Skip to content

පටුනට යන්න

සමස්ත ලෝක ගැටලුවක්

සමස්ත ලෝක ගැටලුවක්

සමස්ත ලෝක ගැටලුවක්

“සිය දිවි නසාගැනීම මහජනතාවට බලපාන බරපතළ සෞඛ්‍ය ගැටලුවකි.” එක්සත් ජනපදයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥ, ඩේවිඩ් සැට්චර්, 1999.

ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජනපදයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක් දිවි නසාගැනීම මහජන ප්‍රශ්නයක් හැටියට සටහන් කළේ ඉහත සඳහන් ප්‍රකාශනය සමඟින්. එම රටේ මරණයට පත් කරනු ලබන අයගේ ගණනට වඩා දැන් වැඩිදෙනෙක් තමන්වම මරාගන්නවා. එක්සත් ජනපද සෙනෙට් සභාව සිය දිවි නසාගැනීම වැළැක්වීම ජාතියක් වශයෙන් ප්‍රමුඛස්ථානය දිය යුතු දෙයක් බවට ප්‍රකාශ කිරීම අරුමයක් නොවේ.

එහෙත්, 1997දී, එක්සත් ජනපදයේ ලක්ෂයකට 11.4ක් වූ සිය දිවි නසාගැනීමේ අනුපාතය, වසර 2000දී ජගත් සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කළ සමස්ත ලෝක අනුපාතයට වඩා අඩුයි. එය ලක්ෂයකට 16ක්. පසුගිය වසර 45 ඇතුළත ලෝකය පුරා සිය දිවි නසාගැනීමේ අනුපාතයන් සියයට 60කින් වැඩි වී තිබෙනවා. දැන් එක් වසරක් තුළදී ලොව වටා මිලියනයක් පමණ දෙනා තමන්ගේම ජීවිතය නසාගන්නවා. එය දළ වශයෙන් ගත්තොත්, සෑම තත්පර 40කටම එක මරණයක්!

කොහොම වුණත්, සංඛ්‍යා ලේඛනවලින්ම තත්වය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් දෙන්න බැහැ. බොහෝ අවස්ථාවලදී, මිය ගිය තැනැත්තාගේ පවුලේ අය කියන්නේ එම මරණය දිවි නසාගැනීමෙන් සිදු වුණ දෙයක් නොවේ කියායි. තවද, දිවි නසාගෙන ඇති අයගෙන් දහයේ සිට විසිපහ දක්වා පිරිසක් ඒ දේ සිදු කරගැනීම සඳහා ප්‍රයත්නයක් දරා ඇති බවට ගණන් බලා තිබේ. එක්සත් ජනපදයේ උසස් පාසැල්වල සිසුන්ගෙන් සියයට 27ක්ම පසුගිය වසරේදී තමන් දිවි නසාගැනීම ගැන ඇත්තටම කල්පනා කළ බවත්, සමීක්ෂණය කළ කණ්ඩායමෙන් සියයට 8ක් දිවි නසාගැනීමට තැත් කළ බවත් පිළිගත්තා. වැඩිහිටියන්ගෙන් සියයට 5 සිට 15 දක්වා සංඛ්‍යාවක් ඔවුන්ගේ ජීවිතයේ එක් වතාවකදී හෝ වතා කිහිපයකදී දිවි නසාගැනීමේ සිතිවිල්ල ඇතිව සිටි බව තවත් අධ්‍යයනයකදී හෙළි වුණා.

සංස්කෘතික වෙනස්කම්

මිනිසුන් සිය දිවි නසාගැනීම ගැන දරන්නේ එකිනෙකට වෙනස් මතයන්. එය අපරාධයක් කියා ඇතැම් අය කියනවා; තවත් අය කියන්නේ එය බියගුල්ලන් බේරීම සඳහා යොදාගන්නා ක්‍රමයක් කියලයි. ඒ වගේම, එය තමන් කළ මෝඩ, පිස්සු වැඩකට සමාව ලබාගැනීමේ ගෞරවාන්විත ක්‍රමයක් කියලත් තවත් සමහරු හිතනවා. යම් ගැටලුවක් විසඳීමට තිබෙන උදාරතම ක්‍රමයක් කියලත් සමහරු එය සලකනවා. එවන් විවිධ මතිමතාන්තර තිබෙන්නේ ඇයි? මෙහිදී කෙනෙකුගේ සංස්කෘතිය ප්‍රබල බලපෑමක් කරනවා. ඇත්තටම කියනවා නම්, ද හාවර්ඩ් මෙන්ටල් හෙල්ත් ලෙටර් යෝජනා කරන විදිහට, සංස්කෘතිය “දිවි නසාගැනීමේ ප්‍රවණතාවට බලපෑම් කළ හැකියි.”

