Skip to content

පටුනට යන්න

අපේ ආහාරවලට අපි මොනවද කරන්නේ?

අපේ ආහාරවලට අපි මොනවද කරන්නේ?

අපේ ආහාරවලට අපි මොනවද කරන්නේ?

අපේ ආහාර යම් යම් වෙනස්කම්වලට භාජන කිරීම අලුත් දෙයක් නොවෙයි. පරම්පරා ගණනාවක් පුරා මනුෂ්‍යයන් ආහාරවල යම් වෙනස්කම් කර තිබෙන්නේ ඉතා දක්ෂ ලෙසයි. බැටළුවන්ගේ, ගවයන්ගේ හා පැළෑටිවල අලුත් ප්‍රභේද බෝ කිරීමට තාක්ෂණය යොදාගැනෙනවා. එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන අංශයේ නියෝජිතවරයෙක් පැවසුවේ “ඔබ මිල දී ගන්නා සෑම ආහාරයක්ම පාහේ සම්ප්‍රදායක අභිජනන (වර්ගයා බෝ කිරීමේ) ක්‍රියාවලිය මගින් වෙනස් කර තිබෙන” බවයි.

ආහාර වෙනස් කිරීමේ එකම ක්‍රමය අභිජනනය පමණක්ම නොවෙයි. ආහාරවල ගුණය වැඩි කිරීමට හා සකස් කිරීමට ආහාර සම්බන්ධව කටයුතු කරන ආයතන විවිධ ක්‍රම භාවිතා කරයි. එම ක්‍රම භාවිතා කරන්නේ ආහාරවල වර්ණය හා රසය වැඩි කිරීමට, කල් තබාගැනීමට හා ඒවායේ තත්වය පාලනය කිරීමටයි. අද ජනයා මොනයම් ආකාරයකින් හෝ වෙනස් කළ ආහාර අනුභව කිරීමට පුරුදු වී සිටියි.

නමුත් අද ආහාරවල සිදු කෙරෙන වෙනස්කම් ගැන එන්න එන්නම වැඩි පිරිසක් තම බිය සැක පළ කර තිබෙනවා. ඒ ඇයි? අද යොදාගැනෙන නවීන තාක්ෂණය ආහාරවල ආරක්ෂාවට තර්ජනයක් බව සමහර අය විශ්වාස කරන නිසයි. මෙසේ සිතීම සාධාරණද? ජනයාගේ සැලකිල්ලට භාජන වූ කාරණා තුනක් සලකා බලමු. a

හෝමෝන හා ප්‍රතිජීවක ඖෂධ

එක්දාස් නවසිය පනස් ගණන්වල සිට සමහර ප්‍රදේශවල ඇති කරන කුකුලන්, ඌරන් හා ගවයන්ගේ ආහාරවලට ප්‍රතිජීවක ඖෂධ සුළු ප්‍රමාණයක් මිශ්‍ර කරනු ලබනවා. එහි අරමුණ වූයේ එක ළඟ ගාල් කර ඇති කරන සතුන්ට රෝග බෝවීම අවම කරගැනීමයි. තවත් සමහර රටවල්වල සත්ව ආහාරවලට හෝමෝන එකතු කරනු ලැබුවේ උන්ගේ වැඩීම වේගවත් කිරීමටයි. හෝමෝන හා ප්‍රතිජීවක, සතුන්ව බෝවෙන රෝගවලින් ආරක්ෂා කරන බවත් ඉක්මනින් වර්ධනය ඉහළ නංවන ගොවිපළවල්වල ආදායම වැඩි කරගැනීමට දායක වන බවත් පැවසෙනවා. මේ නිසා ආහාරවල මිල පහත වැටෙන අතර පාරිභෝගිකයාටද ඉන් වාසියක් අත් වෙන බව කියයි.

