Skip to content

පටුනට යන්න

ආහාර වඩාත් ආරක්ෂා කරගන්නා අන්දම

ආහාර වඩාත් ආරක්ෂා කරගන්නා අන්දම

ආහාර වඩාත් ආරක්ෂා කරගන්නා අන්දම

ආහාර ගැනීම අවදානම් සහිතද? සමහර සංඛ්‍යා ලේඛන දැකීමෙන් එම නිගමනයට එළඹීමට ඔබව පෙලඹවිය හැකියි. ජගත් සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව WHOහි යුරෝපීය කලාපයේ සෑම අවුරුද්දකම මිලියන 130ක් පමණ ආහාර නිසා ලෙඩ වන බව ගණන් බලා තිබෙනවා. එක්සත් රාජධානියේ පමණක් කෑම විෂවීම නිසා රෝගී වූ සංඛ්‍යාව 1,00,000ක් බවද එයින් මරණයට පත් වූ සංඛ්‍යාව 200ක් බවද 1998දී වාර්තා වුණා. එක්සත් ජනපදයේ සෑම වසරකම ආහාරවලින් රෝගාතුර වන සංඛ්‍යාව මිලියන 76ක් වන අතර, එයින් රෝහල්ගත වන සංඛ්‍යාව 3,25,000ක්ද මරණයට පත් වන සංඛ්‍යාව 5,000ක්ද බව වාර්තාවලින් පෙන්නුම් කෙරෙනවා.

මුළු ලෝකය පුරාම ආහාර නිසා රෝගී වන සංඛ්‍යාව හරියටම ගණනය කිරීම පහසු දෙයක් නොවෙයි. කෙසේනමුත් 1998දී පාචනයෙන් මියගිය සංඛ්‍යාව මිලියන 2.2ක් බවද එයින් මිලියන 1.8ක්ම දරුවන් බවද WHO වාර්තා කරයි. එම වාර්තාවේ පවසන ආකාරයට “බොහෝදුරට මෙම රෝගවලට බලපෑ හේතු දෙක නම් ආහාර හා පානීය ජලයයි.”

මෙම සංඛ්‍යා ලේඛන ඔබව කම්පනයට පත් කළ හැකි වුවත් ඔබ ගන්නා ආහාරවල ආරක්ෂාව ගැන අනවශ්‍ය බියක් ඇති කරගත යුතුද? නැහැ. තවත් උදාහරණයක් සලකා බලන්න. ඕස්ට්‍රේලියාවේ සෑම වසරකම ආහාරවලින් රෝගී වන සංඛ්‍යාව මිලියන 4.2ක් වෙනවා. එනම් සෑම දවසකම 11,500ක්! මෙය විශාල සංඛ්‍යාවක් ලෙස හැඟෙන්න පුළුවන්. නමුත් මේ ගැන මෙහෙම හිතන්න. ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් අවුරුද්දකට ආහාර වේල් බිලියන 20ක් අනුභව කරනවා. මෙයින් ජනයාව රෝගී කරවන්නේ ආහාර වේල්වලින් සියයට 1කිනුත් 50න් එකක් පමණයි. වෙනත් වචනවලින් කියනවා නම් මෙහි ඇති අවදානම ඉතා අල්පයි.

කෙසේනමුත් අවදානමක් තිබෙන නිසා එය සැලකිල්ලට ගත යුතුයි. ආහාරවලින් ලෙඩ වෙන්නේ මොන හේතු නිසාද? ඒවා අවම කරගත හැක්කේ කෙසේද?

ආහාරවලින් රෝග ඇතිවීමට හේතු

බෝවන රෝගවල පටන්ගැන්ම (සිංහලෙන් නොමැත) නමැති සඟරාවේ පෙන්නුම් කරන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් රෝග එනම් 200කට වැඩිය ආහාර මගින් පැතිරිය හැකි බවයි. නමුත් මෙම රෝග පතුරුවන රෝග කාරක එතරම් ප්‍රමාණයක් නැහැ. ආහාර පිළිබඳ තොරතුරු සපයන ජාත්‍යන්තර සේවය නමැති සංවිධානයේ ආහාර පිළිබඳව තොරතුරු ලබා දෙන නිලධාරියෙක් වන ආචාර්ය ඉයන් ස්වොඩ්ලිංට අනුව, ආහාරවලින් ඇති වන රෝගවලින් සීයට 90ක්ම පැතිරවීමට හේතු වන රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් සිටින්නේ වර්ග “24කටත් වඩා අඩු” ප්‍රමාණයක්. නමුත් මේ විවිධ රෝග කාරක වන වෛරස්, බැක්ටීරියා, පරපෝෂිතයන්, විෂ යනාදිය ආහාරවලට ඇතුල් වෙන්නේ කෙසේද?

