Skip to content

පටුනට යන්න

පළිගැනීමේ තියෙන වරද මොකක්ද?

පළිගැනීමේ තියෙන වරද මොකක්ද?

යෞවන අය අසති . . .

පළිගැනීමේ තියෙන වරද මොකක්ද?

“ඔහු මට අපහාස කෙරුවා.”—මිනිමැරීම නිසා සිරගතව සිටින 15 හැවිරිදි කොනීල්.

පාසැලේ නැටුම් සංදර්ශනයකදී වයස අවුරුදු 14ක් වන ඇන්ඩෘ ගුරුවරියක්ව මරා දැම්මා. ගුරුවරුන් කෙරෙහිත් දෙමාපියන් කෙරෙහිත් ඔහුව ඇසුරු කිරීමට කැමැත්තක් නොදැක්වූ ගැහැනු ළමයි කෙරෙහිත් ඔහුගේ හදවතේ වෛරයක් තිබුණා කියා ඔහු කියා සිටියා.

ටයිම් සඟරාව මෙම තත්වය හඳුන්වන්නේ “දසත පැතිරී තිබෙන මාරාන්තික ප්‍රවණතාවක්” ලෙසයි. කෝපයෙන් දැවි දැවී සිටින යෞවනයන් අර්ධ ස්වයංක්‍රීය අවි පාසැලට හොර රහසේ ගෙනැවිත් ඔවුන්ගේ ගුරුවරුන්ටත් මිතුරන්ටත් වෙඩි තබනවා. මෙවැනි හද කම්පා කරවන සිදුවීම් එක්සත් ජනපදයේ කොතරම් සුලභද කිවහොත් රූපවාහිනි නාලිකාවක් එය හැඳින්වූයේ “සැහැසියාවේ ශීඝ්‍ර ව්‍යාප්තියක්” ලෙසයි.

සතුටට කාරණයක් වන්නේ තවමත් පාසැල් තුළ වෙඩි තැබීම් එතරම් සුලභ වශයෙන් සිදු නොවීමයි. එසේ වුවත් මෑත වකවානුවල සිදු වන අපරාධවලින් පෙනී යන්නේ යෞවනයන්ගේ සිත් තුළ කෝපය කොතරම් දරුණු ලෙස පැසවනවාද යන්නයි. මෙවන් තත්වයක් ඇතිවීමට හේතු වී තිබෙන්නේ සමහර යෞවනයන් අසාධාරණකම්වලට හෝ තනතුරු දරන අයගේ අනිසි බලපෑම්වලට හසුවීමයි. තවත් අයට තම මිතුරන් දිගින් දිගටම කරන සමච්චල් කිරීම් ආදියද බලපෑ හැකියි. තමන්ගේ මහත ශරීරයට උසුළු විසුළු කළ නිසා අවුරුදු 12ක් වයසැති පිරිමි ළමයෙකු පංතියේ මිතුරෙකුට වෙඩි තබා තමාටද වෙඩි තබාගත්තා.

යෞවනයන් වැඩිදෙනෙක් එවැනි සැහැසික ක්‍රියාමාර්ගයකට නොපෙලඹෙන බව සහතිකයි. නමුත් ජාතිවාදය නිසා හෝ දාමරිකකම් නිසා හෝ සිත පාරවන සමච්චල් කිරීම් වැනි දේවල්වලට ලක්වීම නිසා හෝ දැනෙන වේදනාව සුළු පටු නොවෙයි. බෙන් තම පාසැල් කාලය මෙසේ මතකයට නඟනවා. “මම අනිත් ළමයින්ට වඩා මිටි නිසාත් මම කොටටම කොණ්ඩේ කපලා තිබුණ නිසාත් ළමයි මගේ ඔළුවට ගගහා විහිළු කළා. මට හරියට කේන්ති ගියා. මට තවත් කේන්ති ගියේ වගකිව යුත්තන්ට මේ ගැන කිව්වාම එයාලා මාව ගණන් ගත්තේ නැති නිසයි. මේ නිසා මගේ කේන්තිය ඉහ වහ ගියා!” බෙන් තවදුරටත් මෙසේ පවසනවා. “කරන්න ඉතුරු වෙලා තිබුණේ තුවක්කුවක් අරගෙන වෙඩි තියාගෙන තියාගෙන යන එක විතරයි. ඒත් මට තුවක්කුවක් හොයාගන්න බැරි වුණා.”

