Skip to content

පටුනට යන්න

බැට කන කාන්තාවන්ට උපකාර

බැට කන කාන්තාවන්ට උපකාර

බැට කන කාන්තාවන්ට උපකාර

සැහැසියාවට ගොදුරු වන කාන්තාවකට උපකාර කළ හැක්කේ කෙසේද? මුලින්ම ඔවුන් අද්දකින ගැටලුව වටහාගත යුතුයි. ඔවුන් මුහුණපාන්නේ ශාරීරික වධ හිංසාවලට පමණක් නොවෙයි. බොහෝවිට වාචික ප්‍රහාර හා බියගැන්වීම්වලට පවා ගොදුරු වන නිසා කාන්තාවන්ට අසරණකමක් දැනෙන අතර තමන්ව අඩුවෙන් තක්සේරු කරගනියි.

පළමු ලිපියෙහි සඳහන් රොක්සානාගේ අද්දැකීම සලකා බලන්න. ඇතැම්විට ඇගේ ස්වාමිපුරුෂයා ආයුධයක් ලෙස යොදාගන්නේ වචනයි. “ඔහු අපහාසාත්මක නම් කියලා මට අවමන් කරනවා” යයි රොක්සානා පවසනවා. “ඔහු කියන්නේ ‘ඔයා හරියට ඉගෙනගෙනවත් නැහැ. මම නැතුව ඔයා දරුවන් බලාගන්නේ කොහොමද? ඔයා හරිම කම්මැළියි. කිසි කමකට නැති අම්මා කෙනෙක්. ඔයා හිතනවාද ඔයා මාව අත්හැරියොත් ඔයාට නීතියෙන් දරුවන්ගේ අයිතියවත් ලැබෙයි කියලා?’”

රොක්සානාව තමන්ගේ පාලනය යටතේ තබාගැනීමට ඇගේ ස්වාමිපුරුෂයා ඇයට මුදල් නොදී ඔහුගේ තනි කැමැත්තට අනුව මුදල් හසුරුවයි. ඇයට වාහනය පදවන්න දෙන්නේ නැහැ. ඇය කරන්නේ මොනවද කියා දැනගැනීමට දවස පුරාම දුරකථන ඇමතුම් දෙයි. ඇය කැමති යමක් පැවසූ විට ඔහු මහා හයියෙන් බෙරිහන් දෙයි. මේ නිසා රොක්සානා ඇගේ අදහස් නොකියා ඉන්න පුරුදු වී තිබෙනවා.

මෙයින් පෙනී යන්නේ කලත්‍රයෙකු විසින් සිදු කරන සැහැසියාව ඉතා සංකීර්ණ බවයි. මෙවැනි සැහැසියාවට ලක් වන අයට උපකාර කරන්න කැමති නම් අනුකම්පාසහගතව ඔවුන්ට සවන් දෙන්න. සැහැසියාවට ගොදුරු වුණ කෙනෙකුට තම අද්දැකීම විස්තර කිරීම එතරම් පහසු දෙයක් නෙවෙයි කියාත් මතක තබාගන්න. ඔබේ ඉලක්කය විය යුත්තේ සැහැසියාවට ලක් වන තැනැත්තියට ඇයගේ හැකියාව අනුව එය හැසිරවීමට හා ඇය මුහුණපාන තත්වය සමඟ සාර්ථකව කටයුතු කිරීමට දිරිමත් කිරීමයි.

සමහර බැට කන කාන්තාවන්ට නීතියේ පිහිට පතන්න වෙනවා. අවදානම් තත්වයකදී පොලීසිය මැදිහත් වූ විට සැහැසික ක්‍රියාව කළ තැනැත්තාට ඔහුගේ වරදේ බරපතළකම වටහාගැනීමට හැකි වෙයි. ඒත්, පිළිගත යුතු කාරණයක් නම්, එම අවදානම් තත්වයේ බරපතළකම වටහාගත් නිසා ඔහු වෙනස් වෙන්න සිතුවත් කාලයාගේ ඇවෑමෙන් සිද්ධිය අමතක වීමත් සමඟම එම සිතුවිල්ලත් ඔහු කෙරෙන් පහ වී යන බවයි.

