Skip to content

පටුනට යන්න

ආතරයිටිස්—ශරීරය දුබල කරවන රෝගය

ආතරයිටිස්—ශරීරය දුබල කරවන රෝගය

ආතරයිටිස්—ශරීරය දුබල කරවන රෝගය

“වේදනාව කොයි වගේද කියලා දැනගන්න නම් ඒක අද්දකින්නම ඕනේ. මං හිතුවේ මට සහනයක් ලබාගන්න පුළුවන් එකම ක්‍රමය මැරෙන එක කියලා.”—ජපානයේ සෙට්සුකෝ.

“මට අවුරුදු දහසයේ ඉඳන්ම මේ ලෙඩේ තියෙනවා. ඒකෙන් මට මගේ තරුණ කාලයම අහිමි වුණා.”—මහා බ්‍රිතාන්‍යයේ ඩැරන්.

“මට අවුරුදු දෙකක් ඇඳටම වෙලා ඉන්න වුණා.”—ඉතාලියේ කාටියා.

“මගේ ඇඟේ තියෙන හැම හන්දියකටම වේදනාව පැතිරිලා ගියා. ඊට පස්සේ වේදනාවෙන් තොර ජීවිතයක් ගැන මට හිතාගන්නවත් බැරුව ගියා.”—දකුණු අප්‍රිකාවේ ජොයිස්.

ඉහත සඳහන් වන්නේ ආතරයිටිස් (හන්දිපත් රුදාව) රෝගයෙන් පීඩා විඳින අයගේ දුක්බර ප්‍රකාශයන් කිහිපයක්. සෑම වසරකම ආතරයිටිස් නිසා වේදනා විඳින, අත් පා අකර්මණ්‍ය හා විකෘති තත්වයකට පත් වූ මිලියන ගණනක් සහනය සොයමින් වෛද්‍යවරුන්ගේ පිහිට පතනවා.

එක්සත් ජනපදයේ පමණක් මිලියන 42කට ඉහළ සංඛ්‍යාවක් ආතරයිටිස් නිසා වේදනා විඳින අතර එම රෝගයෙන් පීඩා විඳින හයදෙනෙකුගෙන් එක්කෙනෙක් ආබාධිතයෙකු බවට පත් වී තිබෙනවා. ඇත්තෙන්ම, එම රටේ ආබාධිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීමට ප්‍රධානතම හේතුව ආතරයිටිස් රෝගයයි. මෙම රෝගය ආර්ථිකයට සිදු කරන බලපෑම “කුඩා පරිමාණයෙන් සිදු වන ආර්ථික පරිහානියකට සමාන” කළ හැකියයි රෝග මර්දනය හා නිවාරණය පිළිබඳ ජාතික ආයතනයන් ප්‍රකාශ කර තිබෙනවා. රෝග ප්‍රතිකාරය සඳහා යන වියදම නිසාත් රටේ ඵලදායකත්වය අඩු වී යෑම නිසාත් සෑම වසරකදීම අමෙරිකානුවන්ට ඩොලර් බිලියන 64කට වඩා වැඩි මුදලක් වැය කිරීමට සිදු වෙනවා. ඉන්දියාව, ඉන්දුනීසියාව, චිලී, චීනය, තායිලන්තය, පකිස්ථානය, පිලිපීනය, බ්‍රසීලය, මලයාසියාව හා මෙක්සිකෝව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැවැත්වූ සමීක්ෂණවලින් හෙළි වූයේ, “කාර්මික රටවල ජනයා තරම්ම” එම රටවල ජනයාද ආතරයිටිස් හා වෙනත් රූමැටික් රෝගවලින් පීඩා විඳින බවයි.

ආතරයිටිස් මහලු උදවියට පමණක් සීමා වූ රෝගයක් යන්න වැරදි මතයක්. වැඩිවියට පත් වෙනවාත් සමඟම එම රෝගය වඩාත් දරුණු අතට හැරෙන බව ඇත්තයි. ඒත් වඩාත් සුලභව පවතින ආතරයිටිස් වර්ගය වන රූමැටොයිඩ් ආතරයිටිස් වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ වයස අවුරුදු 25 සිට 50 දක්වා වයස් මට්ටම්වල සිටින ජනයා අතරෙයි. එක්සත් ජනපදයේ සෑම ආතරයිටිස් රෝගීන් පස්දෙනෙකුගෙන් තුන්දෙනෙක් පමණ වයස අවුරුදු 65ට වඩා අඩු අයයි. ඒ වගේම, මහ බ්‍රිතාන්‍යයේ සිටින ආතරයිටිස් රෝගීන් මිලියන අටෙන් මිලියන 1.2ක්ම වයස අවුරුදු 45න් පහළ අය වන අතර 14,500ක්ම දරුවන් වෙයි.

ආතරයිටිස් රෝගීන්ගේ සංඛ්‍යාව වසරක් වසරක් පාසා ඉහළ නඟිනවා. ඊළඟ දශකය තුළදී කැනඩාවේ සිටින ආතරයිටිස් රෝගීන්ගේ සංඛ්‍යාව මිලියනයකින් වැඩි වේවි. ආතරයිටිස් රෝගීන් වැඩිම පිරිසක් සිටින්නේ යුරෝපයේ වුවත්, අප්‍රිකාවේ හා ආසියාවේද ආතරයිටිස් රෝගීන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ඉහළ යයි. රෝගය මෙතරම් ශීඝ්‍ර ලෙස වර්ධනය වන නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය 2000-2010 අස්ථි, සන්ධි දශකය වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. එම දශකය තුළදී ලෝ වටා සිටින වෛද්‍යවරුන් මෙන්ම සෞඛ්‍ය සේවකයන් බලාපොරොත්තුවෙන් සිටින්නේ ආතරයිටිස් වැනි පේශීන් හා සැකිල්ල ආශ්‍රිත රෝගවලින් පෙළෙන ජනයාගේ ජීවන තත්වය දියුණු කිරීම සඳහා සහයෝගයෙන් වැඩ කිරීමටයි.

මෙම වේදනාකාරි රෝගය පිළිබඳව රැස් කරගෙන ඇති තොරතුරු මොනවාද? රෝගය වැළඳීමේ අවදානම ඇත්තේ කාටද? ආතරයිටිස්වලින් පීඩා විඳින්නන්ට එහි දුබල කරවන රෝග ලක්ෂණ සමඟ කටයුතු කළ හැක්කේ කෙසේද? අනාගතයේදී සුවයක් බලාපොරොත්තු විය හැකිද? ඊළඟ ලිපි දෙක මෙම ප්‍රශ්නවලට පිළිතුරු සපයනවා.

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

X කිරණ: Used by kind permission of the Arthritis Research Campaign, United Kingdom (www.arc.org.uk)