Skip to content

පටුනට යන්න

නිවුන් කුලුනු කඩා වැටුණු දා

නිවුන් කුලුනු කඩා වැටුණු දා

නිවුන් කුලුනු කඩා වැටුණු දා

වර්ෂ 2001 සැප්තැම්බර් 11වනදා නියූ යෝක් නගරයේ, වොෂිංටන් ඩී.සී. සහ පෙන්සිල්වේනියාවේ සිදු වූ සිද්ධීන්, ලොව වටා මිලියන ගණනකගේ සමහරවිට බිලියන ගණනකගේ මනස් තුළ සදහටම සනිටුහන් වනවාට කිසිම සැකයක් නැහැ. නියූ යෝක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ වොෂිංටන් නගරයේ පෙන්ටගනයට එල්ල කළ ප්‍රහාර පිළිබඳ මේ පුවත් ඇසුණු විට හෝ දුටු විට ඔබ සිටියේ කොහේද?

මෙතරම් ඉමහත් දේපළ වස්තු සම්භාරයක් සැණෙකින් අළු දූවිලි බවට පත් කළ, ඊටත් වඩා වැදගත් ලෙස ජීවිත දහස් ගණනකට හදිසියේ මරු කැඳවූ මේ මහා ව්‍යසනයෙන් මිනිස් සංහතියට තම ජීවිත ගමනේ මඳක් නැවතී සිතා බලන්නට අවස්ථාවක් උදා කර තිබෙනවා.

අපගේ ජීවිතයේ මුලින් තබන දේවල් ගැන සහ අපගේ තේරීම් ගැන අප ඉගෙනගෙන ඇත්තේ මොනවාද? අපේ මිනිස්කමේ වඩාත් කදිම ගුණාංග සමහරක් එනම්, ආත්ම පරිත්‍යාගය, දයානුකම්පාව, විඳදරාගැනීම සහ පරාර්ථකාමීබව වැනි ගුණාංග එම ව්‍යසනකාරි සිදුවීම් මගින් ඉස්මතු වීමට සැලැස්වූයේ කොහොමද? මෙම ලිපිය සහ ඊළඟ ලිපිය දෙවනුවට සඳහන් ප්‍රශ්නයට පිළිතුරු දීමට යත්න දරාවි.

බේරුණු අයගේ කඳුළු කතාව

නියූ යෝක් නුවර සිදු වූ ව්‍යසනයෙන් පසු වහාම උමං දුම්රිය මාර්ග පද්ධතිය වැසූ බැවින්, පිටවීම සඳහා දහස් ගණන් ජනයා පහළ මැන්හැටන් සිට පයින් ගමන් කළා. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් බෘක්ලින් සහ මැන්හැටන් පාලම් උඩින් ගමන් කළා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ කාර්යාලය සහ කර්මාන්ත ශාලා ගොඩනැඟිලි පැහැදිලිව දැකගන්නට ඔවුන්ට හැකි වුණා. මෙම ව්‍යසනයට හසු වූ ඇතැම් සරණාගතයන් මෙම ගොඩනැඟිලි කරා සැණෙකින් දිව යන්නට වුණා.

සාක්ෂිකාරියකගේ දියණියක් වන ආලිෂා (දකුණේ), පැමිණි අයගෙන් ප්‍රථමයන් අතර වුණා. ඇය සිටියේ දූවිලි සහ අළුවලින් නැහැවිලා. a ඇය පැහැදිලි කළේ මෙසේයි. “මම දුම්රියෙන් වැඩට යමින් සිටිද්දී, ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලෙන් දුම් ඉහළට නඟිනවා මම දැක්කා. විපත සිදු වූ ස්ථානය දෙසට මම දිව ගියා. වීදුරු කැබලි හැම තැනම. පුදුම රස්නයකුත් දැනෙන්නට පටන්ගත්තා. මිනිසුන් හිස හැරුණු අතේ දුවමිනුයි හිටියේ. පොලිසිය මිනිසුන්ව එතැනින් ඉවත් කරන්නට උත්සාහ කරමින් සිටියා. එය හරියට යුධ බිමක් වගේ.”