බැට කන කාන්තාව පුරුෂයා අත්හැරිය යුතුද? බයිබලයේ පෙන්වන පරිදි විවාහ වූ දෙදෙනෙක් වෙන්වීම බරපතළ කාරණයක්. අනික් අතට බැට කන කාන්තාවට ඇගේ පුරුෂයා සමඟ ජීවත් වීම ශරීර සෞඛ්‍යයට මෙන්ම ඇගේ ජීවිතයට හානියක් නම්, මෙවැනි තත්වයක් යටතේදී ඔහු සමඟ සිටිය යුතුමයි කියා බයිබලය පවසන්නේ නැහැ. ක්‍රිස්තියානි ගෝලයෙක් වූ පාවුල් ලිව්වේ “ඈ අහක්ව ගියොත් විවාහ නොවී සිටීවා, නැතහොත් ඇගේ පුරුෂයා හා සමගිවේවා” කියායි. (1 කොරින්ති 7:10-16, අකුරු ඇල කළේ අපය.) අසීරු අවස්ථාවන් යටතේ වෙන්වීම බයිබලය හෙළාදකින්නේ නැහැ. මේ තත්වය යටතේ කාන්තාවක් ගත යුතු තීරණය ඇය සතුයි. (ගලාති 6:5) කිසි කෙනෙක් ඇයට පුරුෂයාගෙන් වෙන්වීමට බල නොකළ යුතු අතර ඇගේ සෞඛ්‍යයට, ජීවිතයට හා ආත්මික තත්වයට බලපෑම් ඇති වී තිබෙන විට පුරුෂයා සමඟ දිගටම ජීවත් වීමටද බල නොකළ යුතුයි.

බැටදෙන්නන්ටත් වෙනස් විය හැකිද?

කලත්‍රයාට පහර දීම බයිබල් ප්‍රතිපත්ති උල්ලංගනය කරන බරපතළ වරදක්. එපීස 4:29, 31හි කියන්නේ “නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කථාවක් නික්මෙන්ට ඉඩ නෑර, . . . සියලු තික්තකමත් කෝපයත් උදහසත් කෝලාහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහකරනු ලැබේවා” කියායි.

ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක්යයි කියා සිටින පුරුෂයෙක් තම භාර්යාවට පහර දෙනවා නම් ඔහු ඇයට ප්‍රේම කරනවායයි පැවසිය හැකිද? කිසිසේත් නොහැකියි. පුරුෂයෙක් තම භාර්යාවට අයුතු ලෙස සලකනවා නම්, ඔහු කරන අනික් සියලුම යහපත් වැඩවල වටිනාකමක් තියෙන්න පුළුවන්ද? “පහරදෙන්නෙකු [NW]” ක්‍රිස්තියානි සභාවේ වගකීම් දරන්න කිසිසේත් සුදුසු නැහැ. (1 තිමෝති 3:3; 1 කොරින්ති 13:1-3) ක්‍රිස්තියානියෙක්යයි තමන්වම හඳුන්වාගන්න කෙනෙක් පසුතැවිලි නොවී කෝපාවිෂ්ට වී කටයුතු කරනවා නම් ඔහුව සභා ඇසුරෙන් කපාහරින්න පවා පුළුවන්.—ගලාති 5:19-21; 2 යොහන් 9, 10.

සැහැසියාවට නැඹුරු පුරුෂයෙකුට ඔහුගේ ක්‍රියාකලාපය වෙනස් කරගත හැකිද? සමහරුන් එසේ කර තිබෙනවා. එවැනි කෙනෙකුට වෙනස් වෙන්න නම්, (1) ඔහුගේ ක්‍රියාකලාපය වැරදි බව ඔහු පිළිගත යුතුයි. (2) ඔහුගේ මාර්ගය වෙනස් කිරීමට කැමැත්තක් දැක්විය යුතුයි. (3) ඔහු උපකාර ඉල්ලිය යුතුයි. කෙනෙකුව වෙනස් කළ හැකි ප්‍රබලතම මෙවලම බයිබලය බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා. ඔවුන් සමඟ බයිබලය පාඩම් කිරීමට කැමැත්තක් දක්වන බොහෝදෙනෙක් දෙවිව සතුටු කිරීමට මහත් උත්සාහයක් ගන්නවා. අලුතෙන් බයිබලය ඉගෙනගන්නා මේ අය යෙහෝවා දෙවි ‘දුෂ්ටයාවත් බලාත්කාරකමට ප්‍රිය වෙන්නාවත් ද්වේෂ කරන” බව දැනගන්නවා. (ගීතාවලිය 11:5) සැහැසික ක්‍රියා කරන කෙනෙකු වෙනස් වනවා යන්නෙන් අදහස් කරන්නේ, පහර නොදී සිටීම පමණක් නොවෙයි. නමුත් භාර්යාව කෙරෙහි සම්පූර්ණයෙන් වෙනස් ආකල්පයක් වර්ධනය කරගැනීමටද ඉගෙනගැනීමයි.

