Skip to content

පටුනට යන්න

නන් දෙසින් දැක්වූ සහයෝගය සහ දයානුකම්පාව

නන් දෙසින් දැක්වූ සහයෝගය සහ දයානුකම්පාව

නන් දෙසින් දැක්වූ සහයෝගය සහ දයානුකම්පාව

එක්සත් ජනපදයේ වෙනත් ප්‍රදේශවලින්ද වෙනත් රටවලින්ද ස්වේච්ඡා සේවකයන් පැමිණියා. ඒ අතරින් කෙනෙකු වන 29 හැවිරිදි ස්වේච්ඡා සේවකයෙකු වන ටොම් (ඉහත පෙන්වා ඇත) කැනඩාවේ ඔටාවා නුවරින් පැමිණි ගිනි නිවන භටයෙක්. ඔහු පිබිදෙව්! සඟරාවට මෙසේ පැවසුවා. “මම ටීවී එකෙන් දැක්කා සිදු වුණු දේවල්. නියූ යෝක් නුවර මගේ සහෝදර ගිනි නිවන භටයන්ට අත හිත දෙන්න මට වුවමනා වුණා. මම සිකුරාදා නියූ යෝක් නුවරට මගේ වාහනයෙන් ඇවිත් සෙනසුරාදා මම ගියා ව්‍යසනයේ සුන්බුන් තිබූ තැනට, ඔවුන්ට මගේ සහයෝගය දෙන්න. බාල්දි සේනාංකය යනුවෙන් හැඳින්වෙන අංශයට මාව යොමු කළා. ඉතින් අපි කළේ වැටී තිබුණු සුන්බුන් බාල්දියෙන් බාල්දිය ඉවත් කරන එකයි.

“අපි සෙමින් සෙමින් සුන්බුන් ඉවත් කරන්නට වුණා. එක වරකට එක ෂවලය බැගින් ඉවත් කරමින්, වැටී යට වී සිටිය හැකි ගිනි නිවන භටයෙකුව හඳුනාගත හැකි යම් ලකුණක් තිබෙනවාදැයි පරීක්ෂා කර බලන්නට වුණා. අගුලු දාපු දොරවල් විවෘත කරන්නට පාවිච්චි කරන ලද හැලිගන් කියන ආවුදයක් සහ හෝස් පයිප්පයක පුරුකක් මට සම්බ වුණා. ඒක හරි පරෙස්සමින් කළ වැඩක්. එක ට්‍රක් රථයක් පුරවන්නට ස්වේච්ඡා සේවකයන් 50දෙනෙක් පමණ පැය දෙකක් විතර ඔට්ටු වුණා.

“සැප්තැම්බර් 17වෙනි සඳුදා අපට පුළුවන් වුණා, ඊට කලින් අඟහරුවාදා ජීවිත බේරාගැනීම සඳහා එම ගොඩනැඟිලි දෙසට දිව ගිය සමහරක් ගිනි නිවන භටයන්ගේ සිරුරු ඉවතට ගැනීමට. මට ඒ දර්ශනය කවදාවත් අමතක වෙන්නේ නැහැ. සියලු ජීවිතාරක්ෂක භටයන් මිය ගිය අපගේ සහාය සගයන්ගේ සිරුරු හමු වූ ඒ මොහොතේදී තමන් කළ වැඩය මදකට නවතා තමන් පැළඳ සිටි තොප්පියි හෙල්මටුයි ඉවත් කර අවසාන ගෞරව දුන්නා.

“සුන්බුන් වැටී තිබූ තැන දර්ශනය දෙස මම ඇසිපිය නොහෙළා බලාගෙන සිටියා. අදදින ජීවිතය කොතරම් ලේසියෙන් අනතුරට ලක් වෙන්න පුළුවන්ද කියලා මට පුදුම හිතුණා. එය මගේ ජීවිතය, මගේ රැකියාව සහ මගේ පවුල ගැන සිතන්න හේතුවක් වුණා. මගේ රැකියාවේදී කොච්චර අවදානමකට මුහුණ දෙන්න තිබුණත්, මගේ රැකියාව ඉතා විපාකදායකයි. මිනිසුන්ට උදව් කරන්නත් ඔවුන්ගේ ජීවිත බේරාගන්ටත් මට හැකියාව ලැබෙනවා.”