ඉහත සඳහන් කරුණු සාධාරණ බව පෙනෙන්ට තිබුණා. නමුත් මෙසේ එක් කරන අමතර ද්‍රව්‍ය නිසා, එම සතුන්ගේ මස් කන පාරිභෝගිකයාට යම් අවදානමකට මුහුණ පෑමට සිදු වේවිද? යුරෝපීය ප්‍රජාවේ ආර්ථික හා සමාජ කමිටුවේ වාර්තාවකට අනුව ප්‍රතිජීවක ඖෂධවලට ඔරොත්තු දෙන බැක්ටීරියා පාරිභෝගිකයාගේ ශරීරයට ඇතුල් විය හැකියි. “සැල්මොනෙල්ලා සහ කැම්පිලොබැක්ටර් වැනි මෙවැනි බැක්ටීරියාවන් ආහාර දාමය තුළින් ශරීරගත වී දරුණු රෝගවලට මඟ පෑදිය හැකි” බව එම වාර්තාවෙන් හෙළි වුණා. ආහාර දාමයට බැක්ටීරියා පමණක් නොව ප්‍රතිජීවක ඖෂධවල ඉතුරු වූ යම් කොටස්ද එක් වෙනවා නම් ඇති වන තත්වය කුමක්ද? මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මිනිසුන් තුළ රෝග ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් ක්‍රම ක්‍රමයෙන් එම ඖෂධවලට හුරු වන අතර, කාලයාගේ ඇවෑමෙන් ප්‍රතිජීවකවලටද ඔරොත්තු දීමේ හැකියාව ඇති විය හැකි බවට ඇතමෙක් තම බිය සැක පළ කර තිබෙනවා.

හෝමෝන යොදා සකස් කරන ලද මස් වර්ග ගැන කුමක් කිව හැකිද? ජර්මනියේ මියුනික්හි පශු වෛද්‍ය හින්රික් කාක් පැවසුවේ මෙයයි. “නිසි උපදෙස් අනුව හෝමෝන යොදා සකස් කළ සතුන්ගේ මස් ආහාරයට ගැනීම සෞඛ්‍යයට අහිතකර නොවන බව සියලුම ප්‍රවීණයන් පිළිගන්නවා.” කෙසේවෙතත්, හෝමෝන ප්‍රතිකාරයට නතු වූ සතුන්ගේ මස් ආරක්ෂා සහිතද යන කාරණය ගැන ඩී වොහක්හ ප්‍රවෘත්ති පත්‍රයේ පවසන්නේ “පසුගිය අවුරුදු 15 පුරා පර්යේෂකයන්ට එක පොදු මතයකට එළඹීමට නොහැකි වී තිබෙන” බවයි. ප්‍රංශයේ හෝමෝන අඩංගු මස් සම්බන්ධ ප්‍රශ්නයට ලැබී තිබෙන පැහැදිලි ප්‍රතිචාරය නම් ‘හෝමෝන භාවිතා කිරීම හෙළා දකිනවා!’ යන්නයි. මෙයින් පැහැදිලි වන්නේ පරස්පර විරෝධි මත දිගින් දිගටම පවතින බවයි.

විකිරණවලට නිරාවරණය කළ ආහාර

වර්ෂ 1916දී ස්වීඩනයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කළ කාලයේ සිට මේ දක්වා රටවල් 39ක් අර්තාපල්, බඩ ඉරිඟු, පලතුරු හා මස් වර්ග වැනි ආහාර සුළු වශයෙන් විකිරණවලට නිරාවරණය වීම අනුමත කරයි. මෙයට හේතුව? විකිරණ මගින් බැක්ටීරියා, කෘමීන් සහ පරපෝෂිතයන් විනාශ කරන බවත් එමනිසා ආහාරවලින් ඇති වෙන රෝග අවම වෙන බවත් පැවසෙනවා. තවත්, එලෙස නිෂ්පාදනය කරන ලද ආහාර නරක් නොවී කල් තබාගැනීමටද හැකියි.

කෙසේවෙතත් ප්‍රවීණයන්ගේ මතය නම් අප ගන්නා ආහාර පිරිසිදු හා නැවුම් ඒවා විය යුතු බවයි. නමුත් අද කීයෙන් කීදෙනාද අලුත් ආහාර පිළියෙළ කිරීමට කාලය ගන්නේ? ආහාර පිළියෙළ කිරීම සඳහා සාමාන්‍යයෙන් කෙනෙක් ගත කරන කාලය ගැන ටෙස්ට් සඟරාවේ මෙසේ සඳහන් වුණා. “උදේ ආහාරය සඳහා ගන්නේ මිනිත්තු දහයයි. දවල් ආහාරය හා රාත්‍රි ආහාරය සඳහා ගන්නේ මිනිත්තු පහළොවයි.” එසේ නම් බොහෝ පාරිභෝගිකයන් පිසින ලද ආහාර හා දිගු කාලයක් තබාගැනීමට හැකි ආහාර ලබාගැනීමට ප්‍රිය කිරීම පුදුමයට කාරණයක් නොවෙයි. ප්‍රශ්නය වන්නේ විකිරණවලට නිරාවරණය කළ ආහාර ආරක්ෂා සහිතද යන්නයි.

