Skip to content

පටුනට යන්න

කෝපයෙන් සිටින පුද්ගලයන් සමඟ මම කටයුතු කරන්නේ කොහොමද?

කෝපයෙන් සිටින පුද්ගලයන් සමඟ මම කටයුතු කරන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

කෝපයෙන් සිටින පුද්ගලයන් සමඟ මම කටයුතු කරන්නේ කොහොමද?

“එයාට හොඳටම කේන්ති ගිහිල්ලා මට අල්ලගෙන ගහන්න හැදුවා. එහෙම කරන්න හැදුවේ මම පොඩි නිසා වෙන්න ඇති. මම පස්සට පැනලා, ‘පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න! ඇයි මට ගහන්න හදන්නේ? මම මොනවත් ඔයාට කෙරුවේ නැහැනේ. ඔයා කේන්තියෙන් ඉන්නේ ඇයි කියලවත් මම දන්නේ නැහැ. ඉස්සෙල්ලාම මට හේතුව කියන්න’ කියලා එයාට කිව්වා.”—දහසය හැවිරිදි ඩේවිඩ්.

කෙදිනක හෝ ඔබත් කෝපයට පත් වී සිටින දාමරිකයෙකුගේ ගොදුරක් වී තිබෙනවාද? වර්තමාන මනුෂ්‍යයන් “කෲර, යහපතට ප්‍රේම නොකරන’ බව බයිබලයෙහි පුරෝකථනය කර තිබුණා. (2 තිමෝති 3:3) ‘තරහ ගති ඇත්තෙකු සමඟ මිත්‍ර නොවී සිටීම’ සඳහා ඔබ කොතරම් වෑයම් කළත් ඔවුන්ව මඟහැරිය නොහැකි අවස්ථා තිබෙන්න පුළුවන්. (හිතෝපදේශ 22:24) ඔබට එවැනි අවස්ථාවකට මුහුණ දෙන්න සිදු වුවහොත් ඔබ ක්‍රියා කරන්නේ කොහොමද?

කෝපයට මුහුණ දීම

අද බොහෝ යෞවනයන් එවැනි අවස්ථාවකදී ප්‍රතික්‍රියා කරන්නෙත් කෝපයෙන්මයි. ඇත්තෙන්ම එය තවත් වේදනාව වැඩිවීමට හේතු වෙනවා. ඊට අමතරව ආත්ම දමනය නැති කරගැනීම නිසා සිදු වන්නේ ඔබත් කෝපයට පත් වූ පුද්ගලයාගේම තත්වයට වැටීමයි. හිතෝපදේශ 26:4හි පවසන්නේ, “නුඹත් අඥානයාට සමාන නොවන පිණිස, ඔහුගේ මෝඩකමේ හැටියට ඔහුට උත්තර නොදෙන්න” කියායි. යෞවන වියේ පසු වන ජෙරමි මෙම වචනවල සත්‍යතාව සොයාගත්තේ අසීරු පාඩමක් ඉගෙනගැනීමත් සමඟයි. පාසැලේ දහවල් කෑම කන අවස්ථාවේ සිදු වූ දෙයක් ඔහු මෙසේ සිහියට නඟනවා. “අපේ පාසලේ පිරිමි ළමයි කාණ්ඩයක් හිටියා. එයාලා හැම තිස්සේම එක් එක් කෙනාට විහිළු කරගන්නවා. අනිත් අයටත් විහිළු කරනවා. නිතරම වගේ මටත් අනං මනං කියනවා. මම එයාලගේ කතා එච්චර ගණන් ගත්තේ නැහැ. ඒත් එතැන හිටිය එක්කෙනෙක් දවසක් මගේ අම්මා ගැන කියන්න පටන්ගත්තා. ඒ වේලාවේ මට මාව පාලනය කරගන්න බැරුව කියපු එක්කෙනා ළඟට කේන්තියෙන් දිව්වා. එයා මට බඩ කට පිරෙන්න දුන්නා.”