සාක්ෂිකරුවන්ගේ අත හිත පිහිට ලැබී

මේ ව්‍යසනය සිදු වුණු පළමු දවස් දෙක තුළ, 70දෙනෙක් පමණ ආරක්ෂාව පතා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයට ආවා. තමන් නැවතී සිටි හෝටල් කාමර සහ බඩුබාහිරාදිය අහිමි වූ අයට නැවතීමට ස්ථානද මාරු කරගැනීමට අවශ්‍ය ඇඳුම්ද ලබා දුන්නා. ඇතැමුන්ට ආහාර ලැබුණා. සමහරවිට වඩාත්ම වැදගත් දෙය වන මානසික සුවය අද්දැකීම් ලත් වැඩිමහල්ලන් විසින් ලබා දෙනු ලැබුවා.

ව්‍යසනය සිදු වූ භූමියේ වැඩ කරමින් සිටි සහන සේවකයන්ට අවශ්‍ය වූ හදිසි උපකරණ සහ වෙනත් සැපයුම්ද යෙහෝවාගේ සාක්ෂිකරුවන් යැව්වා. ව්‍යසන භූමියට ගිනි නිවන භටයන්ව රැගෙන ඒම සඳහා ගිනි නිවන දෙපාර්තමේන්තුවට ප්‍රවාහණ පහසුකම්ද ලබා දුන්නා. කසළ ශෝධකයන් සිය ගණනක් අතර, 39 හැවිරිදි සාක්ෂිකරුවෙකු වන රිකාඩෝද (දකුණේ ඉහළ) සිටියා. ඔවුන් දවස් පතා සුන්බුන් ටොන් ගණනක් ඉවත් කිරීමේ දිගටම නියැලුණා. ඔහු පිබිදෙව්! සඟරාවට පැවසුවේ මෙසේයි. “ඒ දර්ශනය නම් හුඟක් මානසිකව වේදනා ගෙන දුන් එකක්. ඒ තමයි විශේෂයෙන්ම ගිනි නිවන භටයන් තමන්ගේ නැති වූ සගයන්ව සොයමින් සිටි දර්ශනය. මම දැක්කා ඔවුන් ජීවතුන් අතර සිටි එක් ගිනි නිවන භටයෙක්ව එළියට අදිනවා. තවත් භටයෙක් මැරී සිටියේ උඩින් වැටුණු කෙනෙකුගේ සිරුරට යට වෙලා. ගිනි නිවන භටයන් බොහෝදෙනෙක් වැලපෙමින් සිටියා. දරාගන්නට බැරිව මමත් ඇඬුවා. එදා දවසේ, ඔවුන් තරම් කිසිකෙනෙක් ධෛර්යයෙන් වැඩ කළේ නැහැ.”

“කාලය සමඟ කලින් දැකිය නොහැකි සිදුවීම්”

මෙම ව්‍යසනයෙන් දහස් ගණනක් මිනිසුන් මිය ගියා. මේ අය අතර අඩු තරමින් සාක්ෂිකරුවන් 14දෙනෙක් පමණ සිටියා. ඔවුන් මේ සිද්ධිය සිදු වන විට ඒ අසල සිටි අය. ට්‍රිනිඩෑඩ්හි සිට පැමිණ තිබූ 65 හැවිරිදි ජොයිස් කමිංස් එදා ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල සිටි දන්ත වෛද්‍යවරයෙකුව හමුවීමට පැමිණ සිටියා. අභාග්‍යයකට, ඇය එහි ගියේ හරියටම මෙම ව්‍යසනය සිදු වූ වේලාවේදීමයි. පෙනෙන විදිහට ඇය දුම් වලාවකට කොටු වුණා. රෝහලට ගෙන ගියත් ඇයව බේරාගැනීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. ඇගේ ඒ කඳුළු කතාව, “කාලය සමඟ කලින් දැකිය නොහැකි සිදුවීම්වල” බලපෑමට හසු වූ අයගේ කතාවලින් එකක් පමණි. (දේශනාකාරයා 9:11, NW) ඉතා ජ්වලිතවත් එවැන්ජලිස්තවරියක් හැටියට ඇය ප්‍රසිද්ධියක් ඉසුලූ බව සැලයි.

