Skip to content

පටුනට යන්න

“මේ වතාවේදී නම් ඔහු වෙනස් වෙයි”

“මේ වතාවේදී නම් ඔහු වෙනස් වෙයි”

“මේ වතාවේදී නම් ඔහු වෙනස් වෙයි”

ප්‍රියකරු සිනාවකින් මුව සරසාගත් සුන්දර රොක්සානා, a දරුවෝ සතරදෙනෙකු සිටින කඩිසර මවක්. ඇය විවාහ වී සිටින්නේ දකුණු අමෙරිකාවේ ශෛල්‍ය වෛද්‍යවරයෙක් සමඟයි. ඔහු සමාජයේ පිළිගත්, කොයි කවුරුත් ගෞරවයෙන් සලකන්නාවූ කෙනෙක්. රොක්සානා තම ස්වාමිපුරුෂයාව විස්තර කළේ “පිරිමින් අතරේ ජනප්‍රිය හා කාන්තාවන්ගේ සිත් ඇදගන්නාසුලු විදියට හැසිරෙන පුද්ගලයෙක්” ලෙසයි. නමුත් රොක්සානාගේ සහකරු ගැන කවුරුත් නොදන්නා අඳුරු පැත්තක් තිබෙනවා. ඔහුගේ ළඟම ආශ්‍රිතයන් පවා මේ ගැන දන්නේ නැහැ. “ඔහු ගෙදර හැසිරෙන්නේ ඊර්ෂ්‍යාවෙන් වියරු වැටුණු රාක්ෂයෙක් වගේ.”

රොක්සානා මේ කතාව කියන විට ඇගේ මුහුණ පුරා කනස්සලුභාවයක් ඇඳී තිබුණා. “මේ හැම දෙයකම පටන්ගැන්ම සිදු වුණේ මෙහෙමයි. අපි විවාහ වෙලා සති කිහිපයකට පස්සේ මගේ අම්මයි, මගේ සහෝදරයෝයි අපිව බලන්න ආවා. මම එගොල්ලන් එක්ක සතුටු සාමීචියේ යෙදෙමින් ප්‍රීතියෙන් ඒ කාලය ගත කළා. නමුත් ඒගොල්ලෝ ගියගමන්ම මගේ ස්වාමිපුරුෂයා කෝපාවිෂ්ට වී වියරුවෙන් වගේ එකපාරටම මාව කවිච්චියට තල්ලු කළා. මට මේ කිසි දෙයක් අදහාගන්න බැරුව ගියා.”

එය රොක්සානාගේ කටුක අද්දැකීමේ ආරම්භයයි. ගෙවී ගිය වසර ගණනාව පුරා ඇය නිතර නිතර පහරකෑම්වලට මුහුණ දුන්නා. හැමදාම සිදු වන්නේ එකම දේ. රොක්සානාගේ පුරුෂයා ඇයට පහර දෙනවා. ඒ හැම අවස්ථාවකදීම ස්වාමිපුරුෂයා එය ගැන බලවත් සේ කනගාටු වී රොක්සානාගෙන් සමාව අයදින අතර නැවත කිසිදාක එවැනි දෙයක් නොකරන බවට පොරොන්දු වෙයි. ඊට පස්සේ ටික කාලයකට තත්වය හොඳ අතට හැරෙයි. ඒත් ඔහුගේ මේ යහපත් හැසිරීම දැකගත හැකි වන්නේ ටික කාලෙකට පමණයි. ඔහුගේ බිහිසුණු ක්‍රියාකලාපය නැවතත් ඉස්මතු වෙනවා. “මම හැම තිස්සේම හිතන්නේ මේ වතාවේදී නම් ඔහු වෙනස් වෙයි කියායි. එනිසා මම ඔහුව හැර ගියත් නැවතත් ඔහුව සොයාගෙන එනවා” කියා රොක්සානා පවසනවා.

කවදා හෝ දවසක ඇයගේ ස්වාමියාගේ සැහැසියාව මර්දනය කළ නොහැකි තත්වයකට පත් වෙයි කියා රොක්සානා තුළ බියක් තිබෙනවා. “දරුවන්වයි මාවයි මරාගෙන මැරෙන බවට ඔහු තර්ජනය කර තිබෙනවා” යයි ඇය කීවා. “දවසක් ඔහු මගේ බෙල්ලට කතුර තියලා තද කළා. තවත් අවස්ථාවක පිස්තෝලය මගේ කනට එල්ල කර කොකා ගැස්සුවා. භාග්‍යයකට පිස්තෝලයේ වෙඩි උණ්ඩ තිබුණේ නැහැ. මම ඒ වෙලාවේ මැරුණේ නැතත් ඒ බය මාව මරණයට පත් කළා.”

උරුම වූ නිහඬතාවය

ලොව පුරාම රොක්සානා වැනි මිලියන සංඛ්‍යාත කාන්තාවන් පිරිමින්ගේ සැහැසියාවෙන් දුක් පීඩා විඳිනවා. b ඔවුන්ගෙන් බොහෝදෙනෙක් මෙම කටුක අද්දැකීම් නිහඬව දරාගෙන සිටිනවා. ඔවුන් පවසන්නේ මේවා අන් අය සමඟ කීම නිෂ්ඵල බවයි. මෙවැනි වධ හිංසා පමුණුවන පිරිමින් පහසුවෙන්ම මෙම චෝදනාව මඟහරවා තිබෙන්නේ “මගේ භාර්යාව ඉක්මනින් කලබල වෙන කෙනෙක්” හෝ “ඇය අතිශයෝක්තියෙන් දේවල් කියන කෙනෙක්” යයි කීමෙනුයි.