බයිබලයේ නැණවත් උපදෙසක් දී තිබෙනවා. “මෘදු උත්තරයකින් කෝපය පහ වෙයි. එහෙත් කර්කශ වචනයකින් තරහ හටගනියි.” (හිතෝපදේශ 15:1) ඔව්, කෝප වී සිටින කෙනෙකුට ‘කර්කශ වචන කීමෙන්’ සිදු වන්නේ තත්වය තවත් දරුණු වීමයි. නමුත් මෘදු උත්තරයකින් දේවල් සාමකාමි අතට හැරවිය හැකි අතර තත්වය උග්‍රවීමද වළක්වාගත හැකියි.

ලිපිය ආරම්භයේදී සඳහන් කළ ඩේවිඩ්, ඔහුට දාමරිකකම් කළ පුද්ගලයා සමඟ කතා කළ නිසා ඔහු කෝපව සිටින්නේ මන්ද කියා දැනගැනීමට හැකියාවක් ලැබුණා. දාමරිකයා කෝපව සිටීමට හේතුව වෙනත් කෙනෙකු ඔහුගේ දිවා ආහාරය සොරාගැනීමයි. ඔහු උත්සහ කළේ ඔහු ඉදිරියට ආව පළවෙනි පුද්ගලයාගෙන් ඔහුගේ කේන්තිය පිරිමසා ගන්නයි. “මට ගැහැව්වා කියලා කෑම එකක් ලැබෙන්නේ නැහැනේ” කියලා ඩේවිඩ් ඔහුට පැහැදිලි කළා. පසුව, දෙදෙනාම ආපන ශාලාවට යමු කියා ඩේවිඩ් යෝජනා කළා. “ආපන ශාලාව භාරව සිටි කෙනාව මම දන්න නිසා මම ඔහුට කෑම එකක් අරන් දුන්නා. පස්සේ ඔහු මට අතට අත දුන්නා. එදායින් පස්සේ අපි යාළුවෝ” කියා ඩේවිඩ් පවසනවා. මෘදු වදන් කොතරම් බලගතුද කියා ඔබ දුටුවද? හිතෝපදේශයෙහි පවසන්නේ, “මොළොක් දිවෙන් ඇට බිඳෙයි” කියායි.—හිතෝපදේශ 25:15.

මෘදුකම දුර්වලකමක්ද ශක්තියක්ද?

‘මොළොක් හෙවත් මෘදු දිවක්’ ඇතුව සිටීම ප්‍රසන්න යමක් මෙන් දිස් නොවන බව පිළිගත යුතුයි. කෝපය කෝපයෙන්ම මට්ටු කළොත් තමයි හොඳ කියලා සමහරුන්ට සිතෙන්න පුළුවන්. ඔබ මෘදු ලෙස කටයුතු කළොත් ඔබ නෝංජල් දුර්වල කෙනෙකු ලෙස අන් අය සලකයි කියා සමහර විට ඔබට හැඟෙන්න පුළුවන්. නමුත් මෘදුකම කියන්නේ මොකක්ද? එක් මූලාශ්‍රයක මෘදුකම විස්තර කර තිබුණේ ශාන්තකම ලෙසයි. එම මූලාශ්‍රයේම තවදුරටත් ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “ශාන්තකම යකඩයක් මෙන් ශක්තිමත්.” එසේ නම් මෘදුකම දුර්වලකමක් නොව ශක්තියක්. එහෙම වෙන්නේ කොහොමද?