“මම ආරක්ෂාව සඳහා ළඟපාත ගොඩනැඟිල්ලක් වෙත දිව ගියා. එතකොටම මට විශාල පිපිරුම් ශබ්දයක් ඇසුණා. ඒ දෙවෙනි ගුවන් යානය දකුණු කුලුනේ හැප්පෙන ශබ්දයයි. හැම තැනම කළු දුම. ඒ දර්ශනය නම් විස්තර කරන්නටවත් බැහැ. අනතුරු තිබෙන ඒ ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න කියා අපට කිව්වා. නැඟෙනහිර ගඟ හරහා බෘක්ලින් දක්වා යන තොටුපළ නැවට මාව දැම්මා. ගඟේ අනෙක් පැත්තට යන කොට, ‘වොච්ටවර්’ යන විශාල පුවරුව මගේ නෙත ගැටුණා! ඒ මගේ අම්මාගේ ආගමේ මූලස්ථානය! මං ඉක්මනටම කාර්යාල ගොඩනැඟිල්ල වෙත පියමං කළා. යන්න පුළුවන් ඊටත් වඩා ආරක්ෂිත තැනක් නැති බව මම දැනගත්තා. ඉන්පසු මගේ ඇඟ පත සෝදාගෙන, පිරිසිදු වී, දෙමාපියන්ට දුරකථනයෙන් කතා කිරීමට මට හැකි වුණා.”

කුලුනු දෙක අතර පිහිටි මැරියට් හෝටලයේ ප්‍රධාන දොරටුව අසල සේවය කළ දොරටුපාලයෙකු වන වෙන්ඩල් (දකුණේ) පැහැදිලි කළේ මෙසේයි. “පළමු පිපිරුම වූ වේලාවේ මම ප්‍රධාන ප්‍රවේශ ශාලාවේ සේවය කරමින් සිටියා. මම දැක්කා හැම පැත්තෙන්ම සුන්බුන් කඩා වැටෙනවා. පාරේ එහා පැත්තේ මිනිසෙක් ගිනි ඇවිළී බිම වැතිර සිටිනවාත් මම දැක්කා. මම මගේ කබාය සහ කමිසය ඉවත් කර, ඔහුගේ ඇඟේ ඇවිළෙන ගිනි නිවා දැමීමට ඔහු වෙතට දිව ගියා. ඒ අසලින් යන කෙනෙක්ද උදව්වට ආවා. ඔහුගේ මේස් සපත්තු ඇරෙන්න ඇඳුම් සේරම පිච්චිලා තිබුණා. ඊට පස්සේ, ගිනි නිවන හමුදා භටයෙක් ඇවිත් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ඔහුව රැගෙන ගියා.

“ඊට මොහොතකට පසුව, CBS රූපවාහිනි මධ්‍යස්ථානයේ බ්‍රයන්ට් ගම්බල් දුරකථනයෙන් කතා කළා. ඔහුට වුවමනා වුණේ සිදු වෙමින් තිබුණු දේ ගැන ඇසින් දුටු සාක්ෂි ඇතුළත් වාර්තාවක් ගන්නයි. වර්ජින් දූපතේ සිටි මගේ පවුලේ අය රූපවාහිනියෙන් එය අසාගෙන සිටියා. ඒකෙන් ඒගොල්ලන් දැනගත්තා මම ජීවතුන් අතර සිටිනවා කියලා.”

ලෝක මූල්‍ය මධ්‍යස්ථානයේ 31වෙනි මහලේ සේවය කරමින් සිටි අඩි හයකුත් අඟල් පහක් උසැති ශක්ති සම්පන්න ඩොනල්ඩ්, නිවුන් කුලුනු සහ මැරියට් හෝටලය දෙස කෙළින්ම බලා සිටියා. ඔහු මෙසේ පැවසුවා. “දැකපු දෙයින් බිරාන්ත වූ මම ඒ දෙස බලා සිටියේ තුෂ්ණීම්භූත වෙලා. උතුරු කුලුනේ ජනේලවලින් මිනිසුන් පනිමින් සිටියා, ඒ වගේම සමහරුන්ව වැටුණා. මම හිටියේ නිකං පිස්සු හැදිලා වගේ. කර කියාගත නොහැකිව බයෙන් මං ගොඩනැඟිල්ලෙන් ඉවතට දුවන්ට පටන්ගත්තා.”

