Skip to content

පටුනට යන්න

බාල වියේදී හාදකම් ඇති කරගැනීම වැරදිද?

බාල වියේදී හාදකම් ඇති කරගැනීම වැරදිද?

යෞවන අය අසති . . .

බාල වියේදී හාදකම් ඇති කරගැනීම වැරදිද?

“පාසැලේ පිරිමි ළමයි වගයක් එයලත් එක්ක ගමන් බිමන් යන්න හරි එයාලගේ පෙම්වතිය වෙන්න හරි කැමතිද කියලා මගෙන් ඇහුවා.”—බෙකි, වයස අවුරුදු 11යි. a

“අපේ පාසැලේ කොල්ලෝ කෙල්ලෝ හුඟදෙනෙක් හාදකම් පවත්වනවා. ඒගොල්ලන් ශාලා ඇතුලේ සිපගැනීම සාමාන්‍ය දෙයක් වෙලා.”—ලියානා, 10වන ශ්‍රේණියේ ශිෂ්‍යයාවක්.

යෞවනයන් වැඩි පිරිසක් බාල වියේදීම විරුද්ධ ලිංගයේ අය සමඟ හාදකම් ඇති කරගන්නවා. ජනමාධ්‍යය මෙවන් දේවල් හඳුන්වන්නේ සාමාන්‍ය දෙයක්, එසේ නැතහොත් අහිංසක විනෝදයක් ලෙසයි. මේ සම්බන්ධයෙන් වයස අවුරුදු දොළහක් වන ඔනෙයිඩා මෙසේ පවසනවා. “පාසැලේ හැම ළමයෙකුටම වගේ පෙම්වතෙක් හරි පෙම්වතියක් හරි ඉන්නවා.” ජෙනිෆර් නමැති තරුණිය තම පාසැල් කාලය සිහියට නඟන්නේ මෙසේයි. “මට මතකයි තුනේ පංතියේ ඉන්න ළමයි පවා යස අගේට පෙම් සම්බන්ධකම් පවත්වනවා. මට ඒ වගේ සම්බන්ධකම් පවත්වන්න කියලා යහළුවන් බල කළේ වයස අවුරුදු 11දී.”

ඔබ පිරිමි ළමයෙකු නම් ගැහැනු ළමයෙකු සමඟ හෝ ඔබ ගැහැනු ළමයෙකු නම් පිරිමි ළමයෙකු සමඟ හාදකම් නොපවත්වන විට ඔබ කොන් වෙලා කියා හැඟෙන්න පුළුවන්. සමහරවිට ඔබ එවැනි දෙයක් නොකරන නිසා උසුළු විසුළුවලට පවා ලක් විය හැකියි. පිරිමි ළමයෙක් සමඟ තනිපංගලමේ ගමන් බිමන් යෑමට තමා කුඩා වැඩියයි සිතූ නිසා ජෙනිෆර් එවන් යෝජනා ප්‍රතික්ෂේප කළා. එවිට එම පිරිමි ළමුන්ගේ ප්‍රතිචාරය ගැන ජෙනිෆර් මෙසේ පවසනවා. “එයාලා මට සමච්චල් කළා. ඒක එයාලට ලොකු විහිළුවක්.” ඇත්තෙන්ම කවුද කැමති සමච්චලයට ලක් වෙන්න? ඒත් අනිත් අය කරන නිසා ඔබත් විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ හාදකම් පැවැත්විය යුතුද? ඇත්තටම හාදකම් පවත්වනවා කියන්නේ මොකක්ද? එහි අරමුණ කුමක්ද?

හාදකම් පවත්වනවා කියන්නේ මොකක්ද?