මධ්‍යම යුරෝපයේ එක් රටක් ගැන සලකා බලමු. ඒ තමයි, හංගේරියාව. ආචාර්ය සෝල්ටන් රීහ්මර් විස්තර කරන්නේ හංගේරියාවේ සිය දිවි නසාගැනීමේ ඉහළ අනුපාතය “ශෝචනීය ‘සම්ප්‍රදායක්’” ලෙසටයි. හංගේරියානු ජාතිකයන් මොනයම් හේතුවකට වුවත් සැනෙකින් දිවි නසාගැනීමට පසුබට නොවන බව හංගේරියාවේ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ බේලා බුඩා ගෙනහැර දැක්වූවා. “ඔහුට පිළිකාවක් වැළඳී තිබෙනවා. ඒ නිසා එම තත්වයෙන් මිදෙන හැටි ඔහු දන්නවා” යනු පොදුවේ දක්වන ප්‍රතික්‍රියාවයි. එසේ සඳහන් කරන්නේ බුඩා මහතායි.

ඉන්දියාවේ එක් සමයක සතී පූජාව යන නමින් හැඳින්වූ චාරිත්‍රයක් තිබුණා. එහිදී කෙරෙන්නේ, තම සැමියාගේ මළ සිරුර හොවා ඇති චිතකය දැවෙන විට වැන්දඹු බිරිඳ එම චිතකයට පැන සිය දිවි නසාගැනීම. මෙය බොහෝ කලකට පෙර තහනම් කොට තිබුණත්, තවමත් එය ඉන්දියානු සමාජයෙන් සදහටම තුරන් වී නැහැ. එක් කාන්තාවක් මේ අන්දමින් සිය දිවි නසාගත් අවස්ථාවේ, එම ප්‍රදේශයේ විසූ බොහෝදෙනෙක් ඇගේ එම ක්‍රියාව ගැන මහත් ප්‍රශංසා මුඛයෙන් කතා කළා. ඉන්ඩියා ටුඩේට අනුව, ඉන්දියාවේ එම ප්‍රදේශයේ “කාන්තාවන් 25කට ආසන්න සංඛ්‍යාවක් වසර 25ක් මුළුල්ලේ තම සැමියන්ගේ පිළිස්සෙන මළ සිරුරු සහිත චිතකවලට පැන තිබෙනවා.”

කැපීපෙනෙන කරුණක් තමයි, ජපානයේ මාර්ග අනතුරුවලින් මිය යන සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් සිය දිවි නසාගැනීම. “ජපන් සාම්ප්‍රදායික සංස්කෘතිය කිසිවිටෙකත් සිය දිවි නසාගැනීම හෙළා දැක නැහැ. එබැවින් මෙම සංස්කෘතිය මෙම ක්‍රියාව උසස් අන්දමින් කෙරෙන චාරිත්‍රයක් බවට පත් කරමින් එය ජපන් සමාජය තුළ සම්මත කර තිබෙනවා. තමන්ගේම යටි බඩ කපාගෙන බොකු වැල් එළියට ඒමට සලස්වාගෙන මියැදීම (සෙප්පුකු, හෙවත් හරා-කිරි) මින් එක චාරිත්‍රයක්” යයි ජැපෑන්—ඇන් ඉලස්ට්‍රේටඩ් එන්සයික්ලොපීඩියා පවසනවා.

ජාතීන්ගේ සංගමයේ මහ ලේකම් බවට පසුව පත් වූ ඉනාසෝ නිටෝබේ බුෂිඩෝ—ද සෝල් ඔෆ් ජැපෑන් නමැති ඔහුගේ ග්‍රන්ථයේ ජපන් සංස්කෘතිය මරණයට වශී වී ඇති ආකාරය පැහැදිලි කළේ මෙලෙසයි. “මධ්‍ය කාලීන යුගයේ හඳුන්වා දීමක් වූ මෙය යුදකාමීන් තමන්ගේ සැහැසික ක්‍රියා සඳහා වන්දි ගෙවීමටත්, වැරදිවලට සමාව ඉල්ලීමටත්, අවමානයෙන් ගැළවීමටත්, තමන්ගේ මිතුරන්ව බේරාගැනීමට හෝ ඔවුන් වරද රහිත බව ඔප්පු කිරීමටත් මෙම ක්‍රමය යොදාගත්තා.” දිවි නසාගැනීමේ මෙම චාරිත්‍රානුකූල ක්‍රමය අතීතයට සීමා වී තිබුණද, සමාජය කලතමින් තමන්ටම අවධානයක් ලබාගැනීමේ අටියෙන් සුළු පිරිසක් තවමත් මෙය කරනවා.