මෘදු කෙනෙකුට සංයමයක් තිබෙන අතර අන්තවාදීව කටයුතු කරන්නේ නැහැ. අනිත් අතට, මෘදුකම නොමැති කෙනෙකු ආත්ම විශ්වාසය නැති කරගැනීමට, අධෛර්යයට පත්වීමට නැතහොත් දරුණු වීමට පුළුවන්. ඒ වගේම එවන් පුද්ගලයෙකුට ආත්ම දමනය නැහැ. ඔහුට ඔහුගේ හැඟීම් පාලනය කරගත නොහැකි නිසා නිතර සණ්ඩු සරුවල්වලට පැටලැවෙනවා. එයින් ඔප්පු වන්නේ “සිත මැඩපවත්වා නොගන්න මනුෂ්‍යයා පවුරක් නැති බිඳවැටුණු නුවරක්” මෙන්ය කියා කීම සත්‍යයක් බවයි. (හිතෝපදේශ 25:28) ඇත්තෙන්ම ශක්තිමත් කෙනා මෘදු පුද්ගලයායි. එසේ නොවෙයිද?

මෘදුකම සම්බන්ධයෙන් ඇති බයිබල් ආදර්ශ

යේසුස් ක්‍රිස්තුස් ගැන මොහොතකට සිතන්න. ඔහු, ඔහුවම හැඳින්වූයේ “සිතින් මෘදුව යටත්ව” සිටින කෙනෙකු ලෙසයි. (මතෙව් 11:29) තුවාලයක් කළොත් තුවාලයක් කිරීමෙන් පළිගන්න රළු කෙනෙකු ලෙස ඔහු කටයුතු කළේ නැහැ. යේසුස්ගේ හිතෛෂි මිත්‍රයෙක් වන ප්‍රේරිත පේතෘස් මෙසේ වාර්තා කළා. ‘ඔහුට නින්දා කරනු ලැබූ කල නින්දා නොකළේය. වධ වින්ද කල තර්ජන නොකර, ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන දෙවිට කාරණය භාර දුන්නේය.’ (1 පේතෘස් 2:23) “දේව මාළිගාවට ඇතුල්ව, මාළිගාවෙහි විකුණමින්ද මිලේට ගනිමින්ද සිටි සියලුදෙනාව පිටත එළවා” දැමුවේත් මෙම යේසුස්ම බව අමතක කරන්න එපා. (මතෙව් 21:12) දිව්‍ය උපකාරය අවශ්‍ය වුණොත් “දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා” ගෙන්වාගැනීමට ඔහුට හැකියාවක් තිබුණ බවත් මතක තබාගන්න. (මතෙව් 26:53) එසේ නම්, යේසුස් දුර්වල කෙනෙකු කියා කීමට පුළුවන්ද?

විනිශ්චයකාරයන් 8:1-3හි සඳහන් විනිශ්චයකාරයෙකු වූ ගිඩියොන්ගේ උදාහරණය සලකා බලන්න. විශිෂ්ට හමුදා ජයග්‍රහණයකින් පසු එප්‍රායිම් ගෝත්‍රයේ සමහර සෙබළුන්ට හැඟුණා තමන්ට සටනට හවුල් වීම සඳහා අවස්ථාවක් ලබා දුන්නේ නැහැ කියලා. “නුඹ මිදියන්වරුන්ට විරුද්ධව යුද්ධ කරන්ට යන කල අපට අඬ නොගසා මෙසේ කළේ මක්නිසාද?” කියා ඔවුන් ‘ඔහු සමඟ තදින් වාද කළා.’ ගිඩියොන් කියන්නේ ‘ධෛර්යවත් බලවත් මනුෂ්‍යයෙක්.’ (විනිශ්චයකාරයන් 6:12) එනිසා ඔවුන් නැඟූ චෝදනාවට කෝපයෙන් ප්‍රතික්‍රියා කිරීමට ඔහුට පුළුවන්කම තිබුණා. නමුත් ඔහු එසේ නොකර ඉතාමත් මෘදු ලෙස ඔවුන්ගේ කෝපය නිවා දමමින් මෙසේ ඇසුවා. ‘නුඹලා කළ දේට සම වෙන්ට මට කරන්ට පුළුවන් වුණේ මොනවද?’ මෙලෙස මෘදු ලෙස ප්‍රතිචාරය දැක්වීමෙන් ඇති වූ ප්‍රතිඵලය කුමක්ද? ‘ඔහු කෙරෙහි තිබුණු ඔවුන්ගේ කෝපය සන්සිඳුණා.’

