Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානීන් අලුත් අවුරුදු උත්සවවලට සහභාගි විය යුතුද?

ක්‍රිස්තියානීන් අලුත් අවුරුදු උත්සවවලට සහභාගි විය යුතුද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

ක්‍රිස්තියානීන් අලුත් අවුරුදු උත්සවවලට සහභාගි විය යුතුද?

“අලුත් අවුරුද්ද උදාවීමට කලින් දවසේ දහවල් භාගයේ තිබෙන්නේ බොහොම සන්සුන් වාතාවරණයක්. හැබැයි රාත්‍රි 11 වන විට එක දිගට රෝගීන් ගලා එන්න පටන්ගන්නවා. ඔවුන්ගේ සිරුරුවල දකින්න තියෙන්නේ පිහි පහරවල් හෝ වෙඩි පහරවල්. රිය අනතුරුවලින් තුවාල ලැබූ තරුණයන් හා ස්වාමිපුරුෂයන්ගෙන් පහර කෑ භාර්යාවන්ද රෝගීන් අතර සිටිනවා. මේ හැම දේකටම පාහේ හේතුව මත්පැන්.” මෙම අදහස් පළ කළේ බ්‍රසීලයේ ෆැනැන්ඩූ නම් වෛද්‍යවරයායි.

මේ දේවල් සලකා බලද්දී, අවුරුද්දේ පළමු දවස ලොව පුරා බීමත්කමේ විපාක අද්දකින දවස ලෙස බ්‍රසීලියානු සඟරාවක හඳුන්වා තිබීම ගැන පුදුම විය යුතු නැත. “අලුත් අවුරුද්ද හා සුඛපරමවාදය අතර සමීප සම්බන්ධයක් තිබෙනවා” කියා යුරෝපයේ පුවත් ආයතනයක් සඳහන් කරයි. එම දවස “මිනිසා හා මත්පැන් අතර සදා පවතින සටනේ තවත් එක් අවස්ථාවකි” කියා එය තවදුරටත් සඳහන් කරයි.

සෑම කෙනෙක්ම අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් හා ප්‍රචණ්ඩකාරි දේවල් කිරීමෙන් අලුත් අවුරුද්ද සමරන්නේ නැති බව සැබෑවකි. ඇත්තෙන්ම, බොහෝදෙනෙකුට අලුත් අවුරුද්ද ගැන තිබෙන්නේ අමතක නොවන අද්දැකීම්. “අපි පුංචි කාලේ අලුත් අවුරුද්ද එනකං බලං හිටියේ නොඉවසිල්ලෙන්. එදා දවසේ විවිධ ක්‍රීඩාවල් කළා. එක එක ජාතියේ ආහාර පානද තිබුණා. මධ්‍යම රාත්‍රියේදී අපි එකිනෙකාව වැලඳගනිමින් හා සිපගනිමින් ‘ශුභ අලුත් අවුරුද්දක් වේවා!’ කියලා ප්‍රාර්ථනා කළා” කියා මේ ලිපිය ආරම්භයේ අදහස් පළ කළ ෆැනැන්ඩූ පැවසුවේය.

අලුත් අවුරුදු උත්සවය පැවැත්වීමේදී තමන් අන්තයටම යන්නේ නැහැ කියා බොහෝදෙනෙක් සිතති. එහෙත් මෙම ජනප්‍රිය උත්සවයේ මූලාරම්භය හා සැබෑ අරුත ක්‍රිස්තියානීන් පරීක්ෂා කර බැලිය යුතුය. අලුත් අවුරුදු උත්සවය බයිබල් ඉගැන්වීම්වලට පටහැනිද?

අතීතය හෙළි කරන දෑ

අලුත් අවුරුද්ද හා බැඳි උත්සව මෑතකදී ඇති වූ ඒවා නොවේ. පුරාණ ලේඛනවලින් පැහැදිලි වන්නේ අලුත් අවුරුදු උත්සව පො.යු.පෙ. තුන්වන සහස්‍රය තරම් ඈත අතීතයේ බබිලෝනියේදී පවත්වා තිබෙන බවයි. මාර්තු මැද භාගයේදී පවත්වනු ලැබූ අලුත් අවුරුදු උත්සවය තීරණාත්මක එකක් විය. “මාර්ඩුක් නම් දෙවියා විසින් නව වසරේ රටේ අනාගතය තීරණය කරන ලද්දේ ඒ අවස්ථාවේදී” කියා ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියාහි සඳහන් වේ. බබිලෝනිවරුන් දවස් 11ක් පුරා අලුත් අවුරුදු උත්සවය පැවැත්වූ අතර ඊට පූජා, පෙරහැරවල් හා සශ්‍රීකත්වය හා බැඳි චාරිත්‍ර වාරිත්‍රද ඇතුළත් විය.

