Skip to content

පටුනට යන්න

සංකීර්ණ ජෛව ජාලය

සංකීර්ණ ජෛව ජාලය

සංකීර්ණ ජෛව ජාලය

“ජීවීන්ගේ විවිධත්වය අප සතු රක්ෂණ ඔප්පුවක් වැනිය. අපේ ජීවිත මෙන්ම ජීවනෝපායද රඳා පවතින්නේ එය මතය.”—එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන.

මිහිතලය ජීවීන්ගෙන් ගහනය. එහි විවිධත්වය පුදුම දනවන්නකි. කුඩාම බැක්ටීරියාවේ සිට යෝධ සෙකුවා ගස දක්වාද ගැඩවිලාගේ සිට රාජාලීන් දක්වාද ලොව පුරා සිටින සියලුම ජීවීන් “ජෛව විවිධත්වය” යන යෙදුමෙන් විස්තර කෙරේ.

මිහිතලය මත වෙසෙන සියලුම ජීවීන්, එකිනෙකා මත රඳා සිටින විශාල ජාලයක කොටසකි. මෙයට අජීවී දේවල්ද අයත් වේ. පෘථිවි වායුගෝලය, සාගර, මිරිදිය, පර්වත හා පාෂාණ වැනි අජීවී දේවල්ද ජීවයේ පැවැත්මට අවශ්‍ය වේ. ජීවී හා අජීවී මේ සියල්ල එක්ව ගත් කල එය ජෛව ගෝලය කියා හඳුන්වයි. මිනිසා මෙහි ප්‍රධාන කොටස්කරුවෙකු වෙයි.

සියලුම බැක්ටීරියාවන් හා වෙනත් ක්ෂුද්‍ර ජීවීන් ජෛව විවිධත්වයට අයත් වේ. මෙම ජීවීන්ගෙන් බොහොමයක් පරිසර පද්ධතිවල ක්‍රියාකාරිත්වය අඛණ්ඩව පවත්වාගැනීමට අත්‍යවශ්‍ය රසායනික ක්‍රියාවලියන්හි නිරත වෙයි. ප්‍රභාසංශ්ලේෂණය නමැති ක්‍රියාවලිය මගින් ඔක්සිජන් නිපදවන හරිත ශාකද ජෛව ජාලයට අයත් වේ. ප්‍රභාසංශ්ලේෂණයේදී ශාක සූර්ය ශක්තිය උරාගෙන, එය කාබොහයිඩ්රේට් ලෙස ගබඩා කරගනී. ජීවීන් බොහොමයකට අවශ්‍ය ශක්තිය සපයන මූලික ප්‍රභවය කාබොහයිඩ්රේට් වේ.

විවිධත්වය අතුරුදහන් වෙයි

ජීවීන්ගේ අලංකාරය හා විවිධත්වය මිනිසා සුළු කොට සැලකීම කනගාටුවට කරුණකි. මිනිසා තැතිගන්වන අයුරින් මෙම විශේෂ වඳ වී යෑමට සලස්වන බව පර්යේෂකයන් බොහෝදෙනෙක් පවසති. කිනම් ආකාරවලින්ද?

වාස භූමි විනාශ කිරීම. විශේෂ වඳ වී යෑමට ප්‍රධානතම හේතුව මෙය ලෙස සැලකේ. දැව සඳහා ගස් කැපීම, පතල් කැණීම, ගවයන්ට ආහාර සපයන තණ බිම් ඇති කිරීම සඳහා කැලෑ එළි කිරීම, වනාන්තර තිබෙන ප්‍රදේශවල වේලි හා මහා මාර්ග ඉදි කිරීම යනාදිය නිසා වාස භූමි විනාශ වේ. මේ නිසා පරිසර පද්ධති ක්‍රමයෙන් කුඩා වන විට විශේෂවලට ජීවත් වීමට අවශ්‍ය සම්පත් නැති වී යයි. ස්වාභාවික පරිසරය ක්ෂය වෙමින් හා කොටස්වලට කැඩෙමින් පවතී. එය විනාශයටද ලක් වී තිබේ. සතුන් සංක්‍රමණය කරන මාර්ග අවහිර කරනු ලැබේ. එකම විශේෂයක් තුළ තිබෙන විවිධත්වය ක්‍රමයෙන් අඩු වී යයි. ඇතැම් ප්‍රදේශවල සිටින ජීවීන්ට රෝගවලට හා වෙනත් උවදුරුවලට මුහුණ දීමේ හැකියාව නැත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විශේෂ එකින් එක ක්‍රමක්‍රමයෙන් තුරන් වී යයි.

