Skip to content

පටුනට යන්න

එංගලන්ත සභාව භේද වූ සභාවක්

එංගලන්ත සභාව භේද වූ සභාවක්

එංගලන්ත සභාව භේද වූ සභාවක්

මහ බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! ලේඛක විසින්

එංගලන්ත සභාව විසින් 13වන වතාවටත් පවත්වන ලද ලැම්බෙත් සමුළුව 1998දී කැන්ටබරිහිදී පවත්වනු ලැබුවේ එහි පිහිටි අවුරුදු 900ක් පැරණි ආසන දෙව්මැදුර අසලය. බිෂොප්වරයෙකු වන විලියම් ඊ. ස්විං සමුළුව අමතමින් මෙම සුවිශේෂ ප්‍රකාශය කළේය. “ආගම ගැටලුවලට මුල වීම නතර කර දමා විසඳුම වීමට පටන්ගත යුතුයි. ආගම් අතර සාමයක් නැත්නම් ජාතීන් අතර කවදාවත් සාමයක් ඇති වෙන්නේ නැහැ.”

ආගම් අතර මෙන්ම එකම ආගමේ පූජකයන් හා එහි සාමාජිකයන් අතර පවතින භේද අද කාටත් රහසක් නොවේ. වර්ෂ 1948 සිට වසර දහයකට වරක් පවත්වනු ලබන ඉහත සඳහන් කළ සමුළුවට නොපැමිණීමට එක් බිෂොප්වරයෙක් තීරණය කළේය. ඊට හේතුව වූයේ බිෂොප්වරියන් එයට පැමිණීමයි. එයට පැමිණ සිටි අනෙකුත් බිෂොප්වරුද මේ ස්ත්‍රීන් සමඟ බයිබලය ගැන පැවැත්වූ සාකච්ඡාවලට හවුල් වීමට විරෝධය පළ කළහ.

වර්ෂ 1988 පවත්වන ලද සමුළුවේදී මතභේදයට ලක් වූ ප්‍රධානතම කාරණය වූයේ ස්ත්‍රීන්ව පූජක තනතුරුවලට පත් කිරීමයි. එහෙත් 1998දී ප්‍රධාන වශයෙන් මතභේදයට ලක් වූයේ සමලිංගික සේවනයයි. අවසානයේදී, බිෂොප්වරු සමලිංගික සේවනය “ශුද්ධ ලියවිල්ලට පටහැනි” බවට එකඟ වූහ. මෙසේ එකඟ වීමට හේතු වූයේ කුමක්ද?

එක් හේතුවක් විය හැක්කේ රෝමානු කතෝලික සභාව සමඟ තිබෙන තමන්ගේ සබඳතාව ශක්තිමත් කරගැනීමට එංගලන්ත සභාවට තිබූ දැඩි වුවමනාවයි. පූජක පක්ෂය අතර සමලිංගික සේවනය අනුමත කිරීමට පක්ෂව තමන් දිගටම කතා කළහොත් කතෝලික සභාව සහ තම සභාව අතර දිගටම සාකච්ඡා පවත්වාගෙන යෑමට නොහැකි බවද එංගලන්ත සභාව තේරුම්ගෙන තිබිණ. ඉස්ලාම් ආගමට තිබෙන බියද ඉහත සඳහන් තීරණය ගැනීමට හේතු වූ බව පෙනෙන්න තිබේ. පූජකයන් අතර සිදු කෙරෙන සමලිංගික සේවනයට එකඟත්වය පළ කරන සම්මුතියකට එළඹුණා නම්, අප්‍රිකානු රටක බිෂොප්වරයෙකු පැවසූ ලෙස එහි ප්‍රතිඵලය වනු ඇත්තේ ඉස්ලාම් ආගම අදහන රටවල “කිතු දහම වැළලී යෑමයි.”