වයස අවුරුදු 60ක මවකගේ සහ වයස අවුරුදු 40 ගණන්වල සිටින ඇගේ දියණියන් දෙදෙනාගේ අද්දැකීම තවත් එකක්. රූත් සහ ඇගේ සහෝදරිය වන ජෝනී ඔවුන්ගේ මව වන ජැනිස් සමඟ නිවුන් කුලුනු අසල හෝටලයක නැවතී සිටියා. වෘත්තිමය හෙදියක් වන ඇය ඇගේ කතාව මෙසේ කියනවා. “මම නාන කාමරයේ නාමිනුයි සිටියේ. මගේ අම්මයි සහෝදරියයි එකපාරටම හයියෙන් කෑගහලා මට නාන කාමරයෙන් එළියට එන්න කිව්වා. අපි හිටියේ 16වැනි මහලේ. එහි ජනේලයක් හරහා සුන්බුන් පහළට වැටෙනවා ඔවුන් දැක තිබුණා. මගේ අම්මා ඇත්තටම දැක්කා මිනිසෙකුගේ සිරුරක් හරියට කොහෙදෝ ඉඳන් වීසි කරනවා වගේ වහලය උඩින් වැටෙනවා.

“මම ඉක්මනට ඇඳගත්තා. අපි ඉක්මනට තරප්පු පෙළෙන් පහළට බහින්න පටන්ගත්තා. හැම තැනින්ම ඇහුණේ මිනිස්සු කෑගහන සද්දේ. අපි ඊළඟට පාරට බැස්සා. අපිට පිපිරුමක් ඇහුණා. ඒත් එක්කම ගිනි පුපුරු විසි වෙනවා දැක්කා. වහාම දකුණේ තියෙන බැටරි උද්‍යානය කරා යන ලෙස අපට උපදෙස් ලැබුණා. එහෙ තමයි ස්ටැට්න් දූපතට යන තොටුපළ නැව තිබෙන්නේ. එහෙ යන කොට අප සමඟ ගිය අම්මාට මොනවා වුණාද කියලා අපි දන්නේ නැහැ. අපේ අම්මාට ඇදුම රෝගය තිබෙනවා. මේ දුම්, අළු සහ දූවිලි මැද ඇය කොහොම දරාගනීවිද? අපි පැය භාගයක් තිස්සේ ඇයව හැකි හැම තැනම සෙව්වා, නමුත් සොයාගන්නට බැරි වුණා. කෙසේවෙතත්, ඇය ඉතා දක්ෂ, තනියෙන්ම දේවල් කරගන්ට පුළුවන් කෙනෙක් නිසා අපිට මුලදී එතරම් භයක් දැනුණේ නැහැ.

“අන්තිමේදී, බෘක්ලින් පාලම දෙසට ඇවිදගෙන ගොස් පාලමෙන් අනෙක් පැත්තට යන ලෙසට අපට උපදෙස් ලැබුණා. පාලමේ අනෙක් පැත්තට යන කොට ‘වොච්ටවර්’ යන විශාල පුවරුව දැක්කාම අපට දැනුණු සහනය කොතරම්දැයි සිතා බලන්න. අපි දැනගත්තා අපට දැන් ආරක්ෂාව තියෙනවා කියා.

“එහෙ අය අපිව සාදරයෙන් පිළිගෙන අපට නවාතැන් දුන්නා. ඒ වගේම අපිට ඇඳුම් පවා ලැබුණා. අපි ගාව කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒත් අම්මා කොහේද? රෝහල් ගානේ ගොස් ඇය ඉන්නවාද කියා සොයාගන්ට අපි උත්සාහ කළා. නමුත් ඵලක් වුණේ නැහැ. ඊළඟ දවසේ උදේ එකොළහමාරට විතර අපට පණිවුඩයක් ලැබුණා. අම්මා පහළ ප්‍රවේශ මහලේ! ඇයට සිදු වෙලා තිබුණේ මොකක්ද?”

මොවුන්ගේ මව වන ජැනිස් ඇගේ කතාව මෙසේ විස්තර කළා. “අපි හෝටලයෙන් පිට වුණු හැටියේම, මට මතක් වුණේ මගේ වයසක යෙහෙළිය ගැනයි. ඇයට අපිත් එක්ක පිට වෙන්න බැරිව ගියා. ඒ නිසා මට හිතුණා ආපසු ගොස් ඇයව උස්සාගෙන යන්න. ඒත් ඒක බොහොම අන්තරාදායක වැඩක්. මේ අතරතුර තිබුණු තදබදය නිසා මට මගේ දුවලා හිටි තැන් සොයාගන්ට බැරිව ගියා. කෙසේවෙතත්, මම ඒ ගැන එච්චරටම හිතන්න ගියේ නැහැ. මොකද මම දන්නවා ඒ දෙන්නට මොනව හරි දෙයක් කල්පනාවෙන් කරගන්නට පුළුවන් කියලා. අනික, රූත් දක්ෂ හෙදියක්.