ජෛව ජාලයේ එක් කොටසක් තුරන් වී ගිය විට, එය අනිත් කොටස්වලටද බලපෑ හැකි නිසා එක විශේෂයක් වඳ වී යෑම සෙසු විශේෂ වඳ වී යෑමටද හේතු වේ. පරාග ගෙනයන කෘමීන් වැනි ප්‍රධාන විශේෂයක් වඳ වී ගියහොත් එය විශේෂ ගණනාවකට බලපෑ හැකියි.

නව විශේෂ හඳුන්වා දීම. මිනිසුන් යම් පරිසර පද්ධතියකට ආගන්තුක විශේෂයක් හඳුන්වා දුන් විට, එම විශේෂය මගින් එම පරිසරයේ කලක සිට වෙසෙන විශේෂවල වාස භූමි ආක්‍රමණය කළ හැක. එමෙන්ම දේශීය විශේෂවලට ජීවත් විය නොහැකි වන ලෙස ආගන්තුක විශේෂ මගින් වක්‍ර ආකාරවලින් පරිසර පද්ධතිය තුළ වෙනස්කම්ද සිදු කළ හැක. එසේත් නැත්නම් දේශීය විශේෂවලට ඔරොත්තු දීමේ හැකියාව නැති රෝග ඇති කරවීමට පුළුවන. මෙය විශේෂයෙන්ම සිදු වන්නේ දූපත්වලය. ආගන්තුක විශේෂ සමඟ කිසිදු සම්බන්ධකමක් පවත්වා නොමැති දිගු කාලයක් හුදකලාවේ විසූ විශේෂවලට නව තත්වයන්ට අනුව හැඩගැසෙමින් තම දිවි රැකගැනීමට නොහැකි විය හැක.

මෙයට තිබෙන හොඳම උදාහරණවලින් එකක් වන්නේ “ඝාතක” ඇල්ගී (Caulerpa taxifolia) මුහුදු පැළෑටියයි. මෙම පැළෑටිය මගින් මධ්‍යධරණී මුහුදේ වෙසෙන වෙනත් සාගර විශේෂ විනාශ කර දමයි. මොනාකො මුහුදු තීරයට අහම්බෙන් පැමිණි මෙම පැළෑටිය එම ප්‍රදේශයේ මුහුදු පත්ල පුරා ව්‍යාප්ත වීමට දැන් පටන්ගෙන තිබේ. මෙහි විෂ ද්‍රව්‍යයක් අඩංගු වේ. එමෙන්ම මෙය කා දැමීමට සමත් සතෙකු සිටින බව මෙතෙක් සොයාගෙන නැත. “දරුණු පාරිසරික විනාශයක ආරම්භය අපට දැකගත හැකියි” කියා ප්‍රංශයේ නීස් විශ්වවිද්‍යාලයේ මුහුදු ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් මෙනෙෂ් පවසයි.