‘අපි යාළුවෝ. ඊට වඩා දෙයක් නැහැ’ කියා විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ තනිපංගලමේ බොහෝ වේලාවක් ගත කරන යෞවනයෝ හුඟදෙනෙක් කියා සිටිනවා. එය කෙලෙස හැඳින්වුවත්, උදාහරණයකට පෙම් සම්බන්ධයක්, එකට ගමන් බිමන් යෑමක්, ගැහැනු ළමයෙකු හෝ පිරිමි ළමයෙකු හෝ එකිනෙකාට විශේෂ අවධානයක් දෙමින් සමාජ ඇසුරෙහි යෙදීමක් වැනි කුමක් හෝ වේවා එම ඇසුරෙහි නිකම්ම මිත්‍රකමකට වඩා වැඩි දෙයක් තිබෙනවා. තවද හාදකමක් පැවැත්වීමට පුද්ගලයෙකු ළඟ සිටිය යුතුම නැහැ. අන්තර්ජාල කතා බහ කුටි (Internet chat rooms), දුරකථනය, තැපැල් හෝ විද්‍යුත් තැපැල් මගින් පවා හාදකමක් පවත්වන්න පුළුවන්.

නමුත් ගැටලුව, විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ තනිපංගලමේ කාලය ගත කිරීම කොතරම් බරපතළද යන්නයි.

හාදකමෙහි අන්තරාවන්

“කන්‍යාවක හා සමඟ පුරුෂයෙකුගේ මාර්ගය” පිළිබඳව හිතෝපදේශ 30:19හි සඳහන් කර තිබෙනවා. මෙයින් පැහැදිලි වන්නේ ස්ත්‍රියක් සහ පුරුෂයෙක් හාදකමක් පැවැත්වීමේදී එය බොහෝදුරට සිදුවීම් දාමයකට මඟ පාදන බවයි. දෙපාර්ශ්වයම මේරූ වයසක සිටිනවා නම්, එමෙන්ම දෙවිගේ සදාචාර ප්‍රතිපත්ති ගරු කරනවා නම් එවන් හාදකමක් ආදරයකට සහ අවසානයේදී ගෞරවනීය විවාහයක් දක්වා ගෙන යා හැකියි. දෙවි පුරුෂයාව සහ ස්ත්‍රියව මවනු ලැබුවේ එකිනෙකාට ආකර්ෂණය වන ආකාරයටයි. නමුත් ඔබ විවාහ වන වයසක නොමැති නම් තත්වය කුමක්ද? බාල වියේදී හාදකම් පැවැත්වීමෙන් සිදු වන්නේ ඔබ ඔබවම අනතුරක හෙළාගැනීමයි.

එසේ පවසන්නේ සාධාරණ හේතු ඇතිවයි. මන්ද ඔබ විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ තනිපංගලමේ බොහෝ වේලාවක් ගත කරන විට ඔබේ හැඟීම් පිබිදීම ස්වාභාවිකයි. ඔබටත් හොරා ඔහුව දැකීමට ආශාවක් ඔබ තුළ ඇති විය හැකියි. එමෙන්ම ඔබ දෙපළ එක ළඟ නොමැති විට ඔහු හෝ ඇය ගැන සිතමින් සිටිනවා විය හැකියි. ඒත් බොහෝ අවස්ථාවන්වල මෙලෙස හැඟෙන්නේ එක් පාර්ශ්වයකට පමණයි. එමනිසා එක් අයෙකුට සිත් රිදවීමක් ඇති වෙන්න පුළුවන්. අනෙක් අතට දෙදෙනාටම එක හා සමාන හැඟීම් තිබුණද දෙදෙනාගෙන් එක් අයෙකු විවාහ වීමේ වයසට පැමිණ නොමැති නම් හෝ විවාහයේ වගකීම් දරන්න තරම් මේරූ නැත්නම් බලාපොරොත්තු සුන්වීමක් හෝ සිත් රිදවීමක් ඇති විය හැකියි. ඇත්තෙන්ම එවන් ඇසුරක නැවතුම්පොළ කොතැනද? “මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද?” කියා බයිබල් හිතෝපදේශයක පවසනවා.—හිතෝපදේශ 6:27.