යම් පුද්ගලයෙක් දෙවි ගැන දැනුම ලබාගන්නා විට ඔහු තම භාර්යාවව මෙහෙකාරියක් ලෙස නොව නමුත් “සහකාරියක්” ලෙස සැලකීමට ඉගෙනගන්නවා. තවද ඇයව පහත් කොට නොසලකා ඇයට ‘ගෞරවයෙන්’ සැලකිය යුතු බව තේරුම්ගනියි. (උත්පත්ති 2:18; 1 පේතෘස් 3:7) ඔහු භාර්යාවගේ අදහස්වලට ගරු කිරීමටත් ඇයට දයාවෙන් සැලකීමටත් ඉගෙනගනියි. (උත්පත්ති 21:12; දේශනාකාරයා 4:1) යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් බයිබලය ඉගෙනගත් බොහෝ යුවළයන් මෙම පාඩම්වලින් ප්‍රයෝජන ලබා තිබෙනවා. කෲර ලෙස ආධිපත්‍යය දැරීමට හෝ හිරිහැර කිරීමට ක්‍රිස්තියානි පවුල තුළ කිසිම ඉඩක් නැහැ.—එපීස 5:25, 28, 29.

“[දෙවිගේ] වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය.” (හෙබ්‍රෙව් 4:12) බයිබලයේ දැනුම යුවළයන්ට තම විවාහ ජීවිතයේ ප්‍රශ්න හඳුනාගැනීමටත් ඒවා සමඟ සාර්ථකව කටයුතු කිරීමටත් අවශ්‍ය ප්‍රඥාව හා එඩිතරකම ලබා දෙයි. ඊටත් වඩා බයිබලය අනාගතය ගැන ස්ථිර හා සැනසිලිදායක පණිවිඩයක් දෙනවා. යෙහෝවාගේ ස්වර්ගික රජු කීකරු ජනයාව පාලනය කරන විට සැහැසියාවෙන් තොර කාලයක් ගැන බයිබලයේ කියාපාන්නේ මෙලෙසයි. “[ඔහු] මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. [ඔහු] ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය.”—ගීතාවලිය 72:12, 14.

[26වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

කෲර ලෙස ආධිපත්‍යය දැරීමට හෝ හිරිහැර කිරීමට ක්‍රිස්තියානි පවුල තුළ කිසිම ඉඩක් නැහැ

[22වන පිටුවේ කොටුව]

වැරදි මත දුරු කරලීම

පුරුෂයාගේ ක්‍රියාවට වගකිව යුත්තේ බැට කන භාර්යාවයි.

බොහෝ පහර දෙන පුරුෂයන් තමන්ගේ වැරැද්ද පිළිගන්නේ නැති අතර ඒ තත්වයට තමන් පත් වන්නේ භාර්යාව ඔවුන්ව කුපිත කරන නිසායයි පවසයි. භාර්යාව සමඟ පෑහී කටයුතු කිරීමට අසීරුයි කියා පුරුෂයා නඟන චෝදනාවලට ඔහුගේ යහළුවන් පවා රැවටෙමින් පුරුෂයාට වරින් වර තරහා යන එක සාමාන්‍ය දෙයක් බව පිළිගනියි. මෙයින් සිදු වන්නේ කලහකාරි තැනැත්තාව නිදොස් කිරීම හා පීඩාවට ගොදුරු වූ කෙනාට දොස් පැවරීමයි. නමුත් සැබෑ තත්වය නම් බැට කන කාන්තාව සැමවිටම පුරුෂයාව සැනසීමට මහත් වෑයමක් දැරීමයි. මොනම හේතුවක් නිසාවත් තම කලත්‍රයාට පහර දීම සාධාරණීකරණය කරන්න බැහැ. පහර දෙන්නාගේ මනෝ විද්‍යාත්මක පැත්ත (සිංහලෙන් නැහැ) යන පොතෙහි මෙසේ සඳහන් වෙනවා. “භාර්යාවන්ට පහර දීම නිසා උසාවි නියෝග මත වෛද්‍ය උපකාර සඳහා යන පුරුෂයන් සැහැසියාවට ඇබ්බැහි වී ඇති බව පෙනෙන්න තිබෙනවා. කෝපය, අසහනය හා ආතතිය අඩු කරගැනීමට, ආරවුල් විසඳීමට හා ආධිපත්‍යය දැරීමට මඟක් ලෙස ඔවුන් සැහැසියාව යොදාගන්නවා. . . . ඔවුන් වරදක් කරන බව පිළිගන්නවත් ඒ සැහැසික ක්‍රියාවේ වගකීම භාරගන්නවත් කැමති නැහැ.”

මත්පැන් ගැනීම භාර්යාවට පහර දීමට හේතු වෙයි.