අවසන් වශයෙන් අබීගායිල් පිළිබඳව ඇති බයිබල් වාර්තාව සලකා බලන්න. දාවිත්, යම් කාලයක් පුරා ඉශ්‍රායෙලයේ රජ වූ සාවුල්ගෙන් බේරී පලා යමින් සැඟවී සිටියා. රටෙන් නෙරපනු ලැබුවෙකු මෙන් දුක් විඳිමින් සිටියත් දාවිත්ගේ මනුෂ්‍යයන් තම සෙසු ඉශ්‍රායෙල්වරුන්ට රැකවරණය සලසා දුන්නා. මෙසේ රැකවරණය ලද කෙනෙක් තමයි ඉතාමත් ධනවත් මනුෂ්‍යයෙකු වූ අබීගායිල්ගේ ස්වාමිපුරුෂයා වූ නාබල්. නමුත් ඔහු ‘ක්‍රියාවලින් කර්කශ වූ නපුරු වූ කෙනෙක්.’ දාවිත්ගේ මනුෂ්‍යයන්ට කෑම් බීම්වල අවශ්‍යතාවයක් ඉස්මතු වූ විට ඔවුන් එම අවශ්‍යතා සපුරාලන මෙන් නාබල්ගෙන් ඉල්ලා සිටියා. දාවිත්ගේ මනුෂ්‍යයන් ඔහුට නොමිලේ ලබා දුන් ආරක්ෂාව ගැනවත් කළගුණ නොසලකමින් ඔහු ඔවුන්ට “බැණ” හිස් අතින් පිටත් කර යැව්වා.—1 සාමුවෙල් 25:2-11, 14.

මෙය ඇසූ දාවිත් ඉතාමත් කෝපව තම මනුෂ්‍යයන්ට මෙසේ අණ කළා. “නුඹලා එකිනෙකා තම තමාගේ කඩුව බැඳගන්න!” දාවිත් සහ ඔහුගේ මනුෂ්‍යයන් නාබල්වත් ඔහුගේ නිවසේ සිටි අහිංසක පුරුෂයන්වත් මරන්න යන විට අබීගායිල් ඊට මැදිහත් වුණා. ඇය දාවිත්ට ආචාර කර, ඇති තරම් කෑම් බීම් සපයා, තම ස්වාමිපුරුෂයාගේ අමන ක්‍රියාවට සමාව ඉල්ලමින්, කිසිවක් නොදන්න අහිංසකයන්ගේ ජීවිත රැක දෙන්න කියා දාවිත්ගෙන් අයැද සිටියා.—1 සාමුවෙල් 25:13, 18-31.

අබීගායිල්ගේ නිහතමානී අයැදීම නිසා දාවිත්ගේ කෝපය නිවී ගියා. තමන්ගේ කෝපය නිසා කොතරම් දරුණු දෙයක් සිදුවීමට ඉඩ තිබුණාද කියා තේරුම්ගත් විට දාවිත් මෙසේ කියා සිටියා. “මා සම්බ වෙන්ට අද දවසේ නුඹ එවුවාවූ ඉශ්‍රායෙල්ගේ දෙවි වූ [යෙහෝවාට] ප්‍රශංසා වේවා. නුඹේ නුවණටද ප්‍රශංසා වේවා, ලේ වගුරුවා මාගේම අතින් පළිගැනීමෙන් අද දවසේ මා වැළැක්වූ නුඹට ආශීර්වාද වේවා.” (1 සාමුවෙල් 25:32-35) ඔව්, බොහෝ අවස්ථාවන්වල “මෘදු උත්තරයකින්” අන් අයගේ කෝපය නිවා දැමීමට පුළුවන්. නමුත් ඔබේ මෘදු උත්තරය එතරම් ප්‍රතිඵලදායක නැත්නම් තත්වය මොකක්ද?