ජාත්‍යන්තර ප්‍රවීණයන්ගෙන් යුත් කණ්ඩායමක් කළ අධ්‍යයනයක් ජගත් සෞඛ්‍ය සංවිධානය මගින් 1999දී ප්‍රකාශයට පත් කළා. ඔවුන්ගේ නිගමනය වූයේ විකිරණවලට නිරාවරණය කරන ලද ආහාර “ආරක්ෂා සහිත බව හා එහි පෝෂ්‍ය පදාර්ථවල අඩුවක් නැති බවයි.” මෙයට පක්ෂව කතා කරන අය පවසන පරිදි විකිරණවලට නිරාවරණය කිරීම හරියට වෙළුම් පටි ජීවාණුහරණය කිරීම හෝ ගමන් මළු ගුවන් තොටුපළේ විද්‍යුත් පරිලෝකන යන්ත්‍ර (scanner) මැදින් යැවීම හා සමානය. මෙයට විරුද්ධව කතා කරන අය කියා සිටින්නේ විකිරණවලට නිරාවරණය කිරීමෙන් ආහාරවල ස්වාභාවිකව ඇති පෝෂ්‍ය ගුණය අඩු වන බව හා තවමත් සොයාගෙන නැති අතුරු ඵල තිබිය හැකි බවයි.

ජාන වෙනස් කළ ආහාර

ජාන විශේෂඥයන්ට එක ජීවියෙකුගේ DNA අණුවක ජාන එම වර්ගයේම තවත් ජීවියෙකුගේ DNA අණුවකට මාරු කිරීමට හැකි වී තිබෙනවා. අද එම හැකියාව ඊට වඩා බොහෝ දියුණු වී තිබෙනවා. උදාහරණයකට මාළුවෙකුගෙන් ලබාගත් ජාන ස්ට්‍රෝබෙරිවලට හා අර්තාපල්වලට ඇතුළත් කිරීමෙන්, සීතලට ඔරොත්තු දීමේ හැකියාව ඒවාට ලබා දී තිබෙනවා.

ජාන වෙනස් කළ ආහාරවලට (GM) පක්ෂව හා විපක්ෂව බොහෝ අදහස් පළ කර තිබෙනවා. b පැළෑටි බෝ කිරීමේ සම්ප්‍රදායික ක්‍රමවලට වඩා ජෛව තාක්ෂණික ක්‍රම අනුව සිදු කරන පැළෑටි බෝ කිරීම, විශ්වාසය තැබිය හැකි හා පාලනය කළ හැකි යමක් බව මීට පක්ෂව කතා කරන අය පවසයි. මෙමගින් අස්වැන්න වැඩි කරගත හැකි අතර ආහාර හිඟයට විසඳුමක් ලබා දිය හැකි බවත් ඔවුන් පවසනවා. නමුත් ජාන වෙනස් කළ ආහාර ආරක්ෂා සහිතද?

ජාන වෙනස් කළ ආහාර කෑමට සුදුසුද කියා සොයා බැලීමට එංගලන්තය, එක්සත් ජනපදය, බ්‍රසීලය, චීනය, ඉන්දියාව, මෙක්සිකෝව හා වෙනත් සංවර්ධනය වන රටවල්වල අධ්‍යාපන ආයතනවලට සම්බන්ධ සාමාජිකයන් එක්රැස් වුණා. වර්ෂ 2000 ජූලි මාසයේ ඔවුන් ඉදිරිපත් කළ වාර්තාවට අනුව “ජාන වෙනස් කළ භෝග (GM භෝග) අක්කර මිලියන 70ක පමණ වගා කෙරුණු අතර, GM භෝග හෝ ඒවායෙන් නිෂ්පාදනය කළ ආහාර කෑමට ගැනීමෙන් කිසි කෙනෙකුගේ සෞඛ්‍යයට අහිතකර බලපෑමක් ඇති වූයේ නැත.” සමහර ප්‍රදේශවල GM ආහාර ආරක්ෂා සහිත හා පිළිගත් ආහාර බවට පත් වී තිබෙනවා.

