Skip to content

පටුනට යන්න

ජීවීන්ගේ අනාගතය කෙබඳු වේද?

ජීවීන්ගේ අනාගතය කෙබඳු වේද?

ජීවීන්ගේ අනාගතය කෙබඳු වේද?

මිනිසා අතිවිශාල විවිධත්වයකින් යුත් ජීවීන් අතර සිටින එක් ජීවියෙකු පමණි. ජීවීන්ට දෙවි දී තිබෙන කාර්යභාරය අනුව, සෑම ජීවියෙකුටම මිහිතලය මත යම් තැනක් හිමි වේ. අප අවට සිටින ජීවීන් සමඟ අපි බොහෝ දේ බෙදාගන්නෙමු. මේ අතර ප්‍රධානතම දෙය වන්නේ විස්මයජනක ජීවිතයයි. මේ නිසා ජීවියෙකු වඳ වී ගිය පසු මහත් පාඩුවක් සිදු වී තිබෙන බව බොහෝදෙනෙකුට හැඟෙයි.

විද්‍යාඥයෙකු වන ඇන්තනි සී. ජැනෙටස් එක් සඟරාවක (Consequences) මෙසේ සඳහන් කළේය. “පෘථිවිය ජීවීන්ගේ වාසයට සුදුසු ස්ථානයක් ලෙස සලකා එය ආරක්ෂා කිරීමත්, මිනිස් විශේෂයේ වත්මන් හා අනාගත ශුභසිද්ධිය තකා මිහිතලයේ වෙසෙන නානාවිධ ජීවීන් රැකගැනීම සඳහා වගකීමෙන් යුතුව ක්‍රියා කිරීමත්, අප සැමගේ සදාචාරමය යුතුකම බව බොහෝදෙනෙකු පිළිගනු ඇත. එම යුතුකම ඉටු කිරීම සඳහා ජෛව විවිධත්වය අගය කළ යුතුය. ඒ සඳහා සොබා දහමේ අවශ්‍යතා සපුරාලීමට එහි දායකත්වය හා අප එයින් ප්‍රයෝජන ලබන අන්දම අගය කිරීමත් එය සුරැකීමට කැපවීමෙන් ක්‍රියා කිරීමත් අවශ්‍ය වේ.”

කරමින් සිටින්නේ මොනවාද?

ජෛව සම්පත් තුරන් වී යෑම ගැන ලෝක ප්‍රජාව ඉමහත් සැලකිල්ලක් දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් නොයෙක් ආණ්ඩුවල හා ආයතනවල නියෝජිතයන් එක්ව ජෛව විවිධත්වය පිළිබඳව ගිවිසුමක් සකස් කිරීමට පියවර ගෙන ඇත. ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමට සියලුදෙනාම සැලකිලිමත් විය යුතු බව මෙම විෂය පිළිබඳ තොරතුරු රැසක් ඇතුළත් එම ගිවිසුමේ සඳහන් වේ.

ජෛව විවිධත්වය පිළිබඳ අවබෝධය පුළුල් කිරීමේ තවත් පියවරක් වශයෙන් ලොව පුරා සිටින ජීව විද්‍යාඥයෝ, පරිසරවේදීහු හා වෙනත් විද්‍යාඥයෝ එක්ව 2001-2 වසර ජගත් ජෛව විවිධත්වය නිරීක්ෂණය කිරීමේ වසර (IBOY) ලෙස ප්‍රකාශයට පත් කළහ. කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥයෙකු මෙන්ම IBOYහි සභාපති වන ඩයනා වෝල් මෙසේ සඳහන් කරයි. “ජෛව විවිධත්වය පිළිබඳව ගවේෂණය කිරීමෙන් අත් කරගත හැකි ප්‍රයෝජන රැසකි. ඖෂධ සෑදීම සඳහාද, බෝගවල තත්වය දියුණු කිරීමට හා දූෂණය වූ භූමි යථා තත්වයට පත් කිරීම සඳහාද උපකාරවත් වන නව ජාන හා රසායනික සංයෝග සොයාගැනීමට හැකිවීම එම ප්‍රයෝජන අතර වේ.” වෝල් තවදුරටත් මෙසේද පවසයි. “වඩාත්ම වැදගත් දෙය වන්නේ අලුත් විශේෂ වෙසෙන ස්ථාන ගැනත්, පරිසර පද්ධතිවල නිරෝගි පැවැත්මට ඒවායින් ඉටු වන කාර්යභාරය ගැනත් අපට ඒවා ආරක්ෂා කළ හැකි ආකාරය ගැනත් ඉගෙනගැනීමයි. මෙය අප සතු භූමිය, ගංගා හා සාගර පිළිබඳව අප එක්රැස් කරගත් තොරතුරු පදනම් කරගනිමින් තීරණ ගැනීම සඳහා අත්‍යවශ්‍ය දෙයකි.”

