Skip to content

පටුනට යන්න

නළියන “ශල්‍ය වෛද්‍යවරයෙක්”

නළියන “ශල්‍ය වෛද්‍යවරයෙක්”

නළියන “ශල්‍ය වෛද්‍යවරයෙක්”

කුකුල් බෙටිත් බෙහෙතට ඕනෑ වෙනවායයි කතාවක් තිබේ. මෙය ඉහඳ පණුවා සම්බන්ධයෙන්ද සැබෑවකි. අප කොයි කවුරුත් පිළිකුල් කරන මෙම පණුවා දක්ෂ මෙන්ම පිරිසිදු “ශල්‍ය වෛද්‍යවරයෙක්” බව දැන් පිළිගෙන ඇත. අමෙරිකානු වෛද්‍ය පුවත් සඟරාවක (JAMA) තිබූ වාර්තාවකට අනුව, එක්සත් රාජධානියේ වෛද්‍යවරුන් කිහිපදෙනෙක් පාදවල ඔඩු දුවන තුවාල ඇති රෝගීන් 12දෙනෙකු යොදාගෙන පරීක්ෂණයක් පැවැත්වූහ. රෝගීන් හයදෙනෙකුට ප්‍රතිකාර කරනු ලැබුවේ සම්ප්‍රදායානුකූල හයිඩ්‍රොජෙල් ප්‍රතිකාරය යොදාගෙනය. අනික් හයදෙනාගේ තුවාල මත ඉහඳ පණුවන් තබන ලදි. a

“ඉහඳ පණු ප්‍රතිකාරය ලැබූ රෝගීන් හයදෙනාගේම තුවාල සුවවීමට ගත වුණේ දින තුනක් තරම් කෙටි කාලයක්” බව JAMAහි සඳහන් විය. සම්ප්‍රදායානුකූල ක්‍රමයට ප්‍රතිකාර ලැබූ අයගෙන් “දෙදෙනෙකු මාසයකින් සුවය ලැබූ අතර අනික් හතරදෙනාට දිගටම ප්‍රතිකාර කරන්න සිදු විය.” “සම්ප්‍රදායානුකූල ප්‍රතිකාර ක්‍රමවලින් ලැබෙන සුවයට වඩා” ඉහඳ පණු ප්‍රතිකාරයෙන් “ලැබෙන සුවය වේගවත්” බවත්, “ඊට වැය වෙන වියදම හයිඩ්‍රොජෙල් ප්‍රතිකාරයට වඩා අඩකින් පමණ අඩු” බවත් ද ලාන්සට් නම් බ්‍රිතාන්‍ය වෛද්‍ය ජර්නලයේ පවසා තිබිණ.

වෛද්‍යවරුන් ඔඩු දුවන තුවාලයක් සුව කිරීමට ඉහඳ පණු ප්‍රතිකාරය යොදාගන්නා විට තුවාලය මත තබන්නේ සනීපාරක්ෂිත ලෙස බිහි කළ ඉහඳ පණුවන් බව JAMAහි පවසා තිබිණ. (වෛද්‍යවරුන් සැමවිටම යොදාගන්නේ නිරෝගී පටකවලට හානි සිදු නොකරන පණුවන් පමණි.) ඉන්පසු ඉතා තුනී නයිලොන් දැලකින් හා දිය වී යන මැරුණු සෛල හොඳින් උරාගන්නා වැස්මකින් තුවාලය ආවරණය කරනු ලබයි. ඉහඳ පණුවන්ගේ කුසගින්න නිවුණාම උන්ව අහකට ගෙන තුවාලය මත අලුත් පණුවන් තබනු ලැබේ. තුවාලය පිරිසිදු වෙන තෙක්ම මෙසේ කරයි. එවිට නිරෝගී පටකවල ලේ ගමනාගමනය යළි ආරම්භ වන නිසා අලුතින් පටක වැඩීමට පටන්ගනී.

“තවම එක රෝගියෙක්වත් ඉහඳ පණු ප්‍රතිකාරය ප්‍රතික්ෂේප කරලා නැහැ” කියා තන්තුක ශල්‍ය වෛද්‍ය මයිකල් වෝක පැවසීය. “අකමැත්ත පළ කරන්නේ රෝගීන් නෙවෙයි වෛද්‍ය කාර්ය මණ්ඩලයයි.” එක්සත් රාජධානියට අමතරව එක්සත් ජනපදයේ හා කැනඩාවේ සමහර වෛද්‍ය ආයතනවලද දැන් ඉහඳ පණු ප්‍රතිකාරය අත්හදා බැලේ. එක්තරා ශල්‍ය වෛද්‍යවරයෙකු ද ලාන්සට් ජර්නලයේ මෙසේ අදහස් පළ කර තිබිණ. “එක්සත් ජනපදයේ ඉහඳ පණු ප්‍රතිකාරය ඉල්ලන රෝගීන් සෑහෙන පිරිසක් ඉන්නවා. ඒත් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට කැමැත්තක් දක්වන්නේ වෛද්‍යවරුන් අතළොස්සක් පමණයි.”

ඉහඳ පණු ප්‍රතිකාරය සොයාගනු ලැබුවේ අහම්බෙනි. සයන්ස් වර්ල්ඩ් පැහැදිලි කළ ආකාරයට, “යුද පිටියේ සොල්දාදුවන්ගේ තුවාලවලට පණුවන් ගැසූ විට ඒවා අනිත් තුවාලවලට වඩා ඉක්මනින් සුව වූ බව වෛද්‍යවරු නිරීක්ෂණය කළහ. ඉහඳ පණු ප්‍රතිකාරය බිහි වූයේ මේ ආකාරයටයි.” අද එක්සත් ජනපදයේ හා යුරෝපයේ රෝහල් ගණනාවකම මෙම ප්‍රතිකාර ක්‍රමය යොදාගනු ලැබේ.

[පාදසටහන්වල]

a මෙය ශරීරයෙන් ලේ උරාගැනීම සඳහා කූඩැල්ලන්ව යොදාගැනීමේ ප්‍රතිකාරයට සමාන නොවේ. මුරටැඹ 1982 ජූනි 15හි 31වන පිටුව බලන්න (සිංහලෙන් නොමැත).

[16වන පිටුවේ පින්තූරය]

ඇඟිල්ලක් මත තැබූ ඉහඳ පණුවන් (නියම ප්‍රමාණයෙන්)

[හිමිකම් විස්තර]

Picture copyright SMTL, http://www.smtl.co.uk/

[16වන පිටුවේ පින්තූරය]

ප්‍රතිකාරයට පෙර

ප්‍රතිකාරයට පසු

[හිමිකම් විස්තර]

ඡායාරූප R. Sherman, University of California, Irvine මගිනි