අධිපරිභෝජනය. විශේෂ කිහිපයක් වඳ වී යෑමට මෙය හේතු වී තිබේ. මඟී පරෙවියා මෙයට තිබෙන හොඳම උදාහරණයයි. දහනවවන සියවසේ මුල්භාගයේදී උතුරු අමෙරිකාවේ සුලභව දක්නට ලැබූ පක්ෂියා වූයේ මේ පරෙවි වර්ගයයි. බිලියනයක් පමණ හෝ ඊටත් වැඩි රංචු වශයෙන් උන් පර්යටනය කරද්දී දවස් කිහිපයකට මුළු අහසම උන්ගෙන් වැසී තිබේ. කෙසේවෙතත්, දහනවවන සියවස අගභාගය වන විට දඩයම් කිරීම නිසා උන් වඳ වී ගොස් තිබිණ. වර්ෂ 1914 සැප්තැම්බර් මාසයේදී ඉතිරි වී සිටි අන්තිම මඟී පරෙවියා අමෙරිකා එක්සත් ජනපදයේ සින්සිනැටි සත්වෝද්‍යානයේදී අවසන් හුස්ම හෙළුවේය. මේ හා සමානව අමෙරිකාවේ විශාල තණ බිම්වල වෙසෙන කුළු හරකාද දඩයම් කිරීම නිසා වඳ වී යෑමේ තර්ජනයට ලක් වී තිබේ.

අධිජනගහන වර්ධනය. දහනවවන සියවස මැදභාගයේදී ලෝක ජනගහනය බිලියනයක් විය. සියවස් එකහමාරකට පසු ලෝක ජනගහනය බිලියන හයක් දක්වා වැඩි වී තිබෙන අතර, සම්පත් දැන් දැන් අධිපරිභෝජනයට ලක් වේදෝ කියා මිනිස්සු බියෙන් පසු වෙති. සෑම වසරකම ජනගහනය අඛණ්ඩව වැඩිවීම නිසා තැතිගන්වනසුලු අයුරින් විශේෂද වඳ වෙමින් පවතී.

පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑමේ තර්ජනය. දේශගුණික වෙනස්කම් පිළිබඳව කරුණු සොයා බලන ආණ්ඩු කිහිපයකින් යුත් මණ්ඩලයක් පවසන පරිදි මේ සියවස ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5කින් ඉහළ යෑමට ඉඩ තිබේ. මෙම වේගවත් ඉහළ යෑම දරාගැනීමට ඇතැම් විශේෂවලට නොහැකි වනු ඇත. පර්යේෂකයන් පවසන පරිදි (සාගරයේ ජෛව විවිධත්වයෙන් බොහොමයක් රඳා පවතින) කොරල් පර විනාශ වී යෑමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ සාගර ජලය උණුසුම් වීමයි.

මුහුදු මට්ටම මීටරයකින් ඉහළ ගියහොත් ලෝකයේ වෙරළ ආසන්නයේ පිහිටි විවිධ ජීවීන් රැසකට නිවහන වන තෙත් බිම්වලින් විශාල භූමි භාගයක් නැති වී යා හැකි බව විද්‍යාඥයෝ පවසති. එමෙන්ම පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑම ග්‍රීන්ලන්තයේ හා ඇන්ටාක්ටිකාවේ තිබෙන අයිස් තට්ටුවලට ඇතැම්විට බලපාන්න ඉඩ තිබෙන බව සමහරු විශ්වාස කරති. මේවා දිය වී ගියහොත් දරුණු පරිසර විනාශයක් සිදු වනු ඇත.

වඳ වී යෑමේ වසංගතය

විශේෂ කොතරම් වේගයකින් තුරන් වී යනවාද? මේ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් දිය නොහැක. වඳ වෙමින් පවතින විශේෂවලින් බොහොමයක් විද්‍යාඥයන් පවා තවම නොදනී. මුලින්ම ඔවුන් කළ යුත්තේ දැනට සිටින විශේෂ ගණන කොපමණද කියා ස්ථිර කරගැනීමයි. කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්වවිද්‍යාලයේ පාරිසරික විද්‍යාඥයෙකු වන ජෝන් හාර්ට් පවසන පරිදි “මිහිතලය මත නම් කර තිබෙන විශේෂ මිලියන එකහමාරක් පමණ සිටී. නමුත් නම් කර නොමැති විශේෂ රාශියක් සිටින බව අපි දනිමු. මුළු විශේෂ ගණන මිලියන 5ත් 15ත් අතර ප්‍රමාණයක් විය හැකියි.” සමහරුන්ගේ ගණන් බැලීම්වලට අනුව විශේෂ ගණන මිලියන 50ක් හෝ ඊට වැඩිය. “විශේෂ බොහොමයක් වඳ වී යන්නේ ඒවා නම් කර ඒවා ගැන විස්තර කරන්නත් කලින්” නිසා නිවැරදි ගණන තීරණය කිරීමට අසීරු බව විද්‍යාඥ ඇන්තනි ජැනෙටස් පවසයි.