එනමුත් වෙනත් ප්‍රදේශයන්හි මෙම ආහාර ගැන නිශ්චිත නිගමනයකට එළඹී නැහැ. ඔස්ට්‍රියාවේ, ප්‍රංශයේ හා බ්‍රිතාන්‍යයේ සමහර අය ජාන වෙනස් කළ ආහාර අනුමත නොකරයි. ඕලන්ද ජාතික දේශපාලනඥයෙක් GM ආහාර ගැන කිව්වේ “අපි සමහර කෑමවලට කොහෙත්ම කැමති නැහැ” කියායි. මෙම ආහාර ගැන විරෝධතාවය පළ කරන අය ආචාර ධර්මවලට අනුව එය හරිද නැද්ද යන්න පිළිබඳව ප්‍රශ්න කරන අතර, ඒවායින් පරිසරයට අහිතකර බලපෑම් ඇති විය හැකි බවද කියා සිටියි.

සමහර විද්‍යාඥයන්ගේ මතය නම් මෙය ජාන වෙනස් කළ ආහාර සම්බන්ධව පරීක්ෂණ පවත්වන මුල් අවධිය නිසා, ඒවා පාරිභෝගිකයාට ආරක්ෂා සහිතද යන්න පිළිබඳව සොයා බැලීමට තවදුරටත් පියවර ගත යුතු බවයි. බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමය, ජාන ඉන්ජිනේරු විද්‍යාව මහජනයාට මහත් ප්‍රයෝජන ලබා දෙන බව විශ්වාස කරයි. එහෙත් සමහරවිට ජාන වෙනස් කළ ආහාර නිසා මුහුණ පෑ හැකි වෙනත් ගැටලු එනම් අසාත්මිකතා වැනි හේතු නිසා “තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු” බවත් එය කියයි.

ඔබ කළ යුතු සමබර තේරීම

සමහර රටවල්වල අනුභව කරන ආහාරවලින් සීයට 80ක්ම කල් තබාගැනීම සඳහා සකස් කරන ලද ආහාරයි. එම ආහාරවලට රසායනික ද්‍රව්‍ය එකතු කරනු ලබන්නේ එහි රසය හා වර්ණය වැඩි කිරීමට හෝ යම් ප්‍රමිතියකට අනුව සකස් කරගැනීමටයි. නිෂ්පාදන වැඩි කාලයක් තබාගැනීමට පිළියමක් ලෙසද ඒවා යොදයි. එක් මූලාශ්‍රයක පෙන්වා තිබූ පරිදි “කැලරි ප්‍රමාණය අඩු ආහාර, කෙටි සැහැල්ලු ආහාර හා පාරිභෝගිකයාගේ පහසුව තකා කලින් පිසින ලද ආහාර වැනි බොහෝ නව නිෂ්පාදනවලට රසායනික ද්‍රව්‍ය යෙදීමට සිදු වන බව සොයාගෙන ඇත” . එවන් ආහාරවලත් ජාන වෙනස් කළ ද්‍රව්‍ය අඩංගු විය හැකියි.

කෘෂිකාර්මික ලෝකය අවුරුදු ගණනාවක් පුරා භාවිතා කර ඇත්තේ මිනිසුන්ගේ සෞඛ්‍යයට හානිදායකයයි සැලකෙන ක්‍රමයි. මෙයට එක උදාහරණයක් නම් විෂ සහිත පළිබෝධ නාශක භාවිතා කිරීමයි. තවද, ආහාර නිෂ්පාදකයන් කෑමවලට යොදන රසායනික ද්‍රව්‍ය සමහර පාරිභෝගිකයන්ට අසාත්මිකතා ඇති කිරීමට හේතු වී තිබේ. නව තාක්ෂණය යොදා නිෂ්පාදනය කරන ආහාර මීටත් වඩා භයානකද? ප්‍රවීණයන්ට පවා මේ පිළිබඳව එකඟතාවයකට එළඹිය නොහැකියි. ඇත්තෙන්ම මෙයට පක්ෂව හා විපක්ෂව ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරන විද්‍යාත්මක වාර්තා තිබෙන අතර, එකිනෙකට පරස්පර විරෝධි මත දරන කණ්ඩායම් බිහිවීමට මෙය හේතු වී තිබෙනවා.

නව තාක්ෂණයට අනුව නිපදවූ ආහාර ගැනීමෙන් වැළකී සිටීම දුෂ්කර නිසා හෝ ජීවිතයේ ඊටත් වඩා බැරෑරුම් ප්‍රශ්නවලට අවධානය දිය යුතු නිසා බොහෝදෙනෙක් මේ ගැන කරදර වීම පසෙකලා තිබුණත් සමහර අය මේ ගැන ඉතාමත් සැලකිලිමත් වෙනවා. නව තාක්ෂණය යොදාගනිමින් සකස් කරන ලද යම් ආහාර කෑමට සුදුසුද නැද්ද යන කාරණය ගැන ඔබ සහ ඔබේ පවුලේ අය යම් සැක සහිත තත්වයක සිටිනවා නම් කුමක් කළ හැකිද? ඔබට මේ සඳහා ගත හැකි ප්‍රායෝගික පියවර කිහිපයක් ඊළඟ ලිපියේ සාකච්ඡා කර තිබේ. ඒත් ඊට කලින්, අපට මේ කාරණය සම්බන්ධව සමබර ආකල්පයක් තිබෙනවාද නැද්ද කියා සලකා බැලීම නුවණට හුරුයි.