රෝමවරුන්ද කලක් ඔවුන්ගේ අවුරුද්ද පටන්ගත්තේ මාර්තු මාසයේදීය. එහෙත් අවුරුද්ද පටන්ගත යුත්තේ ජනවාරි 1වනදා බවට පො.යු.පෙ. 46දී ජූලියස් සීසර් අධිරාජ්‍යයා නියෝග කළේය. ඒ වන විටත් එම දවස ජේනස් නම් දෙවියාට කැප කර තිබිණ. යම් දෙයක් කිරීමට පළමුවෙන් සිහි කරන දෙවියා ලෙස මොහුව සැලකේ. රෝම වසරේ පළමු දවස සැමරීමද එදිනට යොදාගැනිණ. දිනය වෙනස් වුවත්, කලින් සිට පැවතෙන උත්සවශ්‍රීය එලෙසම පැවතිණ. ම’ක්ලින්ටොක් සහ ස්ට්‍රෝංගේ සයික්ලොපීඩියාහි මෙසේ සඳහන් වේ. ජනවාරි පළමුවනදා මිනිස්සු “පාලනයකින් තොරව නොයෙක් දේවල නිරත වූහ. එමෙන්ම භූතාත්ම හා සම්බන්ධ විවිධ මිථ්‍යා දෘෂ්ටික දේවල්ද කළෝය.”

අදදින පවා භූතාත්ම හා බැඳි නොයෙකුත් චාරිත්‍ර වාරිත්‍ර අලුත් අවුරුදු උත්සවවල දැකිය හැක. නිදසුනක් වශයෙන් දකුණු අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවල බොහෝදෙනෙක් අලුත් අවුරුද්ද උදා වෙද්දී දකුණු කකුලෙන් සිටගනිති. තවත් සමහරු හොරණෑ පිඹිති. රතිඤ්ඤා පත්තු කරති. චෙක් වැසියෝ අලුත් අවුරුද්ද උදා වෙද්දී පරිප්පු වර්ගයකින් සාදනු ලබන සුප් වර්ගයක් පානය කරති. ස්ලෝවැකියානු වැසියෝ චාරිත්‍රයක් වශයෙන් මේස රෙද්ද යට මුදල් හෝ මාළු කොරපොතු තබති. මෙම චාරිත්‍ර සිදු කිරීමේ අරමුණ වන්නේ අපල හෝ අවාසනාව පලවාහැර, සෞභාග්‍යය උදා කරගැනීමයි. එමෙන්ම අනාගතය තීරණය කෙරෙන්නේ වසරේ ආරම්භය සනිටුහන් කරන වේලාවේදී බවට පුරාණයේ සිට පැවතෙන මතය අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමද එම චාරිත්‍රවල අරමුණයි.

බයිබලයේ දෘෂ්ටිකෝණය

‘ඔබින ලෙස හැසිරෙමින් ක්‍රීඩා ඝෝෂාවලින් හා මධුපානෝත්සවවලින්’ වැළකී සිටින්න කියා ක්‍රිස්තියානීන්ට බයිබලයේ උපදෙස් දී තිබේ. a (රෝම 13:12-14, නව අනුවාදය; ගලාති 5:19-21; 1 පේතෘස් 4:3) බොහෝ අවස්ථාවලදී අලුත් අවුරුද්ද හා බැඳි උත්සවවල සීමාවකින් තොරව සිදු වන දේවල් බයිබලය හෙළා දකින නිසා ක්‍රිස්තියානීන් එවැනි දේවල හවුල් නොවේ. ක්‍රිස්තියානීන් ප්‍රීතිවීමට තිබෙන අවස්ථාවලට අකුල් හෙළන අය කියා එයින් අදහස් වන්නේ නැත. සැබෑ දෙවිට නමස්කාර කරන අයට ප්‍රීති වන්න කියා බයිබලයේ පුන පුනා ආරාධනා කර තිබෙන අතර, එසේ ප්‍රීතිවීමට හේතු බොහොමයක්ද ඇත. (ද්විතීය කථාව 26:10, 11; ගීතාවලිය 32:11; හිතෝපදේශ 5:15-19; දේශනාකාරයා 3:22; 11:9) බොහෝ අවස්ථාවලදී බයිබලයේ ප්‍රීතිය ගැන කතා කරන විට ආහාරපානාදිය ගැනද සඳහන් වේ.—ගීතාවලිය 104:15; දේශනාකාරයා 9:7අ.