ස්වාභාවික ප්‍රජාවල ක්‍රියාකාරිත්වය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑමට ඉවහල් වන සියුම් පාරිසරික ක්‍රියාවලියන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට නවීන විද්‍යාව තවම පටන්ගෙනවත් නැති තරම්ය. කොතරම් විශේෂ ගණනක් සිටිනවාද කියා මිනිසුන් නොදන්නවා නම්, සංකීර්ණ ජෛව ජාලය ගැනත් ජීවීන් වඳ වී යෑම එයට බලපාන ආකාරය ගැනත් තේරුම්ගැනීමට ඔවුන්ට හැක්කේ කෙසේද? ජීවීන් තුරන් වී යෑම ජීවයේ පැවැත්ම රඳා පවතින ස්වාභාවික ක්‍රියාවලියන්ට බලපෑ හැකි අයුරු ඔවුන්ට පැවසිය හැක්කේ කෙසේද?

වඳ වී යෑමේ වේගය නිශ්චය කරගැනීමට වෑයම් කරමින් විද්‍යාඥයන් පිළියෙළ කරන සංඛ්‍යා ලේඛන එකිනෙකට වෙනස් වන අතර, බොහෝ අවස්ථාවලදී ඒවා කලකිරීමට හේතු වේ. “වසර සියයක් ඇතුළත ලෝකයේ ශාකවලින් හා සතුන්ගෙන් සියයට 50ක් පමණ වඳ වී යෑමේ ලැයිස්තුවට ඇතුළත් විය හැකියි” කියා ලේඛකයෙක් සඳහන් කරයි. හාර්ට්ගේ මෙම නිගමනය ඊටත් වඩා බලාපොරොත්තු කඩ කරවනසුලුය. “ජීව විද්‍යාඥයන්ගේ ගණන් බැලීම්වලට අනුව ඊළඟ වසර 75 ඇතුළත දැනට සිටින විශේෂවලින් අඩක් හෝ ඊටත් වැඩි ප්‍රමාණයක් තුරන් වී යනු ඇත. මෙයට හේතුව නිවර්තන කලාපීය වනාන්තර එළි පෙහෙළි කිරීමයි.”

අමෙරිකා එක්සත් ජනපදයේ ටෙනිසි විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ ස්ටුවට් පිම්ගේ ගණන් බැලීම් පදනම් කරගනිමින් නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ මෙසේ සඳහන් වේ. “ලෝකයේ සිටින 10,000කට ආසන්න පක්ෂී විශේෂවලින් සියයට 11ක් එනම් 1,100ක් වඳ වී යෑමට ආසන්නයි. මෙම 1,100න් විශාල පක්ෂීන් ප්‍රමාණයක් [21වන සියවස] අවසානය තෙක්වත් ජීවත් වෙයිද යන්න සැක සහිතයි.” ඒ සඟරාවේම මෙසේද සඳහන් විය. “සෑම පැළෑටි අටකින් එකක්ම වඳ වී යෑමේ අනතුරට ලක් වෙමින් තිබෙන බව ගෞරවයට පාත්‍ර උද්භිද විද්‍යාඥයන් කණ්ඩායමක් මෑතකදී වාර්තා කළේය. ‘අනතුරට ලක්ව සිටින්නේ දිවයින්වල හා වැසි වනාන්තරවල සිටින විශේෂයන් හෝ පක්ෂීන් හෝ දැවැන්ත ක්ෂීරපායි සතුන් පමණක් නොවෙයි. සෑම දෙයක්ම අනතුරට ලක් වී තිබේ. විශේෂ වඳ වී යෑම ලොව පුරා පැතිරී යන වසංගතයකි’ කියා පිම් පවසයි.”

මේ සෑම විශේෂයක්ම අපට අවශ්‍යද?