කාන්තාව ඇයගේම නවාතැනේ පහර කෑම්වලට ලක් වන නිසා සුරක්ෂිතභාවයක් නොමැතිව බියෙන් ජීවත් වීම කනගාටුවට කාරණයක්. ඇය නිතරම ජීවත් වන්නේද බියෙන්. නමුත් බොහෝවිට අනුකම්පාව ලැබෙන්නේ විපතට පත් වූ තැනැත්තාට නොව විපත කළ තැනැත්තාටයි. බොහෝදෙනෙකුට විශ්වාස කිරීමට අපහසු දෙය නම් සමාජයේ ගෞරවයෙන් සලකනු ලබන කෙනෙක් ඔහුගේ සහකාරියට පහර දෙයි කියා සිතීමයි. ඇනීටා නම් කාන්තාවකට සිදු වූ දේ සලකා බලන්න. යහපත්යයි සලකනු ලැබූ තම පුරුෂයාගෙන් ලබන වධ හිංසා ගැන ඇය කතා කළ විට ලැබුණු ප්‍රතිචාර මෙසේයි. “අපිව අඳුනන කෙනෙක් කීවේ ‘ඔහු වගේ යහපත් කෙනෙක් ගැන ඔයා චෝදනා කරන්නේ කොහොමද?’ කියායි. තව කෙනෙක් කිව්වේ මම ඔහුව කුපිත කරන යම් දෙයක් කරනවා ඇතියි කියායි! ඔහුගේ වැරදි දැනගත්තට පසුවත් සමහර අපේ යාළුවෝ මාව මඟහැරියා. ඔවුන් සිතුවේ ‘පිරිමින්ගේ හැටි වෙනස් කරන්න බැරි නිසා’ මම මේ තත්වය දරාගත යුතුයි කියායි.”

ඇනීටාගේ අද්දැකීමෙන් පෙනී යන්නේ පුරුෂයාගේ වධ හිංසාවෙන් පීඩා විඳින කෙනෙකුගේ තත්වය බොහෝදෙනෙකුට වටහාගැනීමට අපහසු බවයි. භාර්යාවට ප්‍රේම කරනවායයි කියන ස්වාමිපුරුෂයා මෙතරම් කෲරවීමට පෙලඹෙන්නේ ඇයි? මෙවැනි හිංසා පීඩාවලට ගොදුරුවූවන්ට උපකාර කරන්නේ කොහොමද?

[පාදසටහන්වල]

a මෙම ලිපි මාලාවේ නම් වෙනස් කර තිබෙනවා.

b පිළිගත යුතු කාරණය නම් බොහෝ පිරිමින්ද මෙවැනි සැහැසියාවට ගොදුරු වී තිබීමයි. නමුත් වාර්තාවලින් පෙනී යන්නේ කාන්තාවන්ගේ තත්වය මීට වඩා බරපතළ හා හානිකර බවයි. ඒ නිසා මේ ලිපිවල සාකච්ඡා කරන්නේ කාන්තාවන් අද්දකින වධ හිංසා සම්බන්ධවයි.

[18වන පිටුවේ කොටුව⁄පින්තූරය]

පුළුල්ව සිදු වන ගෘහස්ථ සැහැසියාව

කාන්තාවන්ට සිදු වන සැහැසියාව මුලිනුපුටා දැමීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයක “කාන්තාවට සිදු වන සැහැසියාව” නිර්වචනය කර තිබෙන්නේ “ජීව විද්‍යාත්මක වෙනස නිසා කාන්තාවක්ව ශාරීරිකව, ලිංගිකව හෝ මානසිකව හිංසාවට හෝ පීඩාවට පත් කරවන ඕනෑම ආකාරයේ සැහැසික ක්‍රියාවක්” ලෙසයි. තවදුරටත් “ප්‍රසිද්ධියේ හෝ රහසිගතව එවැනි ක්‍රියා සිදු කරන බවට තර්ජනය කිරීම, බලපුළුවන්කාරකම් පෙන්වීම, නිදහස අහිමි කිරීම වැනි දේද මීට ඇතුළත් වේ.” මෙම සැහැසියාවට අයත් තවත් සිදුවීම් නම් “පවුල් කවය තුළින් හෝ සමාජයෙන් එල්ල වන ශාරීරික, ලිංගික හා මානසික සැහැසියාව, පහරකෑම්, දැරියන්ට සිදු වන ලිංගික අතවර, දෑවැද්ද මුල් කරගෙන අඩන්තේට්ටම් කිරීම, ස්වාමිපුරුෂයා භාර්යාවට කරන ලිංගික අතවර, ලිංගික ඡේදනය සහ චාරිත්‍රානුකූලව කාන්තාවන්ට සිදු කරන වෙනත් හානිකර පිළිවෙත්ය.”