ඉහත සඳහන් කළ සමුළුවේදී මතභේදයට ලක් වූ තවත් විෂයක් ගැන ද සන්ඩේ ටෙලිග්‍රාෆ් නමැති පුවත්පතේ මෙසේ වාර්තා විය. “අප්‍රිකාවේ ඇතැම් රටවල ධර්මදූත මෙහෙවර හා සම්බන්ධ ප්‍රධානතම ගැටලුව වන්නේ බහුභාර්යා සේවනයයි.” අප්‍රිකාවේ එංගලන්ත සභාව මුහුණ පා සිටින උභතෝකෝටික ප්‍රශ්නය ගැන අවධානය යොමු කරමින් බිෂොප්වරයෙක් මෙසේ පැවසුවේය. “යම් කෙනෙක් විශාල මුදලක් සභාවට පරිත්‍යාග කළත්, එම තැනැත්තාට භාර්යාවන් එක්කෙනෙකුට වඩා සිටිනවා නම් බිෂොප්වරුන් ගනු ලබන පියවර කුමක් වනු ඇද්ද?” ලන්ඩනයේ පළ කෙරෙන ද ටයිම්ස් නමැති පුවත්පත සමුළුවේ පැවති මතභේදයේ ප්‍රතිඵලය ගැන කල් තියා මෙසේ අදහස් දැක්වීය. “එංගලන්ත සභාවේ බිෂොප්වරුන් බහුභාර්යා සේවනය ගැන කතා නොකර සිටිනු ඇත.”

මුල් වතාවට එංගලන්ත සභාවේ බිෂොප්වරුන් ඉස්ලාම් ආගම සමඟ තිබෙන තමන්ගේ සබඳතාව ගැන සාකච්ඡා කළේ මේ සමුළුවේදීය. “නයිජීරියාවේ ක්‍රිස්තියානීන් හා මුස්ලිම්වරුන් අතර බද්ධ වෛරයක් පවතී” කියා නයිජීරියාවේ කඩූනාහි බිෂොප්වරයා සඳහන් කළේය. ඔහුගේ රටේ පවතින ආගමික සටන් නිසා 10,000කට වඩා වැඩි පිරිසක් මිය ගොස් සිටිති. අප්‍රිකාවේ ශුද්ධ යුද්ධයක් ඇතිවීම වළක්වාගත හැක්කේ ඉස්ලාම් ධර්මය ගැන හොඳ අවබෝධයක් ඇති කිරීමෙන් පමණයි කියා එහිදී පවසන ලදි.

ලොව පුරා සිටින එංගලන්ත සභාවේ සාමාජිකයන් දශලක්ෂ 70දෙනාගේ (මෙම සංඛ්‍යාව විවාදයට ලක් වී ඇත) අනාගතය කුමක් වනු ඇද්ද? a එම සමුළුවේ පැවති තත්වය දිරිගන්වනසුලු එකක් නොවූ බව ද ටයිම්ස් පුවත්පතේ පළ වූ මෙම වාර්තාවෙන් පැහැදිලි වේ. “ඇතැම් අවස්ථාවලදී එම සමුළුවේ දක්නට තිබුණේ ක්‍රිස්තියානි පල්ලියක යාච්ඤා කරන විට තිබෙන තත්වයක් නොව, දේශපාලනික පක්ෂයක සාමාජිකයන් එකතු වන අවස්ථාවකදී පවතිනවා හා සමාන තත්වයකි. මේ සමුළුවට පැමිණි නිරීක්ෂකයෝ හා ඊට සහභාගි වූ අය එහි පැවති තත්වය ගැන පුදුම වූහ.”

‘එම රැස්වීමේ කැපීපෙනුණු මූලික ලක්ෂණය වූයේ බද්ධ වෛරය හා අමනාපයයි’ කියා ද සන්ඩේ ටයිම්ස් පුවත්පත නිගමනය කර තිබීම ගැන පුදුම විය නැත.

[පාදසටහන]

a දශලක්ෂ 70ක් කියා පවසන විට එය “විශාල පිරිසක් ලෙස පෙනෙයි.” එහෙත් “ඇත්තටම එංගලන්තයේ වෙසෙන එංගලන්ත සභා සාමාජිකයන් ගණන දශලක්ෂ 26ක් බව සඳහන් කරන්නේ කලාතුරකින්” කියා ද ටයිම්ස් පුවත්පතේ සඳහන් විය. “මෙහෙ [බ්‍රිතාන්‍යයේ] තිබෙන පල්ලිවලට යන්නේ දශලක්ෂයකට ආසන්න පිරිසක් පමණයි. සෙසු අය එංගලන්ත සභාවේ සිටින්නේ නමට පමණයි.”

[18වන පිටුවේ පින්තූරය]

අවුරුදු 900ක් පැරණි කැන්ටබරියේ පිහිටි ආසන දෙව් මැදුර