ජෛව විවිධත්වය අඩු වී යෑම ගැන මහත් සැලකිල්ලක් දැක්වීම අවශ්‍යද? විශේෂවල මෙතරම් විවිධත්වයක් අපට ඇත්තටම අවශ්‍යද? මෙයට පිළිතුරු වශයෙන් ඔව් කියා ගෞරවයට පාත්‍ර විශේෂඥයන් බොහෝදෙනෙක් තරයේ පවසති. පෘථිවියට ලැබී තිබෙන දායාදයක් බඳු විශේෂ මගින් මිනිසුන්ට ආහාරද ප්‍රයෝජනවත් රසායනික ද්‍රව්‍යද වෙනත් නිෂ්පාදන හා සේවාද සපයා දෙනු ලැබේ. තවමත් සොයාගෙන නොමැති විශේෂවලින් මිනිසාට ගත හැකි ප්‍රයෝජන ගැන සිතා බලන්න. නිදසුනක් වශයෙන්, අමෙරිකා එක්සත් ජනපදයේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත භාවිත කෙරෙන ප්‍රධාන ඖෂධ වර්ග 150කින් 120ක්ම සාදනු ලබන්නේ ස්වාභාවික සංයෝගවලින් බව ගණන් බලා තිබේ. මේ නිසා ලෝකයේ තිබෙන පැළෑටි නැති වී යෑමෙන් නව ඖෂධ වර්ග හා රසායනික ද්‍රව්‍ය ලබාගැනීමට තිබෙන අවස්ථාවද මිනිසාට අහිමි වී යනු ඇත. “යම් විශේෂයක් අපට නැති වී යන සෑම අවස්ථාවකදීම අනාගතයේදී තේරීමක් කිරීමට තිබෙන අවස්ථාවක් අපට අහිමි වී යයි. ඒඩ්ස් රෝගය සුව කරගැනීමට තිබෙන හැකියාව හෝ වයිරසයකට ඔරොත්තු දෙන බෝගයක් හෝ අපට නැති වෙයි” කියා ලන්ඩනයේ කියූහි පිහිටි උද්‍යානයේ අධ්‍යක්ෂ ශ්‍රීමත් ගිල්යන් ප්‍රාන්ස් පවසයි. “එමනිසා අපේ පෘථිවි ග්‍රහයා ගැන පමණක් නොව, අපේම . . . අවශ්‍යතා හා ප්‍රයෝජන ගැන සිතා විශේෂ නැති වී යෑම කෙසේ හෝ නතර කිරීමට අප පියවර ගත යුතුයි” කියා ඔහු තවදුරටත් පවසයි.

සියලුම ජීවීන් රඳා සිටින අත්‍යවශ්‍ය සේවා සපයන ස්වාභාවික පරිසර පද්ධතිද අපට අවශ්‍ය වේ. ඔක්සිජන් නිපදවීම, ජලය පිරිසිදු කිරීම, අපද්‍රව්‍ය පිරිපහදු කිරීම, පාංශු ඛාදනය වැළැක්වීම යන මේ සියල්ලම හොඳ පරිසර පද්ධති මගින් සිදු කෙරෙන අත්‍යවශ්‍ය ක්‍රියාවන් වේ.

කෘමීන් පරාගනය කිරීමේ සේවය සපයයි. මැඩියන්, මත්ස්‍යයන් හා පක්ෂීන් පළිබෝධ පාලනය කරයි. බෙල්ලන් හා වෙනත් ජලජ ජීවීන් විසින් අපේ ජල සැපයුම් පිරිසිදු කරනු ලබයි. ඇතැම් පැළෑටි මගින් හා ක්ෂුද්‍ර ජීවීන් විසින් අපේ පස සාරවත් කරනු ලබයි. මේ සියලුම සේවාවන්වල ආර්ථික වටිනාකම අතිවිශාලය. සාමාන්‍ය ගණන් බැලීමකට අනුව ලොව පුරා ජෛව විවිධත්වය මගින් ලැබෙන ප්‍රයෝජනවල වටිනාකම 1995 වසරේදී ඩොලර් බිලියන 3,000කට ආසන්න විය.