කැල්වින් ඩෝසන් (කොටුව බලන්න) දකුණු කුලුනේ 84වෙනි මහලේ තැරැව්කරුවන්ගේ ආයතනයක සේවය කරමින් සිටි කෙනෙක්. ඔහු සිටියේ ඔහුගේ කාර්යාලයේ. ගුවන් යානයක් ඇවිත් උතුරු කුලුනේ වැදුණු විගසම වාගේ එම දර්ශනය පැහැදිලිව දැකගැනීමට ඔහුට හැකි වුණා. ඒ මොහොතේ කාර්යාලයෙන් පිටත සිටි ඔහුගේ ස්වාමියා, සිදු වුණේ කුමක්ද කියා දැනගැනීමට දුරකථනයෙන් ඇමතුවා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “කැල්වින් දැකපු දෙය මට කීමට ඔහු උත්සාහ කරමින් සිටියා. ‘මිනිස්සු එළියට පනිනවා!’ ඔහු කීවා. කාර්යාලයෙන් ඉවත් වන්න කියාත් අනෙක් අයවත් එළියට යවන්න කියාත් මම ඔහුට කීවා.” කැල්වින්ට බැරි වුණා තම දිවිය ගළවගන්න. ඔහුගේ ස්වාමියා තවදුරටත් මෙසේ කීවා. “කැල්වින් මහා පුදුමාකාර ගතිගුණ තිබුණු හොඳ මහත්මයෙක්. හැමෝම ඔහුව හුඟක් අගය කළා. ආගමට එතරම් ලැදි නොවන අපිත් ඔහුව හරියට අගය කළා. ඔහුගේ දේවභක්තියත් ඔහුගේ යටහත් පහත්කමත් අපි හුඟක් අගය කරනවා.”

මේ විපතට ගොදුරු වූ තවත් අයෙක් තමයි, නියූ යෝක් ගිනි නිවන දෙපාර්තමේන්තුවේ කපිතාන්වරයෙකු වූ ජේම්ස් අමාටෝ (කලින් පිටුවේ දකුණේ පහළ). ඔහු දරුවන් හතරදෙනෙකුගේ පියෙක්. ඔහු ගැන දැන සිටි අය කීවේ ඔහු බොහෝ ධෛර්යවන්ත පුද්ගලයෙකු බවයි. ඔහු කොතරම් ධෛර්යවන්තද කිවහොත් “ගිනි ගනිමින් තිබෙන ගොඩනැඟිල්ලකින් මිනිසුන් ඉවතට දුවනකොට ඔහු ඒ තුළ සිටින අයව බේරාගන්න ගොඩනැඟිල්ල තුළට දිව ගියා” කියා ඔවුන් පවසනවා. ඔහු මිය ගියායින් පසු ඔහුට එම දෙපාර්තමේන්තුවේ සේනාංක ප්‍රධානියෙකු ලෙස උසස් වීමක් ලැබුණා.