“බැලූ බැලූ තැන සිටි හැමෝටම උදව් උපකාර අවශ්‍ය වුණා. විශේෂයෙන් ළමුන්ට සහ කුඩා දරුවන්ට. මට පුළුවන් තරමින් මම උදව් කළා. එක තැනක් තිබුණා, එතන තුවාලකරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර දීම සඳහා ඔවුන්ගේ අසාධ්‍ය තත්වයේ හැටියට ඔවුන්ව තෝරනවා. මම එතැනට ගියා. පොලිසියේ අයගේ සහ ගිනි නිවන භටයන්ගේ අත් සහ මුහුණු කළු දුමාර පැල්ලම් සහ දූවිලිවලින් නැහැවී ගොස් තිබුණා. ඒවා සෝදාගැනීමට මම ඔවුන්ට උදව් වුණා. ඊළඟ දවසේ පාන්දර තුන විතර වෙනකම් මම එතැන සිටියා. ඊට පස්සේ, ස්ටැට්න් දූපතට යන අවසාන තොටුපළ නැවට ගොඩ වුණා. මට හිතුණා, සමහරවිට මගේ දුවලා එහා පැත්තේ ආරක්ෂා සහිතව ඉන්නවා ඇති කියලා. නමුත් මට ඔවුන්ව හොයාගන්නට බැරි වුණා.

“පහුවදා උදේ මම උත්සාහ කළා මැන්හැටන් බලා යන පළමුවෙනි තොටුපළ නැවට ගොඩ වෙන්න. නමුත් මම හදිසිතා සහන සේවකයෙකු නොවුණු නිසා මට එයට ගොඩ වෙන්ට බැරි වුණා. එතකොට මම දැක්කා මම උදව් කළ පොලිස් නිලධාරියෙක් ඒකෙ ඉන්නවා. ‘ජෝන්! මට මැන්හැටන්වලට යන්න ඕන’ කියලා මම කෑගහලා කිව්වා. ‘මා එක්ක එන්න’ කියා ඔහු පිළිතුරු දුන්නා.

“මම මැන්හැටන්වලට ළඟා වුණත් එක්කම, මම මැරියට් හෝටලය දෙසට ගියා. සමහරවිට මගේ වයසක යෙහෙළියට උදව් කරන්නට මට අවස්ථාවක් තවමත් තියෙයි කියලා මට සිතුණා. මොනවා බලන්නද! හෝටලය සුන්බුන් වෙලා. නගරයේ ප්‍රධාන කොටස සොහොනක් වගේ. කිසිවෙක් එහි සිටියේ නැහැ. දකින්නට සිටියේ මහා දුක්මුසු මුහුණින් එතන සිටිය පොලිස් නිලධාරීන් සහ ගිනි නිවන භටයන් විතරයි.

“මම බෘක්ලින් පාලමේ එහා පැත්තට ගමන් කළා. එහා ඈත කෙළවරට ළඟා වෙනවාත් සමඟම ‘වොච්ටවර්’ යන හුරු පුරුදු පුවරුව දකින්නට ලැබුණා. සමහරවිට මට මගේ දුවලාව එහෙදී හොයාගන්නට පුළුවන් වෙයි කියලා මට හිතුණා. ඇත්ත නේන්නම්, මගේ දුවලා දෙන්නා ප්‍රවේශ ශාලාවට දිව ඇවිත් මාව පිළිගත්තා. අපි කොච්චර ආදරයෙන් වැලඳගෙන සතුටු කඳුළු සැලුවාද!

“කොච්චර දුම් දූවිලි අළුවලින් නැහැවී සිටියත් පුදුමයකට වගේ මට කිසිම විදිහකින් ඇදුම රෝගය උත්සන්න වුණේ නැහැ. මම දිගටම යාච්ඤා කළා. මට වුවමනා වුණේ උපකාර කරන්න මිසක්, බරක් වෙන්න නෙමේ.”