අපේ ජීවිත රඳා පවතින්නේ ජීවීන්ගේ විවිධත්වය මතය. එහෙත් සංකීර්ණ ජෛව ජාලයට තර්ජනයක් එල්ල කරමින් ජීවීන් වඳ වී යෑමේ අර්බුදයකට ලෝකය මුහුණ පා සිටින බව පෙනේ. ජෛව විවිධත්වයේ තිබෙන වැදගත්කම තේරුම්ගැනීමට අප පටන්ගෙන සිටින මේ අවස්ථාවේදී පවා මිනිස්සු වෙන කවරදාටත් වඩා වැඩියෙන් විශාල ජීවීන් පිරිසක් වඳ වී යෑමට සලස්වති. මේ ගැටලුව විසඳිය හැකි තත්වයක මිනිසා සිටිනවාද? මිහිතලයේ වෙසෙන ජීවීන්ගේ විවිධත්වයේ අනාගතය කෙබඳුද?

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ජීවීන් කොතරම් වටිනවාද?

අප සෙසු ජීවීන්ව රැකබලා ගත යුත්තේ ඔවුන් අපේ අවශ්‍යතා සපුරාලන තාක් කල් පමණයි කියා ජෛව විවිධත්වයේ වටිනාකම ගැන කරනු ලබන සියලුම සාකච්ඡාවලින් පෙනී යන බව දක්නට තිබේ. එසේ සිතීම පටු අදහසක් බව ඇතැමුන්ට හැඟී යයි. ජීවීන්ට සහජයෙන්ම තිබෙන වටිනාකම ගැන පාෂාණධාතු විද්‍යාඥයෙක් වන නයිල්ස් එල්ඩ්‍රේජ් මෙසේ සඳහන් කරයි. “අලංකාර මෙන්ම මනබඳින විශේෂ හා නොඉඳුල් වනාන්තර ඇතුළු අප අවට සිටින ජීවීන්ට සහජයෙන් ලැබී තිබෙන වටිනාකම නිසා අප ඔවුන්ව සලකන්නේ අනගි සම්පතක් ලෙසය. අප සොබාදහම සමඟ බැඳී සිටින බවත් අපට හැකි සෑම අවස්ථාවකදීම එයට ළංව සිටින විට සිතට සාමයක් හා සතුටක් දැනෙන බවත් අපේ ඇතුළාන්තයට දැනෙයි.”

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

රතු දත්ත නාමාවලිය

“රතු දත්ත නාමාවලිය” ප්‍රකාශයට පත් කරනු ලබන්නේ, අනතුරට ලක්ව සිටින විශේෂවල තත්වය ඇගැයීමකට ලක් කරන සංවිධානයක් වන සොබාදහම හා ස්වාභාවික සම්පත් සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර සංගමය මගිනි. වසර 2000 සඳහා පිළියෙළ කරන ලද “රතු දත්ත නාමාවලියට” ඇතුළත් වූ තර්ජනයට ලක්ව සිටින විශේෂවලින් කිහිපයක් මෙම පිටුවේ දැක්වේ.

සංචාරක ඇල්බත්‍රසා (Diomedea exulans)

ලොව පුරා තර්ජනයට ලක් වී තිබෙන ඇල්බත්‍රසා විශේෂ 16න් එකකි. ධීවර බෝට්ටු මගින් මුහුදේ එළන දිගු මරු වැල්වලට අහම්බෙන් අසු වූ පසු විශාල ප්‍රමාණයක් මිය යන බවට පැවසේ.

[හිමිකම් විස්තර]

Photo by Tony Palliser

කෙණ්ඩා රතු පැහැති ලැන්ගුවර් වඳුරා (Pygathrix nemaeus)

ආසියාවට අයත් මෙම දැකුම්කලු කොලබයින් ගණයේ වඳුරා වාසය කරන්නේ වියට්නාමයේ දකුණු මධ්‍යම ප්‍රදේශයේ හා ලාඕසයේ ඇතැම් ප්‍රදේශවලයි. උන්ගේ වාස භූමි විනාශ කිරීම නිසාත් උන්ව දඩයම් කිරීම නිසාත් වඳ වී යෑමේ තර්ජනයට ලක් වී සිටී. උන්ව දඩයම් කරන්නේ ආහාරය සඳහාය. එමෙන්ම පාරම්පරික ඖෂධ සෑදීම සඳහා උන්ගේ සිරුරේ කොටස් යොදාගනී.