වසර හතක අද්දැකීම් ඇති ගිනි නිවන භටයෙකු වූ තවත් සාක්ෂිකරුවෙකු තමයි, ජෝර්ජ් ඩිපාස්කුවාලි. ඔහු විවාහ වී සිටියේ මෙලිසා සමඟ. ඔවුන්ට ජෝර්ජියා රෝස් නමැති වසර දෙකක දියණියක් සිටියා. ඔහු ස්ටැට්න් දූපතේ පිහිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවක වැඩිමහල්ලෙක්. ඔහුද දකුණු කුලුන කඩා වැටෙන විට සිටියේ එහි දහවෙනි මහලේ. ඔහුත් අනික් අයගේ ජීවිත ගළවාගැනීමට තැත් කරද්දී තම ජීවිතය පුද කළා.

මොවුන් වෙනත් අයව බේරාගැනීමට තම ජීවිත පරදුවට තබා ඉදිරිපත් වූ ගිනි නිවන භටයන්, පොලිස් නිලධාරීන් සහ ජීවිතාරක්ෂක භටයන් සිය ගණනකගෙන් දෙදෙනෙකු පමණයි. මේ ජීවිතාරක්ෂක භටයන්ගේ උදාර නිර්භීත සේවයේ වටිනාකම නම් කියා නිම කළ නොහැකියි. නියූ යෝක් නුවර නගරාධිපති වූ රූඩොල්ප් ජූලියානි, පසුව උසස් වීම් ලැබූ ගිනි නිවන භටයන් කණ්ඩායමකට මෙසේ පැවසුවා. “මේ මහා දුෂ්කර තත්වයන් මැද අභීතව නොසැලී ඉදිරියට ගොස් ඔබ කළ මේ මහා උදාර කර්තව්‍යය අප සියලුදෙනාටම මහත් ධෛර්යයක්, ශක්තියක්. . . . නියූ යෝක් නුවර ගිනි නිවන හමුදාව දැක්වූ නිර්භීතකම තරම් නිර්භීතකමේ ආදර්ශයක් මට නම් හිතාගන්න බැහැ.”

සැනසීම ගෙන දුන් දේවසේවයක්

මේ ව්‍යසනය අතරමැද සහ ඉන්පසුව, එක්සත් ජනපදවල වෙසෙන 9,00,000ක් පමණ වූ යෙහෝවාගේ සාක්ෂිකාර ප්‍රජාව තීරණය කළා, දුක් වෙමින් වැලපෙමින් සිටින අයව සැනසීම සඳහා ජාතික මට්ටමින් පුළුල් ව්‍යාපෘතියක් දියත් කිරීමට. මේ වැලපෙන අයව සැනසීමට ඔවුන්ව පෙලඹවූයේ අසල්වාසීන් සඳහා වූ ප්‍රේමයයි. (මතෙව් 22:39) ඔවුන් තම දේවසේවයේදී, කලකිරී සිටින මිනිස් සංහතියට එකම සැබෑ බලාපොරොත්තුව ගැන පැහැදිලි කිරීම සඳහා මහත් ප්‍රයත්නයක් ගත්තා.—2 පේතෘස් 3:13.

මහජනයා වෙතට එළඹෙද්දී සාක්ෂිකරුවන් මහත් දයානුකම්පාවක් පෙන්වූවා. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ ශුද්ධ ලියවිලිවලින් සැනසීම ගෙන දෙමින්, මෙසේ පැවසූ යේසුස්ගේ ප්‍රබෝධවත් ආදර්ශය අනුකරණය කිරීමයි. ‘වෙහෙස වෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි. මම මෘදුව සිතින් යටහත්ව සිටින බැවින්, මාගේ වියගහ ඔබ පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.’—මතෙව් 11:28-30.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ මැන්හැටන් සභාවල වැඩිමහල්ලන් කණ්ඩායමකට, ව්‍යසන භූමිය වෙතට ගොස් එහි වැඩ කරන ජීවිතාරක්ෂක භටයන්ට කතා කර ඔවුන්ව සැනසීමට අවස්ථාවක් දෙනු ලැබුවා. ලැබූ ප්‍රතිචාරය ඉතා හිතකරයි. මෙම දේවසේවකයන් මෙවැනි අදහස් කිහිපයක් පළ කළා. “අපි ඔවුන් සමඟ ශුද්ධ ලියවිලි පාඨ බෙදාගන්නා විට ඔවුන්ගේ ඇස්වලට කඳුළු ආවා.” මෙම ජීවිතාරක්ෂක භටයන් බෝට්ටු යාත්‍රාංගනයක බෝට්ටුවක් මත වාඩි වී සිටියා. “තමන් දැකපු දේවල් දරාගන්ට බැරුව මේ අයගේ මුහුණු අඳුරු වෙලා, ඔවුන්ගේ හිස් පාතට වැටී තිබුණා. අපි ඔවුන් සමඟ වාඩි වෙලා බයිබල් පද කිහිපයක් ඔවුන් එක්ක බෙදාගත්තා. අපි එහෙ ගියාට ඔවුන් අපිට නොසෑහෙන්න ස්තුති කළා. මේ සැනසීම ඔවුන්ට බොහෝ අවශ්‍යව තිබූ බව ඔවුන් අපට කිව්වා.”