“ගොඩ බස්සන්න තැනක් නැහැ!”

වයස අවුරුදු 20 ගණන්වල මුල් භාගයේ සිටින කාන්තාවක් වන රේචල්, පිබිදෙව්! සඟරාවට මෙසේ පැවසුවා. “පහළ මැන්හැටන්වල මගේ ගෙය පිහිටි ගොඩනැඟිල්ලෙන් පිටත් වෙලා මම ඇවිදිමින් ඉන්නකොට, මහා හඬින් ගුවන් යානයක් පියාසර කරනවා මම දැක්කා. ඒකෙන් කොයිතරම් හයියෙන් ශබ්දය පිට වුණාද කියනවා නම් මට උඩ බැලුණා. මට අදහාගන්නත් බැහැ! ඒ මහා ජෙට් යානය බස්සනවා වගේ පෙනෙන්න තිබුණා. ඒක මෙච්චර වේගයෙන් මෙච්චර පහතින් පියාසර කරන්නේ ඇයිදැයි මට සිතාගන්න බැරි වුණා. ඒ හරියේ ගොඩ බස්සන්න තැනක් නැහැ! සමහරවිට ගුවන් නියමුවාට යානය පාලනය කරගන්න බැරුව ඇති කියලා මට හිතුණා. ඒ එක්කම එක් කාන්තාවක් ‘අර ප්ලේන් එක බිල්ඩිමේ හැප්පුණෝ’ කියලා කෑගහනවා ඇහුණා. උතුරු කුලුනෙන් පිටතට විශාල ගිනි බෝලයක් පිට වුණා. ඒ එක්කම කුලුනේ විශාල කළු සිදුරක් තිබුණා මම දැක්කා.

“මගේ ජීවිතයේ මම දැක්ක ඉතාම භයානකම දර්ශනය තමයි ඒක. ඒක වුණාද කියලා හිතාගන්ටත් අමාරුයි. මම කට ඇරගෙන බලා සිටියා. ටික වෙලාවක් යන්ට මත්තෙන්, තවත් ගුවන් යානයක් ඇවිත් දෙවෙනි කුලුනේ වැදුණා. අන්තිමේදී කුලුනු දෙකම කඩාගෙන වැටුණා. අම්මෝ! මාව අන්දුන් කුන්දුන් වුණා. මට නම් ඒ දර්ශනය මතක් වෙද්දී දරාගන්ට බැහැ!”

“පිහිනන්ට වුණොත් පිහිනනවා!”

අමෙරිකානු කොටස් වෙළඳපොළ අසල තම පාසැලට ඉගෙනීම සඳහා පැමිණි වයස අවුරුදු 16ක් වූ ඩනීස් පැවසුවේ මෙසේයි. “වෙලාව උදේ 9ට විතර ඇති. මොනවා හරි සිදු වෙලා කියලා මම දැනගත්තා. නමුත් ඒ මොකද්ද කියලා නම් මම හරියට දැනගෙන හිටියේ නැහැ. මම හිටියේ ඉස්කෝලේ 11වෙනි මහලේ, ඉතිහාස පංතියකට සහභාගි වෙමින්. ඔක්කෝම ළමයි බිරන්තට්ටු වෙලා වගේ. ඒත් ගුරුවරිය අපිට කිව්වා විභාගයට ලියන්න කියලා. අපිට වුවමනා වුණේ ඉස්කෝලෙන් පිට වෙලා ගෙදර යන්න.

“ඒ එක්කම දෙවෙනි ගුවන් යානය ඇවිත් දකුණු කුලුනේ වදිනවාත් එක්කම අපි හිටිය ගොඩනැඟිල්ල හෙල්ලෙන්න පටන්ගත්තා. ඒත් අපි එතකොටත් දැනගෙන සිටියේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. එකපාරටම, අපේ ගුරුවරියගේ වෝකි ටෝකි යන්ත්‍රයෙන් ‘ගුවන් යානා දෙකක් නිවුන් කුලුනුවල හැප්පිලා’ කියා හඬක් නිකුත් වුණා. ‘ඉස්කෝලෙ රැඳී ඉන්න එක නම් නුවණට හුරු වැඩක් නෙමේ. මේක නම් ත්‍රස්තවාදීන්ගේ වැඩක්, ඊළඟට වදින්නේ කොටස් වෙළඳපොළට’ කියලා මට හිතුණා. ඉතින් අපි එළියට ආවා.