ආචාර්ය ස්වොඩ්ලිං සාමාන්‍යයෙන් ආහාර විෂ විය හැකි ක්‍රම පහක් ගැන පැවසුවා. “අපිරිසිදු වූ අමු ආහාර වර්ග කෑමට ගැනීම. බෝවෙන රෝගයක් ඇති කෙනෙක් හෝ අසනීප කෙනෙක් ආහාර පිළියෙළ කිරීම. ආහාර නිසියාකාරව ගබඩා කිරීමට හැකියාවක් නොමැති වීම මෙන්ම අනුභව කිරීමට පැය ගණනාවකට කලින් ආහාර පිළියෙළ කිරීම. කෑම පිළියෙළ කිරීමේදී විෂ වූ ආහාරයක යුෂ තවත් ආහාරයක් සමඟ මිශ්‍රවීම. ප්‍රමාණවත් ලෙස පිස නොගැනීම හෝ අවශ්‍ය ප්‍රමාණයට ආහාර රත් කර නොගැනීම.” මෙම ලැයිස්තුව අපව කලකිරෙන තත්වයකට පත් කළත් එයින් අපට ප්‍රයෝජනවත් වන ප්‍රායෝගික උපදෙස් කිහිපයක් සපයනවා. ආහාරවලින් ඇති වන රෝග බොහෝමයක් අපට වළක්වාගත හැකියි. ඔබ ගන්නා ආහාරවල ආරක්ෂා සහිත බව රැකගැනීමට කළ හැකි දේ සම්බන්ධව නිශ්චය කරගැනීමට 24 සහ 25වෙනි පිටුවල ඇති කොටුවේ කරුණු සලකා බලන්න.

සමබර තේරීමක් කිරීම

ආහාර සම්බන්ධව අද පවතින අවදානම් තත්වය නිසා සමහර අය අලුත් ආහාර මිල දී ගෙන තමන්ම පිළියෙළ කර කෑමට ගැනීමට පුරුදු වී සිටිනවා. ඔබගේ තේරීමත් ඒක නම් ඔබගේ ප්‍රදේශයේ සකස් නොකළ අලුත් ආහාර ලබාගත හැකි වෙළඳපොළවල් හා වෙළඳ සංකීර්ණ ගැන සොයා දැනගන්න. පාරිභෝගිකයාට උපකාරවත් වන තොරතුරු ඇති පොතක සඳහන් වෙන්නේ මෙලෙසයි. “[අලුත් නිෂ්පාදන වෙළඳාම් කරන] සතිපතා පැවැත්වෙන වෙළඳපොළවල්වලට හෝ ආහාර නිපදවන ස්ථානවලට ගොස් නිෂ්පාදකයන් සමඟ යම්කිසි සම්බන්ධතාවයක් තබාගැනීමට බොහෝ පාරිභෝගිකයන් කැමතියි. එමගින් ආහාර නිෂ්පාදනය කළ අලුතම ලබාගැනීමට හැකි වෙනවා වගේම ඒවා නිෂ්පාදනය කළ ආකාරයත් ඒවා ලබාගත්තේ කොහෙන්ද කියාත් හොඳින් පරීක්ෂා කර බැලීමට හැකි වෙනවා.” මෙම පුරුද්ද විශේෂයෙන්ම මස් වර්ග මිල දී ගැනීමේදී ප්‍රයෝජනවත් විය හැකියි.

මේ හා සමානව යම් ආහාර වර්ග වැඩිපුර තිබෙන වාරයක මිල දී ගැනීම මගින් ඔබට නැවුම් හා සෞඛ්‍යයට හිතකර ආහාර රස බැලීමට පුළුවන්. නමුත් ඔබ එවැනි ක්‍රමයකට පුරුදු වී සිටිනවා නම් අවුරුද්ද පුරාම පලතුරු හා එළවළු වර්ග රස බැලීමේ ප්‍රස්තාව ඔබට සීමා විය හැකියි.

කාබනික (ස්වාභාවික ද්‍රව්‍ය පමණක් යොදා නිපදවන) ආහාරවලට පුරුදු විය යුතුද? එය පෞද්ගලික තේරීමක්. මෙම ආහාරවලට බොහෝ ප්‍රිය කිරීමට හේතුව වන්නේ නවීන තාක්ෂණය යොදාගනිමින් නිපදවන ආහාර ගැන විශ්වාසයක් නොමැති වීමයි. කෙසේවෙතත් කාබනික ගොවිපොළවල ආහාර සැමවිටම ආරක්ෂා සහිත බව සැමෝම පිළිගන්නේ නැහැ.

