ඔබගේ ආහාර කොතරම් ආරක්ෂා සහිතද?
ඔබගේ ආහාර කොතරම් ආරක්ෂා සහිතද?
ඔබ දවසට කෑම වේල් තුනක් කනවාද? එසේනම් ඔබට අවුරුදු 70ක් වන විට ඔබ කෑම වේල් 75,000ක් අනුභව කර තිබේවි. මෙය යුරෝපීය කෙනෙකුගේ කෑම වේල් නම් වෙනත් ආහාර සමඟ එයට බිත්තර 10,000ක්, පාන් ගෙඩි 5,000ක්, අර්තාපල් ගෝනි 100ක්, හරක් තුන්දෙනෙක් හා බැටළුවෝ දෙන්නෙක් ඇතුළත් වෙයි. මේ තරම් කෑම කන එක අපිට කරදරයක්ද? කොහෙත්ම නැහැ. ආහාර පිසීමට උගන්වන එක් පාසැලක සූපශාස්ත්‍ර ශිල්පිනියක් පැවසුවේ මෙයයි. “ජීවිතයේ වඩාත්ම වැදගත් දෙය නම් කෑමයි.”
අප ගන්නා ආහාර ආරක්ෂා සහිතයි, එමෙන්ම පෝෂ්‍යදායකයි කියා සිතීමට අප නැඹුරු විය හැකියි. එනමුත් අප අනුභව කරන ආහාර වේල් 75,000න් එක වේලක හෝ කෑමක් විෂ වුණා නම් අපට ඉතා තදබල අසනීපවලට මුහුණ පෑමට සිදු වෙනවා. අප ගන්නා ආහාර ආරක්ෂා සහිත බව ස්ථිර විය හැකිද? අද බොහෝදෙනෙකුට ඒ සම්බන්ධව සැක මතු වී තිබෙනවා. සමහර රටවල්වල ආහාර ආරක්ෂා සහිතද කියා සොයා බැලීමට මහත් පරිශ්‍රමයක් දරයි. එයට හේතුව කුමක්ද?
පරිශ්‍රමයක් දැරීමට හේතුව
සෑම අවුරුද්දකදීම යුරෝපයේ ජනගහනයෙන් සීයට 15ක් රෝගාතුර වන්නේ තමන් ගන්නා ආහාර නිසයි. උදාහරණයකට 1980 ගණන්වල මුල් භාගයේදී ස්පාඤ්ඤයේ විෂ වූ තෙල් භාවිතා කිරීම නිසා 1,000ක් මියගිය අතර තවත් 20,000ක් දරුණු ලෙස අසනීප වුණා. බෙල්ජියමේ ජනයාව 1999දී බියට පත් කළ ආරංචිය නම් ඩයොක්සින් නම් ද්‍රව්‍යයකින් බිත්තර, මස් (තාරාවන්, කුකුල්ලු) හා චීස්, බටර් වැනි ආහාර විෂ වී ඇති බවයි. මෑතකදී බ්‍රිතාන්‍යයේ පරිභෝජකයන්ව කම්පනයට පත් කරවමින් මස් වෙළඳාම ඇණහිටුණි. මෙයට හේතුව ගවයන්ට බොවින් ස්පෝන්ජීෆේම් එන්සෙෆලපති (පිස්සු ගව රෝගය) වැළඳීමයි. තවදුරටත්, කුර සහ මුඛ රෝග පැතිරීම නිසා මිලියන ගණන් ගවයන්, බැටළුවන්, ඌරන් හා එළුවන් මරා දමන්න සිදු වුණා.
මෙවැනි අවදානම් තත්වයන් භයානකයි. කෙසේ නමුත් ආහාර සම්බන්ධ කාරණයේදී ජනයා කලබල කරවන තවත් හේතුකාරකද තිබෙනවා. ඒවා නම් නවීන තාක්ෂණය යොදාගනිමින් බෝග වගා කිරීම හා ආහාර සකස් කිරීමයි. වර්ෂ 1998දී යුරෝපා කොමිසම කියා සිටියේ “ආහාර විකිරණවලට නිරාවරණය කිරීම හා ජාන ඉන්ජිනේරු විද්‍යාව වැනි නවීන, නුපුරුදු තාක්ෂණික ක්‍රම යොදාගැනීම නිසා විවිධ මතභේද ඇති වී තිබෙනවා” කියායි. නවීන තාක්ෂණික ක්‍රම යොදාගැනීමෙන් අපේ ආහාරවල ගුණාත්මකභාවය වැඩි වී තිබෙනවාද එසේත් නැතහොත් එය විනාශ වී තිබෙනවාද? අපි ගන්නා ආහාර ආරක්ෂා සහිත බව තහවුරු කරගැනීමට ගත හැකි පියවර මොනවාද?