පිළිගත යුතු දෙය නම් සමහර පිරිමින් මත්පැන් ගත්තට පසු ඔවුන්ගේ සැහැසියාව වැඩි වෙයි. නමුත් වරදට හේතුව මත්පැන් බව කීම සාධාරණද? කෙරන් ජේ. විල්සන් ලියූ නිවසින් ආරම්භ වන සැහැසියාව යන පොතේ පවසන්නේ “බැටදෙන්නා බීමතින් ක්‍රියා කළ පසු ඔහු දොස් තබන්නේ මත්පැන්වලටයි. මෙය ඔහුගේ වැරදි වසන් කිරීමට හොඳ ක්‍රමයක්” කියායි. “අද සමාජයේ බීමත්කම නිසා සිදු වන ගෘහස්ථ සැහැසියාව එතරම්ම හෙළාදකින්නේ නැති බව පෙනෙන්න තිබෙනවා. පීඩා විඳින කාන්තාව පුරුෂයා පීඩා කරන්නේ දැඩි බීමත්කම නිසා බවත් ඔහු සාමාන්‍යයෙන් පීඩා කරන්නෙකු නොවන බවත් සිතයි” කියා ඇය තවදුරටත් පවසනවා. විල්සන් පවසන පරිදි එවැනි කල්පනාවන් කාන්තාවක්ව තවත් නොමඟ හරින්න පුළුවන්. “ඔහු බීමත්කම නතර කළොත් සැහැසියාවත් නතර කරයි” කියා ඇය සිතන්න පෙලඹෙනවා.

බොහෝ පර්යේෂකයන් බීමත්කම හා කලත්‍රයාට බැට දීම සලකන්නේ එකිනෙකට වෙනස් ගැටලු දෙකක් ලෙසයි. මන්ද මත්පැන්වලට හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බොහෝ පුරුෂයන් තමන්ගේ කලත්‍රයන්ට පහර දෙන්නේ නැහැ. පිරිමින් කාන්තාවන්ට බැට දෙන විට යන කෘතියෙහි (සිංහලෙන් නැත) ලේඛකයන් ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසයි. “බැට දීම මගින් කාන්තාව පාලනය කිරීමට, බියගැන්වීමට හා යටත් කරගැනීමට සමත් වන නිසා එය දිගින් දිගටම කිරීමට පෙලඹෙයි. . . . අනිසි මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය බැටදෙන්නාගේ පුරුද්දක් බවට පත් වී තිබුණත් ඔහුව සැහැසියාවට පොලඹවන්නේ ඒවා කියා නිගමනය නොකළ යුතුයි.”

බැටදෙන්නා සියල්ලන් කෙරෙහි සැහැසික වෙයි.

බොහෝ අවස්ථාවලදී බැටදෙන්නා අන් අය අතරේ ප්‍රසන්න මිත්‍රයෙක් යන නාමය දිනාගනියි. ඔහු වෙස් මුහුණක් පැළඳගත් කෙනෙක් හා සමානයි. මේ නිසා යහළුවන්ට ඔහුගේ සැහැසික ක්‍රියා විශ්වාස කළ නොහැකි තරම්. මෙහි සත්‍යතාවය නම් පහරදෙන්නා ඔහුගේ රෞද්‍ර ගතියෙන් භාර්යාව පාලනය කිරීමයි.

කාන්තාවන් තමන්ට අනිසි ලෙස සැලකීම ගැන විරෝධය පාන්නේ නැහැ.

මෙයින් පෙන්නුම් කරන්නේ පවතින තත්වයෙන් මිදීමට නොහැකිව අසරණ වී සිටින කාන්තාවන්ව බොහෝදෙනෙකු තේරුම් නොගැනීමයි. සමහරවිට බැට කන කාන්තාවට ඇගේ යෙහෙළියන් අනුකම්පා කරන නිසා සතියකට හෝ දෙකකට ඇයට නවාතැන් දිය හැකියි. නමුත් ඊට පස්සේ ඇය ගන්න පියවර මොකක්ද? රැකියාවක් සොයාගැනීම, නිවසක් කුලියට ගැනීම, දරුවන් රැකබලා ගැනීම වැනි මේ සියලු අභියෝග භාරගැනීම ඉතා කලකිරෙන හා මනස අවුල් කරවන තත්වයන්ය. සමහරවිට දරුවන් සමඟ පලායෑමට නීතියෙන් ඉඩ නොදෙනවා විය හැකියි. සමහරු මෙලෙස පලා ගියත් ඔවුන්ව සොයාගෙන බලෙන් හෝ චාටු බස් කියා හෝ නැවතත් පුරුෂයා ගෙදරට ගෙන්නගන්නවා. තත්වය තේරුම් නොගන්නා යහළුවෝ බොහෝවිට සිතන්නේ මේ භාර්යාවන් තමන්ට සලකන ආකාරය ගැන විරුද්ධත්වයක් දක්වන්නේ නැහැයි කියායි.