කෑම සම්බන්ධව ඔබගේ තේරීම කුමක් වුවත් එය කල්පනාකාරිව තෝරාගන්න. ඩේ ටෙසිට් නම් ප්‍රවෘත්ති පත්‍රයේ එක් ප්‍රවීණ කාන්තාවක් පැවසූ දේ මෙසේ උපුටා දක්වා තිබුණා. “ආහාර මිල දී ගනිද්දී අද පාරිභෝගිකයා පුරුදු වී සිටින්නේ මිල ගැන පමණක් සැලකිලිමත් වීමටයි.” තමාගේ ආර්ථිකය ගැන කල්පනාකාරි වීම ප්‍රශංසනීයයි. නමුත් එම ආහාරවල අඩංගු දේ ගැන දැනගැනීම සඳහා ලේබලය කියවීම කෙරෙහිත් අවධානය යොමු කරන්න. බටහිර රටවල්වල ජනයාගෙන් අඩක් පමණ ආහාර මිල දී ගැනීමේදී එම ලේබලයේ සඳහන් වී ඇති පෝෂ්‍ය ගුණය හා සම්බන්ධ තොරතුරු කියවා බැලීමට උනන්දු නොවන බව ගණන් බැලීමකදී හෙළි වුණා. පිළිගත යුතු කාරණය නම් සමහර රටවල්වල ලේබල්වලින් පැහැදිලි හා සම්පූර්ණ විස්තරයක් ලබා නොදීමයි. කෙසේවෙතත් ඔබට ආරක්ෂා සහිත ආහාර අවශ්‍ය නම් ආහාර ඇසුරුම්වල සඳහන් දේ හොඳින් කියවා බලන්න.

ඔබ කෑමට ගන්නා ආහාර ගැන කුමන ආකාරයේ තීරණයක් ගත්තත්, සමහර අවස්ථාවලදී ඔබ ජීවත් වන රට අනුව නම්‍යශීලී වීමට සිදු විය හැකියි. වර්තමානයේ ජීවත් වන අයට තම ආහාර සියයට සියයක්ම ආරක්ෂා සහිතයි කියා සහතික කරගැනීමට කොහෙත්ම බැහැ. එය මිල අධික, ඕනෑවට වඩා කාලය වැය වෙන දුෂ්කර කාර්යයක්.

මෙයින් අදහස් වන්නේ අද ලෝකයේ තිබෙන සෑම දෙයක් කෙරෙහිම සර්ව අශුභවාදී ආකල්පයක් දැරිය යුතුයි කියාද? නැහැ, එයයි යථාර්ථය. කොහොම වුණත්, මේ සියලු දේ ඉක්මනින්ම යහපත් අතට වෙනස් වෙන බව දැනගැනීම ප්‍රීතිමත් ආරංචියක්.

[24, 25වන පිටුවේ කොටුව⁄පින්තූර]

ඔබට ගත හැකි පියවර

සෝදන්න. ඕනෑම කෑමක් පිළියෙළ කිරීමට පෙර සබන් මිශ්‍ර උණුසුම් වතුරෙන් අත සෝදන්න. වැසිකිළිය පාවිච්චි කළ පසුවත්, දරුවෙකු පිරිසිදු කිරීමෙන් පසුවත් (නහය පිරිසිදු කිරීම හෝ නැපිය මාරු කිරීම), සතුන්ව ඇල්ලීමෙන් අනතුරුවත් හොඳින් අත සෝදන්න. ඕනෑම කෑමක් පිළියෙළ කිරීමෙන් පසු එම භාජනද, කැපීමට භාවිතා කළ ලෑලිද, මේසයද සබන් මිශ්‍ර උණුසුම් වතුරෙන් සෝදාහරින්න. මස් වර්ග හා කකුළුවෝ, ඉස්සෝ, මාළු වැනි දෑ පිළියෙළ කිරීමෙන් පසුව මෙය විශේෂයෙන්ම කළ යුතුයි. ටෙස්ට් සඟරාවේ දෙන යෝජනාව නම් පළිබෝධ නාශක හා කෘමීන් ඉවත් කරගැනීමට “පලතුරු හා එළවළු මද රස්නේ වතුරෙන් සේදිය යුතු” බවයි. ආහාර වර්ග පිරිසිදු කිරීමේ තවත් හොඳ ක්‍රමයක් වන්නේ හම ගැළවීම, පොතු හැරීම හා තැම්බීමයි. ඒ වගේම සලාද කොළ හා ගෝවා පිරිසිදු කිරීමේදී පිටතින් ඇති කොළ ගළවා ඉවත දමන්න.