මූලික වෙනස්කම් අවශ්‍යය

පැසසිය යුතු වර්ධනයක් ලබා තිබුණත්, මූලික අවධානය යොමු කර තිබෙන්නේ රෝගයට නොව රෝග ලක්ෂණ කෙරෙහිය. පර්යේෂකයන් පවසන පරිදි මේ අවස්ථාවේදී මිනිසාට අපතේ යැවීමට කාලය ඉතිරි වී නැත. අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියාහි පිහිටි ස්වාභාවික විද්‍යා ඇකඩමියේ රූත් පැට්‍රික් “ජෛව විවිධත්වය ක්ෂය වීමේ ශක්‍යතාව” ලෙස තමන් හැඳින්වූ සංසිද්ධිය ගැන කල්පනා කර බැලීමේදී මෙසේ නිගමනය කළාය. “කාලය තීරණාත්මක සාධකයකි. . . . ගත යුතු ඍජු මෙන්ම හදිසි ක්‍රියා මාර්ගය කොහොමටවත් කල් දැමිය නොහැක.” විශේෂ වඳ වී යෑමේ ප්‍රවණතාව නතර කිරීමට නම්, මිනිසා මිහිතලයට හා එහි සිටින ජීවීන්ට සලකන ආකාරය වහාම වෙනස් කළ යුතුය. මෙහිදී හානි වළක්වාලීමට වඩා වැඩි යමක් කළ යුතුය. “මේ නිසා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම හා බැඳි ගැටලු සහ සමාජ . . . සංවර්ධනය හා සම්බන්ධ වඩාත් විශාල ගැටලු එකිනෙකට වෙනස් ගැටලු දෙකක් සේ සැලකිය නොහැකිය. ඒවා එකිනෙකට බැඳී පවතී” කියා ලෝක සම්පත් ආයතනය ප්‍රකාශ කරයි.

එවන් ඉලක්කයක් අත් කරගැනීමට මිනිස් සමාජය තුළ මූලික වෙනසක් සිදු විය යුතුය. වගකීමෙන් යුතුව මිහිතලය රැකබලා ගැනීමට නම්, “අද පවතින සාරධර්මවල, ආර්ථික හා සමාජ ක්‍රමවල විශාල වෙනසක්” සිදු විය යුතු බව එක් පොතක (Caring for the Earth) සඳහන් වේ.

එවන් වෙනස්කම් කිරීමට මිනිසුන්ට හැකියාවක් නැති බව බයිබලය පැහැදිලිව පෙන්වා දෙයි. යෙරෙමියා 10:23හි මෙසේ සඳහන් වේ. “[යෙහෝවා] මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.” (හිතෝපදේශ 20:24) මෙහි සත්‍යතාව ඉතිහාසය පුරාම දක්නට තිබිණ. එමෙන්ම මිනිසා මෙම ප්‍රතිපත්තිය නොසලකා හැරීම නිසා 2 තිමෝති 3:1-5හි සඳහන් වී තිබෙන ‘අනතුරු සහිත කාලය’ අද්දකිමින් සිටී. එයින් පලා යෑමට අපට නොහැක. අනතුරු සහිත කාලවල් ඇතිවීමට හේතුව මිනිසුන්ගේ වැරදි සිතුවිලි බව එම වගන්තිවල සඳහන් වේ. එමනිසා මිනිසුන් වෙනස් වන තුරු අප මුහුණ පාන ගැටලුවලට ඉදිරිපත් කරන විසඳුම් තාවකාලිකය.