[හිමිකම් විස්තර]

Monkey on pages 7 and 32: Photo by Bill Konstant

කොසිකා ගොළුබෙල්ලා (Helix ceratina)

දරුණු ලෙස අනතුරට ලක් වී සිටින මේ ගොළුබෙල්ලාට වාසය සඳහා තිබෙන්නේ කොසිකා දිවයිනේ නිරිතදිග වෙරළ තීරයේ පිහිටි ආයාකෝ නගරයට ආසන්නයේ තිබෙන කුඩා නගරවලින් යුත් අක්කර 20ක භූමි භාගයක් පමණි. ගුවන්තොටුපොළක් හා වෙරළට පිවිසෙන මාර්ග ඉදි කිරීම ඇතුළුව නොයෙක් ඉදි කිරීම් නිසා මේ ගොළුබෙල්ලා වඳ වී යෑමට ඉඩ තිබේ.

[හිමිකම් විස්තර]

Photo by G. Falkner

රන්වන් පැගෝඩා (Mimetes chrysanthus)

මෙම අලංකාර මල 1987දී සොයාගනු ලැබුවේ දකුණු අප්‍රිකාවේ බටහිර කේප් ප්‍රදේශයේ තිබියදීය. නිතර ඇති වන ලැව් ගිනි හා රන්වන් පැගෝඩාවේ වාස භූමි ආක්‍රමණය කරන විශේෂ මගින් මේ පැළෑටිය නිරතුරුව තර්ජනවලට ලක් වේ.

[හිමිකම් විස්තර]

Photo by Craig Hilton-Taylor

මිරිදිය දැති මෝරා (Pristis microdon)

අනතුරට ලක් වී සිටින මේ මත්ස්‍යයා ජීවත් වන්නේ ඉන්දියන් සාගරයේ හා බටහිර පැසිෆික් සාගරයේය. එමෙන්ම එම සාගරවල මුහුදු බොකුවලද මෝයවලද ගංගාවලද මේ මත්ස්‍යයා ජීවත් වෙයි. පහසුවෙන් අල්ලාගත හැකි නිසා මේ මත්ස්‍යයා විශාල ප්‍රමාණයකින් අඩු වී තිබේ. වාස භූමි නැති වී යෑම හා ඒවා හානියට ලක්වීම නිසා ඌ සිටින්නේ අනතුරේය.

[හිමිකම් විස්තර]

Photo courtesy of Sun International Resorts, Inc.

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

මුහුදු ජීවී සංහාරය

කලක් ක්ෂය නොවන සම්පතක් කියා සිතූ සාගර සම්පත ක්ෂය වෙමින් පවතින බව තහවුරු වී තිබේ. සාගරයේ සම්පත් අධික ලෙස සූරාකෑම ගැන පාෂාණධාතු විද්‍යාඥ නයිල්ස් එල්ඩ්‍රේජ් එක් සඟරාවක (Natural History) මෙසේ විස්තර කළේය. “නවීන තාක්ෂණය මගින් මසුන් මැරීම මොනතරම් කාර්යක්ෂමව කරනවාද කියනවා නම්, වනාන්තර එළි පෙහෙළි කිරීමට සමාන ප්‍රමාණයකින් සාගර පතුලේ විශාල ප්‍රදේශයක් නග්නීකරණයට ලක් වෙයි. තාක්ෂණය යොදාගැනීම නිසා විනාශ වී යන සම්පත් ප්‍රමාණය තැතිගන්වනසුලුය. මුහුදේ දැලක් අදින සෑම අවස්ථාවකදීම හා ට්‍රෝලර් යාත්‍රාවක් ගමන් කරන සෑම වතාවකදීම කැස්බෑවන්, සීල් මසුන් හා අළෙවි කළ නොහැකි මත්ස්‍ය විශේෂ හා අපෘෂ්ඨවංශීන් විශාල ප්‍රමාණයක් විනාශ වී යයි.”