තමන්ට රිදවා ඇති අයට කෙසේ හෝ රිදවීමට බලන යෞවනයන් ගැන ඔබ දරන ආකල්පය කුමක්ද? එවන් අනිසි සැලකිල්ලකට ඔබ භාජන වුණා නම් ඔබ කළ යුත්තේ කුමක්ද? ඊට පිළිතුරු සෙවීමේදී දෙවිගේ වචනය පවසන දෙය සැලකිල්ලට ගන්න.

ආත්ම දමනය ශක්තියේ සංකේතයක්!

අයුතු සැලකිල්ල හා අසාධාරණය අද ඊයේ ඇති වුණ දේවල් නොවෙයි. එක් බයිබල් ලේඛකයෙක් උපදෙස් දෙන්නේ මෙසේයි. “කෝපයෙන් වැළකෙන්න; උදහසින් ඈත් වන්න; නොකලකිරෙන්න; මේවායින් ඇති වන්නේ නපුර පමණ ය.” (ගීතාවලිය 37:8, නව අනුවාදය) බොහෝ විට ආත්ම දමනය නැති වී යාමට හේතුව කෝපයයි. යම් අවස්ථාවල පසුව ඇති වන ප්‍රතිඵල ගැනවත් කිසිඳු තැකීමක් නොකර කටයුතු කිරීමට එය මඟ පාදයි. යම් කෙනෙකු දැඩි ලෙස ‘උදහස් වීම’ නිසා කෝපයෙන් වියරු වැටිය හැකියි! එහි ප්‍රතිඵලය කුමක් විය හැකිද?

කායින් සහ ආබෙල් පිළිබඳව බයිබලයේ සඳහන් දේ සලකා බලන්න. කායින් තම සහෝදරයා වූ ආබෙල් කෙරෙහි ‘අතිශයින් කෝප වුණා.’ එහි ප්‍රතිඵලය? ‘ඔවුන් කෙතෙහි සිටින කල කායින් තමාගේ සහෝදර වූ ආබෙල්ව මරණයට පත් කිරීමයි.’ (උත්පත්ති 4:5, 8) කෝපයෙන් වියරු වැටී ක්‍රියා කිරීම සම්බන්ධයෙන් තවත් අද්දැකීමක් තිබෙනවා. ඒ සාවුල් රජ. ඔහු තරුණ දාවිත්ගේ හමුදාමය හැකියාවන් ගැන ඊර්ෂ්‍යා වී දාවිත්ට පමණක් නොව ඔහුගේම පුතා වන යොනාතාන්ටත් හෙල්ලයෙන් දමා ගැසුවා!—1 සාමුවෙල් 18:11; 19:10; 20:30-34.