නීනා නමැති යෞවනිය තම අද්දැකීම මෙසේ පවසනවා. “මට අන්තර්ජාලය මගින් පිරිමි ළමයෙකුව දැනහඳුනා ගන්න ලැබුණා. අපි හැමදාම චැට් රූම්ස්වල ඉඳන් පැය ගණන් කතා කළා. මම හැඟීම්වලින් ඔහුට වහල් වුණා වගේම ඔහුගෙන් තොර ජීවිතයක් මට තිබුණේ නැහැ. නමුත් සම්බන්ධකම වැඩි කල් ගෙනියන්න බැරුව ගියා. සම්බන්ධය නතර වුණාට පස්සේ මම හොඳටම මානසිකව වැටුණා. සම්බන්ධය බිඳ වැටුණ නිසා ඔහු දිවි නසාගන්න යනවා කියලා කිව්වාම මම තවත් මානසිකව වැටුණා. ඒ වගේ සම්බන්ධකමක් පටන්ගත්තු එක තමයි වරද! සම්බන්ධය නතර කරලා අවුරුදු දෙකක් වෙනවා, මම තවම මානසිකව පීඩා විඳිනවා.” යම් කෙනෙකු සමඟ හදවතින් බැඳීමට තරම් නීනා වයසින් මුහුකුරා ගොස් සිටියේ නැහැ.

“කන්‍යාවක හා සමඟ පුරුෂයෙකුගේ මාර්ගය” පිළිබඳව බයිබලයේ ඇති සඳහන සමහරවිට යොමු දක්වන්නේ ලිංගික සම්බන්ධකම්වලට විය හැකියි. වර්තමාන ලෝකයේ හාදකම් මුල පුරන්නේ ලිංගික ක්‍රියාවන්ට. මුලදී සුළු ලෙස පටන්ගන්න අත් ඇල්ලීමේ ක්‍රියාවේ ඊළඟ පියවර වැලඳගැනීම සහ කම්මුල සිපගැනීමයි. එකිනෙකාට පොරොන්දු දී ඇති තරුණ වැඩිහිටි යුවළක් එලෙස ආලවන්තකම් පෑමේ වරදක් නැහැ. නමුත් විවාහ වීමට තරම් වයසක නොසිටින යුවළක් එවන් හැසිරීමක නිරත වීමෙන් සිදු වන්නේ අනවශ්‍ය ලෙස ලිංගික හැඟීම් පුබුදුවාගැනීමයි. “ආලවන්තකම්” පෑම නිසා නුසුදුසු අපවිත්‍ර ක්‍රියා හටගැනීමට පුළුවන්. එවන් හැසිරීමක් යම් ආකාරයක වේශ්‍යාකමකට මඟ පෑදිය හැකියි. b

වේශ්‍යාකමේ ප්‍රතිඵල වේදනාකාරියි. එහි නිරත වන සමහර උදවියට ලිංගිකව බෝවන රෝග පවා වැළඳී තිබෙනවා. වෙනත් අය තමන්ගේ ආත්ම ගෞරවය සහ හෘදය සාක්ෂිය විනාශ කරගෙන තිබෙනවා. සමහර ගැහැනු ළමයි ගැබ්ගෙන තිබෙනවා. “වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න” කියා බයිබලයේ අණ කිරීම පුදුමයක්ද! (1 කොරින්ති 6:13, 18; 1 තෙසලෝනික 4:3) මෙම අණට අවනත වීමක් හැටියට බාල වියේ හාදකම් පැවැත්වීම නවතා දැමීමට ඔබට හැකියි.

හාදකම් ඇති කරගත යුත්තේ කවදාද?

ඔබට කවමදාකවත් එවන් හාදකමක් පවත්වන්න බැහැයි කියා මෙයින් අදහස් වන්නේ නැහැ. ඔබ යෞවනයෙක් නම් බයිබලයේ කියන ආකාරයට ඔබ සිටින්නේ “යෞවනයේ මල් පූදින වයසේයි.” (1 කොරින්ති 7:36, NW) ඒ කියන්නේ, ඔබ වැඩිහිටි ස්ත්‍රියක් සහ පුරුෂයෙක් වීමට පා ඔසවමිනුයි සිටින්නේ. මෙම කාලයේදී ඔබ ශාරීරිකව, මානසිකව සහ ලිංගිකව මේරූභාවයට පත්වීමේ ක්‍රියාවලිය අරඹනවා. මෙම කාලයේදී තමයි විශේෂයෙන් ලිංගික හැඟීම් ඇතුළුව අනෙකුත් හැඟීම් ප්‍රබල වෙන්නේ. ඒ වගේම එම හැඟීම් ඉක්මනින්ම වෙනස් වෙනවා. මේ හේතුව නිසා යොවුන් ප්‍රේමය සදාකාලික නැහැ. එක් යෞවනියක් මෙසේ තම මතකය අවදි කරනවා. “මගේ හාදකම් සතියකට වඩා තිබුණේ නැහැ.”