අපේ සෞඛ්‍යය හා සමානව ආහාරවල ආරක්ෂා සහිත බවත් සියයට සියයක්ම හොඳ තත්වයේ පවතීවියයි වර්තමානයේදී බලාපොරොත්තු විය නොහැකියි. නතූර් උන්ට් කොස්මොස් නම් ජර්මන් සඟරාවට අනුව ආහාර ඉතා ප්‍රවේසමෙන් තෝරන හා පිළියෙළ කරන අයටත් ඔවුන්ගේ ආහාරවල පෝෂ්‍ය ගුණය ගැන ස්ථිර වෙන්න බැහැ. එක් කෙනෙකුට හොඳ දෙයක් තවත් කෙනෙකුට හානියක් විය හැකියි. මේ සම්බන්ධයෙන් අන්තයටම නොයා සමබර ආකල්පයක් දැරීම ඥානවන්ත දෙයක් නොවෙයිද?

අද දියුණු තාක්ෂණය භාවිතා කරමින් පිළියෙළ කරන ආහාර ගත යුතුද නැද්ද කියා බයිබලයේ පවසන්නේ නැහැ. නමුත් මෙවැනි කාරණාවලදී අප තීරණ ගන්නා විට අප තුළ තිබිය යුතු ගුණාංගයක් ගැන බයිබලයේ පවසනවා. පිලිප්පි 4:5 [NW] පවසන්නේ “ඔබේ සාධාරණකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා” කියායි. සාධාරණකම අපට සමබර තීරණ ගැනීමට උපකාරවත් වන අතර අන්තවාදී ලෙස දේවල් දෙස බැලීමෙන් වළක්වයි. එමෙන්ම, සාධාරණකම නමැති ගුණාංගය යම් කාරණයක් සම්බන්ධව අන් අය තීරණයක් ගැනීමේදී ඔවුන්ට බලපෑම් කිරීමෙන් වැළකීමටද උපකාරවත් වෙයි. තව කෙනෙකුගේ මතය අපේ මත හා අදහස්වලට නොගැළපෙන අවස්ථාවලදී පවා වාද විවාද ඇති කර නොගැනීමට මෙම ගුණාංගය මහෝපකාරි වේ.

ආහාර සම්බන්ධයෙන් පවතින අවදානම් තත්වයන් බොහෝමයක් මතභේදවලට ලක් නොවන බව පිළිගත යුතුයි. මෙම අවදානම් තත්වයන් මොනවාද? තවද මේ සම්බන්ධයෙන් ගත හැකි ආරක්ෂක පියවර මොනවාද?

[පාදසටහන්වල]

a අප කෑමට ගන්නා දේ අපේ පෞද්ගලික තේරීමක්. ආහාර සකස් කිරීමට කුමන විදියේ තාක්ෂණයක් යොදාගත්තත් කෙනෙක් කෑමට ගත යුතු ආහාර නිර්දේශ කිරීම හෝ නොගත යුතු ආහාර ගැන අනතුරු ඇඟවීම පිබිදෙව්! සඟරාවේ අරමුණ නොවෙයි. මෙම ලිපියේ අරමුණ නම් බොහෝ අය දැනටමත් දන්නා යම් කරුණු ගැන දැන්වීමයි.

b කරුණාකර පිබිදෙව්! 2000 මැයි 8 කලාපය බලන්න.

[20වන පිටුවේ පින්තූරය]

ගවයන්ට දෙන හෝමෝන හා ප්‍රතිජීවක ඖෂධ පාරිභෝගිකයාට හානිකර ලෙස බලපායිද?

[22වන පිටුවේ පින්තූරය]

ආහාරවල ඇති ලේබලයේ සඳහන් දේ සුපරීක්ෂාකාරිව කියවීම නුවණට හුරුයි

[23වන පිටුවේ පින්තූරය]

නිතිපතා අලුත් ආහාර මිල දී ගැනීමේ වාසියක් තිබේ