කෙසේවෙතත්, අප තේරුම්ගත් පරිදි අලුත් අවුරුදු උත්සවවල මූලාරම්භය පදනම් වී තිබෙන්නේ මිථ්‍යා දෘෂ්ටික චාරිත්‍ර වාරිත්‍ර මතය. අපවිත්‍ර දෙයක් ලෙස සැලකෙන බොරු නමස්කාරය යෙහෝවා දෙවිගේ ඇස් හමුවෙහි පිළිකුල්සහගත දෙයකි. බොරු නමස්කාරය හා බැඳි මූලාරම්භයක් තිබෙන චාරිත්‍ර වාරිත්‍රවලින් ක්‍රිස්තියානීහු වැළකී සිටිති. (ද්විතීය කථාව 18:9-12; එසකියෙල් 22:3, 4) ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය. “ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමඟ ආලෝකයේ ඇති පංගුකාරකම මොකද? බෙලියෙල් සමඟ [ක්‍රිස්තුස්ගේ] ඇති එකමුතුකම මොකද?” හොඳ හේතු ඇතුව පාවුල් තවදුරටත් මෙසේ සඳහන් කළේය. “අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්න.”—2 කොරින්ති 6:14-17.

භූතවාදය හා සම්බන්ධ චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීමෙන් සතුට හා සෞභාග්‍යය නොලැබෙන බව ක්‍රිස්තියානීහු දනිති. ඒවාට හවුල් වීමෙන් දෙවිගේ අප්‍රසාදයට පාත්‍ර විය හැකි බවද ඔවුහු දනිති. (දේශනාකාරයා 9:11; යෙසායා 65:11, 12) එපමණක්ද නොව, තමන්ගේ හැසිරීමේදී සීමාව ඉක්මවා නොයමින් තමන්ව පාලනය කරගන්න කියා බයිබලයෙහි ක්‍රිස්තියානීන්ට උපදෙස් දී තිබේ. (1 තිමෝති 3:2, 11) තමන් කටයුතු කරන්නේ ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට එකඟවයි කියා පවසන කෙනෙකු සීමාව ඉක්මවා යන හා අසංවර දේවල් ඇතුළත් උත්සවයකට සහභාගි වීම සුදුසු දෙයක් නොවේ.

අලුත් අවුරුදු උත්සව කොතරම් චිත්තාකර්ෂණීය වුවත් බයිබලය අපට පවසන්නේ ‘අපවිත්‍ර දෙයකට අත නොගසා . . . මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපවම පවිත්‍ර කරගන්න’ කියාය. (අකුරු ඇල කළේ අපය.) යෙහෝවා එම උපදේශයට එකඟව කටයුතු කරන අයට ප්‍රීතිය උපදවන මෙම සහතිකය සපයයි. “මම නුඹලා පිළිගෙන, නුඹලාට පියෙක් වන්නෙමි. නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුය.” (2 කොරින්ති 6:17ආ-7:1) තමන්ට පක්ෂපාතව සිටින අයට සදාකාලික ආශීර්වාද හා සෞභාග්‍ය ලබා දෙන බවට යෙහෝවා පොරොන්දු වෙයි.—ගීතාවලිය 37:18, 28; එළිදරව් 21:3, 4, 7.

[පාදසටහන]

a පාවුල් ‘ක්‍රීඩා ඝෝෂා හා මධුපානෝත්සව’ ගැන සඳහන් කරද්දී, අලුත් අවුරුදු සමයේ පවත්වනු ලැබූ උත්සවද ඒවාට ඇතුළත් කරන්න ඇති. මන්ද පළමු සියවසේදී එම උත්සව රෝමයේ ජනප්‍රිය වී තිබිණ.