“යෞවනයේ මල් පූදින වයසේ” හාදකම් ඇති කරගැනීම නැණවත් දෙයක් නොවන බව පැහැදිලියි. එමනිසා ඔබ කවුද කියා ඔබ වටහාගන්න තුරුත්, ඔබේ රුචි අරුචිකම් සහ ඔබ ලුහුබැඳීමට කැමති ඉලක්කයන් මොනවාද කියා අවබෝධ කරගන්න තුරුත් සිටීම තමයි හොඳම දේ. එමෙන්ම ඔබ විවාහ ජීවිතයේ වගකීම් ඉසිලීමට තරම් ප්‍රමාණවත් වයසක සිටිය යුතුයි. මෙම වගකීම් මොනවාද යන්න ගැන උදාහරණයක් පෙන්වනවා නම්, ස්වාමිපුරුෂයන් තම පවුලට ශාරීරිකව, ද්‍රව්‍යමයව සහ ආත්මිකව සැපයීම යෙහෝවා ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඔබ වැඩිවියට පා තබා නැති කෙනෙකු නම් ඔබට හැකිද රැකියාවක් සොයාගෙන භාර්යාව සහ සමහරවිට දරුවන්ව පවා රැකබලා ගන්න? ඔවුන්ගේ ආත්මිකත්වය පවත්වාගැනීමට උපකාර කිරීමට හැකියාවක් ඔබට තිබෙනවාද? අනෙක් අතට භාර්යාවක් තම ස්වාමිපුරුෂයාට ආදරය සහ ගෞරවය දැක්විය යුතුයි. ඔහු ගනු ලබන තීරණවලට සහයෝගය දැක්විය යුතුයි. ඔබ කුඩා දැරියක් නම් මෙවැනි දේවල් කරන්නේ කොහොමද? කෙටි කාලයකට නොව දිගු කාලයකට මේ වගකීම් දරන්න ඔබ සූදානම්ද? ඒ වගේම දිනපතාම ගෙදර දොරේ වැඩ කරන්න, දරුවන් බලා කියාගන්න ඔබට පුළුවන්ද?—එපීස 5:22-25, 28-31; 1 තිමෝති 5:8.

මෙය මෙසේ නිදර්ශනය කළ හැකියි. සාමාන්‍යයෙන් බටහිර රටවල යෞවනයන් තමන්ගේ පවුලේ වාහනය පැදවීමට සිහින මවනවා. එසේ වාහනය පැදවීමට පෙර යෞවනයෙකු හෝ යෞවනියක් කුමක් කළ යුතුද? බොහෝ රටවල ඒ සඳහා පුහුණුවක් ලැබිය යුතු අතර බලපත්‍රය දීමට පෙර පරීක්ෂණයකට මුහුණ දිය යුතුයි. ඇයි එසේ කළ යුත්තේ? මන්ද රිය පැදවීම ඉතාමත් බරපතළ වගකීමක්. ඔබ රිය පදවන විට ඔබේ ජීවිතයත් අන් අයගේ ජීවිතත් තිබෙන්නේ ඔබේ අතේයි. විවාහයත් එවැනිම වගකීමක්. බාල වියේ පසු වන ඔබ එවන් දෙයකට තවම සූදානම් නැහැ. එම හේතුව නිසා ඔබ සම්බන්ධකම් ඇති කරගැනීමෙන් වැළකී සිටීම නුවණට හුරුයි. මන්ද කෙනෙකු සමඟ හාදකමක් පවත්වන්නේ විවාහ සහකරුවෙකු සොයාගැනීම සඳහායි. වහෙන්ඔරෝ නැතුව කෙළින්ම කියනවා නම් ඔබ විවාහයට සූදානම් නැත්නම් හාදකම් එපා!