“එතැනින් ඉවත් වෙන්න”

ඇවිළෙන ගින්නට පිදුරු දැමීමෙන් වැළකෙන්න පුළුවන් හොඳම ක්‍රමය වන්නේ ඔබ එම ස්ථානයෙන් ඉවත් වීමයි. “දර නැති තැන ගින්න නිවීයයි” කියා බයිබලයේ පවසනවා. “තරඟය [දබරය, NW] ඇවිස්සෙන්ට පළමුවෙන් එය අත්හරින්න [එතැනින් ඉවත් වෙන්න, NW]” කියාද එහි උපදෙස් දෙයි. (හිතෝපදේශ 17:14; 26:20) දහහත් හැවිරිදි මේරිසා මෙසේ පවසනවා. “පාසැලේ ජනප්‍රිය පිරිමි ළමයෙක් මං ළඟට ඇවිල්ලා කිව්වා මම ලස්සනයි කියලා. ඒත් එක්කම ඒ පිරිමි ළමයාගේ පෙම්වතිය කේන්තියෙන් ඇවිල්ලා, මම එයාගේ පෙම්වතාත් එකක් යාළු වෙන්න හදනවා කියලා මට බැණගෙන රණ්ඩුවට ආවා. මම සිද්ධ වුණ දේ පැහැදිලි කරන්න උත්සාහ කළත් ඇය මට ඇහුම්කන් දුන්නේ නැහැ. පාසැල අවසන් වුණාට පස්සේ ඇය තවත් ගෑනු ළමයි කට්ටියක් එක්ක මට ගහන්න ආවා! මම ඉක්මනට ආරක්ෂක නිලධාරියාගේ උපකාර පැතුවා. ඊළඟට මම ඒ ගැහැනු ළමයාට පැහැදිලි කළා මට රණ්ඩු කරන්න කිසිම උවමනාවක් නැහැ, එයාගේ පෙම්වතා තමයි මං ළඟට ආවේ කියලා. පස්සේ මම එතනින් ගියා.” මේරිසා තම හැඟීම්වලට ඉඩ දුන්නේ නැහැ. ඇය රණ්ඩුවට පැටලීමෙන් වැළකී සිටියා පමණක් නොව ඇගේ ආරක්ෂාව සඳහා ගත යුතු පියවරද ගත්තා. හිතෝපදේශ 17:27හි පවසනවා, “තමාගේ වචන ස්වල්ප කරගන්න අය දැනගැන්ම ඇති කෙනෙක්ය. නිශ්චල ආත්මයක් ඇත්තාද ඥානවන්තයෙක්ය” කියා.

ඔබ නොදැනුවත්වම ඔබ අතින් කෙනෙකුගේ කෝපය ඇවිස්සුණා නම් තත්වය කුමක්ද? කරන්න තිබෙන්නේ එකම දෙයයි. හැකි විගස සමාව අයදින්න. කෝපය නිවීමට අවශ්‍ය වන්නේ එයයි. පීඩනයෙන් හෙම්බත් වී සිටින මෙම කාලයේ බොහෝදෙනෙකු ඉක්මනට කෝපයට පත් වෙනවා. නමුත් ඔබ අන් අය සමඟ කටයුතු කරන විට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම්, ඔබට තව කෙනෙකුගේ කේන්තියේ ගොදුරක් වීමෙන් වැළකෙන්න පුළුවන්.

[26වන පිටුවේ පින්තූර]

“මෘදු උත්තරයකින් කෝපය පහ වෙයි”

[27වන පිටුවේ පින්තූරය]

සමහර අවස්ථා මඟහැර යෑමට ඔබට සිදු වෙයි