“[අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සස්වලට ඈතින් තිබෙන] මෙක්සිකන් බොක්ක පිහිටි මුහුදු තීරයේ ඉස්සන් රාත්තලක් අල්ලාගන්නා විට කුඩා මසුන් ඇතුළු මුහුදු ජීවීන් රාත්තල් 12ක් විනාශ වේ” කියා “ඉස්සන් නිසා සිදු වන නාස්තිය” ගැන සඳහන් වූ නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ පැහැදිලි කර තිබිණ. මෙම අනවශ්‍ය මසුන් හා බෙල්ලන් අසු වන්නේ අහම්බෙනි. මේ පිළිබඳව ෆෙඩරල් ජනරජයේ ජීව විද්‍යාඥයෙක් මෙසේ සිය ශෝකය පළ කළේය. “අහඹු ලෙස අල්ලාගනු ලබන මසුන් අනුපාතය හතරට එකක් වේ.” මේ නිසා අපේ සාගර අනතුරට ලක් වී සිටින විශේෂ බොහොමයක් ඝාතනය කරනු ලබන භූමියක් බවට පත්වීම ගැන පුදුම විය යුතු නැත.

[9වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වනාන්තරවල සිටින සොයා නොගත් ජීවීන්

අපේ පෘථිවි ග්‍රහයා මත පිහිටි වනාන්තර ජීවීන්ගෙන් ගහනය. මිනිසා විසින් තවමත් සොයාගෙන නැති විශේෂ ඒවායේ වෙසෙති. පාරිසරික විද්‍යාඥයෙකු වන ජෝන් හාර්ට් මෙසේ සඳහන් කළේය. “නිවර්තන කලාපීය වැසි වනාන්තරවලින් වැසී තිබෙන්නේ පෘථිවියේ භූමියෙන් සියයට දෙකකටත් වඩා අඩු ප්‍රමාණයකි. එහෙත් මිහිතලය මත වෙසෙන ජීවීන්ගෙන් අඩුම තරමින් සියයට 50කගේවත් වාසස්ථානය වන්නේ එම වනාන්තරයි. ඇතැම්විට එම ප්‍රමාණය සියයට 90ක් විය හැක. ඉහළ අගයකින් යුත් මෙම ගණන් බැලීම පදනම් වන්නේ අනාගතයේදී සොයාගත හැකි විශේෂවලින් බහුතරයක් නිවර්තන කලාපයට අයත් විය හැකි බවට වූ උපකල්පනය මතය. මෙම උපකල්පනයට හේතුව නිවර්තන කලාපයේ දැනට සිදු කර ඇති ජීවීන් පිළිබඳ ගවේෂණයන් ඉතා සීමිත වීමයි. පුළුල් ගවේෂණයන් සිදු නොකළ වෙනත් වාස භූමිවලද, තවමත් විද්‍යාඥයන් විසින් සොයාගෙන නැති විශේෂ විශාල ප්‍රමාණයක් තිබෙන බව නිසැකයි. මෙම වාස භූමි අතර සෞම්‍ය කලාපයේ පිහිටි වනාන්තරද වේ. මෙයට නිදසුනක් වශයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ පැසිෆික් සාගරයට මායිම්ව වයඹ දෙසින් පිහිටි අධික තෙතමනයකින් යුත් පැරණි වනාන්තර සඳහන් කළ හැක.”

මෙම වනාන්තරවල සිටින සොයා නොගත් ජීවීන් ගැන ගවේෂණය කිරීමට මිනිසාට හැකි වුවහොත් ඔහු කුමන ආකාරයේ විස්මිත සොයාගැනීම් කරයිද කියා දන්නේ කවුද?

[5වන පිටුවේ පින්තූරය]

දැන් වඳ වී ඇති මඟී පරෙවියා

[හිමිකම් විස්තර]

U.S. Fish & Wildlife Service, Washington, D.C./Luther C. Goldman7