◼ හොඳින් පිසගන්න. සියලුම පරපෝෂිතයන්, වෛරස් හා බැක්ටීරියා විනාශ කිරීමට නම් ආහාර හොඳින් පිසගත යුතුයි. ආහාරයේ පිටතින් පමණක් නොව නමුත් එහි මැද පවා ෆැරන්හයිට් අංශක 160කට වඩා වැඩි උෂ්ණත්වයකින් පිසගැනීම අවශ්‍යයි. කුකුල් මස් ෆැරන්හයිට් අංශක 180ක උෂ්ණත්වයෙන් පිසීම යෝග්‍යයි. කලින් පිසින ලද කෑමක් නැවත රත් කිරීමේදී එය ෆැරන්හයිට් අංශක 165ක් දක්වා රත් කරගැනීම සුදුසුයි. බාගෙට තැම්බූ කුකුල් මස් (ඇතුලත රෝස පාටට දිස් වෙයි නම්), බාගෙට තැම්බූ බිත්තර (සුදු මදය හෝ කහ මදයේ දියාරු ගතිය පවතී නම්) හෝ ඇතුලතින් තැම්බී නැති මාළු (ගෑරුප්පුවෙන් කඩා වෙන් කළ නොහැකි නම්) කෑමට ගැනීම නුසුදුසුයි.

කෑම වෙන් කර තබන්න. මස් වර්ග හා මාළු මිල දී ගැනීමේදී, පිළියෙළ කිරීමේදී හා ශීතකරණයේ අසුරන විට නිතරම අනික් ආහාරවලින් වෙන් කර තබන්න. මෙම ආහාරවල ඉස්ම එකිනෙක සමඟ හෝ අනෙක් ආහාර සමඟ මිශ්‍රවීම වළක්වන්න. අමු මස් හෝ මාළු තිබුණු භාජනයකට පිසින ලද ආහාර දමන්න එපා. එසේ කළ යුතු නම් එම භාජනය හොඳින් සබන් මිශ්‍ර උණුසුම් වතුරෙන් සෝදන්න.

◼ නිසි ආකාරයෙන් සීත කරන්න. ගබඩා කරන්න. ශීතකරණය බැක්ටීරියා ඇතිවීම වළක්වයි. නමුත් එසේ වෙන්නේ එහි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 40ක්ව තිබුණොත් පමණයි. තවද අධිශීතකරණය ෆැරන්හයිට් අංශක බින්දුවේ තිබිය යුතුයි. නරක් වූ ආහාර පැය දෙකක් ඇතුළත ඉවතලන්න. මැස්සන්ගෙන් ආහාර ආරක්ෂා කරගැනීම සඳහා, මේසෙට බෙදූ සියලුම කෑම අනුභව කරන තුරු වසා තබන්න.

◼ නිවසින් පිටතදී කෑම ගන්නා විට ප්‍රවේසම් වන්න. සංවර්ධනය වූ සමහර රටවල ආහාරවලින් ඇති වන රෝග සීයට 60ත් 80ත් අතර ප්‍රමාණයකට හේතු වන්නේ, නිවසින් පිටතදී පිසින ලද හෝ මිල දී ගත් ආහාර කෑමට ගැනීම බව ගණනය කර තිබේ. ආපන ශාලාවලින් ආහාර ගන්නා විට ඒවා ඔබේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා වන පරිදි ප්‍රමිතියකට අනුව සකස් කර තිබේදැයි සොයා බලන්න. ප්‍රමාණවත් ලෙස පිසින ලද මස් ඇණවුම් කරන්න. ආහාර එළිමහනට ගෙන ගිහින් කන අවස්ථාවලදී පැය දෙකක් ඇතුළත එම ආහාර අනුභව කරන්න. ඊට වඩා කාලය ගත වනවා නම් නැවත එම ආහාර ෆැරන්හයිට් අංශක 165ක උෂ්ණත්වයෙන් රත් කරගන්න.

සැක සහිත ආහාර ඉවතලන්න. ඔබට යම් ආහාරයක් අලුත්ද නැත්නම් නරක් වී ඇත්ද යන්න ගැන සැක නම් එය ඉවතලන්න. එය ගත හැකි ආරක්ෂා සහිත පියවරයි. ආහාර නාස්ති කිරීම නුවණට හුරු නැති නමුත් නරක් වූ කෑම අනුභව කිරීම නිසා ලෙඩවීම ඊටත් වඩා වියදම් දැරිය යුතු යමක්.

[හිමිකම් විස්තර]

මෙම ලිපිය මූලිකවම සකස් කර තිබෙන්නේ, එක්සත් ජනපදයේ ආරක්ෂා සහිත ආහාර සඳහා තාක්ෂණය යොදාගැනීම පිළිබඳ මණ්ඩලය විසින් නිකුත් කරන ලද වාර්තාවක [Food Safety Tips] තොරතුරු ආශ්‍රිතවයි.