සමහර අවස්ථාවල කෝපයට පත්වීම සාධාරණයි. නමුත් එවන් සාධාරණ කෝපයක් පවා පාලනය නොකළහොත් නපුරක් සිදු විය හැකියි. එයට උදාහරණයක් සලකා බලමු. තමන්ගේ සහෝදරි වූ දීනාව ෂෙඛෙම් විසින් දූෂණය කළා කියා දැනගත් විට සිමියොන් සහ ලෙවී ඔහු කෙරෙහි කෝපවීම සාධාරණයි. ඔවුන් සන්සුන් ක්‍රියාමාර්ගයක් ගන්නවා වෙනුවට කෝපයෙන් වියරු වැටුණු බව ඔවුන් පසුව පැවසූ දෙයින් දැකගැනීමට පුළුවන්. ‘වේශ්‍යාවකට මෙන් අපගේ සහෝදරීට ක්‍රියා කරන්ට ඔහුට යුතුද?’ (උත්පත්ති 34:31) කෝපයෙන් වියරු වැටී සිටි ඔවුන් ෂෙඛෙම් ජීවත් වූ ප්‍රදේශයට ‘තමුන්ගේ කඩු රැගෙන හදිසියේම කඩා වැද සියලු පිරිමින් මරා දැමුවා.’ ඔවුන්ගේ කෝපය අන් අයටත් බලපෑවා. එනම් ‘යාකොබ්ගේ අනෙක් පුත්‍රයන්ද’ මෙම මිනි මැරීමේ ක්‍රියාවට හවුල් වුණා. (උත්පත්ති 34:25-27, NW) සිමියොන්ගේ සහ ලෙවීගේ පියා වූ යාකොබ් අවුරුදු ගණනාවක් ගත වූ පසුව පවා ඔවුන්ගේ එම සංයමයෙන් තොර වූ කෝපය හෙළා දැක්කා.—උත්පත්ති 49:5-7.

මෙයින් අපට වටිනා කරුණක් උගත හැකියි. එනම් සංයමයෙන් තොර වූ කෝපය ශක්තියේ ලක්ෂණයක් නොව දුර්වලකමේ ලක්ෂණයක් බව. හිතෝපදේශ 16:32හි (න. අ.) පවසන්නේ, “ඉවසීම, බලතලවලට [බලවන්තයෙකුට, NW] වඩා ප්‍රශස්තය; ආත්මදමනය, නුවරක් යටත් කරගැනීමට වඩා අගනේය” කියායි.

පළිගැනීමේ තිබෙන අනුවණකම

ශුද්ධ ලියවිලිවල උපදෙස් දී තිබෙන්නේ ‘කාටවත් නපුරට නපුර නොකර, පළි නොගෙන, උදහසට ඉඩ හරින’ ලෙසයි. (රෝම 12:17, 19) පළිගැනීම සඳහා ශාරීරිකව අඩන්තේට්ටම් කිරීම හෝ සිත පෑරෙන වචනවලින් රිදවීම භක්තිවන්ත දෙයක් නොවෙයි. එලෙස පළිගැනීම ප්‍රායෝගික නැහැ. ඒ වගේම ඥානවන්තත් නැහැ. ඇත්තෙන්ම එක සැහැසික ක්‍රියාවක් තවත් සැහැසික ක්‍රියාවන්ට මඟ පාදයි. (මතෙව් 26:52) එමෙන්ම සිත පෑරෙන වචන පැවසුවොත් අසන්න ලැබෙන්නේ ඊටත් වඩා දරුණු වචනමයි. තවත් දෙයක් මතක තබාගන්න. එනම් කෝපවීම බොහෝ අවස්ථාවන්වලදී සාධාරණ නැහැ. ඇත්තටම ඔබව රිදවූ පුද්ගලයාට ඔබ කෙරෙහි වෛරයක් හා අකමැත්තක් තිබෙනවා කියා ඔබට ස්ථිරද? එසේ නැතහොත් එම පුද්ගලයා හිතා මතා කටයුතු නොකළ නිසා හෝ ඔහුගේ සාමාන්‍ය ස්වභාවය නිසා එසේ කළා විය හැකිද? යම් නපුරු චේතනාවක් තිබුණත් පළිගැනීම සුදුසුද?

