Skip to content

පටුනට යන්න

මිනිසාගේ දුෂ්ට පාලනය මිනිසාට වේදනාවක්

මිනිසාගේ දුෂ්ට පාලනය මිනිසාට වේදනාවක්

මිනිසාගේ දුෂ්ට පාලනය මිනිසාට වේදනාවක්

ඉතිහාසය දෙස බලද්දී දේශනාකාරයා 8:9හි වදන් සත්‍යයක් බව සනාථ වෙයි. එහි පවසන්නේ, “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන කාලයක් තිබේ” කියායි. කතෝලික යෙරුසලම් බයිබලයේ පවසන්නේ, ‘මිනිසාගේ දුෂ්ට පාලනය මිනිසාට වේදනාවක්’ කියායි. මිලියන ගණන් මනුෂ්‍යයන් අසාධාරණකම් නිසා පීඩා විඳ තිබේ. විවිධ ආණ්ඩු ක්‍රම තුළ පවා මනුෂ්‍යයන් මෙම තත්වය අත්දැක තිබේ. මෙම පීඩාකාරි තත්වය ගැන සඳහන් කළේ එක්සත් ජනපදයේ අමෙරිකානු ඉන්දියානුවන්ගේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අංශයේ 175වන සංවත්සරයේදී එම කටයුතු භාරව සිටින සහකාර ලේකම්වරයාගේ කතාවකදීය.

ලේකම්වරයා පැවසුවේ, එම අවස්ථාව ප්‍රීතිවීමට වඩා “දුක්මුසු සත්‍යයක් ගැන පසුතැවිලි විය යුතු අවස්ථාවක්” බවයි. එක්දාස් අටසිය තිස් ගණන්වලදී අමෙරිකානු ඉන්දියානුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් එම ආයතනයේ පළමු කාර්යභාරය වූයේ, ගිනිකොන දිශාවේ සිටි ගෝත්‍රික ජනතාව වන චේරෝකී, ක්‍රීක්, චෝක්ටෝ, චිකාසෝ සහ සෙමිනල්වරුන්ව ඔවුන්ගේ දේශවලින් පන්නා දැමීමයි. “තර්ජනයෙන්, බොරුවෙන් සහ බලහත්කාරයෙන් මෙම ප්‍රධාන ගෝත්‍රික ජාතීන්ව කිලෝ මීටර 1,600ක් බටහිර දෙසට පන්නා දැම්මා. ඒ යන ගමනේදී ඔවුන්ගේ බාලයන්, මහල්ලන් සහ දුබලයන් මිය ගිය විට භූමදානය කිරීමටවත් ඔවුන්ට ඉඩක් ලැබුණේ නැහැ.”

ඔහු තවදුරටත් මෙසේ පැවසුවේය. “යම් දේවල් අවබෝධ කරගත හැකි වකවානුවක් වන මේ කාලයේදී, හිතාමතා රෝග පැතිරවීම, විශාල මී හරක් රංචු විනාශ කිරීම, මනසට සහ ශරීරයට හානිකර විෂ සහිත මත්පැන් භාවිත කිරීම සහ ස්ත්‍රීන්ව හා දරුවන්ව මරා දැමීම ඇත්තෙන්ම ඉතා අධම ක්‍රියා ලෙස සැලකිය යුතුයි. මේසා විශාල අමානුෂික ඝාතනයක් නිකම්ම ජාතීන් දෙකක ඝට්ටනයක් ලෙස සලකා පසෙක දැමිය නොහැකියි.” a ඔහු පිළිගත්තේ මෙසේයි. “මෙම ආයතනය අමෙරිකානු ඉන්දියානුවන්ගේ සෑම දෙයක්ම විනාශ කළා. අමෙරිකානු ඉන්දියානුවන්ගේ භාෂා කතා කිරීම තහනම් කළා. . . . ඒ වගේම අමෙරිකානු ඉන්දියානුවන්ව ලැජ්ජාවට පත් කළා. මේ සෑම දෙයකටම වඩා දරුණුතම දේ වෙන්නේ මෙම ආයතනය මගින් නේවාසික පාසැල්වල සිටින දරුවන්ට අයුතු ලෙස සැලකීමයි. ඔවුන්ව චිත්තවේගීයව, මානසිකව ශාරීරිකව සහ අධ්‍යාත්මිකව තිරිසනුන්ගේ තත්වයට පත් කළා.”

ඔහු තම කතාව අවසන් කළේ මෙසේයි. “මෙම ආයතනය අතීතයේදී කළාවූ දෙයට අපගේ හෘදයාංගම පසුතැවිල්ල ප්‍රකාශ කරමු. . . . අමෙරිකානු ඉන්දියානුවන්ගේ ඉඩම් කොල්ල කෑමට යළි කිසිදාක අපි හවුල් නොවෙමු. . . . අපි යළි කිසිදාක ඔබේ ආගම්වලට, භාෂාවන්වලට, ඔබේ සිරිත් විරිත්වලට හෝ ගෝත්‍රික ක්‍රමවලට පහර ගසන්නේ නැහැ.” ඔහු කියූ වැදගත්ම දේ මෙයයි. “අපි එකතු වෙලා පරම්පරා හතක කඳුළු පිස දාමු. බිඳී ගිය අපේ සිත් නැවත සුවපත් කරගැනීමට ඉඩ දෙමු.”—Vital Speeches of the day, 2000 ඔක්තෝබර් 1 දින.

මිනිසා මිනිසාටම කරන අමානුෂික ක්‍රියාවලට තිබෙන එකම සහ සදාකාලික විසඳුම දෙවිගේ රාජ්‍යයයි. එය සැමට යුක්තිය ඉටු කර දෙන අතර ‘ඇස්වලින් සියලු කඳුළු පිස දමයි. මරණය තවත් නොවන්නේය. වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.’—එළිදරව් 21:3, 4.

[පාදසටහන]

a අමෙරිකානු ඉන්දියානුවන්ගේ ඉතිහාසය පෙන්වන්නේ එම ගෝත්‍රිකයන් අතර පවා ඝට්ටන තිබුණු බවයි. එනම්, “දේශය, අශ්වයන් සහ මී හරකුන් හිමි කරගැනීමට” නිතරම ඇන කොටාගත් බවයි.—The people called Apache යන ග්‍රන්ථය ඇසුරෙන්.

[31වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

අමෙරිකානු ඉන්දියානුවෙක්: Artwork based on photograph by Edward S. Curtis; සිතියම: Mountain High Maps® Copyright © 1997 Digital Wisdom, Inc.; ඔවුන්ගේ වාසස්ථාන: Leslie’s