අනෙක් අතට, ක්‍රිස්තියානි ලෝකය තුළ දිවි නසාගැනීම කවදත් සැලකුවේ අපරාධයක් හැටියට. හයවැනි සහ හත්වැනි ශතවර්ෂවල රෝමානු කතෝලික සභාව, සිය දිවි නසාගත් අයව තම සභාවෙන් නෙරපා දැමුවා පමණක් නොව, ඔවුන්ගේ මළ සිරුරු භූමදාන කිරීමේ චාරිත්‍රයන් පවා සිදු කරන්ට ඉඩ දුන්නේ නැහැ. සමහරක් තැන්වල, දිවි නසාගැනීම සම්බන්ධයෙන් ඇතමුන්ට ආගමේ නාමයෙන් ඇති වන උමතුව හේතුවෙන් පුදුම දනවන සම්ප්‍රදායන් බිහි වී තිබෙනවා. ඔවුන් මියගිය සිරුරු එල්ලා දැමුවා; ඇතැම් විට මළ සිරුරේ හදවත පසාරු කරගෙන යන විදිහට උල් ලීයකින් සිදුරු කර දැමුවා.

අනික් අතට, සිය දිවි නසාගැනීමට උත්සාහ කළ අයට මරණ දඬුවම දීම පුදුමයි, ඒත් ඇත්තයි. දහනවවෙනි සියවසේ එක් ඉංග්‍රීසි ජාතිකයෙක් තමාගේම උගුර කපාගැනීමට තැත් කළ නිසා ඔහුව එල්ලා මරා දැමුවා. මෙසේ එම මිනිසා කරන්ට තැත් කළ දේම බලධාරීන් විසින් සිදු කළා. දිවි නසාගැනීමට දුන් දඬුවම වසර ගණනාවක් මුළුල්ලේ වෙනස් වෙමින් තිබුණත්, දිවි නසාගැනීම හෝ දිවි නසාගැනීමට තැත් කිරීම තවදුරටත් අපරාධයක් නොවන බවට බ්‍රිතාන්‍ය රජය 1961 වසර වන තෙක් ප්‍රකාශ කළේ නැහැ. අයර්ලන්තය එය අපරාධයක් ලෙස 1993 වන තෙක් ප්‍රකාශයට පත් කොට තිබුණා.

අදදින, ඇතැම් ලේඛකයන්, දිවි නසාගැනීම තමන්ට කැමති නම් කරන්ට පුළුවන් දෙයක් ලෙස පවසමින් ඊට දිරිගන්වනවා. මාරාන්තික අසනීපවලින් වේදනා විඳින අයට තම වේදනාව නිමා කිරීමේ ක්‍රමයක් ලෙස තම ජීවිතය නසාගැනීමට 1991දී පළ වූ පොතක නිර්දේශ කර තිබුණා. පසුව, ඇත්තෙන්ම මාරාන්තික වේදනාවකින් දුක් නොවිඳි රෝගීන් පවා ඉහත සඳහන් ක්‍රමය අනුගමනය කළා. එම ක්‍රමය අනුගමනය කළ සංඛ්‍යාව එන්ට එන්ටම වැඩි වුණා.

ඇත්තෙන්ම, දිවි නසාගැනීම යමෙකුගේ ගැටලුවලට නියම පිළිතුරද? නොඑසේ නම්, ජීවත් වීමට හොඳ හේතු තිබෙනවාද? මේ ප්‍රශ්න සලකා බැලීමට පෙර, සිය දිවි නසාගැනීමට තුඩු දෙන හේතු මොනවාද කියා සලකා බලමු.

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

එක් අවුරුද්දක් ඇතුළත ලොව වටා මිලියන ගණනක් පමණ ජනයා තම දිවි නසාගන්නවා. එය සෑම තත්පර 40කදීම එක මරණයකට කිට්ටු ප්‍රමාණයක්!