බයිබලයේ දේශනාකාරයා 7:21, 22හි පවසන වදන් සලකා බලන්න. “මනුෂ්‍යයන් කියන සියලුම වචනවලට නුඹේ සිත යොමු නොකරන්න; එසේ කළොත් සමහරවිට නුඹේ වැඩකාරයා නුඹට දොස් කියන බව නුඹ අසනවා ඇත. මක්නිසාද නුඹත් නොයෙක් වර අනුන්ට දෙස් කිවූ බව නුඹේ සිත දන්නේය.” ඔබ ගැන මනුෂ්‍යයන් අගුණ කියන විට එය දුකක්. නමුත් බයිබලයේ පවසන්නේ එය සාමාන්‍ය දෙයක් කියායි. ඔබ යමෙකු ගැන යම් දෙයක් කියූ විට “ඇයි මම ඒ දේ කිව්වේ, නොකියා ඉන්න තිබුණානේ” කියා ලත වූ අවස්ථා නැද්ද? එසේ නම් වෙනත් කෙනෙකු ඔබට අකාරුණික දෙයක් කියූ පමණින් කලබල වෙන්නේ ඇයි? බොහෝ අවස්ථාවලදී සමච්චල් කිරීම් මඟහැරිය හැකි හොඳම ක්‍රමය එය ගණන් නොගෙන සිටීමයි.

ඒ වගේම ඔබට අයුතු ලෙස සැලකුවා කියා සිතේ නම් එයට අනවශ්‍ය ලෙස ප්‍රතික්‍රියා කිරීම නුවණට හුරු නැහැ. යෞවනයෙක් වූ ඩේවිඩ් සෙසු ක්‍රිස්තියානි මිතුරන් සමඟ පැසි පන්දු ක්‍රීඩාවේ යෙදෙද්දී සිදු වුණු සිද්ධියක් මතකයට නඟනවා. “අනිත් කණ්ඩායමේ හිටිය කෙනෙක් මට බෝලයෙන් ගැහැව්වා.” ඔහු තමන්ට ඕනෑකමින්ම එසේ කළා කියා සිතූ ඩේවිඩ් බෝලය රැගෙන ඔහුට දමා ගැසුවා. “මට හොඳටම කේන්ති ගියා” කියා ඩේවිඩ් පවසනවා. නමුත් ප්‍රශ්නේ තවත් දිග් ගැස්සෙන්න කලින් ඩේවිඩ් යෙහෝවාට යාච්ඤා කළා. ඔහු තමන්ටම මෙසේ කියාගත්තා. ‘ඇත්තටම මට මගේ ක්‍රිස්තියානි සහෝදරයා එක්ක රණ්ඩු කරන්න ඕනේද?’ පසුව ඔවුන් එකිනෙකාට සමාව දුන්නා.

එවැනි අවස්ථාවල යේසුස් ක්‍රිස්තුස්ගේ ආදර්ශය මතකයට නඟාගැනීම සාර්ථකව ක්‍රියා කරන්න උපකාරවත් වෙනවා. ‘ඔහු නින්දා කරනු ලැබූ කල නින්දා නොකළේය. වධ වින්ද කල තර්ජන නොකළේය.’ (1 පේතෘස් 2:23) මානසික පීඩනය යටතේ සිටින විටදී ප්‍රතික්‍රියා කරනවා වෙනුවට දෙවිට යාච්ඤා කරමින් ආත්ම දමනය පවත්වාගැනීමට උපකාරය ඉල්ලන්න. ඔහු ‘තමන්ගෙන් ශුද්ධාත්මය ඉල්ලන’ අයට නොමසුරුව එය දානය කරනවා. (ලූක් 11:13) ඔබව යම් කෙනෙක් කෝප කළා නම් කරන්න තියෙන හොඳම දෙය පළි නොගෙන එම පුද්ගලයා ළඟට ගොස් කතා කිරීමයි. (මතෙව් 5:23, 24) ඔබට දරුණු හිරිහැරයන්ට, දාමරිකකම්වලට දිගින් දිගටම මුහුණ දීමට සිදු වෙනවා නම් සැහැසික ක්‍රියාවකට හේතු විය හැකි ක්‍රියාමාර්ගයක් නොගන්න. එසේ නොකොට ඔබට ආරක්ෂාවක් සැලසෙන ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගන්න. a