“අපි බැටරි උද්‍යානයට දුවගෙන ගියා. සිදු වෙමින් තිබුණු දේ දිහා මම හැරී බැලුවා. දකුණු කුලුන කඩා වැටෙන්ට යනවා මම දැක්කා. ඒ සමඟම මම හිතුවා ඉන් ඇති වූ බලපෑම නිසා ඒ අවට තිබූ උස් ගොඩනැඟිලි සේරම කඩාගෙන වැටෙයි කියලා. මම හුස්ම ගත්තේ අමාරුවෙන්. මගේ නාසයයි උගුරයි අළුවලිනුයි දූවිලිවලිනුයි පිරිලා. මම නැඟෙනහිර ගඟ දෙසට දුවගෙන ගියා, ‘පිහිනන්ට වුණොත් පිහිනනවා’ කියා මම සිතාගත්තා. මම පලා දුවන ගමන් මාව බේරගන්න කියා යෙහෝවාට යාච්ඤා කළා.

“අන්තිමේදී, මාව නියූ ජර්සි බලා යන තොටුපළ නැවකට දැම්මා. මගේ අම්මාට මාව සොයාගන්නට පැය පහකට වඩා ගත වුණා. නමුත් අන්තිමේදී මට කිසි කරදරයක් වුණේ නැහැ!”

‘මේ මගේ ජීවිතයේ අන්තිම දවසද?’

නියූ ජර්සි ප්‍රින්ස්ටන්හි වසන වයස 28ක් වූ ජොෂුවා උතුරු කුලුනේ 40වෙනි මහලේ පංතියක උගන්වමින් සිටියා. ඔහු මෙසේ සිහි කරනවා. “එකපාරටම මට හිතුණේ බෝම්බයක් පිපුරුවා කියලයි. මහා කම්පනයක් වගේ දැනුණා. ‘නැහැ, මේක නම් භූමිකම්පාවක් වෙන්නැති’ කියා මට සිතුණා. මම පිටත බැලුවා. ඒක නම් අදහාගන්නවත් බැහැ. ගොඩනැඟිල්ල දුමෙන් වැහිලා තිබුණා. සුන්බුන් දිගට හරහට කඩා වැටෙනවා. ‘කට්ටියම තියෙන දේවල් දාලා විගහට එළියට යං’ කියා මම පංතියේ සිටි සියල්ලන්ට කිව්වා.

“අපි පඩි පෙළ දිගේ පහළට දිව ගියා. පඩි පෙළ දුමෙන් පිරී තිබුණා. ඒ වගේම අවටින් වතුර මල්වලින් වතුර වෑස්සෙමින් තිබුණා. නමුත් අපි කලබල වුණේ නැහැ. අපට කෙළින්ම ගින්නට මුහුණ පෑමට සිදු නොවන පරිද්දෙන් අපි තෝරාගත්තේ හරි පඩි පෙළ වෙන්න ඕනෑ කියා මම දිගටම යාච්ඤා කළා.

“පඩි පෙළ දිගේ පහළට දුවන කොට මට හිතුණා ‘මේ මගේ ජීවිතයේ අන්තිම දවසද’ කියලා. මම දිගටම යෙහෝවාට යාච්ඤා කළා. ඒ එක්කම සාමයේ අමුතු හැඟීමක් හදවතේ ඇති වුණා. ඒ වගේ ඇතුළාන්ත සාමකාමී හැඟීමක් මට කවදාවත් ඇති වෙලා නැහැ. මට කවදාවක්වත් ඒ මොහොත අමතක වන්නේ නැහැ.

“අපි අන්තිමේදී ගොඩනැඟිල්ලෙන් එළියට ආවායින් පස්සේ, අපි දැක්කා පොලිසිය හැමෝවම ඒ ස්ථානයෙන් පිට කරනවා. මං කුලුනු දිහා බැලුවා. ගොඩනැඟිලි දෙකම කෑලිවලට කපලා වගේ. මට අදහාගන්නත් බැහැ. මම නිකං තුෂ්ණීම්භූත වෙලා වගේ බලා සිටියා.

