාකාරයා 8:4; රෝම 9:20, 21.

අසීමිත බලයකින් යුත් මැවුම්කරු වශයෙන් දෙවිට මිහි තලය මත ජීවිතය ඇති කරන්නත් නැති කරන්නත් අයිතියක් තිබේ. ඇත්තෙන්ම, දෙවි ඔහුගේ බලය යොදවන ආකාරය වටහාගැනීමට අවශ්‍ය දැනුම මිනිසාට නොමැති නිසා ඒ ගැන ප්‍රශ්න කිරීමට මිනිසාට අයිතියක් නැත. ඒ නිසා යම් දේවල් සම්බන්ධයෙන් තමන් දරන අදහස් දෙවිගේ අදහස් හා එකඟ කරගැනීමට මිනිසා ඉගෙනගත යුතුයි. “සාධාරණ නැත්තේ නුඹලාගේ මාර්ග නොවේද?” කියා යෙහෝවා ඇසුවේය.—එසකියෙල් 18:29; යෙසායා 45:9.

බලය අනිසි ලෙස පාවිච්චි කරමින් අන් අයගේ අයිතිවාසිකම් පාගා දමන අයව මේ පොළොවෙන් නැති කර දැමීමට යෙහෝවා පියවර ගන්නේ, ඔහුගේ යුක්තිසහගත බව නිසාත් මිනිසුන් කෙරෙහි ඔහුට තිබෙන ප්‍රේමය නිසාත්ය. ඔහු ගන්නා එම ක්‍රියා මාර්ගය නිසා සාමයට ලැදි මිනිසුන් සඳහා මේ පොළොව සුන්දර ස්ථානයක් බවට පත් වනු ඇත. (ගීතාවලිය 37:10, 11; නාහුම් 1:9) මෙසේ දෙවිගේ ආණ්ඩුව මගින් ගනු ලබන ක්‍රියා මාර්ගය සාධාරණ බව ඔප්පු වනු ඇත. නැවත කිසිදා ඔහුගේ පාලනය ගැන කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නැත.—එළිදරව් 22:12-15.