පළිගැනීම අත්හළ යෞවනියක්

බොහෝ යෞවනයන් මෙම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් යහපත් ප්‍රතිඵල අද්දැක තිබෙනවා. උදාහරණයකට කැත්රිනාගේ අද්දැකීම සලකා බලන්න. කුඩා කලදීම ඇයව දරුකමට හදාගැනීමට දී තිබෙනවා. ඇය ඒ ගැන මෙසේ පවසනවා. “මගේම අම්මා මාව වෙන කෙනෙකුට දරුකමට හදාගන්න දුන්නේ ඇයි කියන ප්‍රශ්නය මගේ ඔළුවේ තිබුණ නිසා මගේ හිතේ වෛරයක් ඇති වුණා. මම ඒ වෛරය පිරිමහ ගත්තේ මාව හදාගත්තු අම්මාගෙන්. බොරු දේවල්වලට ඇයව රිදවන විට මම මගේ අම්මාගෙන් පළිගන්නවා වගේ මට හැඟුණා. මම ඇයට බනිනවා, අඩි හප්පනවා, කේන්තියෙන් කෑගහනවා. මට පුළුවන් හැම දෙයක්ම මම කෙරුවා. හයියෙන් දොර වහන එක තමයි මම ගොඩක්ම කරන්න කැමති දේ. ‘මට ඔයාව පේන්න බැහැ’ කියලා මම නිතරම කියනවා. මේ හැම දෙයක්ම කෙරුවේ මගේ කේන්තිය නිවාගන්න. මම ඒ වගේ දේවල් කළාද කියලා හිතනකොටත් මට පුදුමයි.”

කැත්රිනාට තම කෝපය පාලනය කරගැනීමට උපකාර වුණේ කුමක්ද? “බයිබලය කියවීම. මෙය ගොඩක් වැදගත්. යෙහෝවා දන්නවා අපේ හැඟීම්” කියා ඇය පිළිතුරු දෙනවා. කැත්රිනා සහ ඇගේ පවුලේ අය ඇයට තිබූ ගැටලුව ගැන සාකච්ඡා කළ පිබිදෙව්! සඟරාවේ ලිපි කියවීම තුළින්ද සහනයක් ලබාගත්තා. b “දැන් අපි හැමෝම එකට වාඩි වෙලා එක් එක්කෙනාගේ හැඟීම් බෙදාගන්නවා. එක් එක්කෙනාව තේරුම්ගන්නවා” කියා ඇය පවසනවා.

ඔබටත් පළිගැනීමේ හැඟීම් පාලනය කරගන්න පුළුවන්. උසුළු විසුළු, දාමරිකකම් එසේ නැතහොත් අයුතු ලෙස සැලකීම්වලට මුහුණ දෙන විට ගීතාවලිය 4:4හි [NW] පවසන දේ සිහියට නඟන්න. ‘කෝප වුණත් පව් නොකරන්න.’ එම වචන පළිගැනීමෙන් වැළකී සිටීමට උපකාරවත් වෙයි.

[පාදසටහන්වල]

a පාසැලේදී අසාධාරණකම් කරන ගුරුවරුන්, දාමරිකයන් සහ හිරිහැර කරන්නන් සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගික උපදෙස් ලබාගැනීම සඳහා 1984 පෙබරවාරි 8, 1985 අගෝස්තු 22 සහ 1989 අගෝස්තු 8 පිබිදෙව්! කලාපවල පළ වූ (සිංහලෙන් පළ වී නොමැත) “යෞවන අය අසති . . .” යන ලිපි බලන්න.

b “දරුකමට හදාගැනීමෙන් අත් වන ප්‍රීතිය සහ ඒ හා බැඳි අභියෝගයන්” යන මාතෘකාවෙන් යුත් 1996 මැයි 8 පිබිදෙව්! කලාපය බලන්න (සිංහලෙන් පළ වී නොමැත).

[15වන පිටුවේ පින්තූරය]

බොහෝ අවස්ථාවලදී සමච්චල් කිරීම්වලට මුහුණ දිය හැකි හොඳම ක්‍රමය නම් එය ගණන් නොගෙන සිටීමය