ව්‍යසනයෙන් පසුව හමු වූ අයට කියවීමට මොනවා හරි වුවමනා වුණ නිසා විවරණිකා දහස් ගණනක් නොමිලේ ඔවුන්ට ලබා දුන්නා. මේවා අතර, ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට, යුද්ධයෙන් තොර ලොවක් කවදා හෝ පවතීද? (මෙය සිංහලෙන් නැත) එමෙන්ම ඇත්තටම දෙවි අප ගැන සලකන්නේද? යන විවරණිකා තිබුණා. “ත්‍රස්තවාදයේ නව මුහුණුවර” (2001 මැයි 22, සිංහලෙන් නැත) සහ “හදිසි මානසික කම්පනයකට පසුව ඇති වන පීඩනයට මුහුණ දීම” (2001 අගෝස්තු 22, සිංහලෙන් නැත) යන ලිපි ඇතුළත් පිබිදෙව්! සඟරා විශේෂයෙන් අවධානයට ලක් කෙරුණා. බොහෝ අවස්ථාවලදී සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන පැහැදිලි කළා. (යොහන් 5:28, 29; ක්‍රියා 24:15) මෙම සැනසීමේ පණිවුඩය මිලියන ගණනකට අසන්න ලැබෙන්න ඇති.

මේ ගැන අපිද සිතා බැලිය යුතුයි

නියූ යෝක් නුවර වූ මේ ව්‍යසනය වැනි විපත්, අප අපේ ජීවිත ගමනේ මඳක් නතර වී, අප අපේ ජීවිතත් සමඟ කරන්නේ කුමක්ද කියා සිතීමට අපව පෙලඹවිය යුතුයි. අප ජීවත් වෙමින් සිටින්නේ හුදෙක් ආත්මාර්ථකාමී දේවල් ලුහුබැඳ යෑමටද, නැත්නම් වෙනත් අයගේ සන්තෝෂයට දායක වීමට අපි උත්සාහ කරනවාද කියා අපි සිතා බැලිය යුතුයි. ප්‍රොපේත මීකා මෙසේ ඇසුවා, “එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා ඔහු නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවි වෙත යටහත් ලෙස හැසිරීමත් මිස යෙහෝවා නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?” (මීකා 6:8) අප නිහතමානි වෙනවා නම්, එය අපව දේවවචනය තුළින් මළවුන්ට තිබෙන සැබෑ බලාපොරොත්තු කුමක්ද කියා සොයා බැලීමට හා දෙවි ඉතාම ළඟදී මේ පොළොව මත පාරාදීස තත්වයන් යළිත් ස්ථාපිත කරන බව දැනගැනීමට පොලඹවනවාට සැකයක් නැහැ. බයිබලයේ තිබෙන මෙම පොරොන්දු ගැන වඩාත් දැනගැනීමට ඔබ කැමති නම්, ඔබගේ පළාතේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හමු වන මෙන් අපි ඔබෙන් උදක්ම ඉල්ලා සිටිමු. ඔවුන් මහත් සතුටින් ඔබට උදව් කරාවි.—යෙසායා 65:17, 21-25; එළිදරව් 21:1-4.