මේ සම්බන්ධයෙන් නැණවත් තීරණයක් ගැනීමට නම් බයිබලයේ පවසන පරිදි “දැනගැන්ම සහ සිහිකල්පනාව, [කල්පනා ශක්තිය, NW]” තිබිය යුතුයි. (හිතෝපදේශ 1:4) දැනුම සහ අද්දැකීම් ඇති වැඩිහිටි පුද්ගලයෙකුගෙන් උපදෙස් ලබාගැනීම හොඳ අදහසක්. ඔබේ විවාහය කොතරම් ඉක්මනින් කළ යුතුදැයි තීරණය කිරීමට සුදුසුම පුද්ගලයන් වන්නේ ඔබේ ක්‍රිස්තියානි මාපියන්. ක්‍රිස්තියානි සභාවේ මේරූ සාමාජිකයන්ගෙන් පවා ඔබට උපදෙස් ලබාගන්න පුළුවන්. ඔබ එවන් හාදකම් පවත්වනවාට මාපියන් අසතුටු නම් ඒ ගැන වාද කරන්න එපා. ඔවුන්ගේ ආශාව ඔබේ “සිතෙන් ශෝකය පහ කර” දැමීමයි.—දේශනාකාරයා 11:10.

ඔබ හාදකම් පැවැත්වීමට තවම සුදුසු නැහැයි කියා ඔවුන්ට හැඟෙනවා නම් එක් පුද්ගලයෙකුට පමණක් ඔබේ අවධානය නොදී මිතුරු ආශ්‍රය පුළුල් කරගන්න කියා ඔවුන් සමහරවිට ඔබට කියාවි. බාල මහලු, තනිකඩ සහ විවාහක ඒ වගේම ඔබේම සම වයසේ මිතුරන් සමඟ ආශ්‍රය කිරීමෙන් මේරූ පෞද්ගලිකත්වයක් ගොඩනැඟීමටත්, ජීවිතය සහ විවාහය පිළිබඳ යථාර්ථවාදී ආකල්පයක් ඇති කරගැනීමටත් ඔබට හැකි වෙයි.

නියම වයස එන තුරු බලා සිටීම එතරම් පහසු කාර්යයක් නොවන බව ඇත්ත. නමුත් බලා සිටීම ප්‍රයෝජනදායකයි. මන්ද ‘යෞවනයේ මල් පූදින වයසේදී’ මේරූ, වගකීම් දරන පුද්ගලයෙකු වීමට උත්සාහ දැරීමෙන් ඔබට ප්‍රශ්න බොහෝමයකින් ගැළවිය හැකියි. විවාහ ජීවිතයේ තිබෙන පීඩනය සහ වගකීම් දැරිය හැකි පුද්ගලයෙක් වීමට ඔබට එම කාලය යොදවන්න පුළුවන්. ඒ වගේම ඔබට එම කාලය ආත්මික පුද්ගලයෙක් වීමට යොදාගන්න පුළුවන්. අවසානයේදී ඔබ හාදකමක් පැවැත්වීමට සුදුසු වයසකට එළඹෙන විට අන් අය ඔබව දැනහඳුනා ගැනීමට කැමැත්තක් දක්වන බවට සැකයක් නැහැ.

[පාදසටහන්වල]

a සමහර නම් වෙනස් කර ඇත.

b වේශ්‍යාකම සඳහා තිබෙන මුල් ග්‍රීක් වචනය පෝනෙයි’ආ. එය යොමු දක්වන්නේ විවාහයට පිටතින් පවත්වන ලිංගික සම්බන්ධකම්වලටය. මෙයට ලිංගික අවයව ස්පර්ශ කිරීම සහ මුඛ සේවනයද ඇතුළත් වෙනවා.

[14වන පිටුවේ පින්තූරය]

බොහෝවිට ආලවන්තකම් පෑම ප්‍රශ්නවලට මුල පිරීමක්