“ඒත් එක්කම වගේ මගේ සිත සසල කළ මහා හඬක් ඇසුණා. ඒ එක්කම දහසක්දෙනෙක් හුස්ම තද කරගෙන සිටිනවාක් වැනි නිහඬතාවක් මට දැනුණා. හරියට නියූ යෝක් නගරය එක තැන නතර වුණා වගේ. ඒත් එක්කම මහා හයියෙන් කෑගසන හඬ ඇහුණා. දකුණු කුලුන ඒ මතටම කඩා වැටෙනවා! දුම්, අළු සහ දූවිලි ඔක්කොම එකට එකතු වෙලා මහා වේගයෙන් හුළඟක් වගේ අපි දිහාවට ගහගෙන එන්න පටන්ගත්තා. ඒක හරියට චිත්‍රපටයකට ත්‍රාසය වැඩි කරන්න යොදාගන්නා විශේෂ දර්ශන වගේ. නමුත් ඒක ඇත්තටම වුණා. ඒ වලාකුළ අපිව වහගත්තා. අපි හුස්ම ගත්තේ හරිම අමාරුවෙන්.

“මම කොහොම හරි මැන්හැටන් පාලම දෙසට ගියා. එහෙදී මම දැක්කා උතුරු කුලුන එහි තිබූ විශාල රූපවාහිනි ඇන්ටෙනාවත් සමඟම බිමට කඩාගෙන වැටෙනවා. පාලම හරහා යන කොට කොහොම හරි බෙතෙල් එකට, ඒ කියන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය වෙතට යෑමට ලැබෙන්න කියා මම යෙහෝවාට දිගටම යාච්ඤා කළා. එදා ඒ ස්ථානය දැකලා සන්තෝෂ වුණා වගේ වෙන කිසිම දවසක මම සන්තෝෂ වෙලා නැහැ. ඒ වගේම එහි කර්මාන්ත ශාලා ගොඩනැඟිල්ලේ දහස් ගණනකට සෑම දවසකම දකින්න පුළුවන් විදිහට මෙහෙම ලියලා තිබුණා. ‘දෙවිගේ වචනය වන ශුද්ධ බයිබලය දිනපතා කියවන්න!’ ‘මම දැන් ඒ ළඟටම ඇවිත්. කොහොම හරි ඇතුලට යන්න ඕන’ කියලා මම හිතාගත්තා.

“ඒ සිදුවීම් ගැන මම දැන් කල්පනා කරනකොට, මගේ ජීවිතයේ පළමු තැනට දැමිය යුතු දේවල් කොහොම හරි පළමු තැනටම දමන්න ඕනෑ කියලා මට හිතෙනවා.”

“මම දැක්කා මිනිස්සු කුලුනෙන් එළියට පනිනවා”

වයස අවුරුදු 22ක් පමණ වූ ජෙසිකා, නගරයේ පහළ කොටසේ පිහිටි දුම්රිය ස්ථානයෙන් පිටතට ආ විට දුටු දේවල් මෙසේ විස්තර කරනවා. “මම දැක්කා අළු, සුන්බුන් වගේම හැම ආකාරයේම තහඩු කෑලි බිමට වැටෙනවා. මිනිස්සු හැමෝම වගේ දුරකථන කුටිවලින් ඇමතුම් ලබාගන්න මහත් උත්සාහයක් ගන්නවා. ඒක ප්‍රමාද වෙනකොට ඔවුන් තව තවත් භය වුණා. මට සන්සුන්ව සිටීමට උපකාර කරන්න කියා මම යාච්ඤා කළා. ඔන්න ඒ එක්කම තවත් පිපිරීමක්. වානේ සහ වීදුරු රොත්ත පිටින් උඩින් වැටෙන්න පටන්ගත්තා. ‘තවත් ප්ලේන් එකක් හැප්පුණෝ!’ කියා කවුදෝ කෑගහනවා මට ඇහුණා.

“මම උඩ බැලුවා. ඒක නම් ඇඟ කිලි පොළා යන දර්ශනයක්. ගිනි දළු සහිත දුම් නඟිමින් තිබූ ඉහළ මහල්වලින් මිනිස්සු එළියට පනිනවා. මට තවම මැවිලා පේනවා, එක් මිනිසෙක් කාන්තාවක් එක්ක ටික වේලාවක් ජනේලයක් බදාගෙන හිටිය හැටි. අන්තිමේදී ඔවුන්ට ඒක අතහරින්න සිදු වුණා. ඔවුන් වැටීගෙන වැටීගෙන වැටීගෙන ගියා. හාපෝ! ඒ දර්ශනය මතක් වෙන කොට මගේ ඇඟ තවමත් කිලි පොළා යනවා.