[11වන පිටුවේ කොටුව⁄පින්තූර]

ටටියානාගේ යාච්ඤාව

කැල්වින් ඩෝසන්ගේ වැන්දඹු බිරිඳ වන ලීනා, තම හත් හැවිරිදි දියණිය, රැකියාවට ගිය තම පියා නැවතත් ගෙදර එන්නේ නැති බව දැනගෙන දවස් කිහිපයකට පසු කළ යාච්ඤාවක් ගැන පිබිදෙව්! සඟරාවට පැවසුවා. ලීනා යාච්ඤාවක් ඔප්පු කර තිබුණා. ඉන්පසු ටටියානා මෙසේ ඇසුවා. “අම්මි, මටත් යාච්ඤාවක් කියන්න පුළුවන්ද?” මව එකඟ වුණා. ටටියානා යාච්ඤා කළේ මෙහෙමයි. “යෙහෝවා, අපගේ ස්වර්ගික පියාණෙනි, අපට අද දුන්නු කෑමවලටත් අද දවසේ ඔයා අපට දුන් ජීවිතයටත් අපි ඔයාට ස්තුති කරනවා. අනේ, ඔයාගේ ආත්මය අම්මිටත් මටත් දෙන්න, එතකොට අපිට ශක්තිමත්ව ඉන්න පුළුවන්. ඒ වගේම තාත්තිටත් ඔයාගේ ආත්මය දෙන්න, එතකොට එයාටත් ශක්තිමත්ව ඉන්න පුළුවන්. තාත්ති ආපහු එනකොට ලස්සනට ශක්තිමත්ව සන්තෝෂයෙන් හොඳ සනීපෙට සිටීවි. එතකොට අපිට එයාව ආයෙත් දැකගන්න පුළුවන්. මේ යාච්ඤාව ඔප්පු කරන්නේ යේසුස්ගේ නාමයෙන් . . . .ආ, අනේ අම්මිවත් ශක්තිමත් කරන්න අමතක කරන්න එපා. ආමෙන්.”

ටටියානාට කාරණා හරියට නොතේරී ඇතැයි සිතූ ලීනා මෙසේ කීවා. “ටීනා, ඒක හරි ලස්සනයි. ඒත් පැටියෝ, ඔයා දන්නේ නැද්ද තාත්ති ආයේ එන්නේ නැහැ කියලා?” ඒ එක්කම ටටියානාගේ මුහුණේ කම්පනයට පත් අඳුරු වලාවක් මතු වුණා. “තාත්ති එන්නේ නැහැ?” ඇය කීවා. “නැහැ. මං හිතුවා මං ඔයාට කිව්වා කියලා. තාත්ති එන්නේ නැහැ කියලා ඔයාට තේරුණා කියලයි මං හිතාගෙන හිටියේ” ඇගේ මව පිළිතුරු දුන්නා. ටටියානා මෙසේ කීවා. “ඒත් අම්මි ඔයා මට හැම වෙලේම කිව්වනේ තාත්ති නව ලෝකයේදී ආයෙමත් එනවා කියලා!” තම දියණිය කියූ දේ අන්තිමේදී තේරුම්ගත් ලීනා මෙසේ පැවසුවා. “මට සමාවෙන්න ටටියානා. මං ඔයාව හරියට තේරුම්ගත්තේ නැහැ. තාත්ති හෙට ගෙදර එනවා කියලා ඔයා කිව්වා කියලයි මම හිතුවේ.” අන්තිමේදී ලීනා මෙසේ පැවසුවා. “ඇයට නව ලෝකය එතරම්ම සැබෑවක් බව දැනගන්න ලැබීමෙන් මට ලොකු සතුටක් දැනුණා.”