ජීවීන්ගේ වාස භූමි විනාශ කිරීම හා “ධනවත් රටවල තිබෙන ගිජුකම හා ද්‍රව්‍යමය දේවලට ඇලුම් කිරීම අතර කිට්ටු සම්බන්ධයක් තිබේ” කියා ලෝ සුපතළ විද්‍යාඥයෙකු වන ජේන් ගුඩ්ල් පවසයි. “නොදැනුවත්කම, උදාසීනකම, දිළිඳුකම හා ගිජුකම යනාදිය මගින් එකිනෙක හා බැඳි ගැටලු රැසක් ඇති කරයි. මෙම ගැටලු නිසා මිහිතලයට අහිතකර ලෙස බලපාන ප්‍රබල විපර්යාසයන් සිදුවීමේ අවදානමක් පවතී” කියා උද්භිද විද්‍යාඥයෙකු මෙන්ම එක්සත් ජනපදයේ විද්‍යා පිළිබඳ ජාතික ඇකඩමියේ හිටපු ලේකම් වන පීටර් රේවන් අනතුරු ඇඟෙව්වේය. ඇතැම් ගතිපැවතුම්වල වෙනස්කම් සිදු කිරීම අවශ්‍යයි. තමාගේ යහපත ගැන පමණක් තැකීම, ගිජුකම, නොදැනුවත්කම, දූරදර්ශීභාවය නොමැතිකම හා ආත්මාර්ථකාමිත්වය වෙනස්කම්වලට ලක් විය යුතු දේවලින් කිහිපයකි.

ජෛව විවිධත්වයේ ආරක්ෂාවට එකම විසඳුම

අතිවිශාල විවිධත්වයකින් යුත් ජීවීන්ව මැවූ තැනැත්තා ඔහුගේ මැවිලිවල අනාගතය ගැන ඉමහත් සැලකිල්ලක් දක්වන බව නිසැකයි. “පොළොව විනාශකරන්නවුන් [විනාශ කිරීමට]” දෙවි ළඟදීම පියවර ගන්න බව බයිබලය අපට පවසයි.—එළිදරව් 11:18.

මිනිසුන් පොළොව විනාශ කිරීම නිසා වඳ වී ගොස් සිටින ජීවීන්ව දෙවි නැවත ජීවත් කරවයිද? වඳ වී ගොස් සිටින සත්ව විශේෂ මිහිතලයේ නැවත ජීවත් කරවීමට දෙවි තීරණය කළහොත් ඔවුන්ව නැවත මවන්න ඔහුට පුළුවන. මේ දෙයම වඳ වී තිබෙන වෘක්ෂලතා ආදියටත් අදාළ වේ. එහෙත් බයිබලය අපට මේ ගැන යමක් නොපවසන නිසා, අනුමාන කිරීම නැණවත් දෙයක් නොවේ.

දෙවිගේ පාලනයේදී මිහිතලය මත වෙසෙන සියලුම ජීවීන්ට සමෘද්ධිමත් කාලයක් උදා වන බවට සහතික කර තිබේ. මේ කාලය ගැන ගීතිකාකරු මෙසේ පවසයි. “පොළොව ප්‍රීති වේවා; මුහුදත් එහි පූර්ණකමත් ගර්ජනා කෙරෙත්වා; කෙත සහ එහි ඇති සියල්ලද ප්‍රීතිමත් වේවා; එවිට වනයෙහි සියලු ගස් [යෙහෝවා] ඉදිරියෙහි ප්‍රීතියෙන් ගී කියන්නේය.”—ගීතාවලිය 96:11, 12.