“අන්තිමේදී, කොහොම හරි මම බෘක්ලින් පාලම දිහාවට ආවා. මම පැළඳ සිටිය සපත්තු දෙක ඇඳීමට තරමක් අපහසු දෙකක් වූ නිසා ඒවා අතට අරන් ගඟේ බෘක්ලින් පැත්තට දුවන්න පටන්ගත්තා. මම වොච්ටවර් ගොඩනැඟිල්ල ඇතුලට දිව්වා. එහිදී මට විගස සන්සුන් වීමට උපකාර ලැබුණා.

“එදා රාත්‍රියේ මම ගෙදර ඇවිල්ලා 2001 අගෝස්තු 22 පිබිදෙව්! සඟරාවේ ‘හදිසි මානසික කම්පනයකට පසුව ඇති වන පීඩනයට මුහුණ දීම’ (සිංහලෙන් නැත) යන ලිපිය කියෙව්වා. මම ඒ ලිපියෙන් කොච්චර ප්‍රයෝජන ගත්තද!”

මේ මහා විපතේදී මිනිසුන් තමන්ට හැකි සෑම අන්දමින්ම එකිනෙකාට උපකාර කළා. ඊළඟ ලිපියේ කතන්දරයේ ඒ පැත්ත ගැන කියනවා.

[පාදසටහන]

a පිබිදෙව්! මෙහි ඇතුළත් කර ඇති අදහස් පළ කළ අයට අමතරව මෙම විපතෙන් දිවි ගළවාගත් තව බොහෝදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවට භාජන කළා. මෙම වාර්තා සම්පූර්ණ කරගැනීමටද ඒවා සත්‍යය බව සනාථ කරගැනීමටද ඔවුන්ගේ සහයෝගය මහෝපකාරි වුණා.

[8, 9වන පිටුවේ රූප සටහන/පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

විනාශ වූ ගොඩනැඟිලි

1 උතුරු කුලුන ලෝක වෙළඳ මධ්‍යස්ථානය අංක 1

2 දකුණු කුලුන ලෝක වෙළඳ මධ්‍යස්ථානය අංක 2

3 මැරියට් හෝටලය ලෝක වෙළඳ මධ්‍යස්ථානය අංක 3

7 ලෝක වෙළඳ මධ්‍යස්ථානය අංක 7

දැඩි හානි සිදු වූ ගොඩනැඟිලි

4 ලෝක වෙළඳ මධ්‍යස්ථානය අංක 4

5 ලෝක වෙළඳ මධ්‍යස්ථානය අංක 5

L ලිබර්ටි ප්ලාසා එක

D ඩොයිෂ් බැංකුව 130 ලිබර්ටි වීථිය

6 එ.ජ. රේගු කාර්යාලය ලෝක වෙළඳ මධ්‍යස්ථානය අංක 6

N S උතුරු සහ දකුණු පදික මඟී පාලම්

තරමක් හානි සිදු වූ ගොඩනැඟිලි

2F ලෝක මූල්‍ය මධ්‍යස්ථානය අංක 2

3F ලෝක මූල්‍ය මධ්‍යස්ථානය අංක 3

W වින්ටර් උද්‍යානය

[හිමිකම් විස්තර]

2001 ඔක්තෝබර් 4වන දිනයේදී පහළ මැන්හැටන්වල ත්‍රිමාන සිතියමක් Urban Data Solutions, Inc.

[පින්තූර]

ඉහළම: පළමුව කඩා වැටුණු දකුණු කුලුන

ඉහළ: සමහරු ආරක්ෂාව සඳහා වොච්ටවර් ගොඩනැඟිල්ල කරා දිව ගියා

දකුණේ: ව්‍යසන භූමියේ දිවා රෑ නොතකා වෙහෙස වී වැඩ කළ සිය ගණන් ගිනි නිවන භටයෝ සහ ජීවිතාරක්ෂක භටයෝ

[හිමිකම් විස්තර]

AP Photo/Jerry Torrens

Andrea Booher/FEMA News Photo

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

AP Photo/Marty Lederhandler

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

AP Photo/Suzanne Plunkett